Posted by: lrrp | December 6, 2008

ඇයි ලොකු දුවේ මාව පන්නා ගන්න හදන්නේ ?

මිනිසා උපන් දා සිට ම තමන් ගේ ආසාවන් ඉටු කැර ගැනීමට ම පෙළැඹීම ස්වභාවය යි. හඬා ගෙන මව් කුසින් මෙලොවට බිහිවන දරුවා මව් කිරි ටිකක්, වතුර ටිකක් ලැබුණු විට සතුටු වෙයි.

යළි යළිත් කුසගිනි දැනෙන මොහොතක් පාසා හඬයි. මේ ඉල්ලීම එතැනින් නතර වන්නේ නැත. සීතල දැනෙන විට උණුහුම ඉල්ලා හඬයි. රිදුමක් වේදනාවක් දැනෙන විට සහනය ඉල්ලා හඬයි.

වයසින් වැඩෙත් ම තම උවමනාවන් ඉටු කැර ගැනීමට වෙනත් උපාය මාර්ග භාවිත කරයි. ඒ හැකියා අනුව එක් රැස් කිරීමට, පොදි බැඳීමට, ගබඩා කිරීමට පුරුදු වෙයි.

මේ පුරුද්ද ඉහ වහා යෑමෙන් වතුපිටි ඉඩකඩම් ගේ දොර ආදි දේපළ සඳහා ම වෙහෙසෙයි. ඒ සඳහා ම හඹා යයි. මිය යන්නේ ද තමන් සතු සම්පත් පිළිබඳ ආසාවන් පොදි බැඳගෙනය.

මේ සියල්ල අතහැර යන්නට සිදුවන බව අවබෝධ නොවීම නිසා, ජීවිතයේ ස්වභාවය, යථාර්ථය අවබෝධ කොට ගෙන තණ්හාවෙන් ඈත්වීමට පියවර නොගත් නිසා, එම ඉඩකඩම් ගේ දොර පිළිබඳ බැඳුණු, ඇලීම, ආසාව නිසා ම එහි ම උපදියි. තිරිසනකු හෝ පේ‍්‍රතාදී අමනුස්සයකු වී උපදියි.

එසේ උපන් අමනුස්සයෝ තමන් ගේම දූ දරුවනට, පවා හිරිහැර කරති. උපන් භවයේ ස්වභාවය අනුව ඔවුන් පෙර භවයේ ඥාති සම්බන්ධයේ හැටියට ජීවත්ව සිටින්නවුන්ට යහපතම උදා කරතැයි සිතන්නට නොහැකිය. ඔවුන්ගේ සිතුම් පැතුම් ඉටු නොවන විට වෛර කරති. පළි ගනිති.

මිය ගිය පියා ගෙන් සිදු වන දුක් ගැහැටවලින් මිදීම සඳහා ගලිගමුවේ ඥානදීප හිමියන් හමුවට පැමිණි මහනුවර ප‍්‍රදේශයේ කාන්තාවක් ඉදිරිපත් කළ විස්තරයකි මේ.

“ස්වාමීන් වහන්ස! මගේ තාත්තා දේපොළ පිළිබඳ තද ආසාවකින් ජීවත් වුණේ. අවසාන කාලයේ අංශාබාධ රෝගයෙන් පෙළුණා. තාත්තා මැරෙන වේලාවේ ළඟ හිටියේ මමයි, අම්මයි, මල්ලියි.

තාත්තාගේ මරණයෙන් පසු තුන්මාසයේ දානය දුන්නාට පස්සෙ මගේ චූටි ඇඟිල්ලකින් ගඳක් දැනෙන්නට වුණා. පුංචි බිබිළක් වගේ හැදී එතැනින් තමයි ගඳ පිට වුණේ. මාසයක් විතර යන කොට ශරීරයේ පස් තැනකින් එහෙම ගඳ පිටවෙන්න පටන්ගත්තා. හිටි හැටියේ මාව පස්සට අදිනව වගේ දැනෙන්න වුණා. ඉදිරියට නැමෙනවා වගේ දැනෙන්න වුණා.

තවත් මාසයක් විතර ගත වෙන කොට සමහර වෙලාවට මගේ දකුණු අතයි කකුළයි අප‍්‍රාණික වෙනවා. කකුළේ දෙවැනි ඇඟිල්ල අප‍්‍රාණික වෙලා සෙරෙප්පුව විසිවී යනවා. වෛද්‍ය ප‍්‍රතිකාර ගත්තත් ඒවායෙන් කිසිම සුවයක් ලැබුණේ නැහැ.

ඥාතින්ගේ උපදෙස් අනුව දේවාල ගානේ ගිහින් පුද පූජා පැවැත්වුවා. එක දේවාලයකට ගිහින් ඇතුළු වෙන කොට ම කීවා “ලොකු දුවේ! අසවල් පන්සලට දානයක් දීපං. අසවල් වැඩිහිටි නිවාසයට දානයක් දීපං” කියා.

අපේ ගමෙන් කිලෝමීටර දහයක් විතර දුර පිහිටි ඒ වැඩිහිටි නිවාසයේ වැඩිහිටියන්ට අපේ තාත්තා කැමති ආහාර පාන වර්ග දානයට දුන්නා. ඒ ගමේ පන්සල සමීපයේමයි වැඩිහිටි නිවාසය පිහිටා තිබුණේ. ඒ පන්සලටත් දානය පිළිගැන්නුවා.

එහිදී එතැන නායක හාමුදුරුවෝ පන්සිල් දෙන කොට, එතැන වාඩිවෙලා හිටිය මා ඉදිරියට නැමුණා. කරපිට විශාල බරක් තැබුවා වගේ දැනුණා.

එදා ම රෑ නංගියි අම්මයි දෙන්නා තාත්තාව හීනෙන් දැක්කා. මමත් පි‍්‍රයමනාප විදිහට තාත්තාව හීනෙන් දැක්කා. අසවලාට අසවල් දේ දෙන්න. අසවලාට අසවල් උදව්ව කරන්න කියා නියම කරනවා. අපිත් ඒවා ඉටුකරනවා.

පන්සලේ කඨින පිංකම කරන්න කීවාම පවුලේ හත්දෙනා සමීප ඥාතීන්වත් දායක කරගෙන ඒ පිංකමත් කළා. එදා රෑ මම ඇඳුම් මදින කොට ජනේලයෙන් සද්දයක් ආවා. තාත්තා උගුර පාදන හඬ ඇහුණා. පහුවදාට එළිවෙන කොට මගේ අසනීපය වැඩි වුණා. දෙහි කැපුවා ම ටිකක් ගුණ පෙන්වනවා. ආයෙත් හැදෙනවා.

දැන් දැන් මගේ ආමාශයේ දැවිල්ලක් දැනෙනවා. බඩ ඇතුළේ සිට පහළට යමක් පෙරැළීගෙන එනවා වගේ දැනෙනවා. වෙදකම් කළාට සනීප වෙන්නේ නෑ. දකුණු අතේ අප‍්‍රාණික බවත් දැනෙනවා.

ඒ වගේ ම තාත්තා කෑමට ආසා දේවල් මටත් කන්න හිතෙනවා. කලින් මම කෑමට අකමැති ඒත් තාත්තා කැමැත්තක් දැක්වූ කෑම බීම මට කන්න ආසා හිතෙනවා. තාත්තා හිඳගත් හාන්සි පිටුවේ හිඳගන්න ආස හිතෙනවා. අපේ නෑ කෙනෙක් අප පත්තිනි දේවාලයකට එක්කර ගෙන ගියා. එතැන කෙනෙක් ආරූඪ වී,

“ඇයි ලොකු දුවේ! මාව පන්න ගන්න හදන්නේ” කියා ඇහුව. එතැනදි ඉල්ලපු කෑම වර්ග සකස් කැර දුප්පත් රෝගීන්ට ගිහින් දුන්නා. එදා රෑ නංගි නාන කාමරයේ සිටියදී දොරට ගහන සද්දයක් ඇහුණා.

අම්මා කීවා තාත්තා ගැන මතක් කරන්න එපා ය කියා. එදා සිට දවස් හතරක් ම අම්මාට පෙනුණා. හීනෙන් පෙනී කියන්නේ “මම අවුරුදු හතළිහක් ගොඩනැගූ දේවල් විකුණන්න නම් එපා ය කියාය. දැන් දැන් ගෙදර උයන කෑමවල රසයත් නැහැ. කිසි ම රහක් නැහැ.

සමහරදාට ආරූඪ වෙලා කියනවා. තවත් සමහර දාට හීනෙන් කියනවා. එහෙම කියන දේවල් දිගින් දිගට දීලා අපේ ආර්ථිකයත් දුර්වල වෙලා. දැනට සාංඝික දාන හයක් දී තියෙනවා. ඒ වගේ ම ඒ පිංකම් දවස්වලට තාත්තා දන්නා හඳුනන අය තුන්හාරසීය ගෙදරට එනවා. මේ හැම දෙනාට ම කෑම බීම සකස් කරනවා.

ඒ වගේ ම ඒ අය ගෙන එන දේවලුත් එන එන අයටම බෙදා දෙනවා. ඊළඟ දවසට මුළු ගෙදර ම හිස්වෙලා අපිට දැන් ජීවත්වෙන්න බැරි තත්ත්වයක් උදාවෙලා” යි ද කීවා ය.

ඉඩකඩම් ගෙවල් දොරවල් ගොඩ නැගූ අය ඒවාට ආසාවෙන් මිය ගියා ම එක පාරට ම ඉවත් කරන්න බැහැ. පින් දහම් කර අනුමෝදන් කොට ඔවුන්ගේ තත්ත්වය උසස් කරන කොට මේවා අතහැර ඉවත්ව යනවා.

එහෙම පින් ගන්න බැරි ආත්ම භවයක ඉපදිලා නම් මෛතී‍්‍ර භාවනාවෙන් ප‍්‍රයෝජන ගන්න ඕනෑ. අමනුස්සයන්ට මෛතී‍්‍ර කරන කොට, යහපත ප‍්‍රාර්ථනා කරන කොට ඔවුන්ට සතුරකම් කරන්න ඉඩ ලැබෙන්නේ නෑ. මෛතී‍්‍ර ගුණයටත් පිටු පා දරුණු වේ නම් ආටානාටිය සූත‍්‍රයෙන් ප‍්‍රයෝජන ගන්න වෙනවා.

හැබැයි ආටානාටිය සූත‍්‍රයෙන් යහපත උදා කැර ගත හැක්කේ ජීවත්ව සිටින උදවිය පන්සිල් රකින දැහැමි ජීවිත ගත කරනවා නම් පමණයි. පස් පවෙහි යෙදෙනවා නම් කර්මානුරූපව දුක් විඳින්න වෙනවා. තමන් හරිහම්බ කළ ධනය වැය වී යන විධියට වැඩ යෙදේවි. බොරුවට ඇදුරන්ට වියදම් කරන්න වේවි. තමන් දැහැමි ජීවිත ගෙවනවා නම් ආටානාටිය සූත‍්‍රයට අනුව දෙවියන්ගේ ආරක්ෂාව ලබා ගන්න පුළුවන් යැයි ද ඥානදීප හිමියෝ පැහැදිලි කැර දුන්හ.

ඒ වගේ ම පවුලේ සියලු දෙනා ම පස්පවෙන් වැළකී සිල්වත්ව භාවනාවකට හුරු වේ නම් ඒ ආධ්‍යාත්මීය ශක්තිය ඉදිරියේ සියලු භූත උවදුරු යටපත් වෙනවා. ඒ වගේ ම සමහරු පොත්පත් බලාගෙන භාවනා කරනවා.

ඒක හරියට තැපෑලෙන් වාහන පදවන්න ඉගෙන ගන්නවා වගේ වැඩක්. අනතුරුදායකයි. භාවනා කරන විට ගුරුවරයකුගේ උපදෙස් මත කටයුතු කරන්න ඕනෑ.

තවත් සමහරු ගේ දොර වතුපිටි අපිරිසුදුවට තියා ගන්නවා. තමන්ගේ කැතකුණු, අපද්‍රව්‍ය, අපිරිසුදු ලේ, ආදි දේවල් නිවස වටා ගොඩගහනවා. ඒවා අමනුස්සයන්ගේ ආහාර.

මේ දුකට පත්වී සිටින අයත් කබලෙන් ලිපට නොවැටී නුවණින් කටයුතු කරන්න ඕනෑ. බණ කියනවා නම් බණ අහනවා නම් දේපළ තණ්හාවෙන් ඇලී ගැලී සිටින අමනුස්සයන්ට යම් තරමකින් හෝ වැටහෙන ලෙස දැඩි තණ්හාවේ ආදීනව කියන්න ඕනැ.

ඔවුන් තුළ ඇති ද්වේෂය මග හැරෙන පරිදි කටයුතු කරන්න ඕනැ යැයි ද පැවසූහ. නිවසේ උදේ සවස ආගමික වතාවත්වලින් පසු භාවිත කිරීමට පිරිත් සූත‍්‍ර කීපයක් ද නියම කළහ.


Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

Categories

%d bloggers like this: