Posted by: lrrp | March 7, 2009

දළදා ප‍්‍රදර්ශන පුරාණය

සකල ලෝකවාසී බෞද්ධ ජනතාවගේ විශේෂයෙන් සිංහල බෞද්ධයන් වූ අපගේ මහාර්ඝ පූජනීය වස්තුව ලෙස සැලැකෙන උත්තම සිරි දළදා වහන්සේ අප මතෘභූමියට එදාමෙදා තුර එල්ලවුණු දෙස් විදෙස් පරසතුරු ආක‍්‍රමණ හා අභියෝගවලින් ආරක්ෂා කොට මුළු මහත් ලක්වැසි සියලු දනන් හට නිරතුරුවම ආශිර්වාද පූර්ව රැකවරණය ලබා දුන්හ.

එලෙස චිරාත් කාලයක් මුළුල්ලේ සිට අප මතෘභූමියට ආශිර්වාද පූර්ව රැකවරණය ලබාදුන් උත්තම සිරි දළදා වහන්සේ සියැසින් දැක බලාගෙන වන්දනාමාන කරගැනීමේ ඒ අසිරිමත් අවස්ථාව පුරා අවුරුදු හතරකට (අවසන් වරට දළදා ප‍්‍රදර්ශනයක් පවත්වන ලද්දේ වර්ෂ 2004 ක් වූ අපේ‍්‍රල් මස 17 වැනි දින සිට මැයි මස 01 වැනි දින දක්වා ය) ඉක්බිති ව සකල ලෝකවාසී බෞද්ධ ජනතාවට හා සිංහල බෞද්ධයන් වූ අපට තව නොබෝ දිනකින් උදාවේ. එනම් ඒ මාර්තු මස 06 වැනි දින සිට 16 වැනි දින දක්වා පැවැත්වීමට නියමිත අසිරිමත් දළදා ප‍්‍රදර්ශනය මඟිනි.

ලක්දිව පළමු වරට දළදා පෙරහරක් හා දළදා ප‍්‍රදර්ශනයක් පවත්වන ලද්දේ කීර්ති ශී‍්‍ර මේඝවර්ණ රජතුමා (කි‍්‍ර.ව. 301 – 328) ගේ රාජ්‍ය පාලන කාලයේදී ය. සිය රාජ්‍ය පාලනයේ 9 වැනි වර්ෂයේදී ලක්දිවට වැඩම කරවන ලද දළදා වහන්සේ දළදා මාලිගාවේ සිට අභයගිරි විහාරයට පෙරහරින් වැඩමවා ප‍්‍රදර්ශනය කළ අතර, ඉන් ඉක්බිති ව දළදා පුද පූජා පවත්වන්නට නියම කළේය. ඒ අනුව දළදා වහන්සේ අභයගිරි විහාරයට පෙරහරින් වැඩමවා විත් ප‍්‍රදර්ශනය කිරීමේ චාරිත‍්‍රය 5 වැනි සියවස දක්වා ම පැවැති බව වර්ෂ 413 දී ලක්දිවට පැමිණි චීන ජාතික ෆාහියන් (Fa-Hsien) භික්ෂුවගේ දේශාටන වාර්තාව (A Record of Buddhist Kingdoms or The Travels of Fa-Hsien) ට අනුව පැහැදිලි වේ.

11 වැනි සියවස වූ කලි ලක්දිව රාජ්‍ය පාලන ඉතිහාසයේ ඉතා වැදගත් කාලපරිච්ඡේදයක් විය. එනම් සෝලි ආක‍්‍රමණ නිසා අනුරාධපුර රාජධානිය පොලොන්නරුවට මාරු වූයේ ද 11 වැනි සියවසේ දී ය. රාජධානි සම්බන්ධයෙන් සිදුවූ මේ වෙනස්කමත් සමඟම ආගමික විශ්වාස සම්බන්ධයෙන් ද එබඳු ම වෙනස්කමක් ඇති විය.

ඒ වන විට ලක්දිව තිබූ උත්තම පූජනීය වස්තූන් යුගලෙන් එකක් වූ ජය ශී‍්‍ර මහ බෝධින් වහන්සේ අනුරාධපුර රාජධානියෙන් වැඩ විසීමට ඉඩ දුන් ලක්දිව රජවරුන් දළදා වහන්සේ ගේ අයිතිය තමන් වෙත පවරාගෙන එය යුගයෙන් යුගයට වෙනස් වූ ලක්දිව රාජධානි වෙත වැඩම කරවන ලද්දේ දළදා වහන්සේ රාජ්‍යත්වයේ සංකේතය වශයෙන් සලකා ගෙන ය. මෙමගින් ලක්දිව රාජ්‍යත්වය පිළිබඳ නව සංකල්පයක් ද බිහිවිය.

ලක්දිව එක්සේසත් කොට ස්වර්ණමය යුගයකට යොමු කරන ලද්දේ මහා පරාක‍්‍රමබාහු රජතුමා (කි‍්‍ර.ව. 1153 – 1186) විසිනි. පොලොන්නරු රාජධානිය පිහිටා ටික කලක් ගතවනතුරු මහා පරාක‍්‍රමබාහු රජතුමාට දළදා පාත‍්‍ර ධාතුන් වහන්සේලාගේ අයිතිය තහවුරු කරගැනීමට නොහැකි වූයේ එවකට මේ ධාතු යුග්මය යුද්ධයෙන් රුහුණට පලා ගිය මාණාභරණට ද ඔහුගේ ඇවෑමෙන් සුගලා මව්බිසවට ද හිමිව තිබුණු බැවිනි.

මහා පරාක‍්‍රමබාහු රජතුමා රක්ඛ සෙම්පතියාගේ නායකත්වයෙන් යුත් සේනාවක් රුහුණට පිටත් කර යවා සුගලා දේවිය බලවත් සටන් කීපයකින් පරාජයට පත්කොට දළදා පාත‍්‍ර ධාතු යුග්මය පොලොන්නරු රාජධානියට වැඩමවා ගත්තේ ය.

මඤ්ජු අධිකාරි විසින් සුගලා දේවිය ගෙන් අත්පත් කොටගත් ධාතුන් වහන්සේලා අඤජන කම්මනාථගේ භාරයේ සුරක්ෂිතව පොලොන්නරු රාජධානියට වැඩමවා ගන්නා ලදහ. මහා පරාක‍්‍රමබාහු රජතුමා මහත් පී‍්‍රතියට පත්ව සහ ආරක්ෂාව ද යොදා නගර මධ්‍යයේ පිහිටි ධාතා ධාතුඝරය සුධර්මා දිව්‍ය සභාව මෙන් ශෝභන ලෙස සරසවා රජ මැදුරේ සිට ධාතා ධාතුඝරය දක්වා යොදුනක් පමණ දුර මහ මඟ ද මොනවට සැරසිය.

ඉක්බිති ව එක් අගනා මහා මැණිකක් සාරවා එහි සුවඳ පුරවා දළදා වහන්සේ එහි ගබා ස්වර්ණමය මා හැඟි කරඬුවක තැන්පත් කරවිය. පාත‍්‍ර ධාතුවට මා හැඟි රුවනින් බබළන මණ්ඩපයක තනවන ලද මල් ඇතිරු ආසනයක තැන්පත් කොට විසිතුරු මහ පෙරහරකින් රැගෙන විත් දළදා ගෙයි වඩා හිඳුවා ඇති උත්කර්ශවත් දළදා ප‍්‍රදර්ශනයක් පැවැත් වූ බව කියැවේ.

පොලොන්නරු රාජධානියේ රාජ්‍යත්වයට පැමිණි කීර්ති ශී‍්‍ර නිශ්ශංකමල්ල රජතුමා (කි‍්‍ර.ව. 1187 – 1196) සිය දරු දෙදෙනා වූ වීරබාහු හා සර්වාංග සුන්දරි දළදා පාදාවනට පූජා කොට ඉක්බිති ව ස්වර්ණමය දාගැබක් ඔවුන් වෙනුවෙන් ඉදිකරවා දළදා පාදා සන්තකයෙන් ඔවුන් නිදහස් කරගත් බව සෙල්ලිපිවල සඳහන් වේ.

මෙනයින් අපමණ බුදුපුද පැවැත්වූ රජ තෙමේ ශෛලමය මල්කම් ලියකම් කරවා දර්ශනීය ලෙස ඉදිකරවූ නිශ්ශංක ලතා මණ්ඩපයට දළදා වහන්සේ වැඩම කරවා අති උත්කර්ශවත් දළදා ප‍්‍රදර්ශනයක් පැවැත්වූ බව කියැවේ.

සොළි අධිරාජ්‍යයක වූ මාඝ ලක්දිව ආක‍්‍රමණය කොට මහා විනාශයක් කරන ලද්දේ 13 වැනි සියවසේ දී ය. මෙමගින් පොලොන්නරු රාජධානිය බිඳ වැටුණි. මෙකල්හි ලක්දිව පාලනය කළ පරාක‍්‍රම පණ්ඩු (කි‍්‍ර.ව. 1212 – 1213) රාජ්‍යත්වයෙන් පහකොට රාජ්‍ය පාලනය සියතට ගත් උත්තරමුල වාචිස්සර හිමි ප‍්‍රමුඛ භික්ෂුන් වහන්සේලා දළදා වහන්සේ ආරක්ෂාව පතා කොත්මලේට රැගෙන යන ලදී.

දඹදෙණිය රාජධානියේදී රාජ්‍යත්වයට පැමිණි 2 වැනි පණ්ඩිත පරාක‍්‍රමබාහු රජතුමා (කි‍්‍ර.ව. 1236 – 1270) අති උත්කර්ශවත් දළදා පෙරහරක් හා දළදා ප‍්‍රදර්ශනයක් පැවැත් වූ බව වංශකථාවල සඳහන් තොරතුරු වලින් පෙනේ.

දළදා මාලිගාවේ සිට තම රාජධානියේ වැදගත් ස්ථානයක් කර දළදා වහන්සේ මහ පෙරහරින් වැඩමවීම එකල්හි පැවැති සිරිත විය. දළදා වහන්සේ තැම්පත් කොට තිබුණු විජයසුන්දරාරාමයේ සිට රජුගේ උපන් ගම වූ සිරිවර්ධනපුරයට එකල දළදා පෙරහර ගමන් කළෝය.

විසි රියන් පළල පෙරහර ගමන් මඟ බෙර ඇසක් සේ සමතලා කොට සුදුවැලි අතුරා ධජ පතාකයෙන් අලංකාර කරන ලදි. මග දෙපස මාරුක් තැබිලි බෝදිලි නවසි තල් කිතුල් කදලි ගස් සිටුවා තිබුණි. මලින් පිරි පුන්කලස් දෙපස විය. පස් රියනක් තුළ රජ තොරණක් ද දස රියනක් තුළ පට තොරණක් ද බැගින් නිමවා දහස් තැනක බුද්ධ ප‍්‍රතිමාවන් ගෙන් සැදුම් ලත් තෙමහල් ප‍්‍රාසාද ඉදිකරවන ලදි.

දළදා පාත‍්‍ර ධාතුන් වහන්සේලා විසිතුරු රථයක වඩා හිඳුවා වැඩම කරවූ අතර, පුන්කලස් සෙමෙර රන් කරඩු රැගෙන විවිධ ආවතේවකාරයෝ මේ පෙරහරේ ගමන් කළහ. අනතුරුව නෘත්‍ය ගීත වාදකයන් පිරිවරාගත් රජතුමා පෙරහරට එක්විය. පෙරහරට එක්වූ ඇතුන්ගේ හා අශ්වයන්ගේ ඝෝෂාව ද නැට්ටුවන්ගේ හා ගී ගයමින් ගිය ස්ති‍්‍රන්ගේ ද නොයෙක් තූර්ය භාණ්ඩයන්ගේ ද නාදයෙන් ඒක කෝලාහල විය. පෙරහර සිරිවර්ධනපුරයට ළඟා වූ කල්හි ධාතුදවය මාණික්‍යමය මණ්ඩපයක වඩා හිඳුවා මහජනයාට ප‍්‍රදර්ශනය කරමින් තුන් මසක්ම මේ පූජෝත්සවය පැවැත් වූහ.

කුරුණෑගල රාජධානිය පැවති කල දළදා පෙරහරක මහා දළදා ප‍්‍රදර්ශනයක් පිළිබඳව එතරම් දීර්ඝ විස්තරයක් වංශකතාවල දකින්නට නොලැබේ. එනමුත් 4 වෙනි පණ්ඩිත පරාක‍්‍රමබාහු රජතුමා (කි‍්‍ර.ව. 1302 – 1326) ගේ රාජ්‍ය පාලන කාලයේදී දෙව්රද දම්පසගිනාවන් විසින් රචනා කරන ලද දළදා සිරිතේ (මෙය වූ කලි දළදා සාහිත්‍යයෙහි ඇති විශිෂ්ටතම කෘතිය ලෙස සැලැකේ) හි දළදා පුද පූජා සම්බන්ධයෙන් ව්‍යවස්ථා පද්ධතියක් පනවා ඇත. එමඟින් දළදා පෙරහර හා ප‍්‍රදර්ශනයට පළමු ව හා පසු ව අනිවාර්යයෙන් ම කළ යුතු වතාවත් රාශියක් එහි අන්තර්ගතව ඇත.

දළදා සිරිතට අනුව පෙරහරට සතියකට පෙර සිටම දළදා මාලිගය වියන් බැද නොයෙක් පටපිළියෙන් සරසා රජතුමා ද ඇමැතිවරු හා අන්තºපුර කාන්තාවෝ ද නුවර වැසියෝ ද ආහාර හා මල් පහන් පූජා කරති. සත්වන දවසේ උදය පූජාවෙන් පසු නගරය මැනැවින් සරසනු ලැබීය. පසුව උතුරු මුල මහ තෙරුන් වහන්සේ ගණ වැඩිකිලිං දෙකුලයෙන් තෝරාගත් සුදුස්සන් සමග දළදා කරඬුව විවෘත කොට දළදා වහන්සේ ගදකිළියෙන් මෑත් කොට සරසන ලද රථයක වඩා හිඳවූහ. දළදා වැඩම වන රථය දෙපස ගණ වැඩිකිලිං දෙකුලෙන් සුදුසු දෙදෙනෙක් ගමන් කළහ. මංගල හාස්තියෙක් රථය ඇදගෙන ගියේය.

මහා සංඝයා වහන්සේ පිරිත් කියමින් රථය පිටුපසින් වැඩම කළ අතර පිරිත් හුය දළදා රථයට සම්බන්ධ කොට තිබිණ. දොරනා වැසි කුලයේ කෙනෙක් රිදි කටාරමෙන් පිරිත් පැන් ගෙන නගරයේ නොයෙකුත් තැන ඉසිනු ලැබීය. චාමර හා සේසත් දරන්නෝ දළදා රථය දෙපස ගමන් කළහ. දළදා මාලිගාවේ ධුරය විජ්ජතුන් සේවය කරමින් ගමන් කළහ. අනතුරුව සේනාව සමග ඇමැතිවරු පෙරහරට එක්වූහ.

පෙරහර දළදා මැදුරට ගෙවැදුණ පසු රජතුමා උතුරු මුල මහ තෙරුන් වහන්සේ ගණ වැඩිකිලිං දෙකුලයේ දෙදෙනා හා දළදා ගේ බලන්නෝ යන මොවුහු දළදා කරඬුව විවෘත කොට දළදා වහන්සේ රජු අතට වැඩමවා ප‍්‍රදර්ශන කුටියේ තැන්පත් කොට මහජනයාට ප‍්‍රදර්ශනය කළහ. ඉන්පසුව දළදා වහන්සේ දළදා මැදුරට වැඩමවා රජු ඉදිරියේ ම තැන්පත් කොට මුද්‍රා තැබූහ. මෙසේ වාර්ෂිකව දළදා පෙරහර හා ප‍්‍රදර්ශනය පැවැත්වූ රජතුමා වැසි නොවස්නා කල්හි වැසි පතා දළදා ප‍්‍රදර්ශනය කළ යුතු යැයි ව්‍යවස්ථාවක් ද පැනවිය.

2 වැනි පණ්ඩිත පරාක‍්‍රමබාහු රජතුමාගේ රාජ්‍ය පාලන කාලයේ ඉක්බිතිව කුරුණෑගල රාජධානිය බිඳ වැටුණු ආකාරය පිළිබඳ එතරම් විස්තරයක් වංශකතාවල නොදැක්වේ.

කුරුණෑගල රාජධානියෙන් ඉක්බිතිව මහනුවර රාජධානිය දක්වාම දළදා පෙරහරක් හෝ දළදා ප‍්‍රදර්ශනයක් පැවැත් වූ බවට විශ්වාස කටයුතු තොරතුරක් දකින්නට නොලැබේ. එයට හේතුව ලෙස රටේ පැවැති නොසන්සුන් වාතාවරණය (රට අභ්‍යන්තරයෙහි පැවැති බල අරගල හා පෘතුගිසි ආක‍්‍රමණ වැනි පරසතුරු උවදුරු යනාදිය) සෘජුව ම බලපෑවා විය හැකිය.

මහනුවර (කන්ද උඩරට) රාජධානියෙහි රාජ්‍යත්වයට පත් ශී‍්‍ර විජය රාජසිංහ රජතුමා (කි‍්‍ර.ව. 1731 – 1746) තෙරුවන් සරණ ගිය සැදැහැවත් රජකු බවට පත්වූයේ දළදා වහන්සේ විෂයයෙහි සම්ප‍්‍රදාය පරිදි පුද පූජා පැවැත්වීමෙනි.

ලක්දිව රාජ්‍යත්වය යටතේ පැවැති අවසන් හා මහනුවර රාජධානිය ඉංගි‍්‍රසින් අතට පත්වන්නට පළමුව අවසන් වරට මහජන ගෞරවය හා පුද පූජා සඳහා දළදා වහන්සේ ප‍්‍රදර්ශනය කරනු ලැබුවේ කීර්ති ශී‍්‍ර රාජසිංහ රජතුමා (කි‍්‍ර.ව. 1747 – 1772) ගේ රාජ්‍ය පාලන කාලයේදීය. මෙවර විශේෂත්වය වූයේ දළදා ප‍්‍රදර්ශනය මහජනතාවට අමතරව රජතුමා හට පෞද්ගලිකව ප‍්‍රදර්ශනයක් පවත්වනු ලැබීමයි. රාජ්‍යත්වයට පැමිණීමේ අභිෂේක මංගල්‍යයත් සමගම දළදා වහන්සේ වැද පුදා ගෙන ඉන් ආශිර්වාදය ලබාගැනීම උඩරට රාජධානියේ සෑම රජ කෙනකු ගේ ම සිරිත හා සම්ප‍්‍රදාය විය. මෙමගින් රජතුමාටත් ඒ ඔස්සේ රටටත් සෞභග්‍යවත් (අපල උපද්‍රව වලින් තොර අටු කොටු පිරුණු) කාලයක් උදාවනු ඇතැයි කියා ජනතාව විශ්වාස කළේය.

වර්ෂ 1815 පෙබරවාරි මස 18 වැනි දින මැද මහනුවර උඩුපිටිය ආරච්චිලාගේ නිවසේදී ඉංගී‍්‍රසි සේනාංකයක් විසින් ශී‍්‍ර වික‍්‍රම රාජසිංහ රජතුමා (කි‍්‍ර.ව. 1798 – 1815) අත් අඩංගුවට ගන්නා ලදි. මෙමගින් පුරා අවුරුදු දෙදහස් තුන්සිය පනස් අටක් අවිජින්නව පැවැති ලක්දිව රාජවංශය නිමාවට පත් විය.

වර්ෂ 1815 මාර්තු මස 02 වැනි දින මහනුවර ඓතිහාසික මඟුල් මඩුවෙහිදී උඩරට ගිවිසුම ප‍්‍රකාශයට පත් කරන ලදි. මෙමගින් ලක්දිව බි‍්‍රතාන්‍ය අධිරාජ්‍යයේ පාලනයට නතු විය.

වර්ෂ 1817 ඔක්තෝබර් මස මැද භාගයේදී ඉංගි‍්‍රසින්ට විරුද්ධව උඩරට මහ කැරැල්ල (උඩරට මහ විමුක්ති සටන) ආරම්භ විය. මෙහිදී එවකට දළදා තේවාව භාරව කටයුතු කළ වාරියපොල ශී‍්‍ර සුමංගල අනුනා හිමි දළදා මාලිගාවෙන් ඉතා උපක‍්‍රමශීලීව දළදා වහන්සේ ඉවත් කරගෙන ගොස් ඒ වන විට වෙලගිරියෙහි සටන් මෙහෙයවමින් සිටි මොනරවිල කැප්පෙටිපොළ මහ නිලමේ හට බාර දුන්නේය.

මෙහි ප‍්‍රතිඵලයක් ලෙස වර්ෂ 1818 මැයි මස මැද භාගයේදී පමණ හඟුරන්කෙත (මෙය හඟුරන්කෙත අරත්තන රජමහා විහාරයේදී විය හැකිය?) දී කැප්පෙටිපොළ මහ නිලමේ විසින් දළදා ප‍්‍රදර්ශනයක් පවත්වා තුන් සිංහලයෙන් කැරැල්ලට එක්ව සිටි දේශමාමක ස්වදේශිකයන් දිරිමත් කළ බව කියැවේ. (මෙය වූ කලි ඉතා සුවිශේෂි වාතාවරණයක් යටතේ පවත්වන ලද දළදා ප‍්‍රදර්ශනයක් ලෙස ඉතිහාස ගත වේ.)

වර්ෂ 1818 නොවැම්බර් මස දෙවැනි දින දළදා වහන්සේ යළිදු ඉංගී‍්‍රසින්ට අතට පත්වූයෙන් එය යළිදු දළදා මාලිගාවෙහි තැන්පත් කොට දැඩි ආරක්ෂක රැකවල් මධ්‍යයේ දෛනික තේවාව කටයුතු කරගෙන ගියේය.

වර්ෂ 1818 – 1827 යන කාල වකවානුවේ ඉංගී‍්‍රසි ආණ්ඩුව දළදා පෙරහර හෝ දළදා ප‍්‍රදර්ශන පැවැත්වීම සම්පූර්ණයෙන් ම තහනම් කොට නියෝග පනවා තිබුණි.

වර්ෂ 1827 – 1828 යන කාල වකවානුවේ දිවයින පුරා දැඩි නියඟයක් පැවැතුණි. මේ නියඟයෙන් ඇළ දොළ ගංගා සිඳී භවභෝග විනාශ වී වසංගත රෝග දසත පැතිර ගියේය. මෙයට මූලික සැලැකිය යුතු කාලයක් දළදා පෙරහරක් හෝ දළදා ප‍්‍රදර්ශනයක් (දළදා පින්කම) නොපැවැත්වීම යන අදහස ගිහි පැවිදි සියලු දනන් අතර මුල් බැසගෙන තිබුණි. එබැවින් භික්ෂුන් වහන්සේලා හා උඩරට නායකයන් විසින් මේ වග ඉංගී‍්‍රසි ආණ්ඩුකාරවරයා හට දන්වා සිටින ලදී. ඒ අනුව ශී‍්‍රමත් එඩ්වඩ් බාන්ස් ආණ්ඩුකාරවරයා විසින් වර්ෂ 1828 මැයි මස 29 දින යෙදුණු වෙසක් පුන් පොහො දින දළදා ප‍්‍රදර්ශනයක් සහිත දළදා පෙරහරක් පැවැත්වීමට නිල අවසරය ලබා දුන්නේය.

ඒ අනුව වර්ෂ 1828 මැයි මස 29 වන දිනට යෙදුණු වෙසක් පුන් පොහෝ දින පවත්වන ලද දළදා පෙරහර හා දළදා ප‍්‍රදර්ශනය (මෙය වූ කලි ඉංගී‍්‍රසි ආණ්ඩුව යටතේ පවත්වන ලද පළමු දළදා ප‍්‍රදර්ශනය ලෙස ඉතිහාසගත වේ.) අවසානයේදී මහනුවර ප‍්‍රදේශයට ඇදහැලුණු මහා ධාරානිපාත වර්ෂාවෙන් මුළුමහත් නගරයම ජලයෙන් යටවූ බව කියැවේ. මේ මහා ධාරානිපාත වර්ෂාව මින් පෙර නොවූ විරූ එකක් වූ අතර දිගු නියඟය අවසන් කිරීමේ දළදා ප‍්‍රාතිහාර්ය මහජනතාව විසින් හඳුන්වන ලද්දේ ‘දළදා වතුර’ යන නමිනි. (වර්ෂ 1925 දී දළදා වතුර යන නමින් කවි 158 කින් යුතු වූ පද්‍ය සංග‍්‍රහයක් ද රචනා විය.)

බි‍්‍රතාන්‍යයේ රාජ්‍යත්වයට පත් 7 වැනි එඩ්වඩ් මහරජතුමා වේල්ස් ප‍්‍රාන්තයේ ආධිපාදවරයා වශයෙන් සිටින කාලයේදී මහනුවර සැපත් වූ පසුව වර්ෂ 1876 දී එතුමා වෙනුවෙන් අති විශේෂ දළදා ප‍්‍රදර්ශනයක් පැවැත්වූ බව කියැවේ. (මෙය වූ කලි 19 වැනි සියවසේ පවත්වන ලද අවසාන දළදා ප‍්‍රදර්ශනය වේ.)

20 වැනි සියවසෙහි මුල් කාලයේදී පවත්වන ලද අති උත්කර්ශවත් දළදා ප‍්‍රදර්ශනයක් වර්ෂ 1925 ජනවාරි මස 01 වැනි දින සිට 31 වැනි දින දක්වා පැවැත්විණි. මේ පිළිබඳ ව මාහැඟි විස්තරයක් වර්ෂ 1925 ජනවාරි මස 20 වැනි දින නිකුත් වූ ‘සිංහල බෞද්ධයා’ (ශී‍්‍රමත් අනගාරික ධර්මපාල තුමන් ගේ සම්පාදකත්වයෙන් හා පියදාස සිරිසේනයන් ගේ කර්තෘත්වයෙන් ප‍්‍රකාශිත) පුවත්පතෙහි පළවුණි. තව නොබෝ දිනකින් උදාවන ඒ අසිරිමත් දළදා ප‍්‍රදර්ශනය මගින් ජනිත වන පුණ්‍යමය බලයෙන් හා ආශිර්වාදයෙන් අපගේ උතුම් වූ මාතෘ භූමියටත් සකල ලෝකවාසී ජනතාවටත් (විශේෂයෙන් රුදුරු ත‍්‍රස්තවාදයෙන් අපගේ උතුම් වූ මාතෘභූමිය ආරක්ෂා කරගනු වස් සියදිවි පරදුවට තබා උතුරුකරයේ සටන් වදින දැයේ රණවිරුවන්ටත්) පූර්ව රැකවරණය ලැබේවා යැයි කියා ඉත සිතින් ප‍්‍රාර්ථනා කරමි.


Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

Categories

%d bloggers like this: