Posted by: lrrp | November 27, 2008

භව දුකට මුල අවිද්‍යාව යි

චේතනාහං භික්‍ඛවේ කම්මං වදාමි යන ධර්ම පාඨය අනුව කර්මයට ප්‍රමුඛ හේතුව නම්, චේතනාවම බව බුද්ධ දේශනාවයි. සත්වයා කර්ම රැස් කරන්නේ ඉන්ද්‍රිය සයෙන් ගන්නා (ඇස, කන, නාසය, දිව, ශරීරය, මනස) අරමුණු ඔස්සේ ගමන් කරන සිත එම අරමුණු කෙරෙහි දක්වන ප්‍රතික්‍රියා අනුසාරයෙනි. අපගේ විඤ්ඤාණය හටගැන්වීමට ඒවා ආධාර වෙයි. ඇස හා රූපය හේතුකොටගෙන චක්ඛු විඤ්ඤාණය ද, කණ හා ශබ්දය හේතුවෙන් ශ්‍රෝත විඤ්ඤාණයද ආදී වශයෙනි. විඤ්ඤාණය හට ගැන්වීමට ප්‍රත්‍ය (හේතු) වන්නේ නාම රූප වේ. රූප යනු, පඨවි, ආපෝ, තේජෝ, වායෝ යන සිවු මහා භූතයන්ගෙන් හටගත් සත්ව ශරීරය හෝ ගසක් ගලක් වැනි දෙයකි. අප අවට ඇති සියලු දේ මීට අයත් ය. ඒවා අපගේ දර්ශනයට, ඇසීමට, ආඝ්‍රාණයට, ස්පර්ශයට හෝ මනසට ගෝචර වන ආකාරය අනුව එම වස්තුවට දෙන අර්ථකථනය නාම වේ.එසේම බාහිර රූප දෙස බලන පෘථග්ජනසත්වයා තුළ ඒවා අල්වා ගැනීම් හෙවත් උපාදාන පහළ වෙයි. එයට පංචුපාදානස්කන්ධ යන නම ව්‍යවහාර වෙයි. රූප හේතුවෙන් වේදනා, සංඥා, සංස්කාර පහළ වීමෙන් අවසානයේ දී අපගේ විඤ්ඤාණය හට ගනියි. ඒ වූ කලි උපාදාන විඤ්ඤාණයයි. ලෝකය දැනට පවත්නා ආකාරයට ඉදිරිපත් වන්නේ ඒ ඒ පුද්ගලයාගේ විඤ්ඤාණය පදනම් කොට ගෙන ය.

දැන් ඉහත කී කරුණු පදනම් කොටගෙන ඒවා අනුසාරයෙන් අවිද්‍යාව දෙස බැලීමට පුළුවන. අවිද්‍යාව යනු මේ සියලු දේවල් නොදැනීම වශයෙන් විග්‍රහ කිරීමට පුළුවන. වඩාත් පැහැදිලි ලෙස විග්‍රහ කරන විට පංච උපාදානස්කන්ධයේ ඇති වීමත් නැති වී යාමටත් හේතුව අවිද්‍යාව ලෙස හැඳින්විය හැකි ය. විඤ්ඤාණය පුද්ගලයෙකු තුළ පහළ වන්නේ වේදනා හා සංඥා යන දෙක සංස්කාරයක් හෙවත් අත්‍යවශ්‍ය ප්‍රත්‍යයක් (නැතිවම බැරි හේතුවක්) බවට පත් වීමෙනි. සත්වයා, පුද්ගලයා යනු කවරෙක්ද යන ප්‍රශ්නයට දිය හැකි කදිම පිළිතුර වන්නේ, පංචුපාදානස්කන්ධය, යන්නයි.

පංච උපාදාන වූ කලි ඇති වීම සේම නැතිවීමද ස්වභාව කොට පවත්නා ධර්මතාවයකි. එපරිද්දෙන් ඒවායේ ඇතිවීම මෙන්ම නැති වීම නොදැනීම වනාහි, ලෝකයේ පවත්නා අනිත්‍යතා ධර්මය නොදන්නා බව ය. ලොව ඇති කිසිම වස්තුවක නිත්‍ය ස්වභාවයක් නොපැවතීම අනිත්‍යතාවයි. අනිත්‍යතාවෙන් යුතු සියලු දේවල් අනාත්ම ද වේ. එසේ නම් අනාත්මතාව නොදැනීම ද අවිද්‍යාමය. එපරිද්දෙන්ම ස්ථිර පැවැත්මක් නැති සියලු දේම දුක ය. පෘථග්ජන පුද්ගලයා ස්ථිර යැයි සිතා ගන්නා කිසියම් දෙයක් වේ නම් එහි යථා ස්වභාවය වන්නේ අස්ථිරතාව යි. ඒ බව නොදැනීම හෙවත් අනිත්‍යතාව නොදැනීම, දුකකි. මේ අනුව අනිත්‍ය, අනාත්ම සහ දුක නොදන්නා කම අවිද්‍යාව වශයෙන් හඳුන්වා දිය හැකි ය.

දුක යනු කුමක්ද?, දුක හට ගැනීම, දුක නැවතීම, දුක නැවතීමට මාර්ගය ද (දුක්ඛ, සමුදය, නිරෝධ, මාර්ග) යන කරුණු සතර ආර්ය සත්‍ය සතර වේ. ඒ පිළිබඳ නොදන්නාකම අවිද්‍යාවයි. එසේම අවිද්‍යාව පවත්නේ නිවන ආවරණය කරන කරුණු පහක් හේතුවෙනි. එම කරුණු පස පංච නීවරණ නමින් හැඳින්වෙයි. කාමච්ඡන්ද හෙවත් කම් සැපයෙහි ලොල් වීම, ව්‍යාපාද හෙවත් ක්‍රෝධය, ථීන මිද්ධ හෙවත් පසු බැසීම, උද්ධච්ච කුක්කුච්ච හෙවත් නොසන්සුන් ගතිය හා කළ පව් හා නොකළ කුසල් පිළිබඳ ඇතිවන පසුතැවිල්ල, විචිකිච්ඡා හෙවත් ත්‍රිවිධරත්නය, පටිච්චසමුප්පාද ධර්මය ආදිය කෙරෙහි පවත්නා සැකය යන කරුණු පහ පංච නීවරණ යනුවෙන් හැඳින්වෙයි.

තවද අවිද්‍යාව හට ගැනීමට හේතුව ආශ්‍රව ය. ආශ්‍රව යනු, ඇලීම් සහ බැඳීම් ය. කාම, භව දිට්ඨ අවිද්‍යා යනුවෙන් ආශ්‍රව හතරකි. අවිද්‍යාවද එක් ආශ්‍රයක් වන හෙයින් අවිද්‍යාව අවිද්‍යාවටම ප්‍රත්‍යයක් වන බව පැහැදිලි වෙයි. ලෝක ධර්මතාවන්හි තථ්‍ය ස්වභාවය නොදන්නාකම අවිද්‍යාවයි. සත්‍ය ස්වභාවය තේරුම් ගැනීමට බාධා පමුණුවන්නේ අවිද්‍යාව මිස අන් කිසිවක් නොවෙයි. අවිද්‍යා සහගතව සිටිමින් අවිද්‍යාව නැසීමට තැත් කිරීම සොරාගේ මවගෙන් පේන අසා සොරකම හෙළිකර ගැනීමට දරන වෑයමක් වැනි ය.

පෘථග්ජනයා තුළ දැඩිව, බලපාන්නේ මම සහ මගේය යන හැඟීම් ය. මම කියා කෙනෙක් ඒකාන්තයෙන්ම සිටී යැයි ඔහු සිතයි. එබැවින් මේ ගෙය මගේ ය. මේ මුදල් මගේ ය. මේ ඉඩකඩම් මගේය ආදී වශයෙන්

වැරැදි සංකල්පනයකට වැටී සිටින හෙයින් තමාගේ ‘ආත්මයක්’ පිළිබඳ පූර්ණ විශ්වාසයක පිහිටා කටයුතු කරයි. එබැවින් ආත්මීය හැඟීම් තරයේ වැළඳගන්නවා පමණක් නොව, තමන් සදාකාලික වේ යැයි සිතීම ද නිසා ඔහු අවිද්‍යාන්ධකාරයෙන් වෙලී සිටියි. අවිද්‍යාව ආශ්‍රවයෙකැ’යි තථාගතයන් වහන්සේ දේශනා කර වදාළේ එහෙයිනි.

මම සහ මගේ යන සියලු බැමි වලින් මිදීම , අවිධ්‍යාවෙන් මිදීමක් වන්නේ ය. ලෝකයේ සත්‍යතාව තේරුම් ගැනීමේ පූර්ණ ප්‍රතිඵලය අත්පත් කරගත හැකි වන්නේ ආත්මීය මත සහ මම ය මාගේ ය යන හැඟීම් වලින් මුළුමනින් නිදහස් වීමෙනි. එනම් දුක උපදින ම¼ග නැසීමෙනි.

සංසාරගත සත්වයාගේ මුළු මහත් දුක්ඛ සමුදා ය ම හට ගැනීමට හේතුව වී පවතින්නේ, අවිද්‍යාවයි. අවිද්‍යාව ප්‍රහීණ කර නැත්තේ ය යන්නෙහි අරුත නම් මම සහ මගේ ය යන හැඟීම් බලපවත්නා බව ය. පෘථග්ජනයා තුළ ආත්මීය ‘හැඟීම ද දැකීම ද බලපවත්වයි. පුද්ගලයා තම ආත්මය වශයෙන් සලකන්නේ අන් කිසිවක් නොව පංචුපාදානස්කන්ධ යි. සත්වයා පුද්ගලයාය කියා අප හඳුන්වන්නේ පංච උපාදානස්කන්ධයි. උපාදාන ස්කන්ධ පංචකයෙන් එකක් හෝ කිහිපයක් පෘථග්ජනයා ආත්මය වශයෙන් සලකයි. එසේ වන්නේ ඔහු තුළ ඇති අවිද්‍යාව නිසා ය.

බුදු දහම වූ කලී අනාත්ම වාදී ධර්මයකි. සත්වයෙක්, පුද්ගලයෙක් හෝ ස්ථිරව පවත්නා කිසිවක් නැතැයි යන්න එයින් පැහැදිලි කැරෙයි. ආත්මයක් ඇතැයි ගෙන මුළාවට පත් වී, මෙය මාගේය මම වෙමි යනුවෙන් කටයුතු කිරීම පෘථග්ජන භූමියෙන් ආර්ය භූමියට පිවිසෙන තුරු ම සත්වයා තුළ පවත්නා වැරැදි පිළිවෙතකි. අවිද්‍යාව පහ කළ විට මාගේය යන චේතනා ද කිසිවිටෙකත් පහළ නොවෙයි.

දුක හට ගැනීම සහ දුක නැති කරන්නේ කෙසේ ද යන කරුණු පෙන්වා වදාළේ පටිච්චසමුප්පාද ධර්මයෙනි. අංග 12 කින් යුතු එම ශ්‍රේෂ්ඨ ධර්මයෙහි ආරම්භයට ම එන්නේ අවිද්‍යාවයි. තණ්හාව ඇති වන්නේ, වේදනාව (විඳීම) ප්‍රත්‍ය කොට ගෙන ය. උපාදාන හටගන්නේ තණ්හාව ප්‍රත්‍ය කොට ගෙන ය. වේදනාව නොමැති නම් තණ්හාව ද ඇති නොවෙයි. එපරිද්දෙන්ම තණ්හාව නැති නම් උපාදාන (භවය අල්ලා ගැනීම ) ද නැත්තේ ය. කාම තණ්හා, භව තණ්හා , විභව තණ්හා වශයෙන් ත්‍රිවිධ ආකාර වූ තණ්හාව හේතු කොට ගෙන, පුද්ගලයා ආත්ම දෘෂ්ටියක එල්බගෙන සිටියි. ‘කාම’ යනු, ඉන්ද්‍රිය පිනවීමට ඇති ආශාව ය. භව තණ්හා යනු පැවැත්මට ඇති ආශාව යි. භව තණ්හාව ගැඹුරු එකකි. පෘථග්ජනයා ඉන්ද්‍රිය පින වීමෙහි ද , විවිධ දෘෂ්ටීන්හි ද , සීලබ්බත නම් වූ යාග හෝම ආදි තිරශ්චීන විද්‍යාවන්හි ද එල්බ ගැනීම උපාදානයෝය.

පෘථග්ජනයාගේ චින්තන පිළිවෙළට අනුව සියලු දේ තමාගේ ය යනුවෙන් සිතිවිලි ඇති වන්නේ , අවිද්‍යාවේ ප්‍රතිඵල වශයෙනි.පෘථග්ජන පුද්ගලයාට වැටහෙන්නේ යාන වාහන ගෙවල් දොර වල් ආදී දේ තමාගේ දේ ලෙස ය. එහෙත් සැබෑ තත්ත්වය නම් මෙම දේ නිසා ‘තමන්’ පවතින බවය. මෙකී සත්‍යතාව අපට නොවැටහෙන්නේ අවිද්‍යාව එයට හරස් වන බැවිනි.

මේ සියල්ල භව තණ්හාව වර්ධනය කරන ආධාරකයෝ ය. භවයට ඇලී බැඳී සිටින රැහැන් මේවා ය. අවිද්‍යාව මේ සියල්ලටම මුල් වෙයි.

තණ්හා ප්‍රත්‍ය කොට ඡන්දය ඇති වන්නේ
නන්දි රාග සබැඳිව තව සරු වන්නේ
මම යන හැඟුම තව දුරටත් තර වන්නේ
භව රැහැනින් මිදෙනු නොහැකිව ළත වන්නේ

සය වේදනා ගෙන එන ඉඳුරන් සදෙන
ඇස , කණ , නාස දිව , කය සිත දැන ගන්න
මේ සය තුළ සැදුණු මගෙ ලෝකය මෙන්න
ඉඳුරෝ නිතොර වෙහෙසෙති ලොව ඩැහැ ගන්න

මම යන තැනැත්තා හඳුනා ගැනීමට
මගේ කමට නැවතුම් තිත තැබීමට
ලොබ දොස් මෝහ මුලිනුපුටා දැමීමට
‘මම’ හඳුනා ගනිමු ඇති සැටි දැකීමට!

ඡන්දය නන්දි රාගය යනු කවුරු වෙද
තණ්හා මවගෙ සෙනෙහැති දරු කැළ නොවෙද
මම යන හැඟුම පළවා හැරියොත් සබඳ
සසරට බැඳුණූ බැමි සිඳලනු හැකි නොවෙඳ ?

උපාදාන පසෙකින් ලොව තැනී ඇත
පුහුදුන් හට බරකි – දැන ගත යුතුව ඇත
මගෙ විඤ්ඤාණයෙන් මතු අන් ලොවක් නැත
බහා තැබුව සසරෙහි ඉම දකිනු ඇත

ආත්මයක් නොව අනියත දුක ලෙසට
වැටහෙන තුරුම දුක පැමිණෙනු ඇත ඔහුට
අනියත අනත්තා දත් යමි දිනයකට
දුක සිඳ දමා පිවිසෙනු ඇත අරි බිමට

(පී.ඩී. ආරියරත්න)


Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

Categories

%d bloggers like this: