Posted by: lrrp | July 13, 2008

ඇස් ඉස් මස් ලේ දන්දී ජීවිත ජීවත් කරවන බුද්ධ පුත‍්‍රයාණෝ

අරියවංශ හිමියන් සිය ඇස් දෙක දන්දීමට පොරොන්දු පත‍්‍රය අත්සන් තැබුවේ පාසල් වියේදී ය. ඉන් පසුව වකුගඩුවක් දන් දුන්නේ ය. පසුගිය වසරේදී අක්මාවෙන් සියයට හැටක කොටසක් දන් දුන්නේය.උන්වහන්සේ ඉතාම නිරෝගීව දිවි ගෙවන්නේය. මේ සියලු පරිත්‍යාග අවසන උන්වහන්සේ ගේ අපේක්ෂාව තවත් ජීවිතයක් ජීවත් කරවීම පමණි. ‘සිය පණ නොතකා – පර පණ රකිනා, ජීවිත පූජාවෙන්” මෙවැනි වූ බොහෝ දෙනෙක් අතීතයේ හා වර්තමානයේ වීර පොදු ජන සම්මානයෙන් පිදුම් ලැබූහ. මේ ඉන් එක් කතාවක් පමණි.

බොහෝ අරුමෝසම් කළ ද ජීවිතය අනියතය. ඉතිරි වන්නේ ජීවත්ව සිටින කෙටි කාලයේ දී කරන පිං හෝ පව් පමණි.

මිනිසකු වශයෙන් ලොව ඉපදී සසර ගමන් මඟ කෙටි කර ගැනීමට පාරමීදම් පුරන්නෝ හා සංසාර ගමන කෙටි වේවා, ධර්මය අවබෝධ වේවා යැයි ප‍්‍රාර්ථනා කරන්නෝ ද බොහෝය.

පිං කිරීමට වයස් භේදයක් කුල භේදයක් නැත. කෙනකුට යමක් දීමට නම් එයට දීමේ හුරුව තිබිය යුතුය. එමෙන්ම යම් අයකුට තමන් සතු යමක් දීමේදී ඒ පිළිබඳව ඇල්මක් හෝ ආශාවක් නොතිබිය යුතුය.

එයින් ලාභ ප‍්‍රයෝජන අපේක්ෂා නොකළ යුතුය. එවිට එය පරිත්‍යාගය නම් වන්නේය. මේ බුදුදහමේ එන ඉගැන්වීමයි. මේ අන්දමට පරිත්‍යාග කළෝ අතීතයේ ද විසුවෝ ය.

බදුල්ලේ
ආරියවංශ හිමි

වර්තමානයේද වසන්නෝය. මේ එවන් වූ බුද්ධ පුත‍්‍රයාණන් කෙනකුගේ කතා වස්තුවයි.

ඉන්දික චමින්ද හෙන්නායක උපන්නේ බදුල්ලේ වාසනාගමය. හය දෙනකුගෙන් යුතු පවුලේ ඉන්දික පස්වැනියා වූයේ ය. වාසනාගම කනිෂ්ඨ විද්‍යාලයේ, ගෝබුන්න මහා විද්‍යාලයේ හා කන්දෙගෙදර මහා විද්‍යාලයේ ඉගෙනුම ලබා උසස් පෙළ හැදෑරීමට කොළඹට පැමිණියේය.

“මට පුංචි කාලේ ඉඳලම මහණ දම් පිරීමේ උවමනාව තිබුණා. ඒත් අම්මත් තාත්තත් ඊට කැමැති වුණේ නෑ. මම උසස් පෙළ හැදෑරුවේ විද්‍යා විෂයන්. ගුරුවරුන්ටත් හරි ප‍්‍රශ්නයක් වුණා.

මං විද්‍යා විෂයන් ඉගෙන ගනිමින් ධර්ම කරුණු අඩංගු පතපොත කියවීම ගැන. මං පන්සල්වල ගිහිල්ලා නතර වෙලා හිටියා. එක දිගට දවස් හතක් සිල් අරගෙන හිටියා.

ඒත් ගෙදරින් කැමැති වුණේ නැහැ පැවිදි වෙනවට. කොහොම හරි අවුරුදු විස්ස සම්පූර්ණ වුණාට පස්සේ මම 1999 අවුරුද්දේ පැවිදි ජීවිතේට ඇතුළු වුණා.

ඒ ගැන ගෙදරට කිව්වේ දින යොදා ගත්තට පස්සේ. ගෙදර අයට ඊට අකමැති නොවී බැරි වුණා.

ගෙදර අය හිතුවේ පුංචි වයසේ පැවිදි වුණහම මං යම් දවසක පැවිද්ද අත හරිවී කියලා.

මම ලංකාවේ බොහෝ ආරණ්‍යවලට විහාරස්ථානවලට ගියා. හැම තැනකින්ම පැවිදි කර ගන්න කැමති වුණා.

ඊට පස්සේ කේන්ද්‍රය (හඳහන) ඉල්ලනවා. හඳහන පිළිබඳව මගේ කිසිම විශ්වාසයක් නෑ. මම සෑහෙන කාලයක් හඳහන ඉල්ලන්නේ නැතිව පැවිදි කර ගන්න කැමති ගුරු හාමුදුරුවන් වහන්සේ නමක් සෙව්වා.

මම අනුරාධපුරයට යනතුරු ගියා. ඒ ගිය ගමනෙදි තමයි අනුරාධපුර ඇදගල විහාරයේ මඩම්පැල්ලේ වනරතන ගුරු හාමුදුරුවෝ හමුවුණේ.

උන්වහන්සේ මා රුවන්වැල්ල පාමංකඩ පාරමිතා ආරණ්‍ය සේනාසනයේ කටානේ අරියධම්ම හිමියන්ට යොමු කළා.”

අධ්‍යාපනය ලබන්නට ගෙදරින් දුන් මුදල් වියදම් කරමින් ධර්ම මාර්ගයට පිවිසෙන්නට තමන්ට ඇවැසි තැන සොයා ගිය ඉන්දික අවසන බදුල්ලේ අරියවංශ නමින් පැවිදි ජීවිතයට ඇතුළත් වූයේය.

විනිසුරු සී.ජී. වීරමන්ති මහතා ආරියවංශ හිමිට සම්මානය ප‍්‍රදානය කළ අයුරු. පසෙකින් ති‍්‍රකුණාමලයේ ආනන්ද හිමි ද වෙයි.

අරියවංශ හිමිගේ බලාපොරොත්තු එතැනින් නිමා නොවීය. මේ සසර ගමනේදීම ධර්මාවබෝධ ලැබීම උන්වහන්සේගේ ප‍්‍රාර්ථනයයි. එමෙන්ම යමකුට උදව් කිරීම සහ ජීවිත දානය ලබාදීම උන්වහන්සේගේ පැතුමය.

එනිසා හෙතෙම පාසල් සිසුවකුව සිටියදී වගුකඩුවක් පරිත්‍යාග කිරීම සඳහා ඉදිරිපත් වූයේය. සියලු පරීක්ෂණවලට සහභාගි වූයේය. එහෙත් එය මඟ හැරී ගියේය.

පරිත්‍යාගය සිතෙහි කොනක තැන්පත් වී තිබිණ. ධර්මය ඉගෙන ගැනීම, අන් අයට ධර්මය දේශනා අවබෝධ කිරීම ආදි කි‍්‍රයා පිළිවෙත් අනුගමනය කරන අතරම සිත අවයව පරිත්‍යාගය කෙරෙහි ද යොමුව පැවැතියේය.

ඒ අනුව 2001 වසරේදී ඒ සඳහා අවස්ථාවක් ලැබුණේය. එම්. කේ. ජී. සිරිසේන මහතාට තමන් වහන්සේගේ වකුගඩුවක් පරිත්‍යාග කිරීමට අවස්ථාව ලැබිණි. 2001 වසරේ මාර්තු 19 දා ඉන්දියාවේ රාමචන්ද්‍ර මෙඩිකල් සෙන්ටර් රෝහලේදී මෙම ශල්‍යකර්මය සිදු කරන ලදී.

අරියවංශ හිමියන්ගේ දාන පාරමිතාව එතැනින් නිමා නොවීය. දරුණු ලෙස රෝගාතුරව සිටි ජනාධිපති නීතිඥ ඩෙන්සිල් ජේ. ගුණරත්න මහතා සුව කර ගැනීම සඳහා සිය අක්මාවෙන් සියයට හැටක ප‍්‍රමාණයක් දන් දීමට උන්වහන්සේ ඉදිරිපත් වූහ.

පසුගිය වසරේ ජුනි 11 වැනිදා සිංගප්පූරුවේ ග්ලේන් ඊගල් රෝහලේදී මෙම ශල්‍යකර්මය සිදු කැරිණ. එම රෝහලේ විශේෂඥ වෛද්‍යවරුන් ප‍්‍රකාශ කර ඇත්තේ ඔවුන් දන්නා තරමට ලොව මෙවැනි පරිත්‍යාගයක් කැරුණු ප‍්‍රථම අවස්ථාව මෙය බවයි.

බදුල්ලේ අරියවංශ හිමියන් ඉතාම නිරෝගීව දිව ගෙවන්නේය. උන්වහන්සේ ප‍්‍රසන්නය. ඇවතුම් පැවතුම් සන්සුන්ය. කෙනකුගේ ජීවිතය යළි උපදිනු දැක උන්වහන්සේ නිරාමිස සතුටක් ලබන්නාහ.

ගිහි කාලෙ ඉඳලම මට ජීවිතේ ගැන ලොකු බලාපොරොත්තු තිබුණේ නෑ. හොයන්න දෙයක් නෑ. රකින්න දෙයක් නෑ. ඉන්න ටිකේ සැහැල්ලුවෙන් ඉන්න ඕන කියන අදහස තමයි තිබුණේ.

දහම් පාසලේ දරු දැරියන් සම¼ඟ

මගෙ හිතට සතුටක් දැනෙනවා, මා කළ පරිත්‍යාගය නිසා තවත් කෙනෙක් ජීවත් වෙනවා කියලා. ඉන් එහාට දෙයක් නෑ. ඉදිරියේදී වුණත් මං මගේ ශරීරයෙන් දෙන්න පුළුවන් කොටස් තිබෙනව නම් දෙනවා.

උන්වහන්සේ ඇස් දෙක දන්දීමේ පොරොන්දු පත‍්‍රයට අත්සන් තැබුවේ පාසල් වියේදීමය. බණ දහම් පිරීම හැරුණු විට උන්වහන්සේ තම විහාරස්ථානය ආශි‍්‍රතව එම ප‍්‍රදේශයේ දරු දැරියන්ගේ අධ්‍යාපන කටයුතුවලට ද උදව් කරන්නේය.

අනුරාධපුර කිරිදුන් වැව නම් වූ ගම්මානය කලින් හැඳින්වුයේ පලාරිකුලම් යන නමිනි. මෙම ගමට කිරිදුන් වැව යන නම තැබීමටද උන්වහන්සේ මූලික වූයේය.

පවුල් 300 ක් පමණ වෙසෙන මෙම ගම්මානයේ දරු දැරියන්ට පරිගණක අධ්‍යාපනය ලබාදීමට කටයුතු කරන්නේය.

මම ඉගෙනුම ලබන කාලේ ගෙදරින් ලබා දුන්න වියදම් මුදල තාමත් ඒ විදිහටම ලබා දෙනවා. මං ඒ මුදල එකතු කරලා අපේ නායක හාමුදුරුවන්ගෙත් උදව් ඇතිව තමයි මේ ගමට පළවෙනි පරිගණකය ගෙනාවේ.

මුලින් නම් ගමේ අයගෙ කැමැත්තක් තිබුණේ නෑ. ඒ ඔවුන්ට පරිගණකය ගැන අවබෝධයක් නොතිබුණ නිසා. අද වෙනකොට එහෙම ප‍්‍රශ්නයක් නෑ.

දරුවන්ට පරිගණක දැනුම ලබා දෙන්නේ ද අරියවංශ හිමියන්ය. පන්සලේ පවත්වාගෙන යන දහම් පාසලේ ප‍්‍රධානාචාර්ය වන උන්වහන්සේ මුල්ම කාලයේ ඉහළ පංතිවල සිසු සිසුවියන් ගුරුවරුන් ලෙස පුහුණු කළහ.

හැකි අයුරින් උපරිම සම්පත් දායකත්වයෙන් ගැමි දරුවන්ට උදව් කරන උන්වහන්සේ කිසිවක් නොඉල්ලති.

ඉකුත්දා අරියවංශ හිමි වීර පොදුජන රන් සම්මානයෙන් පිදුම් ලැබුවේය. කසුන් පී. චන්ද්‍රරත්න මහතාගේ සභාපතිත්වයෙන් යුතු වීර පොදුජන සම්මාන උලෙළ සඳහා උන්වහන්සේ යොමු කර ඇත්තේ සහෝදර භික්ෂුවක විසිනි.

“පානදුරේ සුනන්ද කියන මගේ සහෝදර හාමුදුරුවෝ තමයි මා පිළිබඳව විස්තර දීලා තියෙන්නේ. මම කැමති වුණේ නෑ. ප‍්‍රසංශාව කීර්තිය ගැන මට විශේෂ හැඟීමක් නෑ.

ඒත් තවත් කෙනෙක් මේ පිළිබඳව දැනුවත්ව යම් දිනෙක පරිත්‍යාගයක් කරන්නට ඉදිරිපත් වේවි කියන හැඟීම නිසා කැමති වුණා.

උන්වහන්සේ ප‍්‍රසිද්ධිය නොඉල්ලයි. මේ උතුම් වූ බුද්ධ පුත‍්‍රයාට අවශ්‍ය සසර මඟ කෙටි කර ගැනීමය. මෙවන් වූ බුදු පුතුන් හැදූ වැඩූ මව්පියෝ භාග්‍යවන්තයෝය. පුණ්‍ය වන්තයෝය.


Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

Categories

%d bloggers like this: