Posted by: lrrp | February 24, 2009

කෙලෙස් සමනය කරන බොදු පිළිවෙත් මග

කෙලෙස් සමනය කිරීමේ දෙවන ක්‍රමය නම්, ඉන්ද්‍රිය සංවර කර ගැනීම යි. (සංවරා) ඇස, කන, නාසය, දිව හා ශරීරය යන පංචේන්ද්‍රිය සංවර කර ගැනීම තුළින් අලුත් ක්ලේශ ආගමනයට බාධා ඇති වෙයි. හොඳ ඉන්ද්‍රිය පාලනයක් නොතිබුණහොත්, ක්ලේශ වර්ධනය වී සිත අපිරිසුදු වෙයි. අප බාහිර ලෝකයට විවර වී ජීවත් වුව ද, ඉන්ද්‍රිය පිළිබඳ සැලකිලිමත් විය යුතු ය.

බුදු දහම නිර්වාණය අරමුණු කරගත් ප්‍රතිපදා මාර්ගයකි. නිර්වාණ මාර්ගයේ ගමන් කිරීමේ දී කෙලෙස් සමනය කරගැනීම අත්‍යවශ්‍ය වේ. අප තුළ ඇති වන ක්ලේශ නිසා අපගේ නිර්වාණ මාර්ගය අවහිර වනවා පමණක් නොව කායික හා මානසික රෝගීන් බවට ද අපි පත් වෙමු.

එම නිසා කෙලෙස් පාලනය කර ගැනීම හා කෙලෙස් ප්‍රහීණ කිරීම ඉතා වැදගත් ය. ක්ලේශ නිසා නොයෙක් මානසික රෝග වැළඳෙන බව, බුදුදහම සඳහන් කරයි. එමෙන්ම ක්ලේශ නිසා මානසික තත්ත්වය පහළ වැටීමෙන්, නොයෙකුත් කායික රෝග ද වැළඳිය හැකි ය. එනිසා කායිකව හා මානසිකව නිරෝගී වීමට නම් ක්ලේශ යටපත් කරගෙන සමනය කරගෙන ජීවත්විය යුතු ය. බුදුරජාණන් වහන්සේ ‘පභස්සරමිදං භික්ඛවේ චිත්තං’ යනුවෙන් පැහැදිලි කර ඇත්තේ පුද්ගලයකු උපත ලබන අවස්ථාවේ ඔහුගේ සිත ඉතා පිරිසුදු තත්ත්වයේ පවතින බව යි. නමුත් පුද්ගලයාගේ් වැඩීමත් සමග බාහිර ලෝකය සමග ස්පර්ශ වීම නිසා ඔහුගේ සිත අපිරිසුදු තත්ත්වයට පත් වෙයි. නමුත් මනෝ විද්‍යාවේ පියා ලෙස සැලකෙන සිග්මන් ප්‍රොයිඩ් සඳහන් කරන්නේ පුද්ගලයකුගේ සිත උපතින් අපිරිසුදු බවයි. එසේ වුණත් පුද්ගලයාගේ සිත වර්ධනය වීමත් සමග සිත පිරිසුදු වන බව ඔහු දක්වයි. සිග්මන් ප්‍රොයිඩ්ගේ හා බුදුරජාණන් වහන්සේගේ මෙම මත දෙකෙන් නිවැරැදි මතය කුමක් ද යන්න පැහැදිලි කරගැනීමේ වගකීම, අප සතුව ඇත. අප කුඩා දරුවකු දෙස සැලකිල්ලෙන් බැලුවහොත්, මෙයින් නිවැරැදි කුමක් ද යන්න වටහා ගත හැකි ය. මවුපියන් තමන් සමඟ අමනාප වූ පුද්ගලයකු සමඟ දරුවට කතා කිරීමට සිනාසීමට එපා කීවද, ඔහු කතා කරයි. සිනාසෙයි. එසේ නම් පුද්ගලයකුගේ සිත උපතින් අපිරිසුදු නැත. නමුත් වයසින් වැඩෙත්ම දරුවා විවිධ පුද්ගලයන් සමග කතා නොකර සිටීමට පෙළඹෙයි. අමනාපයට පෙළඹෙයි. මෙයින් පැහැදිලි වන්නේ සිග්මන් ප්‍රොයිඩ්ගේ මතය නොව, බුදුන් වහන්සේගේ මතය නිවැරැදි බව යි.

බුදුරජාණන් වහන්සේ කෙලෙස් සමනය කරගන්නා ආකාරය මජ්ඣිම නිකායේ සබ්බාසව සූත්‍රයේ දක්වා තිබේ. එහි කෙලෙස් පාලනය කිරීමේ ක්‍රම 7 ක් දක්වා ඇත.

1. දස්සනා – දැකීමෙන් (දර්ශනයෙන්) කෙලෙස් පාලනය කිරීම

2. සංවරා – ඉඳුරන් සංවර කිරීම හා පාලනය කිරීම මගින් කෙලෙසුන් පහ කිරීම

3. පටිසේවනා – සිව්පසය, තමන්ගේ පැවැත්මට ප්‍රමාණවත් ලෙස නිසි ලෙස පරිහරණය කර මින් කෙලෙස් පාලනය කිරීම

4. අධිවාසනා – දුක් හා වේදනා ඉවසීමෙන් කෙලෙස් පාලනය කිරීම

5. පරිවජ්ජනා – කෙලෙස් ප්‍රකෝප කරවන කාරණා මඟ හැර කෙලෙස් පාලනය කිරීම

6. විනෝදනා – කෙලෙස් ජනිත කරවන කරුණු ඉවත් කිරීමෙන් කෙලෙස් පාලනය කිරීම

7. භාවනා – මනස වර්ධනය කිරීම තුළින් කෙලෙස් පහ කිරීම

මේ අනුව කෙලෙස් දුරු කිරීමේ පළමු ක්‍රමය වශයෙන් සබ්බාසව සුත්‍රය දක්වා ඇත්තේ ‘දස්සනා පහාතබ්බා’ යන්න යි. ‘දස්සනා’ යනු දැකීම යි. අප දකින ආකාර දෙකකි. එනම් සම්මා දිට්ඨියෙන් දැකීම හා මිථ්‍යා දෘෂ්ටියෙන් දැකීම යි. කෙලෙස් දුරු කිරීමට හෝ පාලනය කිරීමට නම් බැලිය යුතු වන්නේ සම්මා දිට්ඨියෙනි. අකුසලය – අකුසලය ලෙසත්, කුසලය – කුසලය ලෙසත් දැකීම, සම්මා දිට්ඨිය යි. අකුසලය කුසලය ලෙස ගතහොත් තව තවත් ක්ලේශ වර්ධනය වෙයි. එම නිසා යහපත් දේ අගය වටහා ගෙන ඒවා ළං කරගත යුතු අතර, අයහපත් දේ දැක ඒවා බැහැර කළ යුතු ය.

කෙලෙස් සමනය කිරීමේ දෙවන ක්‍රමය නම්, ඉන්ද්‍රිය සංවර කර ගැනීම යි. (සංවරා) ඇස, කන, නාසය, දිව, හා ශරීරය යන පංචේන්ද්‍රිය සංවර කර ගැනීම තුළින් අලුත් ක්ලේශ ආගමනයට බාධා ඇති වෙයි. හොඳ ඉන්ද්‍රිය පාලනයක් නොතිබුණහොත්, ක්ලේශ වර්ධනය වී සිත අපිරිසුදු වෙයි. අප බාහිර ලෝකයට විවර වී ජීවත් වුවද ඉන්ද්‍රිය පිළිබඳ සැලකිල්ලිමත් විය යුතු ය.

‘පටිසේවනා’ යනු පරිභෝජනය කිරීම යි. බුදුරජාණන් වහන්සේ භික්ෂූන් වහන්සේට දේශනා කළේ සිව්පසය පරිහරණය කිරීමේදී එය නුවණින් යුක්තව පරිහරණය කළ යුතු බව යි. මෙය ගිහි සමාජයට ඉතා වැදගත් ය. අනවශ්‍ය ආකාරයෙන් ආහාර, ඇඳුම්, නිවාස, බෙහෙත් යන මේවා පරිභෝජනය කළහොත් එය කෙලෙස් වර්ධනය වීමට හේතුවෙයි. මිනිස් ජීවිතයකට අත්‍යවශ්‍ය වන්නේ ඉහත කාරණා හතර පමණකි. මීට අමතරව අවශ්‍ය කරන දේ ඇත. නමුත් අවශ්‍ය දේ අත්‍යවශ්‍ය දේ ලෙස සැලකීමට ගතහොත් එය ඉන්ද්‍රිය පාලනයට ද බාධාවකි. එමෙන්ම කෙලෙස් හටගැනීමටද හේතුවකි. සබ්බාවස සූත්‍රය දක්වන සිව්වන කරුණ නම් ‘අධිවාසනා’ යන්න යි. අධිවාසනා යනු ඉවසීම යි. ඉවසීම, කෙලෙස් දුරු කිරීමේ හොඳ මාර්ගයකි. සීතල, උෂ්ණය, අව්ව, වැස්ස, සුළඟ මෙන්ම මැසි මදුරුවන්ගෙන් වන පීඩා ද ඉවසිය හැකිනම්, එමගින් කෙලෙස් පාලනය වෙයි. ඉවසීමෙන් තොරව ඒ ගැන සිත යොදවා කල්පනා කළහොත් සිත තුළ වෛරය, ක්‍රෝධය වැනි අකුසල හට ගනියි.

පරිවජ්ජනා යනු කෙලෙස් ප්‍රකෝප කරවන කාරණා මඟහැර යෑම යි. එනම් අපිරිසුදු දෑ හා අයහපත් පුද්ගලයන් මඟ හැර යාම යි. අයහපත් කරුණු කෙරෙහි සිත යෙදවුවහොත් එමගින් සිත කිළිටි විය හැකි ය. එනිසා එවැනි කරුණු හැකි තරම් මඟහැරිය යුතු ය. අයහපත් කරුණු පමණක් නොව, අයහපත් පුද්ගලයන් ද මඟ හැරිය යුතු ය. බුදුරජාණන් වහන්සේ දක්වා ඇත්තේ ආශ්‍රය කිරීමට සුදුසු පුද්ගලයකු නොමැති නම්, හුදෙකලාව වාසය කිරීම වඩාත් සුදුසු බවයි. හයවැනි ක්‍රමය වන්නේ, ‘විනෝදනා’ යන්න යි. එනම් කෙලෙස් හටගන්නා හා ප්‍රකෝප කරවන කරුණු, ඉවත් කිරීම යි. මේ ආකාරයට කෙලෙස් ඉවත්කළ හැකි වන්නේ වීර්යයෙනි. වීර්යය ඇති පුද්ගලයාට තමා තුළ තිබෙන කෙලෙස් ඉවත්කරගත හැකි අතර, නව කෙලෙස් පැමිණීම ද වැළැක්විය හැකි ය. සබ්බාසව සූත්‍රය දක්වන හත් වන පියවර හෙවත් අවසාන කරුණ වන්නේ ‘භාවනා’ යන්නයි. භාවනා යනු, සිත වර්ධනය කිරීම යි. සිත ක්‍රම ක්‍රමයෙන් වර්ධනය කිරීම තුළින් කෙලෙස් ඉවත් වන අතර නව කෙලෙස් පැමිණීම ද අවම වෙයි.මේ ආකාරයට සබ්බාසව සූත්‍රය දක්වන කාරණා තුළින් එදිනෙදා ජීවිතයේදී අප මුහුණ දෙන විවිධ ගැටලු නිසා ඇතිවන යම් යම් ආතතීන් අඩුකරගත හැකි ය. එමෙන්ම යහපත් මානසික මට්ටමක් පවත්වා ගැනීම තුළින් සාර්ථක ජීවිතයක් ගතකළ හැකි ය. මේ නිසා කෙලෙස් පිළිබඳ අවබෝධයෙන් යුක්තව, කෙලෙස් පාලනය කර නිරෝගී වෙමු.

වග විජිතවංස හිමි


Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

Categories

%d bloggers like this: