Posted by: lrrp | January 20, 2009

දැමුණු සිත සදන සෙත

උට්ඨාන වීර්යයෙන් ද, අප්‍රමාදයෙන් ද චතුපරිශුද්ධ සීල සංවරයෙන් ද, ඉන්ද්‍රිය දමනයෙන් ද යුක්ත වූ තැනැත්තා කෙලෙස් සැඩපහරට යට නොවන රහත් ඵලය නමැති දිවයින තනාගනී.

නමෝතස්ස භගවතෝ අරහතෝ
සම්මා සම්බුද්ධස්ස
උට්ඨානේනප්පමාදේන
සඤ්ඤමේන දමේනච
දීපං කයිරාථ මේධාවි
යං ඕඝෝ නාභි කීරති
(ධම්මපදය අප්පමාදවග්ගය
5 ගාථාව)

පින්වත්නි,

සම්මා සම්බුදු පියාණන් වහන්සේ ලෝකයට පහල වන්නේ අසරණව දුක්විඳින සත්ත්වයා සසර දුකින් නිදහස් කර නිවීම, සැනසීම ලබා දීමටයි. බුදුපියාණන් වහන්සෙගේ ශ්‍රී සද්ධර්මය ශ්‍රවණය කරන විට නුවණ දියුණු වේ. සසර පුරා උපදිනා ආත්මවල ප්‍රඥා සම්පන්න වේ. ධර්ම ශ්‍රවණය කිරීමෙන් සතර අපායට නොවැටී දෙව් මිනිසුන් අතර සැපයට පත්වේ. නිවනට පිවිසෙන මග විවෘත වේ. සිත තුළ නිවීම ඇතිවී සිත සැහැල්ලු වේ.

බුදුපියාණන් වහන්සේ තම ශාස්තෘත්වයේ තබාගත්තේ තමන් වහන්සේ අවබෝධ කරගත් ධර්මය යි. එමෙන්ම ලෝකනාථයාණන් වහන්සේ අවබෝධ කළ එම ධර්මය උන්වහන්සේ ඇවෑමෙන් ශ්‍රාවකයින්ටද ශාස්තෘවන බව දේශනා කළ සේක.

‘ආනන්ද මාවිසින් යම් ධර්මයක් දෙසන ලද නම් යම් විනයක් පනවන ලදනම්, ඒ ධර්ම විනය දෙක මගේ් ඇවෑමෙන් මගේ් ශ්‍රාවකයිනට ශාස්තෘවන්නේ ය.

අමා මෑණියන් වහන්සේගේ් ශ්‍රී සද්ධර්මය ශාස්තෘත්වයේ තබා ගනිමින් මනාසිහියෙන් යුතුව ශ්‍රද්ධාව පෙරදැරි කරගෙන, සිත සංවර කරගෙන තුණුරුවන් කෙරෙහි ගෞරවයෙන් සීලයේ පිහිටා යෝනිසෝමනසිකාරයෙන් යුතුව ශ්‍රවණය කරන්නේ්නම් අනන්ත අප්‍රමාණ අනුසස් ලැබේ. සසර පුරා සුඛිත ජීවිත ලබමින් කල්ප ගණනක් යනතුරු එහි ආනිශංස භුක්ති විඳීමට හැකි වේ.

නව කප්පං සුතං ධම්මං
අටඨ කප්පංච යාචිතෝ
ඒක කප්පං අනුමෝදන්තු
දේශිතෝච අසංඛියේ

නව කප්පං සුත ධම්මං – ධර්මය ශ්‍රවණය කිරීමෙන් කල්ප නවයක් එහි ආනිශංස ලැබේ.

අටඨ කප්පංච යාචිතෝ – භික්ෂූන්වහන්සේට ගෞරව සම්ප්‍රයුක්තව ධර්ම දේශනාවකට ආරාධනා කිරීමෙන් එහි ආනිශංස කල්ප අටක් යනතුරු ලැබේ.

ඒක කප්පං අනුමෝදන්තු – තමන් ශ්‍රවණය කළ ධර්මය තම නිවසේ අයට හෝ හිතවත් අයට හෝ පහදා දී එම පින එම අයටත් අනුමෝදන් කරවීම, දෙවියන්ට මියගිය ඥාතීන්ට අනුමෝදන් කරවීම කල්පයක් ආනිශංස ලැබේ.

දේශිතෝච අසංඛියේ – දේශකයාණන් වහන්සේට එහි අනුසස් අනන්තය. ත්‍රිවිධ රත්නය කෙරෙහි ගෞරවය හා භක්තිය ඇතිව ධර්ම ශ්‍රවණය කරන්නේ්නම් මෙලොව පරලොව ජීවිත සාර්ථක කර ගැනීමට මහෝපකාරි වේ. එසේනම් ධර්ම ශ්‍රවණයේ ආනිශංස ලැබීමට නම් සිත සංවර කර ගෙන මනා සිහියෙන් යුතුව ධර්මය ශ්‍රවණය කළ යුතුය.

මාතෘකා කළ ගාථාව ධම්මපදයේ අප්පමාද වග්ගයේ පස්වන ගාථා රත්නයයි. මෙය බුදුපියාණන් වහන්සේ දේශනා කරන ලද්දේ චුල්ලපන්ථක ස්වාමින් වහන්සේ අරබයාය. එහි සරල අදහස වනුයේ උට්ඨාන වීර්යයෙන් ද, අප්‍රමාදයෙන් ද චතුපරිශුද්ධ සීල සංවරයෙන් ද, ඉන්ද්‍රිය දමනයෙන් ද යුක්ත වූ තැනැත්තා කෙලෙස් සැඩපහරට යට නොවන රහත්ඵලය නමැති දිවයින තනාගනී යනුයි.

රජගහනුවර ධනවත් සිටුපවුලක මහාපන්ථක, චූලපන්ථක නමින් සොයුරෝ දෙදෙනෙක් වූහ. මේ අය නිතර වේලුවනාරාමයට ගොස් බුදුපියාණන් වහන්සේගෙන් ධර්මය ශ්‍රවණය කිරීමට පුරුදුව සිටියහ. ධර්මය කෙරෙහි පැහැදුණු මහාපන්ථක කුමරු බුදුපියාණන් වහන්සේ වෙත පැවිදි වී අප්‍රමාදීව ධර්මයේ හැසිරී නොබෝ කලකින් අරහත්භාවයට පත්විය. චූල්ලපන්ථක කුමරුන්ටද තම සහෝදර ස්වාමීන්වහන්සේ මෙන් පැවිදි වීමට සිත්විය. බුදුපියාණන් වහන්සේගෙන් පැවිද්ද ලබාගත් චූල්ලපන්ථක සාමණේරයන් වහන්සේ සහෝදර ස්වාමීන් වහන්සේ ඇසුරේ මහණදම් ප්‍රගුණ කළේය. එනමුත් චුල්ලපන්ථක පොඩිනමට පෙර කළ අකුසල කර්මයක් නිසා ධාරණ ශක්තිය පිහිටන්නේ නැත. මහාපන්ථක රහතන්වහන්සේ තම සහෝදර හිමිනමට බුදුගුණ ගාථාවක් පාඩම් කිරීමට දුන්නේය.

පදුමං යථා කෝක නදං සුගන්ධං
පාතෝසියා ඵුල්ලම වීත ගන්ථං
අංගීරසං ඵස්ස විරෝචමානං
තපන්ත මාදිච්ච මිවන්ත ලින්ඛේ

මෙම බුදුගුණ ගාථාව මාස හතරක් තුළ පාඩම් කළත් චුල්ලපන්ථක පොඩි හාමුදුරුවන්ට මතක හිටින්නේ නැත. දිනක් මහපන්ථක ස්වාමීන් වහන්සේ චුල්ලපන්ථක සාමණේරයන් වහන්සේට එම අඩුපාඩුව පෙන්වා දුන්හ.

ආයුෂ්මතුන්, ඔය ආයුෂ්මතුන්ට මාස හතරක් ගොහිනුත් ගාථාවේ එක පදයක්වත් පාඩම් කරගන්න බැරිව ගියානේ. ඔය පුංචි ගාථාවේ පදයක්වත් පාඩම් කරගන්න බැරිව අලසව ඉන්න ඔබට මේ බුදු සසුනෙන් ප්‍රයෝජන ගන්න බැහැ. ඒනිසා ඔබ සිවුරුහැරල ගෙදර යන්න. ගෙදර ගොහින් ගේ දොර වතුපිටි බලාගෙන අඹුදරුවන් රැකගෙන ජීවත්වන්න. චුල්ලපන්ථක ස්වාමීන්වහන්සේ සසරපුරා ආත්ම සිය ගණනක් පැවිදිව භාවනාකර පුරුද්ද ඇත. මෙම පුරුද්ද නිසා චූල්ලපන්ථක ස්වාමින් වහන්සේට හරිම දුකක් ඇතිවිය. සහෝදර ස්වාමින් වහන්සේගෙන් තමන්ට කිසිම අනුකම්පාවක් නොලැබෙන බව පෙනෙති. අනේ් මට නම් බැහැ සිවුරු හරින්න. මේ සිවුර පොරවගන ඉන්දි මගේ සිතට හරිම සැහැල්ලුයි. මම මේ සිවුර ගලවන්නේ කොහොමද? ආයෙනම් මට බෑ ගිහි ඇදුම් අඳින්න. චුල්ලපන්ථක ස්වාමින් වහන්සේට හරිම දුකයි. අඬන්න පටන් ගත්තා. වේලුවනාරාමෙ දොරටුව ළ¼ග වාඩි වුනා.

සතවෙත මහා කරුණාව ඇති බුදුපියාණන් වහන්සේ චූල්ලපන්ථක පොඩි ස්වාමීන්වහන්සේ ළඟ රහතන්වහන්සේ නමක් සැඟවී සිටින බව දුටුසේක. බුදුපියාණන් වහන්සේ චූල්ලපන්ථක පොඩි නමට ආමන්ත්‍රණය කර

‘ඇයි චුල්ලපන්ථක පැත්තකට වෙලා අඬන්නේ. කාගෙන්වත් කරදරයක් හෙම වුනාද?’

අනේ් බුදුපියාණන්වහන්ස මගේ සහෝදර ස්වාමින් වහන්සේ මට ගාථාවක් පාඩම් කරන්න දුන්නා. මාස හතරක්ම පාඩම් කළා. ඒත් එක ගාථාපදයක්වත් මතක හිටින්නේ නෑ. මගේ් සහෝදර ස්වාමින්වහන්සේ කිව්ව උපැවිදිව ගෙදර යන්න කියල. අනේ් බුදුපියාණන් වහන්සේ ඔබ වහන්සේවත් මට අනුකම්පා කරන්න.

බුදුපියාණන් වහන්සේ චුල්ලපන්ථක තෙරුන් අමතා ‘නෑ…..නෑ…. චූල්ලපන්ථක ඔබ කලබල වෙන්න ඕන නෑ. එන්න මාත් සමඟ මම භාවනා කරන්න කියල දෙන්නම්.

චුල්ලපන්ථක පොඩි හාමුදුරුවෝ බුදුපියාණන් වහන්සේ සමඟ ආරාමය ඇතුලට වැඩියහ. පිරිසුදු සුදු රෙදිකඩක් ගත් බුදුපියාණන් වහන්සේ ‘චුල්ලපන්ථක මේ රෙදිකඩ අතට ගන්න. අර අව්ව තියන තැනට ගොහින් ඉර දෙස බලාගෙන රජෝ හරණං – රජෝහරණං කිය ඔය රෙදිකඩ පිරිමදින්න.

චුල්ලපන්ථක ස්වාමීන්වහන්සේට හරිම සතුටක් දැණින. ‘මම දැන්නම් මගේ් සිත කොහාටවත් යන්න දෙන්නේ නෑ. මම හොඳ සිහියෙන් බුදුපියාණන් වහන්සේ කියාදුන් විදියමට භාවනා කරනවා’ අලුත් රෙදිකඩ පිරිමදින විට ටිකෙන් ටික කිළිටි විය. චුල්ලපන්ථක ස්වාමින්වහනසේගේ සිත ද ටිකෙන් ටික එකඟ විය. එකඟ සිත් ඇති චුල්ලපන්ථක ස්වාමීන් වහන්සේට බුදුපියාණන් වහන්සේ සෘද්ධිබලයෙන් ධර්ම දේශනාා කළ සේක. චුල්ලපන්ථක ස්වාමීන් වහන්සේ අරහත්වයට පත්වූහ. චුල්ලපන්ථක ස්වාමීන්වහන්සේ මනෝමය සෘද්ධිලාභීන් අතර අගතනතුර ලැබීය.

මෙය මුල්කරගෙන බුදුපියාණන් වහන්සේ මාතෘකාකළ ගාථාව දේශනා කළ සේක.


Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

Categories

%d bloggers like this: