Posted by: lrrp | February 12, 2009

භව දුක බිහි කරන උපාදානය

භවය තුළ සිටින සත්ත්වයාගේ ස්වභාවය නම්, භවය තුළ යථොක්ත ආදීනව විඳිමින් භවයටම ඇලුම් කිරීමයි. අරියපරියෙසන සූත්‍රයෙහි මෙය බුදුන් වහන්සේ පැහැදිලි කළහ. ජාතිය ජරාව මරණය ස්වභාව කොට ඇති සත්වයා ජාති ,ජරාව හා මරණය ස්වභාව කොට ඇත්තක්ම සොයන බවත් මෙය අනාර්ය පර්යේෂණයක් බවත් ,එහි පෙන්වා දී ඇත. මේ නිසා ඊට ප්‍රතිවිරුද්ධ ධර්මතා සෙවීම ආර්ය පර්යේෂණයකි.

බු දුරජාණන් වහන්සේගේ පටිච්ච සමුප්පාද දේශනාවට අනුව භවයක් ලැබීමට හේතු වන ප්‍රධානතම කරුණ උපාදානය බව ‘උපාදාන පච්චයා භවො’ යනුවෙන් සූත්‍ර දේශනාවල දැක්වේ. මෙහි ‘උපාදානය’ යනු, දැඩිව අල්ලා ගැනීම යි. කවරක් දැඩිව ගනී ද යන්න විග්‍රහ කිරීම සඳහා උපාදාන හතරක් දක්වා ඇත. 1. කාම උපාදානය, 2. දිට්ඨි උපාදානය, 3. සීලබ්බත උපාදානය, 4. අත්තවාද උපාදානය යනුවෙනි. රන්, රිදී, මුතු, මැණික්, පුත්‍ර, දාරාදී කාම වස්තුන් මාහැඟි වස්තුන් ලෙස දැඩිව සිතින් අල්වා ගැනීම, කාම භවයක් ලැබීමට හේතුවෙයි. එකී කාම වස්තුන් භුක්ති විඳීමේ ආශාවෙන් අකුසල කර්ම කරන අය අපායෙහි උපදිති. එසේම එකී කාම වස්තූන් පතා පින් කරන අය මනුෂ්‍ය හා දිව්‍ය ලෝකවල උපත ලබති. රූපාවචර ධ්‍යාන වඩා එකඟ වූ සිත් ඇති ඇතැම්හු මිනිස් ඇස ඉක්ම වූ දිව්‍ය චක්‍ෂුසය උපදවා අතීතයෙහි ආත්මභාව හතළිස් දහසක් පමණ ද අනාගතයෙහි ආත්ම හතළිස් දහසක් පමණ ද දකිති. මෙසේ දකින ඔවුහු ලෝකය ශාස්වත හෙවත් සදාකාලික බව සිතා එයම දැඩි කොට ගනිති. මෙය වූ කලී මිථ්‍යා දෘෂ්ටියකි. එම මිථ්‍යා දෘෂ්ටියෙන් යුතු වූවෝ දුන් දෙයෙහි විපාක නැත. යනාදී වශයෙන් සිතා කරනු ලබන කර්ම අනුව භවයක් ලැබේ. මෙය දෘෂ්ටි උපාදානය යි. මෙයින් ශුද්ධිය වේ යැයි සිතා, ශීල ව්‍රත, ගෝ ව්‍රත අජ ව්‍රත ආදිය අනුගමනය කිරීම, සීලබ්බත උපාදාන නම් වෙයි. එකී ව්‍රත අනුගමනය කිරීමෙන් මේ ලෝකයෙහි හෝ වෙනත් රූප හෝ අරූප භවයක සැප ලැබේ යැයි සිතා කර්ම කිරීමෙන් ලබන භවය කර්ම භවය යි. එයින් ලබන උපත භව උප්පත්තියයි. රූපය ආත්මය ආදී වශයෙන් විසි වැදෑරුම් ලෙස ගැනීම නැතහොත් සත්ත්වයා මියයන විට පරලොව ඉපදීමට යන ආත්මයක් ඇත යන ආදී වශයෙන් ආත්ම සංකල්පයක් දැඩිව සිතින් අල්වා ගැනීම, අත්තවාද උපාදනයයි. මේ නිසා මෙකී උපාදානය හෙවත් දැඩිව සිතින් අල්වා ගැනීම නිසා කර්මානුරූප ලෙස සත්ත්වයාට ඉහත විස්තර කළ පරිදි වූ භවයක් හිමි වෙයි.

දීඝ නිකායේ මහානිදාන සූත්‍රය බුදුදහමේ වැදගත්ම සූත්‍රයක් ලෙස සැලකෙයි. එම සූත්‍රයෙහි බුදුන් වහන්සේ මෙසේ වදාරා ඇත. ‘ආනන්දය, එහෙයින් යම් මේ උපාදානයක් වේ ද, මෙයම භවයට හේතුව ය. මෙයම නිදානය ය, මෙයම සමුදය ය, මෙයම ප්‍රත්‍යය (තස්මාතිහානන්ද, එසෙව හෙතු, එතං නිදානං එස සමුදයො එස පච්චයො භවස්ස, යදිදං උපාදානං) මේ නිසා උපාදාන නැති කිරීමෙන්ම භව නිරෝධය කළ යුතු වෙයි. උපාදානය නැති කිරීමට නම් රූප තෘෂ්ණාව, ශබ්ද තෘෂ්ණාව, ගන්ධ තෘෂ්ණාව, රස තෘෂ්ණාව, ස්පර්ශ තෘෂ්ණාව හා ධර්ම තෘෂ්ණාව නැති කිරීම අවශ්‍ය ය. මෙසේ හේතුඵල න්‍යාය අනුව කල්පනා කිරීමේදී දුක නැති කිරීමේ ක්‍රමවේදය සම්‍යක් ප්‍රඥාවෙන් දත යුතු වෙයි.

මනෝ විද්‍යාත්මක විශ්ලේෂණයකින් ද භව සංකල්පය පිළිබඳ හැදෑරීමක් කළ හැකි ය. එනම් බුද්ධ දේශනාවල බොහෝ තැන්වල දක්නට ලැබෙන ‘එතං මෙ එසො හමස්මි එසො මෙ අත්තා’ යන ප්‍රකාශය අනුව සිතීමෙනි. මෙහි තේරුම වන්නේ මෙය මගේ ය. මේ මම වෙමි, මේ මගේ ආත්මය’ යන්න යි. මෙම පද පිළිවෙළ ත්‍රිපිටකයේ කිසිදු තැනක වෙනස් නොවෙයි. ඒ අනුව සත්වයකුගේ චින්තන රටාව තුළ මුලින්ම ඇතිවන්නේ මගේ යන සංකල්පනාව යි. උපාදානය යනු ද, මගේ් යන හැඟීමයි. තෘෂ්ණාව ඇති කවර කෙනකුට හෝ මගේ යන ආකල්පයෙන් බැහැර විය නො හැකි ය. මගේ අත, මගේ පය, මගේ් මුහුණ, මගේ බිරිය, මගේ පුතා, මගේ රැකියාව, මගේ තත්ත්වය, මගේ ගෞරවය යනාදී මෙම සංකල්ප, තෘෂ්ණාවේ ඵලය. මගේ යන සංකල්පය තහවුරු වූ තරමට ‘මම’ යන හැඟීම තීව්‍ර වේ. තවත් විධියකින් කිවහොත් මගේ යන හැඟීමෙන් දැඩිව අල්ලා ගත් දේ ශක්තිමත් ලෙස පවතින විට ‘මම’ වශයෙන් සමාජය ඉදිරියේ පෙනී සිටීමට උත්තේජනයක් ඇති වෙයි. මෙය තමා විසින්ම කරන ලද්දක් ලෙසයි බාලයා සිතන බවත්, එහෙයින්ම ඔහුගේ ඉච්ඡාව හා මානය වැඩෙන බවත් ධර්මයෙහි සඳහන් වේ. අනෙක් අතින් කෙනෙකුට මගේ යැයි ගතයුතු යමක් නැති කල්හි මම කුමට ද? යන හැඟීම උපදී. නිදසුනක් ලෙස සුනාමිය වැනි උපද්‍රවයක් හෝ නාය යාමක් සුළි සුළඟක් වැනි ස්වභාවික උපද්‍රවයක් නිසා ගේ දොර දූ දරු ආදී මගේ යැයි ගතයුතු වූ වස්තු අහිමි වූ පුද්ගලයකු ගැන සිතමු. එබඳු අත්දැකීමකට මුහුණ පෑ පුද්ගලයකුට මම යන හැඟීමෙහි සාරවත් බවක් නො පෙනෙයි. මම වශයෙන් ගත හැකි යමක් නැති බව වැටහෙයි. මේ පිළිබඳ ඉතා පැහැදිලි හා වටිනා විස්තරයක් මජ්ක්‍ධිම නිකායේ අලගද්දූපම සූත්‍රයෙහි දක්නා ලැබේ. එම සූත්‍රයෙහි බුදුන් වහන්සේ ශෝක, පරිදේව, දුක්ඛ, දෝමනස්සයන් හා හිස අත් බැඳ හැඬීම් වැළපීම් ආදිය මගේ යැයි ගැනීම නිසා ඇතිවන බව වදාරති. එසේ නො වන උපාදානයක් ලෝකයෙහි ඇත්නම් එය ගැනීමට උපදෙස් දෙන උන්වහන්සේ, එනමුත් එබඳු උපාදානයක් ලෝකයෙහි විද්‍යමාන නොවන බව පෙන්වා දෙති. එබැවින් යමක් මගේ් යැයි ගැනීම උපාදානය ලෙසත් එයින් ශක්තිමත් වන මම යන හැඟීම භවය ලෙසත් අර්ථකථනය කළ හැකි ය. මම යන හැගීම තහවුරු වූ විට ආත්මීය වශයෙන් ගැනීමේ උත්තේජනය ඇති වෙයි. එබඳු තැනැත්තා භවයෙන් නිදහස් නොවෙයි. ‘දීඝරත්තං හෙතෙ භික්ඛවෙ අස්සුතවතො පුථුජ්ජනස්ස අජ්ෙක්‍ධාසිතං මමායිතං පරාමට්ඨං – එතං මම එසො හමස්මි එසො මෙ අත්තාති තස්මා

තත්‍රාස්සුතවා පුථුජ්ජනො නාලං නිබ්බින්දිතුං නාලං විරජ්ජිතුං නාලං විමුච්චිතුං’ යනුවෙන් අශ්‍රැතවත් පෘථග්ජනයා මෙය මගේය. මේ මම වෙමි, මේ මගේ ආත්මය යැයි බැසගන්නා ලද මමායනය කරන ලද පරාමර්ශනය කිරීමක් ඇති හෙයින් ඔහු සංස්කාර කෙරේ කළකිරීමට, එහි නො ඇලීමට හා ඉන් නිදහස් වීමට නුසුදුසු බව දක්වා ඇත. සිද්ධාර්ථ බෝසතාණන් වහන්සේ බුදු බව පසක් කිරීමත් සමගම වයස අවුරුදු තිස් පහේදී තමන් වහන්සේ ජාතිය, ජරාව, මරණය හා පුනර්භවය නැති කළ බව ප්‍රකාශ කළේ, මෙම මගේ් යන සංකල්පයත් මම යන හැඟීමත් දුරුකළ හෙයිනි. එහෙයින්ම උන්වහන්සේ ආත්මීය වශයෙන් ගත හැකි ස්වල්ප මාත්‍ර වූ ද දෙයක් ලෝකය තුළ විද්‍යමාන නො වන බවද වදාළහ. සාමාන්‍ය මිනිසෙක් තමා අවට දේ ආත්මීය වශයෙන් ග්‍රහණය කරන්නේ මම යන සංකල්පය ඔහු තුළ තහවුරු වී ඇති හෙයිනි.

භවය තුළ සිටින සත්ත්වයාගේ ස්වභාවය නම්, භවය තුළ යථොක්ත ආදීනව විඳිමින් භවයටම ඇලුම් කිරීමයි. අරියපරියෙසන සූත්‍රයෙහි මෙය බුදුන් වහන්සේ පැහැදිලි කළහ. ජාතිය ජරාව මරණය ස්වභාව කොට ඇති සත්වයා ජාති ,ජරාව හා මරණය ස්වභාව කොට ඇත්තක්ම සොයන බවත් මෙය අනාර්ය පර්යේෂණයක් බවත් ,එහි පෙන්වා දී ඇත. මේ නිසා ඊට ප්‍රතිවිරුද්ධ ධර්මතා සෙවීම ආර්ය පර්යේෂණයකි.

දුක නැති කිරීම සියලු සත්ත්වයන්ගේ අපේක්ෂාවයි. ඒ සඳහා භවය නැති කිරීමත් භවය නැති කිරීම සඳහා මගේ් යැයි දැඩි ලෙස ගැනීම නම් වන උපාදානය දුරු කිරීමත් කළ යුතු වේ.

මෙසේ හෙයින් භවය වූ කලී, දුක විඳීම ය, සැකසුණු නවා තැනක් වැනිය. අපාය මනුෂ්‍ය ලෝකය, දිව්‍ය ලෝක හා බ්‍රහ්ම ලෝක යනාදිය අබලන් වූ හා මනරම් ලෙස ඉදි කරන ලද නවාතැන් වැනි ය. බාහිර ආකෘතිය කෙසේ වෙතත් මේ සියල්ලම සැකසී ඇත්තේ දුක් දොම්නස හඬා වැළපීම සඳහාම වේ. එහෙයින් භවයට ඇලුම් කිරීම වූ කලී මායාවකට හසුවීමකි. භවයක් කෙරේ ඇල්මෙන් කුසල් හෝ අකුසල් සිදු කිරීම මුග්ධ ක්‍රියාවකි. බුදු දහමේ භවය හඳුන්වන්නේ, භව චක්‍රය නමිනි. ඊට හේතුව, එය හුදු තනි ඒකකයක් නොවීමයි.

පටිච්ච සමුප්පාද න්‍යායෙන් හෙළි පෙහෙළි කොට ඇත්තේ මෙම චක්‍රය සැකසී ඇති ආකාරයයි. ඉපදීමෙන් වන දුක නැති කිරීමට භවය නැති කළ යුතු ය. භවය නැති කිරීමට මගේ යැයි ගැනීම අත්හළ යුතුය. මගේ යැයි ගැනීම නැති කිරීමට තෘෂ්ණාව නැති කළ යුතුය. තෘෂ්ණාව නැති කිරීමට වේදනා නැති කළ යුතුය. මේ ආදී වශයෙන් ප්‍රතිලෝම නයින්, ස්පර්ශය, සළායතන, නාමරූප, විඤ්ඤාණ, සංස්කාර, අවිද්‍යාව යනාදිය නැතිකළ යුතු වෙයි. මෙම භව චක්‍රයෙහි අග මුල කොතැනක දැ යි නිශ්චය කළ නො හැකි ය. කවර හෝ තැනකින් මෙම චක්‍රය කැඩිය යුතුය. එකල්හි යථාර්ථමය වශයෙන් දුක නැති කළ හැකි ය. එය භව නිරෝධය යි. දුක්ඛ නිරෝධය යි.

කැලණිය විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය
කොළඹ මාලිගාකන්දේ විද්‍යොදය පිරිවෙනේ ආචාර්ය රාජකීය පණ්ඩිත, ආචාර්ය
මකුරුප්පේ ධම්මානන්ද හිමි


Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

Categories

%d bloggers like this: