Posted by: lrrp | January 10, 2009

වෙහෙර හා පිළිම තනන බුද්ධ පුත‍්‍රයාණෝ

විදි ජීවිතයට ඇතුළත් වූ පමණින් භාවනා කිරීමත්, සිල් රැකීමත් හැරුණු කොට ඉන් ඔබ්බට ගොස් යම් දක්ෂතාවක් දක්වනභික්ෂුන් වහන්සේ අපේ සංඝ සමාජයේ නැතුවාම නොවේ. දක්ෂතා රැසකින් සපිරිණු මේ බුද්ධ පුත‍්‍රයාණන් වහන්සේ පිළිබඳව ඔබට කියන්නට අපට බොහෝ තොරතුරු ඇත්තේය.

වයස අවුරුදු දහහතරක් තරම් වයසේදී පැවිදි ජීවිතයට ඇතුළත් වූ වල්ගම චන්ද්‍රරතන හිමියන්ගේ උපන්ගම බණ්ඩාරගම වල්ගම ප‍්‍රදේශයයි.

පාණදුර සුමංගල විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය ලැබු අතර පැවිදි ජීවිතයට පත්වීමෙන් පසුව බණ්ඩාරගම වික‍්‍රමශීලා පිරිවෙනේ හා නුගේගොඩ සුභද්‍රාරාම පිරිවෙනේ ඉගෙනුම ලැබුවේය.

වල්ගම චන්ද්‍රරතන හිමි

“මගෙ අම්මා පතිරගේ ගුණවතී පෙරේරා. තාත්තා කරුණාරත්න නාහල්ල. අක්කයි අයියයි නංගියි ඉන්නේ. මම පවුලේ තුන්වැනියා. අපේ අම්මා නිතරම තුණුරුවන්ගේ ගුණ සිහිපත් කරනවා. සතිපට්ඨානය කියවනවා. මගේ හිතේ තුණුරුවන් පිළිබඳව විශාල ඇල්මක් තිබුණා.

අම්මා කියන මේ දේවල් නිතර හිතේ තැන්පත් වුණා. ඔය කාලයේ තමයි පාණදුරේ අරියධම්ම හාමුදුරුවෝ අපවත්වුණේ. උන්වහන්සේගේ ආදාහන කටයුතුවලට සම්බන්ධවීමේ අවස්ථාව ලැබුණා. පැවිදි වෙන්න අවසර ඉල්ලලා අරියධම්ම හිමි කීව කවි මගේ හිතේ රැඳිලා තිබුණා.

මටත් හිතුණා මහණ වෙන්න. එතකොට මගෙ වයස අවුරුදු දාහතරක් විතර ඇති. මගෙ තාත්තා තදින්ම විරුද්ධ වුණා. ඒත් මම මහණ වීමට ගත්ත තීරණය අතහැරියේ නෑ. දර්ශනපති රොටඹුවේ පේ‍්‍රමරතන ගුරු හාමුදුරුවන් යටතේ පැවිදි දිවියට ඇතුළත් වුණා. ඒ එක්දහස් නමසිය අනූඑක වසරේ නොවැම්බර් දෙවැනිදා.

මම වික‍්‍රමශීලා පිරිවෙනේ ඉගෙන ගත්තා. ඊට පස්සේ සුභද්‍රාරාම පිරිවෙනෙන් බාහිර උපාධිය හැදෑරුවා. මාස කිහිපයක් සුභද්‍රාරාම පිරිවෙනේ නේවාසිකව හිටියා. කාලයක් ගියාට පස්සේ තාත්තගෙ අකමැත්ත නැතිවෙලා ගියා. ”

බණ්ඩාරගම වික‍්‍රමශීලා පිරිවෙනේ ගුරුවරයකු ලෙස කටයුතු කරන චන්ද්‍රරතන හිමියෝ ඉගැන්වීමට පමණක් නොව කලා කටයුතුවල ද යෙදෙන්නාහ.

උත්සාහය, ධෛර්යය, හා කැපවීම උන්වහන්සේ වෙතින් නිරන්තරවම දක්නට ලැබෙන්නේය. තරුණ වියෙහි පසුවන චන්ද්‍රරතන හිමියෝ තම ජවය යොදා අගනා කටයුත්තකට මුලපුරා සිටින්නාහ.

උන්වහන්සේගේ උදව්වට සිටින්නේ විහාරස්ථානයේ වැඩවාසය කරන සාමණේර ස්වාමින් වහන්සේ කිහිප නමක් හා ගමේ තරුණ පිරිසත්, උපාසක උපාසිකා පිරිසත්ය. චන්ද්‍රරතන හිමියන් ආරම්භ කර ඇති කටයුත්ත අපූරුය. විශිෂ්ටය.

චන්ද්‍රරතන හිමියෝ වැඩවාසය කරන පරමනාගල චිත්ත විවේකාරාමය පිහිටා තිබෙන්නේ අපූරු සුන්දර ස්ථානයකය. පසෙකින් ඇත්තේ කොළඹ මාතර අධිවේගි මාර්ගයය.

ගැලනිගම කොතලාවල ගම, කොළමැදිරිය හා හද්දාගොඩ යන ගම්මානවලට මායිම් වන සේ ගැලනිගම වෙල්යාය මධ්‍යයේ පරමනාගල විහාරය පිහිටා තිබේ.

චන්ද්‍රරතන හිමියෝ මෙම ස්ථානයට වැඩමකර වසර හයක් පමණ වේ. උන් වහන්සේට මෙම ස්ථානය හම්බ වූයේ අහම්බෙනි. කුඩා කඳුගැටයක් මුදුනේ පිහිටා ඇති මෙම විහාරයේ බෝධි වෘක්ෂ දෙකකි.

“මම මෙතැනට එන්නට පෙර මෙහි ඉඳලා තියෙන්නේ සර්වානන්දනී කියන මෑණි කෙනෙක්. අපේ අම්මාට ඇය කියලා තිබුණා පොඩි හාමුදුරුවන්ට මෙතැන බාර ගන්න කියන්න කියලා.

මං එනකොට මෙතැන නාගයන්ට පහන් පත්තු කර කර තිබුණේ. හරියට ඉන්න හිටින්න තැනක්වත් තිබුණේ නෑ. මම මේ ස්ථානයට ආවේ දැඩිව භාවනා කරන්න හිතාගෙන.

මාස 6 ක් විතර භාවනා කළා. පිණ්ඩපාතේ වැඩියා. ක‍්‍රමයෙන් ගමේ අය යන්න එන්න පටන් ගත්තා. බෝධින් වහන්සේට පුදපූජා තියන්න ගත්තා.

අපවත්වී වදාළ සෝම හාමුදුරුවන්ගෙන් මට බොහෝ උපදෙස් ලැබුණා. මං මෙතැන පුංචි බුදු මැදුරකුත් හැදුවා. ඒක හැදුවේ මමමයි. උපාසක අම්මලා තරුණ දරුවෝ මට බොහෝ උදව් කළා. පන්සලට එන අයට වැස්සටවත් ඉන්න තැනක් නෑ.

ඒ නිසා ධර්ම ශාලාවක් හැදුවා. මෙම ස්ථානයේ භාවනා වැඩසටහන්, පිරිත් වැඩසටහන් කි‍්‍රයාත්මක වීමත් සමඟ ලොකු බුදුමැඳුරක අවශ්‍යතාවය මතුවුණා.

තාත්තා රුපියල් ලක්ෂ තුනහමාරක් පමණ දුන්නා. තාත්තගෙ අතින්මයි මුල්ගල තිබ්බේ. බුදුමැදුරේ පිළිමය නෙළන්න බොහෝ ශිල්පින් ආවා. ඔවුන් හැමෝම වගේ ලක්ෂ දෙකහමාරට එහා මුදලක් ඉල්ලුවා.

ආසනේ හදලා පෝයක් දවසේ නැකතක් බලලා බුදුපිළිම වහන්සේ නෙළන්න අම්මා ලව්වා මුල්ගල තිබ්බා. මම හයරියන් සමාධි පිළිම වහන්සේ නෙළුවා. සැරියුත් මුගලන් අගසව් දෙනම නෙළුවා.

උපාසක අම්මලා හා තරුණ දරුවෝ මේ කටයුත්තට වෙලේ නොපෑගිච්ච තැන්වලින් වැලි කූඩය දෙක ගෙනල්ලා දුන්නා. උපාසක අම්මලා වැලි අඹරලා දුන්නා. විහාර ගෙයි කටයුතු නිම වුණාට පසුව චෛත්‍යයක අවශ්‍යතාවය දැනුණා.”

“අලුත් නිර්මාණයක් කරන්න මට කුඩා කාලයේ සිටම අවශ්‍ය වෙලා තිබුණා. මං මේ හදන්නට ඇරැඹුවේ මං හිතන විදිහට ලංකාවේ විශාලම පද්මාකාර චෛත්‍යය. මෙම චෛත්‍යයේ උස අඩි එකසිය හතයි. වට ප‍්‍රමාණය අඩි හතළිහක් පමණ වෙනවා.

චෛත්‍ය හදන්න ආරම්භ කරලා අවුරුද්දක් පමණ වෙනවා. චෛත්‍යයේ වැඩ කටයුතු ආරම්භ කිරීමට මූලික අඩිතාලම දැම්මේ වීදාගම පදිංචි විශ‍්‍රාමලත් පොලිස් සැරයන් අමරසේන මහතා.

ඔහු මේ වන විට චෛත්‍යය වෙනුවෙන් ලක්ෂ හයක මුදලක් වැය කොට තිබෙනවා.

චෛත්‍යය ගොඩනැඟීමට හෝ විහාරස්ථානයේ වෙනත් කටයුතු සඳහා මම මුදල් සම්මාදමේ යන්නේ නෑ. කවුරුන් හෝ මේ වෙනුවෙන් යම් ආධාරයක් කරනවා නම් මම එය බාරගන්නවා.”

චන්ද්‍රරතන හිමියෝ ධෛර්ය සම්පන්නය. උදේ වරුවේ ඉගැන්වීම් කටයුතුවල නිරත වන්නේය. සවස් වරුවේදී ඉඩ ලැබෙන ආකාරයට චෛත්‍යයේ කටයුතු කරන්නේය.

ඒ අතර කේන්ද්‍රයක්, පලාපල බලාගන්නට එන කවරකු හෝ හට ඒ කටයුත්ත ද කර දෙන්නේය. ඉන් ලැබෙන සුළු මුදල එක්කොට එය චෛත්‍යයේ කටයුතු සඳහා යොදවන්නේය.

බුදුපිළිම නෙළීමේ කලාව, චෛත්‍යය නිර්මාණය, චිත‍්‍ර ශිල්පය පමණක් නොව කැටයම් ශිල්පය ද උන්වහන්සේ දන්නේය. මේ කිසිවක් ගුරුවරයකු යටතේ පියවරෙන් පියවර හදාරා නැත.

උන්වහන්සේ වෙතින් දැකිය හැකි විශේෂත්වය එයයි. කවි බණ කීමෙහිද දක්ෂතා දක්වන වල්ගම චන්ද්‍රරතන හිමියෝ ලොවින් එකෙක් එක්දෙයකට වෙයි සමත යන කියමන වෙනස් කර ඇත්තාහ.

දිග උණ ගස් දෙකක් භාවිත කර බැඳුණු ඉනිමඟ දිගේ ඉහළ පහළ යමින් උන්වහන්සේ චෛත්‍ය ගොඩනැගීමේ කටයුතු කරන්නේය. ගමේ තරුණයන් මෙන්ම ගමින් පිට තරුණයෝ ද පැමිණ මේ සද්කාර්යයට උදව් කරති. මනිස් ලෑල්ලත්, මේසන් හැන්දත් උන්වහන්සේගේ දෑතට හොඳට හුරුය.

“මම මේසන් වැඩ කළාට මේසන් හාමුදුරු කෙනෙක් නෙමෙයි. චිත‍්‍ර ඇන්දට චිත‍්‍ර අඳින හාමුදුරු කෙනෙකුත් නෙමෙයි. කට්ටඩි වැඩ කළාට කට්ටඩි හාමුදුරු කෙනෙකුත් නෙමෙයි.

මගෙ තාත්තා ජීවත් වෙලා ඉන්න කාලේ නිතරම මට කිව්වේ අපේ හාමුදුරුවනේ සිවුරේ ඉන්න තුරු සිවුර නම් කෙළසන්න එපා කියලා. මම මේ හැමදේම කරන්නේ මහණකම නිවැරැදිව රකිමින්. බුදුහාමුදුරුවෝ මෙන්න මෙහෙම කියලා තියෙනවා.

චන්ද්‍රරතන හිමි චෛත්‍ය බැඳීමේ කටයුතුවල නිරතව සිටිද්දී

“ජපේන මන්තේන සුභාසිතේන
අනුප්පදානෙන පචේනීයා වා
යථා යථා යත්ථ අත්ථං
තථා තථා තත්ථ පරක්ක මෙය්‍ය”

‘ජපයෙන් හා මන්ත‍්‍රයෙන් හෝ සුභාෂිත වචනයෙන් පරම්පරාගත සත්‍ය කි‍්‍රයාවකින්. තෙරුවන් පිළිබඳව ගුප්ත බලයකින් හෝ අහිංසක ජනතාවට සෙතක් කළහොත් එය ඉතා යහපත්’.

මේ තමයි බුද්ධ වචනය මට පිළිම නෙළීමේ කලාව කියලා දුන්නේ, රූකඩහේනේ කුසලඥාන ස්වාමින් වහන්සේ. ඒත් මම මේ විහාරයේ පිළිම වහන්සේ නෙළන තුරු කිසිම පිළිමයක් නෙළලා තිබුණේ නැහැ. මම මේ හැම දෙයක්ම කරන්නේ මං අහලා තියෙන විදිහට.

මේ හැම කටයුත්තකදීම මුල්තැන දෙන්නේ පිරිතට. දැනට විහාරස්ථානයේ වැඩ වාසය කරන වැලිවැව රතනසිරි, අනුරාධපුරයේ සංඝරතන, මීගහජදුරේ දමිතරතන, මීගහ ජදුරේ සෝමරතන යන පොඩි හාමුදුරුවරු ඒ අයගේ ඉගෙනීම් කටයුතු කරන අතරතුරම මේ කටයුතුවලටත් උදව් කරනවා.

මුල් කාලයේ සිටම කොහේදෝ සිට පැමිණි නාගයෙක් විටින් විට බෝධි වෘක්ෂයේ අතුපතර සැරිසරමින් ඒ අසල රැඳී සිටීමට පුරුදුව සිටින්නේය. කලකට මෙතැන සිටින නාගයා කලකට ආගිය අතක් නැත්තේය. මේ නාගයා පිළිබඳ තොරතුරු කටින් කට යෑමෙන් නාගයා බැලීමට විශාල පිරිසක් විහාරයට ඇදෙන්නට වූහ.

“ඒක මහත් හිරිහැරයක් වුණා. මිනිස්සු වැලනොකැඩී එන්න ගත්තා. මේ අවට මිනිස්සු පොඩි පොඩි කඩ දාගෙන මේක ව්‍යාපාරයක් කරගන්න දැගලුවා. මං බැලුවා මේක මහ හිරිහැරයක්.

ඒ ගමන මං ඒ එන අය නයි බලන්න ඕනැනම් සත්තු වත්තට යන්න කියලා තදින් හිටියා. ඊට පස්සේ මිනිසුන්ගේ ඒම වැලකුණා. දැන් නම් උපාසක උපාසිකාවෝ එන්නේ බෝධිපූජා තියන්න වැඳුම් පිදුම් කටයුතු කරන්න පමණයි.

අප එහි යන අවස්ථාවේ ද නාගයා බෝධින් වහන්සේ අසල රැඳී සිටියේය. නිතර නිතර නාගයාගේ සැරිසැරීම නිසා අනාගතයේ දිනක මෙම විහාරස්ථානයේ නම නාගරුක්ඛාරාමය යනුවෙන් වෙනස් කිරීමට සිතා සිටින බව ද චන්ද්‍රරතන හිමියෝ පැවසූහ.

චන්ද්‍රරතන හිමියන්ට තවමත් පිරිවෙන් ගුරු සේවය වෙනුවෙන් වැටුපක් ලැබෙන්නේ නැත. පිරිවෙන් ගුරුවරයකු වශයෙන් අනුමත වූ ලිපිය ලැබුණේ ද පසුගියදාකය.

උන්වහන්සේගේ පියා ජීවත්ව සිටින කාලයේදී විහාරස්ථානය ගොඩනැගීමේ කටයුතු සඳහා ලක්ෂ දහතුනහමාරක් පමණ වැයකර ඇත්තේය.

අනුන්ගෙන් නොඉල්වා තම ශක්ති ප‍්‍රමාණයෙන් මේ මහා චෛත්‍යය ගොඩනඟන බුද්ධ පුත‍්‍රයාණන් වහන්සේගේ සත්කාර්යයට දායක වීමට පින්වත් ඔබට ද පුළුවන. සියල්ල අනිත්‍ය වූ ලෝකයේ බුදුදහමේ ගුණ සුවඳ තවත් බොහෝ කල් ලොව රඳ්‍ර පවතිනු ඇත.

මේ පින්බිම වෙත යන එන දහස් ගණන් ජනයාගේ වන්දනාමානයට පාත‍්‍ර වන බුද්ධ මන්දිරය, පද්මාකාර චෛත්‍ය සහ මකර තොරණ මෙම බුද්ධ පුත‍්‍රයාණන් වහන්සේගේ නිර්මාණ හැකියාව මොනවට පෙන්නුම් කරයි.


Responses

  1. මේ ස්වාමීන් වහන්සේගේ දුරකතන අංකය ලබා දෙනවද අනේ කරැනාකරලා


Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

Categories

%d bloggers like this: