Posted by: lrrp | February 24, 2009

ෙපම්වතා අමනුෂ්‍යයකු වී පිටුපෑ ෙපම්වතිය පසුපස එයි

ඕන්න මලේ… ඔය නා… මල නෙළා වර්රේන්

අත්ත බිඳේ…යි පය බුරුලේ…න් තබා වර්රේඒඒන්

එන පොට හොඳ නැති බව හොඳින් දන්නා ජයන්ත තම බිරිය පුෂ්පා ඇද ගෙන ගොස් කාමරයකට දමා දොර වසයි. එසේ කරන්නේ පුෂ්පා ගේ පාරු කවිය අහල පහළ ගෙවල්වලට ඇසීම අවම කැර ගන්න ටය.

“නිමලාවතී… උඹ එහෙනම් පිටු පෑවා ආ ආ ආ…ඒ වුණාට මම තවමාත්ත්ත් ආද්දරේඑඒඒය්”

පුෂ්පා තවත් දෙයක් තාලයට කියයි. ජයන්ත නිවසේ ගුවන් විදුලි යන්ත‍්‍රය කි‍්‍රයාත්මක කොට හඬ වැඩි කරයි. එසේ කරන්නේ ද පවුලේ ගෞරවය අභිමානය ආරක්ෂා කැර ගන්නට ය.

“එගොඩ මෙගොඩ… මම මගෙ පාරුව පැද්දා ආ ආ…

පාලම නිසා… නිමලාවතී… අහිමි වුණා… ආ… ආ…”

“පරට්ට බැල්ලී… තෝ මං හම්බ කරපුවාම කාලා උස් මහත් වෙලා අන්තිමේ මට කොකා පෙන්නුවා. මම තෝ ගෙනියනවා. මගේ ලෝකෙට ගෙනියනවා. තෝ වෙනස් වුණාට මං තාමත් තොට ආදරෙයි. නිමලෝ. මං තෝ ගෙනියනවා.”

නිවසේ කෙනෙකු හැන්දෑවට දෙවියන් බුදුන් උදෙසා මල් පහන් පූජා කරන විට මාසයේ අව පක්ෂයේ කෙම්මුර දිනවලට පුෂ්පා මෙසේ ප‍්‍රලය වී කවි කියමින් කෑ ගසන්නීය. පන්සලකට දේවාලයකට ගියත් එවැනි දිනවල දී මෙසේ සිදු වෙයි. ඒ වගේ අවස්ථාවල පූජාව පසෙක තබා ජයන්ත කරනුයේ පුෂ්පා කාරයට ඇද දමා ගෙන වහාම නිවස බලා පැමිණීමය.

ජයන්ත නීතිඥවරයෙකි. පුෂ්පා රූමත් ගුරුවරියකි. මේ යුවළ දරු දෙදෙනකුගේ මව්පියෝ වූහ. පුෂ්පා දැන් තිස් පස් වැනි වියේ පසු වන්නී ය. ඇය විවාහ වූයේ ගුරුවරියක ලෙස පත්වීම් ලබා වසර තුනකට පසු වයි. පළමු දරුවා ලැබී වසරකට පසු මාසයේ අව පක්ෂයේ එක්තරා කෙම්මුර දිනයක දී මේ ප‍්‍රලය වීම පටන් ගත්තේ ය. මෙසේ සිදුවීම නිසා නිවසේ මල් පහන් පූජා කිරීම නතර කැර දැමීමට ද ජයන්තට සිදුවීය. එහෙත් අහල පහළ ගෙදරක පූජාවක් බෙර ගැසීමක් ඇසෙන විට පවා මේ භූතාවේෂය සිදු වීය. එවැනි අවස්ථාවල ඇය කාමරයකට දමා පාලනය කිරීමට ඔහුට සිදු වීය. දිනක් පුෂ්පා ඉගැන්වීම් කළ පාසලේ උදේ ආගමික වතාවත් කරද්දී ද ඇය පාරුකවි කියන්නට වීම නිසා තත්ත්වය තේරුම් ගත් ගුරුවරු ජයන්තට දුරකතන ඇමතුමක් දී ගෙන්වා ඇය නිවසට ආපසු පිටත් කළහ. මෙසේ දිගින් දිගට ම සිදුවීම නිසා ඇය රැකියාවෙන් ඉවත් කැර ගැනීමට ද ජයන්තට සිදුවිය.

පුෂ්පාට වැළැඳී ඇති භූත දෝෂය ඉවත් කැර ගැනීම සඳහා ජයන්ත බොහෝ වත් පිළිවෙත් කළේය. දාන මානාදී පින්කම් කළේය. ඇදුරන් ලවා ශාන්ති කර්ම කළේය. මේ අතර බුලත්සිංහල වීරසේන සුබසිංහ මහතා පිළිබඳ තොරතුරක් ලැබී ඔහු ගෙන්වා පිරිතක් කියැවීය. එසේ පිරිත් කියන විට පුෂ්පා ප‍්‍රලය වූවාය.

“ඕන්න මලේහ්… ඔය නා… මල නෙළා වරේන්.”

“හා හා ඔය කවිය අපිත් දන්නවා. ඒකෙන් අපට වැඩක් නෑ. කව්ද මේ ඉස්කෝලෙ හාමිනේට හිරිහැර කරන්නේ. ඇයි මේ වගේ කෙනකුට හිරිහැර කරන්නේ” සුබසිංහ මහතා ඇසුවේය.

“එහෙනම් මගේ කතාව අහනවා ද?”

“ඔව් ඔව් අපි අහගෙන ඉන්නවා. එහෙනම් කියමුකො බලන්න”

“හැබැයි මගේ කතාව සම්පූර්ණයෙන් අහන්න ඕනැ. නැත්නම් මම මේකිගෙ බෙල්ල මිරිකනවා.”

“හරි හරි ඉතින් කතාව කියමුකෝ”

“මං සිරිසේන. මම කළේ තොටුපළේ පාරුව පදින එක. මම තමයි ඒ තොටුපොළේ මිනිස්සු එගොඩ මෙගොඩ ගෙන ගිය පාරුකාරයා. මේකිගේ අම්මා රොසලින්. ඒ ගෑනි තොටුපොළේ ආප්ප වික්කා. මමත් උදව් වෙලා පුංචි පොල් අතු කඩයක් හදා දුන්නා. ආප්ප, වණ්ඩු, හැලප වගේ දේවල් මේ තේ කඩේ එගොඩ මෙගොඩ යන මිනිස්සුන්ට විකුණලා තමයි මුං බොහොම අමාරුවෙන් ජීවත් වුණේ. මේකි ඒ කාලෙ හරි ම ලස්සනයි. හුරුබුහුටි කෙල්ල. මේකිට ඉස්කෝලෙ හතේ පන්තියෙ ඉඳල මම වියදම් කළා ඉගෙන ගන්න. මේකිට ඇඳුම් පැළඳුම් පොත් පත් අරන් දුන්නේ මම. මේකි කොටහළු වෙලා දොට්ට බහින වෙලාවේ මේකිට උන්ගේ නෑදැයො දුන්නේ රුපියල් දහය විස්ස වගේ සොච්චං ගණන්. මමත් ඒවා බලාගෙන පැත්තකට වෙලා හිටියා.

“දුවේ! සිරිසේන අය්යටත් වැඳපං” කියලා රොසලින් නැන්දා කිව්වා. මේකි මට බුලත් හෙප්පුව දීලා දණ ගහලා වැන්දා. මට හිතුණා ඒ වෙලාවේ මම අතේ ගුලි කරගෙන හිටපු රත්තරන් චේන් පොට මේකිගෙ පාලු බෙල්ලෙ බඳින්න. ඒත් ඒ වෙලාවේ අනිත් අය බලා හිටිය නිසා මං චේන් පොට බුලත් හෙප්පුවෙම තියලා මේකිට පිළි ගැන්නුවා. ඒක දැකලා කෙල්ලගෙ ඇස් දෙකෙන් සතුට උතුරලා ගියා. රොසලින් නැන්දටත් හරි සතුටුයි. බලන්න මේකිගෙ බෙල්ලෙ දැන් තියෙන්නෙත් ඒ චේන් පොට ම යි.”

“ඉතින් ඔහොම කාලයක් ගිහින් මේකි ගුරු විභාගෙ පාස් වුණා. මේකිට නිමලාවතී කියන නම හොඳ මදි වෙලා පුෂ්පා දිල්හානි කියලා නම වෙනස් කළා. ඒවට වියදම් කළෙත් මම. ඔය අතරෙ ආණ්ඩුවෙන් ගඟේ එගොඩ මෙගොඩ යා කර පාලමක් හැදුවා. ඒ කාලෙ පාලම හදනකම් මුන්ටත් සරුයි. පාලම් වැඩ පොළේ මිනිස්සු තේ බිව්වෙත්, බත් කෑවෙත් රොසලින් උන්දැගෙන්. මේකි පාලම් වැඩ පොළේ කලිසම් මහත්තුරුත් එක්ක හිනාවෙලා කතාවට යන කොට මට යකා නැග්ගා. මම කීප දවසක් ම බැන්නා. කොහොම හරි පාලම හදලා ඉවර වුණා ම උන් යන්න ගියා. මගේ පාරු රස්සාවත් නැති වුණා. මුංගෙ කඩෙත් වැහුණා. මම ගඟේ වැලි ගොඩ දමන්න පටන් ගත්තා. මගේ දුප්පත් අම්මටයි තාත්තටයි කන්න දුන්නෙ වැලි ගොඩ දාලා.

මේ අතරෙ මේකිට ගුරු පත්වීම ලැබිලා ඈත ප‍්‍රදේශයකට ගියා. කාලෙකට පස්සෙ දවසක් මේකි මේ පෙරකදෝරුවත් එක්ක කාර් එකකින් ජෝඩු දාල රොසලින් උන්දැ බලන්න ආවැයි කියලා මට ආරංචි වුණා. මම එදා හැන්දෑවෙ ගිහින් රොසලින් උන්දැගෙන් ඇහැව්වා.

“ඒකි දැන් ආණ්ඩුවෙ රස්සාවක් කරනවා. උඹට දැන් ඒකිව ගැලපෙන්නෙ නැහැ සිරිසේන” කියලා ඒ ගෑනිත් කියාපි. මම එක පිම්මෙම දුවගෙන ආවා. පාලම ළඟට. නැග්ගා පාලම් ඇන්දට. මහ ගඟ ගලාගෙන යනවා. ගඟේ වතුරත් කිචි කිචි ගාලා මට හිනාවෙනවා ඇහුණා. ජබෝහ්… ග්ල්ග්… ග්ල්ග්… මගේ මිනිය දවස් දෙකකට පස්සෙ හැතැප්ම හයක් විතර ඈතින් ගොඩ ගහලා තිබුණා.”

“මාස ගණනකට පස්සෙ මම රොසලියාවත් බිලි ගත්තා. ඒ ගෑනිත් පිස්සු විකාරෙන් පාලම උඩ ඉඳලා ගඟට පැනලා මැරුණා. මම මේකිවත් බිලි ගන්නවා. තවම මේකිගෙ වෙලාව හොඳයි. මේකි ඉන්න තැන හොයා ගන්න බැරුව මම කොයි තරම් මහන්සි වුණා ද? දැන් නම් මම මේකි දාලා යන්නෙ නෑ. කවදාහරි මේකි අරගෙන තමයි මම යන්නේ. බැල්ලී. මේකි මාව කෑවා. මගේ දුප්පත් අම්මා තාත්තා දෙන්නා දැන් දුක් විඳිනවා. ඒවා පේන කොට මම මේකි හොයා ගෙන එනවා. මේකි ගෙන් පළිගන්නකම් මට සැනසිල්ලක් නැහැ.” ඇය ප‍්‍රලයෙන් කීවාය.

“සිරිසේන! බුදු හාමුදුරුවො ‘නහී වේරේන වේරානි’ කියා කියලා තියෙනවා. වෛරයෙන් වෛරය කවදාවත් සංසිඳෙන්නේ නෑ. ඔය වෛර ගින්නෙන් දැවි දැවී හැමදාම සිරිසේනටත් ඔය අමනුෂ්‍ය ආත්මයෙන් ගැලවෙන්න බෑ. අවුරුදු ලක්ෂ ගණන් කල්ප ගණන් දුක් විඳින්න වේවි. ඒ නිසා මේ ඉස්කෝලෙ හාමිනේ අතහැරලා යන්න. පින් දහම් කරන්න බැරි නම් වෙනත් අය පින් දහම් කරනවා දකින්නවත් පුළුවන් සිද්ධස්ථානෙකට යන්න.”

“ඔය බණ මට හරියන්නේ නෑ. මා මේ තත්ත්වෙට පත් කළේ මෙන්න මේ ගෑනි මට නොවෙයි මෙන්න මේකිට බණ කියන්න” කියා අමනුෂ්‍යයා ඉවත්ව ගියේය.

ප‍්‍රකෘති සිහිය ලැබු පුෂ්පා සමඟ ඇය ප‍්‍රලය වී කී දේවල් කී විට ඒ සියල්ල සත්‍යයැයි ඇය ලැජ්ජාවෙන් පිළිගත්තාය. ජයන්ත දෙස ඉතා ම බයාදුව බැලුවා ය.

උගත් පුද්ගලයකු වූ ජයන්ත “කමක් නෑ දැන් අපි එන දේකට මුහුණ දෙන්න ඕනෑ. මේ දරු දෙදෙනා වෙනුවෙන් ඕනෑම දෙයක් කරන්න මං සූදානම්. මම මොනවද මහත්මයා දැන් කරන්න ඕනැ” යි සුබසිංහ මහතා ගෙන් ඇසුවේය.

“මහත්මයා! මේ සියල්ල සිදු වී තියෙන්නේ පූර්ව කර්මානුරූපව. අපි අතීතයේ කළ පාප කර්ම අපිම ගෙවන්න ඕනෑ. වෙන කාටවත් ගෙවන්න බැහැ. සල්ලිවලින් ගෙවන්නත් බැහැ. සිරිසේන මැරිලා බලවත් අමනුෂ්‍ය ආත්මයක ඉපදිලා. ඔහු මැරුණේ වේදනාවෙන්. තමන් වියපැහැදැම් කොට ඉගැන්වූ කෙනා පිටුපෑම ගැන තරහෙන්. ඔහු පළිගන්න ඇවිත්. ඒ වගේ ම ඔහු පුෂ්පා නිසා සිය දිවි හානි කැර ගත් බැවින් ඔහු ගේ වයස්ගත මව්පියෝ අද දුක් විඳිනවා. අපි සාධාරණව සිතන්න ඕනෑ.

ඒ නිසා දැන් ඔය කරේ තියෙන රත්රන් චේන් පොට විකුණලා ඒ මුදලින් දානයක් දෙන්න. ඒ දානය සිරිසේන නමින් ම දීලා ඔහුට පින් අනුමෝදන් කරන්න. ඒ දානයේ කිසි ම දෙයක් මේ ගෙදර අය ඉඳුල් කරන්නවත් එපා. ඊළඟට සිරිසේන ගේ මව්පිය දෙදෙනා මේ ගෙදරට ගෙනැවිත් ඉස්කෝලෙ හාමිනේ සාත්තු සප්පායම් කරන්න ඕනෑ. අඩු ම ගණනේ මාසයක්වත්. ඒ දෙන්නා තමන්ගෙ අතින් ම උණු පැන්වලින් නාවා කවා පොවා අලුත් ඇඳුම් අන්දවා ගෞරවයෙන් සාත්තු කරන්න. එතකොට ඒ කුසල ශක්තියෙන් තමන් පොරොන්දු කඩ කළ අකුසලය, යටපත් වේවි. තමන් කළ කර්මය තමන් ම ගෙවන්න ඕනෑ. ඒ කටයුතු සද්භාවයෙන් ම අවංකව ම කරන්න ඕනෑ. ඒ පින තමන් ගේ මෑණියන්ටත් අනුමෝදන් කරන්න. එහෙම නොකළොත් අමනුෂ්‍යයා තව දුරටත් පළි ගනිවී. තමුන් ගේ අම්මා ගෙනුත් පළිගත්තා වගේ.”

මහත්මයා ඒ ගමට යන්න. ගිහින් ගමේ පන්සලේ හාමුදුරුවන් මුණ ගැසී කාරණය පැහැදිලිව කියන්න. මෙහි ඇත්ත කතාව රහසක් සේ තියා ගන්න කියා උන්වහන්සේ ගෙන් ඉල්ලන්න. උන් වහන්සේ සමඟ ගොස් ඒ දුප්පත් මව්පියන් කැඳවා ගෙන එන්න. ඇත්ත කතාව කීවොත් ඒ අය කොයි තරම් දුප්පත් වුණත් පුෂ්පා සිරිසේනට කළ අපරාධය දැන ගත්තොත් එන එකක් නෑ. ඒ නිසා දානපති පරිත්‍යාගශීලියකු සේ ඉදිරිපත් වී සිරිසේන ගේ මව්පියන් කැඳවා ගෙන ඇවිත් සාත්තු සප්පායම් කර ගිලානෝපාස්ථාන කුසලයේ යෙදෙන්නැයි සුබසිංහ මහතා ජයන්ත මහතාට උපදෙස් දුන්නේය.

ඒ අනුව ජයන්ත මහතා පසු දින ම සිරිසේන ගේ ගමට ගොස් ඒ ආකාරයෙන් ම කටයුතු කොට පන්සලේ හාමුදුරුවන් ලවා උපදෙස් දී මහලු මව්පිය දෙදෙනා කැඳවා ගෙන ආවේය. ඔවුන් ජීවත් වූ පැල්පත දැක කරුණාභරිත වූ නීතිඥවරයා ඒ වෙනුවට කුඩා නිවසක් සාදා දීමට ද පොරොන්දු විය. එහි මූලික කටයුතු සඳහා රුපියල් දසදහසක් ස්වාමින් වහන්සේට දී “ඔබ වහන්සේ මිනිසුන් යොදවා මේ දෙන්නාට පුංචි ගෙයක් සාදවා දෙන්න. මම සියලු විය පැහැදම් දරන්නම්” යැයි ද පොරොන්දු වූයේය.

සිරිසේන ගේ මව්පිය දෙදෙනාට පුෂ්පා හඳුනා ගන්නට බැරි වූහ. පුෂ්පා ඒ ආකාරයෙන් ම ඔවුන් දෙදෙනා උණු පැනින් නාවා කවා පොවා අලුත් ඇඳුම් අන්දවා සාත්තු සප්පායම් කළාය. තම බිරියගේ ජීවිතයත්, දරු දෙදෙනාගේ අනාගතයත් වෙනුවෙන් නුවණින් කල්පනා කළ නීතිඥවරයා ඒ සියලු කටයුතු සඳහා නිර්ලෝභීව විය පැහැදම් කළේය. එසේ ම සුබසිංහ මහතා නිතර ගෙන්වා පිරිත් දේශනා පවත්වා ආරක්ෂා කටයුතු ද කළහ. වීරසේන සුබසිංහ මහතා දැන් බුලත්සිංහල වනරතන හිමි නමින් පැවිදිව සිටියි.


Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

Categories

%d bloggers like this: