Posted by: lrrp | December 13, 2008

නිමලව වන සෙනසුන

තිස්සමහාරාම නගරයේ සිට ඓතිහාසික යෝධවැව් කණ්ඩිය මතින් කිරින්ද දක්වා ඇති මාර්ගයේ සැතපුම් 05 ක් පමණ දුර ගොස්, යාල අභය භූමිය දෙසට හැරී සැතපුමක් පමණ ගියකළ නිමලව අභය භූමිය ආශි‍්‍රතව ආරණ්‍ය සේනාසනය පිහිටා තිබේ.

ශ්‍රී කල්‍යාණි යෝගාශ්‍රම සංස්ථාවට අයත් වන සෙනසුන් පිළිවෙත් දම් රකින ශික්‍ෂාකාමී, යෝගාවචර භික්‍ෂූන් වහන්සේගේ නිවැසි භාවයෙන් සැදුම් ලත් උතුම් වූ පින් බිමෙකි. ඈත අතීතයේ මහ රහතන් වහන්සේලාගේ පාද ස්පර්ශයෙන් පවිත්‍ර වූ පුණ්‍ය භූමියකි.

ශ්‍රී බුද්ධ වර්ෂ 300 – 400 අතර මින් වසර 2200 කට පමණ පෙර ප්‍රභින්න ප්‍රතිසමභිදාප්‍රාප්ත, මහා ක්‍ෂිණාශ්‍රව ධම්මදින්න මහරහතන් වහන්සේ ප්‍රධාන දස දහස් ගණන් මහරහතන් වහන්සේ වැඩසිටි තුලාධාර පබ්බත, තලංගර පබ්බත, තලංගර තිස්ස පබ්බත යනාදි නමින් ප්‍රසිද්ධව පැවති රමණීය පුණ්‍ය භූමිය අද නිමලව ආරණ්‍ය සේනාසනය නමින් පූජනීයත්වයට පත් වී තිබේ. රහතුන් වැඩ සිටිය ගල් ගෙවල් සහ පැන් පොකුණු, ශිලා ලිපි ආදී පෞරාණික දෙයින් ගහණ මේ ප්‍රදේශය, රුහුණේ ශුද්ධ භූමිය ලෙසින් සැලකේ.

හාත්පස සිය ගණන් ගල්ලෙන් සොයාගෙන තිබේ. මේ සියල්ලම ඉතා පැරණි මහරහත් උතුමණ්ට සෙවණ දුන් පැරණි අක්‍ෂරයෙන් ලියන ලද ගල් ලිපි විශාල ප්‍රමාණයකි. එකක මහනාග රජුගේ මුනුපුරකු ගැන සඳහන් වේ. ඒ කාවන්තිස්ස රජු විය යුතු ය. එසේම ධම්මදින්න මහරහතන් වහන්සේ වැඩ සිටිය තලගුරු වෙහෙර බවට සඳහන් තවත් ශිලා ලිපියකි. ධම්මරක්ඛිත මහරහතන් වහන්සේට නාන පොකුණක් පූජා කළ බව සඳහන් ගල් ලිපියක්ද, භූමි පූජාවක තොරතුරු සඳහන් දීර්ඝ ශිලා ලේඛණයක්ද මේ අතර වේ. එමෙන්ම භෂ්මාවශේෂයන් අතර ගරා වැටුණු සෑයක් ද ඇත්තේ ය. ගලේ කොටා තිබෙන ධම්මදින්න මහරහතන් වහන්සේ සැතපුන කුටිය ආදී ස්ථාන දකින විට සැදැහැයෙන් සිතත් පී‍්‍රති කඳුලෙන් නෙතත් පිරී යන්නේ ය.

දුර්භීක්‍ෂ ඇතුළු ස්වභාවික විපත් හා වෙනත් ව්‍යසන හේතුකොට ගෙන යෝගාවචර භික්‍ෂූන් වහන්සේ සෙනසුනෙන් ඈත් වීමත් සමඟ සියවස් ගණනක් තිස්සේ ඝණ වනයෙන් වැසීගිය, වන සතුනට රජ දහනක්ව පැවති මෙම තපෝ භූමිය යළිත් සොයාගෙන අද පවත්නා තත්ත්වයට මහත් පරිශ්‍රමයකින් ගොඩනගන ලද්දේ පණ්ඩිත කඩවැද්දුවේ ජිනවංශ නාහිමිපාණන් වහන්සේගේ අප්‍රතීහත ධෛර්යයෙනි.

1950 දෙසැම්බර් 23 දින ප්‍රධානාචාර්ය පණ්ඩිත මාතර සිරි ඤාණාරාම මාහිමිපාණන් වහන්සේ සහ ප්‍රධාන අනුශාසක පණ්ඬිත කඩවැද්දූවේ ජිනවංශ මාහිමිපාණන් වහන්සේ ඇතුළු ස්වාමීන් වහන්සේ පස් නමක් නිමලව ශුද්ධ භූමියට වැඩම කරවා යෝගාහ්‍යාසාලාභීනට සුදුසු ජය භූමියක් යැයි සම්මත කරනු ලැබී ය. ඉන් පසු මෙත්තා, කරුණා, ධම්ම විචය යන ලෙන් කුටි තුනක් ප්‍රථම වරට සකස් වූ අතර 1951 ජූලි 18 වන දා පණ්ඬිත කඩවැද්දුවේ නාහිමියන්ගේ ශිෂ්‍යරත්නය වන පණ්ඬිත ගැටමාන්නේ විමලවංශ හිමි ඇතුළු ස්වාමීන් වහන්සේ තුන් නමක් ආරණ්‍ය සේනාසනයේ ප්‍රථම වතාවට පෙරවස් එළඹුනාහ. පුරාණ තලගුරු වෙහෙර නිමලව ආරණ්‍ය සේනාසනය නමින් භාවිතයට පත්වූයේ ද විමලවංශ ස්වාමීන් වහන්සේ අතිනි.

එවක් පටන් අද දක්වා මෙම පින්බිම, සීලගුණ පුරමින් සමථ විපස්සනා යෝගීව, විවේක විහරණයෙන් වැඩ සිටිනු කැමති ශික්‍ෂා ගරුක බුද්ධ පුත්‍රයන් වහන්සේට පහසු විහරණ සලසමින් විශාල සාසනික මෙහෙවරක් සිදු කරනු ලබන තපෝභූමියක් බවට පත් වී තිබේ.එමෙන්ම දැනට මෙය විහාර මන්දිරය, ආකාශ චෛත්‍යය, බෝධීන් වහන්සේ, සීමා මාලකය, පුස්තකාලය, ගිලන් හල, දාන ශාලාව, පිණ්ඩපාත ශාලාව සහ ක්‍රමානුකූලව සාදන ලද සක්මන් මළු, ගල් පොකුණු හා ප්‍රධාන වශයෙන් ධම්මදින්න මහරහතන් වහන්සේ වැඩ විසූ මහාරබ්භක ලෙන ඇතුළු ලෙන් කුටි 16 ක් සහ තම්මැන්නාව තපෝභූමිය තුළ තවත් ලෙන් කුටි 07 ක්ද ඇතුළුව සකලාංගයන්ගෙන් සම්පූර්ණව ඇත්තේ ය. මෙහි පිවිසි කෙනෙහිම සිත් වසඟ කරවන පුදුම බලයක් මේ බිමෙහි කැවී ඇති බව සැමදෙනාගේම පිළිගැනීමයි. එය අන් මහිමයක් නොව රහත් උතුමන්ගේ ශාන්ත, කරුණාගුණ රසය කැවී පැවැත්මේ මහිමයයි.

වියළි කලාපයට අයත් වන මෙම ප්‍රදේශයේ පවතිනුයේ ඉතා ශුෂ්ක වූ දේශගුණික ස්වභාවයකි. වැසි ලැබෙනුයේ වසරේ ඉතා සීමිත කාලයකදී පමණි. එනම් ඔක්තෝබර්, නොවැම්බර්, දෙසැම්බර් මාසවලය. එයිනුත් බහුලවම වැසි ලැබෙනුයේ නොවැම්බර් මැද සිට දෙසැම්බර් අග දක්වා ය. එය මි.මී. 550 ක පමණ වර්ෂාපතනයක් ලෙස ගණනය කර ඇත. වර්ෂයේ ඉතිරි කාලය වියළි ස්වභාවයක් උසුලයි. විශේෂයෙන් ජූලි, අගෝස්තු සහ සැප්තැම්බර් වන විට දැඩි නියං තත්ත්වයක් ඇති වේ. මේ කාලයේදී ප්‍රදේශය පුරා ඇත්වන්නේ උග්‍ර ජල හිඟයකි. මෙහි පානීය ජල පහසුකම් ලබා දෙනුයේ නළ ජලය මගිනි. එයද සෑම දිනකම රාත්‍රියේ පැය කිහිපයකට පමණක් සීමා වේ. ජල හිඟයත් සමඟම එම සැපයුමද සම්පූර්ණයෙන්ම කපා හැරේ. මෙලෙස නියං සමය වනවිට සතා සිව්පාවුන් පමණක් නොව මිනිසුන්ද ඉතා අසරණභාවයට පත් වේ.

මෙම වකවානුවේ දී නිමලව ආරණ්‍ය සේනාසනයේද ජල ප්‍රශ්ණය උග්‍ර අතට හැරේ. මෙයට පිළියම් වශයෙන් සිදුකරනුයේ දායක සභාව විසින් මුදල් ගෙවා බවුසර් මගින් ජලය ගෙන්වා ගැනීමයි. එයද තිස්ස, යෝධවැව ආදී සීමිත ජල ප්‍රමාණයක් ඉතිරිව ඇති, මුළු ප්‍රදේශවාසීන්ගේම සියලු අවශ්‍යතා ඉටුකරගන්නා ස්ථාන කිහිපයකිනි.

වැසි නැවතී මාස 02 ක් පමණ ගත වෙත්ම සියලු ස්වභාවික ජල මූලාශ්‍රයන් වියැලී යයි. ස්වාභාවික උල්පත් මගින් ලබාගත හැකි ජල පහසුකම් මෙම ප්‍රදේශයට උරුම නොවේ. මෙහි භූමිය වැලි අධික ස්වභාවයෙන් යුතු පසකින් යුක්ත වීම නිසා භූගත ජලය රඳවා ගත නොහැක. කරුණු මෙසේ හෙයින් නිමලව සේනාසනය ආශි‍්‍රතව ඇති උග්‍ර ජල හිඟය විසඳීම කාලීන අවශ්‍යතාවයකි.

මෙම ජල පහසුකම් ලබා ගැනීමට හැකියාව ඇත්තේ වැසි ජලය ඒකරාශිකර පරිහරණය කිරීමයි. දැනට පුරා වසර 40 කට අධික කාලයක් නිමලව ආරණ්‍ය සේනාසයෙහි වැඩ වාසය කරන සේනාසනාධිපති වැලිමඩ ධම්මදස්සි නාහිමිපාණන් වහන්සේගේ ද අදහස වන්නේ ද වැසි ජලය ඒකරාශී කිරීම සඳහා ආරණ්‍ය ආශි‍්‍රතව වැවක් තැනීම විසඳුම බවයි. ජල ප්‍රශ්නයට විසඳුම් වශයෙන් නිමලව අභය භූමිය තුළ ආරණ්‍යයට යාබදව පඩිකෙම ඇරවැව සහ මහා ආර වැව නමින් වැව් දෙකක් නිමලව සංරක්‍ෂණ පදනමේ මූලිකත්වයෙන් තැනීමට සැලසුම් කර ඇත.


Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

Categories

%d bloggers like this: