Posted by: lrrp | April 17, 2008

චුල්ලකාල මහාකාල තෙරුන් වහන්සේලා ගේ කථාව

අසංවර වූ හීන වීරිය ඇති කෙනා කිසි දියුණුවක් ලබන්ට බැහැ. සංවර වූ වීරියවන්ත කෙනා හැම දෙය ම ජය ගන්නවා.

පින්වත් දරුවනේ, ඒ කාලයේ සේතව්‍ය කියල නගරයක් තියෙනවා. එහි මහාකාල, මජ්ක්ධිම කාල, චුල්ල කාල කියල පුතාල තුන් දෙනෙක් සිටින පවුලක් හිටියා. ඔවුන් රැකියාවට කළේ වෙළදාමයි. වෙළදාම නිසා ඔවුන් ගේ අතමිට සරු වුණා. මහා ධනවතුන් වුණා. එක් කාලෙක මහාකාල නම් වූ වැඩිමහළු සොහොයුරාත්, චුල්ල කාල නම් වූ බාල සොහොයුරාත් වෙළඳාම පිණිස සැවැත් නුවරට පැමිණියා. සැවැත් නුවර දී මේ වෙළඳ සොහොයුරන්ට බුදු රජාණන් වහන්සේ ගැන අසන්ට ලැබුණා. මුළු නගරය ම සාමකාමි යි. බොහෝ නිවෙස්වල සවස් යාමයේ තෙරුවන් වන්දනා කොට භාවනා කරනවා. බණකථා අසනවා. හරිම ප්‍රීතියෙන් කල් ගෙවනවා. මේ වෙනස ගැන වෙළඳ සොහොයුරන් පුදුමයට පත් වුණා. ඔවුන්ටත් සැවැත් නුවර ජේතවනාරාමයට යන්නට ආශා හිතුනා. දිනක් සවස් යාමයේ මේ දෙදෙනා දෙව්රම් වෙහෙරට ගියා. බුදු රජාණන් වහන්සේව දැක ගත්තා.

එදා බුදු රජාණන් වහන්සේ ඉතාම ලස්සනට උතුම් ධර්මය කියා දුන්නා. මේ ඉපදෙන මැරෙන සසර ගමන ඉතාම භයානකයි. සිතේ ඇති වෙන ලෝභයත්, ද්වේශයත්, මුලාවත් නිසා සත්වයන් කෙලෙසී යනවා. එසේ කෙලෙසී ගිය මිනිසුන් සිත කය වචනය යන තිදොරින් කර්ම රැස්කොට අපායෙහි ඉපදෙනවා. නමුත් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගත්තොත් මේ ප්‍රශ්නය විසඳාගන්න පුළුවනි. හැබැයි කෙනෙකුට ඒ වෙනුවෙන් මුළු ජීවිතයම කැප කළොත් ලෝභ, ද්වේශ, මෝහ යන අකුසල්වලින් සම්පූර්ණයෙන් ම නිදහස් වෙන්න පුළුවනි. සාමාන්‍ය ගිහි ජීවිතයක් ගත කරමින් ආර්ය අෂ්ටාංගික මාර්ගය පුරුදු කරද්දී සෑහෙන වෙහෙසක් ගන්න වෙනවා. ඒකට හේතුව කාමසැපයට ම යි ගිහි ජීවිතය තියෙන්නේ. කෙලෙස් උපදින මාවතක් වගෙයි. හැමතිස්සේ ම මොකක් හරි දෙයකට හිත බැඳිල යනවා. ඒ වුණාට මේ පැවිදි ජීවිතය නම් හරීම නිදහස්. ආකාශය වගෙයි.

මේ වෙළඳ සොහොයුරන් දෙදෙනා බණ අසාගෙන සිටියා. මහාකාල හිටියේ ඉතාම හොඳින් සවන් දීගෙන යි. බුදු රජාණන් වහන්සේ වදාළ හැම බණ පදයක් ම මෙයාට අවබෝධ වුණා. මෙතරම් උතුම් අවස්ථාවක් ආයෙ කවදාවත් ලැබෙන එකක් නැහැ කියලා මෙයාට තේරුණා. බුදු රජාණන් වහන්සේ ධර්මය දේශනා කරලා ගන්ධ කුටියට වැඩියා. මහාකාල ලොකු කල්පනාවකට වැටුණා. එයා චුල්ලකාලට මෙහෙම කිව්වා. “මල්ලියේ, ඔයා ගෙදර යන්න. වෙළහෙළඳාම් කටයුතු කර ගන්න. අනෙක් අයට හොඳින් සළකන්න. මං මහණ වෙනවා. මං ආයෙමත් ගිහි ගෙදරට බැඳෙන්නේ නැහැ. බුදු රජාණන් වහන්සේව මුණ ගැසුන වෙලාවේ මේ ලැබුණ දුර්ලභ අවස්ථාව අත්හැරගන්න මම කැමැති නැහැ.” “එහෙම කොහොම ද? එතකොට ඒ අක්කලාට මං මොකක් ද කියන්නේ? දරුවන්ට මං මොනවා ද කියන්නේ? අපි මෙච්චර මහන්සියෙන් කරපු ව්‍යාපාර කඩාකප්පල් කරන්න ද ඔයා හදන්නෙ? අනික ඔය නතරම් ගිහි ගෙදර ඉදගෙන මිනිසුන් ධර්මයෙහි හැසිරෙන්නේ. ඉතින් ඔයාටත් පුළුවන්නෙ එහෙම කරන්න.” “නෑ මල්ලියේ, මිනිසුන් ඕන කෙනෙක් එහෙම කරපුවාවේ. මට න ඒක නොවෙයි. බුදු රජාණන් වහන්සේ ගිහි ජීවිතය අත්හැරලා පැවිදි ජීවිතයක් ගත කරගෙන නිවන හොයාගෙන ගියා. උන්වහන්සේ ධර්මය අවබෝධ කළා. මේ ජීවිතය තුළ දී ම ඒ නිවන අවබෝධ කිරීම පිණිස පැවිදි ජීවිතයේ වටිනාකම පෙන්වලා දුන්නා. ඉතින් මේ අවස්ථාව මට මඟහැරුණොත් ආයෙ ආයෙමත් මට උපදින්න සිද්ධ වේවි. ඒ නිසා මල්ලියේ මං නැවත ගෙදර යන්න කොහෙත්ම කැමැති නෑ. මං මේ සෑම දෙයක් ම අත්හරිනවා. මට ඕන කරන්නේ මේ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කිරීම විතරයි.” අය්යයි මල්ලියි දෙන්නා ඔය විදිහට වාද කළා. අන්තිමේ දී අය්යා ජය ගත්තා. මල්ලි කල්පනා කළේ වෙන දෙයක්. “ඔව්, අය්යා මහණ වුණාට කමක් නෑ. පැවිදි වීම කියන්නේ හොඳ දෙයක් නෙ. අය්යත් මහණ වෙනවා නම්, මං විතරක් තනියම ආපහු යන්නේ මොකට ද? එහෙම නම් මමත් මහණ වෙනවා” කියල හිතාගෙන එයා මහාකාලට මෙහෙම කිව්වා. “ඔව් අය්යේ, ඔයා හරි කොහොම වුණත් අපි කවුරුත් වයසට ගිහින් මැරිලා යනවා නෙ. අපි කරපු පින්පව් අරගෙන යනවා නෙ. ඉතින් මේ හැම දෙයක් ම මේ ජීවිතයේ අවසන් කරලා නිවන අවබෝධ කරන එක හොඳයි කියලා මමත් කල්පනා කළා.” මහාකාලට හරිම සතුටුයි. එයා මල්ලිව සතුටින් වැළඳගත්තා. ඒ දෙදෙනා ඉතාමත් සතුටින් පැවිදි වුණා.

පැවිදි වුණාට පසු මහාකාල ස්වාමීන් වහන්සේ ඒ ගැන ඉතාමත් වගකීම් සහිතව කල්පනා කළා. බුදු රජාණන් වහන්සේ උගන්වන ආකාරයට ම සිත කය වචනය හසුරුවන්නට ඕන කියල දැඩි ලෙස අධිෂ්ඨාන කරගත්තා. කළණ මිතුරන් ගේ ඇසුරේ ම කල්ගත කරන්න හිතට ගත්තා. ඒ නිසා මහාකාල ස්වාමීන් වහන්සේ ඉතාම සිල්වත් කෙනෙක් වුණා. ඇස් කණ් ආදී ඉඳූරන් හොඳට සංවර කරගත්තා. දමනය වුණා. හිත ඇවිස්සෙන ලාමක දේවල්වලට ඉඩ දුන්නේ නැහැ. දානය වැළඳූවෙත් ජීවිතය පවත්වා ගැනීම විතරම යි. රස තෘෂ්ණාවට හසු වුණෙත් නැහැ. ශ්‍රද්ධාව හොඳින් පැවැත්වුවා. ගෙවෙන හැම තත්පරයකින් ම උපරිම ප්‍රයෝජන ගත්තා. වීරියවන්ත වුණා. සමාධිය දියුණු කළා. සුළු කලක දී අකම්පිත සිත් ඇති රහතන් වහන්සේ නමක් බවට පත් වුණා. නමුත් චුල්ලකාල ස්වාමීන් වහන්සේ ජීවිතයේ ඇති බැරෑරුම්කම ගැන කල්පනා කළේ නෑ. කම්මැලිකමෙන් කල්ගත කළා. හොඳට නිදාගත්තා. ප්‍රණීත ආහාරපාන ලැබුණ දවසට හොඳට වැළඳූවා. ඇතිපදමට වැළඳූවා. ආයෙමත් නිදාගත්තා. ගිහි ගෙවල්වල ජීවත් වෙන උදවිය දිහාබල බලා සතුටුවුණා. භාවනා කරන්න උත්සාහ ගත්තේ නෑ. ඉඳූරන් සංවර කරගත්තේ නෑ.

දිනක් පන්සියයක් ස්වාමීන් වහන්සේලා පිරිවරාගෙන බුදු රජාණන් වහන්සේ සේතව්‍ය නුවරට වැඩම කළා. සේතව්‍ය නුවර ඇට්ටේරියා වනයෙහි වැඩසිටියා. ස්වාමීන් වහන්සේලා පිඬුසිඟා වඩිද්දී මේ මහාකාල චුල්ලකාල ස්වාමීන් වහන්සේලාව ඒ නගරයේ වැසියන් හඳූනාගත්තා. ඔවුන් ගේ නිවසට දැනුම් දුන්නා. දිනක් චුල්ලකාල ස්වාමීන් වහන්සේට ගෙදර දානයට ඇරැයුමක් ලැබුණා. ඒ ස්වාමීන් වහන්සේ සතුටින් ගෙදරට වැඩියා. දන්වළඳා අවසානයේ ධර්මය දේශනා කළා. පින් අනුමෝදන් කොට ආපසු වැඩම කිරීම පිණිස අසුණෙන් නැගිට්ටා. එතකොට ඒ ස්වාමීන් වහන්සේ ගේ ගිහිකල බිරින්දෑවරුන් ඇවිදින් වට කරගත්තා. “හා …. හා … මේ මොක ද? දැන්ම ම පිටත් වෙන්න ද හදන්නෙ? මෙච්චරකලක් මුන්දැලාට මොකද වුණේ කියල සොයාගන්නට බැරිවයි හිටියේ. දැන් ඉතින් කොහේ යන්න ද? ආ … මේ සරම ගන්නවා. හා … කෝ … ඔය සිවුර අයින් කරන එක යි ඇත්තේ” චුල්ලකාල ස්වාමීන් වහන්සේ හොඳට ම බිය වුණා. පැනල යන්න ලැබුණේ නැහැ. ඒ භාර්යාවන් උන්වහන්සේව බලෙන් ම සිවුරු හැරෙව්වා. ගිහි රෙදි ඇන්ඳෙව්වා. දැන් පවුලේ උදවියට හරිම සතුටුයි. මහාකාල ස්වාමීන් වහන්සේ ගේ ගෙදර පිරිසටත් චුල්ලකාල සිවුරු හැරීම ගැන ආරංචි වුණා. ඔවුන්ට හරි සතුටුයි. “හරි … අපේ එක්කෙනාට කරන්න තියෙන්නෙත් ඔය ටික ම තමයි.” ඔවුන් පසුව දා ම මහාකාල ස්වාමීන් වහන්සේ සොයා ගොස් දානයට ආරාධනා කළා. ඒ ඇරැයුම පිළිගත් මහාකාල ස්වාමීන් වහන්සේ පසුව දා එම නිවසට වැඩම කළා. පිළිගැන්වූ දානය වැළඳූවා. අනුමෝදනා බණ දේශනා කළා. ආපසු වඩින්නට සිතා ගෙන අසුණෙන් නැගිට්ටා. ඒ මොහොතේ ම මහාකාල ස්වාමීන් වහන්සේ ගේ ගිහිකල බිරින්දෑවරු සඟවාගෙන සිටි ගිහි ඇඳූම් අතට ගෙන උන්වහන්සේව වට කරගත්තා. “හා … හා … ආපහු වඩින්න වගේ. ඒව කොහේද … දැන් ඉතින් මේ වතුපිටි බලාගෙන මල්ලිත් එක්ක වෙළහෙළඳාම් කරගෙන ඉන්න එකයි ඇත්තෙ.” මහාකාල ස්වාමීන් වහන්සේ නිශ්ශබ්ද වුණා. දෑස පියාගත්තා. කෙමෙන් කෙමෙන් පොළොවෙන් උඩට ඉස්සුනා. බිරින්දෑවරුන් පස්සට වීසි වුණා. ඇස් ලොකු වුණා. පුදුමෙන් වගේ බලාගෙන හිටියා. මහාකාල ස්වාමීන් වහන්සේ පොළොවෙන් උඩට නැගී අහසින් වැඩියා. සියළු දෙනා දෑත් වැඳගෙන ඒ දෙස බලා සිටියා. උන්වහන්සේ නො පෙනී ගියා. බිරින්දෑවරුන් එකිනෙකා බිරාන්ත වෙලා මූණට මූණ බලාගත්තා.

මහාකාල ස්වාමීන් වහන්සේට වන්දනා කළා. “ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස, අප ගේ සහෝදර ස්වාමීන් වහන්සේව බලෙන් සිවුරු හරවා ගත්තා” කියා පවසා සිටියා. එවේලෙහි භාග්‍යවත් බුදු රජාණන් වහන්සේ මේ ගාථා දෙක වදාළා.

සුභානුපස්සිං විහරන්තං ඉන්ද්‍රියේසු අසංවුතං
භෝජනම්හි අමත්තඤ්ඤුං කුසීතං හීනවීරියං
තං වේ පසහති මාරෝ වාතෝ රුක්ඛංව දුබ්බලං

තේරුම:

සංවර ඉඳූරන් නො මැතිව – ලස්සන දෙය ගැන රැවටී
ගන්නා ආහාරය ගැන – අරුත නො දැන එහි ගිජු වී
භාවනාව ගැන නො සිතා – කම්මැලි ලෙස කල් ගෙවනා
කෙනා නිතර වැටෙන්නේ ම – දුකින් පිරුණු ලෝකයට ය
හමනා විට තදින් සුළඟ – කඩා වැටෙයි දුර්වල ගස
මාරයා දමයි ඔහු ඇද – ඉපදෙන මැරෙනා ලෝකෙට

අසුභානුපස්සිං විහරන්තං ඉන්ද්‍රියේසු සුසංවුතං
භෝජනම්හි ච මත්තඤ්ඤුං සද්ධං ආරද්ධවීරියං
තං වේ නප්පසහති මාරෝ වාතෝ සේලංව පබ්බතං

තේරුම:

සංවර වූ ඉඳූරන් ඇති – ලොවෙහි සැබෑ තතු දකිනා
ගන්නා ආහාරය ගැන – අරුත ද හඳූනා සිටිනා
සැදැහැ සිතින් යුතුව හොඳින් – වීරිය වඩමින් නිතරම
දහම විනය තුළ සිටිනා – භාවනාව කරන කෙනා
යට කරන්න බැහැ කිසිවිට – මාරයාට ඔහු ගෙ ගමන
තදින් සුළඟ හමා ගිය ද – නො සැලේ ගල්කුල කිසි විට

පින්වත් දරුවනේ, ජීවිතය ජය ගන්නේ ඉතාමත් සුළු පිරිස යි. බොහෝ දෙනෙක් පරාජයට පත් වෙනවා. සාමාන්‍ය ලෝකයා මුදල් තිබීම, යානවාහන තිබීම, ඉඩකඩම් වතුපිටි තිබීම, ලොකු සමාජ තත්වයක් තිබීම, ජයග්‍රහණය හැටියට සළකනවා. එය යම් කිසි ජයග්‍රහණයක් තමයි. නමුත් ජීවිතයක ලොකුම ජයග්‍රහණය වන්නේ චතුරාර්ය සත්‍යය අවබෝධ කිරීම ය. ඒත් එය අවබෝධ කළ හැක්කේ කාටද යන්න වග අටවෙනි ගාථාවෙන් හොඳින් ම පැහැදිලි වෙනවා.

පින්වත් දරුවනේ, වීරිය නැති, කාමසැපයෙහි ඇළුණු, ඉඳූරන අසංවර තැනැත්තා මේ ලෝකයට බැඳෙන්නේ සිතාගත නො හැකි වේගයෙනි. බුදු රජාණන් වහන්සේ එය පෙන්වා වදාළේ සුළඟින් කඩා වැටෙන දුබල ගසක් ලෙස ය. මාරයා ඒ තැනැත්තාව වසඟ කරන්නේ ඔහු තුළ ඇති දුර්වලකම් පාදක කොට ගෙන ය. මාරයා යනු මේ ලෝකයෙහි පැවැත්ම හෙවත් ඇස, කන, නාසය, දිව, කය, මනස යන සයෙහි පැවැත්මට අධිපති තැනැත්තා ය. චතුරාර්ය සත්‍යය අවබෝධය යනු ඒ ඇස්කණ් ආදියෙන් නිදහස් වීම යි. එසේ ජීවිතාවබෝධය තුළින් තණ්හාවෙන් නිදහස් වීම ගැන මාරයා කැමැති නැත. ඔහු නිතරම කැමැති වන්නේ පුද්ගලයා ඇස, කණ, නාසය, දිව, කය, මනස යන හයට බැඳී සිටීම ගැන යි. ඒ නිසා හත්වෙනි ගාථාවෙහි සඳහන් දුර්වලතාවලින් හෙබි පුද්ගලයාව එයට බැඳ තැබීම සුළු දෙයකි. ඔහු වහා එයට හසු වෙයි.

පින්වත් දරුවනේ, රහතන් වහන්සේ ගේ ස්වභාවය කොතරම් අසිරිමත් ද! උන්වහන්සේ කිසිවකට නො ඇලෙයි. උන්වහන්සේ අසුභ දෙය ඒ අයුරින් ම දකිති. ඉඳූරන් සංවර කර ගෙන සිටිති. ලොවෙහි ඇති සියළු රස එකට කැටි කොට රහතන් වහන්සේට පිදුවත් රස තෘෂ්ණාවට උන්වහන්සේ කිසිදා හසු නොවේ. උන්වහන්සේ වැඩ සිටින්නේ තෘෂ්ණාවෙන් නිදහස් වූ කෙනෙක් හැටියට මිස තෘෂ්ණාවෙහි දාසයෙක් ලෙස නොවේ. ඒ රහතන් වහන්සේ ගේ වීරිය හැම මොහොතේ ම පවතී. සිහි නුවණ මැනැවින් පවතී. මාරයාට කිසිසේත් ම උන්වහන්සේව යට කළ නො හැකිය. ඇස, කණ, නාසය, දිව, කය, මනස යන හයෙන් නිදහස් වූ උන්වහන්සේ වැඩ සිටින්නේ මහාගල් පර්වතයක් පරිද්දෙනි. කොතරම් සුළඟ හැමුව ද එය සොළවාලිය නො හැකි ය. මාරයා කවර දෙයක් කළ ද රහතන් වහන්සේව වෙනස් කළ නො හැකි ය. පිරිසිදු සිත් ඇති රහතන් වහන්සේලා බිහි වන්නේ බුදු සසුනක පමණි. බුදුවරුන් ගේ ලෝකයෙහි බබලන්නේ රහතන් වහන්සේලා ය.


Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

Categories

%d bloggers like this: