Posted by: lrrp | June 8, 2008

උඹට මතක නැද්ද මං එළුවෙක් වෙලා හිටියා

සිරියලතා ගලිගමුව ප‍්‍රදේශයේ පදිංචි කාරියකි. විවාහක කාන්තාවක වූ ඇය මේ වනවිට හතළිස් පස් වැනි වියේ පසු වූවා ය. දිනක් නිවසේ සිටියදී ඇය සිහිසුන්ව ඇද වැටුණා ය.

දැඩි වේදනාවකින් මෙන් බෙල්ල බදාගෙන බිම පෙරැළී දඟලන්නට වූවාය. ඇගේ ස්වාමි පුරුෂයාත්, ඒ අසල ම නිවසක පදිංචි ඇගේ සහෝදරයාත් පැමිණ ඇය ඔසවා යහනක තැබූහ.

සාත්තු සප්පායම් කිරීමෙන් ප‍්‍රකෘති සිහිය ලැබූ සිරියාවතී තමන්ගේ ගෙල හිටි හැටියේ හිරවූ බවත් එයින් පසු සිදු වූ කිසිවක් නොදන්නා බවත් පැවසුවා ය. එහෙත් තවමත් බෙල්ල රිදෙන බවත්, ඇවිළීමක් වැනි වේදනාවක් දැනෙන බවත් කීවා ය.

දින කීපයකට පසු සිරියාවතී නැවතත් එසේ ම සිහිසුන්ව වැටුණා ය. එවර පවුලේ අය ඇය රෝහලට ගෙන ගියා ය.

රෝහලේදී ඇය පරීක්ෂා කළ වෛද්‍යවරු මෙය ස්නායු ආබාධයක් යැයි කියා ප‍්‍රතිකාර කළහ. සුවය ලබා නිවසට පැමිණිය ද ඇය නැවත නැවතත් මෙසේ සිහිසුන්ව වැටුණා ය.

ප‍්‍රකෘති සිහිය ආ හැටියේ බෙල්ල අල්ලාගෙන වේදනාවෙන් කෙඳිරි ගෑවා ය. ඇගේ බෙල්ලෙන් ලේ ගලනවා මෙන් දැනෙන බවත් කීවාය.

රෝහලේ ප‍්‍රතිකාරවලින් සුවයක් නොලැබුණු බැවින් විශේෂඥ වෛද්‍යවරයකු වෙත ඇය රැගෙන යනු ලැබුවා ය.

එක්ස් රේ පරීක්ෂණයකට පවා භාජන කළත් රෝගය නිගමනය කරන්නට නොහැකි වීය. ඒ ප‍්‍රතිකාරවලින් ද ස්ථිර සුවයක් නොලැබුණේ ය.

යළිත් දිනක් සිරියාවතී හැන්දෑවේ බුදුන් වඳින වේලාවේ හූ කියාගෙන බිම වැටී අඬන්නට වූවා ය.

ඇගේ වැඩි මහල් සහෝදරයා පියසේන ද අහල පහළ ඥාතීහු ද මේ හඬ ඇසී දුවගෙන පැමිණියහ. සිරියාවතී දෑස් හැර බැලුවා ය.

ඥාතීන් අතර සිටි ඇගේ වැඩිමහල් සහෝදරයාට ළඟට කතා කළා ය.

“ලොකු පුතේ! උඹට මතකද? මං එළුවෙක් වෙලා හිටියා” යි සිරියාවතී සිය සහෝදරයාගෙන් ඇසුවා ය.

අන්ද මන්ද වූ පියසේන “මොන එළුවෙක්” දැයි ඇසීය.

“ඇයි බං ලොකු පුතේ උඹට මතක නැද්ද? මං උඹේ තාත්තා පීටර්, මං උඹේ ගෙදර එළුවෙක් වෙලා ඉපදිලා මීට අවුරුදු තුනකට කලින් ලණුව බෙල්ලේ එතිලා හිරවෙලා මැරුණා මතක නැද්ද? ඇයි ඒ විතරක්ද? මං වහු පැටියෙක් වෙලා උපන්නා උඹලාට මතක නැද්ද? අර වෙලෙන් එගොඩ ලන්දේ ගල ළඟ මා බැඳලා හිටියා.

ඒ ගලෙන් ලිස්සලා වැටිලා බැඳලා හිටිය කඹ පොටට බෙල්ල හිර වෙලා මැරණා මතක නැද්ද? ඒ මීට අවුරුදු හතරකට විතර කලින්. උඹලා මට සැලකුවේ නෑ. මගේ ඉඩකඩම් දේපල කනවා.

මං වෙනුවෙන් පිනක් දහමක් කරන්නේ නෑ. මං උඹල එක්ක තරහයි. මං උඹලාගෙන් පලිගන්නවා.”

“ඇයි තාත්තෙ! අපි හැම අවුරුද්දකම දානයක් දෙනවා නොවැ. තාත්තා සිහි කරලා” පියසේන පිළිතුරු දුන්නා ය.

“ඒ මදි. ඒ මදි” යි නැවතත් පිළිතුරු ලැබුණි.

මේ වනවිට පියසේන ගලිගමුවේ ඤාණදීප හිමියන් ලියූ “අමනුෂ්‍ය ග‍්‍රහණයෙන් මිදී සුගතිය කරා” යන පොත කියවා තිබිණි.

ඔහුට එය මතක් වී ඤාණදීප හිමියන් සොයා පැමිණ සහෝදරියගේ රෝගය පිළිබඳ විස්තර කළේ ය.

“ස්වාමීන් වහන්ස! අපේ තාත්තා ජීවත්ව ඉන්දැද්දී හරිම සැරයි. හොඳටම බොනවා. හිතුවක්කාරයි. ඉඩකඩම් දේපල ආදායම්වලට අපි එක්ක නිතරම රණ්ඩු කරනවා.

අම්මා මළා ට පස්සේ තාත්තා මහ ගෙදර තනියමයි ජීවත් වුණේ. අපි කොහොම හරි තාත්ත අපේ ගෙදරකට එක්ක ගෙන ගියත් දවස් දෙක තුනකට වඩා හිටියෙ නෑ මොකක් හරි දේකට බහින් බස් වෙලා ආපහු මහ ගෙදරට යනවා. ගිහින් තනියම උයාගෙන කාලා ජීවත්වෙනවා.”

“මේ සිද්ධිය වුණේ මීට අවුරුදු හයකට කලින්. එතකොට තාත්තාට වයස අවුරුදු හැත්තෑවක්. එදත් අපේ මල්ලිත් එක්ක තාත්තා බීගෙන ඇවිත් රණ්ඩු කළා. හිටපියව් මම තොපිට හොඳ වැඩක් කරනවායි කියමින් රාති‍්‍ර දොර වහගෙන නින්දට ගියා.

ගේ ඇතුළෙ ඉඳගෙනත් බණිනවා ඇහුණා. පහුවදා උදේ බලන කොට තාත්තා ඉස්තෝප්පුවේ යට ලීයේ කඹයකින් එල්ලිලා මැරිලා හිටියා.”

“දැන් මාස පහක හයක ඉඳලා අපේ නංගි හිටි හැටියේ සිහිය නැතුව වැටෙනවා. බෙල්ල බදාගෙන කටින් සෙම දාගෙන බිම පෙරැළී දඟලනවා. දොස්තර මහත්තුරුන්ට පෙන්නා බෙහෙත් දුන්නා කිසිම සුවයක් නෑ.

ඊයේ නංගි වෙනදා වගේ ම සිහිය නැතුව වැටිලා කියවන්න ගත්තා. අපේ තාත්තා කියන විදිහට මීට කලින් එළුවෙක් වෙලා ඉපදිලා කඹේට බෙල්ල හිරවී මැරුණා කීවා.

වහු පැටියෙක් වෙලා ඒ වගේ ම මැරුණා කීවා. ඒ ඔක්කොම කතා ඇත්ත. තාත්තා මැරුණෙ කඹේකින් බෙල්ලෙ වැලලා ගෙන. වහු පැටියා මළෙත් එහෙමයි.

එළුවා මළෙත් එහෙමයි. තාත්තා නංගිට වැහිලා ඒ ගැන කියනකම් මේ සිද්දිවල ගැලපීම අපට මතක් වුණේ නෑ.

ඔබ වහන්සේ ගේ පොතක අමනුෂ්‍ය බලපෑම් ගැන කියවලා තිබුණු නිසා ඔබ වහන්සේගෙන් උපදෙසක් ගන්න එන්න හිතුණා” යි පියසේන සිද්ධිය හා පැමිණි කාරණය විස්තර කළේ ය.

“ඔව්! අපට පෙනෙන විදිහට මෙයා බලගතු පෙ‍්‍ර්තයෙක් හෝ යක්ෂයෙක් වෙලා ඉපදිලා. දුවගෙන් පලිිගන්න හදනවා. මේවා සිද්ධ වෙන්නෙත් කර්ම විපාකය අනුවයි.

දීඝායු කුමාරයාගේ කතාව මේ අය දන්නවානෙ. මන්දායුෂ්කව මැරෙන්න හිටිය කුමාරයා ගෙ පූර්ව කර්ම විපාකය ඊට වඩා බලවත් පුණ්‍ය කර්මයකින් බුදු රජාණන් වහන්සේ වැළැක්කුවා.

මේ අය තමන්ගේ සහෝදරියට ආදරේ නම් ඒ වගේ පිළිවෙතකින් සිරියලතාව සුවපත් කරන්න පුළුවන්. දැන් ඔය ඇත්තෝ වෛද්‍ය විශේෂඥයන් ළඟට ගිහින් වාහන කුලී, වෛද්‍ය ගාස්තු, බෙහෙත් ආදියට රුපියල් විසි තිස් දාහක් වියදම් කරලා නොවැ ඉන්නේ.

මේ පිළිවෙතට ඒ වගේ මුදල් වියදම් වෙන්නේ නෑ. ඒ වගේ ම තාත්තාගේ පෙ‍්‍ර්තාත්මයෙන් නිදහස් වෙන්න සිත් දෙන්නත් පුළුවන් යැයි ඤාණදීප හිමියෝ ඔහුට පිළිවෙත විස්තර කළහ.

මංගල සූත‍්‍රය, රතන සූත‍්‍රය, කරණීය සූත‍්‍රය ඉතාම බලගතු පිරිත් සූත‍්‍ර තුනක්. රතන සූත‍්‍රය බුද්ධ, ධම්ම, සංඝ ගුණ ඇතුළත් සත්‍යකි‍්‍රයාවක්.

ඒ වගේ ම බුදුරජාණන් වහන්සේ ගේ බුද්ධ බලය කෝටි ලක්ෂයක් සක්වළ ආඥා චක‍්‍රය පිහිටුවා වදාළ සූත‍්‍ර තුනක්. සියලු අමනුෂ්‍යයන් කෙරෙහි සියලු සත්ත්වයන් කෙරෙහි බලපාන සූත‍්‍රයක්.

මංගල සූත‍්‍රය දෙවියන් ගේ බැල්ම ආශිර්වාදය ලැබෙන සූත‍්‍රයක්. කරණීය සූත‍්‍රයේ මෛති‍්‍රයේ අනන්ත ගුණය බලය පවතිනවා.

මේ ඇත්තන්ගේ තාත්තා මැරුණේ අකාලයේ. එළුවා වගේ ම වහු පැටියා මළෙත් අකාලයේ. ඒ නිසා ඔය ගම කිට්ටුව ඉන්න වයස් ගත දුප්පත් කෙනකුට හොඳ පෝෂ්‍යදායක ආහාර වේල් කීපයක් දී දීර්ඝායුෂ ප‍්‍රාර්ථනා කර ඒ පින තාත්තාට අනුමෝදන් කරන්න.

ගමේ පන්සලට ගිහින් බෝධි පූජාවක් පවත්වා නංගිගේ අපල දුරුවෙන්න ප‍්‍රාර්ථනා කරන්න. පවුලේ සියලු දෙනාම පස් පවෙන් වැළැකී උදේ හවස පන්සිල් සමාදන් වී නංගී සමඟ බුදුන් වඳින්න.

බුදුන් වැඳීමෙන් අනතුරුව පවුලේ සියලු දෙනා නංගී වට කැරගෙන තුන් සූත‍්‍රය සජ්ඣායනා කරන්න. පිරිසුදු භාජනයකට පිරිසුදු වතුර ගෙන ඒ පිරිත්වලින් පිරිත් කර නංගීට බොන්න දෙන්න. අනිත් අයත් පානය කරන්න. ඉතුරු ටික නිවස පුරා ඉහින්න.

ඒ වගේ ම මිය ගිය තාත්තාගෙන් කරදරයක් සිදු වුණා ය කියා තාත්තා සමඟ තරහ ඇති කැර නොගෙන පවුලේ සියලු දෙනාම උදේ හවස මෛතී‍්‍ර භාවනාව වඩන්න.

තාත්තාට ද මෛතී‍්‍ර කරන්න. විශේෂයෙන් ම නංගිට මෛතී‍්‍ර භාවනාව කරන්න කියන්න. තමන් ඇසුරෙහි ඉන්නා තාත්තා ගැන සිහිපත් කර ඔහු සුවපත් වේවා යි මෛතී‍්‍ර කරන්න කියන්නැයි වැඩිදුරටත් උපදෙස් දුන්හ.

ගෙදර දී පිරිත් කියන විට පිරිත් කරන පැන් කළයට මිශ‍්‍ර කරන්නට යැයි උන් වහන්සේ පිරිත් පැන් බෝතලයක් ද දුන්හ.

ඤාණදීප හිමියන්ගෙන් උපදෙස් ගත් පියසේන නිවසට ළඟා වන විට ම සිහිසුන් වූ සිරියාවතී කෑ මොර දෙන්නට වූවාය.

“ලොකු පුතේ! උඹ එහෙනම් හාමුදුරුවන්ගෙන් උපදෙස් අරගෙන ආවේ මාව පන්නන්න නේද? ඇයි යකෝ! තොපිට කන්න බොන්න දීලා උස් මහත් කළේ මං. මේ ඉඩකඩම් ගෙවල් දොරවල් මගේ. තොපිට මාව මෙතනින් පන්නන්න තියෙන අයිතිය මොකද්ද? යි තාත්තා කතා කරන විලාසයෙන් අහන්නට වීය.

පියසේන සිරියාවතීගේ ස්වාමි පුරුෂයාටත් පවුලේ අනිකුත් සමීප ඥාතීන්ටත් දැනුම් දී ඉක්මනින් කටයුතු සංවිධානය කළේ ය. ඔව්හු පසුදින ගමේ නැති බැරි දුප්පත් අය හත් අට දෙනකු කැඳවා දහවල් ආහාර පානයෙන් සංග‍්‍රහ කළහ.

“මේ අපේ තාත්තාගේ කුඹුරේ අස්වැන්නෙන් ගත් හාල්” යැයි කියමින් ඒ අයට හාල් සේරු දෙක තුන බැගින් ද පරිත්‍යාග කළහ.

“අනේ අපේ පීටර් අයියාට, අපේ පීටර් උන්නැහේට, පිං සිද්ධ වෙච්චාවේ “ යි ප‍්‍රාර්ථනය කරමින් ඔවුහු ඒ පරිත්‍යාගයන් බාර ගෙන සතුටු සිතින් නික්ම ගියහ.

ගමේ ආගමික කටයුතු පිළිබඳ දැනුම් තේරුම් ඇති වැඩි හිටි ඥාතියකු එදින සවස නිවසට ගෙන්වා ගත්හ. ඔහුට ද හොඳින් සංග‍්‍රහ කොට හාමුදුරුවන් දුන් උපදෙස කි‍්‍රයාත්මක කළහ.

පවුලේ සියලු දෙනා නිවසේ බුදු රජාණන් වහන්සේට මල් පහන් පූජා කරන ස්ථානයේ පැදුර එළා සිරියාවතී මැදි කරගෙන වාඩි වූහ. සියල්ලෝම පන්සිල් සමාදන් වූහ.

දින පතා හැන්දෑවට හීන් අඩියක් ගහන සහෝදරයෙක් සහ සිරියාවතීගේ ස්වාමි පුරුෂයා ද සිරියාවතී වෙනුවෙන් පස්වැනි සිල්පදය ආරක්ෂා කරන බව වචනයෙන් ම පවසා පොරොන්දු වූහ.

පිරිත් පැන් කළය ද ඉදිරිපිටින් තබා ගෙන තෙරුවන් වැඳ තුන් සූත‍්‍රය සජ්ඣායනා කළහ. අවසානයේ දෙවියන්ට පින් දී සිරියාවතී ඇතුළු පිරිස පිරිත් පැන් ස්වල්පය බැගින් පානය කළහ.

සිරියාවතී මේ කටයුතු කරන අතර වෙව්ලන්නට වූ නමුත් වෙනත් කලබලයක් කළේ නැත. එහෙත් වරින් වර දත් සපමින් වෙව්ලුවාය. දෙවැනි දිනයේ සිට පිරිස පිරිත අවසානයේ මෛතී‍්‍ර භාවනාව වැඩූහ.

සිරියාවතී පියාට ද මෛතී‍්‍ර කළාය. පිරිස ද තමන්ටත්, සියලු සත්ත්වයන්ටත් මෛතී‍්‍ර කොට අවසානයේ සිරියාවතීටත්, සිරියාවතීගේ ශරීරය ඇසුරු කර සිටින බව පෙනෙන පියාටත් මෛතී‍්‍ර කළහ.

මේ ආගමික පිළිවෙත පවුලේ අයට ද සතුටු දායක චාරිත‍්‍රයක් විය. දිනපතා හැන්දෑවට පවුලේ ඥාතීන් ඒකරාශී වී තෙරුවන් වැද, පිරිත් කියා භාවනා කිරීම ඔවුන් ගේ සිත්වලට සහනදායි සතුටු වින්දනයක් ලබා දුන් කාරණයක් වීය.

දිනපතා මේ වේලාවට සිරියාවතීගේ වෙව්ලන ගතිය නිසා මෙහි විශේෂත්වයක් ද වීය. මේ දිනයන්හි දී පවුලේ අය පින්බර සිතුවිලි වලින් කරුණා මෛති‍්‍රයෙන් ම කටයුතු කළහ.

දෙසතියක් ඉක්ම ගිය දින සිරියාවතී වෙව්ලමින් සිනාසෙන්නට වූවා ය.

“මං යනවා. මං යනවා දරුවනේ! මට උඹලා ගැන සතුටුයි. මං පින් අනුමෝදන් වුණා. මං හිටපු ආත්මයෙන් ඉහළට ගියා. මං උඹලාට කරදර කරන්නේ නෑ. එහෙම කරදර කළොත් මට පව් බව මං දන්නවා.

මං දැන් ශ‍්‍රී මහා බෝධීන් වහන්සේ ළඟට යනවා” යි පවසමින් නිහඬ වූවා ය.

දැන් සිරියාවතී සම්පූර්ණයෙන් සුවපත්ව සිටින්නීය. එසේ ම පවුලේ පිරිස තවමත් රාති‍්‍රයට එක් වී ආගමික පිළිවෙත නොකඩවා පවත්වාගෙන යති.

මාසයකට පමණ පසු මේ පවුලේ සියලු දෙනාම සිරියාවතී ද සමඟ පැමිණ ගලිගමුවේ ඥාණාදීප හිමියන් බැහැ දැක ස්තුති කොට පින් දී ගියහ.

මතුගම මහින්ද විජේතිලක


Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

Categories

%d bloggers like this: