Posted by: lrrp | December 6, 2008

මිය ගොස් වසර සිය ගණනක් ආත්මයක් ගානේ බල්ලෙක් වී ගේ මුර කරයි

සිතේ ශක්තිය ඉතා ප‍්‍රබලය. ක්ෂණයකින් ඉතා දුර ගමන් යා හැකි ය. “දූරංගමං ඒකචරං” කීවේ ඒ නිසා ය. එසේ ම යහපත්, අයහපත් සියල්ලට ම ප‍්‍රධාන වනනේත් මූලික වන්නේත් සිතම ය. “මනෝපුබ්බංගමා ධම්මා” යි කීවේ ද ඒ නිසා ය.

මේ සිතේ ගොඩ නැඟෙන සිතිවිලි නිසා කර්ම රැස් කෙරෙයි. කර්ම රැස් නොකරන තැන සමාධියයි. සැනසුමයි. ශාන්ත වූ සුවය යි. එහෙත් අපේ මිනිස්සු බොහෝ දෙනෙකු කටයුතු කරන්නේ ‘හිතක් පපුවක්’ නැති ගානට ය. සිතක් ඇතැයි සිතන්නේ ම නැත. අප නිතර ම සිතන්නේ කය පිනවීම ගැන ම ය.

ඊළඟට අනුන් ගැන ය. දූ දරුවන් ගැන ය. එසේත් නැත්නම් අනුන් ගැන ය. තරහ වෙර ඊර්ෂ්‍යාවෙනි, මේ සිත ගැන දිනකට එක මොහොතක්වත් සිතනවා නම් ලෝකය මේ තරම් දරුණු වන්නේ ද නැත. සිතට පුදුම ශක්තියක්, බලයක් හා හැකියාවක් ඇත.

ඇය තරුණ කාන්තාවකි. විවාහක තරුණ වෙද්‍යවරියකි. ඇය අපට නොපෙනෙන ලෝකයක් ඇතැයි විශ්වාස කළේ නැත. ඒ තරමට ම භෞතිකවාදී වූවා ය. ඇයගේ කුළුදුල් දරු ප‍්‍රසූතියේ දී සිදුවූ විස්මිත සිද්ධියකින් ඇයට ලෝකයේ යථාර්ථය – සැබෑ තත්ත්වය හෙළි වී ඇත.

මේ තරුණ වෙද්‍යවරිය තම ස්වාමි පුරුෂයාට දැඩි සේ ආදරය කළා ය. ගැබ්බරව ඉදිරියට නෙරා ගිය උදරයක් සහිතව අනුරාධපුර රෝහලට ඇතුළු වූයේ ද ස්වාමි පුරුෂයා ගේ බඳ වටා අත යවා ගෙන ඔහු ගතෙහි දැවටෙමිනි, ඔහු ද ඇය වෙද්‍යවරියක් නිසා ඇයට ලැබී ඇති අවසරයෙන් ප‍්‍රයෝජන ගනිමින් දවසේ දැඩි කාලයක් ගත කළේ බිරිය ළඟ ම ය. ඇගේ රෝහල් ඇඳ අසල ම ය.

වරෙක හිස අත ගෑවේ ය. වරෙක දෙපා පිරිමැද්දේ ය. ඇය සිටි යහන කඩතිරවලින් ආවරණය කොට තිබුණු බැවින් ඇගේ නළල ද සිප ගත්තේ ය. ඇය ද ඔහුගේ දෑත් තරයේ ගෙන සිප ගත්තා ය. ඇය දැන් හැසිරෙන්නේ අවුරුදු දහසකට පමණ කාලයකට රටෙන් පිට වී යන්නට සූදානම් වූ පෙම්වතියකගේ ස්වභාවයෙනි. අනේ! ඇල්මක හැටි!

මේ තරුණ වෙද්‍යවරිය තම තාරුණ්‍ය පිළිබඳ ඇති ආශාවත්, ප‍්‍රසූති වේදනාව විඳීමට ඇති අකැමැත්ත හා කම්මැලිකමත් නිසා සිසේරියන් සැත්කමක් සඳහා සූදානමින් සිටියා ය. නියමිත වේලාවට ඇය සැත්කම සඳහා තිඹිරිගෙයට (වැදුම්වාට්ටුවට) ඇතුළු වූවාය. සැත්කම් කාමරයට ඇතුළු වන තුරුම ස්වාමියා ගේත් ඇගේත් අතැඟිලි පැටළී තිබිණි. සැත්කම ආරම්භයේ දී කළ නිර්වින්දන ප‍්‍රතිකාරත් සමඟ ඇයට නින්ද ගියා ය.

ඔවුන් ජීවත් වූයේ රජයේ නිල නිවාසයක ය. එහි කුස්සියේ ජනේලය යකඩ දැල්වලින් ආවරණය කොට තිබිණි. ඒ යකඩ දැල අතරින් රිංගා පිට වූවා ඇයට මතකය. පිට වූවා නොව එය විශ්වයට ඇදී යාමකි. කවුදෝ ඇයට අඩ ගසන හඬ ඇසිනි. “දැන් මේ ලෝකයෙන් ඉවත්ව යමු. මා සමඟ යමු” යි ඒ හඬ ඇය ඇමතූ බව ඇයට මතක ය.

ඒ හට අවනත විය යුතු වීය. ඇගේ ස්වධිපත්‍යය යටපත් ව ඇත. තර්ක කළ නොහැකි ය. නොගිහින් සිටින්නට අවකාශයක් නැත. ඇයට මතක ඇත්තේ ආරම්භය පමණි.

කුස්සියේ කබඩ් එකක් මත සිටියා මතකය. එතැන සිට ජනේලයේ යකඩ දැල් කොටුවක් තුළින් පිටතට ඇදී ගියා මතක ය. දැන් ඇය පාලනය වන්නේ වෙනත් බලවේගයක් මඟිනි. කොහොමද යන්නේ? කොයිබට ද යන්නේ? මේ කිසිවක් නොදනී. ඇදී යන බව පමණක් දැනේ.

ඇය එක් තැනක නතර වූවා මතකය. “ඔතන නොවෙයි තැන. එහාට යමු” යළිත් නියෝගයක් කරනු දැනිණි. යළිත් ඉදිරියට ම ඇදී ගියා ය. ඉතා ම සුන්දර සහනදායි ස්ථානයක නතර වූවා ය.

එය ළා තණ පිට්ටනියකි. ඈත සිතිජය කරා පෙනෙන විශාල පිට්ටනියකි. ඉතා ම සුවදායක ය. සුන්දරය. වායු සමීකරණය කළ කාමරයක ඇති සුවයක් දැනේ. ආපසු ඒමක් ගැන හිතෙන්නේ නැත. ප‍්‍රදේශය පුරා සහන් එළියට පැතිරී ඇත. මීදුම් ගතියක් පෙනේ. හරියට ම සඳ එළිය වැටී ඇත්තා සේ ය.

මේ අතර ඇයට සිය ස්වාමි පුරුෂයා මතක් වූවා ය. බැඳීම – ඇල්ම – ආදරය ඒ හැඟීම තුළ ගැබ් වී තිබිණි. ඒ සමඟ ම ඇයට වෙද්‍යවරුන් ගේ කටහඬ ඇසිණි. රෝහල් ඇඳක් මත සිටින බව දැනුණි.

ඇයට සිදුවූයේ කුමක්ද? වතුර වීදුරුවකට දැමූ ඩිස්ප‍්‍රින් පෙත්තක් සේ තමන් (මම) නැති වී ගියා මතකය. ගිය හැටි හෝ ආපසු ආ හැටි මතක නැත. එහෙත් ඒ සුන්දර අවස්ථාව අමතක කරන්නට ඇයට තවමත් නොහැකි ය. ඊට පෙරත් ඊට පසුත් ඇය දුටු සිහින ඇයට මතක නැත.

මේ සිද්ධියට දැනට අවුරුදු 15 ක් ගත වී ඇතත් එය එදා වගේ ම අදත් මතකයේ පැහැදිලිව ඇඳී පවතී. එසේ ම තමන්ට දරුවෙකු උපන් බව පවා ඇය මනෝමය කයෙන් ගිය මේ ගමනේ දී සිහිපත් වූයේ නැත. ඊට හේතුව ලෙස ඇය කියන්නේ තම ස්වාමියාට තිබූ දෑඩි ඇල්ම නිසා බව ය.

එසේ නම් අද ඉඩකඩම් හා නිවාස පිළිබඳ ඇල්මෙන් සිටින උදවිය මිය ගිය විට උපදින්නේ කොහේ දැයි සිතා ගත හැකි ය. ඉඩකඩම් හා නිවාස පිළිබඳ චඋ තණ්හාවෙන් මිය යන අය සතර අපාගතව ඒ ආශාවෙන් ම දුක් විඳිති. සමහරු මළ පෙ‍්‍ර්තයන්ව ද සමහරු තිරිසන් සතුන් ලෙස ද ඒ නිවෙස්වල ම උපදිති.

එවැනි සිද්ධියක් මාතර දිස්ති‍්‍රක්කයේ එක්තරා ගම්මානයකින් අසන්නට ලැබෙයි. මේ ගමේ අදින් පරම්පරා හතරකට පෙර ගම් ප‍්‍රධානියෙක් සිටියේ ය. ඔහු ගේ පියා ද ගම් ප‍්‍රධානියකු වූ අතර ඔවුන්ට වතුපිටි කුඹුරු ඉඩකඩම් අක්කර දෙතුන් සියයක් අයත්ව තිබිණි.

පියා වයස් ගත වූ විට එයින් එක් ඉඩමක් විහාරයක් සඳහා පූජා කළේ ය. ඒ ඉඩම විහාරයක් ඉදිකිරිම සඳහා පරිත්‍යාග කිරීමේ දී පුතා දැඩි සේ විරුද්ධ විය. පියාට ද බැණ වැදුණේ ය. සංඝයා වහන්සේට ද බැණ වැදුණේ ය. එහෙත් පියා තමන්ගේ තීරණය වෙනස් කළේ නැත.

පියා ගේ ඇවෑමෙන් පුතාට ඉඩකඩම්වල අයිතිය හිමි විය. හෙතෙම පවුලේ අනිකුත් සහෝදර සහෝදරියන් ගේ අයිතිය ද තමන් සතු කැර ගත්තේ ය. ගම් ප‍්‍රධාන බලය පාවිච්චි කරමින් ඔහුගේ තණ්හාධික උවමනාවන් ඉෂ්ට කැර ගත්තේ ය.

සහෝදරියන්ට විවාහයක් කැර ගැනීමට ඉඩ නොතබා ඔවුන් වයස් ගත වූ විට ඔවුන්ගේ උරුමයන් ද තමන් සතු කැර ගත්තේ ය. ඔහුට තවත් එකම සහෝදරයෙක් සිටි අතර ඔහු ද අකාලයේ මිය ගියේ ය.

ඒ මරණය පිළිබඳව ද ගම්වාසීහු විවිධ මත පළ කළහ. කෙසේ හෝ මේ සියලු ඉඩකඩම් කුඹුරු වතුපිටි ගම් ප‍්‍රධානයා සතු විය. අවසානයේ ඔහු මිය ගියේ ද “අනේ! මට මැරෙන්න බෑ. මට මේවා අතහැර යන්නට බැහැ” යි විලාප දෙමිනි. අඬමිනි.

ඔහු මී මුත්තා බවට පත් කරමින් දැන් මේ ඉඩම්වල අයිතිය දරන්නේ ඔහුගේ මී මුණුපුරෝ ය. මෙයින් එක් මී මුණුපුරකු ජයන්ත නමින් මේ ගමේ ම පදිංචිව සිටියි.

ජයන්ත සාමාන්‍ය ගම් වැසියෙකි. කුඹුරු ගොවිතැනින් ජීවත් වෙයි. සාමාන්‍ය පවුලක කාන්තාවක් සමඟ විවාහ වී දියණියන් දෙදෙනකු හා පුතුන් දෙදෙනකු ලබා ඔවුන් සමඟ ජීවත් වෙයි. ජයන්ත ගමේ කිසි කෙනෙකුට පාඩුවක් හිංසාවක් නැතිව පිනට දහමට ද දායක වෙමින් ජීවත් වෙයි.

ජයන්තගේ මව් පිය දෙදෙනා ද ගමේ පන්සලේ දායකත්වය ගෙන දන් පින්හි යෙදුණු නිසා ඒ හුරුව ජයන්තට ද උරුම වූවා විය හැකිය. මෙසේ කලක් ගත වන විට ජයන්තගේ වැඩිමහල් දියණිය රෝගාතුර වූවා ය. බටහිර හා සිංහල වෙදකම්වලින් සුවයක් නොලද තැන යන්ත‍්‍ර මන්ත‍්‍රවලින් ද බෞද්ධ පිළිවෙත් වලින් ද පිහිට පතන්නට සිදු වී ය.

දිනක් මේ දියණියට ශාන්ති කර්මයක් කරද්දී ඇය ප‍්‍රලය වූවා ය. ඇදුරන් විසින් ඇය සමඟ සාකච්ඡා කරනු ලබද්දී ඇගෙන් කියැවුණේ මෙවැනි විස්තරයකි.

“ජයන්ත! මම උඹේ මී මුත්තා. මම බොහෝ ම අමාරුවෙන් තමයි මේ දේපළ ගොඩ නැගුවේ. දැන් ඒවා බෙදිලා ගිහින් එක එකා බුක්ති විඳිනවා. උඹලා මේ ජීවත්වෙන්නේ මගේ වලව්ව තිබුණු තැන.

එදා මම මේ වලව්වේ ජීවත්වුණේ රජෙක් වගේ. මේ වත්තෙන් එක පොල් ගෙඩියක්, පොල් අත්තක්, කෙනෙකුට ගෙනියන්න දුන්නේ නෑ. උඹලා දැන් දොර දන් දෙනවා. මම මේවා බලාගෙන ඉන්නවා.

මම මැරිලා දැනට අවුරුදු දෙසිය ගණනක් වෙනවා. මේ කාලය ඇතුළත මම තිස් හතළිස් වතාවක් බලු ආත්මයේ ඉපදිලා මේ ඉඩමත් ගෙයත් ආරක්ෂා කළා.

මම ඒ හැම ආත්මයක ම උපන්නේ පන්සලේ බැල්ලියන්ගේ කුසෙන්! පන්සලේ ඉපදිලා පන්සලෙන් කාලා ලොකු වුණාම මේ ගෙදරට ඇවිත් මේ ගෙවල් දොරවල් පරෙස්සම් කළා.

මේ ගෙදරින් මේ ඉඩමෙන් කාටවත් පොල් ගෙඩියක් අහුලා ගෙන යන්න දුන්නේ නෑ. මිනිසුන් සපා කෑ වාර ගණන අනන්තයි. එහෙම මිනිහෙකුට සපා කන්න පනිද්දී ඌ ගහපු ගල් ගෙඩියක් ඔලුවේ වැදිලයි ගිය ආත්මයේ මම මැරුණේ. උඹලාට මතක ඇති. එ

තැනින් මැරිලා පෙ‍්‍ර්ත ආත්මයක ඉපැදුණා. උඹ පින් දහම් කරලා උඹේ අම්මා තාත්තාට ආච්චි සීයට පින් දුන්නට මට පින් දුන්නේ නෑ. මම උඹේ මී මුත්තා. මට මේ දුක තවත් විඳින්න බෑ. මේ දුකෙන් මිඳෙන් මට පින් දියන් පුතේ” යි කීවා ය.

මේ පිළිබඳව ගලිගමුවේ ඥානදීප හිමියන්ගෙන් විමසුයෙමු.

“මේ ආත්මයේ හෝ සසර බරපතළ අකුසලයක් කළොත් ඒ අකුසල විපාකය යම් තරමකින් හෝ අඩු කැර ගන්න නම් ඒ වගේ ම බරපතළ කුසල කර්මවල යෙදෙන්න ඕනෑ.

ඒ වගේ බරපතළ අකුසල්වලට මල් වට්ටියක් පූජා කැර පමණක් ගැලවෙන්න බැහැ. අනුන්ගේ යහපත පිණිස වියහියදම් කර කුසල කර්මවල යෙදෙන්න ඕනෑ.

දුප්පතුන්ට ගෙවල් හදාදීම, පන්සල් සෑදීම, භාවනා මධ්‍යස්ථාන, භාවනා කුටි සාදාදීම වැනි කුසලයන්හි යෙදෙන්න ඕනෑ. එහෙම බැරි නම් ආරණ්‍ය ගත වී මාසයක් දෙකක් භාවනා කරන්න ඕනෑ” යි පැවසූහ. යන්ත‍්‍ර මන්ත‍්‍ර ක‍්‍රම වලින් ලැබෙන්නේ තාවකාලික සහනයක් පමණකි.

එවැනි උදවියට ආධ්‍යාත්මීය සහනයක් ලබාදීම සඳහා භාවනා මධ්‍යස්ථානයක් ආරම්භ කිරීමට දැනට කටයුතු කැර ගෙන යයි. එවැනි අයට ඥානදීප හිමියෝ අය කිරීමකින් තොරව උපදේශනය ලබා දීමට ද සූදානම්ව සිටිති. ඒ පිළිබඳ දැන ගැනීමට අවශ්‍ය අය 071 – 639869 දුරකතන අංකයෙන් විමසන්න.

මතුගම මහින්ද විජේතිලක


Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

Categories

%d bloggers like this: