Posted by: lrrp | April 17, 2008

නන්ද මහරහතන් වහන්සේ ගේ කථාව

ධර්මය තුළින් සිත නො රැකුණොත් අමාරුවේ වැටෙනවා. ධර්මය තුළ රැඳූනු සිත හැම තිස්සේ ම රැකෙනවා.

පින්වත් දරුවනේ, අපේ සිද්ධාර්ථ කුමාරයා ගේ පවුලේ තොරතුරු ඔබ සෑහෙන්න දන්නවා. මහමායා බිසවුන් වහන්සේ කළුරිය කළේ සිදුහත් කුමාරයා ඉපදිලා දවස් හතේ දි. ඊටපස්සේ බිසව බවට පත් වුණේ ප්‍රජාපති ගෞතමී දේවිය යි. එතුමිය ඉතාමත්ම කරුණාවන්ත කෙනෙක්. තමන් ගේ ම දරුවෙකුට වගේ සිදුහත් කුමාරයාටත් කිරි පොවා සැළකුවා. ඒ ප්‍රජාපතී ගෞතමී දේවියට දරුවන් දෙදෙනෙක් ලැබුණා. පුතා තමයි නන්ද කුමාරයා. දුවට කිව්වේ නන්දා කුමරිය කියල යි.

සම්බුද්ධත්වයෙන් පසු බුදු රජාණන් වහන්සේ කපිලවස්තු නගරයට වැඩම කළ බව අපි කලින් කථා කළා නෙ. සුද්ධෝදන රජතුමා ගේ ඔටුන්න හිමි කුමාරයා වෙලා හිටිය සිදුහත් කුමාරයා පැවිදි වුණාට පස්සේ ඔටුන්න හිමි කුමාරයා බවට පත් වුණේ නන්ද කුමාරය යි. නන්ද කුමාරයා ගේ ඔටුනු පළඳින අභිෂේක මංගල්‍යයත්, අළුතෙන් රජමැඳූරට පිවිසීමේ මංගල්‍යයත්, කුමාරියක් සරණපාවා ගැනීමේ මංගල්‍යයත් එක දවසේ ම කිරීමට යි ඔවුන් කටයුතු සංවිධානය කරමින් සිටියේ. ඔය අතරේ තමයි බුදු රජාණන් වහන්සේ මාළිඟාවට වැඩම කරලා ධර්ම දේශනා කළේ. ඒ ධර්මය ඇසූ සුද්ධෝදන රජතුමා, ප්‍රජාපතී බිසව මඟඵල ලැබූ බවත් ඔබ දන්නවා. ඉතින් එදා බුදු රජාණන් වහන්සේ රජමාළිඟාවේ දහම් දෙසලා ආපසු නිග්‍රෝධාරාමයට වඩින්න සූදානම් වුණා. නන්ද කුමාරයා උන්වහන්සේ ළඟින් හිටගෙන හිටියා. “පින්වත් නන්ද, මේ පාත්‍රය ගන්න” කියලා නන්ද කුමාරයා ගේ අතට බුදු රජාණන් වහන්සේ තම පාත්‍රය දුන්නා. නන්ද කුමාරයාට හරි සතුටුයි. තමන් ගේ සහෝදරයා බුදු රජාණන් වහන්සේ නමක් නිසා. බුදු රජාණන් වහන්සේ ස්වාමීන් වහන්සේලාත් සමඟ හෙමින් හෙමින් නිග්‍රෝධාරාමයට වඩිනවා. නන්ද කුමාරයා හිතුවේ මාළිඟවේ පඩිපෙළ ළඟ දී හෝ දොරටුව ළඟ දී හෝ පාත්‍රය ආපසු ගනීවි කියල යි. නමුත් බුදු රජාණන් වහන්සේ පාත්‍රය ආපසු ගත්තේ නැහැ. ඒ නිසා ම උන්වහන්සේත් සමඟ ම පසුපසින් යන්නට නන්ද කුමාරයාට සිදු වුණා. ඔය අතරේ නන්ද කුමාරයා සමඟ සරණ බන්ධනයට පැමිණුන ජනපද කල්‍යාණී නම් අතිශයින් ම ලස්සන කුමාරිය මාළිඟාවේ උඩුමහළේ සඳළුතලයේ සිට බලාසිටියා. ඇය නන්ද කුමාරයාට අතිනුත් ඇස්වලිනුත් හඟවලා කිව්වා ආපසු ඉක්මණින් ම එන්න කියලා. ඇය ආදරයෙන් සිනහ වෙවී බලාගෙන සිටියා. නන්ද කුමාරයා ඇයගේ රූපයට වසඟ වෙලයි හිටියේ. ඔහුත් ඇය දිහා බලලා ඉක්මණින් ම එනවා කියන අදහසින් සිනහ වුණා. අන්තිමේ දී නන්ද කුමාරයා පාත්‍රයත් අරගෙන නිග්‍රෝධාරාමය දක්වාම ගමන් කළා. නිග්‍රෝධාරාමයේ දී පාත්‍රය බුදු රජාණන් වහන්සේ ගේ අතට දුන්නා. බුදු රජාණන් වහන්සේ නන්ද කුමාරයාගෙන් මෙහෙම අසා වදාළා. “පින්වත් නන්ද, ඔයත් මේ අනිත් ස්වාමීන් වහන්සේලා වගේ පැවිදි වුණොත් හොඳයි නේද?” නන්ද කුමාරයාට කරගන්න දෙයක් නැහැ. ජනපද කල්‍යාණිව මතක් වෙන්න ගත්තා. ආපසු මාළිඟාවට දුවගෙන යනකල් සිහි නැතුව හිටියේ. නමුත් දැන් බුදු රජාණන් වහන්සේ ම පැවිදි වෙන්න කියනවා. තමන් ගේ ආදරණීය සහෝදරයාණන් වහන්සේ සිද්ධාර්ථ ගෞතමයන් වහන්සේ පැවිදි වෙන්න කියා කියද්දී මඟ හරින්නේ කොහොම ද? ඒක කොහොමත් ම කරන්න බැහැ. නන්ද කුමාරයා “හොඳයි ස්වාමීනී” කියලා කැමැති වුණා. පින්වත් දරුවනේ, බැ බැල්මට පෙනෙන්නේ නන්ද කුමාරයාට මහා අසාධාරණයක් වුණා වගේ. ඔටුනු පළඳින්න හිටිය, ලස්සනම කුමාරිකාවක් සමඟ විවාහ වෙන්න හිටිය කුමාරයෙකුට ඒ අවස්ථාව නැති වුණා නේද කියලා ඔබට හිතෙන්නට පුළුවනි. නමුත් අප මෙතැන දී සිතිය යුත්තේ අපි බලන පිළිවෙලට නොවෙයි. බුදු රජාණන් වහන්සේ නමක් මේ ජීවිතය දිහා බලන පිළිවෙළට යි.

පින්වත් දරුවනේ, මේ සංසාරය කියල කියන්නේ සතර අපායෙහි වැටි වැටී යන ගමනක්. ඒ ගැන බුදු රජාණන් වහන්සේ මේ විදිහට අවබෝධ කරගෙන තියෙනවා. යම් කෙනෙක් සක්විති රජවෙලා උපන්නොත් ඒක මේ සාමාන්‍ය රජකමකට වඩා ඉතාමත් ම ශ්‍රේෂ්ඨ දෙයක්. ඒකට හේතුව නම් ඒ සක්විති රජතුමා ධර්මයෙන් මිසක්, අධර්මයෙන් රජ කරන්නේ නැතිකමයි. ඔහු අවිආයුධවලින් තොරව රටවැසියා සීලයෙහි පිහිටුවලා, ධර්ම රාජ්‍යයක් බිහි කරනවා. ඒක විශාල පිනක්. ඒ පින නිසා ම ඒ සක්විති රජුත් මරණින් මතු දෙවියන් අතරේ උපදිනවා. නමුත් ඒ දෙවියන් ගේ දිව්‍ය ආයුෂ අවසන් වුණාට පස්සේ නිරයේ උපදින්න වුණත් පුළුවනි. තිරිසන් අපායේ උපදින්න වුණත් පුළුවනි. ප්‍රේතලෝකයෙහි උපදින්න වුණත් පුළුවනි. ඒ කියන්නේ ඒ කෙනා නෑම අපායක උපදින්න පුළුවන් බව යි. ඔහුට තිබෙන්නේ එවැනි අනතුරක් නම්, ඒ සක්විති රජකම ඉතාම තාවකාලික එකක් නොවේ ද? නමුත් පින්වත් දරුවනේ, ඉතා දිලිඳූ කෙනෙක් වුණත් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරලා සෝවාන් වුණොත් එයා මරණින් මතු දෙවියන් අතරේ උපදිනවා. ඉතින් ඒ කෙනා ඒ දිව්‍ය ආයුෂ අවසන් වුණාට පස්සේ එක්කෝ මිනිස් ලෝකෙට ඒවි. එහෙමත් නැත්නම් ආයෙමත් දෙවියන් අතර උපදීවි. ඒ කෙනා කිසිසේත් ම සතර අපායේ වැටෙන්නේ නැහැ. එහෙමනම් වඩාත් ම රැකවරණයක් තියෙන්නේ කාට ද? සක්විති රජතුමාට ද? සෝවාන් වුණු දුප්පත් කෙනාට ද? මේ නිසා බුදු රජාණන් වහන්සේ ධර්මය අවබෝධ කිරීම ම යි වඩාත් ශ්‍රේෂ්ඨ ලෙස දැක්කේ. උන්වහන්සේ මෙහෙම වදාළා. “මේ මහා පොළොවේ අධිපතිකම ලබනවාටත් වඩා, දෙව්ලොව උපදිනවාටත් වඩා, සියළු ලොවට අධිපති වනවාටත් වඩා, සෝවාන් වීම උතුම්” කියලා. ඒ නිසා නන්ද කුමාරයා ගේ පැවිදි වීම ගැන අපි සිතන්න නෑ ඔය විදිහට ම යි. එහෙම නැත්නම්, අපට මේ වෙනස තේරුම් ගන්න බැරිව යනවා.

ඉතින් පින්වත් දරුවනේ, නන්ද කුමාරයා පැවිදි වුණා. දැන් නන්ද ස්වාමීන් වහන්සේ ලස්සන සිවුරු පොරොවනවා. වටිනා පාත්‍රයක් පරිහරණය කරනවා. ඇතැම් විට ඇස්වල අඳූන් පවා ගානවා. මෙයා පැවිදි වුණා ලස්සනට ඉන්න ම යි කල්පනාව. වනයට ගියත්, ගස් සෙවණට ගියත්, තනි වුණ හැම වෙලාවෙම ජනපද කල්‍යාණිය ගේ රූපය ගැන හිත හිතා ඉන්නවා මිසක්, ධර්මය සිහි කරන්නේ නැහැ. එතකොට නන්ද ස්වාමීන් වහන්සේ ගේ සිහි නුවණ පිරිහෙනවා. රාග සිත් ඇති වෙනවා. අන්තිමේ දී ජනපද කල්‍යාණිය ගැන හිතල හිතල හිත හොඳට ම විසිරුණා. සිහිනෙන් පෙනෙන්නෙත් ජනපද කල්‍යාණි ඔහුට අඬගසන ආකාරය යි. අන්තිමේ දී සිත හදා ගැනීම හොඳට ම බැරි වුණා. සිවුරු හැර යන්න තීරණය කළා. ස්වාමීන් වහන්සේලාට කිව්වා. “අනේ … මට හරි අමාරුයි. ඇඟ බරයි. සිතට සැහැල්වක් නෑ. කරන්න න කුමක් ද කියල මට තේරෙන්නෙ නෑ. මං මේ සිල් රකින්නේ සතුටින් නොවේ. මං ආපහු මාළිඟාවට යනවා.” මෙය ඇසූ ස්වාමීන් වහන්සේලාට මහත් අනුකම්පාවක් හට ගත්තා. ශරීරයක් තුළ තිබෙන අපවිත්‍ර දේවල් ගොඩක්ම යි. ඇස්වලින් කඳූළු ගලනවා. කබ ගලනවා. කණින් කලාඳූරු ගලනවා. නාසයෙන් සොටු ගලනවා. කටින් කෙළ ගලනවා. ඇඟෙන් දහඩිය ගලනවා. මල මූත්‍ර ගලනවා. මේවා හැර මේ සිරුරින් කවදාවත් සුවඳක් හමන්නේ නැහැ. අපවිත්‍ර දේවල් පිරුණු අලංකාර භාජනයක් වගේ. ඒ පිට ඔපයට තමයි සියළු දෙනාම රැවටෙන්නේ. රහතන් වහන්සේලාට, නන්ද ස්වාමීන් වහන්සේ ගැන මහත් අනුකම්පාවක් හට ගත්තා. ස්ත්‍රියක ගේ රුවට වසඟ වී සිතෙහි හටගත් රාගයට මුලා වී අමාරුවේ වැටෙන්නයි යන්නේ ආයෙ ආයෙමත් මැරෙන උපදින සංසාරෙටම යි වැටෙන්න යන්නේ. බුදු රජාණන් වහන්සේට නන්ද ස්වාමීන් වහන්සේ ගේ මේ කලකිරීම ගැන සැළ කළා. එදා බුදු රජාණන් වහන්සේ නන්ද ස්වාමීන් වහන්සේට අඬගසා වදාළා. “පින්වත් නන්ද, මෙහෙ එන්න … අපි ගමනක් යමු” කියලා නන්ද ස්වාමීන් වහන්සේ ගේ අතින් අල්ලා ගත්තා. එතකොට ම බුදු රජාණන් වහන්සේ නන්ද ස්වාමීන් වහන්සේ සමඟ දෙව්ලොව පහළ වුණා. නන්ද ස්වාමීන් වහන්සේට හරිම පුදුම යි. “ෂා …! එහෙනම් මේක තමයි දිව්‍ය ලෝකෙ කියන්නේ. හා … හරීම පුදුම යි. අන්න … අන්න … දිව්‍ය අප්සරාවන් එනවා. අන්න .. දිව්‍ය අප්සරාවන් එන්නේ මේ පැත්තට යි. ෂා ..! හරී ම ලස්සන යි. හිස කෙස් රන්වන් පාට යි. දෑස් නිල්වන් පාට යි. පාවල යටිපතුල් රෝසපාට යි. හැබෑ ම ලස්සන යි.” නන්ද ස්වාමීන් වහන්සේ ගේ අසංවර හිතට වැටහුණේ මේ දිව්‍ය අප්සරාවන් ගේ රූප ශෝභාව විතරම යි. නන්ද ස්වාමීන් වහන්සේ පුදුමයෙන් වගේ බලාගෙන හිටියා. ඒ දිව්‍ය අප්සරාවන් හැමෝ ම ඈත සිටන් ම බුදු රජාණන් වහන්සේට වන්දනා කරමින් නැමි නැමී ආවා. ඉතාමත් ආදර ගෞරවයෙන් වන්දනා කළා. කථාබස් කළා. නන්ද ස්වාමීන් වහන්සේ ගේ සිත ඒ දිව්‍ය අප්සරාවන් කෙරෙහි මුළුමණින් ම වසඟ වුණා. ඊට පස්සේ බුදු රජාණන් වහන්සේ ආයෙමත් නන්ද ස්වාමීන් වහන්සේ ගේ අතින් අල්ලා ගත්තා. වේළුවනාරාමයෙහි පහළ වුණා. නන්ද ස්වාමීන් වහන්සේ දෑස් ලොකු කර ගෙන බුදු රජාණන් වහන්සේ දිහා ඇස් පිය නො හෙළා බලා සිටියා. “පින්වත් නන්ද, දැන් ඔබට මොකක් ද හිතෙන්නේ? වඩාත් ම ලස්සන කවුද? ජනපද කල්‍යාණි ද? දිව්‍ය අප්සරාවන් ද?” “ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස, මට තවමත් පුදුම යි. තවමත් සිතා ගන්න බැහැ. තවමත් සිහිනයක් වගේ. එතරම් ම ලස්සන අප්සරාවන් මේ ලෝකේ ඉන්නවා ද කියලා මං දෙව්ලොව යනකල් ම දැන ගෙන හිටියේ නැහැ. ස්වාමීනී, මේ දිව්‍ය අප්සරාවන් ගැන සිතත් දී ජනපද කල්‍යාණි ගැන මට හිතෙන්නේ හේනක පිලිස්සුනු වැඳිරියක් වගේ කියල යි. අප හිතන තරම් ලස්සනක් මිනිස් ශරීරවල නැහැ. ඒක තේරෙන්නේ දිව්‍ය ශරීර දැක්ක විට යි.” “එහෙමනම් පින්වත් නන්ද, මා ඔබට පොරොන්දු වෙන්නම්. මා කියන ආකාරයට මා දෙන උපදෙස් පරිදි ඔබ සිල් රැක්කොත් ධර්මයෙහි හැසිරුණොත් ඔබ දෙව්ලොව උපදීවි. එතකොට ඔය අප්සරාවන් පන්සියයක පිරිවරක් ඔබට ලැබේ වි.” නන්ද ස්වාමීන් වහන්සේ පුදුමයෙන් පුදුමයට පත් වුණා. සතුටින් හිනා ගියා. වචන පැටළුනා. “ස් .. ස්වාමීනී, …. ඇ ….. ඇත්තට ම ද? ඕක ඇත්තක් ම ද? දිව්‍ය අප්සරාවන් පන්සියයක් ම ලැබෙනවා ද?” “ඔව් පින්වත් නන්ද, දිව්‍ය අප්සරාවන් පන්සියයක් ම ලැබෙනවා.” නන්ද ස්වාමීන් වහන්සේ තුන් වතාවක් ම අහලා තහවුරු කරගත්තා. ආයෙනම් සිවුරු අරින්නේ නැහැ කියලා සිත දැඩි කරගත්තා. සිල්පද ටික පිරිසිදුවට රැකගන්නවා කියල අදිටන් කර ගත්තා. ලස්සන සිවුරු අත්හැරියා. පාංසකූල සිවුරක් පොරොවා ගත්තා. මැටි පාත්‍රයක් අතට ගත්තා. ඇස්වල තවරාගෙන සිටි අඳූන් සෝදල දැම්මා. සාමාන්‍ය පැවිද්දෙක් බවට පත් වුණා. හැමෝට ම පුදුම යි. කොහොම ද මේ ස්වාමීන් වහන්සේ මෙතරම් ඉක්මණින් වෙනස් වුණේ? ටිකෙන් ටික ආරංචි වුණා. ස්වාමීන් වහන්සේලා නන්ද ස්වාමීන් වහන්සේගෙන් සිනහ වෙවී ප්‍රශ්න කළා. “හා … ආයුෂ්මත් නන්දයන් ගණුදෙණුවක් කරගත්ත නේද? කුලියට සිල් රකිනවා නේද? මහණකමත් අඩුමිලට දෙනවා නේද? දිව්‍ය අප්සරාවන් පතා ගෙන බඹසර රකිනවා නේද?” රහතන් වහන්සේලා ගේ මේ කථාබහ අසා නන්ද ස්වාමීන් වහන්සේ ලැජ්ජාවට පත් වුණා. දිව්‍ය අප්සරාවන් ගැන සිතන කොටත් පිළිකුළක් ඇති වුණා. එපා වුණා. අන්තිමේ දී උන්වහන්සේ හුදෙකලා වුණා. සමාධිය දියුණු කළා. කෙලෙස් දුරු කරන වීරිය ඇති කරගත්තා. සිත රැකගත්තා. ධර්මයට පැමිණුනා. සියළු කෙලෙසුන් දුරු කරලා රහතන් වහන්සේ නමක් බවට පත් වුණා. බාහිර දෙයට ආශා කිරීම නිසා බොහෝ පීඩා වින්ඳ නන්ද ස්වාමීන් වහන්සේ ජයගත්තා. ආශාව පරාජයට පත් වුණා. මෙය නිමිති කොට බුදු රජාණන් වහන්සේ ලස්සන ගාථා දෙකක් මේ අයුරින් වදාළා.

යථාගාරං දුච්ඡන්නං වුට්ඪි සමතිවිජ්ක්ධති
ඒවං අභාවිතං චිත්තං රාගෝ සමතිවිජ්ක්ධති

තේරුම:

නිසි අයුරින් පිළිවෙලකට – වහළ සෙවිලි කොට නැතිවිට
වැසිවසිනා කාලෙට ඒ – වහළින් ගෙට ගලයි වතුර
භාවනාව තුළින් හොඳට – සිත රැකගෙන නො මැති කලට
සංවරකම නැති එසිතට – ගලයි රාග කෙලෙස් කසට

යථාගාරං සුච්ඡන්නං වුට්ඪි න සමතිවිජ්ක්ධති
ඒවං සුභාවිතං චිත්තං රාගෝ න සමතිවිජ්ක්ධති

තේරුම:

නිසි අයුරින් පිළිවෙලකට – වහළ සෙවිලි කොට ඇතිවිට
වැසිවසිනා කාලෙට ඒ – වහළින් ගෙට නො එයි වතුර
භාවනාව තුළින් හොඳට – සිත රැකගෙන සිටිනා විට
සංවර වී තිබෙන සිතට – නො එයි රාග කෙලෙස් කසට

පින්වත් දරුවනේ, නො වටිනා දෙයට ආශා කිරීම නිසා බොහෝ දෙනෙකුට වටිනා දේවල් අහිමි වෙනවා. සමහරුන් සෙල්ලමට ආශයි. ඒ නිසා ම අධ්‍යාපනය අහිමි කරගන්නවා. දියුණු වෙන්න තියෙන මාර්ග නැති කරගන්නවා. අන්තිමේ දී පසු තැවි තැවී ඉන්නවා. සමහරු ඉගෙන ගන්න කාලෙ ප්‍රේම සම්බන්ධතා ඇති කරගන්නවා. ඒව ගැන ම කථාබස් කර කර ඉන්නවා. ඒ තුළින් ම සතුටු වෙවී ඉන්නවා. අන්තිමේ දී ඒ නිසා ම දුකට පත්වෙනවා. විභාග අසමත් වෙනවා. රැකීරක්ෂාවල් නැති කරගන්නවා. සමහරු මත්පැන්වලට ආශා කරනවා. උත්සවවල දී මත්පැන් බීලා ආඩම්බරයෙන් නටනවා. පිරිස මැද්දේ කැපී පෙනෙන්න මහන්සි ගන්නවා. මහා ලොකු වීරකමක් කියල හිතාගෙන බොන්න පටන් ගන්නවා. අන්තිමේ දී බේබද්දෙක් වෙනවා. මිල මුදල් නාස්ති කරගන්නවා. පව්කාර යාළු මිත්‍රයන් පිරිවරාගන්නවා. ශරීර සෞඛ්‍ය විනාශ කරගන්නවා. ශෝක වෙවී ජීවිතය අවසන් කරනවා. සමහරුන් සතුන් මරන්න ආශයි. මේ නිසා ම දඩයමේ යනවා. මාළු අල්ලනවා. සතුන්ට වද දෙනවා. මේ හැමදෙයින් ම සිත පිරිහෙනවා. ඇත්තෙන්ම පිරිහුණු සිතක් තියෙන නිසා ම යි මෙවැනි දෙය සිතට ඇතුළු වෙන්නේ. වහලේ හොඳට හෙවිළි කරලා නැතිනම්, වැස්ස වහින විට වහළයේ ඒ සිදුරු අතරින් ගෙට වතුර ගලන එක නවත්වාගන්නේ කොහො ම ද? පිරිහුණු සිතක් ඇති කෙනා ගේ සිතට පවිටු ආශාවල් ඇති වෙන කොට වළක්වාගන්නේ කොහොම ද? ඒක ඉතාම අමාරු දෙයක්. මේ ලෝකයේ බොහෝ දෙනෙක් ජීවත් වෙන්නේ සිතට රැකවරණයක් නැතුව යි. ඒ නිසා තමන් ගේ සිතේ කෙලෙස් ඇති වෙලා ඒ කෙලෙස් විසින් තමා ව විනාශ කර දමන්නේ තමා නො දැන සිටිද්දිම යි. ඒ තරම් භයානක යි.

පින්වත් දරුවනේ, දහම තුළ රැකගත් සිත හරිම අසිරිමත්. ඒ සිත පූජනීය යි. බාහිර කෙනෙකුට මොන ම ක්‍රමයකටවත් ඒ පිරිසිදුකම නැති කරන්න බැහැ. සිත අපිරිසිදු වෙන්නේ රාගය, ද්වේශය, මුලාව ආඩම්බරකම, ඊර්ෂ්‍යයාව, පලිගැනීම, එකට එක කිරීම, ගුණමකුකම, කෙලෙහිගුණ නො දැනීම ආදී දේවල්වලිනුයි. සිත පිරිසිදු වෙන්නෙත් ඔවැනි දේ දුරු කිරීමෙනුයි. එතකොට සංවරකම, සිහිනුවණ, වීරිය, ගුණවත්කම, නිහතමානීකම, නො ඇලීම, මෛත්‍රිය ආදී උසස් දේවල් සිත තුළ වැඩෙනවා. එයින් තමයි රැකවරණය ලැබෙන්නේ. නිවසක වුණත් වහළය හොඳින් සෙවිලි කොට තිබෙනවා නම්, කොයිතරම් වැස්සත් ප්‍රශ්නයක් නැහැ. ඒ වැස්සෙන් ගේ ඇතුළ තෙමෙන්නේ නැහැ. ධර්මය තුළින් රැකවරණය ලැබූ සිත අන්න ඒ වගේ ම යි. යහපතක් ම සැළසෙනවා. අයහපතින් වළකිනවා.


Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

Categories

%d bloggers like this: