Posted by: lrrp | March 30, 2009

මනස හඳුනා ගැනීමෙන් තරහ සහ ආශාව නැතිකර ගත හැකිය

පටිච්ච සමුප්පාදය හෙවත් හේතුඵල ධර්මය යනු බුදු දහේ ඉගැන්වෙන ශ්‍රේෂ්ඨතම ධර්ම සංකල්පයකි. එනම් පටිච්ච සමුප්පාදය හෙවත් හේතුඵල ධර්මය පිළිබඳව ය. යම්කිසි ධර්මයක් නිසා තවත් ධර්මයක් හටගන්නේ ය යන්න එහි අර්ථයයි. ඒ අනුව විශ්වයත් එහි විද්‍යමාන වන සියලු ම දේත් ඇතිවන්නේ යම්කිසිවක් නිසා ය. එනම් යමක් ඇසුරු කොට ගෙන ය. යමක් හේතු කොට ගෙන ය. මේ මූලික මඟ පෙන්වීම ඉතාම යථාර්ථවාදීව පටිච්චසමුප්පාදයෙන් අපට පැහැදිලි කර දී තිබේ.

මෙවැනි ශ්‍රේෂ්ඨ මඟ පෙන්වීමක් ප‍්‍රථම වතාවට ලෝකයට හෙළි කරනු ලැබුවේ ද ගෞතම බුදුරජාණන් වහන්සේ විසිනි. උන්වහන්සේ මෙම සංකල්පය ලොවට ඉගැන්වීමට පෙර ලෝකයේ ඇතිවීම පිළිබඳව විවිධ මතවාද පැවතිණි. යම් මතවාදයක් මිථ්‍යා මතයක් ලෙස සැලකෙන්නේ තවත් මතවාදයක් හා සාපේක්ෂකව බැලූවිට ය. වෙනත් සත්‍ය මතයක්, නිවැරැදි අදහසක් නොමැති අවස්ථාවක දී පවතින අදහස මිථ්‍යාවක් ද, සත්‍යයක් ද යන්න නිගමනය කළ නොහැකි ය.

බුදුරජාණන් වහන්සේ ලොව පහළවීමත් සමඟ සමකාලීන ආගමික නායකයෝ ලොව ඇතිවීම, මිනිසා ගේ උපත, හා එයට හේතු පිළිබඳව විවිධ මතවාද ඉදිරිපත් කළහ. එමෙන් ම මිනිසා පෞද්ගලික ජීවිතයේදීත්, සමාජයීය ජීවිතයේදීත් මුහුණ දෙන්නා වූ දුක්ඛ දෝමනස්සයන්ට විවිධ සංකල්ප ඉදිරිපත් කළහ. එහෙත් ගෞතම බුදුරජාණන් වහන්සේ එම අදහස්වල වූ සාවද්‍ය බව හේතු සහිතව පෙන්වා දුන්නාහ. ඒ අනුව ලෝකය සහ සත්ත්වයා පිළිබඳව, එහි ඇතිවීම හා නැතිවීම පිළිබඳව නිවැරැදි විග‍්‍රහයක් පටිච්ච සමුප්පාදයේ ඉදිරිපත් කර ඇත.

ලෝකය හා සත්ත්වයා ගේ සම්භවය පිළිබඳව වූ සමකාලීන ආගමික චින්තන පිළිබඳව අපි පළමුව අවධානය යොමු කරමු. එකල ජනප‍්‍රියම මතවාදයක් වූයේ මහා බ‍්‍රහ්මයා හෝ ඊශ්වරයකු විසින් මේ මුළු ලෝකයාම මවනු ලැබූ බව ය. එය හැඳින්වූයේ ‘ඊශ්වර නිම්මාන හේතු’ නමිනි. එකල සමාජයේ එය ප‍්‍රධාන අධිපති මතවාදය විය. ඒ අනුව සත්ත්වයා ගේ උපත සහ මරණය, ඉරහඳ, අව්ව වැස්ස ආදී වශයෙන් වූ බාහිර ලෝකයේ පෙනෙන සියලුම ස්වභාවික වස්තූන්ගේ කි‍්‍රයාකාරිත්ව සිදුවන්නේ දිව්‍ය, බ‍්‍රහ්ම ආදී යම්කිසි ඊශ්වරයකු ගේ මැවීමකින් වන බවට ප‍්‍රචලිත විය.

එම අදහස බැහැර කරමින් පෙර භවයන්හිදී කරන ලද කුසල අකුසල කර්ම හේතු කොට ගෙන සත්ත්වයා ගේ උපත, මරණය, දුක, සැප සහ විදීම් ආදිය සිදුවන බවට ද මතයක් විය. එය හැඳින්වූයේ ‘පුබ්බේ කත හේතුවාදය’ නමිනි. සත්ත්වයා උපදින්නේත්, මිය යන්නේත් කිසිදු හේතුවක් නැතිව, අහඹු සිදුවීමක් ලෙසින් යැයි තවත් කෙනෙක් අදහස් ඉදිරිපත් කළහ.

එය ‘අභිච්ඡ සමුප්පන්න වාදය’ නමින් හැඳින්වූහ. එම අදහසම තවදුරටත් විකාශනය කරමින් නියති වාදී අදහසක් ඉදිරිපත් කළ ඇතැම් පුද්ගලයෝ උපත හා මරණය සිදුවෙමින්, දුක සැප ඇති වෙමින් ගොස් නියමිත කාලයක දී සසර ගමන කෙළවර වන බව පැහැදිලි කළහ. එය හැඳින්වූයේ ‘නියති සංගති බාව හේතුවාදය’ නමිනි.

මෙම චින්තනයන්ට වඩා ගැඹුරින් හා දියුණු ලෙස ලෝකය හා සත්ත්වයා පිළිබඳව සිතූ උපනිසද් මුනිවරු වෙනස් නොවන ආත්මයක් පිළිබඳව අදහස් ඉදිරිපත් කළහ. එය හැඳින්වූයේ ‘ශ‍්‍රාස්වත වාදය’ නමිනි. එහි විරුද්ධ පැත්ත දෙස බැලූ තවත් කෙනෙක් මරණින් පසු නැවත ඉපැදීමක් නැත. මෙලොවක් නැත, පරලොවක් නැත යනුවෙන් උච්ඡේදවාදය ඉදිරිපත් කළහ.

මෙම සියලුම දාර්ශනික මතවාද පිළිබඳව බුදුරජාණන් වහන්සේ නිරවුල්ව අවබෝධ කරගත්හ. ඒ සය වසරක් වූ දුෂ්කර කි‍්‍රයා කාලයේ දී ය. ඒ අනුව උන්වහන්සේ මේවායෙහි පවතින අසත්‍ය බව තේරුම් ගත්හ. එහි වූ අන්තගාමී ලක්ෂණ පැහැදිලි කළ බුදුරජාණන් වහන්සේ පටිච්ච සමුප්පාදය හෙවත් හේතු ඵල ධර්මතාවය ලොව සදහටම පවතින සත්‍යය බව දේශනා කළහ. මෙහිදී සියලුම දේට ඇති පටිච්ච සමුප්පන්න සහිත බව නිධාන සංයුක්තයේ දී පොදු සූත‍්‍ර ශෛලියකින් හෙවත් කෙටි ක‍්‍රමයකින් හඳුන්වා දී ඇති ආකාරය දැකගත හැකි ය.

අස්මිං සති ඉධං හොතී’
මෙය ඇති කල්හි මෙය ඇතිවේ.
‘ඉමස්ස උප්පාදා ඉධං උප්පජ්ජතී’
මෙය ඉපදීමෙන් මෙය උපදී.

‘ඉමස්මිං අසති ඉධං න හොතී’

මෙය නැතිවිට මෙය නොමැත.

‘ඉමස්ස නිරෝධා ඉධං නිරුජ්ජතී’

මෙය නැවැත්මෙන් මෙය නවතී.

මේ අනුව හුදු තනි දෙයක පැවැත්මක් බුදු දහම පිළිනොගන්නා බව අපට පැහැදිලි වේ.

අඹ ඇටයක් සිට වූ කල්හි අඹ පැළයක් හට ගන්නා ආකාරය අපි දකිමු. අඹ ඇටයක් නොමැති නම් අඹ පැළයක් ඇතිවන්නේ නැත. ඒ සඳහා පස, ජලය, වාතය, උෂ්ණත්වය ඈ ආදිය ද එක්වීම අත්‍යවශ්‍යය.

පටිච්ච සමුප්පාදයෙහි අපට උගන්වනු ලබන මෙම වැදගත් ධර්ම සංකල්පය අපේ සන්තානයෙහි ඇතිවන දුක්ඛ දෝමනස්ස තේරුම් ගැනීමට උපකාරී වේ. එය අවබෝධයෙන් පුහුණු වන්නේ නම් එම දුක් දොම්නස් පහ කර වඩාත් සැනසිලි දායක වූ අධ්‍යාත්මික විමුක්තියක් සලසා ගැනීමට ද අවස්ථාව උදාවේ. සාමාන්‍ය ජීවිතයේ දී අපට විවිධ ආකාරයේ සිතිවිලි පහළ වේ.

ඇතැම් විට එය කෝපයකි. ද්වේශයකි. රාගයකි. එසේත් නැතිනම් මාන්නයකි. සිහිය පිහිටුවාගෙන සිටින කෙනකුට තමන් ගේ සිතෙහි පහළ වෙන සිතිවිලි ඒ මොහොතේම දැන ගැනීමේ කුසලතාවය තිබේ. අප වෙත මෙම සිතිවිලි පහළ වන්නේ ඉබේ නොවේ.

“මට මේ තරමට තරහ ඇතිවන්නේ ඇයි?”

ඇතැම්විට අපි සිතමු. ඇතැම් පිරිස් අනුන් කෙරෙහි තම සිතේ ඊර්ෂ්‍යාව ඇතිවීම පිළිබඳව තමන්ම පසුතැවෙති. ක්ෂණිකව ඇතිවන කෝපය පිළිබඳව අධිකව පසුතැවෙති. බොහෝ දෙනා සිතන්නේ ‘මට ඉබේටම තරහා යනවා යනුවෙනි. ‘දන්නේ ම නැතිව මට ඊර්ෂ්‍යා හිතෙනවා’ යනුවෙනි. ඔබ මෙහිදී ඉතා හොඳින් තේරුම් ගත යුතු දෙයක් වේ. ඊර්ෂ්‍යාව, තරහව, මාන්නය, රාගය, උද්දච්ඡ බව ආදී වූ මේ මනෝභාවයන් ඉබේ පහළවන්නේ නැත. ඒ සඳහා අනිවාර්යයෙන් ම හේතු තිබේ.

අකැමැති රුවක් නිතර නිතර ඇස ගැටෙනා කල්හි අපේ සිත තරහෙන් පුපුරන්නට පටන් ගනී. තමන්ට නොලැබුණු දෙයක් අනෙක් තැනැත්තාට ලැබී තිබෙනවා දකින කල්හි අපේ සිත ඊර්ෂ්‍යාවෙන් පිරෙන්නට පටන් ගනී. බුදුරජාණන් වහන්සේ ඔබට අවබෝධ කරගන්නට කියන්නේ කුමක්ද? ඔබ කෙරෙහි ඇතිවන සෑම සිතිවිල්ලකටම හේතුවක් පවතින බව ය.

හේතුවක් නැතිව කිසිදු සිතිවිල්ලක් ඇතිවන්නේ නැත. එපමණක් ද නොවේ. ඊට ප‍්‍රත්‍යක් ද තිබේ. ප‍්‍රතිඵලය ඇතිවීමට ප‍්‍රධාන හේතුව වගේම ඊට උපකාරීවන අතුරු සහ සම්බන්ධකම් ද තිබේ. උදාහරණ ලෙස අඹ පැළයක් නිර්මාණය වීමට ප‍්‍රධාන වත්තේ අඹ ඇටයයි. අඹ ඇටය නිකම් තිබූ පමණින් පැළයක් ඇති වන්නේ ද නැත. වාතය, ජලය, උෂ්ණත්වය ආදී අතුරු ප‍්‍රත්‍යයන් ද ඊට එකතු විය යුතු ය. ඔබ පීඩා විඳින්නේ ඊර්ෂ්‍යාව නිසා නම්, රාගය නිසා නම්, ද්වේශය නිසා නම් ඒ සියලුම සිතිවිලි උපදවන රූප තිබේ. ශබ්ද තිබේ. ගන්ධ, රස, ස්පර්ශ තිබේ.

මේ දේවල් සමඟ ඇස ගැටෙනා කල්හි ඔබ ගේ සිතෙහි නොදැනීම පෙර කී සිතිවිලි වර්ධනය වන්නට පටන්ගනී. ඇසත් රූපයත් අතර ගැටීම සිදුවෙද්දී හදවතේ උපදින තෘෂ්ණාව, ඊර්ෂ්‍යාව හෝ මාන්නය නැති කර දමන්ට හැකි නම් ඔබ විමුක්ති සුවය අත්විඳිනා පුද්ගලයෙක් බව බුදුරජාණන් වහන්සේ සඳහන් කර ඇත්තාහ.

මේ පිළිබඳව ගැඹුරින් කල්පනා කරන්නේ නම් ඇතැම් දේ ඇසෙන, දකින, විඳින කල්හි ඊර්ෂ්‍යාව, කෝපය ඇතිවන්නේ රූපය සහ ඇස පිළිබඳව ප‍්‍රශ්නයක් නිසාම නොවන බව ද ඔබට පැහැදිලි වේ. එය උපකාරයක් වූ බව සත්‍යයකි. ප‍්‍රශ්නය තිබෙන්නේ අප ගේ සන්තානයෙහි ය. ඇළීම සහ ගැටීම යන මනෝභාව දෙක සිතෙහි නිරන්තරයෙන් ම කි‍්‍රයාත්මක වේ.

රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ යන ධර්මයන් හමුවන විට අප ඒවා අල්ලා ගැනීම සිදු කරමු. ඇස සංවර කර ගැනීමේ අපේක්ෂාවක් ඔබ කෙරෙහි වේ නම්, කණ, නාසය, දිව, ශරීරය සංවර කර ගැනීමේ අපේක්ෂාවක් ඔබ කෙරෙහි වේ නම් ඔබ අවධානය යොමු කළ යුතු වන්නේ කොතැනට ද? ඔබගේ ඇස, කණ, නාසය, දිව, ශරීරය සංවර කර ගැනීමේ අපේක්ෂාවක් ඔබ කෙරෙහි වේ නම් ඔබ අවධානය යොමු කළ යුතු වන්නේ කොතැනට ද? ඔබගේ ඇස, කණ, නාසය, දිව, ශරීරය අසංවර කරන ඔබගේ සිත වෙතට ය.
බුදුදහම ඔබට යෝජනා කරන්නේ රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ විනාශ කර දමා එයින් පලා යෑමක් පිළිබඳව නොවේ. ඒවායෙහි පවතින නිස්සාරත්වය දකින අතරම, රාගයෙන් හා ද්වේශයෙන් ඒවා අල්ලා ගැනීම ද නොකළ යුතු ය. අල්ලා ගැනීම නතර කළහොත් ඊර්ෂ්‍යාව පාලනය කරගන්නට ඔබට හැකිවේ. තරහව සහ ආශාව නැති කර දමන්නට ඇවැසිනම් මනස නමැති, ඔබ ප‍්‍රශ්නවලට පටලන ප‍්‍රධාන හේතු කාරකයා හඳුනා ගත යුතු ය.

සන්තානගතව පවතින අකුසල් සිතුවිලි නිසා අපි අකුසල් කි‍්‍රයා කරමු.

සංසාර ගමන දිගුවන්නේ එහි ප‍්‍රතිඵලයක් ලෙසට ය. බුදු දහම ඔබට පටිච්චසමුප්පාදය හෙවත් හේතු ඵල වාදය පැහැදිලි කර දෙන්නේ කුමක් සඳහා ද? ඔබ සන්තානගතව විඳින්නා වූ දුක් කම්කටොලුවලට පසුබිම් වන ප‍්‍රධාන හේතු හඳුනාගෙන ඒ හේතුවලට ප‍්‍රතිකාර කිරීම සඳහා ය. හේතු ප‍්‍රත්‍යවලට පිළිතුරු නොසොයා ප‍්‍රතිඵලයට පිළිතුරු සෙවීමට යෑමෙන් සාංසාරික දුකින් මිඳීම සඳහා යන ගමනේ ඔබට කිසිදු ප‍්‍රශ්නයක් විසඳ්‍රගත නොහැකි ය.

රණ්ඩු සරුවල්, අල්ලා ගැනීම්, වැළඳ ගැනීම් සිදුවන්නේ අකුසල සිතිවිලි නිසා ය. ඕනෑම අයකු ගේ සන්තානයෙහි අකුසල සිතිවිලි පහළ වීම ඉතාම ස්වාභාවිකය. ලෝබ, ද්වේශ, මෝහ යන මේ සිතිවිලි ඇතිවූ පසුව මේ ලොව තිබෙන රූපවල, ශබ්දවල, ස්පර්ශයන්හි ඇති අනිත්‍ය බව හෙවත් වෙනස්වීම හඳුනාගත නොහැකි ය.

මේ අනිත්‍යබව හඳුනාගත නොහැකි නිසාම අපි තදින් අල්ලාගෙන හෙවත් උපාදානය කරගෙන ඇලීමටත් ගැටීමටත් පටන් ගනිමු. මේ සංසාර ගමනේ නිරන්තරයෙන් දුක් විඳිමින් ගමන් කරන්නේ මේ හේතුව නිසා ය. එය හොඳින් වටහා ගෙන හේතුවලට සහ ප‍්‍රත්‍යවලට පිළියම් සොයා පටිච්ච සමුප්පාද දහම අනුගමනය කරන්නේ නම් ඔබේ ජීවිතයේ අද දවසේ අත්විඳින සන්තානගත දුකින් මිදෙන්නට ශක්තිය උදාවනු ඇත.


Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

Categories

%d bloggers like this: