Posted by: lrrp | June 29, 2008

මනාලියට වැහුණු නාග භූතයා

දිනක් පබා සුගත් සමඟ නිදි යහනේ සිටියදී පබා ගේ කටින් සෙම පිට වෙන්නට වීය. “සූස්… සූස්.. සූස්…” හඩින් පිටවන සෙම සුගත් ගේ මුහුණ පුරා විසිරෙන්නට විය. ඒ සමඟ පබා යහන පුරා දඟලමින් බිමට ඇදී ගොස් බිම ද දඟල දඟලා දරදඬු වූවා ය. මේ යුවළ රාති‍්‍රයට සතුටෙන් සමගියෙන් සිටින සෑම විටක ම පාහේ මෙසේ සිදු වන්නට වීය. වරෙක ඇගේ ඉහට උඩින් විශාල නයි පෙනයක් දර්ශනය වෙයි. එක්වර ම උඩ සිටි නයා පැන ඇගේ බෙල්ල වෙලා ගනී.

ලංකාවේ මහේස්ත‍්‍රාත් උසාවියකට අද කෙනෙකු ගියහොත් එතැන අඬ ගසන නඩු හබ ආරාවුලවලින් වැඩි හරියක් ම ඇත්තේ නීති විරෝධි මත්පැන් නඩුවලටත් වඩා දෙන්නා දෙපැත්තට වී සිටින තරුණ අඹු සැමියන්ගේ නඩත්තු නඩු බව පෙනෙනු ඇත.

ඒවායෙන් ද සියයට අනූ පහක් ම දුටු පළියට හදිසියේ සොයා නොබලා ඉක්මන් තීරණ ගෙන සිදු කැර ගත් විවාහයන් ය.

යෞවන ජීවිතයේ මිනිස් සිතට විවාධාකාර සිතිවිලි ගොඩ නඟමින් ඇලීම් හා ගැටීම් බහුල වශයෙන් ම ගොඩ නඟන්නේ ස්තී‍්‍ර පුරුෂ භාවයන් නිසා ම ය. යෞවනයේ දී අනිකුත් සියලු කරුණු ඊට දෙවැනි වේ.

ඇය ධනවත් පවුලක පබා නම් වූ ප‍්‍රසන්න තරුණියකි. සුගත් දුප්පත් පවුලක හිත හොඳ තරුණයෙකි. පාසල් වියේ සිට මේ දෙදෙනා අතර හට ගත් ඇයි හොඳයිය කල් යෑමේ දී පෙ‍්‍ර්ම සම්බන්ධයක් බවට පරිවර්තනය විය.

තමන් ගේ ධනවත්කම අනුව පබාට රැකියාවක් අවශ්‍ය නැතැයි තීරණය කළ මව්පියෝ සාමාන්‍ය පෙළ විභාගයෙන් පසු ඇය පවුලේ ව්‍යාපාර කටයුතුවලට සම්බන්ධ කැර ගත්හ.

වැඩිදුර අධ්‍යාපනය සඳහා තම පවුලේ ආර්ථිකය ශක්තිමත් නොවන බව වටහා ගත් සුගත් ද පාසල් ගමන නතර කොට කුඩා ව්‍යාපාරයක් ආරම්භ කළේය.

ඔහුගේ උත්සාහය, කැපවීම හා අවංකභාවය නිසා ක‍්‍රමයෙන් හිස ඔසවන්නට වීය.

ජංගම දුරකතන තිබෙන බැවින් දෙදෙනා ගේ සම්බන්ධය ද ඉදිරියට ගියේය.

මේ දෙදෙනාගේ සම්බන්ධය වැඩිහිටියන්ගේ කණට රිංගන්නට වැඩි කාලයක් ගියේ නැත. සුගත් කවුදැයි ඔව්හු හොර රහසේ සොයා බැලූහ. ඔහු තමන් ගේ තරමට හොඳට ම මදි යැයි තීරණය වීය.

පබාට ගෙදරින් පීඩනයක් එල්ල වන්නට විය. පිටරට රැකියාව කොට පැමිණි තරුණ ඉංජිනේරුවකුට පබා විවාහ කැර දීමට කටයුතු සූදානම් කැරිණි.

පබා ගේ හඬට කන් දෙන්නට තරම් කෙනෙකු ඒ ගෙදර නොවූයේ පියාගේ අධිකාරි බලය නිසා ය. බැරිම තැන මේ විවාහ කටයුත්තට තමන් කැමති නැති බව පබා හඬ නඟා කීවාය.

වේදනාවෙන් කීවාය. අඬ අඬා කීවා ය. ධන මානයෙන් මත්වූ අඳ ගොලු බිහිරන්ට මේවා නෑසිණි. බැරිම තැන පබා හිත තද කැර ගත්තා ය. නිහඬ වූවා ය.

ඇය බලෙන් ම විවාහ කැර දීමේ මංගල්‍යය මහ ඉහළින් සිදු කිරීමේ කටයුතු සූදානම් කැරිණි. මනාලයා ද කාලයේ හැටියට ස්වකීය මංගල්‍යය ජයට ගන්නට අවශ්‍ය කටයුතු සංවිධානය කළේය.

පබාගේ ගෙදර ද වත්ත පිටිය උයනක් බවට පත් කැරිණි. නිවස දෙපසින් ඇති පාරවල් දෙක ද ප‍්‍රාදේශීය සභාව ලවා අලුත්වැඩියා කැරිණි. මගුල් දවස එළැඹියේ ය.

මනාලයා සුබ නැකතින් පිටත්ව මනාලියගේ නිවසට ආවේය. මනාලිය සුරංගනාවියක සේ සරසා දැන් පැයකටත් වැඩිය.

මනාලයා වාහනයෙන් බසින විට ම මල් වෙඩි වරුසා, දුම් වෙඩි වරුසාවලින් මිදුල වර්ණවත් විය.

මේ අසිරිය නොබලා සිටින්නට කාට පුළුවනි ද? මනාලයා ගේට්ටුව ළඟ සිට හෙමින් හෙමින් පියවර තබයි. පබා ගේ දුරකතනය වරක් නාද විය.

මනාලයාට ඉක්මන් පියවරක් තබන්නට වීඩියෝ කැමරා ශිල්පියාගෙන් අවසර නැතුවා සේ ය. ඊළඟට ජය මංගල ගාථා, පිළිගැනීමේ ගීත, වැඩ ගොඩකි. වියදමේ හැටියට චාරිත‍්‍රත් තිබිය යුතුය.

මනාලයා ගෙට පය තබන විට ඉහට උඩින් එල්ලා තිබුණ මල් වෙඩිල්ලේ නූල ඇද්දත් පිපුරුවේ නැත. මනාලියගේ මව් පියෝ බෑණා පිළිගත්තේ රාජකුමාරයකු සේ ය. මේ වන විට විවාහ රෙජිස්ටාර්වරයා ද පැත්තක වාඩි වී ඔරලෝසුවේ කටු දෙස බලා සිටී.

මේ වන විට පබා සුගත් සමඟ කිලෝමීටර් විස්සකටත් එහා ගමන් කරමින් සිටියාය. මනාලිය කාමරයේ නැත. නාන කාමරයේ විය යුතුය. නාන කාමරය වසා ඇත.

“ඉක්මනින් එන්නෝ…’ දොරට තට්ටුවක් වැටිණි. ඇතුළේ සිටි තරුණිය ද එළියට එන්නට තවත් විනාඩි පහක් පමණ ගත්තාය. දැන් පබා තවත් කිලෝමීටර් පහක් ඉදිරියෙනි.

කාරණය දැන ගත් සැණින් මනාලයා වේගයෙන් පාරට දිව්වේය. මංගල රියට නැංගේය. ‘ඉක්මනින් යමු. හදිසියක්.’ රියැදුරා වේගවත් විය. මනාලයා සිය නිවසට ගියේ ය.

කාමරයට වැදී දොර වසා ගත්තේ ය. කනට තබා ගත් පිස්තෝලය හිතක් පපුවක් නැතිව හඬ නැඟුවේය. ලජ්ජාව දරා ගත නොහැකි වූ තරුණ ඉංජිනේරුවරයා මෙලොවින් සමු ගත්තේ ය.

මාස දහයක් ගෙවී ගියේ නොදැනුවත්ම ය. පබා සුගත් සමඟ පී‍්‍රතියෙන් ජීවිතය ගෙවන්නීය.

මේ අතර විශාල වියදමක් දරා මහ ඉහළින් මංගල උත්සවයක් ගෙන නිවසට කැන්දාගෙන ඒමට නියමිතව සිටි මනාලිය මඟුල් ඇඳුම පිටින් ම පෙම්වතා සමග පැන යෑමේ වෛරයෙන් දිවි හානි කැර ගත් ඉංජිනේරුවා ගැන ද ඇයට අමතකය.

දිනක් පබා සුගත් සමඟ නිදි යහනේ සතුටු වෙද්දී පබා ගේ කටින් සෙම පිට වෙන්නට වීය. “සූස්… සූස්.. සූස්…” හඩින් පිටවන සෙම සුගත් ගේ මුහුණ පුරා විසිරෙන්නට විය.

ඒ සමඟ පබා යහන පුරා දඟලමින් බිමට ඇදී ගොස් බිම ද දඟල දඟලා දරදඬු වූවා ය.

මේ යුවළ රාති‍්‍රයට සතුටෙන් සමගියෙන් සිටින සෑම විටක ම පාහේ මෙසේ සිදු වන්නට වීය. වරෙක ඇගේ ඉහට උඩින් විශාල නයි පෙනයක් දර්ශනය වෙයි.

එක්වර ම උඩ සිටි නයා පැන ඇගේ බෙල්ල වෙලා ගනී. ඒ සමඟ ඇය දෑතින් බෙල්ල තද කැර ගෙන බිම පෙරැළී දඟලන්නීය.

කටින් සෙම වගුරන්නීය. නාගයා ඇගේ ශරීරයට රිංගනවා සේ දැනේ. නාගයා ඇගේ ඇඟට උරා ගන්නවා සේ දැනේ. නාග භූතයකු ඇයට ආවිශ්ටව ඇත.

සුගත් ඇය වෛද්‍යවරයකු වෙත ඉදිරිපත් කළේය. ඒ ප‍්‍රතිකාරවලින් කිසිදු සුවයක් නොවීය. විශේෂඥ වෛද්‍යවරුන්ට පෙන්වූයේය.

එයින් ද සිදු වූ සෙතක් නැත. මනෝ වෛද්‍යවරුන් කරා ගෙන ගියේ ය. ඒත් ඒ ටිකම ය. බටහිර වෛද්‍ය ක‍්‍රමයෙන් සහනයක් නැතිව ආයුර්වේද වෛද්‍ය ක‍්‍රමයට යොමු වීය.

එයින් ද සහනයක් නොවීය. දැන් සුගත්ට විවාහ ජීවිතය ද එපා වී ඇත. සතුටක් නැති ජීවිතයක සැනසුමක් කොයින් ද? අවසානයේ මෙය භූත දෝෂයක් යැයි තීරණයකට එළැඹුණේ ය.

ඇය ගලිගමුවේ ඤාණදීප හිමියන් වෙත ගෙන ගියේ ය. උන්වහන්සේ ඔවුන් ගේ පාසල් යුගයේ සිට ම ඉතිහාස කතාව අධ්‍යයනය කළහ.

මංගල උත්සවය දා සිදු වූ දෙය ද කියැවිණි. එය විස්තර කරන්නැයි පබාට පැවසූහ.

පබා මනාලයා පිළිබඳ තොරතුරු කියාගෙන යන විට ම ශරීරය දරදඬු වී බිම දිග ඇදුණාය.

කටින් සෙම දමමින් සාලය පුරා දඟලමින් ඇදෙන්නට වූවාය.ඤාණදීප හිමියෝ රතන සූත‍්‍රය සජ්ජායනා කළහ. ඇගේ දැඟලීම නතර විය. ඇය ලජ්ජාබරිතව හිඳ ගත්තාය.

උන්වහන්සේ ඔවුන්ට මෛතී‍්‍ර භාවනාව වඩන ආකාරයත්, එහි ආනිසංසත් විස්තර කැර දුන්හ.

“ගමේ පන්සලට යන්න. පංසලේ හාමුදුරුවන් මුණ ගැසී මේ අවශ්‍යතාව ඉෂ්ට කැර දෙන්නැයි ආරාධනා කරන්න.

මේ දෙන්නා ගමේ පන්සලේ දී දින හතක් බෝධි පූජා පවත්වන්න ඕනෑ. ආජීව අට්ඨමක ශීලය සමාදන් වෙන්න.

තුනුරුවන්ට ජීවිතය පූජා කර තුන් සූත‍්‍රය දේශනා කරන්න. ඉන් පසු දෙදෙනා ම එක් වී මෛතී‍්‍ර වඩන්න.

තමන්ටත් සියලු සත්ත්වයන්ටත් මෛතී‍්‍ර කොට අන්තිමට අර සිය දිවි හානි කැර ගත් ඉංජිනේරු මහතා සිහිපත් කොට ඔහුට දිගටම මෛතී‍්‍ර කරන්න.

මේ මෛතී‍්‍ර භාවනාව ඉතාම බලවත්.” අමනුස්සානං පියෝ හෙරති. දේවතා රක්ඛන්ති’ කියා තියෙනවා. අමනුෂ්‍යයෝත් පි‍්‍රය කරනවා. දෙවියන් විසින් ආරක්ෂා කරනු ලබනවා.

ඉන්දියාවේ නිදහස් සටන පැවැති සමයේ අපේ අනගාරික ධර්මපාලතුමා බුද්ධගයාව බේරා ගැනීමට උද්ඝෝෂණ කරද්දී එතුමා සිරභාරයට ගැනීමට පැමිණීමට නියමිතව සිටි පොලිස් අධිකාරීවරයා සිහිපත් කොට ඔහුට මෛතී‍්‍ර කිරීමෙන් එසේ අත් අඩංගුවට ගැනීම වැළැක්වීමට පවා මේ මෛතී‍්‍ර භාවනාවේ බලයට හැකියාව තිබුණා.

මේ දවස් හත බෝධි පූජා පවත්වා ඊළඟට තමන් ගේ නිවසේ දී උදේ හවස තෙරුවන් වැඳ තුන් පිරිත කියා දෙන්නා එක්ක ම මෛතී‍්‍ර වඩන්න. එවිට ඔය සියලු අපල උපද්‍රව ඉවත් වේවි.

නාග භූතයා ද සුවපත් වී යන්න යාවි. මේ පබා නෝනා ගේ පවුලේ අයත් සමගි වේවි. යි උන්වහන්සේ උපදෙස් දුන්හ. තරහව, වෛරය තුළින් පළිගැනීම පසුපස හඹා එන හැටි. ගින්නට ඉසිය යුත්තේ සිසිල් ජලයම ය.


Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

Categories

%d bloggers like this: