Posted by: lrrp | November 27, 2008

සෝවාන් ඵලය ලැබීමේ ශ්‍රේෂ්ඨත්වය

නමෝ තස්ස භගවතෝ
අරහතෝ සම්මා සම්බුද්ධස්ස
පථව්‍යා එක රජ්ජෙන
සග්ගස්ස ගමනේනවා
සබ්බ ලෝකාධිපච්චෙන
සොතාපත්ති ඵලං වරං

(ධම්ම පදය – ලෝක වග්ගය – 12 ගාථාව)

සත් පුරුෂ පින්වතුනි,

දින සති මාස වශයෙන් කාලය ගත කරමින් ජීවිතය පවත්වාගෙන යන අප ප්‍රතිපත්ති ගරුකව ජීවත්වීමට හැම මොහොතකම උත්සාහ දැරිය යුතුයි. ලොවුතුරා බුදුරජාණන් වහන්සේගේ අවවාදය අනුශාසනාව නම් “කත්තබ්බං කුසලං” චරිතබ්බං බ්‍රහ්ම චරියං, කුසල ධර්ම කළ යුතු ය. බඹසර හැසිරිය යුතුය යන්නයි. එහෙත් අපේ ඇතැම් සත්පුරුෂ පින්වතුන් තුළ එබඳු උත්සාහයයක් පවතීදැයි සිතා බලන්න. නිති පන්සල් පෝදින අට්ඨාංග, දස සීලය ආදි වූ සීල සමාදානය බෞද්ධයාගේ ජීවන ප්‍රතිපදාව කර ගත යුතු වේ. මසකට වරක් එළඹෙන පෝය දින වූවද සිල් සමාදන් වනුයේ ඇතැම් විට සුළු පිරිසකි. අපේ බෞද්ධයෝ පෙර සතර පෝයටම සීලය සමාදන් වූ පිරිසක් වූහ. පිළිවෙත් මැනවින් පිරූහ. අතිශයින්ම ප්‍රතිපත්ති ගරුක වූහ. නිවන ප්‍රාර්ථනා කිරීමට වඩා අවබෝධ කර ගැනීමේ වීර්ය සිතක් අප තුළ පැවතිය යුතු ය. එබැවින් පෝය දින හෝ වෙනත් දිනෙක වූවද භික්‍ෂූන් වහන්සේගේ අනුශාසනා ලබාගෙන ධර්මයට එකඟව සිල්වත් විය යුතු ය. “සබ්බත්ථුපොසථො සදා” හැම දවසක්ම පෝය දිනයක් ලෙස සිතා ක්‍රියා කිරීම වැදගත් වේ.

පින්වතුනි, තවද සැලිකිල්මත් විය යුතු කරුණක් නම් සීල භාවනා ගුණධර්ම සපුරා ගැනීමට වයසට යනතුරු බලා නොසිටිය යුතු බවය. පෝය දිනවල ඇතැම් විට විහාරස්ථානයන්හි ධර්ම ශාලා පිරී යන්නේ වැඩිහිටි උපාසිකාවන්ගෙන් බවක් පෙනේ. ඒ අතර සමහර විට වැඩිහිටි උපාසකවරු අතලොස්සක් ද වෙති. බොහෝ විට යෞවන පිරිස ඒ අතර අඩු බවක් පෙනේ. බුදුරජාණන් වහන්සේගේ අනුශාසනාව නම්, යුවා චරියං බ්‍රහ්මචරියං යනුවෙනි.

යමෙකු තරුණ වියෙහිදීම බඹසර හැසිරිය යුතු ය යන්නය. වයසට ගිය කල තපසට යාම ගැන අවවාද කළේ බමුණු දහමේ ය. තරුණ මදය, කලහකාරී බව, ආවේග පාලනය කර ගැනීමට සීලය මහෝපකාරී වේ. වර්තමානයේ අපේ තරුණ පිරිස අතර ආගමික ප්‍රතිපත්ති රැකීමේ ප්‍රවණතාවක් දක්නට ලැබීම අප ද අගය කළ යුතු ය. අපේ තරුණ දූ පුතුන් මේ සඳහා උනන්දු විය යුතු වන්නේ කායික ශක්තිය උපකාර කරගෙන අධ්‍යාත්මික පිරිසුදු භාවයට අවස්ථාවන් සලසා ගැනීම තමා විසින්ම කර ගත යුතු බැවිනි.

පින්වතුන්ට, මේ කරුණු ටික මුලින්ම මතක් කළේ ඔබේ ජීවිතයේ වටිනාකමත්, ධාර්මිකවීමේ අගය දැක්වීමටත්, වඩාත් නිවැරැදිව නිවන් මඟ සපුරා ගැනීමට මඟ පෙන්වීම සඳහා ය. මා මාතෘකාව ලෙස තැබූ ගාථා පාඨයෙහි, පදානුගත අර්ථය විමසා බලන්න. “පථව්‍යා එක රාජ්ජෙන” මහ පොළොවටම අධිපති රජකමට වඩා “සග්ගස්ස ගමනේනවා” ස්වර්ගයෙහි දෙව්ලොව දේවත්වයට වඩා “සබ්බ ලෝකාධිපච්චෙන” මුළු ලොවට අධිපති සක්විති රජකමට වඩා “සොතාපත්ති ඵලං වරං සෝවාන් ඵලය ලැබීම උතුම් ය.

ලෞකික තනතුරු තානාන්තර ලාභයන් වෙත ගිජුව අතෘප්තියෙන්, අසහනයෙන් ජීවත්වීමට සිතන මිනිසුන්ගේ සිත් සුවපත් කර ගැනීමට, සහනය ලැබීමට ඉතා වටිනා ධර්මෝපදේශයක් මෙමඟින් ප්‍රකාශිතය.

බුදුරජාණන් වහන්සේ මෙම ගාථාව දේශනා කළේ බුදු සසුනේ අග්‍රදායක අනේපිඩු සිටුතුමාගේ පුත්‍ර කාල සිටුතුමා වෙතය. සුදත්ත හෙවත් අනේපිඩු සිටුතුමා බුදුරදුන් කෙරෙහි අචල ශ්‍රද්ධාවෙන් කටයුතු කළේ ය. තම සිටු ගෙදර නිතර නිතර මහදන් පිදූහ. සිටුතුමාගේ දියණිවරු චූල සුභද්‍රා මහ සුභද්‍රා, සුමන ඊට සහාය වූවා ය. සිටු ගෙදර සැවොම උදව් කළහ. සිටුතුමා, චූල සුභද්‍රා, මහ සුභද්‍රා සෝවාන් ඵල ලාභී වූහ. සුමනා සිටු දේවිය සකෘදාගාමී වූවා ය. මෙලෙස වූවද කාලපුත්‍රයා මෙමඟට හුරුවූයේ නැත. බුදුරදුන්ට, මහ සඟරුවනට දන් පිදුමට, උපස්ථානයට කාල සිටුපුත්‍රයා උනන්දු නොවූයේ ය. මෙය අනේපිඩු සිටුතුමාගේ සිත් තැවුලට හේතුවක් විය. උපක්‍රමශීලිව තම පුතු ධර්ම ශ්‍රවණයට යොමු කළ යුතුයැයි සිතූ සිටුතුමා පුතුට මසුරන් (මුදල්) දීමට පොරොන්දු කරවාගෙන ධර්ම ශ්‍රවණයට පිටත් කර හැරියේ ය. විහාරයට ගිය සිටුපුත් රෑ පහන් වනතුරු නිදාගෙන සිට උදෑසන අවදිව ගෙදරට පැමිණ මසුරන් පොදිය දෙනතුරු ආහාර නොගෙන සිටියේ ය. අනේපිඩු සිටුතුමාගෙන්, පියා පොරොන්දු වූ පරිදි ත්‍යාග මුදල ලැබුණේ ය. පුතු බෙහෙවින්ම සතුටු විය. පසු දිනෙක සිටුතුමා උපායශීලීව කාල පුතුට කතා කොට විහාරයට ගොස් බුදුරදුන්ගෙන් බණ අසා බණ පදයක් මතක තබාගෙන ඒමේ පොරොන්දුව ඇතිව කහවනු දාහක් දීමට කැමත්ත දැක්වීය. මෙය වටිනා ත්‍යාගයක් බැවින් කාල ඊට එකඟ වූයේ ය. ධර්ම ශ්‍රවණයට විහාරයට ඇතුළු වන කාල දුටු බුදුපියාණන් වහන්සේ ඔහු සිතින් ඔසවාගෙන එන කහවනු පොරොන්දු පොදිය දුටු සේක.

බුදුරජාණන් වහන්සේ කාල සිටුපුතුහට එකම එක බණ පදයකුදු සිත්හි නොරඳන ලෙස අධිෂ්ඨාන කළහ. ඉතා මිහිරි ලෙස ධර්ම දේශනය කළහ. කහවනු පොදිය තමා සතු කර ගැනීමේ සිතිවිල්ලෙන් කාල පුත්‍රයා බණ පදයක්, පදයක් අත නොහැර ඉතා උනන්දුවෙන් ධර්ම ශ්‍රවණය කළේ ය.

එක බණ පදයක්වත් සිතෙහි නොරැඳෙයි. උනන්දුව අධිකය. බලාපොරොත්තු සහගත බව තවත් වැඩිවිය. ඊළඟ බණ පදය, ඊළඟ බණ පදයවත් මතක තබා ගනිමියි සිතා බණ අසයි. මතක තබා ගැනීමට වෙර දරන හැම වරෙකම මඟ හැරෙයි. නොරැදෙයි. අත හැරෙයි. ධර්මදේශනය අවසානයේ ධර්මාවබෝධය වේවායි බුදුහිමියෝ ආශිර්වාද කළහ. අධිෂ්ඨාන කළහ. කාල සිටුපුත්‍රයා සෝවාන් ඵල ලාභී වූයේ ය. එවේලෙහි තම පියා සමග තැබූ මුදල් ඔට්ටුව ගැන ලැජ්ජා වූයේ ය. ධර්මයේ වටිනාකම අවබෝධ කරගත් ඔහු පියා සමග ඇතිකර ගත් ගිවිසුම පොරොන්දුව ගැන බුදුරදුන් දනීදෝ යන අදහසින් යුක්ත විය. පියාගෙන් ලැබෙන ත්‍යාගයත්, පියාගේ ඉල්ලීමත්, බණ පද උගනිමියි යන නැවත නැවත මෙනෙහි කිරීමත් බුදුරජාණන් වහන්සේගේ උපායශීලී දේශනා විලාසයත් කාල සිටුපුත්‍රයා තුළ භාවනා කමටහනක් සේ ක්‍රියාත්මක වූයේ ය. ලෝකයේ පවතින භෞතික වස්තූන් සිතින් අල්ලා ගැනීමට දරන හැම උත්සාහයකදීම ධර්මය අතහැරේ. අවබෝධයෙන් ඈත් වේ.

ලොව පවතින දේ සිතින් අතහැරීමට දරන හැම උත්සාහයකදීම ධර්මය සිතට ළං කර ගත හැකිවීම ධර්මයේ වටිනාකමයි. ආශාවෙන් අයත් කර ගැනීමට හදන හැමදේම අස්ථිර බැවින් දුක් ගෙන දේ, ලොවෙහි ඇති දෑ අත්හරින කළ ධර්මය අවබෝධ කරගැනීම පහසු වේ. බුදුරජාණන් වහන්සේ මහ සඟරුවන පිරිවරාගෙන අනේපිඩු සිටුතුමාගේ නිවසට උදෑසන දන් වැළඳීමට වැඩියහ. කාල සිටුපුත්‍රයා ද බුදුරදහු පිටුපසින් තම නිවසට ගියේ ය. වෙනදා නොදුටු සංවරකමක්, තැන්පත් බවක්, කාල පුතුගෙන් සිටුතුමා දුටුවේ ය.

බුදුරදුනට, මහසඟරුවනට දන් පුදා කාළ පුතුට ද ආහාර පිළිගැන්වීය. පියා සමග වූ පොරොන්දුව සිහිපත් කළ කාල සිටු පුත් බුදුරදුහු ඉදිරියේ කහවනු නොදුනහොත් හොඳයැයි සිත සිතා සිටියේ ය.

අනේපිඬු සිටුතුමා බුදුරජාණන් වහන්සේ ඉදිරියේ දී කහවනු ත්‍යාගය පුතුට ගෙනත් දුන්නේය. කාලට ලැජ්ජාවක් ඇති විය. එය ප්‍රතික්‍ෂේප කළේ ය. කාල සිටු පුතුගේ වෙනස්වීම අගයමින් බුදුහිමියෝ ඉහත ගාථාව වදාළ සේක. සිටුගෙදර සැමගේ සිත් ධර්ම රසයෙන් සුපහන් විය.

ලොව්තුරා නිවන්මගේ පළමු මාර්ග ඵලය සෝවාන් වීම බව අපේ පින්වතුනට නිතර අසා පුරුදුයි. සෝවාන් ඵල ලාභියා නැවත අපා ගාමී නොවෙයි. දුගතියෙන් අපාගාමී දුකෙන් මිදෙයි. එබැවින් සෝවාන් වූ පුද්ගලයා “නතෙ භවං අට්ඨමං ආදියන්ති” යන දේශනාවෙහි අදහස අනුව නැවත භවගාමී වනුයේ උපරිමයෙන් ආත්මභාව හතක් පමණි. අටවෙනි උපතක් නොලබන බැවින් හත්වෙනි භවයේදී රහත්ඵලය පසක් කරගනු ලබයි. උතුම් නිවන් සැප පසක් කර භව ගමන කෙළවර කරයි.

දස සංයෝජන ධර්ම අතුරෙන් සත්වයා, භවයෙහි බැඳ තබන පළමු සංයෝජන තුන එනම් ‘සක්කාය දිට්ඨි’ තම ශරීර පැවැත්ම පිළිබඳ ආශාව දුරලීම ‘විචිකිච්ඡා’ සැකය “සීලබ්බත පරාමාස’ සාවද්‍ය සීල ප්‍රතිපදාවන් අතහැරීම යන සසර දුකින් මිදීමට වුවමනා කුසල ධර්ම ප්‍රත්‍යක්‍ෂ කර ගත යුතු ය. සසර ස්වභාවය අතිශයින් පීඩාකාරීය. එබැවින් සාධූනී, අකුසල් සිත් දුරලා ඤාණය, ධ්‍යානය, සමාධිය මගින් ශික්‍ෂණය ලබා පඤ්ඤාව ලබා සහනය සැනසීම ලබා ගැනීමට කාල සිටුපුත් චරිතාදර්ශ ලබා ක්‍රියා කිරීමට අදිටන් කර ගනිමු.


Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

Categories

%d bloggers like this: