Posted by: lrrp | March 2, 2009

මං ආවේ පළිගන්නයි දාලා යන්න නම් බෑ

මිනිසා ගේ පියවි ඇසට නොපෙනුණාට කනට නොඇසුණාට මේ විශ්වයේ අපට විශ්මිත වූ බොහෝ දේ සිදුවෙයි. තණ්හා ආශාවන් ගෙන් හා තරහ මරහ වෛර ක්‍රෝධ ඊර්ෂ්‍යාවලින් පීඩිත වූ සිතට ඒවා ගැන සිතන්නටවත් නොසිතේ.

වැඩි ඈතක නොව අප ජීවත්වන ස්ථානයේ ම අපට නොපෙනෙන්නට එවැනි බොහෝ දේ මේ මොහොතේත් සිදු වෙමින් පවතී. දැන් මේ මොහොතේ ඔබ පය ගසා ගෙන සිටින ස්ථානයේ ඈත අතීතයේ සිට මේ දක්වා කී දෙනෙක් ඉපදෙන්නට ඇත්ද! මිය ගොස් වැළැලෙන්නට ඇත් ද?

අපේ නමට ඔප්පු තිරප්පු ලියා ගෙන උරුම කරුම කියා ගෙන සිටින අප ජීවත්වන ඉඩමට කල්ප කාලාන්තරයක් තිස්සේ අයිතිය කියාගෙන සිටින, මේ දැනුත් තණ්හාවෙන් අතහැර නොයන මෙහි ම පැළපදියම් වී සිටින සත්ත්ව කොට්ඨාස කොයි තරම් සිටී දැයි අපට නොපෙනේ. ඔප්පුව අල්මාරියක තිබුණත් එය වලංගු වන්නේ තමාගේ මනසට ම පමණි. තවත් අයිති කාරයෝ බොහෝ සිටිති. ඔවුන් පන්නා ඉවත් කර දමන්නට අපට සදාචාරාත්මක අයිතියක් නැත.

ඔවුන් ඉවත්ව ගිය හොත් එය සිදුවන්නේ ද කර්මානුරූපව ම මිස අපේ බල පුළුවන්කාරකම එක ම සාධකයක් කොට ගෙන නොවේ. මෛති‍්‍රයෙන් සුවපත් කැර යවන්නට ද පුළුවන.

එසේ අපට නොපෙනෙන සත්ත්ව කොට්ඨාස ඉතා ඈත අතීතයේ සිට ම භූතාත්ම ලෙස හැඳින් වේ. එම භූතයෝ ද විවිධ ය. විචිත‍්‍ර ය. විවිධ හැකියාවන් ගෙන් මෙන් ම විවිධ අබල දුබලකමින් හා නොහැකියාවන් ගෙන් ද යුක්ත ය.

මේ සියල්ල සිදුවන්නේ පින පව දෙක අනුව ය. කෙනකු මේ දීර්ඝ වූ සසර ගමනේ භවයෙන් භවය ජීවත්වෙනවා ය කියන්නේ පිනෙහි ආනිසංසයත් පවෙහි ආදීනව අනුව පවතින කි‍්‍රයාවලියකි. කර්මානුරූපී යැයි කියන්නේ එයට ය.

මෙසේ ජීවත්වෙමින් ද්වේෂයෙන් හෙවත් වෛර ක්‍රෝධ ඊර්ෂ්‍යාදියෙන් නිතර සිත කිළිටි කැරගෙන සිට මිය යන්නේ වතුර පොදක් නැතිව දැවි දැවී දුක් විඳිති. කෙනෙක් නයි පොළඟුන්ව දුක් විඳිති. තණ්හා ආශාවන් ගෙන් පීඩිතව මිය යන්නෝ ඒ බැඳීම් ඇලීම්වලට සාපේක්ෂව ඒ ඒ ඉඩකඩම් දේපළ හෝ පුද්ගලයන් ආශි‍්‍රතව ඉපිද දුක් විඳිති.

සමහර කෙනෙක් මරණාසන්න වූ විට රෝහලේ වෛද්‍යවරයාට පමණක් නොව කම්කරුවන්ට පවා වඳිමින් “අනේ දොස්තර මහත්තයෝ මා බේරාගන්න” යැයි කියන අවස්ථා ද ඇත.

බරපතළ වූ ආනන්තරියාදී පාප කර්ම කළ අය අතරත් නැතිව නිරයේ දුක් විඳිති. ඉන් මෙහා අය සතර අපායෙන් කර්මයට සුදුසු තැනක කර්මයට අනුකූල වූ මනෝමය කයකින් ඉපිද දුක් විඳිති. කුසල ධ්‍යාන සිත් ඉපිද වූවෝ බ‍්‍රහ්මතලයන්හි උපදිති.

අතුරුගිරියේ විපස්සනාභාවනා මධ්‍යස්ථානාධිපති ගස්නාවේ ඥානානන්ද හිමියෝ ද මෙවැනි වර්තමාන සිද්ධි පිළිබඳ බොහෝ අත්දැකීම් ලබා ඇත. එක්තරා තරුණ ගැහැනු ළමයකුට මළ යක්ෂයකු වැහී ඇයට හිංසා පීඩා කරන්නට වූ අතර ඇගේ මව්පියෝ බොහෝ විය පැහැදම් කරමින් තොවිල් පවිල් ශාන්ති කර්ම කළහ. එහෙත් ඒ සියල්ල ටික දිනකට පමණක් සීමා වූ තාවකාලික සුවයක් පමණක් ලබා දුන් බැවින් ඇය නැවත නැවත රෝගාතුර වූවාය. හිතවත් කෙනකුගේ මඟ පෙන්වීම යටතේ ඇය ගස්නාවේ ඥානානන්ද හිමියන් වෙත ගෙන එනු ලැබීය. ඇය උන්වහන්සේ ඉදිරිපිට දී කොක්හඬලමින් සිනා සෙන්නට වූවාය. සමථ විපස්සනා භාවනාවන් ගෙන් දියුණු කළා වූ චිත්ත ශක්තිය මෙහෙය වූ උන් වහන්සේ ඒ ඥානාත්මය දෙස බැලූහ. ඒත් සමඟ ම මේ තරුණිය හඬා වැළපෙන්නට වූවා ය. ඒ ඥානාත්මය ඇගේ කිට්ටුවර දුප්පත් මළගිය ප‍්‍රාණාකාරයෙක් ය. ඔහු ජීවත්ව සිටියදී දුප්පත්ව, පොහොසත් ඥාතින් කෙරෙහි ඊර්ෂ්‍යාවෙන් දැවි දැවී ජීවත් වූවෙකි.

“අනේ! හාමුදුරුවනේ! මා දෙස බලන්න එපා. මට උහුලාගෙන ඉන්න බෑ. අනේ! මට යන්න දෙන්න. මට යන්න දෙන්න.” මළ යක්ෂයා කියන්නට වීය.

“හොඳයි! මේ ළමයා අතහැරලා යනවාද?” ඥානානන්ද හිමියෝ ඇසූහ.

“අනේ! අනේ! ඒක නම් කරන්න බෑ. මං ආවේ මුංගෙන් පළිගන්නයි. මුංව දාල නම් යන්න බෑ.”

“තමුන් කව්ද?”

“බෑ බෑ කියන්න බෑ”

“ඇයි කියන්න බැරි”

“අපි ඒවා කියන්න කැමති නැහැ.”

“තමුන් මිනිසෙක්ව ජීවත් වෙද්දි අකුසල් කළ නිසයි ඔය වගේ පහත් ආත්මයක ඉපදී ඉන්නේ.

තව දුරටත් එහෙම ඉන්නද දුක් විඳින්න ද කැමති. රත්නත‍්‍රයේ ආනුභාවයෙන් යහපත් තැනකට යවන්න අපට පුළුවන්. හැබැයි ඇත්ත කියන්න ඕනෑ. නැත්නම් තවත් දඬුවම් විඳින්න වේවි.”

“අනේ! හාමුදුරුවනේ! මට හිරිහැර කරන්න එපා. මම ඇත්ත කියන්නම්. මම ඇඩ්ඩින්. මේ ළමයගේ ඥාතියෙක්.”

“ඉතින් ඇයි? මේ ළමයගෙ ඇඟට රිංගා ගත්තේ.”

“මුංගෙ ගෙදර අනිත් අයගේ වෙලාව හොඳයි. උංගෙ ඇඟට ඇතුළු වෙන්න මට බෑ. මුංගෙ පවුලෙන් පළිගන්න උවමනා නිසා මේ අපලකාරිගෙ ඇඟට රිංගුවා.”

“තමුන් දැන් ඇඩ්ඩින් නෙවෙයි. දැන් මළ යක්ෂයෙක්. එදා තමුන් ඇඩ්ඩින් විදිහට ජීවත් වුණේ කොහොමද?”

“හාමුදුරුවනේ! මම හරිම දුප්පත්, මමයි මගේ ගෑනියි හරි ම අමාරුවෙන් ජීවත්වුණේ. මම ළමා කාලයේත් වැරදි කළා. අනුන්ගේ දේවල් හොරකම් කළා. මට ඉගෙන ගන්න බැරි වුණා අන්තිමට අනුන්ගේ කුලී වැඩ කළා. කුලී වඩ කරන තැන්වල අයගේ වස්තු සම්පත් දැකලා ඊර්ෂ්‍යා කළා. කුලී වැඩෙත් හරියට කළේ නෑ. වැඩ මඟ ඇරලා හවසට කුලිය ගත්තා. මම පන්සලකට ගියේ නෑ. බණක් දහමක් ඇහුවේ නෑ. මලක් පහනක් පූජා කළේ නෑ. කසිප්පු බිව්වා. පන්සිල් පද පහවත් හරියට කියන්න දන්නෙ නෑ.”

“ඉතින්! දැන් කෝ තමුන්ගෙ බිරිය?”

“ඒ ගෑනි නම් පන්සල් ගියා. සිල් සමාදන් වුණා. අනුන්ට ඊර්ෂ්‍යා කළේ නෑ. මළාට පස්සෙ කොහේ ගියාද දන්නෙ නෑ. මට මුණ ගැහුණේ නෑ. කොහේ හරි හොඳ තැනක ඇති.”

“ඇයි මේ පවුලේ අය සමඟ තරහා?”

“හාමුදුරුවනේ! අපි අමාරුවෙන් ජීවත්වෙන කොට මුං මාසෙකට විතර සැරයක් අපට කන බොන දේවල් ඇඳුම් වගේ දේවල් ගෙනැත් දුන්නා. ඇවිත් වැඳලා යනවා. මුං ආවේ කාර් එකෙන්. මට ඊර්ෂ්‍යා හිතුණා. මුංට වස්තු සම්පත් ඕනෑ තරම් තියෙනවා. අපිට සොච්චමක් දෙනවා. මුං රාජභෝජන වළඳනවා. මුං සැපට කාල ඇඳලා ඉන්නවා කියලා ඊර්ෂ්‍යා හිතුණා. මට මැරෙන වෙලාවෙ මුංගෙ සැප සම්පත් තමයි මතක් වුණේ.”

“හොඳයි! දැන් කොහොමද තමුන් ජීවත්වෙන්නේ?”

“මම මේ ළමයගෙ මාස් ශුද්ධියේ අපිරිසුදු ලේ ආහාරයට අරගෙන තමයි ජීවත්වෙන්නේ. අනිත් දවස්වලට සා පිපාසාවෙන් පෙළෙනවා.”

“තමුන්ට ඝන රුධිරය උරා බොන්න පුළුවන්ද?”

“බැහැ. හාමුදුරුවනේ! මගේ ශරීරයත් සියුම් ශරීරයක්. ඒ අපිරිසුදු ලේවල අපිරිසුදු සියුම් කොටස තමයි උරා ගන්නේ.

“දැන් බලනවා. තමුසේ තමුන්ට මාසයකට දවසක් හරි උදව් කළ නැදෑයාටත් ඊර්ෂ්‍යා කළා. තමුන්ට දණ ගහලා වැඳ පුදා ගිය අයටත් ඊර්ෂ්‍යා කරන්න තරම් දුෂ්ට වුණා. දැන් ඒකෙ විපාක විඳිනවා. මෙහෙම ඉඳගෙනත් අනුන්ට රිදවන්න. පළිගන්නමයි හිත. තමුන් මේ මොකක්ද කියා හඳුනනවාදැ”යි හාමුදුරුවෝ පිරුවාණා පොත් වහන්සේ පෙන් වූහ.

“තරුණිය ඒ පිරිත් පොත උදුරාගෙන පොළවේ ගැසුවා ය.

“හා… උඹ එහෙනම් මෙතනත් චණ්ඩිකම් කරන්නයි කල්පනාව. හිටපං උඹට…” යැයි කියූ ඥානානන්ද හිමියෝ පිරිත් කියන්නට සූදානම් වූහ.

තරුණිය වෙව්ලන්නට වූවාය. අඬන්නට වූවාය. බිම දිග ඇදී කන්නලව් කරන්න වූවාය. “අනේ! අනේ! මට බෑ. පිරිත් අහන්න බෑ. මාව පිච්චෙනවා. මං යනවා. මං යනවා. ඒත් මට යන්න තැනක් නෑ. මට හිරිහැර කරන්න එපා. මට යන්න තැනක් හොයා දෙන්නැ”යි පින්සෙණ්ඩු වූවාය.

“උඹට හොඳින් කතා කරන කොට උඹ අපිව රවටන්න යි හැදුවේ. අන්තිමේ පිරිත් පොතත් පොළවේ ගැහුවා පව්කාරයා. උඹේ පව් උඹ ම ගෙවන්න ඕනැ. වෙන කාටවත් ඒවා ගෙවන්න බෑ. දැන් මේ ළමයව අත හැරලා පලයන් කතරගමට. එතැනට ගිහින් ආවතේව කරපං.” යැයි අවවාද කළ ස්වාමීන් වහන්සේ ගැහැනු ළමයාට පිරිත් සූත‍්‍ර කීපයකින් ආරක්ෂා විධි ඉටු කැර දුන්හ. එසේ ම උදේ සවස නිවසේ ඉටු කළ යුතු වත් පිළිවෙත් කීපයක් ද ඇයටත් ඇගේ වැඩිහිටියන්ටත් නියම කළහ.

තමන් ගේ ම ඥාතියෙකුට උදව් කරන්නට යෑමේ දී උදව්ව ලබන පුද්ගලයා ගේ දුෂ්ට චේතනා නිසා උදව් කළ අයටත් හානි සිදුවන අවස්ථා මෙසේ කලාතුරකින් සිදුවෙයි. ඒ නිසා එවැනි කටයුතු නොකර සිටීම නොව නුවණින් ඉටු කිරීමට වග බලා ගත යුතු බව ද උන් වහන්සේ පැහැදිලි කළහ.

හරියට පන්සිල් ආරක්ෂා කරන, එම සීලය මෙනෙහි කරමින් කටයුතු කරන අයගේ සිරුරට භූතයන්ට රිංගන්න අපහසුයි. ඒත් සමහරකුට කර්ම විපාක අනුවත් එහෙම වෙනවා.

සමහර භූතයන් තරවටු කරන අවස්ථාත් තියෙනවා. මිය ගිය සීයා කෙනකු වැහුණු තරුණියකු දවසක් මා ළඟට කැඳවා ගෙන ආවා.

ඔහුට පිරිත් කියා සුවපත් කළා. ඒ තරුණයා ආපසු යන අතරේ ඔහු සමඟ සිටි ඔහුගේ සගයකු සමඟ මේ පිළිවෙත් ක‍්‍රම උපහාසයට ලක් කරමින් “ඕවා බොරු” යි කියමින් ගොස් තිබුණා.

ඒ සීයා ගේ ආත්මය ම ඊට පසු සතියේ දිනක මේ තරුණයන් දෙදෙනා මත්පැනට පොළඹවා තිබුණා.

ඉන් පසු මත් වූ අවස්ථාවේ වෙනත් භූතයන් දෙදෙනකු මොවුන් ගේ ශරීරවලට ඇතුළු කරවා තිබුණා. ඒ වෙලාවේ පටන් විකාර කරන්න පටන් අරගෙන. ඊළඟ දවසේ මේ තරුණයන් දෙදෙනා භූතාවේශයෙන් විකාර කරන විට මා ළඟට කැඳවා ගෙන ආවා. එවිට අර තරුණයාට නැවතත් සීයා ආවේශ වුණා.

“හාමුදුරුවනේ! ඔබ වහන්සේ කලින් වතාවක් මූට පිරිත් කියා සුවපත් කළා මතක ද? එදා මුන් දෙන්නා ආපහු යන කොට ඔබ වහන්සේට හිනා වේවී ගියා. “ඕවා බොරු වැඩ” කියල. මේ වතාවේ දෙන්නාට ම ලෙඩ කෙරෙව්වේ මේවා සත්‍ය බව ඔප්පු කර පෙන්නන්නයි” කියා කීවා. ඒ නිසා මත්පැන් බොන අයගේ ශරීරවලට භූත දෝෂ වැළඳෙන එක පහසුයි.

සිහිය විකෘති වූ වෙලාවට භූතයා රිංගනවා. මත්පැනට ගිජු භූතයන් ඉන්නවා. ඒ වගේ භූතයන් බේබදු අයගේ ශරීරවලට රිංගා ගෙන ඔහු බොන මත්පැන්වලින් කොටසක් භූතයාත් බොනවා. ඒ වගේ භූතයා ශරීරයට රිංගාගත් විට ඉබේම වගේ ලෙඩ රෝග වැළඳෙනවා.

ආරාවුල් ඇති කරනවා. ඒ පාපී භූතයන් ගේ ස්වභාව යැයි ද ඥානානන්ද හිමියෝ පැවසූහ.


Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

Categories

%d bloggers like this: