Posted by: lrrp | January 31, 2009

නිරවුල් සමාජයකට මඟ කියන චින්තතන නිදහස

චින්තන වශයෙන් මෙන්ම ක්‍රියාකාරීත්වයෙන් ද දාස භාවයෙන් බැහැර වීම, නිදහස යි. යමෙක්, තමන් උපන් දා පටන් හැදෙන වැඩෙන සමාජය තුළින් විවිධ අදහස් මෙන්ම ශාරීරික වශයෙන් ද පෝෂණය ලබයි. එහෙත් පාරම්පරික වශයෙන් ලබන වැරැදි සංකල්ප චින්තාමය ප්‍රඥාවෙන් බැහැර කොට නිර්මාණාත්මක අදහස් සමාජයට දීමට ඔහුට හැකි වෙයි නම්, සමාජයෙන් ලබා ගත් ශාරීරික පෝෂණයට වඩා තමාගේ ශක්තියෙන් සමාජයට පරිත්‍යාග කරන එම නව චින්තනය සැබෑ නිදහසට මාවතක් වනු ඇත.

එථ තුම්හේ කාලාමා මා අනුස්සවේන, මා පරම්පරාය, මා ඉතිකිරාය, මා පිටක සම්පදානේන, මා තක්ක හේතු, මා නය හේතු, මා ආකාර පරිවිතක්කේන, මා දිට්ඨිනිජ්ඣානක්ඛන්තියා, මා භබ්බරූපතාය, මා සමණෝ නෝගරූති, යදා තුම්හේ කාලාමා අත්තනාව ජානෙය්‍යාථ ඉමේ ධම්මා අකුසලා, ඉමේ ධම්මා සාවජ්ජා, ඉමේ ධම්මා විඤ්ඤුගරහිතා, ඉමේ ධම්මා සමත්තා සමාදින්නා අහිතාය, දුක්ඛාය සංවත්තන්තීති.

සුගත තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ සත්වයාගේ සදාකාලික නිදහස සඳහා මෙලොවදීම ප්‍රත්‍යක්‍ෂ වශයෙන් දැනගත හැකි ධර්ම මාර්ගයක් දේශනා කළ සේක. අපි, නිදහස වශයෙන් සිය දහස් වර, වසරින් වසර සමරන්නේ, කෙනකුට තවත් කෙනෙක් යටත් නොවීම යි. මිහි මත සෑම පුද්ගලයාටම මඳ කල කට, සීමා සහිතව පෞද්ගලික චින්තනයක් වශයෙන් ජනිත වන නිදහස පිළිබඳ අදහස් සාමූහික ක්‍රියාවලියකට ව්‍යාප්ත වීමෙන් නිදහස පිළිබඳ සමාජ ආකල්පයක් ඇති වෙයි. එහෙත් යථාර්ථ ලෙස කල්පනා කරන විට කෙනකු තුළ ආත්මීය හැඟීම්, සපුරා සන්තානයෙන් බැහැරවනතුරු ඔහු තමාට තමා වහලකු වනවා මෙන්ම එම හැඟීම් විශාල පිරිහීමකට ද හේතුවන බව පෙනී යයි.

පුද්ගලයාගේ චින්තන ධාරාව සාමාන්‍යයෙන් යොමු වී ඇත්තේ, ආත්ම පෝෂණයට යි. මේ නිසා ඔහු ප්‍රථමයෙන් තමාට තමා වහලකු වී, රටින් රට ජාතියෙන් ජාතියට ද එම පරාධීනත්වය, විවිධාකාර ලෙස සූක්‍ෂ්ම ලෙස ක්‍රියාත්මක කරයි. රට, ජාතිය, ආගම, නිකාය, වර්ණය, කුලය, පක්‍ෂය, ධනවත් බව දිළිඳු බව උගත්කම නූගත්කම ආදී විවිධත්වය අනුව එම ආත්මීය චින්තන රටාව පෝෂණය වීමෙන් මිනිසා තුළ ඇති උසස් මානුෂික හැඟීම් සේම නිර්මාණ කුසලතා ද පිරිහීමට පත් වෙයි. වත්මන් යුගයේ, ඔහු විද්‍යා දැනුමෙන් ඔහු කොතරම් දියුණු වූවද මේ ආත්මීය හැඟීම් නිසා ඔහු, ඔහුටම, වහලකු බවට පත් වී ඇත.

යමකුට තමන් තුළ නිවහල් චින්තනයක් ඇති කර ගැනීමට අවශ්‍ය වහා පරිවර්තනය වන සමාජ යන්ත්‍රය ගමන් කරන මඟට එලෙසම අනුගත නොවී තමාගේ චින්තනයේ පැහැදිලි බව ආරක්‍ෂා කර ගැනීමට ඔහු වග බලා ගත යුතු වේ. සමාජයේ පවතින අවුල් සහගත සංකීර්ණ දෘෂ්ටිවාද සන්තාන ගත කළ විට, සිත, කය, වදන නොමඟ යෑම අනිවාර්ය ය. සමාජය බහුල ලෙස සිතන පතන රටාව සම්ප්‍රදායික තණ්හා ජාලයේම චලන මාත්‍රයක් බැවින්, එයින් ආගමික, දේශපාලන, ආර්ථික හෝ සමාජික වශයෙන් සැබෑ සංවර්ධනයට හේතුවන චින්තන කුසලතාවක් නිර්මාණය නොවෙයි. ප්‍රාග් බෞද්ධ මිනිසාද පාරම්පරික චින්තන ප්‍රවාහයේ වහලකු වී සත්‍යය අසත්‍යය සොයා ගැනීමෙහි අසමර්ථව, අවිනිශ්චිත ප්‍රපංච වල වැටී සිටි අයුරු දුටු බුදුරජාණන් වහන්සේ, ඔවුන් එයින් මුදවා ගැනීමට මිනිස් චින්තනය කෙසේ මෙහෙය විය යුතු ද යන්න ඉතා පැහැදිලි ලෙස මනෝ විද්‍යානුකූල ලෙස පෙන්වා දුන් සේක.

වරෙක අප බුදුරදුන් කොසොල් රට කාලාම නම් නියම් ගමට වැඩම කළ අවස්ථාවේද, කාලාම නම් ක්ෂත්‍රියයා විවිධ ශ්‍රමණ බ්‍රාහ්මණයන්, ශාස්තෘවරුන් පළ කළ අදහස් පිළිබඳ බුදුරදුන්ගෙන් විමසූ අවස්ථාවේදී බුදු දහමේ විවෘත චින්තන පිළිවෙත බුදුහිමියෝ ඔහුට පහදා දුන්හ.

ත්‍රිපිටකය තුළ මෙතරම් පුළුල් දේශනා රැසක් දක්නට ලැබෙන්නේ නිර්වාණය වැනි ගැඹුරු දහමක් පිළිබඳ විවිධාකාර පුද්ගල ආකල්ප සමග විවෘතව සාකච්ඡා කිරීම නිසා ය. භාරතය වැනි විවිධ දෘෂ්ටි සහිත වූ සමාජයක ජනතාවට සත්‍යය සහ සැබෑ නිදහස වෙත යා යුතු නිවැරැදි චින්තන පිළිවෙත පහදා දීමට හැකි වූයේ, බුද්ධ දේශනාවට පමණකි.

කාලාම, උපාලි, සුභ ආදී සූත්‍ර දේශනාවලින් දැක්වෙන පරිදි සමාජගත අදහසක් පිළිගැනීම හා නොපිළිගැනීමේ අයිතිය ඇත්තේ තමාටම ය. ඇසූ පමණින් පරපුරෙන් ආ පමණින්, තර්කයට න්‍යායට අනුකූල බැවින් තමන්ගේ දෘෂ්ටියට සමාන යැයි සැළකීමෙන් හෝ දේශකයාගේ තත්ත්වයට ගරු කිරීමෙන් ඒවා පිළිනොගන්නා ලෙස බුදු හිමියෝ අවධාරණයෙන් පෙන්වා දෙන සේක.

යම් අවස්ථාවක මේවා අකුසල් ය. මේවා වැරැදි ය. මේවා අහිත පිණිස, දුක් පිණිස පවතින්නේ ය. කියා මේවා කුසල් ය. මේවා නිවැරැදි ය. මේවා හිත පිණිස, සැප පිණිස පවතින්නේයි යනුවෙන් හෝ තීර්ණය කිරීමෙන් පිළිගත යුතු ය. එහෙත් කෙනකුට මෙවැනි නිවැරැදි තීරණ වලට එළඹීමට ජීවිත ආරම්භයේ පටන් පූර්වාදර්ශයක් අත්‍යවශ්‍ය වේ. බුදු දහමට වැඩියෙන් නැඹුරු වූ ලංකාව, තායිලන්තය, මියන්මාරය, කාම්බෝජය, ජපානය, චීනය, තායිවානය ආදී රටවල කුසලයෝ එම පූර්වාදර්ශය, බුදු දහම නැති රටවලට ද නිවැරැදි මඟ පෙන්වීමක් වන්නේ ය.

මිනාසාගේ ජීවිතයේ මූලික සදාචාර පදනම සාවද්‍ය වුවහොත්, ජීවිතාන්තය දක්වා වැරැදි මාර්ගයක ගමන් කොට භවාන්තරයේ දී මනුෂ්‍යත්වය අහිමි වීමට ඉඩ ඇත. බුද්ධාගමේ දක්වා ඇති චින්තනය නිදහස අනුව ජීවිතයක බාල කාලයේ පටන් සත්‍යය වෙත යොමු කරන පරිසරය සකස් වන්නේ නම්, ජීවිතයේ මධ්‍යම අවස්ථාව වන විට නිදහස් චින්තකයකු දාර්ශනිකයකු, විද්‍යාඥයකු, සත්‍ය විචාරකයකු හෝ සාධනීය ජීවන දර්ශශනයක් ඇති ජාතික නායකයකු වීමට කෙනෙකුට හැකි වන්නේ ය. එමෙන්ම නිවැරැදි තිරසර අදහස් අවංක ලෙස ක්‍රියාත්මක කිරීමට සමත් ආත්ම ශක්තියක් එවැනි අයකු තුළ ඇති වන්නේ ය.

චින්තන නිදහස විචාරයට පමණක් නොව, මානුෂික ගුණාංග ආරක්‍ෂා කිරීමට ද පදනම වන බව බෞද්ධයන් විසින් ප්‍රතිපත්තියෙන්, පරමාදර්ශනයෙන් සමස්ත මානව පරපුරටම පෙන්විය යුතු ය. ක්‍රියාවේ මූලය චින්තනය නිසා අවංක, විවෘත චින්තනයක් ඇති පුද්ගලයාගේ ජීවන රටාව, අති පවිත්‍ර වන්නේ ය. එමෙන්ම යහපත් ක්‍රියාව අනුව විපාක ලැබීම්, කර්ම න්‍යාය ධර්මයයි.

සිතීම, විමසීම, තීරණය කිරීම, පිළිගැනීම, ක්‍රියාව හෙවත් ප්‍රතිචාරය යන මානුෂික ප්‍රතිපත්ති කුසල් අකුසල් යන දෙකටම එකසේ සාධාරණ ය. එහෙත් මෙම අංශ දෙකෙහි ප්‍රතිඵල

1. අධම්මෝ නිරයං යාති
2. ධම්මො පප්පෝති සුග්ගතිං

ආදී වශයෙන් දේශිත බුදු වදන් අනුව, ඉතා දුරස්ථ ය.

බෞද්ධ දර්ශනය පිළිගැනීමට මෙන්ම ප්‍රතිඵල ලැබීමට ආධ්‍යාත්මක වශයෙන් නිදහස්, නිවහල් චින්තනයක් අත්‍යවශ්‍ය වේ. ලෞකික වශයෙන් බැඳීම් සහිත ස්වභාවය නිසා චින්තනයෙන් අනුන්ගේ මතයට වහලකු වීම සිදුවෙයි. ප්‍රඥාවන්තයා කිසිම අරමුණක බැඳීමක් නැතිව, තණ්හාදී කෙලෙස් දුරු කරමින් චින්තන නිදහස තුළින් සදාකාලික නිදහස ලබා ගනියි.

චින්තන වශයෙන් මෙන්ම ක්‍රියාකාරීත්වයෙන් ද දාස භාවයෙන් බැහැර වීම, නිදහස යි. යමෙක්, තමන් උපන් දා පටන් හැදෙන වැඩෙන සමාජය තුළින් විවිධ අදහස් මෙන්ම ශාරීරික වශයෙන් ද පෝෂණය ලබයි. එහෙත් පාරම්පරික වශයෙන් ලබන වැරැදි සංකල්ප චින්තාමය ප්‍රඥාවෙන් බැහැර කොට නිර්මාණාත්මක අදහස් සමාජයට දීමට ඔහුට හැකි වෙයි නම්, සමාජයෙන් ලබා ගත් ශාරීරික පෝෂණයට වඩා තමාගේ ශක්තියෙන් සමාජයට පරිත්‍යාග කරන එම නව චින්තනය සැබෑ නිදහසට මාවතක් වනු ඇත.

මානව පරපුර මිහිමත බිහි වූ දා සිට, ශක්තිය බලාධිකාරයක් කරගෙන එය යුක්ති ස්ථානයේ තබන්නට යෑමෙන් කොතරම් සටන් ඇති වූයේ ද යන්න ඉතිහාස තොරතුරු වලින් පැහැදිලි වෙයි. පියවරෙන් පියවර ප්‍රගතිමාර්ගයේ ඉහළටම පා තැබූවද, යුක්තිය ශක්තියක් කරගෙන සෑම මිනිසාටම සාධාරණය නිදහසේ රස විඳින්නට නොහැකි වූයේ, මිනිසා විසින්ම නිර්මාණය කළ නීතිය, යුක්තියක් කර ගැනීමට ඔහුටම නොහැකි වූ නිසා ය. ආගම, ජාතිය, පක්‍ෂය වශයෙන් ද, ධන, නිර්ධන, උගත්, නූගත්, බල දුබල වශයෙන් ද එකම මිනිස් වර්ගයා වර්ගීකරණයෙන් එකිනෙකා දුරස්ථ වන විට, මානව සමාජයෙන් විශාල ජනතාවකට නිදහස ගැන සිතීම පවා සිහිනයක් බවට පත් වෙයි.

ලෝකය එකම පවුලක් වශයෙන් සමඟිව පියවර තබන්නේ නම් – වත්මන් සමාජයේ පවතින වැරැදි ප්‍රවණතාව වෙනස් කොට, ලෝකයේ බහු ජනතාවක් සඳහා නිදහසේ අදහස් ප්‍රකාශ කරන්නට සාමයේ හා සෞභාග්‍යයේ රසවිඳින්නට හැකි වන්නේ ය. මිනිසා යාන්ත්‍රික වන විට ඔහුගේ මානුෂික ගුණාංග විනා වෙයි. එවිට මිනිසා තමා බලය යොදන්නේ, අවි ආයුධ මඟින් අනුන් මර්දනය කොට යටපත් කිරීම සඳහා ය.

මනුෂ්‍යත්වයේ උදාර බව පෙන්වා දුන්නේ, අප සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසිනි. එවන් අතිදුර්ලභ වූ මනුෂ්‍යත්වය ලබා ගැනීමට මෙන්ම එය නිසි ලෙස පවත්වා ගැනීමට අවශ්‍ය පරිසරය සකස් කර ගත යුතු බව නිදහස ගැන සිතන හැම දෙනෙකු විසින්ම මෙනෙහි කළ යුතු ය.

නො එසේ නම්, නිදහස ලෝක සමාජයේ සංකල්ප මාත්‍රයක් පමණක් වන්නේ ය.

ඔබ සැමට තෙරුවන් සරණයි.


Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

Categories

%d bloggers like this: