Posted by: lrrp | February 13, 2009

සියල්ල ම පසෙකට දැමිය යුතු දවසක් එනවා

සම්මානිත මහාචාර්ය අනුරාධ සෙනෙවිරත්න

සම්මානිත මහාචාර්ය අනුරාධ සෙනෙවිරත්න, සිංහල සංස්කෘතිය, ජනශ‍්‍රැතිය හා කලා විචාරය ආදී විෂය ක්ෂේත‍්‍ර ගණනාවක් අළලා ග‍්‍රන්ථ 70 ක් පමණ රචනා කළ විද්වතෙකි.

1961 දී උපනිෂද් නම් කෘතිය රචනා කරමින් ක්ෂේත‍්‍රයට පිවිසි මහාචාර්ය සෙනෙවිරත්න, සිංහල සභ්‍යත්වයේ තොටිල්ල වැනි පුරාණ අනුරාධපුරය හා පොලොන්නරුව පිළිබඳ ලියූ ග‍්‍රන්ථ ඉංග‍්‍රීසි බසින් ද පළවිණි.

”The monastic city Anuradhapura, Medieval Sinhalese capital – Polonnaruwa යනු ඒවා ය. මේ ග‍්‍රන්ථ පරපුරේ අවසනට ඔහු 2006 දී ලියූ ඥාන දර්ශන යන්න ද එක්විය. ඔහු අවසනට ලියූ කුඩා ග‍්‍රන්ථය මහා කවි මයුරගේ මයුරාෂ්ටකයේ පරිවර්තනය වූ ‘නොනිදා පහන් කළ රෑ’ යන්න ය. ඒ 2007 දී ය. මේ දැනට රෝගාතුර ව වෙසෙන ඔහු සමඟ කරන ලද සංලාපයකි.

ඔබ ගෙවා පැමිණි දිවි මඟ දෙස නැවත අවලෝකනය කළොත් ඔබට පැවැසීමට ඇති දෙය කුමක්ද?

මට මා පිළිබඳ දැනෙන්නේ ආඩම්බරයක්. ජීවිතයේ බොහෝ දේ මට ලැබී තිබෙනවා. මා ගැන කනගාටු සිතෙන අත්දැකීම් මට නැහැ.

”යස්සපතීතො සුමනො – විපාකං පටිසේවතී’ යන ධම්ම පද පාඨයෙහි කියැවෙන පරිදි, සමාහිත සතුටුදායක මනසකින් යුතුවයි, මගේ දිවි මඟේ අර්ථය මට දැකිය හැකිවන්නේ.

සාමාන්‍ය ව්‍යවහාරයේ මෙබඳු කියමනක් තිබෙනවා. “මිනිසෙක් වුණා ම පුතෙක් හදන්න ඕනෑ, පොතක් ලියන්න ඕනෑ” මා ඒ කාරණා දෙක ම අවශ්‍ය උපරිමයෙන් සපුරා තිබෙනවා. මා මගේ ජීවිතයේ වැඩිමනත් කාලය ගත කොට තිබෙන්නේ ශාස්තී‍්‍රය කටයුතු වෙනුවෙන්.

2004 දී ප‍්‍රකාශයට පත්වූ ‘අනුමෝදනා’ නම් වූ මගේ උපහාර ග‍්‍රන්ථයෙන් මා කියා ඇති පරිදි මගේ පියාගෙන් මට, අනෙක් ළමයින්ට මෙන් කී‍්‍රඩා භාණ්ඩයක් පවා ලැබී නැහැ.

එතුමාගේ වැටහීමේ හැටියට එකල පටන් මා යොමු කළේ එවක කීර්තිමත් ව සිටි මහාචාර්ය මලලසේකර, පරණවිතාන, හෙට්ටිආරච්චි වැනි වියතුන් ගේ ඇසුරටයි.

මට, නිදහස්, අයාලේ ගිය ප‍්‍රීති ප‍්‍රමෝදයෙන් ගෙවුණු ළමා වියක් නැතත් මා අද ලබාගෙන සිටින ශාස්ත‍්‍ර පටුත්වය ඒ කැපවීමේ ප‍්‍රතිඵලයක්. මගේ ශාස්තී‍්‍රය ජීවිතයේ සමහර කඩඉම්වලදී යම් යම් හේතු මත මට හරස් කපපු, මගේ ගමන ආපසු හරවපු පුද්ගලයන් මුණගැසී තිබෙනවා.

ඒ පුද්ගලයන් සහ ඒ ඒ කාලවලදී මා මුහුණදුන් ඒ කටුක අත්දැකීම් ගැනත් ‘අනුමෝදනා’ ග‍්‍රන්ථයේ ප‍්‍රස්තාවනාවේ මා කියා තිබෙනවා. ඒ කිසිම අයෙකු කෙරේ අද මා තුළ ද්වේශයක් නෑ. මගේ ශිෂ්‍යයකු ලෙස සිටි ඔබටත් තවත් වර්තමාන පරපුරේ ශාස්ත‍්‍රවන්තයන්ටත් මා කියන්නේ, තමන්ගේ දෙකකුලෙන් ඇද දැමීමට කැස කවන අය සමඟ ඒ මොහොතේ ආත්මාරක්ෂාව පිණිස සටන් කළාට කමක් නෑ.

ඒත් ද්වේශ කිරීම තමන්ගේ ශක්තිය අපතේ යවා ගැනීමක්. ඒ වෙනුවට, ශාස්තී‍්‍රය හා නිර්මාණාත්මක කටයුතුවල යෙදීම තමා ඔවුනට දෙන පිළිතුර විය යුත්තේ.

ඔබ 1961 දී උපනිෂද් කෘතිය ලියන විට භද්‍ර යෞවන වයසේ පසු වූ බව මා හා පවසා තිබෙනවා. ඒ වගේ වයසකදී එවැනි සුගැඹුරු විෂයයක් ස්පර්ශ කළේ ඇයි?

බෞද්ධයකු විදිහට මම පුනර්ජන්ම ය විශ්වාස කරනවා. බටහිර ලෝකයේ පවා එය ප‍්‍රචලිත විෂයයක්. එඩ්ගා කේසි කියන ඇමරිකානු ජාතිකයාට තිබුණු විශේෂ අතින්ද්‍රීය හැකියාවක් අනුව විවිධ මිනිසුන්ගේ දෛවයන් ගැන අනාවැකි වගේ ම අතීත තොරතුරු හෙළි කර තිබෙනවා. ඒ ඇසුරින් ජිනා සර්මිනාරා ලියූ ”Many Mansions” කෘතිය ලෝකයේ අතිශයින් ප‍්‍රකට කෘතියක්.

ඒ කෘතියේ ”An Answer to the Riddle of Life” කියන පරිච්ඡේදයේත් ඔබ ඇසුවාක් වැනි ප‍්‍රශ්නවලට පිළිතුරු සැපැයී තිබෙනවා. නාඩි වාක්‍ය එවැනි පුරාණ හින්දු දෛව කියැවීම් අනුව, මාගේ අතීත පුරුද්දක්, ප‍්‍රාගුණ්‍යයක් අනුව ඒ හුරුව ඇතිවන්නට ඉඩ තිබෙන බව පමණක් දැනට කිය හැකියි. මා මේ විෂයය ගැන මගේ ‘ඥාන දර්ශන’ ග‍්‍රන්ථයේත් සඳහන් කර තිබෙනවා. එහි තැනක් උපුටා දක්වන්න මම කැමැතියි. යාඥාවල්ක්‍ය හා අර්ථභාග අතර වූ සංවාදයක මෙසේ කියැවෙනවා.

”මිනිසකු මැරෙන කල්හි ඔහුගෙන් වෙන් නොවන දෙයක් ඇත්නම් ඒ කුමක්ද? අර්ථභාග අසනවා’ “ඒ ඔහුගේ නාමය” යාඥාවල්ක්‍ය පිළිතුරු දෙනවා. නමට කෙළවරක් අවසානයක් නැත. ඒ නාමධාරියා ජයගන්නා ලොවට කෙළවරක් ද නැත. “නාම ගොත්තං නජීරතී” නාම හෝ ගෝත‍්‍රය නොදිරයි කියා බුදුන්වහන්සේත් දේශනා කළේ අර සාරාර්ථය අනුව විය හැකියි.

ඔබ සරසවි පරිසරයේ ගතකළ කාලයේදී විශාල ශිෂ්‍ය සංඛ්‍යාවකට අධ්‍යාපනය ලබාදී තිබෙනවා. ශිෂ්‍යයන්, ආචාර්යවරුන් හා සමාජයේ පරිණාමය ගැන ඔබ සිතන්නේ කවර ආකාරයකට ද?

සරසවිය හෙවත් විශ්වවිද්‍යාලය අතීතයට වඩා දැන් සංකීර්ණ තැනක්. ශිෂ්‍යයන් අතර බහුතරයක් පසුවන්නේ උපාධිය කිසියම් වෘත්තීය සුදුසුකමක් ලෙස කෙසේ හෝ රැගෙන පිටවීමේ මානසික තත්ත්වයකින්.

ගුරුවරුන් ගැන ඔවුන් තුළ, අර පුරාණ සංස්කෘතික භක්තිය ඇත්තේ නෑ. තමන්ගේ උවමනාවක් වෙනුවෙන් ගුරුවරයකු බිල්ලට තබා හෝ අවශ්‍යතාව ඉටුකරගැනීමේ කූට උපක‍්‍රමවලින් ඔවුන් සන්නද්ධයි. ඒ අතරේ ඉඳහිටලා ගුරුවරුන් කෙරේ ගරු කටයුතු ලෙස පිළිපදින සිසුන් නැත්තේ නෑ. සංස්කෘතික ගැටුම, සරසවියේ විවිධ මුහුණුවරක් ගන්නවා. සමහර ගුරුවරු පෙරදිග දර්ශනය,

පෙරදිග සමාජයේ සාරාර්ථ අගයමින්, අල්පේච්ඡ ලෙස ජීවත්වීමේ තැතක යෙදෙනවා. සමහරවිට ඔබත් එහෙම වෙන්නැති. ඒ ආදර්ශය තවත් අයගේ විවේචනයට හසු වෙනවා. විශ්වවිද්‍යාල ආචාර්යවරයෙක් වුණාම, සුපිරි වාහනයක්, සුඛෝපභෝගී නිවසක්, ධනාත්මක ආකල්ප තිබිය යුතුයි කියලා හිතන පිරිසක් ඉන්නවා. හොඳ ම උදාහරණයක් කියන්නම්. ඊයේ පෙරේදා ඔබත්, දයා අමරසේකරත්, දේශීය සංස්කෘතිය, දේශීය වෙදකම, පැරණි සභ්‍යත්වයේ සුරැකී තිබුණු ගුප්ත විද්‍යා ගැන එක් පුවත්පතකට වරින් වර ලිව්වා. ඔය සංස්කෘතික වාදය ඉවසීමට බැරි, විශ්වවිද්‍යාලයේ තව පිරිසක් එය විවේචනය කළා. තත්ත්වය ඔන්න ඕකයි.

මේවා දෙස බලා සිටින බහුතර ශිෂ්‍යයන් පසුවන්නේ යටිකුරු කළ භාජන වගේ. ඒ අය පුවත්පත් බලන්නෙ නෑ. පොත්පත් කියවන්නෙ නෑ. ලියන කියන ආචාර්යවරු කුමක් ලියනවද, මේ මිනිසාගේ ජීවන දැකීම කුමක්ද කියලවත් ශිෂ්‍යයන් දැනුවත් නෑ.

මහාචාර්ය එම්.බී.ආරියපාලගේ ‘මධ්‍යකාලීන සිංහල සමාජය’ නම් ග‍්‍රන්ථය, විශ්වවිද්‍යාලයේ පාඨමාලාවලදී පරිහරණය වෙනවා. එතුමා මේ ළඟදි මියගියා. පුවත්පත් කීපයක ඒ ගැන තොරතුරු ප‍්‍රකාශ වුණා. හරියට ම එතුමා මියගිය දවසේ ම, පේරාදෙණි සරසවියේ ඉබාගාතේ ඇවිදිමින් සිටි උන්මත්තකයෙකුත් මියගියා.

ආරියපාල මහතා පේරාදෙණියේ සිංහල අංශයේ සිටි මහාචාර්යවරයෙක්. ඒත් ශිෂ්‍යයෝ ඒ බව දැන සිටියේ නෑ. අර මියගිය උමතු මිනිසා ගැන ශිෂ්‍යයො කවි ලියලා බිත්ති පුවත්පත්වල දාලා තිබුණා. අඹ විචාලවුනට දෙල් කියනව වගේ සරසවියෙහි තිබිය යුතු සාරාර්ථ වෙනුවට වෙන වෙන ආලවට්ටන් ගැන ප‍්‍රචාරය ලැබෙනවා. මේක ජනප‍්‍රිය සංස්කෘතිය වෙන්නැති. ඒත් ඒ ගැන හිතන ගැඹුරු මනස් ඇති අය කලකිරවන තත්ත්වයක් ඒක.

ඔබේ පත පොත හා ශාස්තී‍්‍රය ජීවිතය ගැන බොහෝ තොරතුරු පොත්පත් හා විවිධ ජනමාධ්‍ය ඔස්සේ අනාවරණය වී තිබෙනවා. ඒ හැර, කලාකරුවකු, නිර්මාණ රචකයකු ලෙස ඔබේ ප‍්‍රබල භූමිකාවක් තිබුණා. ඒ පිළිබඳ කරුණු සාකච්ඡා කළොත්

මා විවිධ ක්ෂේත‍්‍රවල කලා කටයුතු සඳහා දායක වී තිබෙනවා. බොහෝ දෙනා නොදන්නා කරුණක් ඒක. එක්දහස් නවසිය අසූ ගණන්වලදී ‘වත්සලා අක්කා’ නම් චිත‍්‍රපටයේ ගරු රඟපෑමක යෙදීමේ අවස්ථාවක් මට ලැබුණා.

මා එහි රඟපෑවේ වෛද්‍යවරයකු ලෙසයි. මා ලියූ ගුවන් විදුලි ගීත නාටක, වාර්තා චිත‍්‍රපට හා ගුවන් විදුලි ගීත රැසක් තිබෙනවා. 1962 දී මා රචනා කළා ‘සමාධි’ නම් ගුවන් විදුලි ගීත නාටකයක්. 1970 දී ‘චාපා’ ගීත නාටකය, 1971 දී ‘එරමුදු මල්’ නමැති ගීත නාටකය ආදී ගීත නාටක මගේ මතකයේ තිබෙනවා. ඒ වගේ ම 1976 දී ජාතික චිත‍්‍රපට සංස්ථාව සඳහා මා රචනා කළා ‘මහපොළවත් දියට හඬයි’ නමින් වාර්තා චිත‍්‍රපටයක්.

එමෙන් ම මීට වසර කීපයකට පෙර, ශ‍්‍රී ලංකා රූපවාහිනියේ වාර්තා වැඩසටහනක් වශයෙන් ’Ancient Civilization in Sri Lanka’ නමින් ඉංග‍්‍රීසි පිටපතක් මම රචනා කළා. මේ මගේ මතකයේ තිබෙන නිදසුන් කිහිපයක් පමණයි. මා ලියූ ගීත රාශියකුත් තිබෙනවා. සුජාතා අත්තනායක ගයන ‘අන්න බලාපන් පුතුනේ’ ‘සමාධි බුදු ගුණෙන් පිරි ඔබෙ නිසල බුදුරුව‘ යන ගීත අද ප‍්‍රචාරය වෙන්නෙත් නෑ.

පණ්ඩිත් අමරදේව ගයන ‘ජයතු ජයතු ශ‍්‍රී ලංකාධරණී’ ගීතයත් අද අහන්න ලැබෙන්නේ නෑ. රෝහණ වීරසිංහ එක් කලක ගැයූ ‘වැව් තල බඳවා ගොවිතැන් කරවා’ යන ගීයත් දැන් ගොළුවෙලා. නන්දා මාලිනිය ගයන ‘බුදුකරුණා දෑස තෙමී්’ යන ගීය නම් දැනටත් හැම ආගමික උත්සවයකදී ම මාධ්‍යයෙන් ඇසෙනවා. ඒත් කිවයුතු කරුණක් තියෙනවා. රූපවාහිනී මාධ්‍යයේ හා ගුවන් විදුලියේ දැන් දැන් රචකයාගේ නම කීමේ සම්ප‍්‍රදාය ගිලිහිලා.

අලුතින් ජනප‍්‍රිය වුණු රචකයන්ගෙ නම් පුන පුනා කියනවා. මගේ ගීය ප‍්‍රචාරය වනවිට කියන්නේ ගායිකාවගේ නම පමණයි. ඒත් ඒ ගීය මා ලියූ බව, වගකීමෙන් යුතුව සඳහන් කරන දෙදෙනකු ගැන මට මතකයි. එක් අයෙක් තමා ස්වර්ණවාහිනියේ සිටි හේමනලින් කරුණාරත්න.

අනෙක් පුද්ගලයා කඳුරට සේවයේ චූලාභය ශාන්ත කුමාර හේරත්. මා පදමාලාව ලියූ සමහර ගීත වෙනත් ප‍්‍රසිද්ධ රචකයන්ගේ නමින් අද ප‍්‍රචාරය වෙනවා මට ඇසී තිබෙනවා. ඒ යටගියාව වෙනස් කරන්න මට උවමනාවක් නෑ. ඔය ගීත පටිගත කරන දිනවල මම ළඟ සිටියා.

‘බුදුකරුණා දෑස’ ගීයේ සංගීතය සැපයුවේ ප‍්‍රවීණ සංගීතඥ සෝමදාස ඇල්විටිගල. ඔහු සංගීතය සම්පාදනය කළ “සිනිදු සුදු මුදු තලාවේ, මූදු පතුල යට’ ආදී ගීත ගැනත් කිය යුතුයි. ඒත් ‘බුදුකරුණා දෑස’ ගීයේ සංගීතය වෙනත් කෙනෙකුගේ බව මාධ්‍යයෙන් කියැවෙද්දී මම නිසොල්මනේ අසා සිටිනවා.

මේ සා විශාල ශාස්තී‍්‍රය හා නිර්මාණශීලී කෘති රැසකට දායකත්වය දුන් හා විවිධ රටවල් රැසකට ආරාධිතයකුª ලෙස ගොස් සංචාරය කොට ඇති ඔබ, වර්තමානයේ තරමක් රෝගාතුර ව වෙසෙනවා. ඔබට, ජීවිතය පිළිබඳ සමස්තයක් වශයෙන් කීමට වැදගත් අදහසක් ඇති!

ජීවිතයේ ඇතැම් අත්දැකීම් කිසිසේත් අන් කෙනෙකුගෙන් අසා දැනගන්නට බැහැ. ප‍්‍රත්‍යක්ෂයෙන් ම දැනගත යුතුයි. “ඒහි පස්සික හෙවත් පැමිණ බලනු මැනවි” යන අරුත එහි තිබෙනවා. ඒ තත්ත්වය බුද්ධියේ මුහුකුරා ගිය තත්ත්වයක්. ඒහි පස්සික තත්ත්වය මනසේ ඇති “පරිණතියේ ඉව“ වශයෙනුත් දක්වන්න පුළුවන්. සමහර උගතුන් පවා තාවකාලික දෘෂ්ටීන් කර පින්නා ගත්තා ම අන්ධ වෙනවා. ගුරුවරුන්ට වඳින්න එපා ය කියා එක් සරසවි ඇදුරකු කී කතාව ඒ වගේ එකක්. ඔහු වැළැක්වූයේ, සංස්කෘතියයි. ඔහුට ශිෂ්‍යයන්ගෙන් පෙරළා කුණු කසළ ප‍්‍රහාර වදින කොට අර ඒහි පස්සික තත්ත්වයෙන් ලැබිය යුතු අවබෝධය ලැබිලා පලක් නෑ.

ජීවිතයේ එක් යුගයකදී අපි කවුරුත්, අප වටා ඇති බොහෝ දේ වැළඳගෙන ඉන්නවා. දරුවන්, බිරියන්, පෙම්වතුන්, ගේ දොර, යාන වාහන, උපාධි වැනි සුදුසුකම්, නොයෙක් කෙරුවාවල් ආදී වශයෙන්. මේ සියල්ල ආත්මාවබෝධයේදී පසෙකට දැමිය යුතු දවසක් එනවා.

පුත්තමත්ථි ධනංමත්ථි
ඉතිබාලො විහඤ්ඤති
අත්ථාහි අත්තනොනත්ථි
කුතොපුත්තා කුතොධනං

යනුවෙන් ධම්මපදයේ එය මනාව පහදා දී තිබෙනවා. ජීවිතය පිළිබඳ “නෛෂ්ක‍්‍රම්‍යයක් හෙවත් නොඇල්මක් ඇති කර ගැනීමේ තීරණාත්මක මොහොතකට අප කවුරුනුත් එළැඹෙනවා. ”Still Forest Pool” නම් ග‍්‍රන්ථයෙන් අප වෙත, තායිලන්තයේ විසූ යෝගාවචර අචාන්චා නම් හිමිනමකගේ දාර්ශනික ප‍්‍රකාශ හා දේශනා හඳුන්වා දී තිබෙනවා. එහි එක් තැනක මෙසේ දැක්වෙනවා.

”අත්හැරදැමීම සඳහා සූදානම් වූ මනසින් යුතුව හැම දෙයක් ම කරන්න. ස්වල්පයක් අත්හැර දැමීමෙන් සැනසිලි සුවයක් දැනේ නම් මුළුමනින් අත්හැර දැමීමෙන් සම්පූර්ණ විමුක්තිය ඔබ වටහාගන්නෙහිය”

මමත් මේ සත්‍යය තේරුම් ගනිමින් මේ ජීවිතය ගෙවන්නේ. මෙහිදී මෑත යුගයේ ඉන්දියාවේ ජීවත් වූ ශ්‍රේෂ්ඨ දාර්ශනික කි‍්‍රෂ්ණමූර්තිගේ ජීවිත දර්ශනයත් අපට, මේ තත්ත්වය පෝෂණය කරගැනීම පිණිස යොදා ගන්න පුළුවන්. කි‍්‍රෂ්ණමූර්ති සත්‍යය ගැන දැක්වූයේ මෙවන් ආකල්පයක්. ඔහුගේ අදහස් ඇසුරෙන් ආරියදාස සෝමතිලක විසින් ’නිහඬ සිත’ නමින් ග‍්‍රන්ථයක් කලකට පෙර පළ කරනු ලැබුවා.

සත්‍යය අපේ අභ්‍යන්තරයේ මෙන් ම අප අවටද ඇති බව කි‍්‍රෂ්ණමූර්ති අදහස් කරනවා. සත්‍යයේ ලෝකය නිතර ආලෝකවත් තැනක්. ඒත් එය අපට එක එල්ලේ පෙනෙන්නේ නෑ. ආලෝකය හා අඳුර නම් අපට පැහැදිලි ව දැනෙනවා.

ඒත් එවන් වෙනසක් ද නැති බවයි කි‍්‍රෂ්ණමූර්තිගේ අදහස. ඇත්තේ ආලෝකය පමණි. අඳුර ඇත්තේ අප වටාය. සත්‍යය සෙවීම පිණිස ආලෝකය දෙස අප බලන්නේ ද කළු පැහැති උපැස් යුවළක් ඇසේ දමාගෙනය.


Responses

  1. ”මිනිසකු මැරෙන කල්හි ඔහුගෙන් වෙන් නොවන දෙයක් ඇත්නම් ඒ කුමක්ද? අර්ථභාග අසනවා’ “ඒ ඔහුගේ නාමය” යාඥාවල්ක්යන පිළිතුරු දෙනවා. නමට කෙළවරක් අවසානයක් නැත. ඒ නාමධාරියා ජයගන්නා ලොවට කෙළවරක් ද නැත. “නාම ගොත්තං නජීරතී” නාම හෝ ගෝතර් නය නොදිරයි කියා බුදුන්වහන්සේත් දේශනා කළේ අර සාරාර්ථය අනුව විය හැකියි-what do you mean by “නාම “? it may be incorrect understanding.Do you mean by person private name or his mind ?the correct answer should be “mind”-who is wrote this article want clearly mentioned it. Otherwise people may get misunderstand.


Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

Categories

%d bloggers like this: