Posted by: lrrp | March 7, 2009

හිස් කුටියකින් ආ දුරකථන ඇමතුමක්

නිශාන්ත පෙරේරා මහතා ජා ඇල පදිංචිකරුවෙකි. ඔහු නිමි ඇඳුම් සකස් කොට කොළඹ තොග වෙළෙඳ ආයතනයකට සැපයීමේ ව්‍යාපාරයක් පවත්වා ගෙන ගියේ ය.

ඔහු ඇඳුම් බාර දුන් ආයතනය මුස්ලිම් ව්‍යාපාරිකයකු සතු ය. දිනක් සිකුරාදා දිනයක නිශාන්ත පෙරේරා මහතා එම ආයතනයට දුරකතනයෙන් “අද කඩය ඇරලා ද? මම ඇඳුම් ටිකක් අරගෙන එන්නයි සූදානම, සිකුරාදා පල්ලි යන දවස නිසයි ඇහැව්වේ” යි විමසුවේය.

“ඔව්! ඔව්! කඩේ ඇරලා. බඩු ටික අරගෙන එන්නැ”යි තොග වෙළෙඳ ආයතනයෙන් පිළිතුරු ලැබිණි.

ඔහු තම ති‍්‍රරෝද රියේ ඇඳුම් තොගය පටවා ගෙන කොළඹ තොග වෙළෙඳ සලට ගෙනාවේය. එහෙත් වෙළෙඳ සල වසා ඇත. ඔහු මවිතයට පත් වීය. මඳ වේලාවක් බලා සිටින විට තොග වෙළෙද සලේ අයිතිකරු ආවේය.

“ඇයි? නිශාන්ත! අද කඩේ වහන දවසනෙ. අද මොකද බඩු අරගෙන ආවේ?” යි ඔහු නිශාන්ත ගෙන් ඇසුවේ ය.

“නැහැ මුදලාලි! මම” උදේ ටෙලිෆෝන් කරලා ඇහුවනේ අද කඩේ ඇරලද කියලා. ඉතින් කඩේ හිටපු කෙනෙක් කීවනේ අද කඩේ ඇරලා බඩු ටික අරගෙන එන්න කියලා. ඒකයි මම බඩු අරගෙන ආවේ” යි නිශාන්ත කීවේ ය.

“මොනවා මේ මගේ අතේනෙ යතුර. උදේ කඩේ ඇරියෙ නැහැ” මුදලාලි උත්තර දුන්නේය.

“මොකක්ද? මුදලාලි මේ සිද්ධ වුණේ? එහෙම නම් දැන් මුදලාලි කඩේ නොම්මරයට ටෙලිෆෝන් කරලා බලන්නැ”යි නිශාන්ත යෝජනා කළේ ය. මුදලාලි ද තම අත තිබු ජංගම දුරකතනයෙන් වෙළෙඳ ආයතනයේ අංකයට කතා කළේ ය. වසා ඇති වෙළෙඳ සලේ දුරකතනය නාද වෙන අයුරු දෙදෙනාට ම ඇසිණි.

“හලෝ”

“හලෝ”

“අද කැඩේ ඇරල ද? මුදලාලි ම ඇසුවේය.

“ඔව්! ඔව්! කඩේ ඇරලා” පිළිතුරු ලැබිණි.

මුදලාලි පුදුමයට පත් වූයේ ය. වෙළෙඳ සලේ දොරවල් ඉබි යතුරු දැමු අයුරින් ම තිබිණි. අසල සිටි තවත් කිහිප දෙනෙකු ද එතැනට ගෙන්වා ගෙන දොර ඇර බැලුවේය. කිසිවෙකු නැත. මෙය සිදුවූයේ කෙසේදැයි තවමත් රහසකි.

මෙවැනි සිද්ධීන් බොහෝ දෙනකු පිළිගන්නේ ද නැත. ඔප්පු කර පෙන්වන්නට ක‍්‍රමයක් ද නැත. අපේ රටේ එවැනි දේ ගවේෂණය කරන ආයතනයක් ද නැත. එහෙත් බටහිර රටවල ගුප්තාත්ම ගවේෂණය කරන ආයතන පවා පිහිටුවා ඇත.

අද නොව 1935 වර්ෂයේ පවා එංගලන්තයේ එවැනි පර්යේෂණ සිදු කෙරිණි. එංගලන්තයේ සිදු වූ පර්යේෂණාත්මක සිද්ධියක් පිළිබඳ 1935 පෙබරවාරි මස 02 සෙනසුරාදා “සිංහල බෞද්ධයා” පත‍්‍රයේ “නිර්දේහ භූත ලෝකයෙන් ආ අවතාරය” යන සිරස්තලය යටතේ පළ විය. එහි පළ වූ සම්පූර්ණ විස්තරය මෙසේ ය.

“සති කීපයකට පෙර මෙලොවින් සමුගත් ඩැනිස් බ‍්‍රැඩ්ලි ජීවත්ව සිටියදී දුන් ප‍්‍රතිඥාවක් (මරණයන් පසු) ඉටු කැර ඇතැයි එංගලන්තයේ පුවත්පත්වල පළ වීය.

භූත විද්‍යාඥයකු හා ග‍්‍රන්ථ කර්තෘවරයකු වන එච්. ඩැනිස් බ‍්‍රැඩ්ලි මරණයට පෙර ස්වකීය මිතුරාට හා අඹු දරුවනට පොරොන්දුවක් වී ඇත. ඒ මරණයෙන් පසු පාරලෞකික වේශයෙන් පැමිණ පුනර්භව පුවත් පවසන බවයි.

දින කීපයකින් ඩැනිස් බ‍්‍රැඩ්ලිගේ පුත් පැට්රික් බ‍්‍රැඩ්ලිට කිසියම් හඬකින් නියමයක් කරනු ඇසිණි. කැත්ලින් බර්කල් නමැති භූත ගවේෂිකාවක් සභාවක් රැස්කළ විට එහි දී තමන් වෙසෙන නිර්දේහ භූත ලෝකය පිළිබඳ විස්තර ප‍්‍රකාශ කරන බව ඒ ගුප්ත හ¾ඩින් කියැවිණි.

ඒ ප‍්‍රකාශය ප‍්‍රශ්නෝත්තරංකාරයකින් සිදු කැරිණි.

“බ‍්‍රැඩ්ලි! ඔබ දැන් වෙසෙන ලෝකයේ තත්ත්වය කෙසේ දැ”යි කැත්ලින් බර්කල් ඇසුවාය.

“එය මිනිස් බසින් විස්තර කරන්නට නොහැකියි. නරලොව දක්නා ස්ථාවර හෝ ජංගම කිසිවක් මෙහි නෑ. කාලය ද මෙහි නැත. ඇත්තේ අපරිමිත නබෝතලයක් පමණයි” බ‍්‍රැඩ්ලිගේ නියම කට හඩින් ම කියැවිණි.

“ඔබේ ලෝකයේ දිවා රාති‍්‍ර විශේෂයක් පවතී ද?”

“මිනිස් ලොව දක්නා ක‍්‍රමයේ දිවා රාති‍්‍ර වෙනසක් මෙහි නැහැ. මුළු තබෝතලය ම එක්තරා වජ‍්‍රමය පටලයකින් වැසි තියෙනවා. එහෙත් ඇතැම් ප‍්‍රදේශයක ඝන අඳුරක් පවතිනවා. අපේ නිකාය එහි නොවදී. එහෙත් එහි ද තවත් නිකායක් පවතිනවා.”

“ඔබ ගමනාගමනය කරන්නේ කෙසේ ද?”

“අපේ ගමනාගමනය සිතුවිලි මාත‍්‍රයක් පමණයි. යම් පෙදෙසකට යෑමට සිතුණු කල තමන් එහි සිටින බව පෙනෙයි. අපට මොහොතකින් මිනිස් ලොව සිසාරා හැසිරෙන්නට පුළුවන්.”

“ඔබේ දේහ තත්ත්වය කොහොමද?”

“අපට දේහ තත්ත්වයක් නෑ” ඇට ලේ මස් සහිත හෝ රසායන හෝ දේහයක් නෑ. අද්‍රව්‍යමය චින්තන බලයක් පමණයි.”

“අනාදිමත් කලක සිට මේ ලොවෙන් තුරන් වන අනන්ත වූ සත්ත්වයන් හැම දෙනා ම ඔබේ ලොවේ ඉන්නවා ද?”

“නැත. මේ අනන්ත වූ ලෝක අතුරින් එකක් පමණයි. මීට උසස් වූ ද පහත් වූ ද ලෝක බොහෝ ය. එහෙත් ඒ කිසිවකට එළඹීමට අපට නොහැකියි. අපට සැරිසැරිය හැක්කේ නරලොවට පමණයි. මෙහි උපදින්නේ මෙය පතන්නන් පමණයි. මා නරලොව දී දැන හැඳින සිටි බොහෝ දෙනෙකු මට මෙහි දී මුණ ගැසුණා. අපි බොහෝ විට පිළිසඳර කතාවේත් යෙදුණා.

“පිළිසඳර කතාවේ? දේහයක් නැතුව කතා බහ කරන්නේ කොහොමද?”

“අපි නරයන් වගේ නොවෙයි. කිසියම් අදහසක් කිසියම් කෙනෙකුට පළ කරන්නට සිතුණු විට ම ඒ සිතුවිල්ල ඉබේම අනෙකාට දැනෙනවා. ඔහුත් ඔහුගේ අදහස සිතන විට ම අපට දැනෙනවා. ඒක තමයි අපේ කතා ක‍්‍රමය.”

“ඔබ තව කොතෙක් කල් ඔය ලොවේ ජීවත් වෙනවාද?”

“මෙහි නර ලොව වගේ කාල යැයි අදහස් කරන දෙයක් නෑ. ඒ නිසා ඒක කියන්න බැහැ. හොඳයි, හැමට ම ආයුබෝවන්”

සිත මිස කය නැති බඹ ලොව සතර කි
සිත නැතිවම කය ඇති බඹ තලය කි
මද සත පින් කොට උපදින පෙදෙස කි
එහි උපතත් කුසලත් නොම කළ හැකි,
යනුවෙන් වීදාගම හාමුදුරුවෝ ප‍්‍රකාශ කළේත් මේ වැනි ම සත්ත්ව කොට්ඨාස නොවේ ද?

ඉහත සඳහන් එංගලන්ත සිද්ධියෙන් අනාවරණය වන්නේ ඝන ශරීරයක් නැති ගුප්තාත්මයක් පිළිබඳව යි. “ඇට ලේ මස් සහිත හෝ රසායන හෝ ශරීරයක් නැතැ” යි ඩැනිස් බ‍්‍රැඩ්ලි ගේ ආත්මය පවසා ඇත. එහෙත් තවත් නිකායයන් එහි පවතින බව ද ඔවුන් ගේ නිකායේ අයට යා නොහැකි ලෝකයක් පවතින බව ද කියා ඇත.

එංගලන්ත පුවත්පත්වල “නිර්දේහ භූත ලෝකයැ” යි හඳුන්වා ඇත්තේ ද “දේහයක් නැති” අරුතෙනි. එහෙත් ඔවුන් අන්‍යොන්‍යව අදහස් හුවමාරු කැර ගන්නවා නම්, කලින් දැන හැඳින සිටි අය මුණ ගැසී හඳුනා ගත්තා නම් මනෝමය වශයෙන් හෝ ශරීරයක් තිබිය යුතු යැයි අපට අනුමාන කළ හැකි ය. නිගමනයකට එළැඹීමට නම් ඒ වැනි ගුප්තාත්ම ගවේෂණයක යෙදිය යුතුය. නැතහොත් ති‍්‍රපිටක ධර්මයට අනුකූලව නිගමනවලට එළැඹිය යුතු ය.

ජා ඇල නිශාන්ත පෙරේරාට තවත් අත්දැකීමක් ඇත. ඒ ඔහු දිනක් ජා ඇල තුඩැල්ල හන්දියේ සිටිය දී සිදු වූවකි. එදා රාතී‍්‍ර 9.30 ට පමණ ඔහු ගේ ති‍්‍රරෝද රථය ළඟට පැමිණි මහත්මයෙකි. සුදු අත් දිග කමිසයකින් හා සුදු කලිසමකින් සැරසී සිටි ඒ මහත්මයා “මාව කණුවන පල්ලිය ළඟට ගෙන යන්නැ”යි ති‍්‍රරෝද රියේ පසුපස ආසනයෙහි හිඳ ගත්තේය.

නිශාන්ත පෙරේරා ගමන ආරම්භ කළේ ය. කණුවන පල්ලියට කිට්ටු වන විට “මහත්මයා, කොයි හරියෙද බහින්නේ. අසවලාගේ කඩය ළඟ ද?” ආදි වශයෙන් නිශාන්ත මගියා ගෙන් ඇසුවේ ය. ඔහු නිහඬ ය. පිළිතුරු දෙන්නේ නැත. පල්ලිය ඉදිරිපිට දී රථය නතර කැරිණි. මහත්මයා බහින්නේ නැත. නිශාන්ත හැරි බැලුවේ ය. මහත්තයෙක් නැත. නිශාන්තට උතුර දකුණ මාරු වුණේ ය. ඔහු වහාම රථය ආපසු හරවා ගෙන නතර වූයේ තම ගෙදරට ම ගොසිනි.

පසු දා උදේ පුරුදු පරිදි තුඩැල්ල හන්දියට ගිය නිශාන්ත එතැන සිටි හිතවතුන් සමඟ මේ අද්භූත සිද්ධිය පැවැසුවේය. එය සාවධානව අසා ගෙන සිටි වෑන් රථ රියැදුරෙකු “ඔය විස්තර කියන විධියේ මහත්තයෙක් දවසක් මගේ වෑන් එකෙන් කණුවන පල්ලිය ළඟට ගියා. හැබැයි මිනිහත් වාඩි වුණේ පිටුපස සීට් එකේ.

පල්ලිය ළඟට ගිහින් බලන කොට මහත්තයා නැහැ” යි තමන්ට ද එවැනි සිද්ධියකට මුහුණ පෑමට සිදු වූ අයුරු විස්තර කළේ ය. දැන් තුඩැල්ල හන්දියේ අය අදත් නිශාන්ත හඳුන්වන්නේ “හොල්මන්” නමිනි.

මේ භූතයන් ද ලෝකයේ ජීවත්වන සත්ත්ව කොට්ඨාසයක් ම ය. මොවුන් අතර ආනුභාව සම්පන්න භූත කොටස් ද සිටිති. ආනුභාව හීනයෝ ද සිටිති. මිත්‍යා දෘෂ්ටිකයෝ ද සිටිති. තෙරුවන් ගුණයට බලයට අවනත වන්නෝ ද සිටිති. කර්ම විපාකානුකූලව පළි ගැනීමට බලාපොරොත්තුවෙන් වේලාව එන තුරු බලා සිටින්නෝ ද වෙති.

අනුන්ට කෑමක් බීමක් පිරිනමන්නට ලෝභයෙන් ජීවත්ව සිට මැරී ගිය අය කළගෙඩියක් තරම් බඩ ගෙඩියක් ඇතිව ඉඳිකටු සිදුරක් තරම් උගුරක් ඇතිව ඉපිද සිටිති. තවත් පිරිසක් ඉවසිය නොහැකි තරම් දැඩි පිපාසයකින් පෙළෙති. ඔවුන් වටා නිල් පැහැති පිරිසුදු ජලය පිරී ඉතිරි ගිය භාජන හා ජලාශ පවතී. එහෙත් ජලය පානය කරන්නට මේ පේ‍්‍රතයනට මුඛයක් නැත.

අනුන් කෙරෙහි ද්වේෂයෙන් ඊර්ෂ්‍යාවෙන් දැවි දැවී සිට මිය ගියෝ මහා නිරා ගිනි මැද ඉපිද එහි ම මැරි මැරී නැවත ඉපදෙති. පින් දහම් කුසල් කළෝ දිව්‍ය විමන්වල ඉපිද දිව්‍ය සම්පත් විඳිති.

එසේ දිව සම්පත් විඳිමින් සිට කර්මානුරූපව තම පුණ්‍යකර්ම ශක්තිය ගෙවී ගිය විට එතැනින් චූතව යති. එසේ පුණ්‍යකර්ම ශක්තිය අවසන් වන විට ඒ දෙවියාගේ ඇඳුම් පැළඳුම් කිළිටි වී පැළඳ සිටින මල් පරවී යන බවත්, ඒ සලකුණුවලින් සිදුවන දෙය අවට සිටින දෙවිවරු දැන ගන්නා බවත් බෞද්ධ ග‍්‍රන්ථවල සඳහන් වේ.

එසේ තම ලොවෙන් සමුගන්නා දෙවියා වට කැර ගන්නා මිතුරු දෙවිවරු “ඉතෝ භෝ සුගතිං ගච්ඡා – මනුස්සානං සභාවපතං “ ආදි වශයෙන් උපදෙස් දෙති. “භවන! සුගතියට යන්න. මිනිසුනට උදව් කරන්න. සේවය කරන්නැ” යි උපදෙස් දෙති. දෙවියො සුගතිය ලෙස දකින්නේ මේ මිනිස් භවයයි.

මෙයින් අපට පැහැදිලි වන්නේ පින් දහම්වල කර්ම ශක්තිය ගෙවී ගිය විට නැවත වෙනත් භවයක් ලබන බවයි. එහෙත් කුසල් කරන විට ඒ කුසල ශක්තිය කිසි කලෙක ක්ෂය නොවේ.

එය භවයෙන් භවයට පාරමී බවට පුරුද්දක් බවට පත් වෙයි. දානය ද කුසලයක් කැර ගත හැක්කේ එය කිසිදු ලාභාපේක්ෂාවකින් තොරව ලබන්නාගේ යහපත පමණ ම අපේක්ෂාවෙන් සිදු කළ විට ය.

ප‍්‍රධාන තම කුසලය වන්නේ භාවනාවෙන් ලෝභ, ද්වේෂ, මෝහාදී ක්ලේශයන් යටපත් කිරීමෙන් (සමථ) හා කෙලෙස් මුලිනුපුටා දැමීමෙන් (විපස්සනා) සිත ශක්තිමත් කිරීම ය. භාවනා මධ්‍යස්ථානවලම, භාවනා කරන්නන්ට අවශ්‍ය පහසුකම් සැපයීමය.


Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

Categories

%d bloggers like this: