Posted by: lrrp | February 12, 2009

මෙහෙමත් ගැහැනු

ආධ්‍යාත්මීය වශයෙන් සිත දියුණු කරන්නට නොපෙළඹෙන මිනිසා කිසි දෙයකින් තෘප්තිමත් නොවේ. ලද දෙයින් සතුටු වෙන්නට අකැමැතිය. නොසංසිඳුණු ආශාවෙන් තව තවත් “මට ඔය, මගේ පවුලේ අයටම යැ” යි දොඩම්ගොඩ බදා ගත්තා සේ අසීමිත තණ්හාව නිසා දුකට ම පත් වෙයි. මේ අසීමිත බලාපොරොත්තු ඉටු නොවන විට ඒ පුද්ගලයා ගේ ජීවිතයට එළඹෙන දුක් කරදර අපමණ ය. මෙසේ දුකට පත්වන විට හදි හූනියම් හෝ සෙනසුරු අපල කි‍්‍රයාත්මක වෙතැයි බියට පත් වෙයි. මේ සියල්ලට හේතුව සංසාරික අකුසල කර්මයන්හි විපාක හා මෙලොව ජීවන රටාවේ දුර්වලකම් බව සිතන්නේ නැත.

බුදු දහමට අනුව පෙර අත් බවයක දී තමන් ගේ චිත්ත ශක්තිය හා කාය බලය යොදවා තවත් කෙනකුගේ ජීවිතයකට හෝ ජීවිතවලට හාැනි පීඩා සිදු කොට දුක් කරදරවලට පත් කිරීමේ කර්ම විපාක නිසා බල හීනයකු විය හැකි ය. මේ ජිවිතයේ දී කිසි කෙනකුට පීඩා කරදර නොකර ජීවත්වෙද්දී තමන්ට අනුන්ගෙන් දුක් කරදර එළැඹෙන විට යකැදුරන් සොයා ගොස් පළි ගැනීමට දඬුවම් කිරීමට පෙළඹෙයි. තමන්ට හිරිහැර කරන්නාට ද මේ දුක ම ලබාදීමට උත්සාහ කරයි. තමන් පෙර භවයක දී තම ඉන්ද්‍රියයන් මෙහෙයවා සිදු කළ කර්මයේ විපාකය වෛරයකට ගෙන ඉදිරියට ද ගෙන යයි. මේ භවයේ දුබලයකු වුව ද වෙනත් උපක‍්‍රම යොදවා පළි ගැනීමට සිතයි.

මේ දුක් කරදර සියල්ල දැනෙන්නේ සිතට ය. සිත නිදහස්ව සැනසිල්ලේ ජීවත් වෙන්නට නම් පන්සිල් ආරක්ෂා කරමින් මෛති‍්‍ර භාවනාවේ යෙදෙමින් මෙත් සිත පැතිරවිය යුතු ය. එවිට සියලු දුක් කරදර පහව යයි. පන්සිල් තරම් පැළඳ ගත යුතු බලගතු යන්ත‍්‍රයක් තවත් නැත. එසේ නොවන පුද්ගලයාට වැටුපකින් හෝ ආදායමකින් ලක්ෂ ගණන් උපයා හොඳින් කා බී සිටිය ද සිතට සැනසුමක් නැත.. සැප විඳීමට ඉන්ද්‍රියයන් පිනවයි. අසීමිතව සැප සම්පත් සොයා හඹා යන විට ඔහු තුළින් පන්සිල් පැන යයි. පන්සිල් නොරැකෙයි. පස් පව් සිදුවෙයි. චිත්තෝපක්ලේෂ ධර්ම වංචක ධර්මවල ස්වරූප ගෙන පාපයටම බරවෙයි. හේ අහිතකර දේ අතහැරීමට කටයුතු නොකරයි. තව තවත් දුකට ම පත් වෙයි. නුවණ මතු නොවෙයි. මෝහය ම කි‍්‍රයාත්මක වෙයි.

මේ ලිපි පෙළ කියවන පාඨකයන් විසින් අප වෙත එවන ලද තොරතුරු විචිත‍්‍රය. එවැනි කාන්තාවන් කිහිප දෙනකු ගැන අද විස්තර කරමි.

මේ කාන්තාව දහසක් බලාපොරොත්තු ඇතිව උත්සවශ‍්‍රීයෙන් විවාහ වූවා ය. ඇගේ මධුසමය සඳහා සුඛෝපභෝගී හෝටලයක් තෝරා ගැනිණි. එහෙත් ඒ මධු සමය වචනයට පමණක් සීමා වූවක් ම වීය. ඇගේ මනාලයා කායික දුර්වලයකු වීය. එසේ වුව ද ඇය සියල්ල සඟවා ගෙන ව්‍යාජ ලෙස මුව සරසා ගත් සිනහවකින් සමාජයට මුහුණ දුන්නා ය.

ඇය වැදගත් රැකියාවක යෙදුණු තැනැත්තියකි. ඔහු ව්‍යාපාරිකයෙකි. ඇය විවාහ වී දැනට වසර දහ තුනක් ගත වී ඇත. ඇය තවමත් කන්‍යාවියකි. රැකියාව කරන ස්ථානයේ ඇය වඳ ගැහැනියකැයි කසු කුසු ගාන හඬ ඇසී ඇයට රැකියාව එපා වීය. ඇය සිය වටිනා රැකියාව අතහැර දැමුවා ය. ගමේ අය ද ඇය වඳ ගැහැනියකැයි කියන නිසා ඇය නෑදෑයන්ගෙන් හා ගමෙන් වෙන් වී නිවසටම වී කාලය ගෙවන්නී ය. සැමියා අතීතයේ පර අඹුවන් කරා යෑමේ විපාක යැ යි සිතමින් තනිව ම දුක් විඳින්නී ය.

තවමත් මේ රහස කිසිවෙක් නොදනිති. ඇගේ සැමියා හැන්දෑවට මත්පැන් පානය කොට සියල්ල අමතක කර නිදා ගනියි. මේ කන්‍යාවිය මොහොතක් පාසා වේදනාවෙන් දැවි දැවී ජීවත්වන්නීය. වෛද්‍ය වරයකු කරා ගොස් ප‍්‍රතිකාරයක් ගන්නට මේ වසර දහතුනේ දී ම උත්සාහයක් කළේ ද නැත. මේ ලෝකයේ දරුවන් නැති කාන්තාවෝ අනන්තය. එහෙත් ඇය සිතා සිටින්නේ එවැනි එකම ගැහැනිය ඇය ම බව ය. අප යෝජනා කළ ද ඇය භාවනාවකට ද නොපෙළඹේ. ඇය ගුප්ත ශාස්ත‍්‍ර විධියකින් විසඳුමක් සොයන්නීය. නුවණ යටපත් කැර ගෙන මෝහය ම කි‍්‍රයාත්මක වෙයි.

* * * * *

මේ තවත් කාන්තාවකි. ඇය ද රටේ ගෞරවයට පාත‍්‍ර වූ රැකියාවක යෙදෙන්නීය. ඇගේ සැමියා උදේ එළි වූ වේලේ පටන් මත්පැන් පානයට හුරු වී සිටියි. ඇගේ නිවසේ, ඇගේ ම ඉඩකඩම්වල ආදායම් ලබමින් හිර පස්සේ ජීවත්වන සැමියා පෝෂණය කරමින්, තම වැටුපෙන් කොටසක් ද ඔහුගේ මත්පැන් පානය සඳහා ම දෙමින් ඇය ජීවත් වන්නීය.

ඇගේ ස්වාමි පුරුෂයා ඇය රැකියාවට ගොස් නිවසට පැමිණෙන විට, හොඳට ම බීමත්ව පැමිණ හාන්සි පුටුවට වී කාර කාරා කෙළ ගසයි. ඔහුගේ සිරුර පුරා කෙළවලින් නැහැවී ඇත. පුටුව අවට ද සෙම් සොටු හා කෙළවලින් ගැවසුණු අපායකි. ඔහු හාන්සි පුටුවට වී කෙළ ගසමින් නිදා ගනියි. ඇත්තටම පෙරේතයෙකි. එහෙත් එවැනි වචනයකින් හෝ ඔහුට අගෞරව කරන්නට මේ කාන්තාව කැමැති නැත. ඔහු හාන්සි පුටුවේ රාති‍්‍රය එළි කරයි. ඇය තනි යහනේ හූල්ලමින් නිදි වරන්නට පුරුදු වී ඇත. දැනට ඇය විවාහ වී අවුරුදු අටකි. ඇයට දරුවන් නැත. ඇය උදේ හවස මල් පහන් පූජා කරමින් දෙවියන් බුදුන් වඳින්නේ සැමියා බේබදුකමින් මුදා දෙන ලෙස ඉල්ලා සිටිමිනි. දෙවියන්ට බාර හාර වෙමින් පිංකම් කරන්නට අධිෂ්ඨාන කොට මල් පහත් තබන තැන කැටයක් තබා උදේ හවස මුදලක් එහි එකතු කළා ය. සතියකින් පසු බලන විට ඔහු පිං කැටය බිඳ එහි තිබුණු මුදල් ද මත්පැන් පානය සඳහා ම ගෙන ගොස් ඇත.

මේ මොනවා වුණත් ඇය උදේ පාන්දර අවදිව, උයා පිහා තබා වතුර රත්කොට ඒ උණු පැනින් ඔහු පවිත‍්‍ර කොට ඉස්තෝප්පුවත් හාන්සි පුටුව හා ඔහුගේ ඇඳුම් ද සෝදා පවිත‍්‍ර කොට ඊළඟ දවසට මුහුණ දෙන්නීය. ඇය ද මේ දුකින් මිදෙන්නට වත් පිළිවෙත් සොයයි. ඒ ද ඔහුට නොදැනෙන්නට හොර රහසේ ය. ඔහු පන්සලකට හෝ බෝ මළුවකට හෝ කැඳවා ගෙන යන්නට පුළුවන් මිනිසකු ද නොවේ. මේ රහස හා අනන්‍යතාවය රකින ලෙස දුරකතනයෙන් ඉල්ලා සිටින ඇය තවමත් උත්සාහ කරන්නේ දෙවියන් බුදුන් ලවා මේ ප‍්‍රශ්නය විසඳ්‍ර ගැනීමට ය.

* * * * *

මේ තවත් එවැනි ම ජාතියේ අමුතුම කන්‍යාවියකි. දැනට ඇගේ වයස අඩ සිය වසකට සමීපව ඇත. ඇය ද වැදගත් රැකියාවක් කරන්නී ය. ඇගේ මව් පියන් ගේ මරණයෙන් පසු ඇයට විවාහයක් කැර දීමට කිසිවකු ඉදිරිපත් වූයේ ද නැත. ඇය තනි තීරණයක් ගත්තේ ද නැත. ඇගේ බාල සහෝදරයා හිතුවක්කාර විවාහයක් කැර ගෙන ඇයට අයිති ඇගේ නිවසේ ම පදිංචි වූයේ ය. දැන් ඇගේ නිවසේ පදිංචි කරුවෝ හත් දෙනෙකි. මල්ලියි, මල්ලිගේ බිරියයි! ඒ දෙදෙනාගේ දරුවන් සිව් දෙනයි. ඇයයි.

මල්ලී අහිංසකයෙකි. බිරියට බයෙන් ජීවත්වෙයි. ඔහුගේ වැටුප බිරියගේ ජේත්තුවට, ගමන් බිමන්වලට මදි තරම් ය. බිරිය යන ගමන් බිමන් ගැන සොයා බලන්නට තරම්වත් ඔහුට ශක්තියක් නැත. ඒවා හොයන්නට බලන්නට ගියොත් එදාට ගෙදර දෙවනත් කරන්නට තරම් ඒ බිරිය හපනියකි. ඒ නිසා අහිංසකයා අකුළාගෙන නිහඬවෙයි. ඊට අමතරව ද මේ ගැහැනිය කතා කළොත් කතා කරන්නේ නොසරුප් බසක් ම ය. පාසල් යන දරු හතර දෙනා ඉදිරියේ පවා පාලනයකින් තොරව කට අරින්නීය. අහල පහළ අය සමඟ පවා බැණ අඬ ගසා ගන්නට ද සමතියකි.

අක්කා සිය රැකියාවෙන් මේ පවුල පෝෂණය කරන්නී ය. දරුවන් සිව් දෙනාගේ අධ්‍යාපනයට වියදම් කරන්නී ය. ඇඳුම් පැළඳුම් සපයා දෙන්නීය. හැන්දෑවට පාඩම් කිරීමට පහසුකම් සලසා සොයා බලන්නීය. තමන් විසින් ම කර පිට පවරා ගන්නා ලද වගකීම් මිසක ඇයට සතුටක් සැනසුමක් නැත. නෑනාගේ අවිචාරවත් අසැබි වාග් මාලාව ඇයට මහත් හිරිහැරයක්ව ඇත.

නෑනා විසින් වදා එළිදක්වන ලද දරු හතර දෙනකුගේ වගකීම් ඉෂ්ට කරනවා මදිවාට නෑනාගේ තොර තෝංචියක් නැති ශබ්ද කෝෂය තරම් මේ කාන්තාවට වෙනත් වදයක් හිරිහැරයක් නැත.

දවල් දවසේ ඇවිදින්නට ගොස් හැන්දෑවට ගෙදර එන නෑනණ්ඩිය, අක්කා උයා පිහා තිබෙන දෙයක් කා මොකක් හෝ ප‍්‍රශ්නයක් පටලවා ගෙන සැමියා සමඟ අඬ දබර කරන්නීය.

මේ කන් කරච්චලය අක්කාට මහත් වදයක් වී ඇත. ඒත් මල්ලීත් මල්ලිගේ පවුලේ අයත් “මට නිදහසේ ඉන්න තොපි දොට්ට බැස පලයව්” කියන්නට තරම් ඇය දරුණු නැත. මේ කාන්තාව ඇගේ දුක් ගැනවිල්ල දුරකතනයෙන් අප සමඟ පවසා නෑනාගේ කට වහන්නට පිළිවෙතක් ඇසුවා ය. “නිවාඩුවක් ගෙන සතියකට දෙකකට භාවනා මධ්‍යස්ථානයකට යන්නැ” යි අප උපදෙස් දුන් විට “අනේ! මම එහෙම ගියොත් මේ දරුවන් හතර දෙනාගේ වැඩ ටික බල්නේ කවුදැ” යි අපෙන් අසන්නීය.

* * * * *

මේ විදේශගත ලාංකික කාන්තාවකගේ අෙ¼ඳ¤නාවකි. ඇය යම් තම් තරුණ වියට පත් වෙද්දී හිතුවක්කාර විවාහයක් කැර ගත්තා ය. එය ටික කලකින් ම කෙළවර වීය. ඇය රැකියාවකට විදේශ ගත වූවා ය. ඇය එහිදී වෙනත් රටක තරුණයකු සමඟ මිත‍්‍ර වී දැන් එක ම කාමරයක ජීවත්වන්නීය. ඔහු ද විවාහකයෙකි. ඔහු ගේ රැකියාවේ කාලය අවසන් වී සිය රට බලා යෑමට සූදානම් වෙයි. ඇය ඒ රටේ සිට දුරකතනයෙන් අප අමතා කළ ඉල්ලීමයි මේ.

“අනේ මහත්තයෝ. මට මෙයා නැතුව නම් ජීවත් වෙන්න බෑ. මම ඒ තරම්ම මෙයාට ආදරෙයි. මට මොනවා හරි ගුරුකමකින් හෝ මෙයාව නතර කර දෙන්න.”

“නෝනා! එයා ඔයාට ආදරේ නම් ඔයාව දාලා යන්නේ නෑ. එයා එයාගෙ බිරිය, දරුවන්ට ආදරෙයි. එයාගෙ රටට ආදරෙයි. ඒකයි එයා තමන්ගෙ රටට යන්නේ. ඔයාට ආදරේ නම් එහෙම ඔයා දාලා යන්නේ නෑ.” මම කීවෙමි.

“බෑ… බෑ… මට එයාව ඕනෑ. එයා නැතුව මට බැහැ. මං එයාට ආදරෙයි. ලංකාවෙ පත්තරේක තිබුණු වශී ගුරුකම් දැන්වීමකට අනුව මම රුපියල් හතළිස් දාහක් එව්වා. අනේ! මට උත්තරයක්වත් නෑ. මහත්තයෝ! කියන ගාණක් දෙන්නම්. කාට හරි කියලා මට වශී ගුරුකමක් කරලා ඉක්මණින් එවන්න.”

“ඔය වශී ගුරුකම් කරන්නේ භූතයෙක් බන්දලා. එහෙම කළොත් කාලයක් ගිහින් ඔයාගෙ මිත‍්‍රයා රෝගියෙක් වෙනවා. ඒ භූතයාම එයාව බිල්ලට ගනීවි. ඒ වගේ වැඩ කරන්න හොඳ නෑ. ඔයා වහාම ලංකාවට එන්න. එතකොට ඔය ප‍්‍රශ්නය විසඳේවි” මම කීවෙමි.

“බෑ… බෑ… මට මෙයාවමයි ඕනෑ. මට එන්නත් අමාරුයි. මට වීසා නෑ. මම හොරෙන් ජීවත් වෙන්නේ. ගෙවල්වල වැඩ කරලා. මෙයා ගියොත් මට ජීවත්වෙන්න බෑ.”

මේ වැඩිමහලු කාන්තාවන් අතර පුංචි දියණියකගේ කතාවකි. මාතලේ ලෙනදොර පේරුදණ්ඩාපොල, පාරමිතා පූජා සේනාසනාධිපති මාතලේ පඤ්ඤානන්ද හිමියන් අප සමඟ පැවසූ කතාවකි.

ඔහු පොලිස් නිලධාරියෙකි. පාසලේ 4 වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබන 9 හැවිරිදි දියණියට හාෆ්ෂීට් කීපයක් අවශ්‍ය වීය. ඔහු පොලිසියේ ප‍්‍රයෝජනයට ගෙනා හාෆ්ෂීට් බණ්ඩලයක් ඇයට ගෙනැත් දුන්නේ ය.

“තාත්තේ! කොහෙන්ද මේවා ගෙනාවේ?” දුව ඇසුවාය

“පොලීසියෙන්” තාත්තා උත්තර දුන්නේ ය.

“හොරෙන්ද? ගෙනාවේ”

“ඕකත් හොරකමක්ද? ඔය වගේ දේවල් ද වෙන්නේ, කොච්චර දේවල් වෙනවද කන්තෝරුවල”

“එහෙනම් තාත්තේ මේවා මට එපා. මට බෑ හොරකමකට හවුල් වෙන්න. මට ඕවා එපා. මම ගන්නේ නෑ” දියණිය කීවා ය.

පියා එදා රාති‍්‍ර දියණියගේ කතාව ගැන දිගින් දිගට කල්පනා කළේ ය. පසු දින හාෆ්ෂීට් මිටිය ආපසු ගෙන ගොස් තිබුණු තැනින් ම තිබ්බේ ය. දියණියට කඩේකින් හාෆ්ෂීට් මිටියක් ගෙන ගොස් දුන්නේ ය. ඔහු දිනක් මාතලේ පඤ්ඤානන්ද හිමියන් සමඟ මේ ගැන කීවේ ය.

“හාමුදුරුවනේ! මම ඊට පස්සේ අල්පෙනෙත්තක් තරම් දෙයක්වත් සොර සිතින් ගන්නේ නෑ. අරක්කු බීමත් අත හැරියා. මම ඒ කාලේ (1980) වැරදි ක‍්‍රම වලින් රුපියල් 30 – 40 දාහ හෙව්වා. ඒත් ඒ මුදල් වගතුවක් වුණේ නෑ. ලෙඩ දුක් කරදර ඇවිත් වියදම් වෙනවා. සමහර අවස්ථාවල අතේ රුපියල් 1000 නැති අවස්ථා තිබුණා. දැන් මම ගන්නේ වැටුප විතරයි. අර වගේ ලෙඩ කරදරත් නෑ. මාසෙ වියදම් කරලා අන්තිමට කීයක් හරි ඉතුරුත් කරනවා. අසාධාරණ වැරැදි දෙයින් හම්බ කරන දේවල් විනාශ වෙලා යනවා. මම හොඳ මිනිහෙක් වුණේ පුංචි දූ හින්දයි. දැන් දුව බොහෝම වැදගත් විධායක නිලධාරිනියක්” යැයි ද කීවේය.

පඤ්ඤානන්ද හිමියන් ගිහිව සිටියදී යන්ත‍්‍ර මන්ත‍්‍ර ගුරුකම් ශාස්ත‍්‍ර කටයුතු කළ දක්ෂයෙකි.

දැන් ඒ සියල්ල අතහැර භාවනා යෝගීව චිත්ත ශක්තියෙන්, ශීල ගුණයෙන් හා තෙරුවන් බලයෙන් බෝධි පූජා මගින් රෝගීන් සුවපත් කරති.

කිසිදු මුදලක් අය නොකර ඒ ආශිර්වාද කටයුතු කරති.


Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

Categories

%d bloggers like this: