Posted by: lrrp | November 29, 2008

එක ගෙදරක අනිසි පැවැත්ම මුළු ගමටම වධයක් වූ හැටි

මිනිසකු වී උපදින පුද්ගලයා මිනිස් බවේ වටිනාකම වටහා ගත යුතුය. මිනිසත් බව ප‍්‍රයෝජනයට ගෙන ස්වකීය ආධ්‍යාත්මය ගොඩ නඟා ගන්නා පුද්ගලයා සතුටින් සැනසුමෙන් හා සැහැල්ලුවෙන් ජීවත් වී එසේ ම මිය පරලොව යන්නේ සුගතියෙහි උපදී.

මිනිසත් බවේ වටිනාකම නොදැන පංචේන්ද්‍රියයන් පිනවීමට ම යන්න, සිතට වහල් වී ලෝභ, මෝහ, දෙකත් ඒ නිසා ම ද්වේෂයත් බලවත් කැර ගන්නේ මෙලොව ද දුක් විඳ පරලොව ද දුගතිගාමී වෙයි. මේ එවැනි කතාවකි.

මේ හම්බන්තොට ට නුදුරු ගම්මානයකින් ඇසෙන කතාවකි. පියදාස මාමාත් ගුණවතී නැන්දාත් ගමේ කාගේත් ආදරයට කරුණාවට ලක් වූ යුවළකි.

පසළොස්වක පොහෝ දිනට පාන්දරින් ම පන්සලේ හාමුදුරුවනට කොළකැඳ ද සකස් කැර ගෙන යන්නේ සිල් සමාදන් වීමට ය. අනිකුත් දිනවල ද උදේ සවස පන්සිල්හි පිහිටා ආගමික වතාවත්වල යෙදී තමන් ගේ රබර් හා කුඹුරු ගොවිතැනින් ජීවත් වූහ. අසල්වැසි නෑ හිතවතුන්ගේ දුක සැපේදීත් හිතවත්වම සහභාගි වූහ.

ඔවුන්ට දරු තිදෙනෙකි. වැඩිමහල් දෙදෙනා පුත්තු ය. බාලයා දියණියකි. පියදාස මාමා සහ නැන්දා මේ දරු තිදෙනා පෝෂණය කළේත්, ඉගැන්වූයේත් දැහැමිව සාධාරණව උපයා ගත් දෙයිනි.

වැඩිමහල් පුතුන් දෙදෙනා ගමේ පාසලෙන් ඉගෙනුම ලබා සාමාන්‍ය පෙළ සමත්ව රජයේ සාමාන්‍ය රැකියා දෙකක් ලබා ගත්හ. බාල දියණිය මනෝරි ද ගමේ පාසලෙන් සාමාන්‍ය පෙළ සමත් වී උසස් අධ්‍යාපනය සඳහා නගරයේ පාසලකට ඇතුළත් වූවාය. මනෝරි සුරූපීය. එසේ ම පවුලේ අයගේත් ගමේ කාගේත් ආදර කරුණාවට ලක්ව සිටියාය.

මනෝරි නගරයේ අධ්‍යාපනය සඳහා යෑම් ඊම් කරන විට කඩවසම් තරුණයකු සමඟ පේ‍්‍රම සම්බන්ධයක පැටළුණාය. ඔහු නිහාල් ය. නිහාල් අන්‍යාගමික ධනවත් පවුලක තරුණයෙකි. ඔහුගේ අතේ නිතර මුදල් ගැවසුණු අතර මනෝරි ද ඔහු සමඟ විනෝදවීමට පුරුදු වූවාය. මේ ඇයි හොඳයිය මව් පිය දෙදෙනාටත් සහෝදරයන්ටත් ආරංචි වීමෙන් ඇයට අවවාද කළත් එයින් පලක් වූයේ නැත.

නිහාල්ගේ ධනවත් බවට හා විනෝදකාමී චර්යාවන්ට මනෝරිගේ සිත වහල් විය. මේ සම්බන්ධය දැනගත් නිහාල්ගේ පවුලේ අය ද ඔවුන් ගේ ආගමික හා ආර්ථික නොගැලපීම නිසා විරෝධය පළ කළහ. හිතුවක්කාර තරුණ සිත් මේ සම්බාධකවලට නම්‍යශීලී වූයේ නැත.

අවවාද නොරිස්සූහ. මනෝරි විභාගයෙන් ද අසමත් වූවාය. මව්පියන්ගේ හා සහෝදරයන්ගේ විරෝධතාවලට ප‍්‍රතිකි‍්‍රයා ලෙස ඇය කළේ නිහාල් සමඟ විවාහ වී කුලී ගෙයක පදිංචියට යෑම ය.

මෙය සහෝදරයන් දෙදෙනාට කෙසේ වෙතත් පියදාස මාමාටත් ගුණවතී නැන්දාටත් බලවත් වේදනාවකට හේතු විය. වර්තමාන සමාජයේ මෙවැනි සිද්ධීන් විරල නොවූව ද මේ හුරුබුහුටි කෙල්ල, හුරතලයට හැදුණු දියණිය පවුලෙන් ඈත්වීම ඇත්තෙන් ම වේදනාවක් විය.

මාස කීපයක් ගත වන විට මනෝරි ගැබනියකව තනිවම ගෙදර වැඩවල යෙදෙන අයුරු ආරංචි වී ගුණවතී නැන්දා දුවත් බෑණාත් ගෙදරට ගෙන්වා ගත්තාය.

නිහාල් මත්පැනට ගිජු වූවෙක් බැවින් ටික දිනකින් ගමේ කීප දෙනෙකු ද මිතුරු කරගෙන බීමට එක්විය. ඔවුන් ගේ බේබදු සාජ්ජ හඬ ගමේ දැහැමි පරිසරයට කැළලක් විය.

නිහාල් ගේ බේබදු සමාගමයට කට ගැස්ම හැදීම මනෝරි අතින් සිදුවිය. පංච ශීලයේ පිහිටා තම නිවසේ පියදාස මාමාත් ගුණවතී නැන්දාත් ගොඩනඟා ගෙන තිබු දැහැමි නිසංසල සංස්කෘතිය හා පරිසරය උඩු යටිකුරු වී ගියේය.

මේ දෙමහල්ලන්ට පෝය දාට සිල් සමාදන්වීමට පන්සල් යෑමට නොහැකි තරමට ම ලැජ්ජාව ඉහවහා ගියේය. මනෝරි සිය සැමියා ගේ පදයට ම නටන්නට වූයෙන් ඇයට ලැජ්ජාව හා බිය අමතක කරන්නට සිදු වී තිබුණි.

මේ තත්ත්වය තවත් ඉහළ යමින් නිහාල් මේ ගෙදර වත්තේ කුකුළු ගොවිපොළක් පටන් ගත්තේය. ඒ මදිවාට ඌරු කොටුවක් ද පටන් ගත්තේය. මාස දෙකක් පමණ ගතවන විට නිහාල් අතින් ම දිනකට කුකුළන් පනහක හැටක බෙලි කපා වෙළෙඳ පොළට ගෙන ගියේය.

දින කීපයකට වරක් ඌරකු මරා මස් කොට අලෙවි කළේය. මස් ගෙන යෑමට නිවසට පැමිණෙන මිනිසුන්ට මුහුණ දිය නොහැකිව මව්පිය දෙදෙනාට නිවසේ මුළු ගැන්වී සිටීමට සිදු විය. මේ අතර පවුලේ පුතුන් දෙදෙනා සතියේ නිවාඩු දිනවලදීවත් ගෙදර නොසිටින තත්ත්වයක් උදාවිය. ඒ පිළිබඳ ගුණවතී නැන්දා පුතුන්ගෙන් විමසූ විට

“අම්මයි තාත්තයි කිසි දේකට බය වෙන්න එපා. තව ටිකක් ඉවසන්න” යැයි කීවා මිස වෙනත් දෙයක් කීවේ නැත.

කුකුළු කොටුවෙන් හා ඌරු කොටුවෙන් නැඟෙන දුර්ගන්ධය නිසා ඇති වූ බහින්බස් වීම්වලින් අසල්වැසි නෑයෝ ද අමනාපයට පත් වූහ. කුකුළන් කෑ ගසද්දී බෙලි කපන හඬ බෙලි කපන විට කෙඳිරි ගාන හඬ, ඌරන් මරද්දී කෑ ගසන හඬ ඉවසන්නට නොහැකිවූ මව් පියෝ රෝගාතුර වූහ. දුර්වල වූහ. උණු නිසා කන්නටත් බැරි කිරි නිසා ඉවත දමන්නටත් බැරිව දියණිය නිසා සියල්ල විඳ දරා ගන්නට ඔවුන්ට සිදුවිය.

දැන් දැන් එන පොට හොඳ නැති බව වටහා ගත් පියදාස මාමා ගුණවතී නැන්දා සමඟ නුවණක්කාර තීරණයකට එළැඹියේය. තමන් සතුව තිබු රබර් අක්කර හතරක වටිනා ඉඩම රහසේ ම පුතුන් දෙදෙනා නමට ඔප්පු ලිව්වේය. අක්කර බාගයක කුඹුර ගමේ පන්සලට ලිව්වේය. ගෙය සහිත අක්කරයක ඉඩම කිසිවකුට නොලියා ඉතුරු කළේය. මේ ඔප්පු ලිවීම කිසිවකුට නොදන්වා ඔප්පු දෙක රහසේ තබා ගත්තේ ය.

මේ අතර නිහාල්ගේ කුකුළු කොටුවට වසංගත රෝගයක් වැළඳී කුකුළෝ මිය ගියහ. මේ බව සමාජයට රහසක් කොට තබා ගෙන මැරෙන මැරෙන රෝගී කුකුළන් වහා සුද්ධ කොට වෙළෙඳ පොළට යැවීමට තරම් මනෝරි හා නිහාල් දක්ෂ වූහ. නිහාල් ගේ උපදෙස් පරිදි මනෝරි දිනක් මව්පිය දෙදෙනාට යෝජනාවක් ගෙනාවාය.

“අම්මේ! අපිට ආයෙත් අලුතින් කුකුළු ෆාම් එක පටන් ගන්න වෙලා. රබර් ඉඩම විකුණලා අපට සල්ලි ඕනෑ” යි මනෝරි කීවාය.

“අනේ දුවේ අපි ජීවත්වෙන්නේ ඔය ඉඩමෙන් නේද? උඹලට ඉගැන්නුවෙත් ඔය ඉඩමෙන්. පරම්පරාවෙන් ආපු ඉඩම අපි කොහොමද විකුණන්නේ. එතකොට අය්යලා දෙන්නා අපේ මිනීවලටත් සාප කරාවි” යි ගුණවතී නැන්දා කීවාය.

“ඕවා කියලා හරියන්නේ නෑ. අපට ඉඩම විකුණලා ඉක්මනින් සල්ලි ඕනෑ” යි කියූ මනෝරි ගස්සා ගෙන කාමරයෙන් පිටවී ගියාය.

මේ දෙබසට රහසේ සවන් දී සිටි නිහාල් වෙරි මතින් කෑගසන්නට වීය.

“මට සල්ලි නොදුන්නොත් මනෝරි උඹ බලාපං මං කරන දේ. නාකි ජෝඩුව බෙල්ල කපලා මරනවා. නැත්නම් ගහලා පන්නනවා” යි කියමින් කාමරයට පැන පියදාස මාමාගේ බෙල්ල මිරිකා තර්ජනය කළේය.

මේ වටිනා රබර් ඉඩම විකුණන කතාව ගමේ පැතිරීම නිසා ගැනුම්කරුවෝ ද මිල ඉහළ නංවමින් ඉදිරිපත් වෙන්නට වූහ. කෙසේ හෝ ගෙදර තත්ත්වය ආරංචි වූ පුතුන් දෙදෙනා පසු දින ම මව්පියන් බලන්නට නිවසට පැමිණියෝය. ඒ වන විටත් ගෙදර බේබදු සාජ්ජයකි. කාමරයට වී අසරණව සිටි මව්පිය දෙදෙනාට පුතුන් දෙදෙනා දැකීම මහත් සැනසිල්ලක් විය.

“කව්ද? බොලව් මෙතන කෑගහන්නේ”යි පොල්ලක් අතට ගත් බාල පුතා ශබ්ද නඟා අසනවාත් සමඟ ම සාජ්ජකාරයෝ උන් හිටි තැන් අමතකව දුවන්නට වූහ. නිහාල් ද බිරිය සමඟ කාමරයට රිංගා ගත්තේ ය.

පුතුන් දෙදෙනා කාමරයට කැඳවූ පියා රහසක් කියමින් ඔප්පු දෙක ලොකු පුතා අතට දුන්නේය.

“මේ මොකක්ද තාත්තේ?”

“මම රබර් ඉඩම පුතාල නමට ලිව්වා. කුඹුර පන්සලට ලිව්වා” යි පියා රහසේ පැවසුවේය.

“තාත්තත් අපි වගේ ම වැඩක් කරලා” යි බාල පුතා කුතුහලය වඩන කතාවක් කීවේය.

“ඒ මොකක්ද පුතේ?” ගුණවතී නැන්දා ඇසුවාය.

“අම්මේ! මේ ටික සිද්ධ වෙන බව අපි දෙන්නට කලින් ම තේරුණා. අපි අනුරාධපුරෙන් ඉඩම් කට්ටි දෙකක් අරගෙන ගෙවල් දෙකක් හැදුවා. ලබන පළවෙනිදා අපි රස්සාවලිනුත් අනුරාධපුරේට මාරුවීම් හදාගත්තා” යි ලොකු පුතා කීවේය.

“අපි දැන් යනවා” පොඩි පුතා කීවේය.

“අනේ! බුදු පුතේ අපට දැන් මේ අපායෙ ඉන්න බෑ” යි ගුණවතී නැන්දා හඬන්නට වූවාය.

“අම්මා බය වෙන්න එපා. අපි හෙට උදෙන් ම එනවා” යි කියූ පුතුන් දෙදෙනා පිටත්ව ගියහ.

පසු දින උදේ ගමේ වැඩිම ඉල්ලුම්කරුට පුතුන් දෙදෙනා රබර් ඉඩම විශාල මුදලකට විකුණුවේය. ඉඩම ගත්තේ ද ඔවුන්ගේ ම මාමා කෙනෙකි. නගරයේ දී ඉඩමට ඔප්පු ලියා ලබා ගත් මුදල මව්පිය දෙදෙනා වෙනුවෙන් බැංකු ගිණුමක තැන්පත් කොට ඔවුන්ට පිනට දහමට වැය කිරීමට අවස්ථාව සලසා දීමට පුතුන් දෙදෙනා තීරණය කළහ.

රබර් ඉඩම මිලට ගත් මාමාගේ ම ලොරියක් ලබා ගත් මේ පුතුන් දෙදෙනා නිවසට ගොස් මව්පිය දෙදෙනා ද අවශ්‍ය බඩු මුට්ටු ද පටවා ගෙන අනුරාධපුරය බලා ගියහ.

මනෝරි හා නිහාල් දෙදෙනාගේ බලාපොරොත්තු ඉටු නොවීමත් මව්පියන් තමන් හැර යෑමත් ඔවුන්ට ද මානසිකව බලපාන්නට හේතුවක් ද විය. තමන්ට අලෙවිය සඳහා දැනට ඇති එකම දෙය ඌරු කොටුවේ සිටින ඌරන් හතර දෙනා පමණි.

එදා පුරපසළොස්වක් පෝය දවසකි. එය නිහාල්ට එතරම් දෙයක් ද නොවේ. පිහියත් රැගෙන ඌරු කොටුවට ගිය නිහාල් එහිදීම ඌරන්ගේ බෙලි කපන්නට වීය. බීමතින් සිටි ඔහු සිහි විකලයෙන් ඌරන් තුන් දෙනෙකුගේ බෙලි කපා උන්ගෙන් වැගිරෙන ලේ මත සිටිමින් සිව්වැනි ඌරා අල්ලාගන්නට තැත් කරද්දී ලිස්සා ගොස් වැටුණේ ය.

වැටුණා වැටුණාමය. ඔහුගේ දකුණු අංශය අප‍්‍රාණික විය. කතාව ගොළු වීය. කෑගසන්නේ ඌරකු ගොරවන්නා සේය. මනෝරි අන්තිමට ම අසරණ වූවාය. ඇයට නිහාල්ගේ මිතුරනට සිරුර විකුණනවා හැරෙන්නට වෙනත් ආදායමක් නොවීය. අසල්වැසි සියලු දෙනා තද අමනාපයෙනි. දෙසතියකට පසු නිහාල් ඌරකු සේ ම ගොරවමින් මිය ගියේය.

නිවස වටා ඇති නිවෙස්වල අයට කිසිම දිනක මසක්, මාළුවක්, කරවලයක්, බිත්තරයක් උයා පිහාගෙන බැදගෙන ආහාරයට ගැනීමට නොහැකි තත්ත්වයක් උදාවිය. එසේ ආහාරයට ගත්තත් එහි කිසිම රසයක් නැත.

ලුණු මිරිස් රස පවා අතුරුදන්ව ඇත. එසේ ම එම මස් මාළු කරවල ආහාර තිබෙන තුරු රාති‍්‍රයට ඒ නිවෙස්වල පිටත සිට ගොරවන හඬ කෙඳිරිගාන හඬ ඇසෙයි. මනෝරිගේ නිවසේ ද නිතරම එම ශබ්ද ඇසෙන අතර ඌරු කොටුව දෙසින් ඌරන් දඟලන හඬ ගොරවන හඬ ඇසෙයි. දැන් එම ඌරු කොටුවේ ඌරන් ද නැත.

ඒ නිවෙස්වල අයට තම නිවෙස් ඉතා පිරිසුදුව තබා ගෙන දීර්ඝ කාලීනව උදේ සවස පිරිත් සජ්ඣායනය කළ යුතු බවත් දින දහ හතරකින් නැවත තත්ත්වය වාර්තා කරන ලෙසත් ගලිගමුවේ ඥානදීප හිමියෝ නියම කළහ.

මතුගම මහින්ද විජේතිලක


Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

Categories

%d bloggers like this: