Posted by: lrrp | March 30, 2009

පුංචි පුතුට කිරිබත් කැවූ මියගිය අම්මා

කෙනකු තමන් ගේ දරුවකු හෝ පවුලේ වෙනත් කෙනකුට හෝ පිටස්තර පුද්ගලයකුට හෝ තම ධනය හා ශ‍්‍රමය වැය කොට යම් කිසි උපකාරයක් කරන්නේ නම් තමන්ට ද අවශ්‍යතාවක් ඇති වූ විට, කලින් තමන්ගෙන් උදව් උපකාර ලැබූ අයගෙන් තමන්ට ද ප‍්‍රතිඋපකාර ලැබේ. එසේ ම තවත් කෙනකුට හානියක් පීඩාවක් කළොත් ඊට ද සුදුසු වේලාවක් එළඹි සැණින් ඔවුන්ගෙන් ද තමන්ට දුකට හේතු වන්නා වූ කරදර පීඩා සතුරුකම් සිදුවනු ඇත.

කර්මයේ කි‍්‍රයාකාරිත්වය ද එසේ ම ය. කරුණාව මෙතී‍්‍රය පදනම් වූ සිතකින් යහපත් චේතනාවෙන් සිදු කරන පුණ්‍ය කර්මයට හෝ කුසල කර්මයට යහපත් ප‍්‍රතිඵල ද තරහ වෙර ක්‍රෝධ ඊර්ෂ්‍යාදී සිතකින් සිදු කරන පාප කර්මයන්ට අයහපත් ප‍්‍රතිඵල ද ලැබීම අනිවාර්යයෙන් සිදු වේ. ලෝක ස්වභාවය එයයි. ඊට ආගම් භේදයක් නැත. තල වපුරන්නාට තල අස්වනු ද අමු වපුරන්නාට අමු අස්වනු ද මිසක වෙනත් පලයක් නොලැබෙන්නේ ම ය. මේ සියල්ල සිදුවන්නේ තමන්ගේ සන්තානයේ රැස්වන්නා වූ උපාදාන සංයුතිය නිසා ය.

අපේ පාඨකයකු වන වත්තල හේකිත්තේ ලක්ෂ්මන් රණසිංහ මහතා අප වෙත ලියා එවා ඇති සිද්ධියක් සිතේ බලය, සිතේ කි‍්‍රයාකාරිත්වය කොයිතරම් දුරට බලපාන්නේ දැයි සිතා ගැනීම සඳහා ඔබට ඉදිරිපත් කරමි.

ලක්ෂ්මන් රණසිංහ මහතා දැනට පනස් නව වැනි වියේ පසු වන දෙදරු පියෙකි. මේ සිද්ධිය සිදුවී ඇත්තේ මීට අවුරුදු හතළිස් නවයකට පෙර එනම් ලක්ෂ්මන්ට වයස අවුරුදු දහයේ දී ය.

ලක්ෂ්මන් ගේ මව හදිසියේ ගින්නකට හසු වී මරණයට පත් වූවා ය. ඉන් පසු අක්කාත්, අයියාත්, සත් හැවිරිදි නංගීත්, පියාත් සමඟ ලක්ෂ්මන් ගෙවූයේ ඉතා දුෂ්කර අවධියකි. දවසේ ජීවනෝපාය සොයා ගැනීමට පියා නිවසින් පිටවී ගිය පසු මේ දරුවන් සිව් දෙනාගේ තනි නොතනියට නිතර ම සිටියේ දුකත් කනගාටුවත්, කඳුළත් පමණි. දහසක් ආර්ථික දුෂ්කරතා මධ්‍යයේ දිවි ගෙවූ ඔවුන්ට කුසගින්න සාමාන්‍ය දෙයක් බවට පත් විය.

එහෙත් පාසල් ගොස් ආපසු ගෙදර එන විට ලක්ෂ්මන්ට නම් කෑමට මොනවා හරි නිවසේ තිබිය යුතුම ය.

ඒ වෙලාවට මතු වී එන කුසගින්න නම් ඔහුට විඳ දරා ගන්නට නොහැකි ම දෙයක් විය. එය ඔහුගේ මිය ගිය මෑණියන් ද හොඳින් දන්නා කාරණයකි. පාසලේ සිට ආපසු පැමිණ නිවසට ළඟා වන විට බඩ අල්ලා ගෙන “අම්මේ! බඩගිනියි” කීම ඔහුගේ පුරුද්දක් විය. මවගේ මරණයෙන් පසුව ද ඉස්සර මෙන් හඬ නඟා නොකීව ද හෙමින් සීරුවේ

“අම්මේ! බඩ ගිනියි අම්මේ” යි ලක්ෂ්මන් ගේ මුවින් පිට වෙයි, එය පුරුද්දට කියැවෙන දෙයක් නොව උදේ වේල ද හරියට නො ලද නිසා ආමාශයේ ගැඹුරු ම තැනින් මතු වන කුසගින්නත් සමඟ ම කියැවෙන්නකි.

අම්මා ජීවත්ව සිටිය දී මෙන් නොව දැන් ලක්ෂ්මන්ගේ මුවින් එය පිටවන්නේ දෙනෙතින් රූරා වැටෙන කඳුළුත් සමඟ ය. වෙනදා තමන් එනතුරු ගේ දොරකඩට වී මඟ බලා සිටින අම්මා අද නැත. අම්මා අද පෙනෙන්නට නැත.

අම්මා ලෝකයේ කොතැනක ඉපිද සිටියත් මේ නොදරුවාගේ කුසගින්නත් සමඟ පිට වන වේදනාත්මක සංවේගී චිත්තජමය අධිවේගී තරංග (ශක්තිය) අම්මා ගේ විඤ්ඤාණය කරා ගලා යන බව නම් එය දකින ඕනෑම කෙනකුට සිතේ.

දිනක් ලක්ෂ්මන් පාසල ඇරී ගෙදර ආවේ ය. ඒ වනවිට නිවසේ කිසිවෙක්වත් නොසිටියහ. අක්කාත් අයියාත් නංගීත් නුදුරෙහි ඇති ඇළට (සුප‍්‍රසිද්ධ හැමිල්ටන් ඇළට) දිය නාන්නට ගිය බව අසල්වැසියකුගෙන් ඔහුට දැන ගන්නට ලැබිණි. නිවසට ගොස් පාසල් ඇඳුම් ලිහා දමා කලිසම් කොටයක් හැඳ ගත් ලක්ෂ්මන් කුස්සියට කර පොවා බැලුවේ ය. මේසය මත කෙසෙල් කොළයක දවටන ලද යමක් ඔහු දුටුවේ ය.

එය ලිහා බලන විට කිරිබත් කෑලි දෙකකි. ලක්ෂ්මන් කිරිබත් කෑලි දෙක අනුභව කොට කෙසෙල් කොළය මිදුලට විසි කැර දැම්මේ ය.

ඉන් පසු ලක්ෂ්මන් ද දිය නාගන්නට ඇළ දෙසට යන්නට සූදානම් වන විට අක්කාත් අයියාත් නංගීත් ආපසු එමින් සිටියහ.

නංගිගේ අතේ පාන් ගෙඩියක් ද වීය. ලක්ෂ්මන් දිය නෑමට යෑමේ අදහස අතහැර සරුංගලය ද රැගෙන පිට්ටනියට යෑමට සූදානම් විය.

“මල්ලී! පාන් කාලා යන්නැ’යි අක්කා ලක්ෂ්මන්ට කීවාය.

“එපා අක්කේ! මම කිරිබත් කෑවා” ඔහු පිළිතුරු දුන්නේ ය.

“කිරි බත්? කොයින්ද කිරිබත්?”

“ඇයි ඔය කුස්සියෙ මේසය උඩ තිබුණේ”

“නැහැ. මල්ලී! අද ගෙදර කිරිබත් හැදුවෙත් නෑ. වෙන කවුරුවත් කිරිබත් ගෙනත් දුන්නෙත් නෑ. ඉතින් ඔයා කොහොමද කිරිබත් කෑවේ.”

“ඇත්තමයි අක්කේ! කුස්සියේ මේසය උඩ තිබුණා. කෙසෙල් කොළයක ඔතපු කිරිබත් කෑලි දෙකක්. මම ඒක කෑවා. එන්න පෙන්නන්න ඒවා ඔතල තිබුණ කෙසෙල් කොළය” යැයි ලක්ෂ්මන් මිදුලේ කෙසෙල් කොළය ඉවත ලූ තැනට ගියේ ය.

පුදුමයකි. සුළු වේලාවකට පෙර එතැනට විසි කරන ලද කෙසෙල් කොළය ද අතුරුදහන් වී තිබිණි. එදා මෙදාතුර ගෙවී ගිය හතළිස් නව වසර පුරා මෙය තවමත් මතකයේ ප‍්‍රතිරාව දෙන විස්මයකි. ඒ වනවිට ලක්ෂ්මන් ගේ මව මිය ගොස් මාස තුනකට වඩා ගතව තිබුණේ ද නැත.

එසේ ම වසර ගණනාවක් යන තුරු ම තම පවුලේ අයට විවිධ වූ දුක් කරදර පීඩාවන්ට මුහුණපෑමට සිදුවූ සෑම අවස්ථාවක ම පාහේ ඒවා වළකාලූ අදිසි හස්තයක් කි‍්‍රයාත්මක වූ බවත් ලක්ෂ්මන් පවසයි. තමන් ගේ මිය ගිය අම්මාගේ ආත්මය නිතර ඔවුන් සමඟ සැරි සැරූ බව ලක්ෂ්මන් ගේ විශ්වාස ය. කිරිබත් සිද්ධිය වැනි සිදුවීම් ගණනාවක් තමන් ගේ අතීතයේ සිදුවී ඇති බව ද ඔහු පවසයි.

මෙවැනි දේ සිදුවන්නේ මිය යන පුද්ගලයන් ගේ චිත්ත සන්තානයේ චුති ප‍්‍රතිසන්ධි ගැළපෙන අවස්ථාවේ කි‍්‍රයාත්මක වන උපාදානමය ඇලීම් හා ගැටීම් නිසා ය. ආශාව තණ්හාව හා බැඳුණු ඇලීම් නිසා මිය ගිය පුද්ගලයන්ගේ ඇල්ම බැල්ම කි‍්‍රයාත්මක වන අතර අකුසලමය කර්ම විපාක නිසා සමහරු ඒ නිවෙස්වලට තිරිසන් යෝනියෙන් බල්ලන්, බළලුන්, ගැරඩින් වැනි විවිධ වූ සතුන් ලෙස ද උපදිති. ඒ ඇල්මේ විපාකයයි. ගැටීමේ විපාකය සිදුවන්නේ ද තණ්හාව, ඊර්ෂ්‍යාව, තරහව, වෙර, ක්‍රෝධ ආදී සිතුවිලි නිසා ය. මෙහිදී ලක්ෂ්මන් ගේ මව මිය යන විට තමන්ගේ අහිංසක නොමේරූ දරු හතර දෙනා පිළිබඳ ආදරය, කරුණාව පදනම්ව ඔවුන් කෙසේ ජීවත්වේ දැයි දුකට පත්වූ සිතුවිලි ගොඩ නැඟෙන්නට ඇත.

මේ ‘ගැටීම’ පදනම් වූ තවත් සිද්ධියකි. රත්රන් ආභරණ පිළිබඳ දැඩි ආශාවක් දැක්වූ කාන්තාවක් වූවා ය. දිනක් ඇය හදිසි රිය අනතුරකට ලක් වූවාය. ඒ අසල සිටි කෙනකු විසින් ඇය වාහනයක දමාගෙන රෝහලට ගෙන යනු ලැබුවා ය. රෝහලට ගෙන ගිය සැණින් ඇය සිටි බරපතළ තත්ත්වය නිසා ම එහි සිටි රෝහල් සේවකයෙක් රෝගියා ට්‍රොලියක පටවා ගෙන සැත්කම් කාමරය දෙසට ගෙන ගියේ ය. ඇය ගෙන ආ පුද්ගලයා රෝගියා බාරදීමේ සටහන් ලිවීමට දායක වෙමින් සිටියේ ය. රෝගියා රැගෙන ගිය සේවකයා ඇගේ අතේ තිබුණු රත්රන් වළල්ල ද, මුද්ද ද දෙකනේ පැළඳ සිටි කරාබු යුගලය ද වහා ගලවා ගෙන සාක්කුවේ දා ගත්තේ ය. කරාබු යුගලය ගලවන විට රෝගියා දෑස් ලොකු කැර ඔහු දෙස බැලූ බැල්ම ඉතා තියුණු විය.

ඒ සමඟ ම වාගේ තුවාලකාරිය අවසන් හුස්ම හෙළුවාය. සේවකයා ද සැනසුම් සුසුමක් හෙළුවේ ය. කෙසේ නමුත් මේ සිද්ධිය තවත් හෙදියක ගේ නෙතට ද යොමු විය. පිරිමි සේවකයින් සමඟ ගැටීම ඒ තරම් ගුණදායක නොවන බැවින් ඇය එය නුදුටුවා සේ සිටියා ය.

පසු දින ඒ සේවකයා රැකියාවට ආවේ බොහෝ නිදි වැරූ තෙහෙට්ටු ස්වභාවයකිනි. සේවය කරන අතර ම ලැබුණු සුළු ඉඩකඩකින් ඔහු අධික නිදිමත ඬසා රෝහලේ බංකුවක් මත හිඳගෙන මඳක් දෑස් පියා ගැනීමට උත්සාහ කළේ ය. ඒ සෑම අවස්ථාවක ම ඔහු බියපත්ව ගැස්සී කෑ ගසාගෙන අවදි වූයේ ය. ඒ රාති‍්‍ර සේවා මුරය වූ බැවින් මේ තත්ත්වය බරපතළ ලෙස ප‍්‍රදර්ශනය විය. සේවයෙන් පසු නිවසට ගියත් ඔහුට නින්දක් නොවී ය.

කව්දෝ කාන්තාවක් ඔහුගේ සිරුර මත හිඳගෙන දික් වූ නියපොතු ඇති දෑතකින් ගෙල මිරිකන අයුරු සිහිනෙන් මෙන් දිස් වන බවත්, ඒ කාන්තාවගේ මුහුණ ක‍්‍රමයෙන් භයංකර ස්වරූපයක් ගන්නා බවත්, ඔහුගෙන් අනාවරණය වීය. මේ තත්ත්තවය නිසා මෙම සේවකයාගේ ශරීරය කෙට්ටු වෙන්නටත්, මුහුණ අඳුරුව අප‍්‍රසන්න වෙන්නටත් පටන්ගත්තේ ය. වෙද්‍ය ප‍්‍රතිකාර ලැබූව ද එයින් නින්ද යෑමක් ද නොවීය. නිතර ම බියට පත්ව සිටින බවත් ඔහු කෙරෙන් පැහැදිලි වීය.

සතියක් පමණ ගත වනවිට මේ සේවකයා සිහිනෙන් බය වෙමින් නිදි නොලබා පීඩා විඳින සිද්ධිය රෝහලේ කාර්ය මණ්ඩල අතර ප‍්‍රසිද්ධ වීය. ඔහුගේ බිරිය හා දරුවන් ඔහු වෙනුවෙන් බෝධි පූජා පැවැත්වුව ද එයින් ඔහුට නම් සහනයක් නොවීය. ඊට හේතුව ඔහු රාති‍්‍ර සේවා මුරය නිසා බෝධි පූජාවලට සහභාගි නොවීමත් මත්පැන් පානය කිරීමත් නිසා යැයි සිතිය හැකි ය.

මේ සේවකයා පිළිබඳ රෝහලේ කතා බස් වන විට මෙයට හේතුව අවබෝධ කැර ගත් කෙනෙක් ද වීය. ඒ අතර තුවාලකාරියගේ පණ යන මොහොතේ ඔහු රත්රන් ආභරණ ගලවන අයුරු දුටු හෙදියයි. මේ සිද්ධිය ප‍්‍රකාශ කළොත් සේවකයා තමන් සමඟ උරණ වන බව හෙදිය දැන සිටියා ය. ඇය ඊට උපායක් යෙදුවා ය.

රෝහලේ සේවය කරන විශ්වාසවන්ත වෙද්‍යවරයකුට මේ සිද්ධිය ප‍්‍රකාශ කොට මේ සේවකයාගේ හීනෙන් බය වීමට හේතුව රත්රන් බඩු සොරා ගැනීම බව තමන් විශ්වාස කරන බවත්, තමන් කියූ බව නොකියා මෙයට සුදුසු පියවරක් ගන්නා ලෙසත් වෙද්‍යවරයාගෙන් ඉල්ලා සිටියේ ය.

සේවකයාගේ ඊළඟ සේවා මුරය දහවල් කාලයට යෙදුණි. වෙද්‍යවරයා දිනක් එම සේවකයා කැඳවා ඔහුගෙන් සිද්ධිය විමසුවේ ය.

“තමුසේ මීට සතියකට විතර කලින් වාහන අනතුරකට ලක් වී ඉස්පිරිතාලෙට ගෙනා තුවාලකාරියකගේ කණේ කරාබු අතේ වළලු මුදු ගලවා ගත්තා නේද? ඒ තුවාලකාරිය මැරුණා නේද? තමුසෙගෙ බෙල්ල මිරිකනවා දකින්නේ ඒ කාන්තාව නේද? ඇත්ත කියනවා. නැත්නම් තමුසෙගේ ජීවිතයත් අවදානමේ. මම ඕකට පිළිවෙතක් කියන්නම්. ඒ ටික කළාම තමුසෙට සනීප වේවි” යි වෙද්‍යවරයා කීවේය.

ඔහු කී සියල්ල සත්‍ය බැවින් සේවකයා බිම බලාගෙන සිටියා මිස කිසිවක් කීවේ නැත. ඔහුගේ නිහැ¾ඩියාව අනුව සිද්ධිය සත්‍ය බව දැන ගත් වෙද්‍යවරයා ඔහුට අවවාද කළේ ය.

“තමුසේ අද ඉඳලා ඔය අඩි ගැහිල්ල නතර කරන්න ඕනෑ. උදේ හවස ගෙදර අය එක්ක පන්සිල් සමාදන් වී තෙරුවන් වඳින්න ඕනෑ. මීට පස්සේ සොරකම් නොකරන බවත්, අයුතු අන්දමින් මුදල් ඉපැයීම් නොකර බවත්, මත්පැන් ඇතුළු සියලු පස් පවෙන් වළකින බවත්, අධිෂ්ඨාන කැරගෙන හෙට උදෙන් ම අර වාහන අනතුරෙන් මැරුණු කාන්තාවගේ ගෙදර ගිහින් ඇගේ ස්වාමි පුරුෂයා හෝ දරුවන් අතට ඇගෙන් ගලවා ගත් රත්රන් බඩු ටික ආපසු දීලා එන්න ඕනෑ” යි කීවේය.

සේවකයා ද ඒ කාරණා ටික නොවරදවා ඉටු කළේ ය. දැන් ඔහු හීනෙන් බය වෙන්නේ නැත. මත් පැන් පානයෙන් ද වැළකී පන්සිල් රකින පුද්ගලයෙක් බවට පත් වී සිටියි.


Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

Categories

%d bloggers like this: