Posted by: lrrp | February 12, 2009

සම්බුදු සිරිපා පිහිට වූ සමනොළ ගිර

බුදුරජාණන් වහන්සේ ශ්‍රී පාද ලාංජන තුනක් පිහිට වූ බව සඳහන් වෙයි. ඒ ස්ථාන නම් සුමන කූඨය, නාගදීපය සහ කල්‍යාණ නදී පත්ලය.ශ්‍රී පාද ලාංඡනය නාගදීපයේ සහ කල්‍යාණ නදී ගං පත්ලේ තැබූ බව සඳහන් කර ඇත්තේ අමාවතුර , පූජාවලිය, සද්ධර්මාලංකාරය සහ චීන දේශාටන වාර්තාවල ය.

ඔජදීප, වරදීප, මණ්ඩදීප සහ ලංකාදීප යන නම්වලින් හැඳින්වූ මේ දහම් දිවයිනට කකුසඳ, කෝණාගම, කාශ්‍යප සහ ගෞතම යන සිවුබුදුරජාණන් වහන්සේ වැඩියහ. මෙම බුදුරජාණන් වහන්සේලාගෙන් ගෞතම බුදුරජාණන් වහන්සේ ලක්දිවට වැඩම කළ අවස්ථා තුනක් පිළිබඳව මහා වංශයේ මෙසේ සඳහන් කර ඇත.

පළමුගමන (මයියංගනය)
‘ශත්‍රැ මදිනය කරන ශීලී වූ සව¢ඥතෙම උරුවෙල් කසුප් නම් ජටිලයාගේ මහා යාගය එළඹ සිටි කල්හි තමන් නොඊමෙහි වූ ඔහුගේ ඉච්ඡාවාරය දැන උතුරු කුරු දිවයිනෙන් පිණ්ඩපාතය ගෙණවුත් අනාවතපත නම් විල සමීපයෙහි වළදා තෙමේ සවස් වේලෙහි සම්‍යක් සම්බෝධියෙන් නවවන මස දුරුතු පුර පසළොස්වක් හි ලංකාද්වීපය ශුද්ධ කරනු පිණිස ලක්දිවට පැමිණි සේක’ පිටු 02

මහා වංශය
හික්කඩුවේ සුමංගල හිමි
රත්නාකර පොත් සමාගම
කොළඹ
හතරවන මුද්‍රණය – 1946

බුදුරජාණන් වහන්සේගේ පළමු ලංකා ගමනේදී බුදුරජාණන් වහන්සේ ලක්දිව යක්ෂයන් දමනය කර එහි පැමිණි දෙවියන්ට දහම් දෙසූහ. එහිදී සුමන දෙවි රජතෙමේ සෝවාන් විය. මෙය අපට සුමන දෙවි රජාණන්වහන්සේ පිළිබඳව පළමුව දැන ගැනීමට ලැබෙන අවස්ථාවයි. ඒ බව මහා වංශයේ මෙසේ දක්වා ඇත.

“සමන්තකූඨ පර්වත වාසී වූ මහාසුමන නම් දෙවි රජතෙම සෝවාන්ඵලයට පැමිණ පූජාහී වූ සර්වඥයන් වහන්සේගෙන් පූජනීයට කිසිවක් ඉල්විය. සත්ත්වයන් කෙරෙහි හිත වූ නීල නිර්මල කෙශවන් වූ සර්වඥ තෙම හිස පිරිමැද කේශයන් අත්ලක් පමණ ප්‍රදානය කළ සේක. ඉක්බිත්තෙන් හෙතෙම එය ස්වර්ණමය වූ උතුම් කරඬුවකින් ගත්තේ සර්වඥයන් වහන්සේ වැඩිහුන් තැන්හි කරණ ලද්දා වූ අයම් විතරින් සත් රයන් වූ අවටින් එක්විසි රියන් නන් වැදෑරුම් රුවන් රැසෙහි තබා හෙතෙම ඉන්ද්‍ර නීලමය වූ ථූපයකින් වසා නමස්කාර කළේය.
3 පිටුව මහා වංශය

දෙවන ගමන (නාගදීපය)
‘සර්වඥයන් වහන්සේ සම්‍යක් සම්බෝධියෙන් පස්වන වස ජේතවන විහාරයෙහි වැඩ වසන සේක්. මහෝදර නාගය එසේම චූලෝදර නාගය යන පිරිස් සහිත වූ නාගයන්ගේ මිණිපළඟ හේතුකොට ගෙන එළඹ සිටියා වූ යුද්ධය දැක, බක්මස අමාවක් පොහෝ දින උදය කාලයෙහිම උතුම් වූ පා සිවුරු ගෙන නාගයන්ට අනුකම්පා පිණිස නාගදීපයට වැඩි සේක’.
මහාවංශය පිටුව 04

මෙහිදී ද සුමන දෙවියන් පිළිබඳව සඳහන් කර ඇත. ඒ මෙසේය “පර්වත වාසීවූද ඒ නාගයේ මහත් සෘද්ධිමත් වූ හ. සමිÿ සුමන නම් දෙවි තෙමේ ද ජේතවනයෙහි පිහිටි තමන් යහපත් භවනය වූ කිරිපලු රුක බුද්ධානුමතියෙන් ම ගෙන ජත්‍රාකාරයෙන් සර්වඥයන් මත්තෙහි දරන්නේ ඒ පෙර විසූ ස්ථානයට ආයේය. ඒ දෙව් තෙම අනතුරු බවෙහි නාගදීපයෙහි මනුෂ්‍යයෙක් විය. හෙමතෙම කිරිපලු රුක පිහිටි තන්හි බොජුන් වළදන පසේ බුදුවරයන් දුටුයේය. ඒ දැක සිත් පැහැද පාත්‍රයන් සුද්ධ කිරීමෙහි ශාඛාවන් උන්වහන්සේලාට දුන්නේ ය. ඒ කර්මයෙන් හෙතෙම මනොඥ වූ ජේතවනයෙහි දොර කොටු පස ඒ රුකෙහි උපන. හෙතෙම ඉන් පසුව ඉන්පිට වූයේය. දෙවාති දෙව වූ සර්වඥ තෙමෙ ඒ දෙවියාගේ අභිවෘද්ධිය බලා හිත පිණිස ඒ දෙවියාද වෘක්ෂය ද මෙහි පැමිණ වූ සේක.
05 පිට මහාවංශය

තෙවන ගමන (කැලණිය)
“සර්වඥ තෙම සම්‍යක් සම්බෝධියෙන් අටවෙනි වර්ෂයෙහි ජේතවනයෙහි වාසය කරන සේක්, ලොක ස්වාමි වූ පස්මරුන්දිනු මුනිශවර තෙමේ භික්ෂූන් පන්සියයක් විසින් පරිවර්ණ ලද්දේ දෙවෙනි දවස භක්තකාලය ආරෝචනා කළ කල්හි රම්‍ය වූ වෙසක් මස පෞර්‍ණවාසි වූ තිථියෙහි එහිදීම සඟළ සිවුරු පොරවා පාත්‍රය (ශ්‍රී හස්තයෙන්) ගෙණ ඒ කැළණි දෙස වූ මණි අක් (නා රජුහු) නිවසට වැඩි ‍ෙස්ක.
05 පිටුව මහාවංශය

සමනල ගමන
“……. ලොකානු කම්පා ඇත්තා වූ ලොකනායක වූ සව¢ඥතෙම එතැන්හි ධර්ම දේශනා කොට අහසින් නැගී (වැඩ) සමන්කුළු මතුයෙහි පා සටහන දැක් වූ සේක.
05 පිටුව මහාවංශය

පොල්වත්තේ බුද්ධ දත්ත නාහිමියන්ගේ සංස්කරණ මහාවංශයෙහි (1954) පාද ලාංඡනය පිහිටුවීම මෙසේ දැක්වෙයි.

“බුදුරජාණන්වහන්සේ කැලණියේ සිට සමන්ත කූඨයට වැඩ සුමන සමන් දෙවියන් ගේ ආරාධනය පරිදි එහි වූ ඉන්ද්‍රනීල මාණික්‍යයක් මත පාද ලාංඡනය පිහිටුවා වදාළහ. ඒ වම් පාද ලාංඡනයයි.

එය, තත්ථ ධම්මං දෙසයිත්වා – සත්ථා ලොකානුකම්පනෝ
උග්ගන්ත්වා සුමනේ කූටේ – පදං දස්සේහි නායකො
යනුවෙන් දැක්වේ.

බුදුරජාණන් වහන්සේ ශ්‍රී පාද ලාංජන තුනක් පිහිට වූ බව සඳහන් වෙයි. ඒ ස්ථාන නම් සුමන කූඨය, නාගදීපය සහ කල්‍යාණ නදී පත්ලය.

ශ්‍රී පාද ලාංඡනය නාගදීපයේ සහ කල්‍යාණ නදී ගං පත්ලේ තැබූ බව සඳහන් කර ඇත්තේ අමාවතුර , පූජාවලිය, සද්ධර්මාලංකාරය සහ චීන දේශාටන වාර්තාවල ය.

ශ්‍රී පාදස්ථානය වඳින ගාථාවෙහි ශ්‍රී පාද ලාංඡනය පිහිට වූ ස්ථාන හතරක් පිළිබඳව මෙසේ සඳහන් වෙයි.

යන්නම්මදාය නදියා පුලිනේච තීරේ
යං සච්ච බද්ධ ගිරිකේ සුමනා චලග්ගේ
යං තත්ථ යෝනක පුරේ මුනිනෝච පාදං
තං පාද ලාංජන මහං සිරසා නමාමි

1. නර්මදා නදියේ වැලිතලාව

2. සච්ච බද්ධ පර්වතය – සියම් දේශය
3. ලක්දිව සමන්ත කූඨය
4. යෝනක පුරය – එයයි

සිරි පා ලකුණු
බුදුරජාණන් වහන්සේ ශ්‍රී පාදයේ මංගල ලකුණු දෙසිය සොළසක් පිහිටා තිබුණ බව බෞද්ධ සාහිත්‍යයේ සඳහන් වෙයි. පුරාණ තුන් සරණය කවි පොතෙහි එය මෙසේ දැක්වෙයි.

දෙසියක් සොළසකි සිරි පා ලකුණේ
රසයක් වෙන ඇසුවොත් ගුණ වරුණේ
වසයක් පද පව් සත හට අගුණේ
දසයක් ගුණ වද බණ තුන් සරණේ
25 කව
පුරාණ තුන් සරණය.

සිංහල අට්ඨකතාවේද සිරි පා මංගල ලකුණු දෙසිය සොළසක් ගැන කියැ වේ.

එහෙත් පසු කාලයේ ලියන ලද ග්‍රන්ථවල දක්වා ඇත්තේ ඊට අඩු සංඛාවකි. ජන සාහිත්‍යයේ ද මංගල ලකුණු දෙසිය දොළහක් ගැන සඳහන් ය. අද පොත්වල දක්වා ඇත්තේ මංගල ලකුණු දෙක බැගින් දෙසිය දොළහකි.

ඒ මෙසේය

1. ස්වස්තික දෙකයි
2. සිරිවට දෙකයි
3. නද වට දෙකයි
4. සෝ වැති දෙකයි යනාදි වශයෙනි.

මේ අනුව ඇති ලකුණු සංඛ්‍යාව 106 කි. එකසිය හයකි. අද සමහර ග්‍රන්ථවල දක්වා

ඇත්තේ මංගල ලකුණු 67 කි. ශ්‍රී පාද ලාංජනය සමන්ත කූඨයෙහි පිහිට වූ පසු බුදුරජාණන් වහන්සේ “සංඝයා සහිත වූ සේක ඒ පර්වත පාදයෙහි සැපසේ දිවා විහාරය විහරණය කොට දිගා වැවට වැඩි සේක.
05 පිට මහා වංශය

මෙසේ දිවා විහරණය කළ පර්වතය පාද ස්ථානය නම් දිවා ගුහාවයි.

දිවා ගුහාව
දිවා ගුහාව ‘භගවා ලෙණ’ නමින්ද ඇතැම් හු මෑතක හඳුන්වා දෙයි. කෙසේ වුවද මෙය කුරුපිට – සිරිපා මාර්ගයේ පිහිටා ඇත. කුරුවිට සිට සැතපුම් හත හමාරකි.

බටතොට කණිෂ්ඨ විද්‍යාලයේ සිට සැතපුම් කාලකි. ඒ අසල පිහිටි පර්වතයේ මෙම ලෙන් විහාරය පිහිටා ඇත.

මෙම පූජනීය ස්ථානය පොළොන්නරුව රජකළ කීර්ති ශ්‍රී නිශ්ශංකමල්ල රජතුමා විසින් සොයාගත් බව සඳහන් වෙයි. එතුමා ශ්‍රීපාද ස්ථානය සොයා යන ගමනේ දී රත්නපුර සමන් දේවාලය ද පිරිසුදු කර මෙම ලෙණෙහි මද කලක් වායස කළේය. ඒ අතර එතුමා විසින් එහි විසිඑක් රියන් සැතපෙන බුද්ධ ප්‍රතිමාවක් ද, සත් රියනක් උස ඔත් පිළිමයක් සහ සමාධි බුදු පිළිමයක් ද කරවන ලදී. ඒ සමඟ අහසේ වළාකුළු අතරින් වැඩම කළ බුදුරජාණන් වහන්සේ සහ පසු පසින් සිටින රහතන් වහන්සේ දැක්වෙන බිතුසිතුවමක් ද කළේය.

සැතපෙන පිළිමයේ සිරිපතුල් පිහිටුවා ඇත්තේ නැගෙනහිරටය. ශ්‍රී පාද ස්ථානය දෙසට සිරිපතුල් පිහිටන සේ කරවන ලද ලක්දිව ඇති සැතපෙන බුදු පිළිමය ද මෙයයි. එය ශ්‍රී පාද ලාංජනය සුමන කූඨයෙහි පිහිටුවා ඇති බව දැක්වෙන සංකේතයකි.

මාර්ග
ශ්‍රී පාද ස්ථානයට යාම සඳහා පැරණි මාර්ග දෙකක් විය. ඒ වානම්,

1. සබරගමු මාර්ගය – කුරුවිට, එරත්න, ගිලීමලේ, පලාබත්ගල සහ දියබෙත්ම හරහා මාර්ගය.

2. රජරට මාවත – පඬුවස්නුවර, ගම්පල, අඹන්ගමුව, අළුත්ඔය සහ ශීත ගඟුල හරහා මාර්ගය

නැවතුම්පළ
1. පලාබද්දල (පලාබත්ගල) මෙය සිරිපා නැගීමේදී හමුවන පළමු නැවතුම්පලය. දුප්පත් ගැමියකු දිවා ආහාරය සඳහා ගෙන ආ පලා මුල බත්මුලක් විය. ඒ අනුව මෙම ස්ථානය පලාබද්ධල විය. (පලා+බත්+දොළ) පලාපත් දොල පලාබද්දල වූ බවයි.

ළිහිණි හෙළ- ළිහිණි අක්කා සහ ළිහිණි අම්මා යන තරුණියන්ගෙන් ළිහිණි අක්කා ඒ අසල ප්‍රපාතයට වැටිණි. ඒ ස්ථානයේ ළිහිණි අක්කා අමතන හඬ ඇසේලු. ඒ නිසා එතැන ළිහිණි හෙළ නම් විය.

3. දියබෙත්ම – රවුම් ගල් සහිත දෙණියකි. වර්ෂා ජලය මෙහිදී දෙපසට බෙදී යයි.

4. ගෙත්තම් පාන/ ඉඳීකටුපාන – බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේ ගේ්තම ඉරී ගිය සිවුර මසමින් වැඩ සිටි ස්ථානය යි.

5. ධර්මරාජ ගල – මෙම ගල්ගල්තලාවෙ වෙන්ව කොටන ලද ගල් පඩිපේලි හතරකි. ඒ පැරැණි මාර්ගයේය.

6. ශීත ගඟුල – වන්දනාකරුවෝ ජල ස්නානය කරන ස්ථානයයි. දැකුම්කළු ජලාශයකි.

7. හැරමිටි පාන – අක්කරයක් පමණ වූ තැනිතලාවකි. පැරැණි අම්බලම් දෙකක් එහි විය. බුදුරජාණන් වහන්සේ ගමන් පහසුව සඳහා මෙහි දී සැරටියක් උපකාර කරගත්බව සඳහන්ය.

8. ආඬියාමලතැන්න – සීතාවක රජතුමා විසින් ශ්‍රී පාද ස්ථානය ආරක්ෂා කිරීමට නතර කළ හින්දු භක්තිකයකුගේ මරණය සිදු වූ ස්ථානය යි.

9. කුඩාගිරිදඹය/ මහගිරි දඹය – අති දුෂ්කර ගමන් මාර්ගයකි. හිරු බැසයාමේ දර්ශනය මෙහිදී දැකගත හැකිය.

10. ඇහැළකණුව – සිරිපා මාර්ගයේ හමුවන අවසාන නැවතුම් පලය. සිරිපා මළුවේ දී දැකිය හැකි ඝණ්ඨාව – දොළොස් මහේ පහන අලංකාර දර්ශන වේ.

සිරිපා වැනුම
1. පුරාණ හිමගත වර්ණනාව ගෙවත් ශ්‍රී පාද වන්දනාව 2. පුරාණ හිමගත හෑල්ල 3. බුදුමූල උපත සහ බුදුගුණ ශාන්තිය හෙවත් වරඟනහෑල්ල 4. සමනල හෑල්ල 5. මක්කම හෑල්ල 6. සමනල වැඳීම 7. සමනල විස්තරය 8. ශ්‍රීපාද ගමන 9. සමන්ත කූඨ වර්ණනා 10. සමන් දෙවි වරුණ 11. තුන්සරණය

මීට අමතරව කැටකිරිලි සන්දේශය, ගිරා සන්දේශය, හංස සන්දේශය සහ සැළලිහිණි සන්දේශය යන සන්දේශවලද රාජාවලිය වැනි ගද්‍ය ග්‍රන්ථවලද ශි‍්‍රපාද ස්ථානය ගැන සඳහන් වෙයි.

සෙල්ලිපි
1. අඹගමුව – මහා විජයබාහු 1096
2. හැටදාගේ ලිපිය – නිශ්ශංකමල්ල ක්‍රි.ව 1198

සිරිපා වැඳගත් රජවරු
ශ්‍රීපාද ස්ථානය වැඳ පුදා ගත් රජවරු කිහිප දෙනෙකි. අනෙක් රජවරුන්ගෙන් ඒ හා සම්බන්ධ වෙනත් සේවාද ඉටු වී ඇත.

1. වළගම්බා (ක්‍රි.පූ. 29 -17)
ශ්‍රීපාදස්ථානය වැඳගත් ප්‍රථම රජතුමාය

2. සිව්වන මිහිඳු (ක්‍රි.පූ. 956 – 972)
සොලීන් විනාශ කළ සෑ මැදුර ප්‍රතිසංස්කරණය කරන ලදී. ශි‍්‍රපාදය වැන්ද බව සඳහන් නැත.

3. මහ විජයබාහු (ක්‍රි.ව. 1065 -1120)
සිරිපා වන්දනාකරුවන්ට මාර්ගයක් ඉදිකර වීය.
(අඹගමුව සෙල්ලිපිය)

4. මහාපරාක්‍රමබාහු (ක්‍රි.ව. 1156 – 1186) –
සිරිපා පියුම නිම කළේය. (රාජාවලිය)

5. නිශ්ශංක මල්ල (ක්‍රි.ව. 1187 – 1196) –
සිරිපා වන්දනා කළේය. (පොළොන්නරුව හැටදාගේ ලිපිය)

6. දෙවන පැරකුම්බා (ක්‍රි.ව. 1236 – 1271)
සිරිපා වන්දනා කළේය (මහාවංශය)

7. බෝසත් විජයබාහු (ක්‍රි.ව. 1232 – 1236)

8. හයවන පරාක්‍රමබාහු (ක්‍රි.ව. 1440 – 1468)

9. වික්‍රමබාහු (ක්‍රි.ව. 1452 – 1511- 1552)
ශ්‍රී පාදය වැන්දේය. (දළදා වංශය) ශ්‍රීපාද ස්ථානයේ පහන් පූජාවක් කළේය. ගල් පඩි බැඳවීය.

10. දෙවන විමලධර්ම සූර්ය (ක්‍රි.ව. 1687 – 1707)
සතියක් සිරිපා මළුවේ වන්දනා කළේය.

11. ශ්‍රී විජය රාජසිංහ (ක්‍රි.ව. 1739 – 1747) –
ශ්‍රී පාදය වැන්දේය

12. කීර්ති ශ්‍රී රාජසිංහ (ක්‍රි.ව. 1747 – 1782) –
සිරිපා පුදබිම නැවත බොදුනුවන් අතට පත් කළේය.

13. රාජාධි රාජසිංහ (ක්‍රි.ව. 1780 – 1798)
ශ්‍රී පාදය වැන්දේය.

සිරිපා නැගි විදේශකියෝ

වජ්‍ර බෝධි හිමී (ක්‍රි.ව. 639) ඉන්දීය

2. සුලෙයිමාන් (ක්‍රි.ව 851) අරාබි

3. අබුසෙයියාදිසෙන් (ක්‍රි.ව. 991) අරාබි

4. මාර්කෝ පෝලෝ (ක්‍රි.ව. 1292) ඉතාලි

5. ඉබන් බතුතා (ක්‍රි.ව. 1347) අරාබි

6. ඩැනියෙල් පාතේ (ක්‍රි.ව. 1684) ජර්මන්

7. හයිඩ්ට් (ක්‍රි.ව. 1737) ඕලන්ද

8. ජේම්ස් හෝල්මන් (ක්‍රි.ව. 1830) ඉංගී‍්‍රසි

9. විල්මට් හෝර්ටන් (ආණ්ඩුකාර) ක්‍රි.ව. 1836) ඉංගී‍්‍රසි

10. එච්. වේල්ස් (ක්‍රි.ව. 1886) ඉංගී‍්‍රසි

සර්වාගමික භක්තිය

ශ්‍රී පාද ස්ථානය සියලු ආගමිකයන්ගේ පුද බිමකි. එය හින්දු භක්තිකයන් ශිවනඩි පාදම් (ශිව දෙවියන්ගේ පාදය) ලෙස කතෝලික භක්තිකයෝ ඇඩම්ස් පීක් (ආදම් ගේ මුදුන හෙවත් ආදම්ගේ පා සලකුණ) වශයෙන්ද ශ්‍රී පාදස්ථානය හඳුන්වති.

බෞද්ධයන් වන අප එය ගෞතම බුදුරජාණන් වහන්සේගේ ශ්‍රීපාද ලාංජනය වශයෙන් විශ්වාස කරමු. මේ ශ්‍රී පාද ලාංඡනය වැඳ පුදාගන්නා සර්වාගමිකයන්ට සෙත ශාන්තිය සහ සාමය උදාවේවායි ප්‍රාර්ථනා කරමින් අපි ශ්‍රී පාදය වන්දනා කරමු.

කල්‍යාණිතෝ ගගනතෝ මුනියත්ථ ගන්ත්වා
දස්සේයි චක්කවර ලක්ඛණ පාද ලඤ්ජං
ලංකාමහිවරවධු මකුටෝපමානං
වන්දා මහං සුමනකූට සිලුච්චයං තං


Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

Categories

%d bloggers like this: