Posted by: lrrp | January 5, 2009

පැතුමක් සඵල කරමින් සිරිපා අඩවියට පුද දුන් සමන් දෙවි පිළිරුව

මේ ජීවිතය තියෙන තාක් ඒ දවස නම් අමතක වෙන්නෙ නෑ. සිරි පා කරුණාකරලා එන්න පිටත් වෙත්දී රෑ බෝ වෙලා තිබුණා. වෙලාව පාන්දර දෙකට විතර ඇති. වෙහෙසයි, නිදිමත ගතියයි නිසා විවේකයක් අරගෙන යමුයි කියලා අපි කතා වුණා. ඔහොම ඇවිත් අපි තුන්දෙනා සාම චෛත්‍යය ළඟ වැතිරුණා. එතනදි මම පුදුම දෙයක් දැක්කා. සමනළ කන්ද ඉදිරිපිට තියෙන කඳු වැටියෙන් එළියක් මතු වුණා. කහ පාටට දිළිසුන ඒ ආලෝකය බොහොම හෙමින් අවකාශයේ ගමන් කරන්න ගත්තා. මේ දකින්නේ හීනයක් ද කියලා සැක හැර දැන ගන්න මම දෑස් පිහදාලා අවට බැලුවා. මාත් එක්ක ආව අනිත් සාමණේර දෙනම හොඳටම නිදි. සිරිපා කරුණා කරන්න ආව තවත් ගිහි උදවිය කිහිප දෙනෙකුත් අහළ පහළ ගැවසුණා. නමුත් ඒ ඇත්තෝ මේ එළිය දැක්ක වගක් පෙනුණේ නෑ. ඒ කහ පාට ආලෝකය හෙමිහිට හෙමිහිට සිරි පා මළුව දක්වා ගමන් කළා…”


සුමන සමන්
දෙව් පිළිරුව

“ශි‍්‍ර පාදය වන්දනා කරලා පිරිවෙනට ආවට පස්සේ මම දැක්ක දේ ගුරු හාමුදුරුවරුන්ට කීවා. මම දැකලා තියෙන්නෙ සුමන සමන් දෙවියෝ සිරිපා මළුවට ගමන් කරන ආකාරයයි කියලා දැන ගත්තා. ඒ වෙන කොට මගේ වයස අවුරුදු 16 යි. සුමන සමන් දෙවියන් ගේ ප‍්‍රතිමාවක් හදලා ශී‍්‍රපාදස්ථානයට පූජා කරනවා ය කියලා මට ලොකු අධිෂ්ඨානයක් ඇති වුණා. හැබැයි ඒ බලාපොරොත්තුව මගේ හිතට කොහොම ඇතුල් වුණා ද කියන්න මම දන්නේ නෑ…”

“… මේ සිද්ධියෙන් පස්සේ සෑහෙන කාලයක් ගත වෙලා ගියා. නමුත් අර අදහස දිගටම හිතේ බලපෑවා. ඒ සිද්ධියෙන් විසිහය අවුරුද්දකට පස්සේ අපිට පුළුවන් වුණා ඒ බලාපොරොත්තුව ඉෂ්ට සිද්ධ කර ගන්න. ගිය උඳුවප් මාසේ පුර පසළොස්වක පොහොය දා සිරිපා වන්දනා සමය ආරම්භ වෙනවත් එක්කම සුමන සමන් දෙවියන් ගේ රන් ආලේපිත ප‍්‍රතිමා දෙකක් ශී‍්‍රපාදස්ථානයට පූජා කළා. වන්දනාවේ යන බැතිමතුන් තෙරුවන් සරණින් සිරිපා කරුණා කරනවා වගේ ම සුමන සමන් දෙවියෝ ගැනත් ඒ ඇත්තන්ට ලොකු භක්තියක් තියෙනවා. කලාතුරකින් චිත‍්‍ර සටහනකින් මිස සුමන සමන් දෙව් රුව ප‍්‍රතිමාවකින් දකින්න කාටවත් ඉඩක් ලැබුණයි කියලා මම හිතන්නේ නෑ. අපේ දැනීමේ හැටියට ඉතිහාසයේ මුල් ම වතාවටයි සමන් දෙවියන් ගේ ලෝහමය ප‍්‍රතිමාවක් සිරිපා මළුවට වැඩම කළේ…”

“හැබැයි අපට යම් බාධා මතු වුණේ නැත්තෙත් නෑ. සුමන සමන් දෙවියන් ගේ හැඩරුව මොන වගේ ද නොදැන ප‍්‍රතිමාවක් නිර්මාණය කරන්නේ කොහොමද…? පැරණි කාලේ සිතුවමක් හොයන්න මහන්සි ගත්තා. ශී‍්‍ර පාදස්ථානාධිපති නායක හාමුදුරුවෝ, ධම්පහළ ශීලානන්ද හාමුදුරුවෝ වගේ ම බදුරලියේ දයාවංශ හාමුදුරුවොත් මට බොහෝම උපකාර කළා. බොහොම අසීරුවෙන් හොයාගත් චිත‍්‍ර සටහනකුත් අරගෙන මම තායිලන්තයට ගියේ මේ කටයුත්ත මොන ක‍්‍රමයකට හරි ඉෂ්ට සිද්ධ කරනවා ය කියන අදහසත් ඇතුවයි… සාමාන්‍ය තක්සේරුවේ හැටියට ප‍්‍රතිමා දෙක නිර්මාණය කරන්න තායිලන්ත මුදලින් බාත් දහතුන් ලක්ෂයක් විතර වුවමනා වන බවත් පෙනුණා.

ඊටත් වඩා මට වුවමනා වුණේ මගේ හිතේ හැටියට මුල් චිත‍්‍ර සටහන අනුව ම මේ ප‍්‍රතිමාව නිර්මාණය වෙනවා දකින්නයි. මම තායිලන්තයේ මගේ පන්සලට ගිහින් වැඩි වෙලාවක් ගතවුණේ නෑ… ප‍්‍රධාන පෙළේ දායක යුවළක් පන්සලට ආවා. ඒ ඇත්තන්ට කාරණය කිව්වා. පුදුමයකට වගේ ඒ අය කිසිම පැකිලීමක් නැතිව මේ කටයුත්තට දායක වෙන්න ඉදිරිපත් වුණා. ඒ විතරක් නෙවෙයි දේව ප‍්‍රතිමා නිර්මාණය කිරීම මගේ අධීක්ෂණය යටතේ අපිට ඕනෑ හැටියට කෙරෙන්න ඕනෑ ය කියලා කීව අදහසටත් ඔවුන් ගරු සරුව එකඟ වුණා… අපිසිං අසව කෝකේ සහ හනිකා අසව කෝකේ කියන දායක යුවළ තමා මුලින් ම බර පැන දරන්න ඉදිරිපත් වුණේ…”

“තායිලන්තය ලෝහමය ප‍්‍රතිමා නිර්මාණයට ප‍්‍රසිද්ධයි. නමුත් අපේ කටයුත්ත ඉටු කරන්න පුළුවන් නිර්මාණ ශිල්පියෙක් හොයා ගන්න එක සෑහෙන දුෂ්කර තත්ත්වයකට පත්වුණා. මම චිත‍්‍ර සටහන් අරගෙන නොයෙක් නොයෙක් තැන්වලට ගියා. හැමෝම මේ කටයුත්තට අත ගහන්න බය වුණා. තවත් සමහරුන් කෙළින්ම කීවා මේක කරන්න බැහැයි කියලා.

අපිත් අපේ උත්සාහය අතහැරියේ නෑ. දේව ප‍්‍රතිමාව නිර්මාණය කරන්න කැමැති කවුරුහරි නිර්මාණ ශිල්පියෙක් තායිලන්තයෙන් ම හොයා ගන්න පුළුවන් වෙයි කියන විශ්වාසය මට තිබුණා. ඒ අනුව තවත් මහන්සි ගත්තා. අන්තිමේදී මේ කටයුත්ත නිසි විදිහට කරන්න හැකියාවත් විශ්වාසයත් කියන කාරණා දෙකම තිබුණ නිර්මාණකරුවා අපිට හමු වුණා. ඉතාම අමාරුවෙන් හොයා ගත්තා වුණත් අපේ කොන්දේසි අනුව පිළිමය නිර්මාණය කරන්නත් ඔවුන් එකඟ වුණා. මේකත් මට අමතක නොවන සිද්ධියක්.”

“සුබ නැකත් බලලා – ආගමික වතාවත් මැද මුලින් ම මී ඉටිවලින් අච්චුව හැදුවා. ඇහි බැම නාසය හදලා තිබුණේ තායිලන්ත ශෛලියටයි. ඒවා නැවත හැදෙව්වා. තවත් සංශෝධන ගණනාවක් කෙරෙව්වා. ඒ වෙනස්කම් කරන්න අකමැති වෙයි කියලා මුලින් බයක් දැනුණත් අපි කියපු ආකාරයටම ප‍්‍රතිමාව නිර්මාණය කළා. ඉන් පස්සේ සෙත් පිරිත් සජ්ජායනා මැද අච්චුවට ලෝහ වැක්කිරීම සිදු කළා. රන් පත් ඉරු, මුදු, මාල යනාදි හැටියට රත්තරන් සැලැකිය යුතු ප‍්‍රමාණයක් දේව ප‍්‍රතිමාවට මිශ‍්‍ර කළා.


අවිස්සාවේල්ලේ ධම්මානන්ද හිමි

දෙවනුව සිදු කෙරුණේ ප‍්‍රතිමා දෙකෙහි රන් ආලේප කිරීමයි. මේ අතරේ තවත් අපූරු ;දයක් සිද්ධ වුණා. රන් ආලේප කරලා තිබුණ දේව ප‍්‍රතිමාව දැක්ක එක්තරා භික්ෂුන් වහන්සේ නමක් නිර්මාණ ශිල්පියාට කියලා තියෙනවා බාත් දහතුන් ලක්ෂයකට වඩා දෙගුණයක් ගෙවන්නම් ප‍්‍රතිමාව විකුණන්න කියලා. නමුත් විශ්වාසය අකුරටම රැක්ක නිර්මාණ ශිල්පියා ඒ කතාව අපිට කිව්වා. තමන් ගේ අරමුණ ඉටු නොවන බව දැන ගත්ත අර හාමුදුරුනම කියලා තියෙනවා එහෙනං මුල් අච්චුවට අනුව තවත් පිළියමක් හදලා දෙන්න ය හොඳ මුදලක් ගෙවන්නම් ය කියලා. මේ කතාවත් අපිට ආරංචි වුණා. අන්තිමේදී ප‍්‍රතිමාවේ මුල් අච්චුව විනාශ කරන්න අපි තීරණය කළා…”

අවිස්සාවේල්ලේ ධම්මානන්ද හාමුදුරුවෝ විස්තර කරපු විදිහට ඉතිහාසයේ ප‍්‍රථම වරට සුමන සමන් දෙවියන් ගේ ප‍්‍රතිමා දෙකක් නිර්මාණය වුණේ ඔය විදිහටයි. මෙයින් ලොකු ම දේව ප‍්‍රතිමාව අඩි 10 ක් උසයි. බර කිලෝග‍්‍රෑම් 900 ක්. ගිය උඳුවප් මාසෙ ලංකාවට වැඩම කෙරුණ සුමන සමන් දේව ප‍්‍රතිමාව, රජ ගෙදරදි මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා අතින් පූපෝපහාරයට ලක් වුණා. ඒ අවස්ථාවට තායිලන්තයේ බෞද්ධ නියෝජිතයන් පිරිසක් ද එකතු වුණා. රජ ගෙදරින් ගමන් ආරම්භ කළ දේව ප‍්‍රතිමාව රැගත් පෙරහර මග දිගට බැතිමතුන් ගේ වන්දනාමානයට පාත‍්‍ර වෙමින් සාදු හඬ මැදින් සමනල කන්දේ ශී‍්‍ර පාද මළුව දක්වා වැඩම කෙරුණා. ධම්මානන්ද හිමියන් වයස අවුරුදු 16 ක සාමණේර හිමි නමක් ව සිටිත් දී හිතේ ඇති වුණ බලාපොරොත්තුවක් ඉෂ්ට සිද්ධ වුණේ ඒ ආකාරයටයි.

නමුත් මේ කතාවේ තවත් පැත්තක් තියෙනවා. ඒ තමා ධම්මානන්ද හිමියෝ නො කීව කතාව. සුමන සමන් දේව පිළිමය නිර්මාණය කරන්න උන් වහන්සේට බලපෑව සිද්ධිය වගේ ම මේකත් දෛවෝපගත සිද්ධියක්.

ආරියවංශ වික‍්‍රමසිංහ සහ ක්ලැරිස් වික‍්‍රමසිංහ යුවළට දාව 1965 මැයි මාසේ 06 දා පුතෙක් උපන්නා. වික‍්‍රමසිංහ ගේ ජගත් රෝහිත ආරියවංශ යනු වෙන් පවුලට මුලින් ම උපන් දරුවා නම් කෙරුණා. ඒත් හඳහන බලන්න ගිය වෙලාවේ දෙන්නා දෙමාල්ලන් ගේ මුහුණු අඳුරු වෙන්න වැඩි කාලයක් ගත වුණේ නෑ. මොකද දරුවට නො සෑහෙන්න අපල තියෙනවයි කියලයි දෛවඥයින් කිව්වේ.

මෙතැන් සිට ඒ කතාව කියන්නේ දරුවාගේ මව ක්ලැරිස් වික‍්‍රමසිංහ මහත්මියයි.

“ඒ කාලේ අපි පදිංචි වෙලා හිටියේ අවිස්සාවේල්ලේ. පොඩි කාලේ ඉඳලම පුතා හරිම දඟයි. අපලයි කියලත් අපි දැන ගෙන හිටියා. දඟකාර කම වැඩි වෙන කොට මම දවසක් ඇහුවා මොකද මේකට හේතුව කියලා. එතකොට පුතා කිව්වා මට මහණ වෙන්න ඕනෑ ය කියලා. අපි ඒ කතාව ගණන් ගත්තෙ නෑ. පවුලට මුලින් උපන් පිරිමි දරුවා පවුලෙන් පිටමං කරන්නත් අපි කැමැති වුණේ නෑ. ඒ කතාව දිගින් දිගටම තියෙද්දී අපේ පවුලට තවත් දරුවෝ ලැබුණා.


සුමන සමන් දෙව් පිළිරුව
සිරිපා අඩවියට වැඩම කරද්දී

හැබැයි ඒ සේරම ගෑනු දරුවෝ. ලොකු පුතා සහ එයාට බාල සහෝදරියන් හතර දෙනෙක් හිටියා. ඔහොම යත්දී පුතා දඟ කරනවාට අමතරව හාමුදුරුනමක් වගේ බණ, ගාථා කියන්නත් පටන් ගත්තා. ඇඳ ඇතිරිල්ලකින් සිවුරක් හදාගෙන, ඒ සිවුර පොරවගෙන ඇඳ උඩ එරමිණියා ගොතා ගෙන වාඩි වෙලා පුතා බණ කියනවා. නංගිලා සේරම එයා ළඟට ගෙන්න ගෙන පළපුරුදු හාමුදුරුනමක් වගේ බණ කියන්න ගත්තා. මේක සෙල්ලමක් මිස ඇත්තට වෙන දෙයක් ය කියලා අපි ඒ වෙන කොටත් ගණන් ගත්තේ නෑ. නමුත් ඇඳ ඇතිරිල්ලෙන් සිවුරක් හදා ගෙන බණ කියන එක නම් දිගටම කෙරුණා. මේ අතර අපිට සිද්ධ වුණා පදිංචිය මාරු කරන්න. පවුල පිටින් ම බලංගොඩට ගියා.

ඔය කාලෙදි පුතා ගේ හැසිරීම තවත් උග‍්‍ර වුණා. මහණ වෙන්න යන්නම ඕනෑ ය කියලා නො සෑහෙන්න වද කරන්න පටන් ගත්තා. පවුලට හිටිය එකම පිරිමි දරුවා මහණකමට දෙන්නේ කොහොමද කියලා අපිත් දිගටම විරුද්ධ වුණා. නමුත් පුතා ගේ කරදරය එන්න එන්න වැඩි වුණා මිස අඩු වුණේ නෑ. බැරිම තැන අපි ගිහින් බලංගොඩ ආනන්ද මෛතී‍්‍රය නායක හාමුදුරුවෝ බැහැ දැක්කා. උන් වහන්සේට විස්තරේ කීවා. දරුවගේ මූණ දැක්ක හැටියේ ම උන්වහන්සේ කීවා ළමයා පන්සලට බාර දෙන්න කියලා. ඒ වෙන කොට පුතා ගේ වයස අවුරුදු 11 ක් විතර ඇති…”

බලංගොඩ ආනන්ද මෛත‍්‍රීය මහ නා හිමියන් ගේ උපදේශයෙන් පන්සලට බාර කෙරුණු ජගත් රෝහිත ළමය ගේ ගුරු හිමියන් හැටියට පත් වුණේ විකිලියේ ගේ නාරද හාමුදුරුවෝ. ඉන් පස්සේ සාමාන්‍ය පාසල් ජීවිතයට ආයුබෝවන් කීව රෝහිත පිරිවෙන් අධ්‍යාපනයට හුරු වුණා. මේ රෝහිත තමා පසු කාලයක දී අවිස්සාවේල්ලේ ධම්මානන්ද යන නමින් බෞද්ධ භික්ෂුන් වහන්සේ නමක් බවට පත් වන්නේ. ඒ සිද්ධිය වුණේ 1976 දීයි.

ශී‍්‍ර පාදස්ථානයට සුමන සමන් දේව ප‍්‍රතිමාවක් පූජා කිරීමේ අදහස ධම්මානන්ද හාමුදුරුවන්ට ඇති වුණේ උන් වහන්සේ දැක්කා ය කිව්ව දේවතා එළිය නිසයි. පහුගිය දවසක අපිට අවස්ථාව උදා වුණා ධම්මානන්ද හාමුදුරුවොත් එක්ක පෞද්ගලිකව කතා කරන්න.

‘හාමුදුරුවනේ… ඉතිහාසයේ මුල් ම වතාවට ශී‍්‍රපාද මළුවට සුමන සමන් දේව පිළිමයක් වැඩම කරවන්න ඔබ වහන්සේ මූලික වීම ගැන බොහෝ දෙනා පිං දෙනවා ඇති. නමුත් ඔබ වහන්සේ වයස 16 දී දැක්කා ය කියන දේවතා එළිය ආකාශ වස්තුවක් වෙන්න බැරි ද? අද විද්‍යාවෙන් බොහෝම සරලව පෙන්වා දෙනවා ඔය ආකාශයේ දකින්න ලැබෙන පුදුමාකාර එළි හට ගන්නේ උල්කාෂ්ම – උල්කාපාත නිසා ය කියලා.

“උල්කාෂ්ම වායුගෝලයට ඇතුළු වෙත්දි හට ගන්නා දිළිසීම – ආලෝකය මම ඕනෑ තරම් දැකලා තියෙනවා. තායිලන්තයේදී ඒ වගේ උල්කාෂ්ම එළි බහුලව දකින්නත් පුළුවන්. මම එදා දැක්කේ කහ පාට එළියක්. ඒක මට අදටත් මතකයි. ඒ එළිය ඉහළ ආකාසේ ඉඳලා පොළවට ඇදිලා ආවා නෙවෙයි. සමනළ කන්ද ඉදිරිපිට තියෙන කඳු වැටියේ ඉඳලා බොහෝම හෙමිහිට ක‍්‍රමානුකූලව ගමන් කරලා ශී‍්‍රපාද මළුවට ඇතුළු වුණා. ඒක උල්කාෂ්ම දිළීසීමක් නෙවෙයි. මේ මෑතක දී මම තායිලන්තයේ දී දැක්කා අවකාශය හරහා කොළ පාට එළියක් වේගයෙන් ගමන් කරලා එතන රෝහලේ ඉහළ මාලයට ඇතුළු වෙන හැටිත්. ඒකත් උල්කාෂ්ම දිළිසීමක් නෙවෙයි’ යි ධම්මානන්ද හිමියෝ පැවසූහ. උන් වහන්සේ කාලයක සිට සමථ – විදර්ශනා භාවනාවෙහි යෙදෙන බවත්, ඊට අමතරව යෝග අභ්‍යාස හා භාවනාදියෙහි යෙදෙන බවත් අපිට අහන්න ලැබුණා. දේවතා එළි ගැන අපිට තිබෙන අති සීමිත සාමාන්‍ය දැනුමෙන් වාදයකට යෑම කොයි තරම් නිරර්ථක දෙයක් ද කියලත් අපිට වැටහුණා.

මේ කතාවේ තියෙන වැදගත් ම දේ හැටියට අපිට පෙනෙන්නේ විශ්වාසය හා අධිෂ්ඨානය යි. කවදා හෝ මහණ වෙනවා ය කියලා අම්මා – තාත්තා එක්ක දඟ කරපු පුංචි රෝහිත ඒ බලාපොරොත්තුව සඵල කර ගත්තා. ඉන් පස්සේ සමනල කන්දේදී දැක්ක අදිසි ආලෝකයත් එක්කම හිතේ පැලපදියම් වුණ ගැඹුරු බලාපොරොත්තුවත් එක්ක ධම්මානන්ද හාමුදරුවෝ වසර 26 ක් ජීවත් වුණා. සුමන සමන් දෙවියන් ගේ ප‍්‍රතිමා දෙකක් ශී‍්‍ර පාදස්ථානයට පූජා කිරීමෙන් උන් වහන්සේ ඒ දිගු කාලීන බලාපොරොත්තුවත් සඵල කරගත්තා. බලාපොරොත්තුවක් හට ගත්ත හැටියේ ම ඉෂ්ට සිද්ධ වෙන්නේ නෑ. කාලයක් ගත වෙනවා. නමුත් අත්‍යවශ්‍ය වන්නේ විශ්වාසය හා අධිෂ්ඨානය විතරයි කියන කාරණය මේ කතාවේදීත් මොනවට ඔප්පු කෙරුණා කියලයි අපේ අදහස.


Responses

  1. සාදු සාදු ….


Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

Categories

%d bloggers like this: