Posted by: lrrp | January 31, 2009

සොපි නැන්දේ තිරික්කලේ රෝදේ කෝ…

මේ විශ්වයේ මිනිසාගේ ඇසට නොපෙනෙන දේ බොහෝ ය. තමන් ගේ ඇසට නොපෙනෙන, නවීන විද්‍යාවේ උපකරණවලට ද නොපෙනෙන දේ පිළිගැනීමට භෞතිකවාදීහු බොහෝ මැළිවෙති. ඒත් මදිවාට ගරහති. එහෙත් එවැනි දේ පිළිබඳ අත්දැකීම් අපට නිතර වාර්තා වෙයි.

එසේම මෙවැනි සිද්ධීන් නිසා කර්මය හා කර්ම ඵලය පිළිබඳ නුවණින් වටහා ගන්නා උදවිය පාපයෙන් මිදී යහමඟට පිවිසෙති. එය කුසලයක් වශයෙන් ගෙන අපට ද සතුටු විය හැකි ය. මීගමුව තලාදූව පාරේ ඇස්.ඇල්.ජී.ජගත්සිංහ මහතා අප සමඟ පැවසූ කතාවකි මේ.

”මගේ සීයා (පියාගේ පියා) වෙදකම, යන්ත‍්‍ර මන්ත‍්‍ර හා කවිකලාව කළ කෙනෙක්. ගම්මුලාදෑනිවරයෙක්. ගොවිතැන හා එළවළු කොරටුවලින් හොඳ ආදායමක් ලැබූ කෙනෙක්. ඒවගේ ම මගේ තාත්තාගේ මාමාත්, එළවළු කොරටු කළ කෙනෙක්.

මගේ තාත්තාත් ගොවිතැන හා එළවළු වගාවෙන් ආදායම ලැබූ අතර ගෙඩි වෙදකම, ඉරුවාරදය, දත් කැක්කුම, බඩේ අමාරු, බල්ලන් සර්පයන් දෂ්ට කිරීම් ආදියට නොමිලේ වෙදකම් කළා. තාත්තාගේ ජනප‍්‍රියත්වයට තාත්තාගේ මාමා ඊර්ෂ්‍යා කළා. තාත්තාට මාමලා දෙන්නයි. අනිත් එක්කෙනා පැවිදි වෙලා දෙනිපිටිය පන්සලේ වැඩ වාසය කළා. උන්වහන්සේ සෙත්කවි වස්කවි සෑදීමට දක්ෂයි.

දවසක් රාති‍්‍රයේ තාත්තාගේ තිරික්කලේ රෝදයක් හොරු අරගෙන. ඒ වගේ වැඩ කරන්නේ අවනම්බු කරන්න. තාත්තා ගිහින් දෙනිපිටියෙ හාමුදුරුවන්ට මේ ගැන කීවා. හාමුදුරුවෝ වස්කවියක් හදාදුන්නා කරත්ත මඩුවේ ඉඳගෙන කියන්න.

වස්කවිය කියූ දා රාති‍්‍රය නින්දෙන් කවුදෝ තාත්තා ඇඳෙන් බිමට ඇද දාලා. පහුවදා ඒ ගැන හාමුදුරුවන් ළඟට ගිහින් කීවාම ඒ කවිය බලවැඩියි කියා වෙනත් කවියක් හදා දුන්නා. තාත්තා ඒ අලුත් වස් කවිය කීවා. දවස් හතක් කවිය කියා අවසන් වුණා.

එදා තාත්තාගෙ අනිත් මාමා එයාගෙ තිරික්කලෙන් එයාගේ එළවළු නගරයට ගෙන ගිහින් විකුණා ආපහු එන කොට කරත්තය කෙළින් ම ගිහින් තියෙන්නේ ගමේ සොහොනට. සොහොනේ සිහිය නැතුව ඉඳලා පසුව ගෙදර ඇවිත් අසනීප වෙලා. ඒ අසනීපයෙන්ම මැරිලා.

ඉතින් අපේ තාත්තා ඒ සීයගෙ මළ ගෙදර ගියාම, මැරුණු සීයගෙ බිරිය “උඹ තමයි මගේ මිනිහව මරා ගත්තේ” කියලා තාත්තාට බැණ වැදුණාලු. එතකොට තමයි දන්නේ අපේ තිරික්කලේ රෝදය සොරකම් කළේ මේ මැරුණු සීයා බව. මැරුණු සීයගෙ මුහුණ යක්ෂයකුගේ මෙන් විකෘතිව තිබුණාලු.

වස්කවිය හැදූ හාමුදුරු සීයාත් එතකොටයි සිද්ධිය දන්නේ. තමන්ගේ ම සහෝදරයා මේ සොරකම කළ බව දන්නවා නම් සමහර විට වස්කවිය හදා නොදෙන්නත් ඉඩ තිබුණා.

ඒ මැරුණු සීයාගෙ බිරියගෙ නම සොපී. අපි කියන්නේ සොපි ආච්චි කියලා. එදා ඉඳලා සොපි ආච්චි අපිත් එක්ක තරහයි.

ඒ සිද්ධියෙන් පස්සෙ අනිත් නෑදෑයොත්, ගමේ අයත් දැනගත්තා අපේ තාත්තා එළවළු කොරටු කරගෙන, ගොවිතැන්බත් කරගෙන ගමේ උදවියගෙ ලෙඩට දුකට පිහිටවෙමින් නම්බුකාර විදිහට ජීවිත් වෙනවාට ඉසිරියාවෙ අපට ලැජ්ජා කරන්න අවනම්බු කරන්න තිරික්කලේ රෝදය හොරකම් කළේ පවුලෙම ඥාතියෙක් ය, වස් කවියෙන් පස්සෙ උන්දෑ මැරුණු බව.

අන්තිමට කරපු වැරැද්දට දඬුවම් ලැබුවා මදිවට සොපි ආච්චිත් වෙරයෙන්, ක්‍රෝධයෙන් ඉඳලා මැරිලා ගියා. මේ සිද්ධිය සිදු වී තියෙන්නේ මෙයින් අවුරුදු ගණනාවකට කලින් තාත්තා තරුණ කාලයේ.

මගේ තාත්තාට දරුවො දෙන්නෙක් ඉන්නවා. මමයි මගේ අක්කයි. පසුකලෙක මමත් මාතර දෙනිපිටියෙ ඉඳලා මීගමුවෙ පදිංචියට ආවා. පහුගිය කාලයේ මගේ තාත්තා අසනීප වුණා. ආහාර ගන්න බැරුව ගියා. ඒ වගේ ම තාත්තා නිතර “සොපි නැන්දේ! තිරික්කලේ රෝදේ – සොපි නැන්දේ තිරික්කලේ රෝදේ” කියන්න පටන් ගත්තා.

මම මීගමුවේ සිට තාත්තා බලන්න මාතර මහ ගෙදරට ගියා. මම දන්නේ නැහැ ඒ වන විට අපේ සීයා මගේ ශරීරයට ඇතුළුවෙලා. ඒ බව මට දැනුණේ නැහැ. මම ගෙදරට ගිය හැටියේ තාත්තා හරියට සතුටු වුණා.

මේ වනවිට දරදඬු විදිහට කතා බහකරමින් කෑම බීම ප‍්‍රතික්ෂේප කරපු ගති පහව ගියා. මම කෑම කවන කොට තාත්තා හරිම කැමැත්තෙන් කෑම කෑවා. මේ වෙන කොට තාත්තා ගේ වයස අවුරුදු අසූහයයි. අප තාත්තාට සෙත් ශාන්ති කළා. දාන-මාන පින්කම් කළා. තාත්තා සුවපත් වුණා.

මම නැවතත් මීගමු යන්න සූදානම් වුණා. තාත්තාගේ ඇස්වල කඳුළු පිරුණා. පුතා යනවද කියලා ඇහුවෙත් හරිම දුකෙන්. මම මීගමුවට ආපහු ආවාට පස්සෙ පහුගිය (2008) සැප්තැම්බර් මාසෙ තාත්තා අන්ත‍්‍රාවුණා.

”සොපි නැන්දේ තිරික්කලේ රෝදේ” කියමින් තාත්තා නිතර උච්චාරණය කළ නිසා මමයි මගේ අක්කයි ශාස්ත‍්‍රයක් අහන්න ගියා. එතැනදි කිව්වා,

”පුතා තාත්තා ළඟ ඉඳලා පිටත්වෙන කොට තාත්තාගෙ ඇස්වල කඳුළු පිරිලා තිබුණ නේද? තාත්තා පුතා නැවත එනකම් මඟ බලාගෙන හිටියා” කියා. “ඒ වගේ ම පුතා කලින් වතාවේ තාත්තා බලන්න යන කොට පුතා එක්ක සීයත් ගියා.

සීයා තමයි සොපියව පන්නා ගත්තේ” කියලත් කීවා. ශාස්ත‍්‍රකාරිය අක්කාට කීවා “පුතා තාත්තගෙ දානය හොඳට දේවි. දුව ඒ දානයට උදව් කරන්න. හැබැයි දුව ඒ දානයට හදන කෑම බීම කිසිම දෙයක් ඉඳුල් කරන්න එපා.

දානයෙන් ඉතුරු වෙන හැම දෙයක් ම බලු කපුටන්ට දෙන්න. ඒ දානය මහත්ඵල මහානිසංස වේවි” කියා. ඒ වගේ ම අපි ඒ දානය ඉතා ම පිරිසුදුව අංග සම්පූර්ණව සංඝයා වහන්සේ පහළොස් නමකට පිරිනැමුවා.

ශාස්ත‍්‍රකාරිය වැඩිදුරටත් උපදෙස් දී තිබුණු පරිදි තාත්තගේ වයසේ ම වැඩිහිටියෙක් කැඳවා ආහාර පානයෙන් සංග‍්‍රහ කොට සරොම් කමිස පරිත්‍යාග කළා. සැරයටියක් පවා ඒ වැඩිහිටියාට පිරිනැමුවා. ඔහු ඉතාම ප‍්‍රීතිමත් වූ බව පෙනුණා.

අපේ ආච්චි අම්මා (අම්මගෙ අම්මා) ජීවත්ව සිටියදී අපට බොහෝ ම ආදරය කළා. දැන් ඒ මැරුණු ආච්චි මගේ අක්කාට සමීප වෙලා. අපට නොපෙනෙන භූත ලෝකයේ ජීවත්වෙන සංසාරික ඥාතීන් මේ වගේ මිනිසුන්ට බලපෑම් කරනවා.

මම ගල්දූව ආරණ්‍ය සේනාසනය ආරම්භ කළ කඩවැද්දුවේ ජිනවංශ නාහිමියන්ගෙන් භාවනා උපදෙස් ගත්තා. උන්වහන්සේ අපවත්වුණාට පස්සෙ නාවිමන අරියධම්ම ස්වාමීන්වහන්සේ ගෙන් භාවනාව ප‍්‍රගුණ කළා.

දැන් මොරගොල්ල සුධම්ම හිමියන් ඇසුරු කරමින් නිතර භාවනා කරනවා. මගේ බිරියත් එකොළොස් හැවිරිදි දියණියත් සෑම පසළොස්වක පොහොයකටම සිල් සමාදන් වී භාවනා කරනවා. ආධ්‍යාත්මීය වශයෙන් බලවත් වන විට භූතයන්ගේ බලපෑම් අඩුයි.

කෙසේ නමුත් තණ්හාව, වෙරය, ක්‍රෝධය වගේ ම ඊර්ෂ්‍යාවන් කර්මානුරූපව විපාක දෙන හැටි මේ සිද්ධිවලින් පෙනෙනවා. තමන්ගේ ම කෙනෙක් යහපත් අන්දමින් ජීවත්වෙන කොට, නොමිලේ සේවයක් කරමින් ජනප‍්‍රිය වෙන විට, ඔහුට ආශිර්වාද කරනවා වෙනුවට අවනම්බු කරන්නට තිරික්කලේ රෝදයක් සොරකම් කිරීමෙන් පුද්ගලයෙක් අපාගත වුණා.

ඒ වගේ වැරදි වැඩවලට අනුබල දෙමින් කටයුතු කළ ඔහුගේ බිරිය වෙරයෙන් අපාගත වුණා. මුදිතා ගුණයේ වටිනාකම පැහැදිලි වෙන්නේ මේ වගේ අවස්ථාවල. අනුන්ගේ සැපතේදී සතුටු වෙන්නට තරම් තමන්ගේ සිත හදාගන්නට පුළුවන් නම් මෙහෙම වෙන්නේ නෑ” යයි කියමින් ජගත්සිංහ මහතා කතාව අවසන් කළේය.


Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

Categories

%d bloggers like this: