ඒ අමා නිවන් දුටු රහතන් වහන්සේලා

මෙම ථේර ගාථා සියල්ල උපුටා ගත්තේ පින්වත් කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ ගේ “ඒ අමා නිවන් දුටු රහතන් වහන්සේලා” නම් උතුම් ථේර ථේරි ගාථා අඩංගු ග්රන්ථ රත්නයෙන්…

“තමන්ගේ එක ම දරුවාට සෙනෙහෙවන්ත වෙන පරිද්දෙන් ම යි සියලු සත්වයන් ගැන ම සෙනෙහෙවන්ත විය යුත්තේ.” මෙය වනාහී, ආයුෂ්මත් සෝපාක නම් රහත් මුනිඳුන් වදාළ ගාථාවයි.

අම්මේ!මේ ලෝකෙ අඩන්නේ කෙනෙක් මැරුණා ම නේ. එහෙම නැතිනම්, ජීවත් වෙන කෙනෙක් දකින්ට නො ලැඛෙන කොට නේ. එහෙත් අම්මේ, මේ ජීවත් වෙන මං දිහා බලමින් අම්මේ, ඇයි ඔය විදිහට අඩන්නේ? මෙය වනාහී ආයුෂ්මත් සානු නම් රහත් මුනිඳුන් වදාළ ගාථාවයි.

මෝඩ තැනැත්තා බුදු සමිඳුන්ගේ ධර්මය අහන්නෙත් වැරදි සොයන අදහසින්මයි. එයා ධර්මයෙන් ඈත ඉන්න කෙනෙක්. අහසට පොළොව වගෙයි.

මෝඩ තැනැත්තා බුදු සමිඳුන්ගේ ධර්මය අහන්නෙත් වැරදි සොයන අදහසින්මයි. එයා පිරිහිලා යන කෙනෙක්. කලුවර වේගෙන යන සඳක් වගේ.

මෝඩ තැනැත්තා බුදු සමිඳුන්ගේ ධර්මය අහන්නෙත් වැරදි සොයන අදහසින්මයි. එයා සද්ධර්මයෙන් ඈත් වුණ වේලිලා ගිය කෙනෙක්. දිය සිඳුන තැනක ඉන්න මාළුවෙක් වගේ.

මෝඩ තැනැත්තා බුදු සමිඳුන්ගේ ධර්මය අහන්නෙත් වැරදි සොයන අදහසින්මයි. එයා ධර්මය තුළ වැඩෙන කෙනෙක් නොවේ. කුණු වෙච්ච පැලයක් කුඹුරක හිටෙව්වා වගේ.

එහෙත් නුවණැති තැනැත්තා සතුටු සිතිනුයි බුදු සමිඳුන්ගේ ධර්මය අහන්නෙ. එයා ආශ්රවයන් නැති කරලා දානවා. අමා නිවන සාක්ෂාත් කරනවා. පරම ශාන්තියට පැමිණෙනවා. නිකෙලෙස් සිතින් පිරිනිවන් පානවා.

මෙය ආයුෂ්මත් යසදත්ත නම් රහත් මුනිඳුන් වදාළ ගාථාවකි.

‘බණ අහන්ට කැමති කෙනා තුළ ධර්ම ඥානය වැඩෙනවා.අන්න ඒ ධර්ම ඥානය තුළින් තමයි එයාගේ ප්‍රඥාව වැඩෙන්නේ.යථාර්ථය අවබෝධ කර ගන්ට ඒ ප්‍රඥාවෙන් පුළුවනි.
යථාර්ථය අවබෝධ කළාමයි සැප ලැබෙන්නේ.දුර ඈත වන සෙණසුන් වලයි ඉන්ට ඕන.
සංසාර බන්ධනයෙන් නිදහස් වෙන්ට හිතා ගෙන ම යි ධර්මයේ හැසිරෙන්ටත් ඕනෙ.
ඉතින් ඈත වනයේ වාසය කරන්ට අකමැති නම් එයා තමන්ගෙ ඉඳුරන් හොඳින් රැක ගෙන, හොඳින් සිහිය පිහිටුවා ගෙන, උතුම් ස්වාමින් වහන්සේ ලා සෙවණෙ වාසය කරන්ට ඕන’.

මේ ගාථා වදාළේ මහා චුන්ද රහතන් වහන්සේ.

1.1.1. “මං ඉන්නෙ සෙවිළි කළ කුටියකයි. ඒ කුටිය හරි සැපයි. සුළඟින් කරදරයක් ද නෑ. වැහි වළාවෙනි, දැන් ඕනෑ තරමක් වහින්න. මගේ සිතත් හොඳ සමාධියකින් යුක්තයි. කෙලෙස්වලිනුත් මා නිදහස් වුණා. මා වසන්නේ බලවත් වීර්යකින් යුතුවයි. වැහි වළාවෙනි, දැන් ඕනෑ තරමක් වහින්න.” මෙය වනාහී ආයුෂ්මත් සුභූති නම් රහත් මුනිඳුන් වදාළ ගාථාවයි.

1.1.2. “ඒ භික්ෂුව ගේ ඉඳුරන් ඉතා සන්සුන් ය. සියලු පවිනුත් වැළකී සිටී. කථාබස් කරන්නෙත් ඉතා ම නුවණින් යුතුවයි. උඬඟුකමකුත් නෑ. ඒ භික්ෂුව ලාමක අකුසල් දහම් දුරු කළේ, ගසක කොළයක් සුළඟින් බිම හෙළනව වගෙයි.” මෙය වනාහී ආයුෂ්මත් මහා කොට්ඨිත නම් රහත් මුනිඳුන් වදාළ ගාථාවයි.

1.1.3. “තමන් ළඟට පැමිණෙන උදවියගේ සැකසංකා දුරු කර දමන්නේ යමෙක් ද, ඒ තථාගතයන් වහන්සේලා ගේ විස්මිත බුද්ධිය දෙස බලන්න. මැදියම් රැයෙහි බබලන ගින්නක් වගෙයි. ඤාණාලෝකය ලබා දෙයි. දහම් ඇස ලබා දෙයි.” මෙය වනාහී ආයුෂ්මත් කංඛාරේවත නම් රහත් මුනිඳුන් වදාළ ගාථාවයි.

1.1.4. “ඇසුරු කළ යුත්තේ යහපත පෙන්වා දෙන නැණවත් සත්පුරුෂයන්වයි. ඔවුන්ගේ නුවණ ඉතා ම සියුම්. නො පමාව දහමේ හැසිරෙන, ඒ නුවණැති සත්පුරුෂයන් අවබෝධ කරගෙන තිබෙන්නේ පරම ගම්භීර වූ දැකීමට දුෂ්කර වූ සූක්ෂම අර්ථය වන චතුරාර්ය සත්යය යි.” මෙය වනාහී ආයුෂ්මත් මන්තානිපුත්ත පුණ්ණ නම් රහත් මුනිඳුන් වදාළ ගාථාවයි.

1.1.5. “පුරිසදම්මසාරථී වූ මුනිඳාණන් විසින් දමනය කරන ලද්දේ හික්මවීමට අසීරු කෙනෙක්වයි. දැන් ඔහු සිටින්නේ පුදුමාකාර සතුටින්. සැක සංකාවෙන් ද තොරවයි. කෙලෙස් සටනින් එයාට ජය ලැබුණා. බිය තැති ගැනීම් කිසිවක් නැති ඒ ‘දබ්බ’ භික්ෂුව තම සිත නිවනෙහි පිහිටුවාගෙන පිරිනිවී යාවි.” මෙය වනාහී ආයුෂ්මත් දබ්බ නම් රහත් මුනිඳුන් වදාළ ගාථාවයි.

1.1.6. “ඒ භික්ෂුව සීත වනයේ සිටින කෙනෙක්. වාසය කරන්නේ හුදෙකලාවේ ම යි. ඉතාම සතුටින් කල් ගෙවන්නේ. කෙලෙස් සටනින් ඔහුට ජය ලැබුණා. ලොමුදහගැනීම් කිසිවක් නැති ඒ නුවණැති භික්ෂුව කායගතාසතිය මැනවින් රැකගෙන ඉන්නෙ.” මෙය වනාහී ආයුෂ්මත් සීතවනිය නම් රහත් මුනිඳුන් වදාළ ගාථාවයි.

1.1.7. “ඔහු මාර සේනාව බැහැර කෙරුවේ මහා සැඩ පහරකින් ඒ දණ්ඩක් කැඩී බිඳී යන ආකාරයෙන්. කෙලෙස් සටනින් ඔහුට ජය ලැබුණි. කිසිම බියක් තැතිගැනීමක් දැන් එයා ළඟ නෑ. එයා දමනය වෙලා ඉන්නේ සද්ධර්මය තුළයි. සිත නිවනෙහි පිහිටුවාගෙන සිටින ඒ භික්ෂුව පිරිනිවී යාවි.” මෙය වනාහී ආයුෂ්මත් භල්ලිය නම් රහත් මුනිඳුන් වදාළ ගාථාවය

1.1.8. “පුරිසදම්මසාරථී වූ සමිඳාණන් විසින් දමනය කොට වදාළේ හික්මාලන්ට අසීරු කෙනෙක්වයි. දැන් ඔහු ඉන්නේ පුදුමාකාර සතුටින්. සැක සංකා ද ඔහු තුළ නෑ. කෙලෙස් සටනින් ඔහුට ජය ලැබුණා. ලොමුදහගැනීම් වලින් තොරව සිටින ඒ වීර භික්ෂුව සිත නිවනෙහි පිහිටුවා ගෙන සිටින නිසා පිරිනිවී යාවි.” මෙය වනාහී ආයුෂ්මත් වීර නම් රහත් මුනිඳුන් වදාළ ගාථාවයි.

1.1.9. “බුදු සසුන වෙත පැමිණීමෙන් මට සිදු වුණේ යහපතක් ම යි. මේ පැමිණීම අයහපත් දෙයක් නම් නොවේ. මං මේ පවසන්නේ වැරදි මතයක් නොවේ. ඉතා පැහැදිලි ලෙස කරුණු පෙන්වා දෙන සද්ධර්මය තුළ යම් උතුම් අමා නිවනක් වේ නම් මං පත් වුණේ ඒ උතුම් නිවනට යි.” මෙය වනාහී ආයුෂ්මත් පිළින්දිවච්ඡ නම් රහත් මුනිඳුන් වදාළ ගාථාවයි.

1.1.10. “ඒ භික්ෂුව සද්ධර්මයේ පරතෙරට ම ගියා. ඔහු ශාන්තයි. දමනය වූ සිතින් යුක්තයි. ඔහු තමා ගැනත් අනුන් ගැනත් තිබුණ හැම ආශාවක් ම දුරු කරගත්තා. කිසිම දෙයක් ගැන ඔහු තුළ ඇලීමක් නෑ. දැන් ඒ භික්ෂුවට උපදින වැනසෙන ලෝකය ගැන හොඳ අවබෝධයක් තියෙනව.” මෙය වනාහී ආයුෂ්මත් පුණ්ණමාස නම් රහත් මුනිඳුන් වදාළ ගාථාවයි.

1.2.1. “බුදු සමිඳාණන් වදාළ ශ්රී සද්ධර්මය ගැන ඒ භික්ෂුව තුළ පුදුමාකාර ප්රමුදිතභාවයක් තියෙනව. පින් පව් ආදී සංස්කාරයන් සංසිඳී ගිය සැපය වූ ඒ අමා නිවන අවබෝධ කරගන්ට ඔහුටත් පුළුවන් වුණා.” මෙය වනාහී ආයුෂ්මත් චූලවච්ඡ නම් රහත් මුනිඳුන් වදාළ ගාථාවයි.

1.2.2. “ඔහු ප්රඥාවෙන් බලවත්. ඒ වගේ ම සිල්වත්. ඉතාම හොඳ සිහියෙන් ඉන්නේ. සමාධිමත් සිතක් ඇතිව නිතර ම ධ්යානයේ සිටින්ට කැමතියි. ආහාර වළඳන්නෙත් තේරුම දැනගෙන ම යි. ඒ වීතරාගී භික්ෂුව කල්බලමින් ඉන්නේ පිරිනිවන් පෑමට යි.” මෙය වනාහී ආයුෂ්මත් මහාවච්ඡ නම් රහත් මුනිඳුන් වදාළ ගාථාවයි.

1.2.3. “මං ඉන්න වනයේ සීතල දිය දහර ආකාසය වගේ නිල්පාට යි. අවට භූමිය හරි ලස්සනයි. රාත්රී කාලයට කණාමැදිරියන්ගෙන් පිරී එළිය වුණු ඒ කඳු වලට මං හරිම කැමතියි.” මෙය වනාහී ආයුෂ්මත් වනවච්ඡ නම් රහත් මුනිඳුන් වදාළ ගාථාවයි.

1.2.4. “මාගේ උපාධ්යායන් වහන්සේ මට මෙහෙම කිව්වා. ‘පින්වත් සීවක, අපි මේ ගම අත්හැර වනාන්තරයට යමු.’ යි (මගේ අදහසත් ඒක ම යි) මගේ ශරීරය මේ ගමේ තිබුණත්, මගේ සිත ගිහින් තිබුණේ වනයට ම යි. ගමේ මං සැතපුණත් සිත ගියේ වනයට ම යි. සැබෑ තත්වය දකින කෙනෙකුට ඇලීමක් නම් ඇති වෙන්නෙ නෑ.” මෙය වනාහී ආයුෂ්මත් චූලවච්ඡ තෙරුන් ගේ ශිෂ්ය සාමණේර රහත් මුනිඳුන් වදාළ ගාථාවයි.

1.2.5. “(කාම භවයට බැඳී තිබෙන සංයෝජන) පහ නැති කර දැමිය යුතුයි. (රූප අරූප භවයන්ට බැඳී තිබෙන සංයෝජන) පහත් බැහැර කළ යුතුයි. (සද්ධා, විරිය, සති, සමාධි, පඤ්ඤා යන ඉන්ද්රියන්) පහ දියුණු කර ගත යුතුයි. (රාග, ද්වේෂ, මෝහ, මාන, දිට්ඨි යන) සංග පහ ඉක්මවා ගිය භික්ෂුවට කියන්නේ ‘සැඩ පහරින් එතෙර වූ තැනැත්තා’ කියල.” මෙය වනාහී ආයුෂ්මත් කුණ…්ඩධාන නම් රහත් මුනිඳුන් වදාළ ගාථාවයි.

1.2.6. “ලස්සන අං ඇති ශ්රේෂ්ඨ වෘෂභයෙක් හිටිය. නගුලෙහි බැන්ද විට පවා ඌ ඉතා පහසුවෙන් යනව. එපරිද්දෙන් ම මටත් රෑ දවල් ගෙවී යන්නේ ඉතා පහසුවෙනි. ඒ වගේ පහසුවක් මට තිබෙන්නේ මේ නිරාමිස සැපය ලබා ගත් නිසා.” මෙය වනාහී ආයුෂ්මත් බෙල්ලට්ඨිසීස නම් රහත් මුනිඳුන් වදාළ ගාථාවයි.

1.2.7. “අඥාන කෙනා නිදිමතින් පීඩා විඳ විඳ බඩ ම පුරවා ගැනීමට යි බොහෝ ආහාර අරගන්නේ. ඊට පස්සේ කරන්නේ ඒ මේ අතට පෙරළි පෙරළි නිදා ගැනීම යි. ඌරු බත් කාල තර වුණ ඌරෙකු ගේ ජීවිතයක් වගෙයි. ඔහුට සිදුවන්නේ ආයෙමත් මව්කුසට රිංගන්නට යි.” මෙය වනාහී ආයුෂ්මත් දාසක නම් රහත් මුනිඳුන් වදාළ ගාථාවයි.

1.2.8. “භේසකලාවනයේ ඉන්නේ බුදු සමිඳුන් ගේ දායාදය ලබාගත් භික්ෂුවක්. ඇටසැකිල්ල ගැන භාවනා කරල මේ මුළු පොළොව ම ඒ භාවනා අරමුණින් වසාලන්ට ඔහුට පුළුවන් වුණා. මා හිතන්නේ නම් ඔහු ඉතා ඉක්මනින් කාමරාගය නැති කරන දමන බවයි.” මෙය වනාහී ආයුෂ්මත් සිඟාලපිතු නම් රහත් මුනිඳුන් වදාළ ගාථාවයි.

1.2.9. “වතුර ගෙන යන උදවියට තමන් කැමති පරිදි වතුර ගෙන යන්ට පුළුවන්. හී වඩුවන්ටත් පුළුවනි කැමති පරිද්දෙන් ඊ තල නමා ගන්නට. තමාගේ කැමැත්ත පරිදි ලී දඬු නමා ගන්නට ලී වඩුවන්ටත් පුළුවනි. අන්න ඒ ආකාරයෙන් ම තමන්ව කැමති පරිදි දමනය කරගන්නට සත් පුරුෂයින්ට පුළුවනි.” මෙය වනාහී ආයුෂ්මත් කුණ්ඩල නම් රහත් මුනිඳුන් වදාළ ගාථාවයි.

1.2.10. “මට නම් මරණය ගැන කිසිම බියක් නෑ. ජීවත් වීම ගැන අමුතු ආශාවකුත් නෑ. ඉතා හොඳින් සිහියත්

නුවණත් පිහිටුවා ගෙන ම යි මේ ශරීරය අත්හැර දමන්නේ.” මෙය වනාහී ආයුෂ්මත් අජිත නම් රහත් මුනිඳුන් වදාළ ගාථාවයි.

1.3.1. “සංසාර දුකට මගේ සිතේ දැන් කිසි බියක් නැහැ. අප ගේ ශාස්තෘන් වහන්සේ අමා නිවන් ලබාදෙන්ට

අතිශයින් ම දක්ෂයි. සසර දුක් නැති තැන වන ඒ අමා නිවන වෙත භික්ෂූන් වහන්සේලා ගමන් කරන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගයෙන්.” මෙය වනාහී ආයුෂ්මත් නිග්රෝධ නම් රහත් මුනිඳුන් වදාළ ගාථාවයි.

1.3.2. “කාරංචි වනයේ ඉන්න මේ මොණරුන්ට තිබෙන්නේ නිල් පාට ලස්සන බෙල්ලකි. උන් එක රංචුවටයි නාද කරන්නේ. මේ හමන සීතල සුළඟට උන් සතුටු ඇති. ඒ නිසයි ඒ හඬ මේ තරම් මිහිරි. නිදාගෙන සිටින උදවියවත්ධ්යාන වඩන උදවියවත් ප්රබෝධවත් කරන්ට ඒ හඬට පුළුවනි.” මෙය වනාහී ආයුෂ්මත් චින්තක නම් රහත් මුනිඳුන් වදාළ ගාථාවයි.

1.3.3. “බුදු සමිඳාණන් ගේ අවවාදය මා පිළිගත්තේ ඉතා ගෞරවයෙන්. එදා දානයට මං වැළඳුවේ මී පැණි මිශ්ර කිරි බතක්. ඊට පස්සේ උණ පඳුරක් සෙවණේ හිඳගත් මං භාවනා කරන්ට පටන් ගත්තා. පංච උපාදානස්කන්ධයන් මුල් කොට මේ දුක හට ගන්නා හැටිත්, ඒ දුක නැතිවන හැටිත් නුවණින් විමස විමසා බැලුවා. මා ගොඩාක් කැමති විවේකට ම යි. එනිසා මං ආයෙමත් සානු වනයට ම… යනවා.” මෙය වනාහී ආයුෂ්මත් ගෝසාල නම් රහත් මුනිඳුන් වදාළ ගාථාවයි.

1.3.4. “මං පැවිදි බව ලබා ගෙන තවම අවුරුද්දයි. මේ සද්ධර්මයේ ආශ්චර්ය බලන්න. මටත් පුළුවන් වුණා ත්රිවිද්යාව ලබා ගන්න. මා මේ සම්පූර්ණ කරගත්තේ බුද්ධ ශාසනය යි.” මෙය වනාහී ආයුෂ්මත් සුගන්ධ නම් රහත් මුනිඳුන් වදාළ ගාථාවයි.

සටහන: ත්රිවිද්යාව යනු කුමක්ද? මේ වනාහී විශේෂ අවබෝධ ඤාණ තුනකි. බොහෝ රහතන් වහන්සේලා ලබාගත්තේ ත්රිවිද්යාවයි.

(1) මෙහි පළමු විද්යාව නම් පුබ්බේ නිවාසානුස්සති ඤාණයයි. එනම් තමන් ගෙවූ සංසාරය ගැන ආපස්සට සිහි කොට ලබා ගන්නා අවබෝධයයි.

(2) දෙවෙනි විද්යාව නම් චුතූපපාත ඤාණයයි. එනම් අනෙක් සත්වයන් කර්මානුරූපව චුතවන ආකාරයත්, උපදින ආකාරයත් ගැන ඇති අවබෝධයයි.

(3) තුන්වෙනි විද්යාව

නම් ආසවක්ඛය ඤාණයයි. එනම් කාමාශ්රව, භවාශ්රව, අවිජ්ජාශ්රව යන ආශ්රවයන් ප්රහාණය කොට අරහත්වයට පත්වීමයි.

1.3.5. “මේ භික්ෂුව ඉන්නේ ප්රඥාවෙන් ආලෝකවත් වූ සිතින්. අරහත්වය නම් වූ අග්රඵලයට පැමිණි සිතින්. ඒයි මාරය, ඔබ ඔය හදන්නේ එවැනි භික්ෂුවකට හිරිහැර කොට දුකට පත් වෙන්නට ද?” මෙය වනාහී ආයුෂ්මත් නන්දිය නම් රහත් මුනිඳුන් වදාළ ගාථාවයි.

අපගේ ගුරැදේවොත්තම අතිපූජ්ය ඥාණානන්ද ස්වාමීන් වහන්සේ විසින් සම්පාදිත පොතකින් උපුටාගන්නා ලදී

1.3.6. “සූරිය වංශයේ උපන් බුදු සමිඳාණන් සුන්දර ලෙස වදාරණ ලද දහම් පද යි මා අසාගත්තේ. මටත් ඒ සියුම් වූ චතුරාර්ය සත්යය ධර්මය අවබෝධකර ගන්ට පුළුවන් වුණා. ඒක හරියට ම දක්ෂ දුනුවායෙක් ඉලක්කයට ම ඊයෙන් විදින්නාක් වැනි වැඩක්.” මෙය වනාහී ආයුෂ්මත් උභය නම් රහත් මුනිඳුන් වදාළ ගාථාවයි.

1.3.7. “ඊ තණ, කුස තණ, වැලුක්, සැවැන්දරා, මුදු තණ, බබුස් තණ වලින් මට වැඩක් නෑ. මා ඒවා වීසි කරල දානව. මං විවේකය ම සොයා ගෙන යනවා.” මෙය වනාහී ආයුෂ්මත් ලෝමසකංගිය නම් රහත් මුනිඳුන් වදාළ ගාථාවයි.

1.3.8. “ඔබ සිවුරුවලට රෙදි සොය සොයා කල් ගෙවන්නෙ නෑ නේද? ඇඟපත සරසන්ට කැමති කෙනෙක් නොවේ නේද? ඔබෙන් ඔය හමන්නේ සිල් සුවඳ නේ. අනෙක් උදවිය ගෙන් නම් එවැනි සුවඳක් හමන්නේ නෑ.” මෙය වනාහී ආයුෂ්මත් ජම්බුගාමිකපුත්ත නම් රහත් මුනිඳුන් වදාළ ගාථාවයි.

1.3.9. “පින්වත් හාරිත, ඔය සිත කම්මැලිකමින් ගොඩගන්න. හී වඩුවෙක් ඊයක ඇද හැර කෙළින් කරන විදිහට ඔබත් ඔය සිත ඍජු කරගන්න. ඔබටත් පුළුවනි අවිද්යාව නැති කර දමන්න.” මෙය වනාහී ආයුෂ්මත් හාරිත නම් රහත් මුනිඳුන් වදාළ ගාථාවයි.

1.3.10. “මට ලෙඩ වුණ ගමන් සිහිනුවණ ඉපදුණා. ‘මං දැන් ලෙඩ වෙලා ඉන්නෙ. දැන් ඉතින් පමා නො වී මේ ධර්මයේ හැසිරෙන්ට යි කාලය උදා වුණේ’.” මෙය වනාහී ආයුෂ්මත් උත්තිය නම් රහත් මුනිඳුන් වදාළ ගාථාවයි.

1.4.1. “අරණ්යයේ මහා වන මැදයි ඒ භික්ෂුව ඉන්නේ. මැසි මදුරුවන් ලේ උරා බොන කොට ඔහු ඉතා හොඳ සිහියෙන් ඉවසාගෙන ඉන්නවා. යුද්ධ භූමියට පැමිණුන ඇත් රජෙක් වගේ.” මෙය වනාහී ආයුෂ්මත් ගබ්භරතීරිය නම් රහත් මුනිඳුන් වදාළ ගාථාවයි.

1.4.2. “මං නම් මේ දිරායන ජීවිතෙන් නිදහස් වෙලා නො දිරන නිවන කරා ම යනවා. තැවි තැවී ඉන්න ජීවිතෙන් නිදහස් වෙලා නිවීම කරා ම යනවා. පරම ශාන්තිය වූ අනුත්තර වූ ඒ අමා නිවන ම සොයා ගෙන යනවා.” මෙය වනාහී ආයුෂ්මත් සුප්පිය නම් රහත් මුනිඳුන් වදාළ ගාථාවයි.

1.4.3. “තමන්ගේ එක ම දරුවාට සෙනෙහෙවන්ත වෙන පරිද්දෙන් ම යි සියලු සත්වයන් ගැන ම සෙනෙහෙවන්ත විය යුත්තේ.” මෙය වනාහී ආයුෂ්මත් සෝපාක නම් රහත් මුනිඳුන් වදාළ ගාථාවයි.

1.4.4. “සද්ධර්මය දන්නා භික්ෂුව උතුම් ලෙස සලකන්නේ කාන්තාවන් ගෙන් ඈත් වී සිටීම ම යි. මං එදා අරණ්යයෙන් ගමට ඇවිත් ගෙදරට ගියා. නමුත් යහනෙන් නැගිට මං පිටත් වෙලා ගියේ කිසිම දෙයක් නො කියා ම යි. මගේ නම ‘පෝසිය’.” මෙය වනාහී ආයුෂ්මත් පෝසියෝ නම් රහත් මුනිඳුන් වදාළ ගාථාවයි.

1.4.5. “ඔහු වඩන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගය යි. ඒ මග තමා අමා නිවනට පමුණුවන ඍජු මාවත. සැප කැමති ව පිළිවෙත් පුරද්දී ලැබෙන්නේ සැප ම යි. ඔහුගේ කීර්තියත් පැතිරෙන්ට පටන් ගන්නවා. යසසත් වැඩෙනවා.” මෙය වනාහී ආයුෂ්මත් සාමඤ්ඤකානි නම් රහත් මුනිඳුන් වදාළ ගාථාවයි.

1.4.6. “බණ ඇසීම කොයි තරම් හොඳ ද. අහපු බණට අනුව ජීවත් වීම ඊටත් වඩා හොඳයි. හැම තිස්සේ ම තණ්හාවෙන් තොරව ජීවත් වෙන එක හරි ම හොඳයි. අහන බණවල අර්ථ නුවණින් විමසීමත් ඒ වගේ ම හොඳයි. ඒ බණ ගෞරවයෙන් පිළිගැනීම මොන තරම් හොඳ දෙයක් ද. අන්න එයාට තමා කෙලෙස් නැති පුද්ගලයාගේ ‘මහණකම’ කියලා කියන්නෙ.” මෙය වනාහී ආයුෂ්මත් කුමාපුත්ත නම් රහත් මුනිඳුන් වදාළ ගාථාවයි.


30.1.3.-1 “කේළාම් කියාගෙන, ක්‍රෝධ කරගෙන, මසුරුකම් කර කර විනාශ වෙලා යන්ට කැමැති උදවිය ඉන්නවා. ඒ ගොල්ලන් එක්ක මිත්‍රවෙන්ට ඤාණවන්තයෙක් කැමැති නෑ. පවිටු පුද්ගලයන් එක්ක ආශ්‍රය කිරීමත් පවිටු දෙයක්.”

30.1.3.-2 “ශ්‍රද්ධාවන්ත, සීලවන්ත, ප්‍රඥාවන්ත උදවිය ඉන්නවා. ඒගොල්ල ධර්මයත් හොඳට දන්නවා. ඤාණවන්තයා මිත්‍රත්වයක් ගොඩනගා ගන්නේ ඒ උදවියත් එක්කයි. සත්පුරුෂයන් සමග ඇසුරු කිරීම සුන්දර දෙයක්.”

30.1.3.-3 “ඇට නහරවලින් ගලපා සකස් කරන ලද නොයෙක් ලෙඩ රෝගවලින් ගහන මේ ශරීරයේ සැබෑ තත්වය ගැනයි බලන්ට ඕන. එහෙත් අඥාන ජනයා නොයෙක් කාම සිතුවිලි සිත සිතා මේ ශරීරය විචිත්‍ර විදිහට සරසනවා. ඒ වුණත් මේ කයේ ස්ථිර පැවැත්මක් නෑ.”

30.1.3.-4 “මේ ශරීරය ඔතල තියෙන්නෙ හමකින්. ඇට ගොඩක් ඇතුළෙ තියෙනවා. නමුත් පිටතින් මුතු මැණික් ආභරණවලින් ලස්සනට හැඩ ගන්වල තියෙන්නෙ. මේ ශරීරය හැඩට පෙනෙන්නෙ වස්ත්‍රවලින් වෙළෙන නිසයි.”

30.1.3.-5 “යටිපතුල් පාට කරල තියෙන්නෙ. සුවඳ බුලත් විට කාල මුඛය සුවඳ කරල තියෙන්නෙ. අඥාන ජනතාවගේ මෝහයට නම් ඒක ගැලපෙනවා. නමුත් නිවනක් සොයා ගෙන යන කෙනෙකුට එයින් කිසි පලක් නෑ.”

30.1.3.-6 “ඔලුවට නොයෙක් කොණ්ඩා මෝස්තර දානවා. ඇස්වල අඳුන් ගානවා. අඥාන ජනතාවගේ මෝහයට නම් ඒක ගැලපෙනවා. නමුත් නිවනක් හොයාගෙන යන කෙනෙකුට එයින් පලක් නෑ.”

30.1.3.-7 “මේ කුණු ශරීරය නොයෙක් විදිහට සරසල අලුත් භාජනයක් වගේ තියාගත්තද, මෝඩ ජනතාවගේ මෝඩ කමට විතරයි ඒක ගැලපෙන්නෙ. නමුත් නිවනක් සොයා ගෙන යන කෙනෙකුට එයින් පලක් නෑ.”

30.1.3.-8 “මුව වැද්දා මුවන් අල්ල ගන්ටයි උගුල අටෝල තියෙන්නෙ. ඒ වුණාට මුවා නම් උගුලට අහුවුණේ නෑ. මුව වැද්දා හඬන කොට අපි ගොදුරු කාල පැනල දුවනවා.”

30.1.3.-9 “මුව වැද්දාගේ උගුල කඩල බිඳල දැම්මා. මුවා නම් උගුලට අහුවුණේ නෑ. මුව වැද්දා දුක් වෙනකොට අපි ගොදුරු කාල පැන දුවනවා.”

30.1.3.-10 “ගෞතම ගෝත්‍ර ඇති ඒ භික්ෂුව විචිත්‍ර ධර්ම කථිකයෙක්. බහුශ්‍රැත කෙනෙක්. බුදු සමිඳුන්ගේ අග්‍ර උපස්ථායකයන් වහන්සේ ඔහු තමා. කෙලෙස් බර පැත්තකින් තියල සියලු දුකින්ම වෙන්වෙලා සැතපෙන්නෙ.”

30.1.3.-11 “ඒ භික්ෂුව තුළ ආශ්‍රවයන් නෑ. ඔක්කොම කෙලෙස් වලින් ඉවත් වුණා. ඒ කෙලෙස්වලින් නිදහස් වුණා. ඇත්තෙන්ම එයා නිවී ගියා. ඉපදෙන මැරෙන මේ සංසාරෙන් එතෙර වෙලා අන්තිම ශරීරය දරාගෙනයි ඉන්නෙ.”

30.1.3.-12 “හිරුගොත් වංශයේ උපන් බුදු සමිඳුන්ගේ ධර්මය තමයි ඔහුගේ හදවතේ පිහිටා තියෙන්නෙ. ඒ ගෞතම ගෝත්‍ර ඇති ආනන්ද භික්ෂුව නිවනට යන මාර්ගයේ ඉන්න කෙනෙක්.”

30.1.3.-13 “බුදු සමිඳුන් ගෙන් ධර්මස්කන්ධ අසූ දෙදාහක් මං ලබාගත්තා. ශ්‍රාවකයින් ගෙන් දෙදහසක ධර්මස්කන්ධයක් මං ලබාගත්තා. මං ප්‍රගුණ කරගත්තා ධර්මස්කන්ධ අසූහාරදහසක්.”

30.1.3.-14 “ධර්ම ඥානයක් නැති කෙනා හැදෙන්නෙ හරකෙක් වගේ. ඔහුගේ මස් විතරයි වැඩෙන්නෙ. ඔහුට ප්‍රඥාව වැඩෙන්නෙ නෑ.”

‎30.1.3.-15 “එහෙත් බහුශ්‍රැත තැනැත්තා අර දහම් දැනීමක් නැති කෙනාව තමන්ගෙ ධර්ම ඥානයෙන් අවනත කර ගන්නවා නම් එබඳු බහුශ්‍රැත උදවිය ගැන මට හිතෙන්නෙ මෙහෙම. එයා පහනක් අතින් දරාගෙන ඉන්න අන්ධයෙක් වගේ.”

30.1.3.-16 “ඇසුරු කරන්ට ඕන බහුශ්‍රැත කෙනෙක්වමයි. එතකොට තමන් අහල තියෙන දේ නැති වෙන්නෙ නෑ. මේ බ්‍රහ්මචාරී ජීවිතයට ඒක මුල් වෙනවා. එනිසා ධර්මධරයෙක් වෙන්ට ඕන.”

30.1.3.-17 “ඉතා හොඳින් ධර්මය ගැලපීමට දන්නා, ඒ ධර්මයෙහි අර්ථය දන්නා, ධර්ම අර්ථ විස්තර කිරීමට දක්ෂ කෙනා ඒ ධර්මය ගන්නේ ඉතා යහපත් ලෙසින්. අර්ථයද නුවණින් විමසයි.”

30.1.3.-18 “ජීවිතයට ධර්මය ගලපා බලන කොටයි ධර්මයේ හැසිරෙන්නට කැමැත්තක් ඇති වන්නේ. එතකොටයි උත්සාහයෙන් ධර්මයේ හැසිරෙන්නෙ. ඒ කෙනා භාවනාවට වීරිය කරයි. තමන්ගේ සිතත් සමාධිමත් කරගනී.”

30.1.3.-19 “බහුශ්‍රැත වූ, ධර්මධර වූ, ප්‍රඥාවන්ත, බුද්ධිමත් ශ්‍රාවකයා, ධර්ම ඥානය ලබාගැනීමට හරිම කැමතියි. ඇසුරු කළ යුත්තේ අන්න එබඳු ශ්‍රාවකයන්වයි.”

30.1.3.-20 “මහ ඉසිවර බුදු සමිඳුන්ගේ ධර්ම භාණ්ඩාගාරය ආරක්ෂා කරගෙන ඉන්න බහුශ්‍රැත, ධර්මධර, පූජනීය වූ ඒ භික්ෂුව සියලු ලෝකයට ඇසක් වගේ.”

30.1.3.-21 “ධර්මය තුළ ජීවත්වෙන ධර්මයටම ඇලී සිටින, ධර්මයම සිහි කරන, ධර්ම චින්තා ඇති භික්ෂුව කවදාවත් ධර්මයෙන් පිරිහෙන්නෙ නෑ.”

30.1.3.-22 “ශරීරය ගැන ලෝභ කමින්, ශරීරයටම ගරු කර කර ඉන්න කෙනා ශරීරය පිරිහෙන කොට ධර්මයෙනුත් පිරිහිලා යනවා. ශරීර සැපයට ගිජු වුණොත් ශ්‍රමණ සැපයක් කොහොම ලබන්ටද?”

30.1.3.-23 “මගේ කළ්‍යාණ මිත්‍රයන් වහන්සේ තමයි සැරියුත් තෙරුන්. උන්වහන්සේ පිරිනිවන් පෑව බව ආරංචි වුනහම හැම දිශාවක්ම පේන්නෙ නැතුව ගියා. ධර්මය වැටහෙන්නෙ නැතුව ගියා. මට හැඟුණේ මුළු ලෝකයම අඳුරු වෙලා ගියා වගේ.”

30.1.3.-24 “කළ්‍යාණ මිත්‍රයන් වහන්සේලා පිරිනිවන් පෑවට පස්සෙ ශාස්තෘන් වහන්සේත් පිරිනිවන් පෑවට පස්සේ ඇත්තෙන්ම මට කායානුපස්සනාව තරම් වෙන මිත්‍රයෙක් නෑ.”

30.1.3.-25 “ඒ පැරණි මිතුරන් දැන් නෑ. අළුත් මිතුරන් මට ගැලපෙන්නෙත් නෑ. ඒ නිසා වැස්සෙන් බේරෙන්ට කැදැල්ලට ආපු කුරුල්ලෙක් වගේ මං තනියම භාවනා කරනවා.”

30.1.3.-26 “නොයෙක් පළාත්වලින් බොහෝ දෙනෙක් ඇවිදින් මාව මුණ ගැසෙන්ට බලා සිටිනවා. ඒ ගොල්ලන්ව වලක්වන්ට එපා. බණ අහන්ට කැමති ඒ හැමදෙනාම මාව දකිත්වා! දැන් එයට කාලයයි.”

30.1.3.-27 “නොයෙක් පළාත්වලින් බොහෝ දෙනෙක් ඇවිදින් බුදු සමිඳුන්ව දැකගන්ට බලාගෙන හිටියා. එතකොට ශාස්තෘන් වහන්සේ ඒකට ඉඩ දුන්නා. සදහම් ඇස් ඇති මුනිඳුන් ඔවුන්ව වැලැක්කුවේ නෑ.”

‎30.1.3.-28 “මං අවුරුදු 25ක් ම ගත කළේ නිවන් මග පුහුණු වන (සේඛ) භික්ෂුවක් හැටියට. මේ ධර්මයේ ආශ්චර්යය බලන්න. එබඳු වූ මා තුළ කාමය ගැන හැඟීමක් වත් නෑ.”

30.1.3.-29 “අවුරුදු 25 ක් ම මං ගත කළේ සේඛ භික්ෂුවක් හැටියට. ධර්මයේ ආශ්චර්යය බලන්න. එතෙක් කාලෙකට මං තුළ ද්වේෂය ගැන හැඟීමක් වත් ඇතිවුණේ නෑ.”

30.1.3.-30 “අවුරුදු 25 ක් මුළුල්ලේම භාග්‍යවතුන් වහන්සේට මං උපස්ථාන කළේ, මෛත්‍රී සහගත කයින්මයි. මං හිටියේ උන්වහන්සේව අත් නොහැර සිටින සෙවණැල්ල වගෙයි.”

30.1.3.-31 “අවුරුදු 25 ක් මුළුල්ලේම භාග්‍යවතුන් වහන්සේට මං උපස්ථාන කළේ, මෛත්‍රී සහගත වචනයෙන්මයි. මං හිටියේ උන්වහන්සේව අත් නොහැර සිටින සෙවණැල්ල වගෙයි.”

30.1.3.-32 “අවුරුදු 25 ක් මුළුල්ලේම භාග්‍යවතුන් වහන්සේට මං උපස්ථාන කළේ, මෛත්‍රී සහගත සිතින්මයි මං හිටියේ උන්වහන්සේව අත් නොහැර සිටින සෙවණැල්ල වගෙයි.”

30.1.3.-33 “බුදු සමිඳුන් සක්මන් කරද්දි මාත් උන්වහන්සේ පිටුපසින් සක්මන් කළා උන්වහන්සේ දහම් දෙසද්දී තමයි මට ඥානය පහළ වුණේ.”

30.1.3.-34 “මං තවමත් ඉන්නෙ නිවන් මග පුහුණු වන කෙනෙක් හැටියට කළ යුතු දේවල් ගොඩක් තියෙනවා අරහත්වයට පත්වුණ කෙනෙක් නෙමෙයි නමුත් මං ගැන ගොඩක්ම අනුකම්පා කොට වදාළ ශාස්තෘන් වහන්සේ දැන් පිරිනිවන් පෑමට ආසන්නයි.”

30.1.3.-35 “සියලුම උත්තම ගුණාංගයන් ගෙන් පරිපූර්ණ වූ සම්බුදු සමිඳුන් පිරිනිවන් පා වදාළ වෙලාවෙ මුළු ලෝකයම කම්පා වුණා. බියජනක හඬ පැතිරුණා. ලොමුදහ ගැනීම් ඇති වුණා.”

30.1.3.-36 “මහ ඉසිවර බුදු සමිඳුන්ගේ ධර්ම භාණ්ඩාගාරික වූ බහුශ්‍රැත වූ ධර්මධර වූ, මුළු ලෝකයට ඇසක් වැනි ආනන්දයන් වහන්සේත් පිරිනිවන් පෑවා.”

30.1.3.-37 “මහ ඉසිවර බුදු සමිඳුන්ගේ ධර්ම භාණ්ඩාගාරික වූ බහුශ්‍රැත වූ ධර්මධර වූ ආනන්දයන් වහන්සේ මුළු ලෝකයට ඇසක් වගේ අඳුර දුරලනවා.”

30.1.3.-38 “ඥාන ගති ඇති, සිහි නුවණ ඇති, බලවත් ප්‍රඥා ඇති, ඉසිවරයෙක් වන ආනන්දයන් වහන්සේ ශ්‍රී සද්ධර්ම මාණික්‍යයන් දරාගෙන සිටින මැණික් ආකරයක් වගෙයි.”

30.1.3.-39 “මාත් බුදු සමිඳුන්ව ගෞරවයෙන් ඇසුරු කළා. බුදු සසුන සම්පූර්ණ කරගත්තා. කෙලෙස් බර පැත්තකින් තිබ්බා. දැන් ඉතින් මට පුනර්භවයක් නෑ.”

මේ වනාහී ආයුෂ්මත් ආනන්ද නම් රහත් මුනිඳුන් වදාළ ගාථාවන් ය.

30.1.2.-1 “එයා සිල්වත් කෙනෙක් නම්, ඉතා හොඳට සිහිය පවත්වනවා නම්, සිතුවිලි දමනය කරල ධ්‍යාන වඩනව නම්, අප්‍රමාදීව ධර්මයේ හැසිරෙනවා නම්, භාවනාවේ ඇලී වසනවා නම්, සමාධිමත් සිතින් යුතු නම්, හුදෙකලා ජීවිතයෙන් සතුටු වෙයි නම්, අන්න එයාට තමයි ‘භික්ෂුව’ කියල කියන්නෙ.”

‎30.1.2.-2 “වළඳන දේ තෙත දෙයක් වෙන්ට පුලුවනි. වේලිච්ච දෙයක් වෙන්ට පුලුවනි. පමණ ඉක්මවා ගන්නෙ නෑ. කුසේ ඉඩ තියා ගන්නවා. භික්ෂුවක් වාසය කරන්න ඕන ඒ විදිහටයි. ප්‍රමාණයකට දානෙ අරගෙන, නුවණින් යුක්තවයි.”

30.1.2.-3 “සතර පස් පිඩක් නොවළඳා, ඒ වෙනුවට පැන් වළඳන්න ඕන. නිවනට යොමු කළ සිත් ඇති වීරියවන්ත භික්ෂුවකට ඒක හරි පහසුවක්.”

30.1.2.-4 “සිරුරේ වසාගත යුතු තැන් තියෙනවා. එය වසා ගැනීම පිණිස කැප විදිහට ලැබෙන සිවුරක් තිබීම නිවනට යොමු කළ සිත් ඇති වීරියවන්ත භික්ෂුවට හරි පහසුවක්.”

30.1.2.-5 “භාවනාවට වාඩිවුණාට පස්සෙ, දණහිස් දෙක වැස්සට තෙමෙන්නෙ නැත්නම්, අන්න ඒ විදිහෙ කුටියක් වුණත් නිවනට යොමු කළ සිත් ඇති වීරියවන්ත භික්ෂුවට හරි පහසුවක්.”

30.1.2.-6 “යමෙක් සැප වින්දනය දුකක් වශයෙන් දකිනවා නම්, දුක් වින්දනය හුලක් වශයෙන් දකිනවා නම්, දුක් රහිත වින්දනයට මුලාවෙන්නෙ නැත්නම්, මේ ලෝකෙට එයා කෙසේ නම් බැඳෙන්ටද?”

30.1.2.-7 “පාපී ආශාවන් තියෙන, හීන වීරිය තියෙන, සද්ධර්මය දන්නෙ නැති, ආදර ගෞරවය නැති කිසි කෙනෙක් සමග මා කවරදා වත් එක් නොවෙම්වා! ඒ උදවියත් සමග එකතු වීමෙන් ලෝකයට සිදුවන යහපත කුමක්ද?”

30.1.2.-8 “ඒත් යම් කෙනෙක් බොහෝ කොට සද්ධර්මය දන්නවා නම්, නුවණ තියෙනවා නම්, සිල්වත් නම්, සමාධිමත් සිතකින් යුක්ත නම්, සිත සන්සිඳුවීමෙහි යෙදෙනවා නම් අන්න ඒ උත්තමයා මාගේ හිස මත වැඩ සිටීවා!”

30.1.2.-9 “(කාම විතර්ක-ව්‍යාපාද විතර්ක-විහිංසා විතර්ක ආදී) මිත්‍යා සංකල්පනාවේම යෙදෙමින්, මිත්‍යා සංකල්පනාවටම ඇලිල කැලෑ සතෙක් වගේ ඉන්න කෙනාට සසර දුක් නැතිකරන ඒ අමා නිවන අහිමි වෙලා යනවා.”

30.1.2.-10 “එහෙත් යම් කෙනෙක්, මිත්‍යා සංකල්ප ඉවත් කරගෙන (එක එක දේවල් කල්පනා කර කර ඉන්නෙ නැතිව) ප්‍රපංච රහිත වූ සමථයත්, විදර්ශනාවත් තුළ ඇලී වසනවා නම්, එයාට සසර දුක් නැතිකරන, ඒ අමා නිවන හමු වෙනවා.”

30.1.2.-11 “ගමක හෝ අරණ්‍යයක හෝ පහත් බිමක හෝ කඳු ගැටයක හෝ යම් කිසි තැනක රහතන් වහන්සේලා නම් වැඩසිටින්නේ, ඒ භූමිය හරිම ලස්සනයි.”

30.1.2.-12 “කෙලෙස්වලට ඇලී ගිය කාමී ජනයා ඒ අරණ්‍ය සේනාසනවලට කැමති නෑ. කාමය නොසොයන වීතරාගී මුනිවරුන්ට ඒ අරණ්‍ය සේනාසන හරි ලස්සනයි. උන්වහන්සේලා ඒ තැන්වලට හරි කැමතියි.”

30.1.2.-13 “නිධානයක් මතු කරල පෙන්වනවා වගේ දුටු වරද පෙන්වා දෙන, වරදට ගරහා කරන, ඤාණවන්ත උත්තමයින්වයි ඇසුරු කරන්ට ඕන. ඤාණවන්ත උතුමන් ඇසුරු කරනකොට යහපතක් මිස අයහපතක් නම් සිද්ධ වෙන්නෙ නෑ.”

‎30.1.2.-14 “අවවාද කරන්න ඕන. අනුශාසනා කරන්ට ඕන. අකුසල් වලින් වළකාගන්ට ඕන. අන්න ඒ තැනැත්තාව සත්පුරුෂයින්ට හරි ප්‍රියයි. අසත්පුරුෂයින්ට නම් ප්‍රිය නෑ.”

30.1.2.-15 “එදා සදහම් ඇස් ඇති බුදු සමිඳුන් වෙන කෙනෙකුටයි දහම් දෙසමින් සිටියේ. බුදු සමිඳුන් දේශනා කරමින් සිටි ඒ ධර්මයේ අර්ථ අවබෝධ කරගන්ට මාත් කණ් යොමාගෙන හොඳ සිහියෙන් අහගෙන සිටියා. මගේ ඒ බණ ඇසීම හිස් දෙයක් වුණේ නෑ. ආශ්‍රව රහිතව සියලු දුකින් නිදහස් වුණා.”

30.1.2.-16 “මං සොය සොයා සිටියේ, පුබ්බේනිවාස ඤාණය ලබාගන්න හැටි නොවේ. මං සොය සොයා හිටියෙ දිවැස් ලබන හැටි නොවේ. මං සොය සොයා සිටියේ අනුන්ගේ සිත් දැනගන්න හැටි නොවේ. සෘද්ධි ප්‍රාතිහාර්ය ලබන හැටි නොවේ. චුතූපපාත ඤාණය ලබන හැටි නොවේ. දිව්‍ය කණ උපදවාගැනීමේ අවශ්‍යතාවක් මට තිබුණේ නෑ.”

30.1.2.-17 “හිස මුඩු කරගෙන සඟළ සිවුරු පොරවගෙන, රුක් සෙවණකට ගිහින් භාවනා කරන්නෙ, ප්‍රඥාවෙන් උත්තම භාවයට පත් වූ, උපතිස්ස තෙරුන් වහන්සේ.”

30.1.2.-18 “සම්මා සම්බුදු සමිඳුන්ගේ ශ්‍රාවක භික්ෂුව, ධ්‍යානයට සමවැදී ඉන්නවා. ඒකට කියන්නේ ආර්ය නිශ්ශබ්දතාව කියල. ඒ විතර්ක රහිත වූ ධ්‍යානයයි.”

30.1.2.-19 “හොඳට පිහිටල තියෙන, ගල් පර්වතය සෙලවෙන්නෙ නෑ. මෝහය නැති කරපු භික්ෂුවත් නොසැලී ඉන්නෙ පර්වතයක් වගේ.”

30.1.2.-20 “කෙලෙස් රහිත පුරුෂයා නිතර ම සොයන්නෙ පිරිසිදු ජීවිතයක්. කෙස් ලෝමයේ අග ගැටුණු කුඩා වරදක් පවා, එයාට පෙනෙන්නේ වළාකුලක් වගේ.”

30.1.2.-21 “මරණය ගැනද මට දැන් කැමැත්තක් නෑ. ජීවිතය ගැනත් මට දැන් කැමැත්තක් නෑ. හොඳ සිහියෙන් යුක්තව හොඳ ප්‍රඥාවෙන් යුක්තව මං මේ ශරීරය අත්හැරල දානවා.”

30.1.2.-22 “මරණය ගැනත් මට දැන් කැමැත්තක් නෑ. ජීවිතය ගැනත් මට දැන් කැමැත්තක් නෑ. පඩියක් බලාපොරොත්තුවෙන් ඉන්න කෙනෙක් වගේ මං මේ පිරිනිවන් පාන්ටයි කල් බලා සිටින්නෙ.”

30.1.2.-23 “ඉස්සරහිනුත් පිටිපස්සෙනුත් දෙපැත්තෙන්ම තියෙන්නෙ මරණය මිසක් නොමැරී සිටීමක් නොවේ. ඒක නිසා ආර්ය අෂ්ටාංගික මාර්ගයමයි පිළිපදින්ට ඕන. වැනසී යන්න නම් ඒපා! මේ උතුම් අවස්ථාව මග හැරෙන්ට ඉඩ දෙන්න එපා!”

30.1.2.-24 “ජීවිතේ ධර්මය තුළින් ආරක්ෂා කරගන්ට ඕන, ඇතුළතිනුත් පිටතිනුත් හොඳින් ආරක්ෂා සංවිධානය කරපු නගරයක් වගෙයි. මේ උතුම් අවස්ථාව මග හැරෙන්ට ඉඩ දෙන්න එපා! මේ උතුම් අවස්ථාව අහිමි කරගත්ත ගොඩක් පිරිස නිරයේ ඉපදිලා දුක් විඳිනවා.”

30.1.2.-25 “උපශාන්ත වෙන්ට ඕන. වරදින් වැළකී සිටින්ට ඕන. කථා බස් කළ යුත්තේ නුවණින් විමසලාමයි. උඩඟු වෙන්ට හොඳ නෑ. සුළං හමලා ගහක කොළයක් ගලවලා දානව වගේ පාපී දේවල් ඉවත් කරන්ට ඕන.”

‎30.1.2.-26 “උපශාන්ත වෙලා, වරදින් වැළකිලා, නුවණින් විමසා කරන, උඩඟු නැති භික්ෂුව තමයි පාපී දේවල් ඉවත් කරන්නෙ සුළං හමලා ගහක කොළයක් ගැලවිලා යනවා වගෙයි.”

30.1.2.-27 “උපශාන්ත වෙලා, කෙළෙස් පීඩා නැතිව, පහන් සිතින්, නොකැළඹුණු සිතින් ඉන්න, යහපත් ගුණධර්ම ඇති නුවණැති භික්ෂුවට හැම දුකක්ම අවසන් කරන්ට පුළුවන්.”

30.1.2.-28 “සමහර ගිහිපැවිදි උදවිය ගැන විශ්වාස කරන්ට හොඳ නෑ. ඔවුන් කාලෙකට යහපත්. තව කාලෙකට අයහපත්. කාලෙකට අයහපත්. කාලෙකට යහපත්.”

30.1.2.-29 “කාමාශාවත්, තරහත්, නිදිමත හා අලස බවත්, සිතේ විසිරීම හා පසුතැවීම ආදියත්, සැකයත් තමා භික්ෂුවගේ සිත කෙලෙසලා දාන්නෙ.”

30.1.2.-30 “එහෙත් අප්‍රමාදීව ධර්මයේ හැසිරෙන භික්ෂුවගේ සමාධිය සත්කාර සම්මාන ඉදිරියේදීත්, අසත්කාර නින්දා ඉදිරියේදීත් කම්පා වන්නෙ නැතිනම්,”

30.1.2.-31 “හැම තිස්සෙම ධ්‍යාන වඩන, ඉති සියුම් දෘෂ්ටි පවා විදර්ශනා කරන, උපාදාන නැති කිරීමෙහි ඇලුණ, භික්ෂුවටයි ‘සත්පුරුෂයා’ කියල කියන්නෙ.”

30.1.2.-.32 “මහ සාගරය, මහ පොළොව, මහමේරුව, මහ සුළං වගේ දේ පවා අපගේ ශාස්තෘන් වහන්සේ පෙන්වා වදාළ උතුම් විමුක්තියට උපමා කරන්ට බෑ.”

30.1.2.-33 “මහා නුවණක් තියෙන, සමාධිමත් සිතක් තියෙන, බුදු සමිඳුන්ගේ ධර්ම චක්‍රය ඒ අයුරින්ම පවත්වන ඒ සැරියුත් තෙරුන් වහන්සේ මහා පොළොව වගේ, ජලය වගේ, ගින්නක් වගේ කිසි අරමුණකට ඇලෙන්නෙත් නෑ. ගැටෙන්නෙත් නෑ.”

30.1.2.-34 “ප්‍රඥා පාරමිතාවට පත්වෙලා, මහා බුද්ධියකින් යුක්ත, මනා සිහිනුවණකින් යුක්ත, නිවී ගිය සිතක් ඒ භික්ෂුවට තියෙන්නේ. ඒ වුණත්, බුද්ධිහීන නැති ඒ භික්ෂුව හැමතිස්සෙම හැසිරෙන්නෙ කිසිවක් නොදන්න කෙනෙක් වගේ.”

30.1.2.-35 “මාත් ශාස්තෘන් වහන්සේව ගෞරවයෙන් ඇසුරු කළා. බුදු සසුන සම්පූර්ණ කරගත්තා. කෙලෙස් බර පැත්තකින් තිබ්බා. භව රැහැන් මුලින්ම සිඳල දැම්මා.”

30.1.2.-36 “අප්‍රමාදීව ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ගමන් කරන්න. මට කියන්ට තියෙන්නෙ එච්චරයි. සියලු භවයෙන් නිදහස් වුණ මං දැන් පිරිනිවන්පාන්ටයි යන්නේ.”

මේ වනාහී ආයුෂ්මත් සාරිපුත්ත නම් රහත් මුනිඳුන් වදාළ ගාථාවන් ය.

‎30.1.2.-26 “උපශාන්ත වෙලා, වරදින් වැළකිලා, නුවණින් විමසා කරන, උඩඟු නැති භික්ෂුව තමයි පාපී දේවල් ඉවත් කරන්නෙ සුළං හමලා ගහක කොළයක් ගැලවිලා යනවා වගෙයි.”

30.1.2.-27 “උපශාන්ත වෙලා, කෙළෙස් පීඩා නැතිව, පහන් සිතින්, නොකැළඹුණු සිතින් ඉන්න, යහපත් ගුණධර්ම ඇති නුවණැති භික්ෂුවට හැම දුකක්ම අවසන් කරන්ට පුළුවන්.”

30.1.2.-28 “සමහර ගිහිපැවිදි උදවිය ගැන විශ්වාස කරන්ට හොඳ නෑ. ඔවුන් කාලෙකට යහපත්. තව කාලෙකට අයහපත්. කාලෙකට අයහපත්. කාලෙකට යහපත්.”

30.1.2.-29 “කාමාශාවත්, තරහත්, නිදිමත හා අලස බවත්, සිතේ විසිරීම හා පසුතැවීම ආදියත්, සැකයත් තමා භික්ෂුවගේ සිත කෙලෙසලා දාන්නෙ.”

30.1.2.-30 “එහෙත් අප්‍රමාදීව ධර්මයේ හැසිරෙන භික්ෂුවගේ සමාධිය සත්කාර සම්මාන ඉදිරියේදීත්, අසත්කාර නින්දා ඉදිරියේදීත් කම්පා වන්නෙ නැතිනම්,”

30.1.2.-31 “හැම තිස්සෙම ධ්‍යාන වඩන, ඉති සියුම් දෘෂ්ටි පවා විදර්ශනා කරන, උපාදාන නැති කිරීමෙහි ඇලුණ, භික්ෂුවටයි ‘සත්පුරුෂයා’ කියල කියන්නෙ.”

30.1.2.-.32 “මහ සාගරය, මහ පොළොව, මහමේරුව, මහ සුළං වගේ දේ පවා අපගේ ශාස්තෘන් වහන්සේ පෙන්වා වදාළ උතුම් විමුක්තියට උපමා කරන්ට බෑ.”

30.1.2.-33 “මහා නුවණක් තියෙන, සමාධිමත් සිතක් තියෙන, බුදු සමිඳුන්ගේ ධර්ම චක්‍රය ඒ අයුරින්ම පවත්වන ඒ සැරියුත් තෙරුන් වහන්සේ මහා පොළොව වගේ, ජලය වගේ, ගින්නක් වගේ කිසි අරමුණකට ඇලෙන්නෙත් නෑ. ගැටෙන්නෙත් නෑ.”

30.1.2.-34 “ප්‍රඥා පාරමිතාවට පත්වෙලා, මහා බුද්ධියකින් යුක්ත, මනා සිහිනුවණකින් යුක්ත, නිවී ගිය සිතක් ඒ භික්ෂුවට තියෙන්නේ. ඒ වුණත්, බුද්ධිහීන නැති ඒ භික්ෂුව හැමතිස්සෙම හැසිරෙන්නෙ කිසිවක් නොදන්න කෙනෙක් වගේ.”

30.1.2.-35 “මාත් ශාස්තෘන් වහන්සේව ගෞරවයෙන් ඇසුරු කළා. බුදු සසුන සම්පූර්ණ කරගත්තා. කෙලෙස් බර පැත්තකින් තිබ්බා. භව රැහැන් මුලින්ම සිඳල දැම්මා.”

30.1.2.-36 “අප්‍රමාදීව ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ගමන් කරන්න. මට කියන්ට තියෙන්නෙ එච්චරයි. සියලු භවයෙන් නිදහස් වුණ මං දැන් පිරිනිවන්පාන්ටයි යන්නේ.”

මේ වනාහී ආයුෂ්මත් සාරිපුත්ත නම් රහත් මුනිඳුන් වදාළ ගාථාවන් ය.

‎30.1.1.-2 “මගේ මේ ප්‍රශ්නයට පිළිතුරු දෙනු මැනව. අනාගතයේ බිහිවන භික්ෂූන් වහන්සේලා කුමකට කැමති වේවිද? ඉලක්කය කුමක් වේවිද? මොන වගේ ආකල්ප වලින් යුක්ත වේවිද?”

30.1.1.-3 “පින්වත් පණ්ඩර තාපසය, එහෙම නම්, මම කියන දේ අහන්න. අනාගතයේ සිදුවන දේ මම කියන්නම්. හොඳින් මතක තියාගන්න.”

30.1.1.-4 “අනාගතයේ ඇති වන භික්ෂූන් වහන්සේලා, බොහෝ විට කරන්නේ ක්‍රෝධ කරන එක. පළිගන්න එක. ඇති ගුණ මකන එක. මාන්නයෙන් ඉදිමිලා නැති ගුණ හුවා දක්වන එක. ඉරිසියාවෙන් ඉඳගෙන වාදවිවාද කරන එක.”

30.1.1.-5 “ගැඹුරු ධර්මය දන්න බවට මාන්නයෙන් හිතාගෙන වටපිටාවේ දුවන එක විතරයි ඒ ගොල්ල කරන්නේ. චපල සිත් ඇති ඒ උදවිය සද්ධර්මය කෙරෙහිත් ගෞරවයක් නෑ. ඔවුනොවුන් කෙරෙහිත් ගෞරවයක් නෑ.”

30.1.1.-6 “අනාගත ලෝකයේ මේ විදිහට බොහෝ ආදීනව පහළ වෙනවා. බුදු සමිඳුන් මේ ධර්මය වදාළේ ඉතා පිරිසිදු ලෙස. එහෙත් නොයෙක් මිත්‍යා මත වලින් මේ ධර්මය කිළිටි කරල දානවා.”

30.1.1.-7 “අනාගතයේ බලවත් වෙන්නේ ඒ භික්ෂූන් තමයි. ඒ උදවිය සංඝයාගේ ප්‍රධානත්වය උසුලනවා. එහෙත් ගුණයෙන් හීනයි. දහම තුළ විශාරද නෑ. සද්ධර්මය දන්නෙත් නෑ. කටවාචාලකම විතරයි තියෙන්නෙ.”

30.1.1.-8 “සංඝයා අතර වැඩසිටිනවා ගුණවත් භික්ෂූන් වහන්සේලා. ධර්මාවබෝධයත් තියෙනව. ලැජ්ජා බයත් තියෙනව. ඒ යහපත් භික්ෂූන් වහන්සේලාව වැඩකට නැති උදවිය වාගේ දුර්වල වෙලා යනවා.”

30.1.1.-9 “ප්‍රඥා රහිත පාපී භික්ෂූන් මොකද කරන්නේ, ඒ ගොල්ල රන් රිදී කෙත් වතු එළු බැටලුවන් දැසි දස්සන් පිළි ගන්නවා.”

30.1.1.-10 “ඔවුන්ට නුවණක් නෑ. සීලෙකුත් නෑ. සමාධියකුත් නෑ. මාන්නෙන් යුතුව හඬ උස්කරල කතා කර කර ඉන්නවා. සතුන් වගේ කෝලාහලවලට ඇලෙනවා.”

30.1.1.-11 “අනාගත භික්ෂූන් වහන්සේලා නිල්පාට සිවුරු පොරෝගෙන උඩඟු කමින් කුහක කමින් චාටු බස් කිය කියා ශෘංගාර ජීවිත ගත කරමින් උතුම් පුද්ගලයන් විදිහට පෙනී සිටිනවා.”

30.1.1.-12 “අනාගත භික්ෂූන් වහන්සේලා සුදුපාට සිවුරුත් පොරව ගන්නවා. හොඳට තෙල් ගාල කොණ්ඩෙ පීරනවා. ඇස්වල අඳුන් ගාගෙන මහමග යනවා.”

‎30.1.1.-13 “ඔවුන් ගිජු වන්නේ, සුදු පාට වස්ත්‍රයටයි. විමුක්තියට පත් සිතින් යුතු රහතන් වහන්සේලා පඬු ගසා පොරවන ලද පිළිකුල් රහිත වූ ‘අරහත් ධජය’ නම් වූ කසාවත ඔවුන් පිළිකුල් කරනවා.”

30.1.1.-14 “ඔවුන් ලාභයටමයි කැමති වන්නෙ. කම්මැලියි. කිසි වීරියක් නෑ. ඈත දුර වන සෙනසුන්වල හුදෙකලාවේ භාවනා කරන්ට ඔවුන්ට හැකියාවක් නෑ. ගම්වල පන්සල්වලට වෙලා කල් ගත කරනවා.”

30.1.1.-15 “ඔවුන් ජීවත් වෙන්නෙ මිත්‍යා ආජීවයෙන්. ඔවුන්ට යම්කිසි ආදායමක් ලැබෙනව නම්, තමන්ගේ ශිෂ්‍යයන්ව පුරුදු කරවන්නෙත් කිසියම් ආදායමක් ලැබෙන ජීවිතයකටයි. සංවර වෙන්න නොවෙයි.”

30.1.1.-16 “යම් භික්ෂුවකට ලාභ, සත්කාර, කීර්ති, ප්‍රශංසා ලැබෙන්නෙ නැත්නම්, ඔහුට කිසිම පිළිගැනීමක් නැතිව යනව. ආදායම් නැති, සුපේෂල, ප්‍රඥාවන්ත භික්ෂූන් සිටින නමුත්, කවුරුත් උන්වහන්සේලා ඇසුරු කරන්නේ නෑ.”

30.1.1.-17 “තමන්ගේ ධජය තමයි සිවුර. කලුනුග පොතු වලින් යුතු කහටින් පඬු ගහලයි, ඒ සිවුරු පිළියෙල කරන්නේ. නමුත් කසාවතට ගරහල අන්‍යාගමිකයන්ගේ සංකේතය වන සුදු වස්ත්‍ර දරාගන්නවා.”

30.1.1.-18 “කසාවත ගැන ඔවුන්ගේ ගෞරවය නැතිවෙලා ගියාම, චීවර ප්‍රත්‍යවේක්ෂාවත් ඔවුන් අත්හැරල දානවා.”

30.1.1.-19 “විස සහිත හුලකින් පහර කාළ, දුක් පීඩා විඳ විඳ හිටියත් ඒ ඡද්දන්ත හස්ති රාජයා පවා කටුක පීඩා අභියස, නොසිතිය හැකිතරම් වේදනා ලැබෙද්දිත්, මේ උතුම් කසාවතට ගෞරව කළා.”

30.1.1.-20 “එදා ඒ ඡද්දන්ත හස්ති රාජයා, පඬු ගහල සකසපු අරහත් ධජය දැකල ඒ සැණින්ම මෙන්න මේ ගාථාවන් කියන්න පටන් ගත්තා.”

30.1.1.-21 “කෙලෙස් ඉවත් නොකළ කෙනෙක්, ඉන්ද්‍රිය දමනයක් නැති කෙනෙක්, සත්‍යයයෙන් තොර කෙනෙක්, සිවුරු දරාගෙන හිටියත්, ඇත්තෙන්ම ඒ තැනැත්තා සිවුරට සුදුස්සෙක් නොවෙයි.”

30.1.1.-22 “කෙලෙස් ඉවත් කරපු කෙනෙක්, සිල්වත් වෙලා, සමාහිත සිත් ඇතිව, ඉන්ද්‍රිය දමනයත් ඇතිව, සත්‍යයෙන්ද යුක්තව නම් සිවුරු දරාගෙන ඉන්නෙ, ඇත්තෙන්ම එයාට මයි සිවුරු සුදුසු.”

‎30.1.1.-23 “සීලයක් නැති, ප්‍රඥාවක් නැති, සිතට එන එන දේ කරන කියන, අවුල් වී ගිය සිත් ඇති කුසල් දහම් නැති කෙනෙකුට මේ සිවුර නම් ගැලපෙන්නෙ නෑ.”

30.1.1.-24 “ඇත්තෙන්ම කෙනෙක් සිල්වත් වෙලා, සිත සමාහිත කරගෙන, පිරිසිදු අදහස් ඇතිව නම් ඉන්නෙ, එයා ඒකාන්තයෙන්ම කසාවතට සුදුස්සෙක්.”

30.1.1.-25 “කෙනෙක් උඩඟු නම්, මාන්නයෙන් ඉදිමිලා නම්, අවබෝධ ඥානයක් නැති නම්, සීලයකුත් නැති නම්, එයාට ගැලපෙන්නේ සුදු වස්ත්‍රයක් තමයි. කසාවත් මොනවටද?”

30.1.1.-26 “අනාගත භික්ෂූන් මෙන්ම භික්ෂුණඹ්න්, දුෂ්ට සිතින් ඉඳගෙන, අගෞරවයෙන් තමයි කල් යවන්නෙ. මෛත්‍රී සිතින් වසන අකම්පිත සිත් ඇති රහතන් වහන්සේලාටත් ඒ උදවිය ගරහන්ට පටන් ගන්නවා.”

30.1.1.-27 “සිල්වත් තෙරුන් වහන්සේලා, ඒ නුවණ නැති, දුස්සීල, ඉඳුරන් දමනයක් නැනි, සිතට එන එන දේ කරන, අඥානයව හික්මවන්ට මහන්සි ගත්තද, ඒකට ඇහුම්කන් දෙන්නෙ නෑ.”

30.1.1.-28 “ඒගොල්ල හැදෙන්නෙ අන්න ඒ විදිහටයි. ඔවුනොවුන් කෙරෙහි ගෞරවයක් නෑ. උපාධ්‍යායන් වහන්සේලා කෙරෙහි ගෞරවයක් නෑ. රථාචාරියාට කීකරු නැති අශ්වයන් වගේ.”

30.1.1.-29 “යහපත් භික්ෂූන්ගේත්, භික්ෂුණීන්ගේත් කාලය අවසන් වෙලා යනකොට අනාගතයේ පහළ වන්නේ ඔය ආකාර වත්පිළිවෙත් තමයි.”

30.1.1.-30 “අනාගතයේදී මේ භයානක තත්වය ඇති වෙන්නෙ. ඒක සිද්ධ වෙන්න කලින්, ධර්මයට කීකරුව මෘදු සිත් ඇතිව මාන්නයක් නැතිව, ඔවුනොවුන් කෙරෙහි ගෞරවයෙන් වාසය කරන්ට ඕන.”

30.1.1.-31 “මෛත්‍රී සිත් ඇති කරගන්ට ඕන. කරුණාවන්ත ජීවිතයක් ගෙවන්ට ඕන. සිල්වත් වෙලා සංවරයෙන් යුක්තව පටන් ගත් වීරිය පවත්වන්ට ඕන. දිවි දෙවෙනි කොට ධර්මයේ හැසිරෙන්ට ඕන. වීරියෙන් වාසය කරන්ට ඕන.”

30.1.1.-32 “ධර්මයේ හැසිරෙන්ට ප්‍රමාද වීම භයානක දෙයක් වශයෙන් දකින්ට ඕන. අප්‍රමාදය කෙම්බිමක් වශයෙන් දකින්ට ඕන. ඒ අමා නිවන ස්පර්ශ කිරීමට ආර්ය අෂ්ටාංගික මාර්ගය මවඩන්ට ඕන.”

මේ වනාහී ආයුෂ්මත් ඵුස්ස නම් රහත් මුනිඳුන් වදාළ ගාථාවන් ය.

40.1.1.-1 “පිරිස් පිරිවරාගෙන හැසිරෙන්ට හොඳ නෑ. පිරිස් පිරිවරාගෙන ඉන්ට පුරුදු වුණොත් හිතත් නොමග යනවා. සමාධිය ලබාගන්ටත් අපහසුයි. නොයෙක් ජනයාට සංග්‍රහ කර කර කල් ගෙවීම දුකක්. මේ ආදීනවය තේරුම් ගන්ට ඕනෑ. පිරිස් සමග එකතු වීම ගැන අකමැති වෙන්ට ඕනෑ.”

‎40.1.1.-2 “මුනිවරයා හිතවත් දායක ගෙවල් ගානෙ ඇවිදින්ට යන්නෙ නෑ. එහෙම ඇවිදින්න ගියොත් හිත නොමග යනවා. සමාධිය ලබාගන්නටත් අපහසුයි. ඒගොල්ල පූජා කරන රසවත් කෑම බීමවලට ගිජු වෙලා ඒකටම උත්සාහ කරාවි. එතකොට සැපය සලසන ජීවිත අර්ථය අහිමි වෙලා යනවා.”

40.1.1.-3 “දායක පවුල්වලින් ලැබෙන වැඳුම් පිදුම් ගැන, මඩ ගොඩක් හැටියටයි නුවණැත්තන් සැලකුවේ. ඒවාට ඇතිවන ඇල්ම උදුරා දමන්ට අමාරු සියම් හුලක් වගෙයි. අසත්පුරුෂයෙකුට ලාභ සත්කාර අත්හැරීම දුෂ්කර දෙයක්.”

40.1.1.-4 “දවසක් මං වනාන්තරයෙන් මාවතට ඇවිදින් නගරයට පිණ්ඩපාතෙ වැඩියා. මං දැක්කා ආහාර අනුභව කරමින් ඉන්න කුෂ්ඨ රෝගියෙක්ව. ඉතා යහපත් සිතින්මයි මං එයා ළඟට ගියේ.”

40.1.1.-5 “ඒ කුෂ්ඨ රෝගියා තමන්ගේ අතින් බත් පිඬක් අරගෙන මගේ පාත්තරේට පූජා කළා. ඒ බත් පිඬ පාත්තරේට දමනවත් එක්කම එයාගේ ඇඟිල්ලකුත් පාත්තරේට වැටුණා.”

40.1.1.-6 “මං ඒ දානෙ පිළිගත්තා. අගුපිලක වාඩිවුණා. ඒ බත් පිඬ වැළඳුවා. ඒ දානෙ වළඳන කොටත් වැළඳුවාට පස්සෙත් මගේ හිතේ කිසි පිළිකුලක් ඇතිවුණේ නෑ.”

40.1.1.-7 “ඇත්තෙන්ම යමෙකුට තිබෙනවා නම් පිණ්ඩපාතෙ කරගෙන දානෙ ගැනීමත්, ගොඩ බෙහෙතක් කරගැනීමත්, ගස් සෙවනක වාසය කිරීමත්, පාංශුකූල සිවුරත් යන මේවා, එයාට පුළුවන් සිවු දිශාවේම පහසුවෙන් කල් ගෙවන්ට.”

40.1.1.-8 “මං ඉන්න කන්දට සමහරු නගිද්දි කලන්තෙ හැදෙනවා. බුදු සමිඳුන්ගේ දායාදයක් වන, කාශ්‍යප භික්ෂුව දැන් හරි මහළුයි. ඒ වුණත් හොඳ සිහි කල්පනාවෙන්, හොඳ සිහි නුවණින්, ඉර්ධි බලයෙන් ලැබෙන උපකාරයෙන් කන්දට නැග ගන්නවා.”

40.1.1.-9 “කාශ්‍යප භික්ෂුව පිණ්ඩපාත කරගෙන එනවා. ඊට පස්සෙ ඒ ගල් පර්වතයට නගිනවා. බිය තැති ගැනීම් කිසි දෙයක් නෑ. උපාදාන නැතිව භාවනා කරනවා.”

40.1.1.-10 “කාශ්‍යප භික්ෂුව පිණ්ඩපාත කරගෙන එනවා. ඊට පස්සෙ ඒ ගල් පර්වතයට නගිනවා. එයා ඉන්නෙ කෙලෙස්වලින් පිරිච්ච ජීවිත තිබෙන ලෝකෙ නිවී ගිය හිතක් ඇතිවයි. උපාදාන නැතිව භාවනා කරනවා.”

40.1.1.-11 “කාශ්‍යප භික්ෂුව පිණ්ඩපාත කරගෙන එනවා. ඊට පස්සෙ ඒ ගල් පර්වතයට නගිනවා. එයා තුළ ආශ්‍රව මොකුත් නෑ. නිවන් මග සම්පූර්ණ කරලයි ඉන්නෙ. උපාදාන නැතිව භාවනා කරනවා.”

40.1.1.-12 “හැමතැනම පැතිරිලා තියෙන්නෙ ලුණු වරණ ගස්. ඒ පළාත හරි ලස්සනයි. ඇතුන්ගේ කුංච නාදයෙන් තවත් සුන්දර වෙනවා. ඒ කඳු වළල්ලට මං හරි කැමතියි.”

40.1.1.-13 “එහි තියෙන සීතල වතුරෙ පාට නිල් ආකාසෙ පාටයි. රාත්‍රියට එළිය විහිදන කලාමැදිරියන් පිරෙනවා. ඒ කඳු වළල්ලට මං හරි කැමතියි.”

40.1.1.-14 “වලාකුළු වගේ ඉන්න, කුළු ගෙවල් වගේ ඉන්න, ඒ ඇතුන්ගේ කුංච නාදයෙන් පළාතම සුන්දර වෙනවා. ඒ කඳු වළල්ලට මං හරි කැමැතියි.”

40.1.1.-15 “එහෙට නිතරම වැස්ස. ඒ පැත්ත හරි ලස්සනයි. රහතුන් වැඩසිටින ඒ පර්වතවලට කියන්නෙ ‘නග’ කියලා. මොණරුන් නාද කරන කොට දෝංකාරය දෙනවා. ඒ කඳු වළල්ලට මං හරි කැමැතියි.”

‎40.1.1.-16 “දිවි දෙවැනි කොට ධර්මයේ හැසිරෙන, සිහි නුවණ පවත්වන, ධ්‍යාන වඩන මටත්, ඒ කඳු වළල්ල හොඳට ගැලපෙනවා. දිවි දෙවැනි කොට ධර්මයේ හැසිරෙන යහපත සලසා ගන්නට කැමැති භික්ෂුවක් වන මටත් ඒ කඳු වළල්ල හොඳින් ගැලපෙනවා.”

40.1.1.-17 “දිවි දෙවැනි කොට ධර්මයේ හැසිරෙන, පහසු විහරණයෙන් කල් ගෙවන භික්ෂුවක් වන මටත් මේ කඳු වළල්ල හොඳින් ගැලපෙනවා. දිවි දෙවැනි කොට ධර්මයේ හැසිරෙන භාවනා කරන්ට කැමැති අකම්පිත සිත් ඇති භික්ෂුවක් වන මටත් ඒ කඳු වළල්ල හොඳින් ගැලපෙනවා.”

40.1.1.-18 “ආකාසය, නිල් කටරෝළු මලේ පාටයි. ඒ ආකාසෙ වහගෙන පැතිරිලා නොයෙක් කුරුල්ලො ඉගිල්ලෙනවා. ඒ කුරුල්ලන්ගෙන් ගැවසුන කඳු වළල්ලට මං හරි කැමැතියි.”

40.1.1.-19 “මේ පළාතෙ ගිහි ජනතාව ගැවසීමක් නෑ. නොයෙක් මුව රංචු ගැවසෙනවා. නොයෙක් කුරුල්ලන් ගැවසෙනවා. ඒ කඳු වළල්ලට මං හරි කැමතියි.”

40.1.1.-20 “මෙහෙ වතුර ටිකත් හරිම අගෙයි. පුළුල් ගල්තලාවක් තියෙනවා. වඳුරන් මුවන් වගේ සත්තුත් ඉන්නවා. දිය සෙවෙල්වලින් වැහිල තිබෙන ඒ කඳු වළල්ලට මං හරි කැමැතියි.”

40.1.1.-21 “මට තියෙන්නෙ එකඟ වෙච්ච හිතක්. මම හැම දෙයක්ම විදර්ශනා නුවණට යොමු කරනවා. එතකොට ඒ ධර්මයෙන් මං තුළ පුදුමාකාර සතුටක් ඇති වන්නෙ. පංච තූර්ය නාදයකින් කවදාවත් එවැනි සතුටක් ලබන්ට බැහැ.”

40.1.1.-22 “නිතරම පන්සල්වල ගොඩනැගිලි හද හදා ඉන්ට හොඳ නෑ. පාපී ජනතාවගේ ආශ්‍රය දුරු කර දමන්ට ඕනෑ. සිවුපසය ලබාගැනීමට මහන්සි වීම අවශ්‍ය නෑ. එතකොට එයා රසවත් කෑම බීමවලට ගිජු වෙනවා. ඒ සඳහාම වෙහෙසෙනවා. ඔහුට ජීවිත අර්ථයෙන් ලබන සැප ලබන්ට බැරිව යනවා.”

40.1.1.-23 “නිතරම පන්සල්වල ගොඩනැගිලි හද හදා ඉන්ට හොඳ නෑ. තමාගේ යහපත කැමැති භික්ෂුව ඒ වගේ දේවල් අත්හරින්ට ඕනෑ. ඒ වැඩවලින් කයටත් මහන්සියි. කලන්තෙ හැදෙනවා. දුකට පත් වෙනවා. චිත්ත සමාධියක් ලැබෙන්නෙත් නෑ.”

40.1.1.-24 “ඕනෑවට වඩා හිතට ගත්ත කෙනා තමන්ගේ පමණ දන්නෙ නැතිව කථා කරන්ට ගන්නවා. එයාට තියෙන්නෙ මමත් උතුම් කෙනෙක් කියලා හිතාගෙන බෙල්ල තද කරගෙන ඇවිදිල්ලක් විතරයි.”

40.1.1.-25 “මෝඩ කෙනා තමන් උතුම් කෙනෙක් නොවී සිටිද්දීම උතුම් පුද්ගලයන් හා සමකර ගන්නවා. මාන්නයෙන් ඉදිමිලා ඉන්න ඒ උදවියට නුවණැත්තන් ප්‍රශංසා කරන්නෙ නෑ.”

40.1.1.-26 “මං උතුම් කෙනෙක්. මං උතුම් කෙනෙක් නොවේ. මං පහත් කෙනෙක්. අපි කවුරුත් එකයි යන අදහස් තියෙන්නෙ මාන්නය තුළයි. එවැනි මාන්නයක් තුළ සිතේ කම්පාවක් ඇතිවන්නෙ නැත්නම්,”

40.1.1.-27 “ඒ අකම්පිත සිත් ඇති, ප්‍රඥාවන්ත, සිල්වත්, සමාධිගත සිත් ඇති, චිත්ත සමාධියේම යෙදී සිටින කෙනාටයි නුවණැත්තෝ ප්‍රශංසා කරන්නෙ.”

40.1.1.-28 “සබ්‍රහ්මචාරීන් වහන්සේලා කෙරෙහි ගෞරවයක් නැති නම් ඒ තැනැත්තා සද්ධර්මයෙන් දුරු වෙන්නෙ අහසට පොළොව වගෙයි.”

40.1.1.-29 “පවට ලැජ්ජාවක්, පවට බියක් ඇතිව හැම තිස්සේම හොඳ සිහියෙන් සිටියොත් ඒගොල්ලන්ගෙ බ්‍රහ්චාරී ජීවිතය දියුණු වෙනවා. එතකොට පුනර්භවය නැතිවෙලා යාවි.”

‎40.1.1.-30 “පොරවා ගෙන ඉන්නෙ පාංශුකූල චීවරයක් වුණත්, ඒ භික්ෂුව උඩඟු නම්, චපල නම්, එයා තුළ කිසි සුන්දරත්වයක් නෑ. ඒ කෙනා සිංහ හමක් පොරවා ගෙන ඉන්න වඳුරෙක් වගෙයි.”

40.1.1.-31 “යම් භික්ෂුවක් උඩඟු නැතිව, චපල නැතිව, තැනට සුදුසු නුවණ ඇතිව, ඉඳුරන්ද සංවර කරගෙන නම් ඉන්නෙ එයාට නම් පංශුකූල චීවරය හොඳට ගැලපෙනවා. ඒ කෙනා කන්දෙ ගුහාවක වාසය කරන සිංහ රාජයෙක් වගේ.”

40.1.1.-32 “මෙහෙ ඇවිදින් ඉන්නවා දහදාහක් පමණ වූ බොහෝ දෙවිවරු. ඒගොල්ල ඉර්ධිමත්, කීර්තිමත්. ඒ ඔක්කොම ඇවිදින් ඉන්නෙ බ්‍රහ්මලෝක වලින්.”

40.1.1.-33 “ධර්ම සේනාධිපති වූ, මහා වීර්ය ඇති, ධ්‍යාන ඇති, සමාධිමත් සිත් ඇති සැරියුත් මුනිඳුන්ටයි ඔවුන් දෝත නගා වන්දනා කරමින් සිටින්නේ.”

40.1.1.-34 “ශ්‍රේෂ්ඨ පුරුෂය, ඔබට නමස්කාරය වේවා! පුරුෂෝත්තමය ඔබට නමස්කාර වේවා! ඇත්තෙන්ම ඔබ වහන්සේ භාවනාවට ගන්න අරමුණ කුමක්ද කියා අපට සොයාගන්ට බැහැ.”

40.1.1.-35 “ඒකාන්තයෙන්ම ආශ්චර්යයයි. බුදුවරයන් වහන්සේලාගේ විෂය ක්ෂේත්‍රය පරම ගම්භීරයි. අස්ලෝමයකින් විදින දක්ෂ දුනුවායන් වගේ ඉන්න අපට ඉතා ශූක්ෂම ලෙස සිතන්ට පුළුවන්. අපට පවා ඒක දැන ගන්ට බැහැ.”

40.1.1.-36 “දිව්‍ය සේනාව විසින් වැඳුම් පිදුම් කරන පූජනීය සැරියුත් මුනිඳුන්ව කාශ්‍යප මුනිඳුන් දැක්කා. ඒ වෙලාවෙ උන්වහන්සේට යහපත් සිනාවක් පැනනැංගා.”

40.1.1.-37 “මහා මුනිවරයාණන් වූ බුදු සමිඳුන්ගේ සකල විධ බුද්ධ ක්ෂේත්‍රය තුළ උන්වහන්සේ හැරුණු කොට ඒ ධුතාංග දරාගන්ට ඉන්නෙ මං විතරයි. ඒ ධුතාංග තුළ මම ශ්‍රේෂ්ඨත්වයට පත්වුණා.”

40.1.1.-38 “මාත් බුදු සමිඳුන්ව ගෞරවයෙන් ඇසුරු කළා. බුදු සසුන සම්පූර්ණ කරගත්තා. කෙලෙස් බර පැත්තකින් තිබ්බා. මට ආයෙත් පුනර්භවයක් නම් නෑ.”

40.1.1.-39 “මේ කාශ්‍යප භික්ෂුව තුළත් අප්‍රමාණ ගුණ තිබෙනවා. සිවුරුවලට, කුටිවලට, දානෙට ඇලෙන්නෙ නෑ. වතුරෙ වැඩිලා වතුරෙ නොතැවරී පිපිල සුවඳ හමන ලස්සන නිල් මහනෙල් මලක් වගෙයි. සියලු භවයන්ගෙන්ම එයා නිදහස් වෙලයි ඉන්නෙ.”

40.1.1.-40 “ඒ මහා මුනිවරයාට සතිපට්ඨානය නම් බෙල්ලක් තියෙනවා. ශ්‍රද්ධාව නම් දෑතක් තියෙනවා. ප්‍රඥාව නම් හිසක් තිබෙනවා. ඒ මහා නුවණැති කෙනා හැම තිස්සේම ඉන්නෙ නිවී ගිය හිතකින්.”

මේ වනාහී ආයුෂ්මත් මහා කාශ්‍යප නම් රහත් මුනිඳුන් වදාළ ගාථාවන් ය.

50.1.1.-1 “මං මේ කල්පනා කරන්නෙ දිය ඇලි ගලන වනාන්තරයකට ගිහින් හුදෙකලාවේම තණ්හාවක් නැති සිතින් කල් ගෙවන්නෙ කවදාද කියලා. ඇත්තෙන්ම මං කවදාද මේ සියලු භවයන් අනිත්‍ය වශයෙන් විදර්ශනා කරන්නෙ? මං කවදාද මගේ මේ අදහස් ඉෂ්ට කරගන්නෙ?”

‎50.1.1.-1 “මං මේ කල්පනා කරන්නෙ දිය ඇලි ගලන වනාන්තරයකට ගිහින් හුදෙකලාවේම තණ්හාවක් නැති සිතින් කල් ගෙවන්නෙ කවදාද කියලා. ඇත්තෙන්ම මං කවදාද මේ සියලු භවයන් අනිත්‍ය වශයෙන් විදර්ශනා කරන්නෙ? මං කවදාද මගේ මේ අදහස් ඉෂ්ට කරගන්නෙ?”

50.1.1.-2 “ඉරිච්චි සිවුරක් පොරවාගෙන ඉන්න මුනිවරයෙක් වෙලා මාත් කසාවතක් පොරවා ගන්නෙ කවදාද? මමත්වයක් තණ්හාවක් නැති සිතින් කල් ගෙවන්නෙ කවදාද? රාග, ද්වේෂ, මෝහ සිතින් ඉවත් කරල මහා වනාන්තරයක සැනසිල්ලේ කල් ගෙවන්නෙ කවදාද?”

50.1.1.-3 “මේක අනිත්‍ය ශරීරයක්. නොයෙක් ලෙඩ හැදිල වේදනා විඳිනවා. ජරා මරණවලින් පීඩා විඳින කැදැල්ලක් වගෙයි. ඉතින් මාත් මේ ශරීරය විදර්ශනය කරල කිසි බයක් නැතිව තනියම මහා වනාන්තරයේ කල් ගෙවන්නෙ කවදාද?”

50.1.1.-4 “මේ තණ්හාව කියන්නෙ බිය උපදවන දෙයක්. දුක් ලබා දෙන දෙයක්. වැල්පටක් වගේ එතිල තියෙන්නෙ. ඉතින් මාත් ප්‍රඥාවෙන් හදපු තියුණු කඩුවක් අරගෙන ඒ වැල්පොට කෑලිවලට කපල දාන්නෙ කවදාද? මගේ මේ අදහස් මං ඉෂ්ට කර ගන්නෙ කවදාද?”

50.1.1.-5 “සමථ විදර්ශනා නමින් සිංහාසනයක් තියෙනවා. රහතුන්ගේ උග්‍ර තේජස් ඇති ප්‍රඥාවෙන් හදපු ආයුධ තියෙනවා. ඉතින් මමත් ඒ සිංහාසනයේ වාඩිවෙලා ඒ ආයුධ දරාගෙන මේ මාර සේනාවට දරුණු විදිහට පහර දෙන්නෙ කවදාද? මං මේ අදහස් ඉෂ්ට කර ගන්නෙ කවදාද?”

50.1.1.-6 “මං හරි ආසයි සත්පුරුෂ ආශ්‍රයට, ධර්මය ගරු කරන සත්‍යය අවබෝධ කළ අකම්පිත සිත් ඇති ඉඳුරන් ජයගත්තු ඒ සත්පුරුෂ උතුමන් සමග මාත් එකතු වෙලා හැසිරෙන්නෙ කවදාද?”

50.1.1.-7 “මං හරි ආසයි නිවන අවබෝධ කරගන්ට. ඉතින් මාත් කම්මැලි නැතිව, සා පිපාසා නැතිව, අව් සුළං පීඩා නැතිව, මැසි මදුරු සර්පයන්ගෙන් පීඩා නැතිව, කන්දෙ ගුහාවක නවතින්ට යන්නෙ කවදාද? මගේ ඒ අදහස මං ඉෂ්ට කරගන්නේ කවදාද?”

50.1.1.-8 “මහා ඉසිවර බුදු සමිඳුන් විසිනුයි, මේ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගත්තෙ. ඉතින් අවබෝධ කරන්ට දුෂ්කර වූ ඒ චතුරාර්ය සත්‍ය ධර්මය හොඳට සිහිය පිහිටුවා ගෙන සමාධිය ඇති කරගෙන ප්‍රඥාව දියුණු කරගෙන මාත් අවබෝධ කරගන්නෙ කවදාද? මගේ මේ අදහස මං ඉෂ්ට කර ගන්නෙ කවදාද?”

50.1.1.-9 “සමාධියක් ඇති කරගන්ට මං හරි කැමතියි. ඉතින් ඒ සමාහිත සිතින් මේ අප්‍රමාණ රූප, ශබ්ද, ගන්ධ, රස, පහස, අරමුණු ඔක්කොම ඇවිලුණ ගින්නක් වගේ ප්‍රඥාවෙන් දකින්නෙ කවදාද? මගේ මේ අදහස මං ඉෂ්ට කරගන්නෙ කවදාද?”

50.1.1.-10 “නපුරු වචන අසන්ට ලැබුණොත් ඒ ගැන දුකක් නැතිව මං ඉන්නෙ කවදාද? මට ප්‍රශංසා කරද්දී ඒ ප්‍රශංසාවෙන් මං උදම් නොවී ඉන්නෙ කවදාද? මගේ මේ අදහස මං ඉෂ්ට කරගන්නෙ කවදාද?”

50.1.1.-11 “මං තුළත්, මගෙන් බාහිරත් මේ පංච උපාදානස්කන්ධ ඔක්කොම ලී කැබලි විදිහට, තණකොළ විදිහට, නුවණින් දකින්නෙ කවදාද? මගේ මේ අදහස මං ඉෂ්ට කරගන්නෙ කවදාද?”

50.1.1.-12 “වැස්ස කාලෙට මහ වනාන්තරයෙ රහතුන් වැඩිය මග මාත් සිවුරු දරාගෙන යන කොට ඒ වැස්සෙන් තෙමි තෙමී මං යන්නෙ කවදාද? මගේ ඒ අදහස මං ඉෂ්ට කරගන්නෙ කවදාද?”

50.1.1.-13 “මහ වනාන්තරයෙ කඳු අතරෙ ඉන්න මොණරු නාද කරනවා. එතකොට ඒ හඬට ඇහැරිලා යහනින් නැගිටලා නිවන් අරමුණු කරගෙන මං භාවනා කරන්නෙ කවදාද? මගේ ඒ අදහස මං ඉෂ්ට කරගන්නෙ කවදාද?”

50.1.1.-14 “ගංගා, යමුනා, සරස්වතී වගේ මහා ගංගා තියෙනවා. ඉතා භයානක ප්‍රපාත තියෙනවා. විශාල වැව් තියෙනවා. ඒවා පයින් ස්පර්ශ නොකොට මං ඉර්ධි බලයෙන් එතෙර වන්නෙ කවදාද? මගේ ඒ අදහස මං ඉෂ්ට කරගන්නෙ කවදාද?”

50.1.1.-15 “ඇත් රැලෙන් වෙන්වෙච්ච හස්ති රාජයෙක් වගේ, මේ පංචකාමයන් තුළ තියෙන සුන්දර විදිහට පෙනෙන මේ සියලු අරමුණුවලට ඇති ආශාවෙන් වෙන්වෙලා මං භාවනා කරන්නෙ කවදාද? මගේ ඒ අදහස මං ඉෂ්ට කරගන්නෙ කවදාද?”

‎50.1.1.-16 “ණයක් අරගෙන දුක් විඳින දිළින්දෙකුට නිධානයක් හම්බවුණා වගේ, මහා ඉසිවර බුදු සමිඳුන්ගේ ශාසනය අවබෝධ කරගෙන ඉතිරී ගිය සතුටින් මං වාසය කරන්නෙ කවදාද? මගේ මේ අදහස මං ඉෂ්ට කරගන්නෙ කවදාද?”

50.1.1.-17 “ඒයි, සිත! අවුරුදු ගණනාවක් තිස්සෙ පුල පුලා බලා ඉඳලා නේද මේ ගිහි ජීවිතය අත්හැරියේ. නුඹ මට පැවිදි වෙන්ට කොයිතරම් බල කෙරුවාද? ඔන්න මම දැන් මහණ වුණා. ඒයි සිත! දැන් නුඹ භාවනා නොකරන්නෙ ඇයි?”

50.1.1.-18 “ඒයි සිත! නුඹ මගෙන් ඉල්ලා සිටිය නේද වනාන්තරයට යන්න කියල. කඳු අතර කුරුල්ලො නාද කරද්දී දිය ඇලි ගලා බසිද්දී ගල් තලාවක් මත ඉඳගෙන භාවනා කරන්ට කීවා නේද? නුඹ ඒ ගැන ගොඩක් ආශාවෙන් ඉන්නවා, කියල කීවා නේද?”

50.1.1.-19 “ඒයි සිත! නුඹගේ ඉල්ලීමට මං ගෙවල් දොරවල් අත්හැරියා. නෑ හිත මිතුරන් අත්හැරියා. කෙළි සෙල්ලම් අත්හැරියා. හැම කාම ගුණයක්ම අත්හැරියා. මහණ වුණා. ඔන්න මං වනාන්තරයටත් ආවා. එහෙත් නුඹ දැන් මොකද මාව නිවන් මගේ යොදවල සතුටු නොකරන්නෙ?”

50.1.1.-20 “ඒයි සිත! ඔය සිත වෙන කෙනෙකුගෙ නොවෙයි. මගේ කියලයි සලකන්ට තියෙන්නෙ. ඔන්න මං දැන් කෙලෙස් යුද්ධයට ලෑස්ති වෙනවා. දැන් මොකද නුඹ වැළපෙන්නෙ? මේ හැම දෙයක්ම නැසී යන ස්වභාවයෙන් යුක්ත බව මං තේරුම් ගත්තා. ඒ නිසයි මං අමා නිවන සොයාගෙන අභිනිශ්ක්‍රමණය කළේ.”

50.1.1.-21 “ඒයි සිත! නුඹ දන්නවාද? ඉතා යහපත් දේ පවසන පුරුෂෝත්තම වූ මහා වෛද්‍යවරයා වූ පුරිසදම්ම සාරථී වූ බුදු සමිඳුන් සිත ගැන වදාළ දේ. සිත කියන්නෙ චපල දෙයක්. වනාන්තරයේ හැසිරෙන වඳුරෙක් වගෙයි. රාගය දුරු නොකළ කෙනාට සිත පාලනය කිරීම ඉතාම දුෂ්කරයි.”

50.1.1.-22 “පෘථග්ජන සත්වයා ඉන්නෙ අවිද්‍යාව තුළ. ඉතින් ඒ සත්වයා මේ විසිතුරු වූ මිහිරි වූ සිත් ඇදගන්නා වූ කාමයටම ඇලෙනවා. ආයෙමත් භවයම සොය සොයා යන ඒ ගොල්ල දුකටමයි කැමති. ඒ ගොල්ලන්ව යහපතින් වලක්වලා නිරය දක්වාම ඇදගෙන යන්නෙ මේ සිත විසිනුයි.”

50.1.1.-23 “මහ වනාන්තරයෙ මොණරු, කොවුලො නාද කරනවා. ව්‍යාඝ්‍රයෝ, වන සතුන් ඉදිරියට මුණ ගැසෙනවා. ජීවිතය ගැන ඇති බලාපොරොත්තු අත්හරින්ට වෙනවා. මේ උතුම් අවස්ථාව අහිමි කරගන්ට එපා. ඒයි සිත! ඉස්සර මාව මේ මහණ ජීවිතයට යොමු කළේ නුඹ නොවේද?”

50.1.1.-24 “දැන් භාවනා කරන්ට ඕනෑ. ශ්‍රද්ධා ආදී ඉන්ද්‍රිය ධර්මයන් දියුණු කරගන්ට ඕනෑ. බල ධර්මයන් දියුණු කරගන්ට ඕනෑ. බොජ්ඣංග ධර්මයන්, සමාධි භාවනා දියුණු කරගන්ට ඕනෑ. ත්‍රිවිද්‍යාව මේ බුදු සසුනේදී ලබා ගන්ට ඕනෑ කියල ඉස්සර මාව මහණ ජීවිතයට යොමු කළේ ඒයි සිත! නුඹ නොවේද?”

50.1.1.-25 “අමා නිවන් මගේ පුහුණු වෙන්ට ඕනෑ. හැම දුක් නැතිකරන, හැම කෙලෙස් සෝදා හරින, නිවන කරා පමුණුවන ආර්ය අෂ්ටාංගික මාර්ගය වඩන්ට කියලා, ඒයි සිත! මාව මේ මහණ ජීවිතයට යොමු කළේ නුඹ නොවේද?”

50.1.1.-26 “පංචඋපාදානස්කන්ධයන් විදර්ශනා කරන්න, එය දුකක් බව අවබෝධ කරන්න, ඒ දුක හදන දෙය ප්‍රහාණය කරන්න, මේ ජීවිතයේ දී ම දුක් අවසන් කරන්න කියලා ඒයි සිත! ඉස්සර මාව මේ මහණ ජීවිතයට යොමු කළේ නුඹ නොවේද?”

50.1.1.-27 “මේ සංස්කාර අනිත්‍ය වශයෙන්, දුක් වශයෙන්, ශූන්‍ය වශයෙන්, අනාත්ම වශයෙන්, පීඩා වශයෙන්, වධයක් වශයෙන් විදර්ශනා කරන්න කියල. මනසේ හැසිරෙන කෙලෙස් වලකන්ට කියල, ඒයි සිත! ඉස්සර මාව මේ මහණ ජීවිතයට යොමු කළේ නුඹ නොවේද?”

50.1.1.-28 “හිස මුඩු කරගෙන, අවලස්සන වෙන්න කීවා. පාත්තරයක් අතට ගන්න කීවා. සසර දුකෙන් සාප ලද්දෙක් වගේ භික්ෂූන් අතරට යන්න කීවා. මහ ඉසිවර ශාස්තෘන් වහන්සේගේ වචනයට අනුව ජීවත් වෙන්න කියලා කීවා. ඒයි සිත! ඉස්සර මාව මේ මහණ ජීවිතයට යොමු කළේ නුඹ නොවේද?”

‎50.1.1.-29 “සිත සංවර කරගන්න කීවා. පිණ්ඩපාතෙ වඩින කොට දායක පවුල් ගැන, කාමයන් ගැන, මනසින් ඇලෙන්ට එපා කීවා. පොහෝ දවසේ පෑයූ පුන් සඳක් වගේ ඉන්ට කීවා. ඒයි සිත! ඉස්සර මාව මේ මහණ ජීවිතයට යොමු කළේ නුඹ නොවේද?”

50.1.1.-30 “වනාන්තරයෙ නවතින්ට කීවා. පිණ්ඩපාතෙන් ජීවත් වෙන්ට කීවා. අමු සොහොනෙ වාසය කරන්ට කීවා. පාංශුකූල සිවුරු පොරව ගන්ට කීවා. නිදා නොගෙන භාවනා කරන්ට කීවා. හැම තිස්සෙම ධුතාංග රකින්න කැමැති වෙන්න කීවා. ඒයි සිත! ඉස්සර මාව මේ මහණ ජීවිතයට යොමු කළේ නුඹ නොවේද?”

50.1.1.-31 “ඒයි සිත! ගෙඩි කැමති කෙනෙක් ලවා ගස් හිටවා ගන්නවා. ඊට පස්සෙ ඒ ගස් මුලින්ම කපල දාන්ටයි කැමති වන්නේ. නුඹත් ඒ වගේ කෙනෙක්. අනිත්‍ය වූ සැලෙන්නා වූ මේ සංසාරයටද නුඹ මාව යොදන්නට හදන්නෙ?”

50.1.1.-32 “ඒයි රූප රහිත සිත! නුඹට දුර ගමන් තියෙනවා. තනියම ඇවිදිනවා. ඒ වුණාට මීට පස්සෙ මං නුඹේ වචනයට අවනත වෙන්නෙ නෑ. කාමයන් කියන්නෙ දුක් ගොඩක්. හරිම කටුකයි. මහ භයානක දෙයක්. මම නම් මුහුණ හරවගෙන ගමන් කරන්නෙ නිවන තියෙන දිශාවටයි.”

50.1.1.-33 “ඒයි සිත! මහණ වුණේ වාසනාවක් නැතිව නොවෙයි. පිඬු සිඟා යන්ට ලැජ්ජා නැතිකමට නොවෙයි. චපල සිත නිසාත් නොවෙයි. ආණ්ඩුවෙන් දඬුවම් ලැබිලත් නොවෙයි. ජීවත් වෙන්ට ක්‍රමයක් නැතිවත් නොවෙයි. මං නුඹේ වසඟයට පත් වෙන්නෙ නෑ කියල ප්‍රතිඥා දීලයි ඉන්නෙ.”

50.1.1.-34 “අල්පේච්ඡකම කියල කියන්නේ රහතුන් විසින් ප්‍රශංසා කළ දෙයක්. ගුණමකුකම නැති කරන කොට දුක සංසිඳෙනවා. ඒයි සිත! ඉස්සර මාව මේ මහණ ජීවිතයට යොමු කළේ නුඹ නොවේද? නමුත් දැන් මොකද නුඹ ආයෙමත් පරණ පුරුද්දට වැටෙන්න හදන්නෙ.”

50.1.1.-35 “අවිද්‍යාව, තණ්හාව, ප්‍රිය, අප්‍රිය දේවල්, සුන්දර රූප, සැප විඳීම, සිත්කළු කාම ගැන, මේවා ඔක්කොම මං වමනෙ කළා. වමනෙ දාපු දෙයක් ආයෙත් ගිලින්ට මට ඕනෙ කමක් නෑ.”

50.1.1.-36 “ඒයි සිත! මං හැම තැනකදීම කළේ නුඹ කියපු දේ. ඒ නිසා බොහෝ ජාතිවලදී මං නුඹ ව කේන්ති ගැස්සුවෙ නෑ. මං තුළින්මයි නුඹ ඉපදුණේ. නුඹට කෙළෙහි ගුණයක් නෑ. ඒ නිසා බොහෝ කලක් මුළුල්ලේ මේ දුක්ඛිත සංසාරෙට මාව කැඳවාගෙන ආවෙ නුඹයි.”

50.1.1.-37 “ඒයි සිත! එක් කාලෙක නුඹ නිසා මං බමුණෙක් වුණා. නුඹ නිසාම මං සිටුවරයෙක් වුණා. නුඹ නිසාම මං රජ වුණා. නුඹ නිසාම වෙළෙන්ඳෙක් වුණා. නුඹ නිසාම දාසයෙක් වුණා. නුඹ නිසාම මං දෙවියෙක් වුණා.”

50.1.1.-38 “නුඹ නිසාම මං අසුර ලෝකෙට ගියා. නුඹ නිසාම මං නිරයටත් ගියා. නුඹ නිසා ම මං තිරිසන් ලෝකයටත් ගියා. නුඹ නිසාම මං ප්‍රේත ලෝකෙටත් ගියා.”

50.1.1.-39 “ඒයි සිත! නුඹ මේ ආයෙ ආයෙමත් ද්‍රෝහි වන්නේ මට නේද? මොහොතින් මොහොත මායාකාරී චිත්‍ර මවල පෙන්වන්නෙ මට නේද? නුඹ මාත් එක්ක ක්‍රීඩා කරන්න හදන්නෙ පිස්සෙක් වගේ නේද? ඒයි සිත! මේ තරම් දේවල් මට කරන්ට මා විසින් නුඹට කළ වරද කුමක්ද?”

50.1.1.-40 “ඒයි සිත! ඉස්සර නුඹ කැමැති විදිහට කැමැති කැමැති තැන්වල හිතු මනාපෙ ඇවිද ගෙන ගියා. එහෙත් අද මං ඒ හිතුවක්කාර හිත යෝනිසෝ මනසිකාරය නම් වූ හෙණ්ඩුවෙන් දමනය කරනවා. මද කිපිච්ච ඇතෙක්ව හෙණ්ඩුවෙන් දමනය කරනවා වගේ.”

50.1.1.-41 “මගේ ශාස්තෘන් වහන්සේ මේ ලෝකය මට පෙන්නා දුන්නෙ අනිත්‍ය වශයෙන්, අස්ථිර වශයෙන්, අසාර වශයෙන්. ඒයි සිත! මාව ඒ බුදු සසුනට ඇතුල් කරපන්. එතෙර වෙන්ට කොහෙත්ම බැරි තරම් දුෂ්කර සංසාර සැඩ පහරින් මාව එතෙර කරපන්.”

50.1.1.-42 “ඒයි සිත! දැන් තිබෙන්නේ නුඹේ ඒ පැරණි සිත නොවේ. දැන් නුඹට ඕනෑ විදිහට මාව හසුරුවන්ට බෑ. මහා ඉසිවර බුදු සමිඳුන්ගේ ශාසනයෙයි මං මහණ වෙලා ඉන්නෙ. ඒ නිසා මං වගේ අය විනාශයට පත් වෙන්නෙ නෑ.”

“කඳු, සාගර, ගංගා, මහ පොළව ආදියත් මේ සතර දිශාවේ සතර අනු දිශාවේ, උඩ, යට හැම තැනකමත් සකස් වෙලා තියෙන ඔක්කොම දේවල් අනිත්‍යයි. තුන් භවයම කෙලෙස් නිසා දුකින් යුක්තයි. ඒයි සිත! නුඹ සතුටින් ඉන්ට හදන්නේ කොහේ ගිහින්ද?”

50.1.1.-45 “ඒයි සිත! මං දැන් දැඩි විදියට වීර්ය පිහිටුවා ගෙන ඉන්නෙ. දැන් නුඹ මට කුමක් කරන්නද? ඒයි සිත! දැන් ඉතින් නුඹේ වසඟයේ මාව පවත්වන්ට බැහැ. දෙපැත්තෙම කටවල් තියෙන අශුචි පුරවපු මල්ලක් කවදාවත් අල්ලන්ට වත් කැමැති නෑ. දොරටු නවයකින් අශුචි වෑහෙන එබඳුම වූ මේ ශරීරයට නින්දා වේවා!”

50.1.1.-46 “ඒයි සිත! වල් ඌරො, මුව පැටව්, ඇවිද ඇවිද යන කඳු බෑවුම් තියෙන, කඳු මුදුන් තියෙන ස්වභාවයෙන්ම ලස්සන, අළුත් වැස්සෙන් තෙත බරිත වෙච්ච ඒ වනාන්තරයේ ගල් ලෙනකටයි නුඹ ආවෙ. දැන් ඉතින් සතුටු වෙයන්.”

50.1.1.-47 “තද නිල් පාට බෙල්ලක් තියෙන සුන්දර සිළු තියෙන ලස්සන පිල් කලඹක් තියෙන විසිතුරු පියාපත් තියෙන කුරුල්ලො ජාතියක් තමයි මොණරු කියන්නෙ. ආකාසය ගොරවන කොට ඒ මොණරු නාදකරනවා. ඒයි සිත! වනන්තරයෙ කුටියක භාවනා කරන නුඹ දැන් ඒ ගැන සතුටු වෙයන්.”

50.1.1.-48 “වැස්ස කාලෙට තණකොළ වැවෙනවා අඟල් හතරක් විතර උසට. මහ වනයෙ මල් පිපෙන්ට ගන්නවා වලාකුළු වගේ. එතකොට මං ඒ කඳු අතරෙ බිම තමයි නිදාගන්නෙ. ඒ නිල් තණ බිම අළුත් යහනක් වගෙයි. හරිම මෘදුයි.”

50.1.1.-49 “ධනවත් පුරුෂයෙක්, කීකරු සේවකයෙක් තියා ගන්නවා වගේ මං නුඹව දමනය කරනවා. සිවු පසයට මොනව හරි දෙයක් ලැබුණොත් මට ඒ ඇති. මට කම්මැලි කමක් නෑ. බළල් හමක් හොඳට පදම් කරනවා වගේ මං නුඹව නිවනට සුදුස්සෙක් කරනවා.”

50.1.1.-50 “ධනවත් පුරුෂයෙක්, කීකරු සේවකයෙක් තියා ගන්නවා වගේ මං නුඹව දමනය කරනවා. සිව්පසයට මොනව හරි දෙයක් ලැබුණොත් මට ඒ ඇති. මද කිපුණු ඇතෙක්ව දමනය කරන දක්ෂ ඇත්ගොව්වෙක් වගෙයි. මං වීරිය අරගෙන නුඹව දමනය කරනවා.”

50.1.1.-51 “ඒයි සිත! නුඹ හොඳට දමනය වුණා. සෘජු ගති තිබෙන උතුම් හස්ති රාජයෙක් දමනය වුණා වගෙයි. අසුන් දමනය කරනවා වගේ මටත් ඒ සුන්දර නිවන් මගේ ගමන් කරන්ට පුළුවන් වුණා. හැමදාමත් ඒ නිවන් මග පුරුදු කළේ සිත රැකගත්තු උතුමන් විතරයි.”

50.1.1.-52 “ඒයි සිත! ඇති රජෙක්ව යකඩ දම්වැල් වලින් කණුවක බඳිනවා වගේ මං නුඹව භාවනා අරමුණේ බැඳලයි තියෙන්නේ. ඉතා හොඳට සිහිය පිහිටුවා ගෙන හොඳින් රැකගෙන හොඳින් හසුරුවලා මේ සිත හදාගත්ත නිසා හැම භවයෙන්ම නිදහස් වුණා.”

50.1.1.-53 “ඉඳුරන් ගෙන් අරමුණු ලැබෙන කොට ඒ ඔස්සේමයි සිත නොමඟ යන්නෙ. එතකොට ප්‍රඥාවෙන් ඒ නොමඟ වනසල දැම්මා. භාවනාවෙන් සිත සුමඟට ගත්තා. මේ සසර දුකේ ඇතිවීම නැතිවීම දැකල එයින් නිදහස් වුණ බුදු සමිඳුන්ගේ දායාදය ලැබුණු කෙනෙක් වෙන්න.”

50.1.1.-54 “ඒයි සිත! මං වසඟ වෙලා හිටියෙ මේ විදිහටයි. අශුභ දේ ශුභ විදියටයි දැක්කෙ. අනිත්‍ය දේ නිත්‍ය විදිහටයි දැක්කෙ. දුක දැක්කෙ සැප විදිහටයි. සිත විසින් මාව නොමග යැව්වෙ ගමේ ගොඩේ මෝඩ ළමයෙක්ව නොමග යවනවා වගේ. එහෙත් දැන් සියලු භව බන්ධන නැති කළ මහා කාරුණික මහා මුනිඳුන්ව නේද ඇසුරු කරන්නෙ.”

50.1.1.-55 “එයි සිත! මේ සුන්දර වනාන්තරයෙ වැහි වළාකුළුවලින් ලස්සන වුණ කඳු වළල්ලෙ නිදහසේ ඇවිදගෙන යන මුවෙක් වගේ මමත් දැන් අවුලක් නැති සිතින් මේ කඳු වළල්ලට වෙලා ඉන්නවා. ඒයි සිත! නුඹ පැරදුණ බවට මට කිසිම සැකයක් නෑ.”

50.1.1.-56 “ඒයි සිත! යම් ස්ත්‍රියක් හෝ යම් පුරුෂයෙක් හෝ නුඹේ කැමැත්තට හසුවෙලා ගියොත්, වසඟ වුණොත්, කාම සැපය අනුභව කරන්ට ගියොත් ඒගොල්ල ඔක්කොම අවිද්‍යාව තුළටම ඇතුල් වෙනවා. ඒගොල්ල ඔක්කොම මාරයාගේ වසඟයට යනවා. යළි යළි උපදින්ට කැමැති හැම දෙනෙක්ම නුඹගේ ගෝලයෝ තමයි.”

මේ වනාහී ආයුෂ්මත් තාලපුට නම් රහත් මුනිඳුන් වදාළ ගාථාවන් ය.

60.1.1.-1 “අපි ඉන්නෙ මහ වනාන්තරයෙ. පිණ්ඩපාතෙනුයි ජීවත් වන්නෙ. පාත්තරේට ලැබෙන දෙයකින් අපි සතුටු වෙනවා. අභ්‍යන්තර ජීවිතය තුළ සිත සමාහිත කරගෙන ඉන්නෙ. අපි තමයි මාර සේනාව වනසලා දාන්නෙ.”

‎60.1.1.-2 “අපි ඉන්නෙ මහ වනාන්තරයෙ. පිණ්ඩපාතෙනුයි ජීවත් වන්නෙ. පාත්තරේට ලැබෙන දෙයකින් අපි සතුටු වෙනවා. අපි තමයි මාර සේනාව වනසලා දාන්නෙ. හස්ති රාජයෙක් උණ බටවලින් කරපු ගෙයක් සුණු විසුණු කරල දානවා වගේ.”

60.1.1.-3 “අපි ගස් සෙවණෙ වාඩිවෙලා හැම තිස්සෙම භාවනා කරනවා. පාත්තරේට ලැබෙන දේකින් සතුටු වෙනවා. අභ්‍යන්තර ජීවිතය තුළ සිත සමාහිත කරගෙන ඉන්නෙ. අපි තමයි මාර සේනාව වනසලා දාන්නෙ.”

60.1.1.-4 “අපි ගස් සෙවණෙ වාඩිවෙලා හැම තිස්සෙම භාවනා කරනවා. පාත්තරේට ලැබෙන දේකින් සතුටු වෙනවා. අපි තමයි මාර සෙනග වනසලා දාන්නෙ. හස්ති රාජයෙක් උණ බටවලින් කරපු ගෙයක් සුණු විසුණු කරල දානවා වගේ.”

60.1.1.-5 “ඒයි! ඇටසැකිල්ලකින් කරපු කුටියක් ඇති තැනැත්තිය, මසින්, නහරින් මහල දාපු ඇඟක් ඇති තැනැත්තිය, අශුචි පුරවාගෙන දුගඳ හමන ඇඟක් ඇති තැනැත්තිය, ඒ විදිහට ඉඳගෙන අනුන්ගේ ශරීර ගැන ‘මගේ මගේ’ කියා හිතන තිට නින්දා වේවා!”

60.1.1.-6 “ඒයි! අශුචි පුරවා ගත් මල්ලක් වැනි තැනැත්තී, හමකින් වැසී ගිය ඇඟක් ඇති තැනැත්තිය, පපුවේ ගෙඩි හදාගත් තැනැත්තිය, ප්‍රේතියක් වැනි තැනැත්තිය, තිගේ සිරුරේ හැම තිස්සේම අශුචි වැගිරෙන තැන් නවයක් තිබෙනවා.”

60.1.1.-7 “තිගෙ සිරුරේ නව තැනකින් අශුචි වැගිරෙනවා. මේ සිරුර ඉතා දුගඳයි. තිගේ සිරුර නිවන් මගට ඇති ලොකුම බාධාවයි. පිරිසිදු ජීවිතයක් කැමැති භික්ෂුව විසින් ඒ අශුචි වළ දුරින්ම දුරු කළ යුතුයි.”

60.1.1.-8 “ඉඳින්, මේ අශුචි පිරුණු ශරීරය ගැන මං දන්නා දේවල් තව කෙනෙක් දන්නවා නම්, ඒ කෙනා මේ ස්ත්‍රිය දුරින්ම දුරු කරන්නෙ වැස්ස කාලෙට උතුරන අශුචි වළක් දුරු කරනවා වගේ.”

60.1.1.-9 “(ස්ත්‍රිය) පින්වත් ශ්‍රමණයන් වහන්ස, ඔබ විසින් ඔය පැවසූ දේවල්, මහා වීර ශ්‍රමණයන් වහන්ස, ඔය පැවසුවේ ඇත්තක්මයි. ඒ වුණත් සමහර මිනිස්සු ස්ත්‍රී ශරීරයට ඇලෙන්නෙ මඩ වගුරක් දැක්කහම ඒකෙ බැහැල ගිලෙන නාකි හරක් වගේ.”

60.1.1.-10 “(මොග්ගල්ලාන සමිඳු) කවුරු හරි කෙනෙක් කහ පාටින් හරි වෙන පාටකින් හරි මේ ආකාසය සායම් කරන්ට හිතුවොත්, ඒ කෙනාට ඒක මහා වෙහෙසක්.”

60.1.1.-11 “මගේ හිතත් අන්න ඒ අකාසය වගෙයි. අභ්‍යන්තර ජීවිතය තුළ සිත සමාධිමත්වයි තියෙන්නෙ. මෝඩ ගැහැණියේ, මහා ගිනි ජාලාවකට පනින පැළඟැටියෙක් වගේ මා සමග ගැටෙන්නට ඇවිත් විපතට පත්වෙන්ට එපා.”

60.1.1.-12 “මේ ශරීරය ඇටවලින් ගලපලා හිටවලා තියෙන්නෙ. රෝග පීඩා වැළඳෙන මේ ශරීරය ගැන මෝඩ ජනයා හිතන්නෙ වෙන විදිහකට. ඒ ගොල්ල මේ ශරීරය විසිතුරු විදිහට සරසනවා. නමුත් බැලිය යුත්තේ මේ ශරීරයේ සැබෑ තත්වය ගැනයි. ස්ථිර කිසි දෙයක් මේ ශරීරයේ නෑ.”

60.1.1.-13 “මුතු මැණික් ආභරණ වලින් සැරසුවත්, සමකින් ඔතා තිබෙන ඇටසැකිල්ලක් ඇති මේ ශරීරයේ සැබෑ තත්වයමයි බලන්ට ඕනෑ. ලස්සනට පේන්නෙ ඇඳුම් නිසා.”

60.1.1.-14 “යටි පතුල් පාට කරල තිබුණට, සුවඳ බුලත් විට කාල මුඛය සුවඳ කරගෙන හිටියට, මෝඩ ජනතාවගේ මුලාවට විතරයි, ඒක ගැලපෙන්නෙ. නිවන සොයන කෙනෙකුට ඒකෙන් වැඩක් නෑ.”

60.1.1.-15 “කෙස් වලින් නොයෙක් කොණ්ඩා මෝස්තර හදනවා. ඇස්වල අඳුන් ගානවා. මෝඩ ජනතාවගේ මුලාවට නම් ඒක ගැලපෙනවා. නිවන සොයන කෙනෙකුට එයින් වැඩක් නෑ.”

60.1.1.-16 “මේ කුණු ශරීරය තියාගන්ට හදන්නෙ ලස්සනට සරසලා කැටයම් කරපු භාජනයක් වගේ. මෝඩ ජනතාවගේ මුලාවට විතරයි ඒක ගැලපෙන්නෙ. නිවන සොයන කෙනෙකුට එයින් වැඩක් නෑ.”

60.1.1.-17 “මුව වැද්දා උගුල අටවලා තිබුණා. ඒ වුණත් මුවා ඒ උගුලට අහුවුණේ නෑ. මුව වැද්දා හඬද්දී අපි ගොදුරු කාල පැනල දුවනවා.”

60.1.1.-18 “මුව වැද්දාගේ උගුල කඩල බිඳල දැම්මා. මුවා උගුලට අහුවුණේ නෑ. මුව වැද්දා දුක් වෙද්දී අපි ගොදුරු කාල පැනල දුවනවා.”

60.1.1.-19 “නොයෙක් ආකාරයේ ගුණ සම්පත් තිබුණ සැරියුත් සමිඳුන් පිරිනිවන් පෑවා. ඒ වෙලාවෙ පොළොව කම්පා වුණා. බිහිසුණු දේ ඇති වුණා. ලොමුදැහැගැනීම් ඇති වුණා.”

60.1.1.-20 “ඇත්තෙන්ම සකස් වෙච්ච දේවල් අනිත්‍යයි. ඒවායෙ තියෙන්නෙ ඇති වී නැති වී යන ස්වභාවයක්. ඒ සකස් වන දේවල් හට අරගෙන නැතිවෙලා යනවා. මේ ස්වභාවය සංසිඳීමයි සැපය.”

60.1.1.-21 “මේ පංචඋපාදානස්කන්ධය දිහා බැලිය යුත්තේ අනුන්ගේ දෙයක් දිහා බලනවා වගේ. තමන්ගෙ දෙයක් වගේ බැලිය යුතු නෑ. අන්න ඒ උදවියට අස් ලෝමයකින් අස් ලෝමයකට විදින දක්ෂ දුනුවායන් වාගේ මේ ඉතා සියුම් ධර්මය අවබෝධ කරගන්ට පුළුවන්.”

60.1.1.-22 “මේ සකස් වෙච්ච දේවල් දිහා බලන්ට ඕනෑ අනුන්ගේ දෙයක් දිහා බලනවා වගේ. තමන්ගේ දෙයක් ලෙස දකින්ට හොඳ නෑ. අන්න ඒ උදවියට අස් ලෝමයකින් අස් ලෝමයකට විදින දක්ෂ දුනුවායන් වගේ මේ ඉතා සියුම් ධර්මය අවබෝධ කරගන්ට පුළුවන්.”

60.1.1.-23 “ආයුධයකින් පහර කාලා තුවාල වුණ කෙනෙක් බෙහෙත් කරන්ට කලබල වෙනවා වගේ, හිසට ගිනි ඇවිලුණ කෙනෙක් එය නිවාගන්ට කලබල වෙනවා වගේ භික්ෂුවක් සිහිය උපදවාගෙන කාම ආශාව නැති කරන්ට මයි මහන්සි විය යුත්තේ.”

60.1.1.-24 “ආයුධයකින් පහර කාලා තුවාල වුණ කෙනෙක් බෙහෙත් කරන්ට කලබල වෙනවා වගේ, හිසට ගිනි ඇවිලුණ කෙනෙක් එය නිවාගන්ට කලබල වෙනවා වගේ භික්ෂුවක් සිහිය උපදවාගෙන භව රාගය නැති කරන්ටමයි මහන්සි ගත යුත්තෙ.”

60.1.1.-25 “අන්තිම සිරුර දරා සිටින දියුණු කළ සිත් ඇති බුදු සමිඳුන් විසිනුයි මාව මේ වැඩේට යෙදෙව්වේ. ඉතින් මං පූර්වාරාම විහාරය මේ මහපට ඇඟිල්ලෙන් සොලවා කම්පා කළා.”

60.1.1.-26 “මේ කෙලෙස්වලින් නිදහස් වෙලා නිවන අවබෝධ කිරීම සුළු පටු වීරියකින් කරන්ට පුළුවන් දෙයක් නොවෙයි. සුළු උත්සාහයකින් කරන්ට පුළුවන් දෙයක් නොවෙයි.”

60.1.1.-27 “නමුත්, මේ තරුණ භික්ෂුව උදාර පුරුෂයෙක්. මාර සේනාව පරාජය කරල අන්තිම සිරුරක් දරා සිටින්නට එයාට පුළුවන් වුණා.”

60.1.1.-28 “‘වේභාර’ පර්වතයටත් ‘පාණ්ඩව’ පර්වතයටත් අතර ඇති බෑවුම පැත්තට විදුලි එළිය වැටෙනවා. ඒ කන්දෙ ගුහාවක තමයි ඒ භික්ෂුව භාවනා කරන්නෙ. ඒ භික්ෂුව අකම්පිත සිත් ඇති, අසම ගුණ ඇති. බුදු සමිඳුන්ගේ පුත්‍රයෙක්.”

60.1.1.-29 “එයා උපශාන්තයි. සංවරයි. ඈත දුර වනාන්තරයේ වාසය කරන මුනිවරයෙක්. උතුම් බුදු සමිඳුන්ගේ දායාදය බවට පත් වූ කෙනෙක්. බ්‍රහ්මයා විසිනුත් වන්දනා කරන කෙනෙක්.”

60.1.1.-30 “පින්වත් බ්‍රාහ්මණය, ඔබත් ඒ උපශාන්ත වූ පවින් තොර වූ වනාන්තරයේ වසන මුනිඳුන් වූ උතුම් බුදු සමිඳාණන්ගේ දායාදය වූ මහා කාශ්‍යප තෙරිඳුන්ට වන්දනා කරන්න.”

60.1.1.-31 “ආත්මභාව සීයක් මුළුල්ලේම මිනිස් ලෝකයේ බ්‍රාහ්මණ කුලයේ වේද හදාරණ බමුණෙක් වෙලා යමෙක් උපන්නොත්,”

60.1.1.-32 “ඒ ත්‍රිවේදයෙහි පරතෙරට පත් බ්‍රාහ්මණයාට යමෙක් වන්දනා කළොත්, ඒ වන්දනාව මහා කාශ්‍යප තෙරුන්ට කරන වන්දනාවෙන් දහසයෙන් එකක් වත් වටින්නෙ නෑ.”

60.1.1.-33 “යම් භික්ෂුවක් උදේ වරුවේ අෂ්ට විමෝක්ෂයට සමවැදී යළිත් අනුලෝම ප්‍රතිලෝම වශයෙනුත් සමවැදී ඊට පස්සෙ තමයි ඒ භික්ෂුව පිණ්ඩපාතෙ වඩින්නෙ.”

60.1.1.-34 “පින්වත් බ්‍රාහ්මණය, එවැනි භික්ෂුවකට කරදර කරන්න එපා. තමන්ව වනසා ගන්න එපා. අරහත් වූ අකම්පිත සිත් ඇති මුනිවරයා කෙරෙහි සිත පහදාගන්න. වහා දෑත් එක් කොට වන්දනා කරන්න. ඔබේ හිස පළාගන්ට එපා!”

60.1.1.-35 “ඒ තැනැත්තා ඉස්සරහට අරගෙන ඉන්නෙ සංසාරයමයි. සද්ධර්මය දකින්නෙ නෑ. වක්‍ර ගමනකයි එයා යන්නෙ. මිත්‍යා ගමනකයි එයා යන්නෙ.”

60.1.1.-36 “සංස්කාරයන්ම වැළඳගෙන ඉන්නෙ අසුචි තවරාගත් පණුවෙක් වගේ. යම් භික්ෂුවක් ලාභ සත්කාරවලට ගිජු වුණොත් එයාට ගමන් කරන්න තියෙන්නෙ හිස් ගමනක්.”

‎60.1.1.-37 “එහෙත් අර වඩින සැරියුත් මුනිඳුන් දෙස බලන්න. කොයිතරම් සුන්දර කෙනෙක්ද? උන්වහන්සේ සමථ, විදර්ශනා දෙකම කෙළවර දක්වා දියුණු කරල දෙපැත්තෙන්ම නිදහස් වෙලයි ඉන්නෙ.”

60.1.1.-38 “අර වඩින සැරියුත් මුනිඳුන් දෙස බලන්න. උන්වහන්සේ තුළ කෙලෙස් හුල් නෑ. සියලු බන්ධන කැඩිල තියෙන්නෙ. ත්‍රිවිද්‍යාව ලබල ඉන්නෙ. මාරසේනාව පැරැද්දුවා. ඒ නිසාම මිනිස්සුන්ගේ පුද පූජාවන් ලැබීමට සුදුසු උතුම් පිං කෙතක් වෙලා ඉන්නෙ.”

60.1.1.-39 “බොහෝ දෙවිවරු දහ දාහක් වගේ පිරිසක් මෙතැනට ඇවිත් ඉන්නෙ, ඒගොල්ල ඔක්කොම ඉර්ධිමත්. කීර්තිමත්. බ්‍රහ්ම පුරෝහිත ලෝකයේ ඉන්න ඔක්කොම දෙවිවරු ඇවිදින් ඉන්නෙ. ඒගොල්ල ඔක්කොම දෑත් බැඳ ගෙන මුගලන් තෙරුන්ව වන්දනා කරමින් ඉන්නෙ.”

60.1.1.-40 “ශ්‍රේෂ්ඨ පුරුෂය, ඔබට නමස්කාර වේවා! පුරුෂෝත්තමය, ඔබට නමස්කාර වේවා! ඔබ තුළ ආශ්‍රවයන් නෑ. දුක් රහිත මුනිඳුනි, ඇත්තෙන්ම ඔබ ලෝකයාගේ දන් පැන් පිළි ගැනීමට සුදුස්සෙක්.”

60.1.1.-41 “දෙවියොත් මිනිස්සුත් ඒ භික්ෂුවට ගෞරව කරනවා. එයා ඉපදුණේ මේ ජරා මරණ ලෝකයේ. අන්තිමේදී ඒ ජරා මරණ ලෝකයෙන් නිදහස් වෙලා දැන් වාසය කරන්නෙ, මඩ වගුරක හැදිල මඩ නොතැවරී පිපිල තියෙන සුදු නෙළුම් මලක් වගෙයි. කිසිවක් සමග වත් නොතැවරී ඉන්නෙ.”

60.1.1.-42 “ඒ භික්ෂුවට නිමේෂයකින් දහසක් ලෝක ධාතුව දැනගන්ට පුළුවන්. මහා බ්‍රහ්මයා හා සමාන කෙනෙක්, ඉර්ධි බලයෙනුත් යුක්තයි. චුතූපපාත ඤාණයෙනුත් යුක්තයි. ඒ භික්ෂුව සුදුසු කල දෙවියන්වත් දකිනවා.”

60.1.1.-43 “යම් කෙනෙක් සසරින් එතෙර වුණේ ප්‍රඥාවෙනුත්, සීලයෙනුත්, සංසිදීමෙනුත් නම් ඒ කෙනා සැරියුත් තෙරුන් වගේමයි. සැරියුත් තෙරුන් මේ කරුණු තුනෙන්ම අග්‍ර කෙනෙක්.”

60.1.1.-44 “මට නිමේෂයකින් කෝටි ලක්ෂයක් ආත්ම භාවයන් මවන්ට පුළුවනි. මට ඕන ඕන පිළිවෙලට ඉර්ධි බලය හසුරුවන්ට පුළුවනි. මා විසින් මේ ඉර්ධි බලය වශී කරගෙනයි තියෙන්නෙ.”

60.1.1.-45 “ඒ භික්ෂුව සමාධියෙත් නුවණෙත් පරතෙරට ගිය තෘෂ්ණාවෙන් නිදහස් වූ මුනිඳුන්ගෙ සසුනෙ තමයි ඉන්නෙ. මොග්ගල්ලාන ගෝත්‍රයට අයිති ඒ නුවණැති භික්ෂුව එකඟ වූ සිතින් කෙලෙස් කඩල බිඳල දැම්මෙ රසකිඳ වැලක් කඩාදාන හස්තිරාජයෙක් වගේ.”

60.1.1.-46 “මාත් ශාස්තෘන් වහන්සේව ගෞරවයෙන් ඇසුරු කළා. බුදු සසුන සම්පූර්ණ කරගත්තා. කෙලෙස් බර පැත්තකින් තිබ්බා. භව රැහැන් මුලින්ම සිඳල දැම්මා.”

60.1.1.-47 “මං ගිහිගෙය අත්හැරල මහණ වුණේ උතුම් අදහසක් ඇතිවයි. මේ සියලු බන්ධනවලින් මං නිදහස් වෙනවා කියන උතුම් අදහස මං ඉෂ්ට කරගත්තා.”

60.1.1.-48 “ඒයි මාරය, ‘දුසී’ නමින් මාරයෙක් හිටියා. ඉතින් ඒ මාරයා, කකුසඳ බුදුරජාණන් වහන්සේටත් ‘විධුර’ නමින් සිටි අග්‍ර ශ්‍රාවකයන් වහන්සේටත් පීඩා කළා. අන්තිමේදී ඒ මාරයා නිරයේ ඉපදිලා අනන්ත දුක් වින්දේ මෙහෙමයි.”

60.1.1.-49 “කකුසඳ බුදු සමිඳුන්වත්, විධුර නම් ශ්‍රාවක මුනිඳුන්වත් පීඩාවට පත්කරපු ඒ දුසී මාරයා නිරයේ ඉපදිලා අනන්ත දුක් වින්ඳේ මෙහෙමයි. ඒ නිරිසතා හැම තිස්සෙම යකඩ හුල් සියයකින් පහර කනවා. ඒ හුල් සීයෙන්ම ලැබෙන්නෙ වෙන වෙනම වේදනාවල්.”

60.1.1.-50 “දැන් ඒ කර්ම විපාක දැනගත් කෙනා බුදු සමිඳුන්ගේ ශ්‍රාවක භික්ෂුවක්. ඒයි මාරය, එබඳු භික්ෂුවක් පීඩාවට පත් කරල නුඹ දුකට පත්වෙන්ටද හදන්නෙ?”

60.1.1.-51 “මුහුද මැද තියෙනවා කල්පයක් පවතින අතිශයින්ම ලස්සන දිව්‍ය විමාන. ඒවා බබලන මැණික් වගෙයි. ඒ විමානවල නොයෙක් පාටින් බබලමින් දිව්‍ය අප්සරාවෝ නටනවා.”

60.1.1.-52 “දැන් ඒ කාරණය දැනගත් කෙනා බුදු සමිඳුන්ගේ ශ්‍රාවක භික්ෂුවක්. ඒයි මාරය, එබඳු භික්ෂුවක් පීඩාවට පත් කරල නුඹ දුකට පත්වෙන්ටද හදන්නෙ?”

60.1.1.-53 “බුදු සමිඳුන් තමයි මට වදාළේ. ඊට පස්සෙ මං භික්ෂු සංඝයා බලා සිටිද්දීම මගේ මේ මහපට ඇඟිල්ලෙන් පූර්වාරාම විහාරය කම්පා කළා.”

‎60.1.1.-54 “දැන් ඒ කාරණය දැනගත් කෙනා බුදු සමිඳුන්ගේ ශ්‍රාවක භික්ෂුවක්. ඒයි මාරය, එබඳු භික්ෂුවක් පීඩාවට පත් කරල නුඹ දුකට පත්වෙන්ටද හදන්නෙ?”

60.1.1.-55 “සක්දෙව් රජුගේ වෛජයන්ත ප්‍රාසාදයත් තමන්ගේ ඉර්ධි බලයෙන් මහපට ඇඟිල්ලෙන් කම්පා කරවල ඒ දෙව් පිරිසත් තැති ගැන්නුවා. ඒ වැඩේ කළ භික්ෂුවත් මයි.”

60.1.1.-56 “දැන් මේ කාරණය දැනගත් කෙනා බුදු සමිඳුන්ගේ ශ්‍රාවක භික්ෂුවක්. ඒයි මාරය, එබඳු භික්ෂුවක් පීඩාවට පත් කරල නුඹ දුකට පත්වෙන්ටද හදන්නෙ?”

60.1.1.-57 “වෛජයන්ත ප්‍රාසාදයේ සිටිය සක්දෙව් රජුගෙන් ඒ භික්ෂුව මෙහෙම ඇහැව්වා. ‘ඇවැත්නි, තණ්හාවෙන් මිදෙන ආකාරය ඔබ දන්නවාද?’ සක් දෙවිඳුන් තමන් අසා දැන ගත් ආකාරයටම ඒ භික්ෂුවට ඒ දහම පැවසුවා. මම තමයි ඒ භික්ෂුව.”

60.1.1.-58 “දැන් මේ කාරණය දැනගත් කෙනා බුදු සමිඳුන්ගේ ශ්‍රාවක භික්ෂුවක්. ඒයි මාරය, එබඳු භික්ෂුවක් පීඩාවට පත් කරල නුඹ දුකට පත්වෙන්ටද හදන්නෙ?”

60.1.1.-59 “සුධර්මා නමින් දිව්‍ය සභාවක් තිබෙනවා. ඒ සභාවට මහා බ්‍රහ්මයාත් ඇවිත් හිටියා. ඒ භික්ෂුව මහා බ්‍රහ්මයා ගෙන් මෙහෙම ඇහැව්වා. පින්වත් දෙවිය, ඔබ තුළ ඉස්සර මිත්‍යා දෘෂ්ටියක් තිබුණා. ඒ දෘෂ්ටිය ඔබ තුළ තාමත් තියෙනවා ද? ශ්‍රාවක පිරිස පිරිවරාගෙන බඹලොව සැරිසරණ බුදු සමිඳුන්ගේ ආලෝකය දෙස බලන්නැ’යි පැවසූ ඒ භික්ෂුවත් මම තමයි.”

60.1.1.-60 “එතකොට මහා බ්‍රහ්මයා ඒ භික්ෂුවට මෙහෙම කිව්ව. ‘ඇවැත්නි, දැන් මා තුළ අර කලින් තිබු දෘෂ්ටිය නෑ.'”

60.1.1.-61 “‘මම අද කියන්නෙ කොහොමද, නිත්‍යයයි කියල හෝ සදාකාලිකයි කියල හෝ ශ්‍රාවක පිරිස පිරිවරාගෙන බඹ ලොව සැරිසරන බුදු සමිඳුන්ගේ ආලෝකය මං දැන් දකිනවා.'”

60.1.1.-62 “දැන් මේ කාරණය දැනගත් කෙනා බුදු සමිඳුන්ගේ ශ්‍රාවක භික්ෂුවක්. ඒයි මාරය, එබඳු භික්ෂුවක් පීඩාවට පත් කරල නුඹ දුකට පත්වෙන්ටද හදන්නෙ?”

60.1.1.-63 “ධ්‍යාන විමෝක්ෂ බලයෙන් මහාමේරු පර්වත මුදුන ස්පර්ශ කළේත් භික්ෂුවක්. දඹදිව පූර්ව විදේහ කියන රටේ මිනිසුන් නිදන භූමිය ස්පර්ශ කළේත් භික්ෂුවක්. මම තමයි ඒ භික්ෂුව.”

60.1.1.-64 “දැන් මේ කාරණය දැනගත් කෙනා බුදු සමිඳුන්ගේ ශ්‍රාවක භික්ෂුවක්. ඒයි මාරය, එබඳු භික්ෂුවක් පීඩාවට පත් කරල නුඹ දුකට පත්වෙන්ටද හදන්නෙ?”

60.1.1.-65 “‘මං මේ මෝඩයව පුච්චල දානව’ කියල ගින්න හිතන්නෙ නෑ. නමුත් මෝඩ තැනැත්තාම ඇවිලෙන ගින්නට වැදිල පිච්චිලා යනවා.”

60.1.1.-66 “ඒයි මාරය, අන්න ඒ වගේ නුඹත් මේ හැප්පෙන්ට හදන්නෙ රහත් භික්ෂුවක් එක්ක. මෝඩයෙක් ගින්නත් එක්ක ගැටෙන්ට ගිහින් පිච්චිලා යනවා වගේ පිච්චිල යන්ටද හදන්නෙ?”

60.1.1.-67 “ඒයි මාරය, එදා දූසී මාරයාත් තථාගතයන් වහන්සේ නමකට පීඩා කොට පව් රැස් කරගත්තා. තමන්ට පව් පිපාක දෙන්නෙ නෑ කියලද නුඹ හිතන්නෙ?”

60.1.1.-68 “ඒයි මාරය, නුඹගේ ඔය වැඩ නිසා බොහෝ කලක් විපාක දෙන පව් තමයි රැස් වෙන්නෙ. ඒයි මාරය, ඒ නිසා බුදු සමිඳුන් ගැනත් භික්ෂූන් ගැනත් කලකිරිලා පව් කරන්ට ආශා කරන්ට එපා!”

60.1.1.-69 “භේසකලා වනයේදීයි මොග්ගල්ලාන භික්ෂුව ඔය විදිහට මාරයාට තර්ජනය කළේ. එතකොට මාරයගෙ සිත දුකට පත් වුණා. එතනම අතුරුදහන් වෙලා නොපෙනී ගියා.”

මේ වනාහී ආයුෂ්මත් මහා මොග්ගල්ලාන නම් රහත් මුනිඳුන් වදාළ ගාථාවන් ය.

70.1.1.-1 “ගිහි ගෙය අත්හැරල බුදු සසුනේ මං පැවිදි බව ලබලා සිටිද්දීත්, මේ පහත් ළාමක අකුසල විතර්කයන් මගේ පස්සෙන් ලුහු බඳිනවා.

70.1.1.-2 “දුන්නෙන් විදින්ට දක්ෂ ලෙස පුහුණු වෙච්ච දාහක් සේනාව ඇවිදිල්ල මාව වටකර ගෙන ඊතල දාහකින් මට විද්දත් මේ කෙලෙස් සටනින් මං පැනල යන්නෙ නෑ. මාව හෙළන්ටත් බෑ.”
70.1.1.-3 “ඒ වගේම ස්ත්‍රීන්ගේ බලය ඊතලවලටත් වඩා බලවත්. නමුත් කොයි ස්ත්‍රියක් පැමිණුනත් ඔවුන්ට මාව පොළඹවා ගන්ට බැහැ. මං සද්ධර්මයේ පිහිටලයි ඉන්නෙ.”

70.1.1.-4 “හිරු ගොත් වංශයේ උපන් බුදු සමිඳුන් වෙතිනුයි මං මේ නිවන් මඟ දැනගත්තේ. දැන් හැම තිස්සෙම මගේ සිත පවතින්නේ ඒ නිවන් මගේමයි.”

70.1.1.-5 “ඒයි මාරය! මං ඒ විදිහට නිවන් මගේ ගමන් කරද්දී නේද නුඹ ඔය විදියට පැමිණෙන්නෙ. නමුත් මං ගිය මාර්ගය නුඹට යාන්තමින් වත් දැකගන්ට බැරි විදිහටයි මගේ මරණය සිදුකර ගන්නෙ.”

70.1.1.-6 “භාවනාවට ඇති අකැමැත්ත දුරු කරනවා නම්, කාම සිතුවිලිවලට ඇති කැමැත්තත් දුරු කරනවා නම්, ළාමක විතර්කත් දුරු කරනවා නම්, තෘෂ්ණාවත් කොහෙත්ම හදන්නෙ නැත්නම්, එයා තෘෂ්ණාවෙන් නිදහස් වෙනවා. ඒ තෘෂ්ණාව රහිත තැනැත්තාටයි භික්ෂුව කියන්නෙ.”

70.1.1.-7 “අහසේත්, පොළොවේත් මේ ලෝකය තුළ සතර මහා ධාතූන්ගෙන් හටගත් යම්තාක් දේවල් ඇද්ද ඒ ඔක්කොම අනිත්‍යයි. ඒ ඔක්කොම දිරල යනවා. රහතන් වහන්සේලා ඔය කාරණය අවබෝධ කරගෙනයි ඉන්නෙ.”

70.1.1.-8 “කෙලෙස් සහිත සත්වයා මීට වෙනස්. රූප, ශබ්ද, ගන්ධ, රස, පහස යන මේවාට එයා මුසපත් වෙනවා. ඔය දේවල් ගැන කිසි ආශාවක් නැතිව ඒවා සිතේ තවර ගන්නෙ නැතිව කෙලෙස් රහිතව ඉන්න කෙනාටයි මුනිවරයා කියන්නෙ.”

70.1.1.-9 “පෘථග්ජන සත්වයා ඉන්නෙ අධර්මයේ බැසගෙනයි. ඊට පස්සෙ හැට අටක් වාදවලට පැටලිලා තර්ක කර ගන්නවා. නමුත් ඒ කිසි දේකට පැටලෙන්නෙ නැතිව එයින් නිදහස් වෙලා වැඩකට නැති දේ කතා නොකරන කෙනා භික්ෂුවකි.”

70.1.1.-10 “නුවණැති භික්ෂුව බොහෝ කලක් සිත සමාහිත කරමින් ඉන්නෙ. කුහක බවිනුත් තොර නම් තැනට සුදුසු නුවණින් යුක්ත නම්, තෘෂ්ණා රහිතව නම් ඉන්නෙ පරම ශාන්තිය වූ අමා නිවන සාක්ෂාත් කළ ඒ මුනිවරයා පිරිනිවෙන්නටයි කල් බලා සිටින්නෙ.”

70.1.1.-11 “පින්වත් ගෞතමය, මාන්නය දුරු කරන්න. මාන්නය හැදෙන මාර්ගයත් ඉතිරි නැතිවම දුරු කරන්න. මාන මාර්ගයට වැටිල මුසපත් වුණොත් බොහෝ කලක් විපිළිසර වේවි.”

70.1.1.-12 “මේ ගුණමකු බව තමයි, සත්වයන්ගේ ගුණ මකන්නෙ. මාන්නය විසින් මේ සත්වයන්ව වනසලා දානවා. ඉතින් ඒ සත්වයන් ඒ නිසාම නිරයට වැටෙනවා. නිරයේ වැටිල බොහෝ කලක් ශෝක කරනවා.”

70.1.1.-13 “නිවන් මගේ ගමන් කරල යහපත් වැඩපිළිවෙලක යෙදිල ජය ලබාගත් භික්ෂුව කවදාවත් ශෝක කරන්නෙ නෑ. කීර්තියක් සැපයක් අත් විඳින ඒ භික්ෂුව සත්‍යයට පැමිණිලා ධර්මය දකින කෙනා කියලයි නුවණැත්තන් කියන්නෙ.”

70.1.1.-14 “ඒ නිසා කෙලෙස් හුල් නැති කරගන්න. වීර්ය වඩන්න. නීවරණ ප්‍රහාණය කරන්න. පිරිසිදු බවට පත්වෙන්න. මාන්නය නැති කරන්න. සන්සුන් සිතක් ඇති කරගන්න. විද්‍යාව පහළ කරගන්න. දුක අවසන් කරන්න.”

70.1.1.-15 “පින්වත් ගෞතමයනි, (පින්වත් ආනන්ද ස්වාමීන් වහන්ස,) මගේ සිත දැන් කාමරාගයෙන් ගිනි ගන්නවා. හැම පැත්තෙන්ම මේ සිත ගිනි ගන්නවා. අනේ! මට අනුකම්පා කරල මේ රාග ගින්න නිවාදමන උපායක් කියල දෙන්න.”

70.1.1.-16 “ඇත්තෙන්ම ඔබ සංඥාවකට මුල වෙලා ඉන්නෙ. ඒ නිසයි ඔබේ සිත ගිනි ගන්නෙ. රාගය ඇති කරවන සුභ නිමිත්ත වහාම දුරු කරන්න.”

70.1.1.-17 “සකස් වෙච්ච හැමදෙයක්ම අනුන්ගේ දෙයක් හැටියට බලන්න. දුක් වශයෙන් බලන්න. තමන්ගේ දෙයක් හැටියට බලන්න එපා. ඒ මහා රාගය වහා නිවා දමන්න. ආයෙත් නම් මේ රාග ගින්නට ඔබ නොපිළිස්සේවා!”

70.1.1.-18 “සිත හොඳට එකඟ කරගෙන, සමාහිත කරගෙන, අශුභ භාවනාව තුළ සිත වඩන්න. කායානුපස්සනාවේ සිහිය පිහිටුවා ගන්න. කලකිරීමම බහුල කරගෙන වාසය කරන්න.”

70.1.1.-19 “කෙලෙස් නිමිති නැති විදර්ශනා වඩන්න. සිත ඇතුළේ තිබෙන මාන්නය උදුරා දමන්න. මාන්නය අවබෝධ කරගෙන නිදහස් වෙන්න. උපශාන්ත සිතින් කල් ගෙවන්න.”

70.1.1.-20 “ඇත්තෙන්ම, තමාවත් පෙළන්නෙ නැති අනුන්ව ත් පෙළෙන්නෙ නැති වචන කතා කරන්ට ඕනෑ. ඒ වචනවලටයි සුභාෂිත කියන්නෙ.”

70.1.1.-21 “ප්‍රිය වචනමයි කතා කරන්ට ඕනෑ. කවුරුත් පිළිගන්නෙ ඒ ප්‍රිය වචනයි. නරක වචන අයින් කරල කාටත් ප්‍රිය උපදවන වචනයි කතා කරන්න ඕනෑ.”

70.1.1.-22 “ඇත්තෙන්ම සත්‍ය කියන්නෙ අමා වචනයක්. සත්‍ය සනාතන ධර්මයක්. ඒ නිසා සත්පුරුෂ උතුමන් වචන කතා කරද්දී සත්‍ය තුළ ඉන්නවා. අර්ථය තුළ ඉන්නවා. ධර්මය තුළ ඉන්නවා.”

70.1.1.-23 “භය නැතිකරල අමා නිවන කරා ගෙනයන යම් වචනයක් බුදු සමිඳුන් වදාළ සේක්ද දුක් නිමා කරන අන්න ඒ වචනය ලෝකයේ සියලු වචනවලට වඩා ශ්‍රේෂ්ඨයි.”

70.1.1.-24 “සැරියුත් සමිඳුන්ගේ ප්‍රඥාව ඉතා ගැඹුරුයි. පුදුමාකාර නුවණක් තියෙන්නෙ. මාර්ගයත්, අමාර්ගයත් තෝරාදෙන්ට අතිශයින්ම දක්ෂයි. මහා ප්‍රඥාවෙනුයි ඒ සැරියුත් තෙරුන් භික්ෂූන්ට දහම් දෙසන්නෙ.”

70.1.1.-25 “උන්වහන්සේට පුළුවනි කෙටියෙනුත් දහම් දෙසන්ට. උන්වහන්සේට පුළුවනි විස්තර වශයෙනුත් දහම් දෙසන්ට. සැලලිහිණියෙකු ගේ වගේ මිහිරි හඬක් තියෙනවා. ධර්මය දේශනා කරන්ට පටන් ගත්තහම දිගින් දිගටම උන්වහන්සේගේ ප්‍රතිභා ශක්තිය මතුවෙලා එනවා.”

70.1.1.-26 “ඒ මිහිරි, සිත්කළු වචන හැම දෙනෙක්ම අහගෙන ඉන්නවා. දෙසවන් පිනවන මිහිරි ස්වරයෙන් යුතු ඒ වචන අසන්නට භික්ෂූන් හරි කැමතියි. කණ් යොමු කරගෙන අසාගෙන ඉන්නෙ හරි ප්‍රීතිමත් සිතකින්.”

70.1.1.-27 “අද පුන් පොහෝ දවසක්. පිරිසිදු උපෝසථය කරන්ට පන්සීයක් රහතන් වහන්සේලා වැඩල ඉන්නෙ. භව බන්ධන නැති කරපු, පුනර්භවය විනාශ කළ, දුකින් නිදහස් වූ ඒ සියලු භික්ෂූන්ම ඉසිවරයන් වහන්සේලාය.”

70.1.1.-28 “මහා සාගරය සීමා කරගෙන තිබෙන මේ පෘථිවිය සිසාරා ඇමැතිවරුන් පිරිවරාගෙන සැරිසරන සක්විති රජෙක් වගේ.”

70.1.1.-29 “ඒ විදිහමයි මාර සේනාව පරදවලා ජය අරගෙන සිටින ත්‍රිවිද්‍යාව ලබාගත්තු ශ්‍රාවකයින් පිරිවරා ගෙනයි අනුත්තර වූ ශාස්තෘන් වහන්සේ සැරිසරා වඩින්නෙ.”

70.1.1.-30 “රහතන් වහන්සේලා කියන්නෙ භාග්‍යවතුන් වහන්සේගෙ දරුවෝ. අසරණ වූ කිසි දෙයක් උන්වහන්සේලා තුළ නෑ. තෘෂ්ණා හුල උදුරා දමන හිරු ගොත් වංශයේ උපන් මුනිඳාණන් වන්දනා කරන,”

70.1.1.-31 “දාහකට වැඩි මේ භික්ෂු පිරිස සුගතයන් වහන්සේමයි ඇසුරු කරන්නෙ. උන්වහන්සේ අපට කියල දුන්නෙ, කිසිම ආකාරයකින් බියක් ඇති නොවන, නිකෙලෙස් වූ ‘අමා නිවන නම් ධර්මය’ යි.”

70.1.1.-32 “සම්බුදු සමිඳුන් වදාරණ ඒ නිර්මල ධර්මය තමයි භික්ෂූන් අසන්නෙ. භික්ෂු සංඝයා පිරිවරා ගෙන බුදු සමිඳුන් වැඩසිටින ඒ දර්ශනය අතිශයින්ම සුන්දරයි.”

70.1.1.-33 “ඉසිවරුන් අතර හත්වැනි පරම ඉසිවරයා යැයි කිව හැකි භාග්‍යවතුන් වහන්සේ ‘නාග’ වන සේක. ශ්‍රාවක ජනයා වෙත දහම් වැසි වසින්නේ මහා වැස්සක් වහිනවා වගෙයි.”

70.1.1.-34 “මං දිවා විහරණයෙන් නික්මිලා මෙහි පැමිණුනේ ශාස්තෘන් වහන්සේව බැහැ දකින්ටමයි. මහා වීරයාණෙනි, ඔබ වහන්සේගේ පා කමල් වඳින්නේ වංගීස නම් වූ ශ්‍රාවක භික්ෂුවයි.”

‎70.1.1.-35 “බුදු සමිඳුන් දෙස බලනු මැනවි. උන්වහන්සේ මාරයාගේ කෙලෙස් මාර්ගය වහල දැම්මා. කෙලෙස් හුල් නැති කළා. නිදහසේ හැසිරෙන්නෙ. විස්තර විභාග වශයෙන් සදහම් කියල දෙනවා. හැම බන්ධනයෙන්ම නිදහස් කරවල මේ සත්වයන්ව කෙලෙස්වලින් මුදවනවා.”

70.1.1.-36 “උන්වහන්සේ නිවන් මග වදාළේ මේ කෙලෙස් සැඩ පහරින් එතෙර වීම පිණිසමයි. නොයෙක් ආකාරයෙන් ඒ අමා නිවන් මග කියා දෙන කොට භික්ෂූන් වහන්සේලාද ඒ කැළඹීම් රහිත අමා නිවනේම පිහිටියා.”

70.1.1.-37 “සදහම් ආලෝකය උදාකරන, පවතින හැමදෙයක්ම ඉක්මවා යන ධර්මයක් තමයි උන්වහන්සේ අවබෝධ කළේ. තමන් වහන්සේ සාක්ෂාත් කළ ඒ උතුම් ධර්මය ඉස්සෙල්ලාම කියා දුන්නෙ පස්වග මහණුන්ටයි.”

70.1.1.-38 “ඉතින් මෙතරම් සුන්දර ලෙස දේශනා කර තිබෙන ධර්මයක් තියෙන කොට ඒ ධර්මය දන්න කොට ප්‍රමාද වන්නෙ කුමටද? එ නිසා හැමතිස්සේම භාග්‍යවතුන් වහන්සේට නමස්කාර කරන්ට ඕනෑ. අප්‍රමාදීව ධර්මයේ හැසිරෙන්ට ඕනෑ.”

70.1.1.-39 “දැඩි වීරියෙන් යුතු බුද්ධානුබුද්ධ වූ ඒ කොණ්ඩඤ්ඤ නම් රහතන් වහන්සේ හැම තිස්සේම විවේක සැපයෙන් තමයි වැඩසිටියේ.”

70.1.1.-40 “ශාස්තෘන් වහන්සේගේ අවවාද පිළිඅරගෙන හික්මෙන ශ්‍රාවකයෙක් යම් අර්ථයක් ලැබුවද, අප්‍රමාදීව හික්මෙන සියලු ශ්‍රාවකයන් ඒ අර්ථය ලබාගත්තා.”

70.1.1.-41 “ඒ කොණ්ඩඤ්ඤ තෙරුන් මහානුභාව සම්පන්නයි. අනුන්ගේ සිත් දැනගන්නා නුවණින් යුක්තයි. බුදු සමිඳුන්ගේ දායාදයක්. උන්වහන්සේ තම ශාස්තෘන් වහන්සේගේ සිරි පා කමල් වන්දනා කරනවා.”

70.1.1.-42 “ත්‍රිවිද්‍යාලාභී ඒ ශ්‍රාවකයෝ මාරයාගේ ඇසුරින් ඉවත් වෙලයි ඉන්නෙ. දුකින් එතෙරට වැඩි බුදු සමිඳුන් ඉසිගිලියේ කළුගල් තලාවේ වැඩ ඉන්නකොට ඒ ශ්‍රාවකයින් උන්වහන්සේව පිරිවරා ගන්නවා.”

70.1.1.-43 “මුගලන් තෙරුන්ගේ ඉර්ධිමත් බව හරි පුදුමයි. කෙලෙසුන්ගෙන් නිදහස් වෙච්ච නිකෙලෙස් හිතක් උන්වහන්සේට තියෙන්නෙ. ඉතින් උන්වහන්සේට පුළුවන් තමන්ගේ සිතින් ඒ භික්ෂූන්ගේ සිත් ගැන කියන්ට.”

70.1.1.-44 “මේ විදිහේ විවිධාකාර හැකියාවන් උන්වහන්සේලාට තියෙනවා. සියලු ගුණයෙන් සපිරුණ බුදු සමිඳුන්ව පිරිවරා ගෙන ඉන්නෙ එවැනි භික්ෂූන් තමයි.”

70.1.1.-45 “වලාකුළු නැති ආකාසයේ පුන් සඳ මඬල බබලනකොට හරි ලස්සනයි. හැම බාධාවක්ම ඉවත් වෙලා හිරු මඬල බබලනකොටත් හරි ලස්සනයි. අංගීරස මහා මුනිවරයාණනි, ඔබවහන්සේත් ඒ වගේමයි. හැමදෙයක්ම අභිබවා කීර්තියෙන් බබලනවා.”

70.1.1.-46 “මට ලස්සනට කවි හදන්ට පුළුවන්. ඉස්සර මං ඒ ගැන මත් වෙලා හිටියේ. ඉතින් මං ගමින් ගමට නගරයෙන් නගරෙට ඇවිද ගෙන ගියා. ඒ ගමනෙදී තමයි හැම දේකින්ම එතෙර වුණ භාග්‍යවත් බුදු සමිඳුන්ව දැක ගන්නට ලැබුණේ.”

70.1.1.-47 “දුකින් එතෙරට වැඩි බුදු සමිඳුන් මටත් දහම් දෙසා වදාළා. ඒ ධර්මය ගැන මං ගොඩක් පැහැදුණා. ඇත්තෙන්ම අපේ යහපත පිණිසමයි මේ තුනුරුවන් අපට ලැබුණේ.”

70.1.1.-48 “මං සමිඳුන් වදාළ උතුම් වචන හොඳට අසාගත්තා. ස්කන්ධ, ධාතු, ආයතන ගැන දැනගත්තා. මාත් බුදු සසුනේ මහණ වුණා.”

70.1.1.-49 “කාන්තාවන්, පුරුෂයින් බොහෝ දෙනෙක් බුදු සමිඳුන්ගේ අවවාදයෙහි පිහිටා කටයුතු කරනවා. ඇත්තෙන්ම බොහෝ දෙනෙකුගේ යහපත පිණිසයි තථාගතයන් වහන්සේලා ලෝකෙට පහළ වෙන්නෙ.”

70.1.1.-50 “නිවන් මගට බැසගත්ත ඒ භික්ෂු භික්ෂුණී පිරිස ඒ අමා නිවන සාක්ෂාත් කරගත්තා නම්, ඔවුන්ට හිත සුව පිණිසමයි බුදු සමිඳුන් සම්බුද්ධත්වයට පත්වුණේ.”

70.1.1.-51 “හිරු ගොත් වංශයෙන් උපන් සදහම් ඇත් ඇති බුදු සමිඳුන් ලෝකයාට මහත් අනුකම්පාවෙන්මයි මේ චතුරාර්ය සත්‍ය ධර්මය දේශනා කොට වදාළේ.”

70.1.1.-52 “දුක කියන්නෙ ආර්ය සත්‍යයක්. දුකේ හටගැනීමත් ආර්ය සත්‍යයක්. දුක ඉක්මවා යාමත් ආර්ය සත්‍යයක්. ඒ දුක සංසිඳුවන ආර්ය අෂ්ටාංගික මාර්ගයත් ආර්ය සත්‍යයක්.”

70.1.1.-53 “ඔන්න ඔය විදිහටයි ඒ ධර්මයේ ආර්ය සත්‍ය පෙන්නා දෙන්නෙ. මාත් ඒ විදිහටම ඒ සත්‍යය දැකගත්තා. උතුම් අර්ථය ලබා ගත්තා. බුදු සසුන සම්පූර්ණ කරගත්තා.”

70.1.1.-54 “මං මේ බුද්ධ ශාසනයට ඇතුල් වුණ එක ඉතාම යහපත් දෙයක්. බුදු සමිඳුන් සමීපයෙන්ම මනා විස්තර ඇති මේ ධර්මය දැන ගත්තේ. ඒ ධර්මය මාත් සාක්ෂාත් කළා.”

70.1.1.-55 “අභිඤ්ඤාවන්ගේ පරතෙරට පත් වුණා. දිව්‍ය කණත් පිරිසිදු කර ගත්ත. ත්‍රිවිද්‍යාවත් ලබා ගත්ත. ඉර්ධි බලයට පත් වුණා. අනුන්ගේ සිත් දැනගන්ටත් දක්ෂ වුණා. මේ ජීවිතයේදී සියලු සැක සංකා නැති කරන,”

70.1.1.-56 “අලාමක ඤාණයකින් යුක්ත ශාස්තෘන් වහන්සේ ගෙන් මං අහන්ට කැමතියි, ඒ භික්ෂුවගේ ගුණ නුවණ පැතිරිලා ගිහින් තිබුණේ. නිවී ගිය සිතක් තිබුණේ. අග්ගාළව විහාරෙදී ඒ භික්ෂුව කලුරිය කළා.”

70.1.1.-57 “එයාගේ නම නිග්‍රෝධ කප්ප. භාග්‍යවතුන් වහන්සේ විසින්මයි ඒ උතුම් භික්ෂුවට ඒ නම තැබුවේ. පටන් ගත්ත වීරිය තුළමයි ඒ භික්ෂුවත් හිටියෙ. ගැඹුරු ධර්මය දකිමින්, අමා නිවන පතමින්, බුදු සමිඳුන්ට වන්දනා කරමිනුයි ඒ භික්ෂුව හිටියේ.”

70.1.1.-58 “ශාක්‍ය මුනීන්ද්‍රයාණනි, සියල්ලම දකින මුනිඳුනි, අපි කවුරුත් කැමතියි ඒ භික්ෂුව ගැන දැනගන්ට. අපේ සවන් යුග යොමු වෙලා තියෙන්නෙ ඒ කරුණටමයි. ඔබ වහන්සේමයි අපේ ශාස්තෘන් වහන්සේ, ඔබ වහන්සේමයි අනුත්තර සමිඳාණන්.”

70.1.1.-59 “සියල්ලම දකින මුනිඳුනි. දෙවියන් පිරිවරා ගත් සක්දෙවිඳුන් වගෙයි, ඔබවහන්සේ අප අතර වැඩ සිටින්නෙ. මහා නුවණැති මුනිඳුනි, ඒ භික්ෂුව ගැන අපට කියා දෙන්න. අපේ සැකය දුරු කර දමන්න. ඒ භික්ෂුව පිරිනිවන් පෑ සේක්ද?”

70.1.1.-60 “ලෝකයේ මුළාවන මාර්ගය කියන්නෙ අවිද්‍යාවටයි. ඒ අවිද්‍යාව පැත්තෙ තියෙන සැක සිහත කෙලෙස් ගැට තථාගතයන් වහන්සේට නෑ. ඇත්තෙන්ම ලෝකෙ හැම දෙනාගෙම ‘උතුම් ඇස’ කියල කියන්නෙ ඔබවහන්සේටයි.”

70.1.1.-61 “ලොකු වැහි වළාකුළු සැඩ සුළංවලින් ගහගෙන යනව වගේ, හිත්වල උපදින කෙලෙස් බුදු සමිඳුන් ප්‍රහාණය නොකළා නම්, මුළු ලෝකෙම වැහිල තියෙන්නෙ අඳුරින් විතරයි. එහෙම වුණා නම් කවදාවත් නුවණින් බබලන මිනිස්සු බිහිවෙන්නෙ නෑ.”

70.1.1.-62 “ලෝකය එළිය කරන්නෙ ඤාණවන්ත මුනිවරු විසිනුයි. බුදු සමිඳාණනි! ඔබවහන්සේ ගැනත් මට හිතෙන්නෙ ඒ විදිහටමයි. ධ්‍යාන විදර්ශනා තියෙන මුනිඳුන් ළඟටයි අපිත් ආවෙ. අනේ ස්වාමීනි, ඒ නිග්‍රෝධ කප්ප තෙරුන් ගැන අපට කියා දෙන සේක්වා!”

70.1.1.-63 “ඒ මිහිරි හඬින් අර්ථ රස වැගිරෙනවා. ඉතා රසවත් විදිහටයි ඒ වචන එකතු වෙන්නෙ. මිහිරි නාදයකින් යුක්ත ඒ ස්වරයෙන් ධර්මය වදාළ මැනව. හංසයෙක් බෙල්ල ඔසවල කූජනය කරනවා වගේ, මිහිරි හඬින් යුක්ත ඒ ලස්සන වචන වලින් අපට කියා දෙන්න. සිත් සෘජු කරගෙන අපි අහගෙන ඉන්නම්.”

70.1.1.-64 “ඉපදෙන මැරෙන ලෝකය ඉතිරි නැතිවම නැති කරපු, සියලු පාපයන්ම සෝදා ඉවත් කරපු, බුදු සමිඳුන් ලවා තමයි මිහිරි ධර්මය දේශනා කරවන්නෙ. පෘථග්ජන උදවිය වගේ හිතට එන එන දේ කීරීමක් තථාගතවරුන්ට නෑ. උන්වහන්සේලා නුවණින් සලකලයි හැමදෙයක්ම කරන්නෙ.”

70.1.1.-65 “ඉතා පැහැදිලි විදිහටයි සද්ධර්මය පවසන්නෙ. සෘජු ප්‍රඥාවක් තියෙන්නෙ. බුදු සමිඳුන්ගෙ ගුණ සම්පත් අපි පිළිගන්නවා. අපි දෑත එක්කොට වන්දනා කරගෙන මේ කියන්නෙ. මහා ප්‍රඥාවන්තයාණනි, අපටත් ඤාණය දෙනු මැනව.”

70.1.1.-66 “අලාමක ප්‍රඥා ඇති වීරයාණන්, හැමදෙයක්ම අවබෝධ කරගත් මුනිඳුනි, අපව මුලාවෙන් මුදවා ගන්නා සේක්වා! නියංසායෙන් දුක් විඳින කෙනෙක් මහා වැස්සට කැමැති වෙනවා වගේ, අපිත් ධර්මය අසන්ට කැමැතියි. දහම් වැසි වස්සන සේක්වා!”

70.1.1.-67 “අපගේ නිග්‍රෝධ කප්ප තෙරුන් මේ උතුම් පැවිදි ජීවිතය ගත කළේ යම් අර්ථයක් ඇතුවයි. එයාගේ ඒ අර්ථය ඉෂ්ට වුණාද? උන්වහන්සේ පිරිනිවන් පෑ සේක් ද? නැතිනම් කෙලෙස් සහිතවද අපවත් වුණේ. ඒ ගැන දැනගන්ටයි අපි කැමැති.”

70.1.1.-68 “(භාග්‍යවතුන් වහන්සේ) නාම රූපවලින් සකස් වුණ මේ ලෝකේ බොහෝ කාලයක් මුළුල්ලේ එයා තුළ තිබුණේ මාරයාගේ සැඩ පහරයි. ඒ තෘෂ්ණාව එයා නැති කරල දැම්මා. ඉපදෙන මැරෙණ ලෝකයෙන් සදහටම එතරෙ වුණා.”

70.1.1.-69 “(වංගීස සමිඳු) උත්තම ඉසිවරයාණනි, ඔබ වහන්සේගේ ඒ වචනය ඇහුවට පස්සේ මං පැහැදිලා ගියා. භාග්‍යවතුන් වහන්සේ ගෙන් මං අහපු දෙයක් කවදාවත් හිස් වුණේ නෑ. උතුම් බ්‍රාහ්මණයන් වහන්සේ මාව රැවැට්ටුවෙ නෑ.”

70.1.1.-70 “ඒ භික්ෂුවත් කියන දේ ඒ විදිහටම කරන බුදු සමිඳුන්ගේ ශ්‍රාවකයෙක්. නුවණ යොදවලාමයි මාරයාගේ මායාකාරී දැල කඩල බිඳල දැම්මෙ.”

70.1.1.-71 “නිග්‍රෝධ කප්ප තෙරුන්ගේ හැම සුල මුලක්ම භාග්‍යවතුන් වහන්සේ දැකගත්තා. ඇත්තෙන්ම එතෙර වෙන්ට අතිශයින්ම දුෂ්කර වූ මේ මාර විජිතයෙන් කප්ප තෙරුන් එතෙර වුණා.”

70.1.1.-72 “නරෝත්තමයාණනි, දේවාතිදේව වූ ඔබවහන්සේට මං වන්දනා කරනවා. මහා හස්තිරාජයෙක් වගේ ඉන්න බුදු සමිඳුන්ගේ අනුජාත පුත්‍රයෙක් වූ ළයෙහි උපන් පුත්‍රයෙක් වූ මහා වීරියවන්තයෙක් වූ නිග්‍රෝධ කප්ප කියන උතුම් හස්තියාටත් මං වන්දනා කරනවා.”

මේ වනාහී ආයුෂ්මත් වංගීස නම් රහත් මුනිඳුන් වදාළ ගාථාවන් ය.

* * * රහතන් වහන්සේලා වදාළ ගාථාවන් නිමා විය. * * *

මෙතෙක් පළ කළ ථේර ගාථා සියල්ල උපුටා ගන්නා ලද්දේ පූජ්‍ය කිරිබත්ගොඬ ඤාණානන්ද පින්වත් ස්වාමීන් වහන්සේ විසින් පරිවර්ථනය කරන ලද ‘ඒ අමා නිවන් දුටු රහතන් වහන්සේලා’ නම් සදහම් ග්‍රන්ථයෙනි. එය සකස් කිරීමට කටයුතු කළ උන්වහන්සේ ඇතුළු සියළු ගිහි පැවිදි උතුමන්ට ඒ අමා නිවන් සුවම අත් වේවා!!! සාදු! සාදු!! සාදු!!!

Responses

  1. ඹබට පින්සිදු‍‍ෙවිවා

  2. Great advise for lokika life.

  3. Ithamath watina deyak,thawathwath me dewal walata shakthiya labewa,BUDUSARANAI!!!!!!!!!!

  4. Obata pin sidu veva

  5. Sabbe Satta Bawanthu Sukhi Tatta !

  6. ඉදිරිය ට ත්, කරගෙන යන්න. තෙරුවන් සරණ යි!

  7. Pleace tell us How to buy this book”Maharahathun wadi maga osse

  8. I won’t to help ”how can i will met to this book write thera.

  9. හරි දේ වැරදියටත්,වැරදි දේ හරියටත් දකින,කරණ,කියන,හිතන,පතන වර්තමාණ සමාජයට යථාර්තය නුවනින් මෙනෙහි කරන්නට නියම යොමු කිරීමක්.
    තෙරැවන් සරණයි.

  10. Obata boho pin. You have chaged our mind.

  11. ඇත්තටම ගොඩක් සතුටුයි!
    මෙවැනි දේවල් අනාගතයට අවශ්‍යයි..
    තෙරුවන් සරණයි ඔබට !

  12. Obata pin sidu wewa

  13. ධර්ම දානයට ස්තූතියි. තෙරුවන් සරණයි ඔබට.

  14. බලා හිඳ,ගෙන වේලාවක්,සිතන්නට හැක්නම් මටත් මේ දහම වේ පිළිසරණක් ලොව දකින්නට,


Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

%d bloggers like this: