Posted by: lrrp | October 5, 2008

ඔන්න හරකියේ උඹ යන දිහා බලාගනිං

සතුන් මැරීමට හා සත්ත්ව හිංසාවට ඇබ්බැහිවූ මිනිස්සු මරණයෙන් පසුව ඒ පාපකර්මයේ ආදීනව වශයෙන් අමනුස්සයන් වී උපත ලබති. ඒ අමනුස්සයෝ ද සතුන් මරණ ස්ථානවලට සමීපව ජීවත්වෙති. උහු සතුන් මැරීම පි‍්‍රය කරන අතර ඒ සතුන්ගේ ලේ මස් හා ඉවතලන අපද්‍රව්‍ය ආහාරයට ගනිති. ඒවා උන්ගේ පි‍්‍රයතම ආහාර වේ. සොරකම, කාමමිථ්‍යාචාරය, මුසාවාදය හා සුරාපානය ආදි දුසිරිත්හි යෙදුණු මිනිස්සු ද මරණයෙන් පසු අමනුස්සයන් වී ඒ දුසිරිත්වල යෙදෙන්නන්ට සමීපව ජීවත් වෙති.

මේ පොළොන්නරු දිස්ති‍්‍රක්කයේ එක්තරා ගම්මානයක සිදුවූ දෙයකි. පියසේනත් ඔහුගේ පුතුන් වන සරත් හා සුනිල්, දෙදෙනා ද සතුන් මැරීමේ යෙදුණෝ වෙති. හරක් මිලයට ගෙන මරා මස් කොට විකුණූහ. අවට ගම්මානවලින් හොරෙන් ගෙනෙන හරක් ද මරා විකුණූහ. හොර හරක් ලොරි ගණන් ප‍්‍රවාහනය කොට මුස්ලිමුන් ජීවත්වන ප‍්‍රදේශවල මස්මඩුවලට විකුණන ධර්මසේන මුදලාලිට මේ පිය පුත්තු හරක් සැපයීම ද කළහ. එසේ ම කසිප්පු නිෂ්පාදනය හා විකිණීම ද සිදු කළහ. මේ කටයුතුවලට ඔවුන්ගේ බිරියෝ ද පූර්ණ සහයෝගය ලබා දුන්හ.

පියසේන හරකුන් ගෙනැවිත් ගේ ඉදිරිපිට දෙල් ගසේ බැඳ හරකාගේ හිසට දෑත බදා පොරව පහරක් එල්ල කිරීමෙන් මැරීම සිරිතක් ලෙස කළේය. බෙල්ල ගසට තබා බඳින හරකා තමන්ට අනතුරක් සිදුවන බව ඉවෙන් මෙන් දැන දෑස් උඩ තබා ගෙන මරණ බයේ දඟලයි. ඊට පසු ගසේ බැඳි කඹය ලිහා දැමුව ද හිස දෙපළු වූ හරකා පැය බාගයක් පමණ මළ මුත‍්‍ර පිටකරමින් දඟල දඟලා මරණයට පත් වෙයි. සරත් හා සුනිල් ළදරු වියේ සිට ම තාත්තා ගේ මේ කි‍්‍රයාදාමයන් දෙස සිනා සෙමින් බලා සිටියහ. ඉගෙනුමට වැඩි උනන්දුවක් නැති සරත් හා සුනිල් පාසල් අධ්‍යාපනය කඩාකප්පල් වී වයස අවුරුදු 16-17 සිට ම තාත්තා ගේ රැකියාවට ම පුරුදු වූහ.

පියසේන ගේ නිවස වරිච්චි කටුමැටි බිත්තියෙන් තැනු කුඩා නිවසකි. පියසේන නිදන ඇඳ අසල ම කුඩා ජනේලයකි. එයින් පිට පැත්තේ ගසෙක ගෙදර ඇති දැඩි කරන පුල්ලී බැඳ සිටී. දුඹුරු පැහැති පුෂ්ටිමත් සිරුර පුරා සුදු පුල්ලි වැටී ඇති බැවින් මේ එළදෙනට පුල්ලී යැයි කියති. දිනපතා පාන්දර පියසේන ගේ බිරිය මේ පුල්ලීගෙන් කිරිබෝතල් 5-6 ක් දොවා ගන්නීය. නිදි ඇඳේ සිටින පියසේන පාන්දර අවදි වූ සැණින් කට සෝදා ජනේලයෙන් පිටතට දමා, ලොකු වීදුරුවකින් එකක් කිරි එක හුස්මට බීගෙන බීගෙන යයි. ඒ ඔහුගේ සිරිතය. ඉතුරු කිරි ගෙදර අය පානය කොට, ඉතිරිය ගම්වැසියන්ට විකුණයි.

මෙයින් වසර කීපයකට පෙර එක් නත්තලක් උදාවීය. නත්තලට ලොකු කසිප්පු වඩියක් ද පෙරන්නට යෙදිණි. පියසේන එදින උදෙන් ම ගමේ ඇවිදින්නට ගියේය. ගම කෙළවර නිවසකින් එළදෙනක් මිලදී ගෙන ගෙදර ගෙනාවේය. ගෙනැවිත් මිදුලේ දෙල් ගසේ බෙල්ල ගසට තබා බැන්දේය. කසිප්පු වීදුරු දෙකක් උගුරට ම හලා ගත් පියසේන පොරව අතට ගත්තේය. තමන් ඉදිරියට එන මාරයා දුටු එළදෙන මරණයේ පෙරනිමිති දැක දඟලන්නට වූවාය. පියසේන කොක් හඬ නඟා සිනාසුණේය. පියසේනගේ බිරිය ගෙනැවිත් දුන් තවත් කසිප්පු වීදුරුවක් උගුරට හළා ගෙන පිටි අතින් කට පිසදා ගත්තේය.

“ඕන්න… හරකියේ දැන් ඉතින් උඹ යන ලෝකය සිහිකර ගනින්…” යැයි කියා හෙº… හෙº… ගා ඔච්චමට සිනාසුණේය. දෑත බදා ඉහළට එසැවූ පොරව එළදෙනගේ හිසට එල්ල කළේය. මරබියෙන් දඟලමින් සිටි එළදෙනගේ හිසට එල්ලවූ පොරෝ පහර පියසේනගේ වෙරිමත නිසා මඳක් ලුහුටා ගියේය. එළදෙනගේ අඟකට වැදී අඟ කඩාගෙන ලිස්සා ගොස් ගෙල ගසට තබා බැඳි නයිලෝන් කඹය කැපී ගියේය.

අඟක් කඩාගෙන යෑමට තරම් වේගවත් පහරකින් තුවාල වූ එළදෙන දැඩි වේදනාවෙන් උඩ පැන්නාය. ඒ පියසේනගේ ඇඟ මතටය. බිම වැටුණු පියසේනගේ පපුවත් කුරවලින් තුවාල කරගෙන එළදෙන දිව්වාය. දිව්වා නොවේ ඉගිලුණාය. පියසේන ද තුවාල පිටින්ම එළදෙන පසුපස දිව්වේය. ඔහුගේ පුතෙකු ද අසල කුඩා කඩය ළඟ සිටි මිතුරන් සමඟ එළදෙන අල්ලා ගැනීම සඳහා පසුපස දිව්වේය. එළදෙන කෙළින් ම දිව්වේ තමන් කලින් සිටි ගෙදරටය.

ගෙදර මිදුලට දුවගෙන ගිය එළදෙන ඉස්තෝප්පුවේ සිටි නිවැසියන් දෙස මඳක් බලා සිටියේ “මගේ කිරි ටික දොවාගෙන බිව් උඹලා අන්තිමට මා මසට වික්කා නේදැ”යි නෝක්කාඩු කියා දොස් පවරන්නා සේය.

ඒ සමඟ ම කඹ කැති පොලු රැගෙන තමන් පසු පස හඹා එන මාර පිරිස දුටු එළදෙන එතැනින් වැව ඉස්මත්තේ පිහිටි දඹුලු කැලයට පැන ගත්තා ය. ඒ කැලයට ගිය සතෙක් නැවත අල්ලා ගැනීම බොරුවකි.

පියසේන කේන්තියෙන් ම ආපසු ගෙදර ගියේය. “පලයන් ගිහින් පුල්ලිව අරගෙන වරේන්” යැයි බිරියට නියෝග කළේය. හිතක් පපුවක් නැති මේ ගැහැනියට ද එහි අමුත්තක් නැත. පුල්ලී දිගේලි කැර සිටි තැනින් ලිහා ගෙනැවිත් ඒ දෙල් ගහේ ම බෙල්ල ගසට තබා “ඔන්න ඔහොම හිටින්” යැයි බැඳ දුන්නාය. උදේ පාන්දර හිස් බඩ ම බිව් කිරි බෝතල් තුන් කාලේ අයිතිකාරිය, කිරි අම්මාට පියසේන එවර එල්ල කළ පොරෝ පහර වැරදුණේ නැත. හිස දෙපළු වී ගියේය. මරහඬ නඟා ගෙන පුල්ලී උඩුකුරුව දඟලද්දී ම පියසේන මන්නා පහරකින් පපුව දෙපළු කොට ඇතුළට අත දමා පීකුද්ද කපා බිරිය අතට දුන්නේය. ඇය වහාම එය රැගෙන කුස්සියට රිංගුවේ පුල්ලී තවත් වේලාවක් දඟලන බව දන්නා නිසාය. එතෙක් මෙය වහා පිස පියසේනට “බයිට්” එකට (කටගැස්මට) දිය යුතු බව දන්නා නිසාය.

කලින් එළදෙන මරුවිකල්ලෙන් ඇඟට පැනීමත්, පපුව පාගෙන දුව යෑමත්, එයින් පසු එළදෙන අල්ලා ගන්නට පසුපස දුව යෑමත් නිසා වෙහෙසව සිටි පියසේන මඳක් විවේක ගත්තේය. කසිප්පු බෝතලය ද ළඟට ගෙන අගුපිළේ හිඳ, බිත්තියට හේත්තු වූයේය.

මේ අතර කඩේ පිටුපස සූදු පිටියේ සිටි සුනිල් පැරදී ගෙදර ආවේ තාත්තාගෙන් මුදලක් ඉල්ලා ගැනීමටය. කුස්සියෙන් එන පීකුදු සුවඳ පියසේනගේ හිත කෑදර කමෙන් පිපිරියාස කරයි. දැන් පුල්ලී දඟලා හමාරය. දැන් ඇය හම ගසා මස් කරන්නට ද උවමනාය. තරමක් දුරින් වූ ලන්දේ බැඳ සිටින පුල්ලීගේ පැටවා “උම්බෑ…” කියමින් හඬන හඩ් අද අමුතු බවක් ඇත. මේ නරුමයන්ට ඒවා වැටහෙන්නේ නැත.

සුනිල් තාත්තාගෙන් මුදලක් ඉල්ලුවේය. වෙහෙසත් වෙරි මතත් නිසා පියාගෙන් ලැබුණු උත්තරය පුතාට ඔරොත්තු දුන්නේ නැත. වචන පරුෂ වචන බවට පත්වී ඊ වේගයෙන් කන් සිදුරු පසාරු කැරගෙන ගියේය. බිත්තියට හේත්තු කැර තිබු පොරව සුනිල් අතට ආවේය. “බහ්…” එකම පොරෝ පහරින් හිස දෙපළු වූ පියසේන ද පුල්ලී අසල ම, පුල්ලී ගේ ලේ ගොඩේ ම කුජීත වූයේය. මේ කීවේ වසර ගණනකට පැරැණි කතාවකි. අදට මාස දෙකකට පෙර සිදුවූ අලුත් සිදුවීමක් ඒ කතාවට ඈඳෙන්නේ මෙසේය.

දැන් සරත් ද විවාහකයෙකි. ඔහුගේ බිරිය ද මේ පවුලට ම ගැළපෙන තැනැත්තියකි. මොවුන් පදිංචි නිවස අසල ගල්කණු ගොඩැල්ලකි. එනම් පෞරාණික ගල්කණු සහිත පුරාවිද්‍යාත්මක භූමියකි. වල් බිහිවූ පැරැණි පූජ්‍ය ස්ථානයකි. ඉන් එහා පැත්තේ ගමේ සුසාන භූමියයි.

සරත් ගල්කණු ගොඩැල්ලේ ගාත් හතර බැඳ දමා තිබුණු තඩි ඌරා ළඟට ගියේය. ඔහුගේ බිරිය ද ඊට අවශ්‍ය ආම්පන්න ද රැගෙන ඔහු පසුපස ගියාය. ගාත් හතර බැඳ තැබීම නිසා වියරුව සිටින ඌරා පිඹින සද්දය ඊට යාර පනහක් තරම් දුරින් පිහිටි කඩය ළඟට ද ඇසෙයි. සරත් ගේ මුවහත් පිහි පහර ඌරාගේ උගුරු දණ්ඩ හරහා එහා මෙහා ගියේය.

ලේ විදින ඌරාගේ පපුව දිගට පිහිය ඇද්දේය. නියමිත තැනට අත දැමු සරත් පීකුද්ද කපා බිරිය අතට දුන්නේය. ඇය කුස්සියට ඉගිලුණාය. ඌරා තවමත් දඟලයි. ලුණු මිරිස් සමඟ තෙම්පරාදු වන පීකුදු සුවඳ සරත්ට දැනේ. කසිප්පු කාලක් දෙවරකට ගුඩුස් ගුඩුස් ගෑවේය. සරත් හුළු අත්තක් දල්වා තවමත් දඟලන ඌරාගේ මවිල් පුච්චන්නට පටන් ගත්තේය. ඒ පැත්ත මේ පැත්ත පෙරළමින් පිච්චුවේය.

බිරිය පීකුදු තෙම්පරාදුව මැටි කෝප්පයකට දමා ගෙන ආවා ය. සරත් උණු උණුවේම කෑල්ලක් දෙකක් තලු මැරුවේය. “මරු… උඹත් කාහං…” බිරියට කීවේය. “මට එපා මං ලුණු ඇඹුල් බලන්න ටිකක් කෑවා. ඔයා කන්නැ”යි ඇය කීවාය.

“දැන් ඉතින් ඉක්මනින් ඕක මස් කරන්න. හැන්දැ වෙන්න කලින් කඩ ළඟට ගිහින් දෙන්නත් එපායැ”යි තවදුරටත් කීවාය.

සරත්ට එය නෑසුණා සේය. ඔහු ගොරවන්නට වූයේය. පිඹින්නට වූයේය. දෑත් පහළට දමා දෙකට නැමී ඌරෙකු සේම මළ ඌරා වටා කරකැවෙන්නට වීය.

“රත්නසිරි අයියේ… අනේ ඉක්මනට එන්නෝ… සරත්ට ලෙඩාක්…”යි සරත්ගේ බිරිය නුදුරු කඩේ මිදුලේ සිටි රත්නසිරි දැක කෑ ගැසුවාය. රත්නසිරි ද ඒ දෙස බලා “ඕකට වෙරි…”යි කියා සිනාසුණේය.

“නෑ… නෑ… රත්නසිරි අයියේ ඉක්මනින් එන්නෝ…”යි ඇය නැවත ද කෑ ගැසුවාය. ඒ හඬට සරත්ගේ මව ද එතැනට දුවගෙන ඇවිත් විලාප දෙන්නට වූවාය.

ඇත්තට ම මෙතැන මොකක් හෝ අමුත්තක් සිදුවී ඇතැයි සිතූ රත්නසිරි ද කඩය ළඟ සිටි තවත් කීප දෙනකු ද කැඳවාගෙන එතැනට දිව්වේ ය. මේ වන විට සරත් ඌරෙකු සේ පිඹිමින් ගල් කණු ගොඩැල්ල නගිමින් සුසාන භූමිය දෙසට ගමන් කරමින් සිටියේය. ඉදිරියෙන් ම දුවගෙන ගිය රත්නසිරි සරත් අල්ලා නතර කැර ගැනීම සඳහා ඇඟට අත තබන විටම සරත්ගේ අතට විදුලිසැර වැදුණා සේ පස්සට වීසි වුණේය. රත්නසිරි කල්පනා කළේය. තමන් බෙල්ලත්තර බෝධි සත්ත්ව මාලිගයේදී බන්දවා ගත් පිරිත් නූල දකුණු අතේ ඇත. ඒ ගැන සිතූ ඔහු එහි පවතින බලය ගැන අධිෂ්ඨාන කොට සරත් ගේ බෙල්ලට ම පැන්නේය. සරත් ඉතා නපුරු හඬකින් ගොරවා රත්නසිරිව බිම පෙරළා යට කැර ගත්තේය. රත්නසිරි ද සම්පූර්ණ ජවය යොදා සරත්ගේ ග‍්‍රහණයෙන් මිදුණේය. ඒ සමඟ ම එතැනට පැමිණි අනිකුත් උදවියගේ සහාය ඇතිව සරත් අල්ලා අතපය බැඳ නිවසට ගෙනාවේය. ඉන්පසු පිළිවෙත් ගණනාවක් සිදුකොට සරත් සුවපත් කැර ගත් අතර දැන් ඔහු සතුන් මැරීම, සතුන් එකතු කැර මසට විකිණීම හා කසිප්පු ජාවාරම අතහැර යහපත් ජීවිතයක් ගෙවන බව දැනගන්නට ඇත. පන්සල් යන බව ද ආරංචිය.

එසේ ම මේ ගමට පැමිණ ගවයන් එකතු කැර ගෙන සතියකට ගවයන් 40-50 ක් ලොරි පිටින් මස් මඩුවට ගෙන යන මහා ධනවත් ධර්මසේන මුදලාලි ද දැන් කර්මානුකූල රෝගයකට ගොදුරුව ඇත. ඔහුගේ සිරුර පුරා අඟලක් නෑර හටගත් කුෂ්ටයක් නිසා කසමින්, තොරතෝංචියක් නැතුව කසමින්, විලාප දෙමින් දුක් විඳී. එය මුදල් බලයෙන් සුව කළ නොහැකිව සිටී. මේවා මල් වට්ටියක් පුදා බෝධි පූජාවකින් පමණක් ම සුව කළ නොහැකි බවත්, තමන් කළ කර්මය තමන් ම ගෙවිය යුතු බවත් ගලිගමුවේ ඤාණදීප හිමියෝ පවසති. තමන් මාස කීපයක් ආරණ්‍යගත වී බණ භාවනා කොට දැඩි වීර්යයක් වෙහෙසක් ගෙන ධ්‍යාන සමාපත්ති වඩා කර්මය ගෙවිය යුතුය. එසේ නැතහොත් දුක් මහන්සි වී, අසාධාරණයෙන් හෝ ඉපැයූ ධනය අලුතින් ආරණ්‍ය සේනාසන ආරම්භ කිරීමට, භාවනා කුටි ඉදිකිරීමට, වෙහෙර විහාර ඉදිකිරීමට, දුප්පතුන්ට නිවාස ඉදිකිරීමට වැනි දෙයට වැය කොට කර්මය ගෙවිය යුතු යැයි ද පැවසූහ.

(මේ සිද්ධී පිළිබඳ තොරතුරු සැපයූ වයි.ආර්.පී. පද්මසිරි මහතාට සහ සම්පත් අබේවීර මහතාට ස්තුති කරමු.)

මතුගම මහින්ද විජේතිලක


Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

Categories

%d bloggers like this: