Posted by: lrrp | March 21, 2009

කපිලවස්තු පුරයෙන් හමුවූ ශාරීරික ධාතුන් වහන්සේ

ලෝ වැසි සමස්ත බොදුනුවන් ශී‍්‍ර දන්ත ධාතුන් වහන්සේ වන්දනාමාන කරනුයේ ජීවමාන බුදුන් වහන්සේ දැක චිත්ත ප‍්‍රසාදය ඇති කර ගත් හා සමාන බුද්ධාලම්භන පී‍්‍රතියෙනි. පුරා දොළොස් දිනක් මුළුල්ලේ පැවැති ශී‍්‍ර දළදා දැක්ම ඉකුත් දා නිම වූයේ ද බොදුනුවන් ගේ හද පත්ලෙන් නැඟී මහා සාධුකාර හඬ මධ්‍යයේ ය. වැසි පොදක් නැතිව කේඬෑරිව, මිලානව යමින් තිබු ගහ කොළ පවා දළදා සමිඳුන් ගේ ආනුභාවයෙන් විකසිත කරවන මහ වැසි ඇද හැළුණු අයුරු කවුරුත් දුටුවහ.


රනින් කරන ලද කූඩාරම සහිත ආධාරකය

ඒ අතර බුදුන් උපන් දේශයේත් තව තවත් ඉපැරැණි බෞද්ධ නටබුන් මතු වෙයි. ඒ පූජනීය උරුමය යළි පාදා ගැනීමට ඉන්දීය රජය ද අනවරත වෑයමක යෙදී සිටියි.

බෞද්ධ සාහිත්‍යයේ සඳහන් වන කිඹුල්වත්පුරය සැබැවින්ම කොතැන පිහිටියේ ද යනු කාලයක් යනතුරුම අනාවරණය වී නොතිබිණි. ඒ පිළිබඳව ලොව අන් බෞද්ධ රටවල් වෙතින් පළ වූයේ ද දැඩි අවධානයකි. එහි ප‍්‍රතිඵලයක් වශයෙන් ඓතිහාසික ගවේෂණ ආරම්භ විය. ඒ කිඹුල්වත්පුරය සොයා ගැනීමට ගත් වෑයමේදී කපිලවස්තුපුර චෛත්‍ය ගර්භයක තැන්පත් කැර තිබු බුදුන් වහන්සේ ගේ ශාරීරික ධාතුන් වහන්සේ සොයා ගනු ලැබු ආකාරය පිළිබඳ විස්තරයකි මේ.

ගෞතම බුදුරජාණන් වහන්සේගේ ජීවිතයේ වැදගත් සිදුවීම් සිදු වූ ස්ථාන වූ උත්පත්තිය සිදු වූ ලුම්බිණිය, බුද්ධත්වයට පත් වූ බුද්ධගයාව, ප‍්‍රථම මංගල දේශනාව පැවැත්වූ ස්ථානය වූ සාරානාත් සහ පිරිනිවන් පෑ ස්ථානය වූ කුසිනාරාව යන ස්ථාන හමු වී තිබුණ ද ගිහි කල ගත කළ කිඹුල්වත්පුර ශාක්‍යපුරය කාලයක් යනතුරුම සොයා ගත නොහැකිව තිබුණි.

කිඹුල්වත්පුර නගරයේ වැදගත්කම පිළිබඳව බොහෝ බෞද්ධ රටවලින් පළ වූ දැඩි උනන්දුවේ ප‍්‍රතිඵලයක් ලෙස ඉන්දීය රජයට කපිලවස්තු නගරය සෙවීමට සිදුවිය. මෙහි ප‍්‍රථම පියවර වශයෙන් වර්ෂ 1887 දී කපිලවස්තුපුරය පිළිබඳව කුඩා ලියවිල්ලක් කල්කටා කෞතුකාගාරයෙන් සොයා ගනු ලැබීය. ඒ කාලයේ කපිලවස්තුපුරය හැඳින්වූයේ, “පිපරාවා” යන නාමයෙනි.

පිපරාවා හෙවත් කපිලවස්තුපුරය සෙවීමට මහත් වූ වෙහෙසක් දැරූ, ඉංගි‍්‍රසි ජාතිකයකු වූ, එකල එම ප‍්‍රදේශය පාලනය කළ පාලකයා විසින් අඩි 10 ක් 15 ක් පමණ උසැති කඳු ගැටයක් සොයා ගනු ලැබීය. එහි ගර්භයෙන් රන්, රිදී, මුතු, මැණික් සහිත වූ ඉපැරැණි පෙට්ටියක් හමු වූ අතර, එම කැණීම් කටයුතු කළ ප‍්‍රදේශය වූයේ, වර්තමාන නේපාල ඉන්දීය දේශසීමා ප‍්‍රදේශයයි. වර්ෂ 1970 දී මෙම කඳු ගැටයේ පුරා විද්‍යා අධීක්ෂණය යටතේ තවදුරටත් කැණීම් කටයුතු සිදුකළ අතර, නැවතත් වර්ෂ 1978 දී කරනු ලැබු කැණීම්වලදි සර්වඥ ධාතූන් සහිත කරඬු සොයා ගැනිණි.

මෙම ධාතුන් වහන්සේ හමු වූයේ, ශාක්‍යවරුන් විසින් බුදුරජාණන් වහන්සේගේ ධාතූන් ලැබීමෙන් පසුව, නිදන්කර සාදනු ලැබු චෛත්‍යයකින් බව හඳුනා ගනු ලැබීය.

“ඉයං සලීල නිධනේ

බුද්ධත්ව භගවතේ,

සකියානං සපුත්ත ධලනේ”

වශයෙන් එහි සටහන් කර තිබී ඇත.

කපිල්වස්තුපුරයෙන් හමුවූ ධාතූන් වහන්සේ ගණන 22 දෙනමකි. එම ධාතුන් වහන්සේගෙන් කොටසක් ශී‍්‍ර ලංකාවට ලබා දෙන ලෙස වර්ෂ 1982 දී ලෝක බෞද්ධ නායකයින්ගේ සහ විද්වතුන්ගේ සම්මේලනයේදී ශී‍්‍ර ලංකාව විසින් ඉල්ලා සිටියද, එතෙක් ඉන්දියාවේ ජාතික කෞතුකාගාරයේ ගෞරවණීය ලෙස වැඩ සිටි ධාතූන් වහන්සේ ශී‍්‍ර ලංකාවේ ප‍්‍රදර්ශනය කිරීම සඳහා රැගෙන ආ පසුව, නැවතත් බාර දෙන අවස්ථාවේදී, ධාතූන් වහන්සේගෙන් කොටසක් ඉල්ලා සිටීමේදී, අනෙකුත් රටවලින් ද එවැනි යෝජනා ඉදිරිපත් කෙරෙනු ඇතැයි පැවසූ ඉන්දීය රජය ශී‍්‍ර ලංකාවේ යෝජනාව ප‍්‍රතික්ෂේප කර තිබේ.

නැවතත්, කපිලවස්තු සර්වඥ ධාතු ප‍්‍රදර්ශනය, වර්ෂ 1987 දී ශී‍්‍ර ලංකාවේ පවත්වා තිබේ.


තැන්පත් කර ඇති ශාරීරික ධාතුන් වහන්සේ

එදා සිට අද දක්වාම දිල්ලි කෞතුකාගාරයේ දැඩි රැකවරණ මධ්‍යයේ අප ගෞතම බුදුරජාණන් වහන්සේගේ සර්වඥ ධාතූන් වහන්සේ විරාජමානව වැඩ සිටිති.

සර්වඥ ධාතූන් වහන්සේ තැන්පත් කර ඇති රනින් කරන ලද කූඩාරම සාදා ඇත්තේ රත්රන් ග්රැම් 109 කිනි. සැරසීමට දියමන්ති උපයෝගී කරගෙන තිබේ. ඉතා දර්ශනීය ලෙස සියුම් කැටයමින් ඝන රන් තහඩුවෙන් ගෘහය නිමවා තිබේ.

තායිලන්ත රාජකීය රජය විසින් මෙම රනින් කරන ලද කූඩාරම සහිත ආධාරකය, ඉන්දියාවේ දිල්ලි ජාතික කෞතුකාගාරයට ගෞතම බුදුරජාණන්වහන්සේගේ සර්වඥ ධාතූන් වහන්සේලා තැන්පත් කිරීම සඳහා පරිත්‍යාග කර ඇත්තේ, වර්ෂ 1997 දීය.

මෙම වීදුරු කූඩුව ඉතා ආරක්ෂා සහිතව වෙඩි නොවදින ලෙස සකසා තිබීම විශේෂත්වයකි. තවද, විශේෂ ආරක්ෂක කුටියක සර්වඥ ධාතුන් වහන්සේ තැන්පත් කර තිබීම ද නවීන ආරක්ෂක කැමරා සවිකර තිබීම ද වැදගත් වන අතර, ආරක්ෂක භටයින්ට ද නිරතුරුවම ධාතූන් වහන්සේගේ ආරක්ෂාවට යොදවා සිටිනු දක්නට ලැබේ.


Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

Categories

%d bloggers like this: