Posted by: lrrp | February 24, 2009

සත්වයා සසර රඳවන උපාදානය

ශාස්ත්‍රවේදී, පණ්ඩිත අමුණුපුර පියරතන හිමි

ඉපදීමත් ජීවත්වීමත්, මරණයත් මේ අනුව උපාදානය නිසා නොකඩවා සිදුවෙයි. සත්වයා තුළ ප්‍රථමයෙන් උපදින්නේ අත්තවාද උපාදානය යි. සත්වයා ජීවිතයට ඇති ආශාව ප්‍රධාන කරගෙන සිතන පතන බැවින්, විසි වැදෑරුම් ආත්ම දෘෂ්ටිය උපදියි. ආත්මයත්, ලෝකයත් සාවද්‍ය ලෙස ශාස්වත හා උච්ඡේද ආදී දෙසැටක් මිථ්‍යා දෘෂ්ටි මගින් උපාදාන වශයෙන් අල්ලා ගනියි. භවයෙන් භවයට එසේ නොනැවතී ගමන් කරන සත්වයා, ජාති ජරා, ව්‍යාධි, මරණාදී නොයෙක් දුක් වේදනාවලට ලක් වෙයි.

කතමාචාවුසෝ සංඛිත්තේන පංචුපාදනක්ඛන්ධා දුක්ඛා? රූපුපාදානක්ඛන්ධෝ, වේදනුපාදනක්ඛන්ධෝ, සඤ්ඤුපාදානක්ඛන්ධෝ සංඛාරූපාදානක්ඛන්ධෝ, විඤ්ඤාණුපාදානක්ඛන්ධෝ

සුගත තථාගත අප සම්මා සම්බුදුරජාණන් වහන්සේ මෙසසර සැරිසරන අසරණ සත්වයාගේ භව දුකට හේතු වන්නා වූ අවිද්‍යාදී හේතූන් නිසා ඇතිවන්නා වූ උපාදානස්කන්ධ පහක් ප්‍රත්‍යක්‍ෂයෙන් දැනගෙන දේශනා කර වදාළ සේක.

ඇස, කන, නාසය, දිව, ශරීරය, මනස යන ඉන්ද්‍රිය මගින් රූප, ශබ්ද, රස, ස්පර්ශ, ධර්ම යන අරමුණ ගෙන සිතින් උපාදානය සිදු කැරේ. ඇසට සමීප වන සෑම රූපයක්ම එය අරමුණු කර ගන්නා බැවින් එය චක්ඛු ඉන්ද්‍රිය නම් වේ. සෙසු ඉන්ද්‍රියයන්ට ද තමන්ට නියමිත අරමුණු මෙහෙයවා මනසට සිතුම් පැතුම් දෙන බැවින් ඒවාද ඉන්ද්‍රිය නම් වේ. මෙම ඉන්ද්‍රිය අරමුණු නිසා වේදනා ද, එයින් තණ්හාවද, යළි උපාදානය ද ජනිත වෙයි. පංචේන්ද්‍රියන්ගෙන් ගත් අරමුණු යළි මනසින් ආවර්ජනා කරන බැවින්, මනසින් ගන්නා අරමුණ ද උපාදානයට ප්‍රත්‍ය බැවින් එය මනේන්ද්‍රිය නම් වෙයි.

උපාදාන, උපාදාන ප්‍රත්‍ය, උපදානස්කන්ධ, උපාදාන ඵල යන ප්‍රධාන කරුණු හොඳින් අවබෝධ ගන්නේ නම් මෙතරම් වේදනා ඇති කරන උපාදානය සමනය කර ගැනීමට ,නිවන් අවබෝධ කර ගැනීමට වාසනාව හිමි වන්නේ ය.

කාමුපාදානය, දිට්ඨි උපාදානය, සීලබ්බත උපාදානය, අත්තවාද උපාදානය වශයෙන් උපාදාන හතරකි. කාම වස්තු පිළිබඳ කැමැත්ත දැඩිකොට ගැනීම ‘කාමුපාදාන’ නම් වෙයි. එය ඉන්ද්‍රිය හයටම සාධාරණය. ලෝකය පිළිබඳ ශාසවත හා උච්ඡේද ආදී වැරැදි දෘෂ්ටි මනසේ තැන්පත් කර ගැනීම දිට්ඨි උපාදාන නම් වන්නේ ය. ගෝව්‍රත, අජව්‍රත, සුනඛ ව්‍රත ආදී වශයෙන් සාවද්‍ය ව්‍රත සමාදානය, සීලබ්බත, උපාදාන නම් වෙයි.

තණ්හා, උපාදාන දෙක අප්පිච්ඡතා, සන්තුට්ඨිතා යන මහඟු ගුණයන්ට ප්‍රතිවිරුද්ධ වන අතර, තණ්හාව නිසා සෙවීමේ දුක ද, උපාදානයෙන් පිළිදැගුම් කිරීමේ, රැකීමේ, පෝෂණය කිරීමේ දුක ද, ඇතිවීම ස්වාභාවික ය. දිට්ඨි, සීලබ්බත, අත්තවාද යන උපාදාන තුනම දෘෂ්ටි උපාදානය නිසාම ඇතිවන උපාදාන නිසා, නිවැරැදි දෘෂ්ටියට පැමිණීමෙන් ඒවා බැහැර කිරීමට හැකියාව ලැබෙයි. එක් සිය අටක් ප්‍රභේද වූ තෘෂ්ණාවගේම දැඩි බව කාමුපාදානය වන අතර, නත්ථි දින්නං, නත්ථි හුතං, නත්ථි ඵලං ආදී වශයෙන් පවත්නා දස වැදැරුම් මිථ්‍යා දෘෂ්ටි දැඩිව ගැනීම, දිට්ඨි උපාදානයයි. සීලයෙන් ව්‍රතයෙන් හා සීල ව්‍රත ;දකින් කෙලෙස් ශුද්ධ වේ යැයි සිතා ඒවා දැඩිව ගැනීම සීලබ්බත උපාදානය යි. පංච ස්කන්ධ ආත්ම වශයෙන් දැඩිකොට අල්ලා ගැනීම අත්තවාද උපාදනය යි. උපාදානයන්ට ආශ්‍රය නිශ්‍රය වන රූප, වේදනා, සඤ්ඤා, සංඛාර, විඤ්ඤාණ යන උපාදානස්කන්ධයෝ නිරන්තරයෙන් දුක් වේදනා ඇති කළ ද, එයම සරණ කරගන්නා සත්වයෝ මරණින් පසු යළි උපාදානස්කන්ධය අපේක්‍ෂා කරති. එබැවින් උපාදාන පච්චයා භවෝ යනුවෙන් අප බුදුරජාණන් වහන්සේ සත්වයාගේ එම සංසාර පැවැත්ම සිදුවන අයුරු නුවණැසින් ප්‍රත්‍යක්‍ෂ කොට දේශනා කොට වදාළ සේක.

සුඛ, දුක්ඛ, සෝමනස්ස, දෝමනස්ස, උපේක්‍ෂා යන විඳීමේ ස්වභාව වශයෙන් ඇතිවන කාමාවචරාදී සතර බිමට අයත් සිත්වල යෝග්‍ය පරිදි සහජාත වශයෙන් උපදින එකොළොස් තැන්හි පවත්නා වේදනා, වේදනාස්කන්ධයට අයත් වන අතර, එය ද උපාදාන වශයෙන් තණ්හාවෙන් දැඩිකොට අල්ලා ගැනීම වේදනා උපාදානය නම් වන්නේ ය.

‘සංජානාතීති සඤ්ඤා’ යන විවරණය අනුව හැඳිනීම් ලක්‍ෂණ කොට ඇති සංඥා රාශිය, සංඥා ස්කන්ධ නම් වෙයි. එය ද දැඩි කොට අල්ලා ගැනීම සංඥා උපාදානය යි. යම් දෙයක් පිළිබඳ හැඳිනීම එහි ඇති හිස් බව වටහාගෙන සිතින් බැහැර කරන්නේ නම්, උපාදානයක් ඇති නොවෙයි.

ඉතිරි පනස් චෛතසිකයෝ සංස්කාර ස්කන්ධයට අයත් වෙති. විඳීම් හා හැඳිනීම් නිසා හට ගන්නා සංස්කාර තදින් අල්ලා ගැනීම සංඛාර උපාදාන නම් වන්නේ ය. එකුන් අනූවක් සිත් (89) විඤ්ඤාණස්කන්ධ නම් වන්නේ ය. එය උපාදාන වශයෙන් ගැනීම විඤ්ඤාණ උපාදානස්කන්ධය යි.

රූපය, රාශි අර්ථයෙන් ස්කන්ධ ද, ආශ්‍රවාර්ථයෙන් උපාදානස්කන්ධ ද වන්නේ ය. උපාදානයේ ස්වභාවය නැවත භවයකට පංචස්කන්ධය ගෙන යෑමයි. මොහොතක් පාසා සිඳෙන, බිඳෙන නාමරූප ධර්ම උපාදාන ශක්තිය නිසා කර්මානුරූපව යළි අන්තරා භවයකට සම්බන්ධ වෙයි.

ඉපදීමත් ජීවත්වීමත්, මරණයත් මේ අනුව උපාදාන නිසා නොකඩවා සිදුවෙයි. සත්වයා තුළ ප්‍රථමයෙන් උපදින්නේ අත්තවාද උපාදානය යි. සත්වයා ජීවිතයට ඇති ආශාව ප්‍රධාන කරගෙන සිතන පතන බැවින්, විසි වැදෑරුම් ආත්ම දෘෂ්ටිය උපදියි. ආත්මයත්, ලෝකයත් සාවද්‍ය ලෙස ශාස්වත හා උච්ඡේද ආදී දෙසැටක් මිථ්‍යා දෘෂ්ටි මගින් උපාදාන වශයෙන් අල්ලා ගනියි. භවයෙන් භවයට එසේ නොනැවතී ගමන් කරන සත්වයා, ජාති ජරා, ව්‍යාධි, මරණා දී නොයෙක් දුක් වේදනාවලට ලක්වෙයි.

උපාදානේ භයං දිස්වා

ජාති මරණ සම්භවේ

අනුපාදා විමුච්චන්ති

ජාති මරණ සංඛයේ

යනාදී වශයෙන් දේශනා කළ බුද්ධ වචනයට අනුව, ජාති, ජරා, ව්‍යාධි, මරණාදියට උපාය වූ තණ්හා, දිට්ඨි මාන වශයෙන් ගැනීමෙහි බිය දැක කාමාදී චතුර්විධ උපාදාන බැහැර කරන අය සංස්කාරයන්ගෙන් මිදෙත් මේ ආත්මයේදීම සියලු කෙලෙස් නිවා, නිවුණා වූ එවන් සත්පුරුෂයෝ, සකල සංසාර දුක් බිය ඉක්මවා සංසිඳුණාහුය.

දිට්ඨි, සීලබ්බත, උපාදාන සෝවාන් ඵලය ලැබීමේ දී ද අනාගාමී මගින් කාම උපාදානය ද ප්‍රහීණ වෙයි. අනාගාමී ඵලයෙන් කාම සංයෝජන ප්‍රහීණ කරන තුරු කාමාදී සිතිවිලි සන්තාන ගත වන බැවින්, මාර්ගඵල ලාභීව ගිහි ජීවිතය ගත කරන අය ද සිටිති. එහෙත් එවන් උතුමෝ කාම උපාදානය මූලික කරගෙන ප්‍රාණ ඝාතාදී පව් නොකරති. තමන් නිර්වාණගාමීවම ගමන් කරන බැවින්, ඔවුහු, යළි සතර අපායාදී භවයන්හි ඉපිද දුක් වේදනාවලට ලක් නොවෙති.

ලෝකය හා සත්වයා පිළිබඳ යෝනිසෝමනසිකාරයෙන් මෙනෙහි කරන තැනැත්තා, අප්‍රමාදව සන්තානයෙන් කෙලෙස් ප්‍රහණය කොට නිවනින් සැනසෙන්නේ ය.


Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

Categories

%d bloggers like this: