Posted by: lrrp | November 30, 2008

කෙළිලොල් දරුවන් ගේ මධුර හඬින් නැඟෙනා සුමධුර පිරිත් දේශනා

කෙළිලොල් දඟකාර වියේ පසු වුවද මේ දරුවෝ පැවැත්මෙන් සන්සුන් ය. හික්මුණු ගතිපැවතුම්වලින් යුක්තය. සුදෝ සුදු වතින් සැරසී ඉමහත් භක්තියෙන් යුතුව පිරුවානා පොත් වහන්සේ දෑතින් රැගත් ඔව්හු බාරදූර කාර්යයකට ලක ලැහැස්ති වෙති. මෙතෙක් වැඩිහිටියන් වෙතින් ඉටුවූ කටයුත්තකට මෙම සිසු දරුවෝ ඇප කැප වී වැඩි දිනක් ගතවී නැත්තේය. මනා ප‍්‍රගුණ කිරීම තුළින් ඔවුන් ඒ කාර්යය ඉටු කරන අන්දම බලන්නට අපූරුය.

ගොක් කොළවලින් සැරසුණු පිරිත් මණ්ඩපයේ ඇතුළත හුරු බුහුටියට දුව පනිමින් ඔව්හු සැරසිලි කරති. කෙනෙක් මණ්ඩපයේ උඩු වියනේ පුවක් මල් හා නා දලු එල්ලති. මණ්ඩපයේ මුල්ලක සුදට සුදේ රජගහ බැඳීම තවත් කීප දෙනකු අතින් සිදු කෙරේ. තවත් කීප දෙනෙක් පිරිත් පැන් කළය වැඩමවීම සඳහා මේසය සකස් කරති. ඔවුන් මේ සියලු වතාවන්හි නිරත වනුයේ දැඩි භක්තියකිනි. කැපවීමකිනි.

මෙම කාර්යය සඳහා එක්වූ පිරිමි දරුවන් සංඛ්‍යාවෙන් තිස් දෙනෙකි. සියල්ලෝම පාසලේ 6 වැනි ශ්‍රේණියේ සිට 12 වැන්න දක්වා වන ශ්‍රේණිවල ඉගෙනුම ලබති. ගම්පහ බණ්ඩාරනායක, කිරිල්ලවල මහා විද්‍යාලය, කැලණිය ශී‍්‍ර ධර්මාලෝක, ගුරුකුල වෑබඩ උතුර විද්‍යාදීප, දරණාගම මහා විද්‍යාලය, පරකන්දෙනිය සිරි පැරකුම්බා මහා විද්‍යාලය, ගම්පහ තක්‍ෂිලා මහා විද්‍යාලය, කොළඹ ආනන්ද, ඩී.එස්. සේනානායක, රාජකීය සහ සී.ඩබ්ලිව්.ඩබ්ලිව්. කන්නන්ගර මහා විද්‍යාලය යන විදුහල්හි සිප්සතර හදාරන්නෝය.

වෑබඩ ගල්ලෙන් පුරාණ රජමහා විහාරය සහ අවට විහාරස්ථාන කීපයක් මුල් කරගෙන ආරම්භ වූ මෙම ශිෂ්‍ය ගිහි පිරිත් කණ්ඩායම පසුගියදා රට ජාතිය ට සෙත්පතමින් සිය මංගල පිරිත් දේශනය පැවැත්වූහ.

ප‍්‍රදේශයේ සිසුන් එක්කර ගනිමින් ප‍්‍රථම වරට මෙලෙස ගිහි පිරිත් කණ්ඩායමක් බිහි කිරීමේ කතාව මින් වසර ගණනාවක් ඔබ්බට දිව යන්නකි. ඒ මෙම කණ්ඩායම බිහි කිරීම සඳහා ඇප කැප වූ ඥානා විජේසූරිය ගුරු මහත්මිය නිසා ය.

වෑබඩ උතුර විද්‍යාදීප මහා විද්‍යාලයේ ඉංගි‍්‍රසි ගුරුවරියක වන ඇය සිය ගම් ප‍්‍රදේශයේ දරුවන් ඉංගි‍්‍රසි දැනුමින් පෝෂණය කරන්නීය. එම ප‍්‍රදේශයේ ගිහි පිරිත් කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කළේ ඇගේ පියා වූ එම්.ඒ. ඒබ‍්‍රහම් අප්පුහාමි මහතා ය. පනස් වසරකට වැඩි කාලයක් තිස්සේ ගිහි පිරිත් කී ඔහුගේ පියා ද ප‍්‍රදේශයේ විහාරස්ථානය ගුරුකොට ගනිමින් ගිහි පිරිත් කී අයෙකි.

”මගේ තාත්තා පිරිත් කීම ආරම්භ කරලා තියෙන්නේ වයස අවුරුදු විසිපහේදී. තාත්තා නැතිවෙනකොට වයස අවුරුදු අසූ පහයි. ජීවිතයෙන් අඩකටත් වැඩි කාලයක් ගිහි පිරිත් කීමේ යෙදුණු තාත්තා නැති වූ පසු මේ කාර්යය ඉදිරියට ගෙන යෑමට පවුලේ පිරිමි දරුවකු නැති අඩුපාඩුව දැනුණා.

ඒ නිසා මේ කටයුත්ත ඉදිරියටත් කරගෙන යෑමේ අරමුණින් මගෙන් ඉගෙන ගන්නා දරුවන් එකතු කරගෙන ගිහි පිරිත් කණ්ඩායමක් හැදීමේ කටයුත්තට අත තැබුවා. ගමේ පන්සලේ නායක හාමුදුරුවන් මෙන්ම දැනට පළාතේ පිරිත් නායකයෙක් වශයෙන් කටයුතු කරන තුන්දෙනාත් සමග මේ ගැන කතා කළා. එයින් ලද අනුමැතිය ඇතිව මෙම කණ්ඩායම බිහි කළා.” යැයි විජේසූරිය මහත්මිය පැවසුවාය.

”ගිහි පිරිත් කියන්න කැමැති කවුදැයි ඇහුවාම මේ ඔක්කොම අත ඉස්සුවා. ඒ අනුව දරුවන් තිස් දෙනකු තෝරා ගෙන පසුගිය දෙසැම්බරයේ සිට පුහුණු කිරීම් පටන් ගත්තා. මේ දරුවො ඉතාමත් කැපවීමෙන් මෙය කරනවා. ඔවුන්ගේ මවුපියනුත් ඒ සඳහා ඉතා කැමැත්තෙන් සහයෝගය දුන්නා. දැන් මේ සැම දෙනාටම තුන් සූත‍්‍රය කටපාඩම්. ලොකු ළමයින්ට අනෙකුත් පිරිත් බොහොමයක් පාඩම්.”

ශිෂ්‍ය ගිහි පිරිත් කණ්ඩායම පුහුණු කළෝ වසර ගණනාවක් තිස්සේ දහම් පාසල් ආචාර්යවරුන් ලෙස ද පළාතේ ගිහි පිරිත් කණ්ඩායම් නායකයන් ලෙස ද කටයුතු කරන එම්.ඒ. ගුණවර්ධන, සුමනදාස රණවක සහ සරත් වන්නිආරච්චි යන මහත්වරුන් ය.

”අධ්‍යාපනයට පමණක් මුල් තැන නොදී මෙවන් යහපත් කාර්යයකට කැපවීමකින් යුතුව දරුවන් යොමු කිරීමට මව්පියන් උත්සුකවීම හොඳ දෙයක්. ඒ වාගේම මෙවැන්නක් නිසා දරුවන් ආගමික පසුබිමක් ඔස්සේ සදාචාර සම්පන්න පසුබිමකට යොමු වෙනවා.

දරුවො ඉතාමත් කැපවීමෙන් පිරිත් කීම පුහුණු වෙනවා. මාස තුනක් එක දිගට ඉරිදාවල අප පුහුණුවීම් කෙරෙව්වා. එහි ප‍්‍රතිඵලයක් ලෙස දැන් මේ දරුවන් ට දිගටම පිරිත් සජ්ඣායනා සඳහා ආරාධනා තියෙනවා” යැයි ගුණවර්ධන මහතා පවසයි.

පිරිත් කීමට පුරුදු පුහුණු වෙමින්

ඇතැම් දරුවන් මේ කටයුතු සඳහා දායක වූයේ පස්වැනි ශ්‍රේණියේ දීය. කලක් ගතවෙද්දී බොහෝ දෙනා මස්මාංශ අනුභවයෙන් ස්වේච්ඡාවෙන්ම වැළකුණහ.

”මෙම කණ්ඩායමේ කුඩා පන්තිවල ළමයි හුඟාක් ඉන්නවා. පුංචි දරුවන්ට පාලි අකුරු කියවීම අමාරුයි. ඒත් මේ අයට හොඳට ශබ්ද නඟා පාලි අකුරු වරක් කියවා දුන්විට කියවීමේ හැකියාව තිබුණා. ඒ වගේම හොඳට මතක හිටියා.

එය පෙර පිනක් විය හැකියි. අප කළේ දරුවන්ට පොත බලාගෙන කියවන්න දී වැරැදෙන විට නිවැරැදි කිරීම” යැයි සුමනදාස රණවක මහතා කීවේය. මෙම දරුවන් පිරිත් සජ්ඣායනා පුරුදු පුහුණු වූයේ ගමේ විහාරස්ථානයේ විහාරාධිපති වෑබඩ පියරතන හිමියන්ගේ අනුශාසකත්වය යටතේ ය.

”මෙය අසීරු කටයුත්තක්. නමුත් ආරම්භ කළ පසු හිතේ විශ්වාසයක් ඇතිවුණා මෙය කළ හැකියි කියා. පිරිත් කීමේදී අකුරු සහ වචන හොඳින් ශබ්ද වෙමින් සජ්ඣායනා විය යුතුයි. පුරුදු පුහුණු කළ මහත්වරුන් පන්සල් ආශ‍්‍රයෙන් පිරිත් කියා ලද පුහුණුව ඔස්සේ දරුවන් පුහුණු කළා” යැයි උන්වහන්සේ පැවසූහ.

පිරිත් සජ්ඣායනාවකදී පිළිපැදෙන වත් පිළිවෙත් රැසකි. පිරිත් මණ්ඩපය ඇතුළත සැකසීම, මල් පැල සැකසීම, පහන් දැල්වීම, හේවිසි වාදන, රජගහ බැදීම සහ පැන් කළය වැඩමවීම ඉන් කීපයකි.

අනතුරුව පිරිත ඇරැඹෙද්දී පන්සිල් දීම, පිරිතට ආරාධනා කිරීම, ආරාධනා ගාථා, අනුශාසනා, දේවතාරාධනාව, පිරිත පේ කිරීම, හේවිසි වාදනය, මහපිරිත් දේශනය, යුග දේශනා, දම්සක් පැවතුම් සූත‍්‍ර දේශනාව, ආටානාටිය යනාදී වූ සියලු කොටස්වලදී පිළිපදින වතාවත් මෙන් ම පිරිත් නවත්වන තැන් යළි අරඹන තැන් යනාදී වූ සියලු කාරණා පිළිබඳව මෙම දරුවෝ දැනුම්වත් ව සිටිති.

සාමාන්‍යයෙන් පිරිතකදී රැයක් එළිවනතුරු නිදිවැරීම සිදුවේ. මෙම දරුවන් ඒ සඳහා ද ඉතාමත් කැපවීමෙන් මුහුණ දුන් බව ඔවුන් පුරුදු පුහුණු කළ වැඩිහිටියෝ පැවසූහ.

”ළමයි කියන අය කොහොමත් දඟයි. ඒත් මේ කාර්යයට එක්වුණු පසු නිවෙස්වල දඟකාරකම් කළ දරුවන් පවා තැන්පත් හා සන්සුන් වුණා. පිරිත් කටපාඩම් වීම නිසා ළමයින්ගේ ඉගෙනීමේ කුසලතා ද වැඩිවුණා.”

ඥානා විජේසූරිය

එම්.ඒ. ගුණවර්ධන

සුමනදාස රණවක

වැලිවේරියේ පදිංචි ඩබ්ලිව්.ඒ. රංග කුමේෂ් ගම්පහ බණ්ඩාරනායක විදුහලේ 6 වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබයි. පිරිත් කණ්ඩායමේ ලාබාලම දරුවා ඔහුය. මාස නවයක සිට පිරිත් පුහුණුවීම් කරන ඔහු තුන් සූත‍්‍රය කටපාඩමින් කියයි. සිය පුතා කුඩා කල සිටම ආගම දහමට ළැදි බවත් සන්සුන් ගති පැවතුම් ඇති බවත් මස්මාංශ සහ බිත්තර අනුභව නොකරන බවත් ඔහුගේ මව පැවසුවාය.

පරකන්දෙනිය සිරි පැරකුම්බා මහා විද්‍යාලයේ අටවැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබන එච්.ඩී. මධුසංඛ ද මුල සිටම පිරිත් කණ්ඩායමට එක්වූ දරුවෙකි. පිරිත ආරම්භයේ දී පන්සිල් දී පිරිත් පටන් ගැන්ම කරනුයේ මධුසංඛ සහ තවත් දරුවෙකි.

තුන්පිරිත, ජය පිරිත සහ ආටානාටිය කටපාඩමින් කීමට ඔහුට හැකියාව ඇත්තේය. දරුවන් දෙදෙනකුගෙන් යුත් පවුලේ වැඩිමලා වන ඔහු වැඩි කතා බහක් නැත්තෙකි. මධුසංඛ පන්සල ආශ‍්‍රයෙන් මනා හික්මීමක් ලැබ ඇත්තේය.

රංගික ධනන්ජය පෙරේරා කොළඹ රාජකීය විදුහලේ 10 වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබයි. කඩවත සූරියපාලුවේ පදිංචි ඔහු ද මුල සිටම පිරිත් කීමට ආ දරුවෙකි.

මේ සමාජයේ මෙවන් කාර්යයක යෙදෙන්න එන අය අඩු බවත් එනිසා මෙය ඉදිරියට පවත්වා ගෙන යෑම ශිෂ්‍යයන් වශයෙන් පෞද්ගලිකව ද ඔවුනට යහපත් බැවින් මෙම කණ්ඩායමට එක්වූ බවත් ඔහු පැවසීය. ”මට පිරිත් පාඩම් කරන්න ගත්ත මුල සිටම හොඳට පාඩම් හිටියා.

කණ්ඩායමේ ඉන්න අයගෙන් කටහඬ බලලා එක් එක් කොටස් කියන්න අය වෙනම තෝරා ගත්තා. ඒත් එකම කෙනා නැතිව සැවොම සැම කොටසක් ම කියන්න පුරුදු කරනවා. අප මෑතක දී පිරිත් කියන අයගේ සංගමයක් ශී‍්‍ර සද්ධර්ම බෝසත් ළමා සමාජය නමින් පිහිටුවා ගත්තා. වැඩිහිටියන් ඒ සඳහා උපදේශකත්වය ලබා දෙනවා. ඒ හැරුණු විට සංගමයේ සියලු වැඩ මෙහෙය වන්නේ ළමයින්මයි.

විවිධ පළාත්වල පදිංචි ළමයි මාසයකට වරක්වත් එකට එකතු වෙලා සාකච්ඡා කරනවා. පිරිත් සඳහා ආරාධනා ලැබුණාම අනිත් අයට දැනුම් දීම කරන්නේත් සංගමය මගිනුයි. එසේම මෙම සද්කාර්යය ඉදිරියටත් පවත්වා ගෙන යෑමට අවශ්‍ය වටපිටාව සකස් කර ගැනීමත් මෙම සංගමයේ අරමුණක්.

අපේ ගම් පළාතට මෙයින් යහපතක් වෙයි කියා අප හිතනවා. කණ්ඩායමේ හැමෝම එක වාගේම දක්ෂයි. ලොකු පොඩි වයස් බේදයක් අප අතර නැහැ. කවුරුත් හැකියාව අනුව පිරිත් කීමෙහි යෙදෙනවා.” යැයි රංගික පැවසුවේය.

සුමිහිරි හඬින් සූත‍්‍ර දේශනා කරමින් නිවැරැදිව වචන උච්චාරණයේ යෙදන රංගික මහ පිරිත, මෙත්තානිසංස සූත‍්‍රය, සච්ච විභංග සූත‍්‍රය සහ දේවාරාධනා කටපාඩමෙන් කීමට දන්නේය.

කිරිල්ලවල පදිංචි චන්දිම ජයශංඛ කැලණිය ශී‍්‍ර ධර්මාලෝක මහා විද්‍යාලයේ 10 වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබයි. හොඳ කටහඬක් ඇති චන්දිම පිරිත් ආරම්භයේ දී පන්සිල් දීම කරන සිසුන් දෙදෙනා අතරින් කෙනෙකි. පිරිත් මණ්ඩපය සැකසූ පසු පිරිත් පැන් කළය වැඩම කරවීම සඳහා මේසය සැකසීමේ කාර්යයට ද ඔහු ඇතුළත් වෙයි.

”මං මුල ඉඳන්ම පිරිත් කියන්න ආවා. පුරුදු පුහුණුවීම්වලට එන්නෙත් හරිම ආසාවෙන්. මට තුන් සූත‍්‍රය වගේම චන්ද සූත‍්‍රයත් කටපාඩමින් කියන්න පුළුවන්. මේ පිරිත් කීම නිසා මට ඉස්කෝලෙ පාඩමුත් හොඳට මතක හිටිනවා.” යැයි චන්දිම පවසයි.

සමාජ සත්කාර්යයක් ලෙසින් ගුරු මෑණි කෙනකුගේ සිත් සතන්හි උපන් අදහසක් මෙසේ යථාර්ථයක් බවට පත් වෙද්දී ඒ වෙනුවෙන් ඇප කැප වූ අය බොහොමයකි. සිය දූ දරුවන් ද සමඟින් අධ්‍යාපන තරගයක යෙදෙනා මව්පියන් ඉන් කොටසකි. එහෙත්, මේ මවුපියෝ සිය දරුවන්ගේ කාලය මෙවන් උසස් කාර්යයක් සඳහා කැප කිරීමට ඉඩකඩ සලසා දෙනුයේ ඉමහත් කැමැත්තෙනි.

එලෙසින්ම ඔව්හු ද සිය කාලය හා ශ‍්‍රමය ඒ වෙනුවෙන් කැප කරති. ප‍්‍රදේශවාසී ජනතාව ද මේ කටයුත්ත තමාගේ ම කටයුත්තක් ලෙස සලකා ඒ වෙනුවෙන් සිය සහයෝගය ලබා දෙති. අද මේ සැවොමගේ අභිප‍්‍රාය වී ඇත්තේ මේ ශිෂ්‍ය ගිහි පිරිත් කණ්ඩායම සිය නිවෙසට කැඳවා පිරිත් සජ්ඣායනා පැවැත්වීමය.


Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

Categories

%d bloggers like this: