Posted by: lrrp | October 26, 2008

වසර තුන්සියයකට පසුත් ගැහැනුන්ට වින කරන යක්ෂ රාලහාමි

ඉඩම් කඩම්වලට තණ්හාවෙන් මිය යන්නෝ ඒවාට ම අධිගෘහිතව අමනුෂ්‍යයන් වී උපදිති. යම්කිසි බලවතකුගේ නියමය පරිදි ඉඩමක් ආරක්ෂා කිරීමේ වගකීම සිතින් දරා ගෙන මිය යන්නෝ බහිරවයන් වී උපදිති’යි විශ්වාස කැරේ. මෙවැනි බහිරවයෝ ඉඩම ආරක්ෂා කිරීම තමන් ගේ වගකීම යැයි සිතමින් අවුරුදු ලක්ෂ ගණන් එහිම ජීවත්වෙති.

අලුතින් ගෙවල් ගොඩනැඟිලි ඉදිකරන්නෝ මේ බහිරවයන් සතුටු කිරීම සඳහා පූජා පවත්වති. ඒ මිසක බහිරවයන් ඉවත් කළ නොහැකි යැයි සම්මතයක් පවතී. එසේ නොවන එහෙත් ඉඩම් කඩම් ගෙවල් දොරවල්වලට ආශාවෙන් මිය යන සමහරු අමනුෂ්‍ය ආත්ම භව ලබා තමන්ගේ දූ දරුවන්ගෙන් පවා පළිගනිති.

මේ අපේ තාත්තා නේද? මේ අපේ අයියා නේද? ආදී වශයෙන් ජීවතුන් අතර සිටින දූ දරුවෝ තමන් ගේ මියගිය ඥාතීන් පිළිබඳ “තමන්ගේකම” සිතති. පියා අපට මෙසේ කරන්නේ ඇයි දැයි සිතති. වෛරයෙන් මිය යන පුද්ගලයා අමනුෂ්‍ය ආත්මභාව ලබා පළිගැනීමේ උවමනාව කි‍්‍රයාත්මක කරනවා විනා තමන්ගේ කම් නොසලකති. මේ එවැනි සිද්ධියකි.

බලන්ගොඩට ආසන්න ගමකින් වාර්තා වන මේ සිද්ධිය අදින් අවුරුදු 3000කට පමණ පෙර මිය ගිය ගම්ප‍්‍රධානියකු පිළිබඳව අනාවරණය කරයි.

ගලිගමුවේ ඥානදීප හිමියන් වෙත බලන්ගොඩ ප‍්‍රදේශයේ පදිංචි පවුලක ඥාති පිරිසක් කාන්තාවක රැගෙන පැමිණියහ. ඇය වරෙක නාගයකු මෙන් බිම පෙරැළී ඇඹරි ඇඹරී ගමන් කළාය. තවත් වරෙක මහා බලපුළුවන්කාරයකු මෙන් ඉණට දෑත් ගසාගෙන ගාම්භීරව ඉරියව් ප‍්‍රදර්ශනය කළාය.

ඥානදීප හිමියන් පිරිත් සූත‍්‍රයක් දේශනා කරනවිට ප‍්‍රලය වූ මෙම කාන්තාව එම අතීත තොරතුරු අනාවරණය කරන්නට වූවාය.

ඔහු ඒ ගමේ විදානේ රාලහාමි කෙනෙකි. ඔහුට ඉඩම් අක්කර සියයක් පමණ අයිතිව තිබිණි. ඒ යුගයේ හැටියට ඉඩකඩම් නැති දුප්පත් අය ඒ ඉඩම්වල කුඩා නිවෙස් තනා ගෙන විදානේ රාලහාමිගේ කුඹුරු ගොවිතැන් කරගෙන ජීවත්වූ අතර, ඔවුන් ගේ බිරින්දෑවරු ද ඔහුට බැලමෙහෙ කරමින් කුලී කුරක්කන්වල යෙදුණාහ.

මේ සෑම කාන්තාවකම පාහේ විදානේ රාලහාමිගේ ගොදුරු බවට පත්වූ අතර ඔහුගේ බලපුළුවන්කාරකම ඉදිරියේ නිහඬව ඉවසා සිටිනවා හැරෙන්නට වෙනත් කළ හැකි දෙයක් ඔවුනට නොවීය.

ඔහු රස්පුටින් කෙනකු සේ ස්තී‍්‍ර ලෝලී ජීවිතයක් ගෙවීය. මේ නිවෙස්වල පදිංචිකරුවන්ගෙන් තමාට ප‍්‍රයෝජනයක් නොමැති විට ඔවුන් ඉඩම්වලින් පන්නා දැමීම ද ඔහු අතින් අනිවාර්යයෙන් ම සිදුවීය.

මේ අතර එම ප‍්‍රදේශයට ම අයත් වනගත භූමියෙක ඇති නිධානයක් ගැන විදානේ රාලහාමිට දැන ගන්නට ලැබිණි. කොයිතරම් වස්තු සම්පත් තිබුණ ද තව තවත් සම්පත් ලබාගැනීමේ ආශාව සහ දැඩි තණ්හාවක් විදානේ රාලහාමි තුළ ද විය.

ඔහු නිධානය ලබාගැනීම සඳහා අවශ්‍ය පුද පූජා පැවැත්වීමට සුදුසු ඇදුරන් සොයා ගත්තේය. ඇදුරන්ගේ නියමය පරිදි උවමනා කළමනා ද සපයා සකස් කොට ගත්තේය. නියමිත දිනයේ බිලි පූජාව සඳහා තුන් කුළුඳුල් තරුණයකු ද සොයා ගැනිණි.

මේ තරුණයාට පැවසුවේ මේ කටයුතුවලට උදව් කරන ලෙසය. ඔහුට ද නිධානයෙන් කොටසක් ලබා දෙන බව පැවැසීය. මේ තරුණයා දැහැමි කෙනෙකි.

ඔහු නිධාන ලබා ගැනීමේ බරපතළකම දැන සිටියේය. නිධාන ලබා ගැනීමේ තණ්හාවක් ඔහු තුළ නොවීය. එසේම මේ තණ්හාධික විදානේගෙන් ඔය පොරොන්දු ඉටු නොවන බව ද දත්තේය. එහෙත් විදානේට පිටුපාන්නට නොහැකි බැවින් ඔහුගේ උදව්වට ආවේය.

නියමිත පරිදි සියල්ලෝ පිරිසුදුව පුද පූජා පැවැත්වූහ. අවශ්‍ය වේලාවට තරුණයා ගේ ගෙල කපා දැමීම ද විදානේ අතින් ම සිදුවිය යුතු බව ඇදුරන් විසින් විදානේට කල් ඇතුව දන්වනු ලැබ තිබිණි.

මේ කිසිත් දැන නොසිටි තරුණයා තමන්ට පැවරූ ස්ථානයේ හිඳ ගෙන අඟුරු කබලට දුන් කුඩු දමමින් සිටියේය. ඔහුට පිටුපසින් විදානේ හිඳගෙන සිටියේය. විදානේ හිඳගෙන සිටි පැදුර යට කඩුවක් සඟවා තිබිණි. ඇදුරන් සංඥාවක් දෙන විට තරුණයා ගේ ගෙල කැපීම විදානේට පැවරිණි.

මෙවැනි අවස්ථාවක අසීමිත තණ්හාව නිසාද බිය නිසාද වික්ෂිප්තව පැවතීම ස්වභාවිකය. ප‍්‍රධාන ඇදුරා විසින් සංඥාව දුන් බව විදානේට පෙනිණි. ඔහු වහාම තමා ඉදිරියේ තමන්ට පිටුපා සිටින තරුණයාගේ ගෙල හරහා කඩු පහර ගැසුවේය.

කලබල වූ විදානේ අතින් එය සිදුවූයේ නියමිත වේලාවට පෙරාතුවය. ඒ සමඟ ම එතැනට කඩාවැදුණු නාගයෙක් විදානේට දෂ්ට කළේය. ඇදුරෝ පලා ගියහ. තරුණයාත් විදානේත් නිධන් ගල මත මරණයට පත්වූහ. තරුණයා නාලොව උපන් අතර විදානේ මළයක්ෂ ආත්මභවයක උපන්නේය.

කාලය ඉක්ම ගියේය. විදානේගෙන් පැවත එන දරු මුණුපුරෝ ද පරම්පරා ගණනක් ඉපිද මැරී ගියහ. විදානේ ගේ ඉඩම වර්තමාන ඉඩම් වෙන්දේසි ක‍්‍රමයට විකිණී ගියේය. ඉඩම කොටස්වලට කැබලි කෙරිණි. පිටස්තර පුද්ගලයෝ මේ ඉඩම් කොටස් මිලට ගෙන ගෙවල් තනා පදිංචි වූහ.

එහෙත් එහි පදිංචි වූ කිසි කෙනකුට සතුටින් සමාදානයෙන් ජීවත්වෙන්නට ඉඩ ලැබුණේ නැත. විවිධ දුක් කරදර ගැහැට ලෙඩ රෝග ආදියෙන් පෙළෙන්නට වූහ. සමහරු රුපියල් ලක්ෂ 12 – 13 වැය කොට ඉදි කළ ගෙවල් ලක්ෂ 4 ට 5ට විකුණා දමා යන්නට ගියහ.

මේ ගෙවල්වල පදිංචිකරුවන්ගෙන් වැඩිපුරම ලෙඩ රෝග වැළඳුණේ කාන්තාවන්ටම ය. රාති‍්‍රයට පැමිණෙන අමනුෂ්‍යයකු මෙම කාන්තාවන් පීඩාවට පත්කරන බව කියැවිණි. යටිබඩ වේදනා හා ගර්භාෂගත වේදනාවන්ගෙන් ඔවුහු පීඩා වින්දෝය.

මේ ඉඩමේ ගෙවල් පනහක් පමණ ඉදිවී තිබුණු අතර දවසක් ඇර දවසක් වත් මේ ගෙදරක තොවිලයක් සිදු නොකරන දවසක් නැතිතරම් වීය.

ගලිගමුවේ ඥානදීප හිමියන් වෙත ඉදිරිපත් කළ කාන්තාව ප‍්‍රලය වූවාය. “මම පෘතුගීසි මහා රජාණන් වහන්සේගෙන් දොන් ඩේවිඩ්…. නම්බුනාම ලද විදානේ රාලහාමි යැයි ගරු ගාම්භීර ඇතිව කියැවිණි.

”මට වඩා පිරිමියෙක් ඉන්නවද? මගේ ඉඩම්වල විතරක් නොවෙයි, මුළු ගමේම, ඔව් ඒ මුළු ගමේ ම මගෙන් බේරුණු එක ගෑනියෙක් හිටියේ නෑ බොලව්. ඔව්, මට වඩා පිරිමියෙක් හිටියේ නෑ. දැනුත් එහෙමයි බොලව්! මගේ ඉඩමේ ඉන්න ගෑනුත් එක්ක මං ඉන්නවා.

කාටද බොලව් ඒක නතර කරන්න පුළුවන්. හෙº… හෙº…හේ…(ඥානදීප හිමියන්ගෙන් පිළිවෙත් උපදෙස් ලබාගැනීමට පැමිණ සිටි කාන්තාවන් දෙස බලමින්) මට ඔය ඕනෑම ගෑනියක් ගන්න පුළුවන්.

මට වඩා තවත් පිරිමියෙක් ඉන්නවද? බොලව් කියමින් (ප‍්‍රලය වූ කාන්තාව) ඉණට දෑත් ගසාගෙන වට පිට බලමින් තොළකට ලෙව කෑවාය. ඒ සමඟම ඇය නැවත වෙව්ල වෙව්ලා බිම දිග ඇදුණාය.

බිම දිගේ නාගයකු සේ බඩගාන්නට වූවාය. නාග ස්වරූපය ගත්විට ඥානදීප හිමියන්ටත්, බුදුපිළිමවහන්සේටත් ධාතු කරඬුවටත් වඳින්නට ද වූවාය.

මේ කාන්තාවත් ඇගේ පුරුෂයාත් අවුරුදු ගණනාවක් විදේශගත රැකියාවල යෙදී මුදල් උපයාගෙන සතුටින් ජීවත්වන්නට සිතා ලංකාවට පැමිණියේ තමන්ගේ ම කියා ගෙයක් දොරක් සාදාගෙන ජීවත්වීමටය.

අතීතයේ විදානේට අයත් වූ මේ ඉඩමෙන් කොටසක් මිලදී ගෙන, ලක්ෂ ගණනක් වැය කොට ගෙයක් හදා ගත්තත් අද ජීවත්වන්නේ විදානේගේ භූතාත්මයෙන් පීඩා විඳිමින්ය.

ස්තී‍්‍රන්ට ලොල් වූ විදානේ තවමත් ස්තී‍්‍රන්ට සමීප වී ඒ ආශාවෙන් හිරිහැර කිරීම නිසා මේ නිවාසවල පදිංචි කාන්තාවෝ මහත් දුක්විඳිති. පීඩා විඳිති. අමනුෂ්‍යයාගේ අතපතගෑම්, ස්පර්ශ කිරීම් නිසා මේ ගෙවල්වල නිතර තොවිල්පවිල් කරති.

ඊට අමතරව යටිබඩ වේදනා හා ගර්භාෂ වේදනා නිසා වෛද්‍ය ප‍්‍රතිකාරවලට යොමු වී සිටිති. මේ කාරණා නිසා ගෙවල් පනහේම අය ආර්ථික වශයෙන් ද පීඩාවට පත්ව සිටිති.

අප මුදල් ගනුදෙනු කළාට ඒවා අමනුෂ්‍යයන්ට වලංගු නැත. අප ඔප්පු තිරප්පු ලියා ඉඩකඩම් අන් අයට විකුණුවාට ඉඩමට තණ්හාවෙන් සිටින ඒ භූතාත්මය බලවත් නම් එය අතහැර යන්නේ නැත. “මේ ඉඩම මගේය” යන තදබල හැඟීමෙන් සිටින භූතාත්මය ඊට ම අධිගෘහිතව කටයුතු කරයි.

මේ විදානේ රාලහාමි ද බලවත් මළ යක්ෂයකු වී ඉපිද ඒ ඉඩකඩම්වල අයිතිය පිළිබඳ හැඟීමෙන්, තණ්හාවෙන්, එහිම වෙසෙයි. එහි වෙසෙන අයට හිරිහැර පීඩා කරයි.

මෙසේ පීඩාවනට පත්වන්නෝ ද එසේ දුකට පත්වන්නේ තමන්ගේ පූර්ව අකුසල කර්මයක විපාක වශයෙනි. ඒ නිසා දීර්ඝ වූ කාලයක් තිස්සේ මේ ඉඩම්වලට තණ්හාවෙන් අරක් ගෙන සිටි මළ යක්ෂයා එක්වර ම ඉවත් කළ නොහැකි බවත්, තමන් ගේ කර්ම විපාකය ද ගෙවිය යුතු බවත්, ඥානදීප හිමියෝ ඔවුන්ට පැහැදිලි කැර දුන්හ.

තමන්ගේ කර්ම විපාකය ගෙවීම සඳහා තමන් වෙහෙස මහන්සිව දන් පැන් දිය යුතු අතර නිති පන්සිල් ආරක්ෂා කරමින් පොහොය අටසිල් සමාදන් වී මීටම ගැලපෙන භාවනාවල යෙදීමට උපදෙස් දුන්හ. මෙසේ තම තමන්ගේ ආධ්‍යාත්මීය ශක්තිය වර්ධනය කැරගෙන භූතාත්මයට මුහුණ දිය හැකි තත්ත්වයට ශක්තිමත් වී නැවත පැමිණ හමුවෙන ලෙසද පැවසූහ.

මේ හිරිහැරය ඉඩමේ ගෙවල් පනහේම පදිංචි පවුල්වලට බලපාන බැවින් සියලු දෙනාම එක්වී සහයෝගයෙන් මේ කුසල් දහම්හි යෙදී විදානේට පින් අනුමෝදන් කොට ඔහුගේ තත්ත්වය උසස් කළවිට ඔහු ඉවත්වී යාහැකි බැවින් වැඩිදුර කටයුතු ඉදිරියට කල්තැබූහ.


Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

Categories

%d bloggers like this: