Posted by: lrrp | April 17, 2008

කුම්භ ඝෝෂක සිටුතුමාගේ කථා වස්තුව – දියුණුවේ රහස

පින්වතුනේ, පින්වත් දරුවනේ, සමහර කාල වල දී සිදු වෙන විපත්ති නිසා මනුෂ්‍යයින් හට බොහෝ හානි සිදුවෙනවා. එවැනි විපත්ති කාලයක් රජගහ නුවරට ඇතිවුණා. අහිවාතක නම් වූ භයානක රෝගයක් පැතිර ගියා. බේරෙන්නට පුළුවන් වුණේ ටික දෙනාට යි. බොහෝ දෙනෙක් ඒ රෝගයෙන් මිය ගියා. එක්තරා සිටු මැදුරකටත් ඒ රෝගය පැතිරුණා. සිටුතුමාත් බිරිඳත් තමන්ගේ පුතා කැඳෙව්වා. “පුතේ, අපටත් අහිවාතක රෝගය හැදුණා. දැන් ඉතින් අපේ ජීවිතය විශ්වාස නෑ. මේ රෝගය හැදුන කෙනෙක් බේරුණේ නෑ. මගේ පුතේ, අසවල් අසවල් තැන් වල ධනය සඟවලා තියෙනවා. කෝටි හතළිහක පමණ වස්තුව එහි තියෙනවා. පුතේ, හොඳින් මතක තියාගන්න. අමතක වෙන්න දෙන්න එපා….. දැන් ඉතින් වහාම මේ පළාත ම අත්හැරලා පැනල යන්න. රෝගය බෝවෙන්න කලින් පැනගනින් පුතේ… මේ පව්කාර රෝගය සංසිඳුනු කාලයක ඒ සියලු වස්තුව පුතාට ගන්න පුළුවන්.” මව් පිය බස පිළිගත්තු පුතා රජගහ නුවර අත්හැර පැනගියා. දුක සේ ජීවත් වුණා. නැවත රජගහ නුවරට පැමිණුනේ වසර දොළහකට පස්සෙයි.

එතකොට තමන් ව හඳුනන කවුරුවත් රජගහ නුවර නෑ. අහිවාතක රෝගයෙන් බොහෝ දෙනෙක් මැරිලා තිබුණා. තමන්ගේ සිටු මැදුර තිබුණ තැන සොයාගෙන ගියා. හැම දෙයක් ම ගරා වැටිලා තිබුණා. නමුත් මව් පියන් පෙන්නපු ධනය තියෙන තැන් හොඳින් ආරක්ෂා වෙලා තිබුණා. පුතා කල්පනා කළා. “මං අඳුරන කව්රුවත් මෙහෙ නෑ. මව් පියන්ගේ ධනය තවම ආරක්ෂා වෙලා තියෙනවා. නමුත් මේක මම ගන්න ගියොත් කව්රුවත් මා ගැන නො දන්නා නිසා මං අමාරුවේ වැටෙනවා.”

පුතා ධන ආසාව අත්හැරියා. කුලී වැඩ කරන්න පටන් ගත්තා. අන්තිමේ දී නුවර ප්‍රධාන වීදියේ කම්කරුවන්ව පාන්දරින් අවදිකරවන රස්සාව ලැබුණා. මෙම පුතා මහ හඬින් කථා කරලා කම්කරුවන්ව අවදි කරවනවා. මොහුගේ හඬ ගාම්භීර යි. ගිගුම් දෙනවා. මේ නිසා මොහුට ඝෝෂක කියන නම වැටුණා. දිනක් මොහුගේ දෝංකාර දෙන ගැඹුරු හඬ බිම්බිසාර රජුටත් අසන්නට ලැබුණා. රජු කල්පනා කළා “මේ හඬ සාමාන්‍ය හඬක් නොවෙයි. මේ හඬට අනුව නම් මොහු මහා ධනවතෙක් විය යුතුයි.”

බිම්බිසාර රජු ඝෝෂකව කැඳෙව්වා. විස්තර විමසුවා. සිටු පවුලට අයිති කෝටි හතළිහක ධනය ගොඩට ගත්තා. ඝෝෂකට ඒ සියල්ල පැවරුවා. රජගහ නුවර සිටු තනතුර දුන්නා. මෙවැනි මහා ධනයකට හිමිකරුවෙක්ව ඉඳගෙනත්, සාමාන්‍ය කම්කරු රැකියාවක් කරන්නට තරම් මොහුගේ ගුණවත් කමත්, නුවණත්, වීරියත් ගැන කවුරුත් පැහැදුනා. රජතුමා බුදුරජාණන් වහන්සේ ළඟට ඝෝෂක සිටාණන් ව කැඳවාගෙන ගියා.
එවේලෙහි දී භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ මෙම ගාථාව වදාළා.

4. උට්ඨානවතෝ සතිමතෝ
සුචිකම්මස්ස නිසම්මකාරිනෝ
සඤ්ඤතස්ස ච ධම්ම ජීවිනෝ

නැගී සිටිනා වීරියෙන් යුතු
ඉතා හොඳ සිහි නුවණකින් යුතු
පිරිසිදුව කරනා දෙයින් යුතු
සොයා බලනා නුවණකින් යුතු
මනා සංවර සීලයෙන් යුතු
ධාර්මික ජීවිතයකින් යුතු
පමාවෙන් තොර දිවි ගෙවන්නා
වේ ය ලොව කිතු ගොස ලබන්නා

පින්වතුනේ, පින්වත් දරුවනේ, දියුණුවේ රහස බලන්න. කෙනෙක් දියුණු වීමට වුවමනා කරන මූලික කරුණු සියල්ල ම මෙතන තියෙනවා. පළමුවෙනි කාරණාව උට්ඨාන වීරිය යි. එනම් නැගී සිටීමේ වීරිය යි. මේ කෙනා හැම තිස්සේ ම ප්‍රබෝධමත් සිතින් ඉන්නවා. ජීවිතය ගැන නිරවුල් ව සැලසුම් කරනවා. ඒ සැලසුම් ක්‍රියාත්මක කරනවා. නැගී සිටිනා වීරිය එය යි.

ඒ වගේ ම හොඳ සිහි නුවණක් අවශ්‍ය යි. සිහි නුවණක් නැත්නම්, උත්සාහයෙන් නියම ප්‍රයෝජනය ගන්නට බැහැ. ඒ නිසා තමන් කරන සෑම දෙයක් ගැන ම හොඳ සිහියක් තියෙන්නට ඕනෙ. ‛මා මෙපමණ ගණනක් උපයනවා. මා වියදම් කළ යුත්තේ මෙපමණ යි.’ ආදී වශයෙන් සිහි නුවණින් යුතුව හැම දෙයක් ම කරනවා.

සුචිකම්ම කියන්නේ පිරිසිදු දේවල් කියන එක යි. පිරිසිදු වැඩ කටයුතු යනුවෙන් අදහස් කරන්නේ හොරයක්, බොරුවක්, වංචාවක්, රැවටීමක් නැතිව අවංකව කටයුතු කිරීම යි. අවංකව කටයුතු කරන කෙනා ඒ අවංකකම නිසා ම සමාජයේ පිළිගැනීමකට ලක්වෙනවා. එබඳු කෙනෙක් සමඟ ගනුදෙනු කරන්න කවුරුත් කැමතියි.

ඒ වගේ ම නුවණින් විමසා සොයා බලා කටයුතු කිරීම බුද්ධිමත් කෙනෙකුගේ ලක්ෂණය යි. නිසම්මකාරී කියන්නේ ඒ තැනැත්තාට යි. ඉතින් තමන් කරන කියන කටයුතු නුවණින් විමසා බලා කරනවා නම්, ඔහුට වරදින්න තියෙන අවස්ථා අඩුයි. ඔහුට දියුණු වෙන්න තියෙන අවස්ථා වැඩියි.

පුද්ගලයෙකුගේ ජීවිතයක් සාර්ථක වීමට යම් කිසි සංවරකමක් අවශ්‍ය යි. ඒ සංවරකම ලැබෙන්නේ තමන්ගේ ධාර්මික ජීවිතයත් සමඟ යි. සංවරකම තුළින් තමන්ගේ චරිතය සංවර්ධනය වෙනවා. ධාර්මික ජීවිතය තුළින් තමන්ට ලොකු සතුටක් ලැබෙනවා. අනුන්ට යහපත සිදුවෙනවා. මේ ලක්ෂණ ඇති ජීවිතය ලෞකික වශයෙන් අප්‍රමාදී ජීවිතයක්. මේ කෙනා තුළ සතුන් මැරීම නෑ. සොරකම් කිරීම නෑ. අනාචාරයේ හැසිරීම නෑ. බොරුව, වංචාව නෑ. මත් පැන් මත් ද්‍රව්‍ය පාවිච්චිය නෑ. මෙබඳු කෙනෙක් ලෞකික වශයෙන් ප්‍රමාද නෑ. ඒ නිසා ම මෙබඳු කෙනෙකුගේ යශෝරාවය හැම තැන ම පැතිරෙනවා.

පින්වතුනේ, පින්වත් දරුවනේ, මේ ලක්ෂණ ඔබත් ඇති කර ගන්න. ජීවිතයක් ලෞකික වශයෙන් සාර්ථක වීමට මෙම ගාථාවේ සඳහන් උතුම් කරුණ සම්පූර්ණයෙන් ම බලපානවා. පත පත හිටියා කියලා කිසි කෙනෙක් දියුණු වෙන්නෙ නෑ. දියුණු වෙන්නේ එයට වුවමනා කරන හේතු කාරක ධර්ම ඇති කරගත් දවසට යි.


Responses

  1. Thanks of ur news

  2. awD

  3. මේ කතාවේ විශාල කොටසක් අඩුයි. සද්ධර්ම රත්නාවලියේ මේ ගැන අපූරැවට සදහන් වෙනවා.

    රජු කියනවා මොහුගේ කටහඩ අනුවනම් එසේ මෙසේ කෙනෙක් වෙන්න බෑ. බොහොම ධනවත් කෙනෙක් වෙන්න ඔනෙ කියලා. මේක අහගෙන හිටපු අන්තංපුර ස්ත්‍රියක් වෙස්වලාගෙන ගිහින් කුම්භගෝෂකගෙ ගෙදර නවතිනවා තමන්ගේ දුවත් එක්ක. රජවාසලේ විදිහට රසට කෑම හදන නිසා කුම්භගෝෂකට මෙයාලව එලවන්න හිතෙන්නෙ නෑ. නමුත් ධනය ගැන දැනගන්න ලැබේවි කියලා බයට එලවනවා මේ අන්තංපුර ස්ත්‍රිය චාටුවෙන් මේ ගෙදර ඉන්නවා.

    රජු හරහා විශෘල උත්සවයක් පවත්වන ලෙසත් රාජ නියෝගය අනුව සෑම නිවසක්ම සැරසිය යුතු බවත් කියලා පණිවිඩයක් යවනවා.
    මේ ගැනි කුම්භගෝෂකගෙන් සල්ලි ඉල්ලුවාම සල්ලි නෑ කියලා රජ නියෝගය නිසා දෙමව්පියන්ගේ දෙපලෙන් මසුරමක් දෙනවා. මේ අන්තංපුර බිසව තමන්ගෙ සල්ලි වලින් නිවස සරසලා මසුරම රජවාසලට ගෙනිහින් පරීක්ෂා කරනවා. ඒක මහා ධනවත් පවුලකට අයිති බව දැනගෙන රජ නියෝගයෙන් රජවාසලට ඇවිත් කරැණු පැහැදිලි කළාම රජ මොහු ගැන පැහැදෙනවා.


Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

Categories

%d bloggers like this: