Posted by: lrrp | May 25, 2008

නෑනා ගේ ලේ උරා බොන භූතයෙක්

අපේ පියවි ඇසට නො පෙනෙන, එහෙත් අප අතර ම ජීවත් වන යක්ෂ පෙ‍්‍ර්ත භූතාදීන් ඇතැයි වර්තමානයේ බොහෝ දෙනා නො සිතති.

එහෙත් ලෙඩ දුක් කරදර තමන් පසු පස හඹා එන විට, ඉංගිරිසි වෙදකමෙන් සුවයක් නො ලැබෙන විට, බෝගස් පැදකුණු කරමින් පැන් ඉසිති. බෝධි පූජා පවත්වති.

තමන් ගේ සාමාන්‍ය දින චරියාවේ දී ආගමක් දහමක් ඇතැයි නො සිතා භෞතිකවාදීව ජීවත් වී තෙරුවන් සරණ නොගොස් බැරි වුණ දාට බැරි වුණු වැඩේ විතරක් පිරිමසා ගන්නට ගිය දාට දෙවියන් ගෙන් ආශීර්වාදයක් ලැබේ දැ යි දැන ගත හැක්කේ ද දෙවියන්ගෙන් ම පමණි.

එනමුදු මේ ලෝකයේ අපට නො පෙනෙන බොහෝ දේවල් ඇත. ඒවා නවීන විද්‍යාවේ අඬු බඬුවලට අසුවන්නේ නැත.

තෙදග සිරිවර්ධන මහතා භාවනා යෝගියෙකි. මහනුවර, හිඳගල, ධම්මකූට විපස්සනා භාවනා මධ්‍යස්ථානයෙන් භාවනා ක‍්‍රම ඉගෙන ගෙන දැන් තවදුරටත් කොස්ගම ධම්මසෝභා විපස්සනා භාවනා මධ්‍යස්ථානයට සම්බන්ධ ව සිටී.

දින 10 ක භාවනාව පටන් ගත් දින සිට මෙහි දී කිසිම අයකුට තවත් කෙනකු සමඟ කතා කිරීම සම්පූර්ණයෙන් ම තහනම් ය. අනුන් ගේ මුහුණ බලන්නටවත් බැරි ය.

දින 10 භාවනා පුහුණුවෙන් පසු අන්තිම දවසේ සවස උනුනුන් හඳුනා ගන්නට කතා බස් කරන්නට නිදහස ලැබේ.

විවිධ ප‍්‍රදේශවලින් පැමිණි විවිධ පුද්ගලයින් හඳුනාගෙන අල්ලාප සල්ලාපයේ යෙදෙන ඒ හැන්දෑව ඉතා ම රසබර ය. ඒ අවස්ථාවේ තෙදග සිරිවර්ධනයන් පැවසූ කතාවකි මේ.

ඔහු ඇමරිකානු ජාතික, 26 හැවිරිදි තරුණයෙකි. දරුණු ඇස් රෝගයකින් පීඩා විඳි ඔහුට දියුණු යැයි කියා ගන්නා ඇමරිකාවේ වෛද්‍යවරුන් ගෙන් සුවයක් ලබා ගන්නට බැරි විය.

කුඩා කල සිට ම ඇස් දෙකෙන් කඳුළු නො ගැලීම නිසා ඇති වූ පීඩාව ඔහු ගේ රෝගයයි.

”මේ අසනීපයට අපේ වෛද්‍ය විද්‍යාවේ නම් ප‍්‍රතිකාරයක් නැහැ. භාවනා ක‍්‍රමයකින්වත් සහනයක් ලැබේ දැ යි බලන්න” යැයි ඔහු ගේ විශේෂඥ වෛද්‍යවරයා උපදෙස් දුන්නේ ය.

ඒ අනුව තරුණ රෝගියා ඇමෙරිකාවේ භාවනා මධ්‍යස්ථාන කීපයකට ම ගියේ ය. එයින් සහනයක් නො ලැබ ඉන්දියාවට පැමිණ භාවනා මධ්‍යස්ථානවලට ගොස් එතැනින් මහනුවර ධම්මකූටයට ආවේ ය.

එහි දී මේ තරුණයා බාර දුන්නේ තෙදගයන්ට ය. “ඔව්! අපි භාවනා කර බලමු” යි තෙදගයෝ ඇමරිකානුවාට පැවසූහ. මේ භාවනාවේ දී අතරින් පතර ගොඑන්කා තුමා ගේ පටිගත ආශීර්වාද හා දේශනා ද ශබ්ද විකාශනයෙන් වාදනය වේ.

ගොඑන්කා තුමා බුදුරජාණන් වහන්සේ ගේ පරිනිර්වාණය පිළිබඳ ප‍්‍රකාශ කරන අවස්ථාවක් ද වෙයි. මේ ඇමරිකානු තරුණයාට දඹදිව දී පිරිනිවන් මංචකය නැරඹීමට ගිය අවස්ථාව මතකයට නැගිණි.

ඒ පිළිබඳ ඇති වූ සංවේගයත් සමඟ දෑසින් කඳුළු කඩා හැළෙන්නට වීය. අවුරුදු විසිහයක් තිස්සේ පැවැති පීඩනය සුවපත් වී ය.

ළඟ කතාව මාතර ප‍්‍රදේශයට සම්බන්ධ වූවකි. ඉංජිනේරුවකු වූ ජයන්ත රට රැකියාවකට ගොස් හොඳින් මුදල් ඉපැයුවේ ය. තමන් ගේ මහ ගෙදරට නුදුරින් නවීන පන්නයේ නිවසක් ගොඩනැඟªවේ ය.

කල වයස ද හරි බැවින් මවුපියෝ ඔහුට සුදුසු තැනකින් මංගල්ලයක් ද ලැහැස්ති කළහ. ජයන්ත මාසයක නිවාඩුවක් ගෙන මවු බිමට පැමිණියේ මංගල යෝජනාව හොඳ නම් විවාහ වීමත් නව නිවසට පදිංචි වීමත් දෙක ම සිදු කොට ආපසු යෑමේ බලාපොරොත්තුවෙනි.

ඒ බලාපොරොත්තුව එසේ ම ඉටු වී ය. මාසයේ නිවාඩුව අවසන් වීමෙන් පසු ජයන්ත නැවත රැකියාව සඳහා රට ගියේ ය.

ජයන්ත ගේ රූමත් බිරිය සේපාලිට තනියක් නො දැනුණි. නැන්දා මාමා දෙන්නා ද ජයන්ත ගේ මල්ලී සිරිමල් ද අසල නිවසේ සිටීම නිසා ය.

එසේ ම ජයන්ත රට යන දා කළ ඉල්ලීම අනුව ජයන්ත ගේ නව නිවසේ ඉස්සරහ කාමරය සිරිමල් සඳහා වෙන් කැරිණි. උසස් පෙළ අධ්‍යාපනය හදාරන ශිෂ්‍යයකු වූ සිරිමල් ඒ කාමරයට වී පාඩම් කළේ ය.

සේපාලිට පාළුවක් දැනුණු විට සිරිමල් ගේ කාමරයට පැමිණ දොඩමළුවීමෙන් ඇගේ පාළුව මඟ හැර ගත්තා ය. විවාහ වූ අලුත ස්වාමිපුරුෂයා රට හැර යෑමෙන් පසු තරුණ බිරියක ගේ මානසිකත්වය පිළිබඳ සිතා ගන්නට සිරිමල්ට හැකියාවක් තිබිණි.

ඔහු නෑනන්ඩිය වෙනුවෙන් කාරුණික වූයේ ය. ඇගේ කතා බහ පාඩමට බාධාවක් වුව ද ඔහු ඉවසුවේ ය. ඇය සමඟ වෙළෙඳ පොළට යෑම වැනි කටයුතු ද තමන් ගේ යුතුකමක් බව ඔහු වටහා ගත්තේ ය.

සේපාලි ද රාති‍්‍ර 11 – 12 වන තුරු පාඩම් කරන මස්සිනාට තේ කෝපිවලින් සංග‍්‍රහ කිරීමට අමතක නො කළා ය. මෙසේ මාසයක් පමණ ගත වී ය.

එදා ධාරාණිපාත වර්ෂාවක් කඩා හැළෙන්නට වී ය. සීතල ද තදින් පැවතිණි. රාති‍්‍ර දහය පමණ වන විට දරුණුවට අකුණු පුපුරන්නට වී ය. නිදි යහනේ සිටි සේපාලි පාඩම් කරමින් සිටි සිරිමල් වෙත දුවගෙන ආවා ය.

”අනේ! මල්ලි මට හරි බයයි. එන්න මගේ කාමරයට” යැයි ඔහු ළඟ දැවටෙමින් ඇවටිලි කළා ය. ඔහු ගේ අතින් ඇද්දේ ය.

පාඩම් කරමින් පොතේ පේළි අතරින් දුවමින් සිටි සිරිමල් ගේ දෑස පොතේ එක තැන නතර විණි. අකුරු බොඳ වී ඇතත් ඔහු දෑස පොතෙන් ඉවතට ගත්තේ නැත.

ඔහු ගේ දැහැන නොරිස්සූ සේපාලි අමනාපයෙන් ගස්සා ගෙන ඇගේ කාමරයට ගියා ය. ඒ සමඟ තවත් අකුණක් මහ හඩින් පුපුරා ගියේ ය. විදුලි පහන් පවා නිවී ගියේ ය.

සිරිමල් තමන් ගේ ඇඳට ගොස් නින්දට සැරසුණේ ය. එහෙත් ඔහු ගේ හිත මොකක් දෝ කෝඩුකාර කලබැගෑනියකට පත් ව තිබිණි.

දෙයියනේ ඒ කෑලි කපන අන්ධකාරයේ ම නෑනන්ඩිය සිරිමල් ගේ යහනට පැමිණ එයින් අඩක් අයිති කැර ගත්තා ය. තවත් අකුණක් පුපුරා ගියේ ය.

තවත් මාස කීපයක් නො දැනුවත්ව ම වාගේ ගෙවී ගියේ ය. දැන් සිරිමල් පාඩමට වඩා නෑනන්ඩිය වෙනුවෙන් කාලය වෙන් කැර ඇත. ඇය පාපැදියට නංවා ගෙන ඇගේ ගමන් බිමන් ගියේ ද සිරිමල් ය.

සිරිමල් විභාගයෙන් ද අසමත් වූයේ ය. පාසලේ දක්ෂ සිසුවකු වූ සිරිමල් ගේ අසමත් වීම කැපී පෙනෙන සිද්ධියක් වී ය.

මවු පිය දෙදෙනා කම්පාවට පත් වූහ. එහෙත් එයින් කම්පාවක් නොපෙන් වූ සිරිමල් සුපුරුදු දින චරියාව වෙනස් කළේ නැත.

තවත් මාස ගණනක් ගෙවී ගියේ ය. ජයන්ත රැකියාව කළ රටේ යුද ගිනි ඇවිළුණේ ය. හිටිහැටියේ ම ජයන්ත ගෙදර ආවේ ය.

අයියා නැති සෑම අවස්ථාවක ම සිරිමල් සේපාලිට කුළුපග වෙන්නට උත්සාහ කළ ද ඇය ප‍්‍රවේශම් වූවා ය. සිරිමල් මඟ හරින්නට උත්සාහ කළා ය. ඇය ඈත් වෙන්නට උත්සාහ කිරීම සිරිමල්ට දරා ගන්නට බැරි කාරණයක් විය.

සේපාලි ගේ බැංකු පොතේ ඇති වටිනාකම දන්නා සිරිමල් ඈත පළාතකට පලා යන්නට ඇයට කතා කළේ ය.

”පිස්සු නැතුව යන්න සිරිමල්. දැන් අයියා ඉන්නවා නෙ. ඔයා මගේ ආරක්‍ෂාවට මෙහේ නාවාට කමක් නෑ. ඔයා මහගෙදර පදිංචියට යන්නැ” යි සේපාලි කීවා ය.

සිරිමල් නැවතත් සේපාලිට තර්ජනාත්මකව පලා යෑමේ යෝජනාව ගෙනාවේ ය.

”මට කරදර කරන්න එපා. මම ජයන්තට කියනවා” යි ඇය කීවා ය. එසේ ම එදා රාති‍්‍ර ජයන්ත “සිරිමල් තමුසෙ මගේ ගෙදරට එන්න එපා” යි කීවේ ය.

පසු දින පාන්දර අවදි වූ අයට දැක ගන්නට ලැබුණේ සිරිමල් නිවස ඉදිරිපිට අඹ ගසේ ගෙල වැළ ලා ගෙන සිය දිවි හානි කැර ගෙන තිබුණු ආකාරය යි.

තවත් හය මාසයක් ගෙවී ගියේ ය. සේපාලි අසනීප වූවා ය. හිටි හැටියේ සිහිසුන් ව වැටෙන සේපාලි කටින් සෙම පිට කරමින් දඟලන්නට වූවා ය. මෙය සිදුවන්නේ ඇගේ මාසික ඔසප් දිනයේ ම වීම විශේෂයක් වී ය.

ජයන්ත ඇය වෛද්‍ය ප‍්‍රතිකාර සඳහා ගෙන ගියේ ය. එහෙත් එයින් දහස් ගණනින් මුදල් වැය වූවා මිස සුවයක් නම් නො වී ය.

වෛද්‍ය ප‍්‍රතිකාරවලින් සුවයක් නො වූ තැන ආගමික වත් පිළිවෙත්වලට හා යන්ත‍්‍ර මන්ත‍්‍ර කටයුතුවලට යොමු වී ය.

දිනක් සේපාලි ගේ මවුපියෝ ඔවුන් දන්නා ඇදුරෙකු කැඳවා ගෙනැවිත් තොවිලයක් පටන්ගත්හ. ඒ අවස්ථාවේ ප‍්‍රලය වූ සේපාලි සිහිසුන් ව වැටී කියවන්නට වූවා ය.

”විල්සන් මාමා උඹලාට පිස්සුද? මූ හොර කට්ටාඩියෙක්. මූට මා එළවන්න බෑ. අපරාදෙ උඹලාගෙ සල්ලි.”

”මං සේපාලි අක්කාට ආදරෙයි. මට තාම මතකයි එදා රෑ මහා ධාරාණිපාත වැස්ස. අයියත් පිටරට. අකුණු පුපුරනවා. කළුවරේ ම සේපාලි අක්ක මගේ කාමරේට ආවා.

එදා ඉඳලා අපි දෙන්නා කොයි තරම් සන්තෝසයෙන් ද හිටියේ. ජයන්තයා ගෙදර ආවාට පස්සේ ඒ සතුට නැති වුණා. මං සේපාලි අක්කට ආදරෙයි. මං එයාව මගේ ලෝකෙට එක්ක යනවා.

මං ළඟට ගන්නවා. දැනුත් මං ජීවත්වෙන්නේ එයාගෙන්. එයාගෙ ඇඟේ ලේ උරා බීලා. උඹලාට ඒක නවත්තන්න බෑ. මගේ් ජීවිතේ නැතිවුණේ සේපාලි නිසයි.

මට විභාගෙ පාස් කැර ගන්නත් බැරිවුණේ එයාගෙ වැඩ නිසයි. ඉතින් මමත් දැන් එයාව අත හරින්නේ නෑ” යි කීවා ය.

මේ මියගිය සිරිමල් බව කාටත් වැටහිණි. ජයන්තට සිය බිරිය පිළිබඳ මහත් පිළිකුලක් හා කලකිරීමක් ඇති වී ඔහු නැවත වෙනත් රටක රැකියාවක් සොයා ගෙන පිටත් ව ගියේ ය.

සුවයක් නැති තැන සේපාලි ගේ මවුපියෝ ගලිගමුවේ ඥානදීප හිමියන් මුණගැසී උපදෙස් ගත්හ. ඥානදීප හිමියන් ඉදිරියේ දී සිරිමල් සේපාලි ගේ සිරුරට ආවිශ්ට විය.

”කාන්තාවන් කෙරෙහි දැඩි ඇල්ම නිසාත් සිය දිවි හානි කැර ගැනීමේ පාප කර්මය නිසාත්, අමනුස්ස උපතක් ලබා හිරිහැර කරන බව පැහැදිලියි. ඕක තමයි සිතේ ස්වභාවය.

මෙයින් මිදීමට නම් සේපාලි සීලයක් සමාදන් වී ප‍්‍රතිපත්තියක පිහිටන්න ඕනෑ. ගෙදරට මස් මාළු කරවල ගේන්න එපා. නිවස පිරිසුදුව තියන්න. ඊළඟට ජීවිතය තෙරුවන් කෙරෙහි පූජා කරන්න ඕනෑ.

උදේ හවස තුන් සූත‍්‍රය සජ්ඣායනා කරන්න. ගෙදර අනික් අයත් ඊට සහභාගි වෙනවා නම් ප‍්‍රතිඵල ඉක්මන් වේවි. ඊළඟට සේපාලි මෛතී‍්‍ර භාවනාව පුරුදු කරන්න ඕනෑ.

තමන්ටත් සියලු සත්ත්වයන්ටත් මෛතී‍්‍රය පතුරුවා සිරිමල්ට මෛතී‍්‍ර කරන්න. පැරැණි සිද්ධි සිහිපත් කැර සිරිමල්ට ඇළෙන්නත් එපා. දැන් කරන කරදර ගැන සිතා සිරිමල්ට තරහ වෛර කරන්නත් එපා.

ඔහු ඉපදී සිටින දුක්ඛිත ආත්ම භවයෙන් මිදී සුවපත් වේවා යන අදහසින් මේ පිළිවෙත කරන්න. නැවත ඊළඟ මාසයේ තත්ත්වය මට දැනුම් දෙන්නැ” යි ඥානදීප හිමියෝ උපදෙස් දුන්හ.

මතුගම මහින්ද විජේතිලක


Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

Categories

%d bloggers like this: