Posted by: lrrp | January 24, 2009

පඳුරු අස්සෙන් ඇස් ලොකු මිටි මිනිහෙක් මතුවුණා

මිනිසුන්ගේ ජීවිතවලට මැසි මදුරුවන්ගෙන් සර්පයන්ගෙන් හානි සිදුවන්නාක් මෙන් ම පියවි ඇසට නොපෙනෙන ක්ෂුද්‍ර ජීවීන්ගෙන් ද හානි පැමිණෙන බව සියලු දෙනා පිළිගන්නා කාරණයකි. එසේ ම ඇසට නොපෙනෙන අමනුෂ්‍යයන්ගෙන් සිදුවන හානි පිළිබඳ අවබෝධයක්, දැනීමක් හෝ පිළිගැනීමක් නොමැතිකමෙන් හානියට පත්වන ජීවිත ද බොහෝ ය.

දීර්ඝ කාලයක් තිස්සේ වෙද්‍ය ප‍්‍රතිකාර ගැනීමෙන් සුව නොවන රෝගීන් ද වෙද්‍ය පරීක්ෂණවලින් රෝග නිර්ණයකට නොඑළඹ පීඩා විඳින රෝගීන් ද බොහෝ ය. එවැනි රෝගීන් වත් පිළිවෙත් මඟින් සුවපත් වූ අවස්ථා ද එමට ය.

මේ අතර “අපි හැමදාම උදේ සවස පිරිත් කියනවා. ඒත් අපට නම් කිසිම සහනයක් ලැබුණේ නැතැ”යි කියන්නෝ ද සිටිති. පිරිත යනු ආරක්ෂාව යන අරුත් දෙයි.

පිරිතෙන් ගුණ ලබන්නට නම් පිරිත කියන්නන් පිරිත අසන්නන් ශීලමය ප‍්‍රතිපත්තියක පිහිටා සිටිය යුතුය. තමන් සජ්ඣායනා කරන පිරිතේ තේරුම, අර්ථය, සාමාන්‍යයෙන් හෝ දැන සිටිය යුතුය.

යටත් පිරිසෙයින් පන්සිල්හිවත් නොපිහිටා කොයි තරම් පිරිත් කීවත් වැඩක් නැත. පිරිත් කියන්නා පන්සිල්හි පිහිටා කටයුතු කළ ද නිවසේ පදිංචි අනිකුත් අය පස්පවෙහි ගැලෙමින් කටයුතු කරති නම් ඒ නිවසට බලාපොරොත්තු වන සහනදායී ප‍්‍රතිඵල ලැබේ යැයි විශ්වාස කළ නොහැකිය. ශ‍්‍රද්ධා බුද්ධි සම්පන්න මව්පියන් සංඝරත්නය නිවසට වැඩමවා ගෞරවයෙන් යුක්තව පිරිත් සජ්ඣායනා කරවද්දී දරුවෝ ඒ පිරිත සාදයකට ගෙන මත්පැන් බී විනෝද වෙති.

ඒ පවුලට බලාපොරොත්තු වන ගුණය නොලැබේ ම ය. ඒ නිසා පිරිතේ ගුණය ලැබීමට නම් එය ශ‍්‍රද්ධා ගෞරවයෙන් හා අවබෝධයෙන් ම කළ යුතුය. පිරිත් සජ්ඣායනා කරන්නාත්, ශ‍්‍රවනය කරන්නාත් ශීලමය ප‍්‍රතිපත්තියක පිහිටා ඒ අධ්‍යාත්මීය ශක්තිය තුළින් යහපත ගොඩනඟා ගත යුතුය.

වීරසේන සුබසිංහ මහතා බුලත්සිංහල පදිංචිකරුවෙකි. වතු ක්ෂේත‍්‍රයේ නිලධාරියකු ලෙස රැකියාව කොට එයින් පසු විදේශ රැකියාවක නිරතව යමක් උපයාගෙන බිරියටත් දරු දෙදෙනාටත් ජීවනෝපාය සකස් කැර දුන් කෙනෙකි. ඔහු මට මුණ ගැසුණේ කොස්ගම ධම්මසෝභා භාවනා මධ්‍යස්ථානයේ දී ය. සුබසිංහ මහතා ගිහි ශීලයක පිහිටා අනුන්ගේ යහපත පිණිස කටයුතු කළ කෙනෙකි.

විශේෂයෙන්ම තමන්ගේ ජීවිතයේ දී සිදුකළ යහපත් කි‍්‍රයා සහ තමන් පිහිටා සිටින ශීලය අධිෂ්ඨාන කොට ඒ සත්‍යකි‍්‍රයාව තුළින් පිරිත් සජ්ඣායනා කොට රෝගීන් සුවපත් කරන කෙනෙකි. මරණාසන්නව මරණ මංචකයේ සිටි රෝගීන් සුවපත් කළ කෙනෙකි. මෙහිදී අප විස්තර කරන්නේ ඔහු මරණාසන්න රෝගීන් මරණයෙන් මුදා ගන්නා අමරජීව කෙනකු හෝ අද්භූත විශ්වකර්මයකු ලෙස හෝ නොවේ.

කෙනකු රෝගී වූ විට කර්මානුකූලව ම ඒ රෝගියාට අමනුෂ්‍ය බලපෑම් ළඟා වීම ද බොහෝ විට සිදුවෙයි. ශරීරය දුර්වල වූ පුද්ගලයාගේ මනස ද දුර්වල කරමින් ඉක්මනින් මරණය කරා ගෙන යෑම එවැනි අමනුෂ්‍යයන් ගේ හැටියකි.

එවැන්නන්ගේ මනස ශක්තිමත් කරමින් ඔහු වටා සමීපව සිටින අමනුෂ්‍ය බලවේගවලට ප‍්‍රතිකි‍්‍රයා දක්වන ආරක්ෂක විධියකි පිරිත. ඒ නිසා සද්ධා – ශීල – සති – සමාධියෙන් ආධ්‍යාත්මීය ශක්තිය වර්ධනය කැර ගත් පුද්ගලයෝ පිරිතෙන් රෝගීන්ට සහනය ලබා දෙති. සුබසිංහ මහතා කළේ ද එයයි.

සුබසිංහ මහතා ස්වකීය බිරියටත් දරු දෙදෙනාටත් අවශ්‍ය යුතුකම් කොට, ඔවුන්ගේ කැමැත්ත ද ඇතිව පසුගිය දා ගිහිගෙයින් නික්ම ගියේය. දොඩම්වල ධම්මරතන නාහිමිපාණන් වහන්සේ ගේ ආචාර්යත්වයෙන් මහනුවර හන්තාන භික්ෂු පුහුණු බෞද්ධ මධ්‍යස්ථානයේ දී බුලත්සිංහල වනරතන හිමි නමින් පැවිදි බව ලැබූහ.

මේ වනවිට වනරතන හිමියෝ මාතලේ උඩතැන්න සමාධි බෞද්ධ මධ්‍යස්ථානය සංවර්ධනය කරමින් එම විහාරස්ථානය භාරව වැඩ වසති. ගිහි ජීවිතයේ දී පිරිත් බලයෙන් රෝගීන් සුවපත් කළ පිළිවෙත පැවිදි ජීවිතයේ දී ද අනුන්ගේ යහපත පිණිස කි‍්‍රයාත්මක කරති.

උන්වහන්සේ විසින් පිරිත් බලයෙන් අමනුෂ්‍ය දෝෂයක් සුවපත් කරන ලද කතාවකි මේ. එයින් සුවපත් වූ කේ.ඩී.කුරුප්පු මහත්මිය මා සමඟ කළ විස්තරය මෙසේය.

”මගේ අම්මා පූජාපිටියේ ඉපැදුණු කෙනෙක්. පියා මහනුවර උඩුවෙල. අම්මා විවාහ වී උඩුවෙලට ආ දවස්වල සිදුවූ දෙයක් මේ. මේ සිද්ධිය අපේ පවුලට සම්බන්ධ හැම කෙනෙක් ම දන්නවා.

අම්මා උඩුවෙලට ආ අලුත අපේ නැන්දා සමඟ (පියාගේ නැඟණිය) දර සොයන්න ගිහින් තියෙනවා. අපේ නිවස අසලමයි ගමේ සුසාන භූමිය තියෙන්නෙත්. නැන්දා ටිකක් ඈතට ගොස් දර බිඳින විට අම්මා තණ පඳුරුවලින් වැසී තිබුණු දර කොටයක් දැක එය පළන්නට පොරොව පහර ගසා තියෙනවා.

දර ලීයට පළමු පොරව පහර ගසන විට ම ඒ අසල තිබුණු විශාල කෙසෙල් ගසක් ශබ්දනඟා ගෙන බිමට වැටිලා. ඒ ගසේ විශාල කෙසෙල් මුහයක් තිබිලා. අම්මා ඒ කෙසෙල් මුහය කඩන්නට හදන විට ම කෙසෙල් ගස නැගිටලා.

බිමට පෙරැළී තිබුණු කෙසෙල් ගස ඉබේම නැගිට්ටා ම අම්මා පුදුම වෙලා. මේ අතරේ පඳුරු අතරින් ඇස් ලොකු මිටි මිනිහෙක් මතු ;වලා. මේ අමුතු මිනිහා දුටු හැටියේ අම්මා කෑ ගහලා. ඒ කෑගැහිල්ල ඇසී නැන්දා දුවගෙන ඇවිත් අම්මා ගෙදර එක්කගෙන ඇවිත් තියෙනවා.

ගෙදර ආවත් අම්මා අසිහියෙන් බිත්ති දිගේ ඉහළට නගිනවාලු. මේක සත්‍යම කතාවක්. සාමාන්‍යයෙන් මිනිහෙකුට කපරාරු කළ බිත්තියක නඟින්න බැහැනෙ. ඒත් අපේ අම්මා බිත්ති දිගේ ඉහළට නගිනවාලු.

ඉතින් ඇදුරන් ගෙන්නා තෙල් නූල් මතුරා සාත්තු කළත් සුව වී නැහැ. ඊට පසු තොවිල් පවිල් කළත් ස්ථිර සුවයක් ලැබී නැහැ. විටින් විට සිහිනැතිව යනවා. එදා අම්මා දරට පලළා තියෙන්නේ සොහොනක දර කොටයක්.

අම්මාට පිරිත් අහන්න බැහැ. ‘මගේ ඇඟ දනවා. පිච්චෙනවා” කියා කෑගහනවා. කොහේ හෝ බෙර හඬක් ඇහෙන කොට “මං යනවා. මං යනවා. අන්න මට අඬ ගහනවා” කියා දුවන්න හදනවා. හතර පස් දෙනෙක් අල්ලාගෙන තමයි නතර කරගන්නේ. අම්මාට දරු පස් දෙනෙක් ඉන්නවා. ඒත් තරුණ කාලෙ හැදුණ මේ භූත දෝෂය තවමත් වරින් වර හැදෙනවා.

මමත් තරුණ කාලෙ දවසක් අම්මා අපේ නිවස අසල ගැබිණියක දරු ප‍්‍රසූතියක් කළ අවස්ථාවේ ඒ ගෙදරට ගියා. ඒ වැදුං ගෙදරට ගිහින් එනකොට අපේ ළිඳ ළඟ පන් පඳුරු අතරින් කවුදෝ මතුවෙලා ඉදිරියට ඇවිත් වතුර බාල්දියක් අම්මාගේ ඇඟට දාලා.

අම්මා අසිහියෙන් දුවගෙන ඇවිත් ගෙදර මිදුලේ තිබුණු ලොකු ජම නාරං ගහට නැග්ගා. ඒ වන විට අම්මාගෙ වයස අවුරුදු හතළිස් පහයි. බොහොම අමාරුවෙන් තමයි ජම නාරං ගහෙන් බිමට ගත්තේ. හැබැයි කිසිම කටුවක් ඇඟේ ඇනිලවත් නැහැ.

අපේ ගෙදර හොඳට කිතුල් පැණි හකුරු තිබුණු ගෙයක්. අම්මා රෑ 10-11 වනතුරු පැණි උණු කරනවා. දවසක් රෑ පැණි උණු කරන කොට අපේ ගේ ඉදිරිපිට කුකුළෙක් කෑ ගහලා. අපේ ගෙදර කුකුළන් හිටියෙත් නැහැ. ඒත් කුකුළෙක් කෑ ගහන නිසා අම්මා ඌ බලන්න ගිහින්. ගේ ඉදිරිපසට ගියා ම ගේ පිටුපස කෑ ගහනවාලු. එදත් අම්මා බය වුණා.

ඒ වතාවෙත් තොවිලයක් කරන්න සිද්ධ වුණා. තොවිලයේ ආරම්භක වැඩ කරන්න බැහැ අම්මා දඟලනවා. ඒ සැරේ අපේ ගේ කිට්ටුව ම පදිංචිව සිටි මගේ ලොකුª අක්කලාගේ ගෙදරට මම අම්මා එක්කර ගෙන ගියා. අපි ගෙදරින් පිට වෙන කොට ගෙදර සිටි අය මල් යහන් බඳිනවා. තටු හදනවා වගේ වැඩ කරමින් සිටියා.

අපි අක්කාගෙ ගෙදරට යන විටම විශාල කටුස්සෙක් මගේ ඇඟට පැන්නා. ඇඟට පැන ඇඟ හැම තැන ම දුවන්න වුණා. මේ අතරේ අම්මත් කොණ්ඩය කඩාගෙන දඟලන්න පටන් ගත්තා. මම කෑගැහුවා. ඒ කෑගැහිල්ලට අපේ ගෙදර සිටි අය දුවගෙන ඇවිත් අපි දෙන්නව ම නැවතත් ගෙදරට ම එක්කගෙන ගියා. අම්මා එදා ආවේශ වී නටන්න පටන් ගත්තා.

“මට යන්න බෑ. මම යන්නෙ නෑ. මම යන්නෙම නෑ” කියලා කෑ ගැහුවා. නූල් බැන්දා ම තාවකාලිකව සුව වුණා. ඒත් වරින් වර හැදුණා. මෙහෙම ඉඳලා අම්මා වයස්ගත වුණා. අපේ ගේ ළඟ විශාල එරමුදු ගහක් තිබුණා. දවසක් අම්මා ගෙදර ඇඳේ නිදාගෙන සිටියදී අර විශාල එරමුදු ගහ එකපාරට ම මහ ශබ්දයක් නඟමින් කඩා වැටුණා. ඒ සමඟ ම අම්මාගෙත් පණ ගියා.

මමත් කුඩා කල සිට ම තෙරුවන් ගුණ විශ්වාස කළ කෙනෙක්. ධර්මානුකූලව ජීවත්වුණා. බල්ලන්ට බළලුන්ට කෑම් බීම්වලින් සංග‍්‍රහ කිරීම මගේ පුරුද්දක්. ඒ වගේම ගමේ පාරවල් ශුද්ධ පවිත‍්‍ර කිරීමත් මගේ පුරුද්දක්. ළමා කාලයේ පටන් ම පින් දහම් හි යෙදුණා. තරුණ වියේ දී විවාහ වී උඩුවෙල සිට මාතලේ උඩතැන්නට පදිංචියට ආවා. අපේ ගේ විශාල ගෙයක්.

මීට අවුරුදු හතකට කලින් මගේ මහත්මයා මිය ගියා. ළමයි විවාහ වී ගමෙන් පිට පදිංචිය. සමහරු රට රාජ්‍යවල. මේ විශාලගෙයි මම තනිවමයි ජීවත් වෙන්නේ. පෝයට සිල් සමාදන් වෙනවා. බණ පොත් කියවනවා. ධාර්මිකව ජීවත් වෙනවා. ඒත් සිහිනෙන් බය වෙනවා. ගේ ඇතුළට හිටිහැටියේ ආලෝකයක් වැටෙනවා. ජනෙල් දොරවල් අරිනවා ඇහෙනවා.

දොරවල් ඇරදා තියෙන කොට මම ගිහින් වහනවා. මට බයක් හිතෙන්නේ නෑ. දොර ජනෙල් අරින සද්දය ඇහෙන කොට ගිහින් බලනවා. හිතට කිසිම බයක් හිතෙන්නේ නෑ. රෑට හීනෙන් බය වී කෑගහගෙන ඇහැරෙනවා. පිළිවෙත් කළාට සුවයක් නැහැ. දවසක් උඩතැන්න පන්සලට දානය ගෙනා වෙලාවේ බුලත්සිංහල වනරතන හාමුදුරුවන්ට මේ සිද්ධිය මම කීවා. උන්වහන්සේ තුන් වේලයි පිරිත් කිව්වේ, ඒ පිළිවෙත් කළා. දැන් ඒ භූත දෝෂය ඉවරයි” කියා කුරුප්පු මහත්මිය කීවාය.

මේ පිළිබඳ වනරතන හිමියන්ගෙන් විමසූ විට උන්වහන්සේ මෙසේ වදාළහ. “පිරිත් කියන්නේ ආරක්ෂාව, හාත්පසින් ම සර්ව ආරක්ෂාව. මම පාසලේ පස්වැනි පන්තියේ ඉගෙනුම ලබන කාලෙ ඉඳල ම දහමට නැඹුරුව පිරිත් කීමට, පුරුදු වුණා.

වයස අවුරුදු 11 – 12 වන විට ආටානාටිය සූත‍්‍රය, ධම්මචක්ක සූත‍්‍රය පවා කීවා. මට පිරිවානා පොත් වහන්සේ කට පාඩම්. පිරිත් කියන පුද්ගලයා යහපත් ගති පැවතුම්වලින් යුක්ත විය යුතුයි.

පිරිසුදු වෙන්න ඕනෑ. නිර්මාංශ ආහාරවලින් යැපෙන්න ඕනෑ. පිරිතේ තේරුම කෙටියෙන් හෝ දැන ගන්න ඕනෑ. තෙරුවන් වැඳ සීලයක පිහිටා මල් පහන් පුදා සූදානම් වෙන්න ඕනෑ. ලෙඩ දුක් භූත දෝෂ ඉවත් කරන්න නම් සතරවරම් දෙවියන්ට පින් දී ආරක්ෂාව ඉල්ලන්න ඕනෑ. සියලුම භූත කොටස් ඉන්නේ හතරවරම් දෙවියන්ගේ අණ ගුණ යටතේයි.

පහන දල්වන විට ම දෙවියන් ට ඒ පණිවුඩය යනවා. මේවාට වියදම් කරන්න ඕනෑ දැහැමිව උපයාගත් ආදායමෙන්. කසිප්පු විකිණීම වගේ වැරැදි මිත්‍යා ජීවිකාවෙන් හරිහම්බ කළ ධනය මුසුකරන්න බැහැ.

පිරිත් කියන්නා එය මෙති‍්‍රයයෙන් ම කරන්න ඕනෑ. මොහු සුවපත් වේවා, මොහුට යහපතක් ම වේවා යන අදහස සහිත චිත්ත තරංග පිරිත අවසන් වන තුරු ම පිරිත් කියන්නාගෙන් පිට වෙන්න ඕනෑ. මේ සත්‍යයේ බලයෙන් සුවපත් වේවාය අධිෂ්ඨාන කරන්න ඕනෑ.

පිරිත අසන්නාට වගේ ම කියන්නාටත් බොහොම ගුණදායකයි. වර්තමානයේ මිනිසුන්ට වැළඳී තියෙන රෝගාබාධවලින් සියයට හැත්තෑපහක් ම පිරිතෙන් සුවපත් කරන්න පුළුවන්. ඖෂධ පමණක් ප‍්‍රමාණවත් නැහැ. කෙනෙක් දුර්වල වන විට, රෝගී වනවිට කර්මානුරූපීව අයහපත් භූත කොටස් සමීප වෙනවා. ඒ නිසා පිරිතේ බලයෙන් ඒ දොස් ඉවත් වන විට ඖෂධ ගුණයත් ශරීරයට පිහිටනවා යැයි ද වදාළහ.


Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

Categories

%d bloggers like this: