Posted by: lrrp | February 12, 2009

‘මාර පරාජය’ වෙනත් චිත‍්‍ර සමඟ සසඳන්න එපා

අනුරාධපුර පොළොන්නරු යුගවලින් පසු මහනුවර යුගයේ උදාවත් සමඟ ලංකා ඉතිහාසයේ ආර්ථික, සාමාජීය හා දේශපාලනම ය වශයෙන් විවිධ වෙනස් කම් සිදුවිය. මෙරට රජවරුන්ගේ නිලමේ හා රදළ නායකයින්ගේ අසමඟිය නිසා ශ‍්‍රී ලංකාව විදේශීය යටත් විජිතයක් වීම දක්වා වූ අමිහිරි අත්දැකීම් හා කටුක බව එදා ජනතාව පීඩනයට ලක් කෙරිණි.

එහෙත් එදා සිංහල කලාකරුවාගේ ජාතිකත්වය ජාත්‍යාලය නැති කරන්නට උදුරාගන්නට ආක‍්‍රමණිකයන්ට නොහැකි විය. එහි පසුබිමේ උපදේශකත්වය මෙහෙය වූයේ බෞද්ධ භික්ෂුවයි. ඒ නිසා ම දේශීය චිත‍්‍ර කලාව පාරම්පරික චිත‍්‍ර කලාවක් සේ නොනැසී ඉතිරි විය.

එදා මෙදා තුර දේශීය චිත‍්‍ර කලාව ආරක්ෂා කරගැනීමෙහිලා පුරෝගාමී වූයේ අපේ බෞද්ධ භික්ෂූන් වහන්සේලා ය. එවන් පසුබිමක ගුරු උපදේශ ලබා ඉතිහාසයට එක්වූ සිත්තරෙකි, මහනුවර සමයේ කන්ද උඩරට ජීවත් වූ දෙවරගම්පල සිල්වත් තැන.

පෙර යුගවල චිත‍්‍ර කලාවේ තිබූ සෞම්‍ය බව සහ ලෞකිකත්වයට එකඟ බව හෝ එම සම්ප‍්‍රදායෙන් වෙනස් වූවකි, මහනුවර සමයේ චිත‍්‍රකලාව. 18 වන සියවසේ දී කන්ද උඩරට ව්‍යාප්ත වී ගිය පාරම්පරික චිත‍්‍ර සම්ප‍්‍රදාය පසු කලෙක මධ්‍යම ප‍්‍රදේශයෙන් ඔබ්බට කඳුකර ප‍්‍රදේශවල ද පහතරට ප‍්‍රදේශවලට ද ව්‍යාප්ත විය. මේ චිත‍්‍ර සම්ප‍්‍රදාය කෙරෙහි මිසර හෝ ද්‍රවිඩ හින්දු කෝවිල් ආශ‍්‍රිත චිත‍්‍ර සම්ප‍්‍රදාය අනියමින් හෝ බල පෑ බැව් විචාරක මතය විය.

වරින් වර විදේශීය ආක‍්‍රමණවලින් හිරිහැර විඳි කන්ද උඩරට වැසියා තුළ කලාශිල්ප කෙරෙහි තිබූ උනන්දුව හා දක්ෂතාවය විහාර, ලෙන් විහාර හා ටැම්පිට විහාරවල ඇති සිතුවම් දෙස බලන විට පෙනී යයි. 18 වන සියවසේ කන්ද උඩරට රජ කළ කීර්ති ශ‍්‍රී රාජසිංහ රජතුමා උඩරට කලා කර්මාන්තවල උන්නතිය සඳහා අනුග‍්‍රහය දැක්වීම ශිල්පීන්ගේ ධෛර්යයට හේතුවිය.

මහනුවර යුගයේ විහාර අතුරින් ඉතා වැදගත් ස්ථානයක් වශයෙන් දෙගල්දොරු ලෙන් විහාරය ඓතිහාසික වටිනාකමින් යුක්තවීමට එහි සිත්තම් ඇඳි ශිල්පියා සුවිශේෂී පුද්ගලයකු වීම හේතුවිය. එහි ඇඳි සියුම් රේඛාමය සිතුවම් නූතන සිත්තරුන්ගේ ගුරුවරයා බවට පත්ව ඇත.

මහනුවර යුගයේ කලා ශිල්පීන් අතර ඇම්බැක්ක දේවාලයේ කැටයම් ශිල්පියා වන දෙල්මඩ මූලාචාර්ය, ලංකාතිලක විහාරයේ ශිල්පියා වන ස්ථපතිරාජ, ගඩලාදෙනි විහාරයේ නිර්මාණ ශිල්පියා වන ගනේශ්වරාචාර්ය මෙන් ම දෙගල්දොරු ලෙන් විහාරයේ සිත්තරා වන දෙවරගම්පල සිල්වත් තැන කැපී පෙනෙන පුද්ගලයෝ ය.

එයට අමතරව දේවේන්ද්‍ර මූලාචාර්ය, බටුවිට සිත්තරා, සිත්තර නයිදේ වැනි තවත් සිත්තරුන් සිටි බැව් මහනුවර ඓතිහාසික තොරතුරු වලින් හෙළිවේ.

මෙයින් සුවිශේෂි පුද්ගලයකු වශයෙන් දෙවරගම්පල සිල්වත් තැන, කරුණු කීපයක් නිසා වැදගත් වේ. මෙතුමා දෙවරගම්පල සිල්වත් උන්නාන්සේ නමින්ද හැඳින්වේ. 18 වන සියවසේ කන්ද උඩරට රජකළ කීර්ති ශ‍්‍රී රාජසිංහ රජු සමයේ උඩරට හා පහතරට ප‍්‍රසිද්ධියක් ඉසිලූ සිත්තරා වූයේ ද ඔහු ය.

සතර කෝරළයේ මාවනැල්ලට නුදුරු දෙවරගම්පල නම් වූ නියම් ගමෙහි උපන් හෙතෙම කීර්ති ශ‍්‍රී රාජසිංහ රජතුමාට පෙර පළමුවන රාජසිංහ හා නරේන්ද්‍රසිංහ යන රජවරුන්ගේ ඇසුර මෙන් ම උදහසට ද ලක්වූ තැනැත්තෙකි. එක් අවස්ථාවකදී රාජසිංහ රජුගේ රාජ උදහසට ලක් වූ හෙතෙම හිටුවා පස් ගැසීමේ දඬුවමකට ද ලක්විය. රාජපුරුෂයින්ගේ අනුකම්පා සහිත අනියම් උදව් ලැබ ඉන් මිදී රහසිගත ව පළා ගොස් සියම් නිකායේ මහණ වූ බැව් සංඝරාජ වතගොතෙහි සඳහන් වේ.

මහණ වූ ස්ථානය හා ගුරුවරයා හෝ ඔහුගේ මුල් ගම අප‍්‍රකට ය. වැලිවිට සරණංකර හිමි, මොරතොට ධම්මාරාම හිමි, අලුත්නුවර හිමි යන යතිවරයන් වහන්සේලා කුඩා කළ සිට ම ඇසුරු කොට ධර්ම ශාස්ත‍්‍ර ගැන අවබෝධය ලබා ඇති දෙවරගම්පල හිමි පසුව වැලිවිට සරණංකර හිමියන්ගේ විශ්වාසවන්ත මිත‍්‍රයා බවට පත්විය.

සරණංකර හිමි සියමට ගොස් උපසම්පදාව (ශීලය) රැගෙන ආ නමුත් එකල සාසන සම්ප‍්‍රදාය අනුව දෙවරගම්පල උපසම්පදාව ලැබීමට සුදුස්සෙකු නොවී ය. ඉන්පසු ශ‍්‍රමණ භූමියෙන් වෙන්ව එතුමා දසසිල් ඇත්තෙක් බවට පත්විය.

උඩත්තාවෙල රාජශේඛර නමැත්තෙකු වෙතින් කලා හා ශිල්පශාස්ත‍්‍ර හැදෑරූ මොහු සහජ චිත‍්‍ර ශිල්පියකු විය. කැටයම් හා ප‍්‍රතිමා නෙලීම පිළිබඳව ද ඔහු මනාසේ පුහුණුව ලැබූවෙකි. බුද්ධ ප‍්‍රතිමා මාන ප‍්‍රමාණ පිළිබඳව වූ “ශාරිපුත‍්‍රය” නම් ග‍්‍රන්ථය මෙන් ම “වෛජයන්තය හා රූපාවලිය” මනාසේ අධ්‍යයනය කොට ඇති හෙතෙම දක්ෂ සිත්තරෙකු බව “සංඝරාජ සාධු චරිතය” පොතෙහි සහ මේ පාඨයෙහි ද සඳහන් වේ.

“යාම් ඊම් අති දුෂ්කර හෙළ මුදුනේ පිහිටි දඹුළු ලෙනෙහි දු සංඝරාජ සාමී දරුවන් විසින් දෙවරගම්පල සිල්වත් තැන ලවා අභිනවයෙන් බැඳවූ මහත් සයන බුද්ධරූපයෙහි කර්මාන්තත් නිමවෙමින්..” යන පාඨයෙන් පැහැදිලිවේ. දෙගල්දොරුව, මාවෙල, හිඳගල දොඩන්තලේ, දනකිරිගල, ලංකාතිලකය, රිදීවිහාරය, දළදා මාළිගය, රන්ගිරි දඹුල්ල, තොටගමුව, කඩුගන්නාවේ ගනේතැන්න යන ස්ථානවල සිතුවම් මෙතුමා විසින් කරවූ බව හෙළිවේ.

කීර්ති ශ‍්‍රී රාජසිංහ රජතුමා විසින් පිළිගත් ප‍්‍රධාන සිත්තරා ද මොහු ය. රජතුමාගේ ප‍්‍රතිසංස්කරණ කටයුතු හෝ නව කර්මාන්තාදියෙහි දී හෝ රජුගේ නියෝග පිට මොහු විසින් මේ ස්ථානවල චිත‍්‍ර අඳිනු ලැබී ය. අද පවා මේ චිත‍්‍ර බොහෝ තැන්වල සුරක්ෂිත ව ඇත. රන්ගිරි දඹුළු විහාරයේ සිතුවම් අඳිනු ලබන දිනක රජතුමාට දෙවරගම්පල සිල්වත් ශිල්පියා ගැන පොඩි විමසුමක් කරන්නට සිත්විය.

රජතුමා රාජකීය බුලත් විටක් සාදාගෙන දෙවරගම්පල සිතුවම් අඳින දඹුලු විහාරයට නිසොල්මන්ව ආවේ ය. පලංචිය මත සායම් බඳුන් වටේට තබාගෙන ගල්පියස්ස සිතුවම් කරන විලාසය දුටු රජතුමා හිණිමඟට නැඟ දෙවරගම්පලට බුලත්විට දිගු කළේ ය. වටපිට නොබලා ම බුලත්විට අතට ගත් දෙවරගම්පල කටේ තිබූුණ බුලත් හපය අතට ගෙන සායම් බඳුන් වටේට තිබූ බැවින් විසි කිරීම ප‍්‍රමාද කළේ ය.

හිණිමගෙහි සිටි රජතුමා අත දිගු කළ විට අවධානය වෙනතක පැවැති හෙයින් (තම ගෝලයා යැයි සිතා) ඔහුගේ අල්ලට බුලත් හපය දැමී ය. අනතුරුව අලුත් බුලත්විට සපා අධික ලෙස මත් වූ විට (තොරතුරු විමසූ පසු) බුලත් හපය දැමුවේ රජතුමාගේ අල්ලට බව දැනගත්තේ ය. රජු උදහස් වේයැයි බියෙන් දෙවරගම්පල ක්ලාන්ත වී සිතුවම් ඇඳීමට පවා නොහැකි විය. රාජපුරුෂයෙක් මෙය රජතුමාට දැන්වීය. රජු එවිට සමාව දෙන බව සැළ කළේ ය.

දෙවරගම්පලගේ උනන්දුව, සැලකිල්ල හා අවධානය ගැන පැහැදුණු රජතුමා අතිශයින් සතුටට පත්විය. දඹුලු විහාරයේ සිතුවම් ඇඳීම නිමවීමෙන් පසුව රජතුමා ඔහුට වරප‍්‍රසාද දීමට නියෝග කළේ ය. “තමා බලාපොරොත්තුවන්නේ උපසම්පදාව ද නැතහොත් ගම්වර දැයි රජතුමා ඇසූවිට – ගම්වර අවශ්‍ය බව කීවේ ය.

ඉන්පසු රජතුමා විසින් ඔහුට ‘දෙවරගම්පල’ නම් නින්දගම පරිත්‍යාග කරන ලදී. පහත් කුලයේ අයට පල්ලැක්කියේ යාම තහනම් වුවද රාජ වරප‍්‍රසාදයක් වශයෙන් ඔහුට යාමට පල්ලැක්කියක් හා එය ඔසවා ගෙන යාමට මිනිසුන් ද රජු විසින් පරිත්‍යාග කරන ලදී.

උපතින් ම දේශීය කලාවනට හැකියාව තිබූ දෙවරගම්පල හට සිතුවම් ඇඳීමට අවශ්‍ය සියලු ද්‍රව්‍ය, උපකරණ, සායම් හා බදාම සාදාගැනීමට තාක්ෂණික ඥානයක් තිබුණි. දේශීය අමුද්‍රව්‍ය හා ඛනිජ සම්පත් ආශ‍්‍රිත ව ඇඳි සිතුවම් අද ද සුරැකි ව පවතී. මොහුගේ චිත‍්‍ර අතර දෙගල්දොරුවේ සිතුවම් ඉතා උසස් ය. මේ චිත‍්‍ර ජාතක කතා හා බුද්ධ චරිතය වස්තු විෂය කොටගෙන ඇත. මේ තුළින් එතුමා බලාපොරොත්තු වූයේ දැහැමි සමාජයක් බිහිවීම විය හැකි ය.

අඛණ්ඩ කථා මාධ්‍ය (වමේ සිට දකුණට නොකැඩී කියැවෙන අයුරු) උපයෝගී කොට ගෙන අඳින ලද මේ චිත‍්‍රවල සහජ හැකියාව තුළින්, පරිසරයට අනුව ස්වාධීන ව දහමේ ආදීනව කියාපාන විලාසයක් ඇත.

දුර්ලභ විහිදීම, ති‍්‍රමාණ බව එළිය අඳුර යෙදීම වැනි සිද්ධාන්ත වලින් බැහැර ව අපරදිග සම්ප‍්‍ර‍්‍රදාය ඉවත් කොට ලාලිත්‍ය සියුම් රේඛාව සහ රිද්මයානුකූල බව ශිල්පියාගේ හැකියාවේ ලක්ෂණ වේ.

මදටියපාට රතු පසුතලය අලංකාර කිරීම සඳහා ශිල්පියා වලාකුළු, ඉරහඳ , නෙළුම් සපු වැනි මල් වර්ග යෙදූ අතර කඩුපුල් පරසතු වැනි මල් වර්ග ද හංස රූප ද ශෛලිතව නිරූපණය කොට ඇත. ජාතක කථාවලට අමතරව බුද්ධ චරිතය හා සම්බන්ධ වැදගත් සිද්ධි සිතුවමට නැඟීම ශිල්පියාගේ යුතුකමක් සේ සලකා ඇත. එවැනි චිත‍්‍ර අතර ‘මාර පරාජය’ වැදගත් චිත‍්‍රයකි. මෙය සිත්තරාගේ ස්වාධීන සිතුවිල්ලක් සිතුවටම නැඟීමකි.

දෙවරගම්පල සිල්වත් තැන චිත‍්‍ර ඇඳි මේ ලෙන පිහිටි ස්ථානය දුෂ්කර පරිසරයක පිහිටි එකකි. පහසුකම් හෝ වෙනත් බලපෑම් නැත. අඳුරු ගල්ලෙනක පොල් තෙල් පහන් ආලෝකයෙන් අක්ෂි ගෝචර වර්ණ මාලාව අනුව ඉතා සියුම් රේඛාවෙන් මන බඳනා ලෙස අඳින ලද මාර පරාජය චිත‍්‍රය, වත්මන් හී ඇතැම්හු බටහිර රටක අඳින සංකේතානුරූපී චිත‍්‍රයක් සමඟ සැසැඳීම නොකළ යුතු දෙයකි.

ඒ අනුව බටහිර රටක උපන් ෆැබ්ලෝ පිකාසෝගේ ගුවර්නිකා චිත‍්‍රාවලියත්, මාර පරාජය චිත‍්‍රයත් අතර මාධ්‍ය අදහස, වර්ණ හා ශෛලිය අතින් අන්ත දෙකක පිහිටියේ ය. මාරපරාජය චිත‍්‍රය, ගුවර්නිකා හා සැසැඳීමට උත්සාහ ගැනීම දෙවරගම්පල සිල්වත් තැනට මෙන් ම දේශීය චිත‍්‍ර කලාවට කරන්නා වූ අවමානයකි.

දෙවරගම්පල සිල්වත් තැන අතිදක්ෂ ආචාර්ය පරපුරකින් පැවත එන බව ඓතිහාසික තොරතුරුවලින් හෙළි වේ. ශ‍්‍රී මහා බෝධිය මෙරටට ගෙනෙන විට සත්වැදෑරුම් ශිල්පාචාර්යවරුන් හා බෝධියේ ආරක්ෂාවට රජකුමාරවරු පිරිසක් පැමිණි බව කියැවේ. මේ අය අතර විශ්ව කුලසේකර නමැත්තෙක් සිටි බව සැළ වේ. ඔහුගේ පරපුරේ අවසන් පුරුක රාජසේකර නම් අයෙකි.

ඔහු සියලු තාන්න මාන්න ලැබ උඩත්තාවෙල ගමේ විසී ය. ඔහුගේ සහෝදරයෙක් දෙවරගම්පල නම් ගම විසීය. ඔහුගේ පුතා දෙවරගම්පල සිල්වත් තැන ය. මෙතුමාට සිතුවම් ඇඳීමේ දී සහාය වූ බටුවිට සිත්තරා ගේ පරපුරේ අය තවමත් හොරණට නුදුරු බටුවිට ගමේ ජීවත් වන බව විශ්වාස කෙරේ.


Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

Categories

%d bloggers like this: