Posted by: lrrp | March 21, 2009

මුදලට යටවී සිල්පද බිඳී අමනුස්සයන් බලවත් වූ හැටි

භාවනා ක‍්‍රම භාවිත කොට යම් යම් තත්ත්වවලට ස්වකීය චිත්ත ශක්තිය දියුණු කැර ගත් යෝගීහු තමන් කරා එන දුකට පත්වූවනට පිහිට වෙති. මේ හැම කෙනෙක් ම පාහේ තමන් ගොඩ නඟා ගත් ආධ්‍යාත්මීය ශක්තියට අනුව රෝගීන් සුවපත් කිරීම වැනි කටයුතුවල සද්භාවයෙන් යෙදෙති. කෙනෙකුට රෝගයක් වැළඳුණු විට කර්මානුකූලව ඊට භූතයින්ගේ සම්බන්ධකම් ඇතිවන අවස්ථා ද බොහෝය.

මෙසේ ආධ්‍යාත්මීය ශක්තියෙන් අනුන්ට පිහිටවීමට කටයුතු කරන යෝගීහු තමන්ට හැකි ප‍්‍රමාණය ඉක්මවා යෑම නිසා ද, බොහෝ දෙනාගේ ඉල්ලීම් ඉටු කරන්නට යෑම නිසා ද අවුල් තත්ත්වයනට මුහුණ පෑමට සිදුවන අවස්ථා ද ඇත. මිනිසාගේ සාමාන්‍ය ඇසට නොපෙනෙන සත්ත්ව කොට්ඨාස පිළිබඳ කටයුතු කරන්නට යෑමේ දී භෞතිකවාදීන්ගේ විවේචනවලට ලක් වන අවස්ථා ද විරල නැත.

බි‍්‍රතාන්‍ය පාලනයට යටත්ව පැවති යුගයේ ශ‍්‍රී ලංකාව දැඩි නියඟයකට ගොදුරු වීය. කුඹුරු ගොවිතැන් වියැළී ගොස් බොහෝ දෙනෙකුට බොන්නට වතුර ටිකක් සොයා ගැනීමට පවා අසීරු විය.

එදා සිංහල ප‍්‍රභූවරු ඉංග‍්‍රීසි ආණ්ඩුකාරයා හමුවී දන්ත ධාතූන් වහන්සේ ප‍්‍රදර්ශනය කළහොත් වර්ෂාව ලැබෙන බව පැවසූ විට අපේ මතිමතාන්තර පිළිනොගත් ආණ්ඩුකාරයා වෙනත් කළ හැකි දෙයක් ද නොවූ බැවින් “උඹලාගේ ධාතුවට පුළුවන් නම් වස්සවපල්ලා”යි උපහාසයෙන් පැවසීය.

ඒ අනුව දළදා වහන්සේ වැඳ පුදා ගැනීමට ජනතාවට අවස්ථාව සැලසූ විට වසර ගණනක් පැවැති නියඟය දුර්භික්ෂය අවසන් කරමින් මහ වැසි වැටෙන්නට වීය. එය “දළදා වතුර” නමින් ඉතිහාස ගතවීය.

පසුගිය දිනවල ද මාස ගණනකින් වැහි පොදක් නැතිව දුක් විඳි ජනතාවට සහනය දෙමින් 2009 මාර්තු මස 06 වැනි දින දන්ත ධාතූන්වහන්සේ ප‍්‍රදර්ශනය කිරීම ජනාධිපතිතුමන්ගේ ප‍්‍රථම පූජා සත්කාරයෙන් ආරම්භ වෙද්දී (ප.ව. 1ට) ඉතා ම සිහින් පොදක් වැටිණි. ප.ව. 5ට එදින ප‍්‍රදර්ශනය අවසන් කරනවාත් සමඟ ම මහා ධාරාණිපාත වර්ෂාවක් මහනුවර නගරයට කඩා හැලෙන්නට වීය.

මේවා ආනුභාව – හාස්කම් – ප‍්‍රාතිහාර්ය ලෙස සලකනවා මිසක් වෙනත් ආකාරයකින් භෞතිකවාදීන්ට පැහැදිලි කරන්නට පහසු නැත. ඒ තරම් උවමනාවක් ද අපට නැත. මහනුවර ශ‍්‍රී දළදා මාලිගයට වසර ගණනාවක සිට සම්බන්ධව කටයුතු කරන හිටපු අධ්‍යාපන අධ්‍යක්ෂ කේ.මීගහකුඹුර සහ අශෝක අබේසේකර යන මහත්වරු ඒ ගැන මෙසේ පවසති.

”අපේ සේවා කාලයත් අවුරුදු විස්සක් තිහක් වෙනවා. ඈත අතීතයේ වගේ ම අප දන්නා කාලවලත් දළදා වහන්සේ ප‍්‍රදර්ශනයට වැඩමවන විට අනිවාර්යයෙන් ම වහිනවා.

ජීවමාන බුදු රජාණන් වහන්සේට මෙන් ම සියලු වතාවත් සිදු කරන මේ ස්ථානයේ පවතින හාස්කම් තර්කයට ගෝචර වෙන්නේ නෑ. ඒත් සිදුවීම ඇත්තයි. “84000 ධර්මස්කන්ධයක ස්පර්ශය ලැබූ දළදා හාමුදුරුවන් වෙනුවෙන් විශ්ව ශක්තියක් කි‍්‍රයාත්මක වෙනවා” යනුයි.

මහනුවර හන්තාන කඳු මුදුනේ පිහිටි උල්පත් කන්ද ආරණ්‍ය සේනාසනාධිපති වැල්ලවත්තේ ශීල ගවේෂී හිමියෝ මේ විශ්මිත ප‍්‍රාතිහාර්යයන් පිළිබඳ මෙසේ විස්තර කරති.

සාමාන්‍ය මිනිසුනට වඩා සම්‍යක් දෘෂ්ටි දෙවි දේවතාවෝ ශ‍්‍රද්ධාවෙන් ඉහළය. එසේ වුවද පන්සිල්හි පිහිටා දැහැමිව ජීවත්වන මිනිසුනට ශක‍්‍ර දේවේන්ද්‍රයෝ ද නමස්කාර කරති. එසේ නම් වැස්ස වලාහක දෙවිවරු හා අනිකුත් දෙවි දේවතාවුන් පිළිබඳ කියනුම කවරේද? සමාජයේ යහපත් අන්දමින් ජීවත් වූ ගුණවත් සිල්වත් මිනිසුනගේ මරණයෙන් පසු අවසන් කටයුතු කරන අවස්ථාවල සිරිපොද වැස්ස වැටෙන අවස්ථා බොහෝය.

එසේ ම වර්ධනය වූ අභ්‍යන්තර චින්තජ ගුණය ඉදිරියේ සොබා දහම පවා කම්පනය වේ. එසේම මිනිසාගේ ඒකාග‍්‍ර කළ විඤ්ඤාණ ශක්තියත් විශ්ව ශක්තියත් අතර සම්බන්ධයක් පවතී. ප‍්‍රතිචාර දක්වයි. එංගලන්තයේ එක්තරා භික්ෂුවක් බෝධි පූජා පවත්වන විට, එතැනට නොවැස හාත්පස අවට ප‍්‍රදේශයට වැසි වැටෙන කතාව ප‍්‍රසිද්ධ කාරණයකි.

දෙහිවල බෙල්ලන්තර සිරි සදහම් ආශ‍්‍රමයේ ශ‍්‍රී මහා බෝධි ශාඛාවක් රෝපණය කළ අවස්ථාවේත් එවැන්නක් සිදු වුණා. එදා දවස ම ඒ ප‍්‍රදේශයට ධාරාණිපාත වර්ෂාව. ඒත් ආශ‍්‍රම භූමියට වැස්සේ නැහැ. බෝධි ශාඛාව රෝපණය කරන විට හීන් හිරිපොදක් වැටුණා. රෝපණය කර අවසන් වන විට ම මහ වැස්ස කඩා හැළුණා.

ඒ අවස්ථාවේ ප‍්‍රංශයේ ප‍්‍රධාන සංඝනායක ආචාර්ය පරවාහැර චන්දරතන නාහිමියෝත් එතැන වැඩ හිටියා. මේ සියලු කාරණාවලට ම ප‍්‍රතිපත්තිය (ශීලය) ශ‍්‍රද්ධාව හා විශ්වාසය අවශ්‍යයි.

අද බොහෝ දෙනකුට ආගම දහම මතක් වෙන්නේ දුකක් කරදරයක් විපතක් සිදු වූ විට පමණ ය. අන්තයට ම අසරණ වූ විට අවස්ථාවාදී ශ‍්‍රද්ධාවක් මතු වෙයි. මෙතෙක් කළ හැකි දෙයක් නොවූ විට විශ්වාසය තබයි. කාරිය කෙරෙන තුරු පමණක් ප‍්‍රතිපත්තිය හෙවත් ශීලය ආරක්ෂා කරයි.

තරුණ වියේ දී තමන් කළ රැකියාවල් පවා අතහැර පැවිදිව භාවනා යෝගීව ගොඩ නඟා ගත් චිත්ත ශක්තියෙන් දුකට පත් වූවනට සද්භාවයෙන් ම පිහිටවන මේ යෝගීවරයා සොයා ගෙන යාමේ අවස්ථාව මට උදා විය. මහනුවර ;පාලිස් අධිකාරි කාර්යාලයේ චමල් ජයසිංහ මහතා සහ මහනුවර මහ රෝහලේ හෙදි නිලධාරිනී නයෝමි මල්ලවාරච්චි මහත්මිය විසින් කරන ලද විස්තරයක් අසා උන්වහන්සේ මුණගැසීමේ උනන්දුව මට පහළ විය.

හන්තාන කදු මුදුනේ ඉතා සුන්දර තුරු වදුලක් යට පිහිටි අසපුවක උන්වහන්සේ භාවනා කරති. 1963 ජනවාරි මස 16 වෙනි දින වැල්ලවත්තේ දී ලලිත් ශිරන්ත ප‍්‍රදීප් කුමාර නමින් ඉපිද තරුණ වියේ මහාමාර්ග දෙපාර්තමේන්තුවේ වැදගත් රැකියාවක යෙදුණත් ඒ රැකියාවේදී ප‍්‍රධානීන් වෙනුවෙන් අයුතු වැඩ කළ යුතු වූ බැවින් ඔහු රැකියාව අත්හළේය.

ඉන්පසු සමාජ සේවා ආයතනයක ප‍්‍රජා සංවර්ධන ව්‍යාපෘතියක් බාරව කටයුතු කළේය. බීමත් වැඩිහිටියන් මතින් මුදා ගැනීමට කටයුතු කිරීම ඔහුට බාර වීය. බීමට ඇබ්බැහි වූවන්ව සිල් සමාදන් කළ යුතුවූ අතර ඒ සමඟ 27 හැවිරිදි ලලිත් ශිරන්ත ද සිල් සමාදන් වූයේ ය. මේ සිල් සමාදන්වීම කෙළවර වූයේ 1990 ජූනි මස 29 වෙනි දින වැල්ලවත්තේ ශීල ගවේෂී නමින් ප‍්‍රවෘජ්‍යා ශීලය සමාදන් වීමෙනි.

උඩරට අමරපුර නිකායේ ලේඛකාධිකාරී නියංගොඩ සමිද්ධ මංගල හිමියන්ගේ ශිෂ්‍යයකු ලෙස මෙසේ පැවිදි වූ ශීල ගවේෂී හිමියෝ සියල්ල අතහැර භාවනාවට ම යොමු වූහ. එයින් ගොඩනඟා ගත් ආධ්‍යාත්මීය ශක්තියේ බලයෙන් අද දුකට පත්වූවනට සෙත සලසති.

ආධ්‍යාත්මයේ ගොඩ නඟා ගත් චිත්තජ ශක්තියෙන් උන්වහන්සේ දුකට පත්වූවනට පිහිට වන විස්මිත හැකියාවන් පිළිබඳ විමසා බැලීමේ කැමැත්තෙන් චමල් ජයසිංහ මහතා සමඟ එහි ගොස් පිළිසඳෙරෙහි යෙදුණෙමි.

”හැකියාවට වඩා මහත්මයා මගේ ළඟ තියෙන පුංචි නොහැකියාව ගැන කලින්ම කතා කරන්න ඕනෑ. අපේ රටේ මිනිස්සු දුවලා දුවලා බැරි ම තැන දෙය්යන් බුදුන් සිහිවෙලා අපි ළඟට දණගාගෙන එනවා. මේ අයට යහපතක් කරන්න නම් ප‍්‍රතිපත්ති ශීලයක පිහිටුවන්න ඕනෑ. අකුසල කර්ම විපාක යටපත් කරන්න කුසල කර්මවල යොදවන්න ඕනෑ.

අපි නියම කරන පිළිවෙත් වලින් සනීප වූ හැටියේ ම මේ අයට ආයෙත් දෙය්යන් බුදුන් මතක නැහැ. අන්න එතකොට මට මූණට බනින්න හිතෙනවා. අපි කිසිම මුදලක් අය නොකර සත් භාවයෙන් පිහිට වුණාය කියා අපට සතුටු වෙන්නවත් බැරි විදිහට මේ අය ආයෙමත් අර ජරා ජීවිතයට ම වැටෙනවා. ඉතින් මට මගේ කට පාලනය කරගන්න අමාරු වෙනවා. ඒකයි මම නොහැකියාව කීවේ.

පස් පවේ ගැලෙමින් අසීමිත තණ්හාව හා අනුන් කෙරෙහි ඇති ද්වේෂය නිසා ම මිනිසුන්ගේ අතීත අකුසල කර්ම විපාක පල දෙන්න ඉස්මතු වෙනවා. අන්න ඒ වෙලාවට කර්මානුරූපව ම අමනුස්සයන්ගේ බලපෑමක් ඇතිවෙනවා. ඒ වගේ අයට ලෙඩක් දුකක් හැදුණාම තත්ත්වය බරපතළ වෙනවා.

මහනුවර ප‍්‍රදේශයේ ප‍්‍රසිද්ධ ව්‍යාපාරිකයෙක් පිළිබඳවයි මේ කතාව. මිනිහට ව්‍යාපාර හත අටක්ම තිබුණා. දිනපතා ලක්ෂ ගණනක ආදායම ලැබුණා. මේ මනුස්සයට ලෞකිකය ගොඩනඟන්න, ආර්ථිකය තව තවත් ඉහළට ගෙනියන්න මිසක් ආධ්‍යාත්මීය පැත්ත ගැන හිතන්නවත් වෙලාවක් තිබුණේ නැහැ. මෙහෙම යන කොට ඔහුට අසනීප තත්ත්වයක් ඇතිවුණා.

මිනිහා ලොකු ලොකු දොස්තර මහත්තුරු ළඟට ගියා. ලොකු ලොකු පෞද්ගලික රෝහල්වලට ගියා. ලක්ෂ ගණන් වියදම් කළා. ලෙඩේ අහුවුණේ නෑ. අන්තිමට කොළඹ මහ රෝහලට ගියා කරන්නම දෙයක් නැති තැන. එතැනදී ඔහුගේ උදරයේ පිළිකාවක් ඇති බව අනාවරණය වුණා. අන්න මරණ බය ඇතිවුණා.

බටහිර ක‍්‍රමයේ ප‍්‍රතිකාර කරන අතරේ මිනිහාට දෙය්යන් බුදුන් ගැන මතක් වුණා. දේවාල ගාණෙ ගියා. බාර හාර වුණා. කොහොම වුණත් දැන් පිළිකාව පැතිරෙන තැනටත් ආවා. අන්තිමට කාගෙන් දෝ දැනගෙන මා හොයාගෙන ආවා.

මම මගේ ප‍්‍රතිපත්ති ශීලය අධිෂ්ඨාන කොට ඔහුගේ උදරයේ පිළිකාව ඇති තැනට මගේ දෑත් යොමු කොට චිත්තජ ශක්ති තීරණවලින් ආශිර්වාද කළා. දුකට පත් මේ පුද්ගලයා සුවපත් වේවා කියා. මෙහෙම දින කීපයකින් ඔහු රෝග පරීක්ෂා කළාම දැන් රෝගය පැතිරීමේ තත්ත්වය නතර වී ඇති බව දැනගත්තා. දැන් මිනිහාට හරි සතුටුයි. දැන් ඕනෑකම නිට්ටාවට සුවය ලබන්න.

මහත්මයා! අපි ඉතා ම මහන්සියෙන් කැප වීමෙන් භාවනා කර ගොඩ නඟා ගන්නා චිත්තජ ශක්තිය වුණත්, අනුන්ගේ අකුසල කර්ම විපාක මඟ හරවන්න කරුණා මෛති‍්‍රයෙන් කළත් ඒකෙත් සීමාවක් තියෙනවා. දවසක් මම ඔහුට සෙත් කරන කොට මාව ක්ලාන්ත කොට වැටුණා. එහෙමත් සිද්ධ වෙන අවස්ථා තියෙනවා. ඒත් අපි ඒ කටයුත්ත කරුණාවෙන් කරනවා.

ඉතින් මම ඔහුට කීවා මේ අතීතයේ කළ බරපතළ අකුසලයක් පලදෙන අවස්ථාව. මේ අකුසලය යටපත් කරන්න බරපතළ කුසල කර්මවල යෙදෙන්න ඕනෑ කියා. ඔහු සිටින දුර්වල තත්ත්වය උඩ භාවනාවක් කරන්නත් අමාරු නිසා මම ඔහුට දිනපතා මාසයක් බෝධිපූජා කොට පිරිත් කියන්න නියම කළා.

තෙරුවන් වැඳ ශ‍්‍රද්ධාව උපදවාගෙන මෝර පිරිත විසි එක් වතාවක් හා තවත් පිරිත් කීපයක් දිනපතා සජ්ඣායනා කරන්න නියම කළා. ඒ වගේම නිතර මෛතී‍්‍ර සිතුවිලි ගොඩ නඟා ගෙන විවේකීව ජීවත් වෙන්න නියම කළා.

එහෙත් ඔහු නැවත සති දෙකකින් මා සොයාගෙන ආවා. රෝගය උත්සන්න වෙලා. නැවත රෝගය පැතිරෙන තත්ත්වයට පත්වෙලා කියලා. ශරීරයත් හොඳටම කෙට්ටු වෙලා. දුර්වල වෙලා.

මම ඔහුගෙන් ඇහුවා මා නියම කළ පිළිවෙත් ඉටු කළා ද කියා. ඔහු කියනවා “අනේ! හාමුදුරුවනේ! මට තවත් අලුත් ව්‍යාපාරයක් පටන් ගන්න සිද්ධ වුණා. ඒ නිසා ඒ නියම කළ පිළිවෙත් ටික නම් කරගන්න බැරි වුණා. චන් දොස්තර මහත්වරුත් කියනවා රෝගය පැතිරිලා කියා. අනේ හාමුදුරුවනේ! මගේ ජීවිතය බේරා දෙන්නැ”යි කියා වැඳ වැටුණා.

මම ඔහුට කීවා “බලනවා තමුසේ බිස්නස් ගණනාවකින් ආදායම් ලබනවා. පිනක් දහමක් කළේ නෑ. පිළිකා රෝගයෙන් වේදනාවෙන් මා හොයාගෙන ආවා. මම තාවකාලිකව වේදනාව අඩු කර පැතිරීම වළක්වා ඊළඟට කළ යුතු පිළිවෙත් නියම කළා. තමුසේ මරණයට නියම වුණු කෙනෙක්.

ඔය තරම් ආදායම් ලබද්දිත් ඒත් මදිව, අසීමිත තණ්හාවෙන් අන්ධ වෙලා ජීවිතය බේරා ගන්න හෝ මරණය තව ටිකක් කල් දා ගන්න හෝ නියම කළ පිළිවෙත අමතක කර අලුත් බිස්නස් පටන් ගන්න ගියා. දැන් ඉතින් මම මොනවා කරන්නද? දැනුත් පුළුවන් නම් මම කලින් නියම කරපු පිළිවෙත ම මාසයක් එක දිගට කරනවා.

තමන් ගේ අකුසලකර්ම විපාකය තමන් ම ගෙවන්න ඕනෑ. එහෙම නැත්නම් තමන් ම උත්සාහයෙන් වළක්වා ගන්න ඕනෑ” කියා අවවාද කළා.මේ ව්‍යාපාරිකයාට උවමනා වුණේ වෙහෙසෙන්නේ නැතිව, කැපවෙන්නේ නැතිව, වියදම් නොකර මා ලවාම කර්මය පිසදා ගන්න. එහෙම කරන්න බෑ. ඊට සතියකට විතර පසු ඔහු මළාය කියා ආරංචි වුණා.

මහත්මයා අපලය, ඒරාෂ්ටකය අපලය කියන්නේ පූර්ව අකුසල ගෙවන්න යෙදෙන කාලය. ඒ කාලයේදී ජීවිතය තෙරුවනට පූජාකර කුසල්වල යෙදෙන්න ඕනෑ. අනිවාර්යයෙන් භාවනා කරන්න ඕනෑ. අපේ මිනිස්සු යම් පිළිවෙතකින් තාවකාලික සුවයක් ලැබූ හැටියේ නැවතත් පරණ පුරුදු ජීවිතේට වැටෙනවා. කෙනෙක් රෝගීව දුර්වල වුණාම අමනුෂ්‍යයෝත් බලපෑම් කරනවා.

මේ අය මස් මාළු කරවල, පුළුටු කන කොට, මත්පැන් බොන කොට අමනුෂ්‍යයාත් ඒ තුළින් බලවත් වෙනවා. පෝෂණය වෙනවා. මේ ව්‍යාපාරිකයාත් ඒ වගේ ඇති. ආයෙත් මත්පැන් බොනවාය කියන්නේ පන්සිල්වලින් සිල්පද තුනක්ම කඩා ගන්නවා.

මිත්‍යා රස කාමයට යටවෙනවා. පන්සිල් රකිනවා ය කියා බොරු කියනවා. මත්පැන් බොනවා. තුන්වැනි, හතරවැනි, පස්වැනි සිල්පද තුනම කඩා ගන්නවා. අමනුෂ්‍යයා ජය ගන්නවා’ යි ශීල ගවේෂී හිමියෝ පැවසූහ.


Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

Categories

%d bloggers like this: