Posted by: lrrp | April 29, 2009

සීනු නාදයට පි‍්‍රය කළ භූතාත්මය

පුද්ගලයකු අදහනු ලබන ආගම දහම කුමක් හෝ වේවා අකුසල කි‍්‍රයාවන්ගෙන් වෙන් වී කුසල කි‍්‍රයාවන්හි යෙදෙන්නේ නම් ඔහු හෝ ඇය සුගති ගාමී වන්නේ ය. ඔහු විසින් ස්වකීය ජීවිතයට හුරු කැර ගන්නා ලද යහපත් වූ කුසලතාවය භවයෙන් භවයට වර්ධනය වන්නේ ය. දෙවියන් කෙරෙහි මහත් වූ භක්තියෙන් තවත් කෙනකුගේ යහපත වෙනුවෙන් යාඥා කරන්නා තුළ ද ඔහු නොදැනුවත් ම හෝ ප‍්‍රාථමික භාවනාවක් වැඩෙන්නේ ය. තවත් කෙනෙකු තමන් අදහන දෙවියන් වෙනුවෙන් මහත් වූ භක්තියෙන් ස්තෝත‍්‍ර, ගීතිකා, ගායනා කරන්නේ ද ඒ තුළින් ද ඔහු තුළ චිත්ත ඒකාග‍්‍රතාවයක් වැඩෙන්නේ ය. එසේ වැඩෙන සිත කල්‍යාණ මිත‍්‍ර ආශ‍්‍රයෙන් තව තවත් දියුණු කරන්නේ ද ඔහුගේ චිත්ත ශක්තියෙන් විස්මිත දේ කළ හැක්කේ ය.

මහායාන බෞද්ධ සම්ප‍්‍රදායට අයත් එක්තරා නිකායක භාවනා ක‍්‍රමයකින් රෝගියකු සුවපත් කළ සිද්ධියකි මේ. හෝමාගම නීලා එදිරිමාන්න මහත්මිය එම මහායාන නිකායේ ප‍්‍රවීණ සාමාජිකාවකි. එහෙත් ථෙරවාදී සම්ප‍්‍රදාය කෙරෙහි ද ඇය ගෞරවයෙන් කටයුතු කරන්නීය. මේ මහායාන නිකායිකයෝ ප‍්‍රායෝගික ජීවිතයේ දී කතාවෙන් පමණක් නොව කි‍්‍රයාවෙන් ද බුද්ධත්වය සඳහා අවශ්‍ය දාන ශීලාදී පාරමිතා ගුණධර්මයෝ වර්ධනය කරති. අනුනට සද්භාවයෙන් අවංකව ම උදව් උපකාර කරති.

එදිරිමාන්න මහත්මිය දන්නා හඳුනන හබරකඩ ප‍්‍රදේශයේ පවුලක වැඩිහිටියෙක් පිළිකා රෝගයක් වැළඳී 2004 වර්ෂයේ දෙසැම්බර් මස 10 වැනි දින මිය ගියේ ය. හේ පෙදරේරුවෙකි. මිය ගිය පුද්ගලයාගේ පුතාත් බිරියත් ඔවුන්ගේ දරු දෙදෙනාත් ජීවත් වූයේ ද මේ නිවසේ ම ය. පුතාගේ බිරිය හෙවත් ලේලිය තිස් පස් හැවිරිදි වූවාය.

මාමණ්ඩිය මිය ගොස් මාසයක් ගත වෙද්දී ලේලියට උණ රෝගයක් වැළඳිණි. අත් බෙහෙත්වලින් ඇගේ උණ රෝගය සනීප වූයේ නැත. වෛද්‍යවරයකුට පෙන්වා ප‍්‍රතිකාර කළ ද සුවපත් වූයේ නැත. ඒ නිසා හෝමාගම රෝහලේ නේවාසිකව නතර වී ප‍්‍රතිකාර ගත්තා ය.

රෝගී කාන්තාවගේ නැගණියක් හෝමාගම එදිරිමාන්න මහත්මිය ගේ නිවස අසල පදිංචිව සිටියාය. ඇය දිනපතා උදේ හවස හෝමාගම රෝහලට ගොස් රෝගී සහෝදරියගේ සුව දුක් බැලුවාය.

දින ගණනාවක් රෝහලේ නේවාසිකව ප‍්‍රතිකාර ලැබූවද උණ බහින තත්ත්වයක්, සුවයක් නොවූයෙන් ඇගේ රෝගය පිළිබඳ නැගණියට සැක සිතී බලෙන් ම ටිකට් කපා ගෙන සිය නිවසට කැඳවාගෙන ආවා ය.

නැගණිය නීලා එදිරිමාන්න මහත්මිය මුණ ගැසී සහෝදරියගේ රෝග තත්ත්වය පැහැදිලි කොට ආගමික පැත්තෙන් පිළිවෙතක් කැර දෙන ඉල්ලා සිටියාය. එදිරිමාන්න මහත්මිය ද ඇය පිළිබඳ කරුණාවෙන් මේ අසල් වැසි නිවසට ගියා ය. ඒ නිවසේ අය වන්දනා කරන තැන බිම පැදුරක් එළා රෝගී කාන්තාව එහි වාඩි කැර වූවාය. ඇය හිටි හැටියේ කලබල වූ බවක් පෙනෙන්නට විය. වට පිට බලන්නට වූයේ වරදකට අසූ වූවෙකු පැන යන්නට සූදානම් වන සෙයක් ඇය කෙරෙන් පැහැදිලි විය. මේ වන විට ඇගේ ස්වාමි පුරුෂයා ද එහි පැමිණ සිටියා ය.

ධර්මකාය වන්දනාව සඳහා ‘ඔදයිමොකු’ සජ්ඣායනාවට සූදානම් වන ලෙස එදිරිසිංහ මහත්මිය නිවසේ සිටි අයට දැනුම් දුන්නාය. රෝගී කාන්තාව ඊට අකමැති බවක් ඉරියව්වලින් පළ කළාය. ඇය සිය ස්වාමි පුරුෂයා අමතා “අනේ! පුතේ! මගේ කකුළ අතගාපන් පුතේ! ඉන්න බෑ වේදනාවයි” කියා කෑ ගසන්නට වූවාය.

සිය බිරිය තමන්ට ‘පුතේ’ යැයි ඇමතීම පිළිබඳ ඔහු මවිතය පළ කරමින් ම ඇය වේදනාව පෙන්නූ පාදය පිරිමදින්නට වූයේ ය. “පුතේ! දැවිල්ලයි. මගේ මුළු ඇඟ ම දැවිල්ලයි. ඉන්න බෑ” යි නැවත ඇය වේදනාව අඟවමින් කෑ ගසන්නට වූවා ය. ඔහු ඇයට තැඹිලි වතුර කෝප්පයක් බොන්නට දුන්නේ ය. “ඔව්! උඹල ඉතින් මට ඉස්සරත් තැඹිලි වතුරමනේ බොන්න දුන්නේ” යි ඇය කියන්නට වූවාය. ඇය කරන කියන දේවලින් මේ කතා කරන්නේ මිය ගිය මාමණ්ඩිය බව කාටත් වැටහී ගියේ ය. ඇගේ ශරීරයට වැළඳී ඇති රෝගයට අමනුෂ්‍යයෙකු ගේ සම්බන්ධයක් ද පවතින බව කාටත් ඒත්තු ගියේය. එදිරිමාන්න මහත්මිය අනිකුත් අය සමඟ සජ්ඣායනය පටන් ගත්තා ය.

පැන්, පලතුරු, හරිත ශාක, සුවඳ හා ආලෝක පූජා පවත්වා ‘ඔදයිමොකු’ භාවනාවේ යෙදුණාය. “නම්‍යෝ ම්සෝ හෝ රෙන්ගේ ක්‍යෝ” (ශී‍්‍ර සද්ධර්මස්කන්ධය නමැති සුදු නෙළුම් මලට නමස්කාර කරමි) යි සිත බාහිර අරමුණුවලින් මිදෙන තුරු ‘ඔදයිමොකු’ ගායනාවේ යෙදී සද්ධර්ම පුණ්ඩරීක සූත‍්‍රය සජ්ඣායනා කළා ය. අනතුරුව නැගෙනහිර දෙසට හැරී චාතුර්මහා රාජිතයට අධිපති සතරවරම් දෙවියනට පුණ්‍ය ශක්ති ප‍්‍රදානයේ යෙදුණාය.

දෙවනුව ධර්මකාය සංකේතය දෙස බලා නැවතත් සද්ධර්ම පුණ්ඩරීක සූත‍්‍රය සජ්ඣායනා කොට සියලු බුදුවරුන්ටත් මෙතෙක් ධර්මය ආරක්ෂා කළා වූ සියලු සංඝ රත්නයටත් ලාංකිකව බළන්ගොඩ ආනන්ද මෛත්‍රෙය මහා නාහිමි, රේරුකානේ චන්දවිමල මහා නාහිමි වැනි සංඝ පීතෘන් වහන්සේටත් නිහඬ පුණ්‍ය ශක්ති ප‍්‍රාර්ථනයේ යෙදුණාය. ඉන් පසු ලෝක සාමය පතා, එසේ නිවුණු තැන්පත් සිතින් රෝගියා කෙරෙහි ශක්තිය මුදා හැරියාය.

මේ කිසි දෙයකට අවනත නොවූ රෝගියා වඩාත් කලබල කරන්නට වීය. බැරිම තැන සමීපව පදිංචි තවත් සාමාජිකාවන් සතර දෙනකුට දුර කතන ඇමතුම් දී ගෙන්වා ගත්තාය. ඔවුන් පැමිණෙන විට “එපා, එපා, මාව පිච්චෙනවා. දැවෙනවා” යැයි රෝගියා කෑ ගසන්නට වූවාය. නැවත පිරිස සමඟ සජ්ක්‍ධායනයේ යෙදී පින් අනුමෝදන් කළ විට “මං යනවා, මං යනවා” යි භූතයා නික්ම ගියේය.

මහායාන හෝ වේවා හීන යාන හෝ වේවා භාවනාවෙන් ඒකාග‍්‍ර කළ චිත්ත ශක්තිය ඉදිරියේ අසීරුවට පත් වන මෙවැනි භූතයන් බොරු කියන බවත්, මිනිසුන් රවටන බවත් එදිරිමාන්න මහත්මිය දැන සිටියාය. කෙසේ නමුත් ඇය සිය නිවස බලා පිටත්ව ගියාය.

නැවත සවස හතර වන විට රෝගී කාන්තාව හූ කියන්නටත් කලබල කරන්නටත් වූවා ය. එදිරිමාන්න මහත්මිය ඇතුළු පිරිස නැවත පැමිණ රෝගියා වට කොට භාවනාවේ යෙදුණහ. මේ අතර රෝගියා නැවත භූතාවේශයට පත් වීය. “නුඹ සසර කරන ලද පාපයන් නිසා මෙවැනි ආත්මයක ඉපදුණා මදිවාට තවත් ජීවිතවලට හිංසා කරනවා. යනවා යැයි කියමින් රතනත‍්‍රයටත් වංචා කරනවා නම් නුඹට අයිතිවන්නේ අවීචි නිරයේ දඬුවම් තමයි” කියන විට භූතාත්මය බියට පත් වීය.

“අනේ! මට අනුකම්පා කරන්න. මට යන්න බෑ. මගේ පුතා දාලා යන්න බෑ. පුතා අතහැර යන්න බැරි නිසයි ලේලිගේ ශරීරයට ඇතුළු වුණේ. මම මේ දරුවන් සමඟ ම ඉන්න ආසයි. මට හිරිහැර කරන්න එපා. මම පිරිත් අහමින් මෙතන ම ඉන්නම්” යැයි කීවාය. අවසානයේ රෝගියා මහායාන පන්සලට ගෙන ගිය අතර එහි දී උග‍්‍ර වේදනාවකින් වතුර ඉල්ලා හඬන්නට වූවාය. පිළිකා රෝගියෙකුගේ තත්ත්වයෙන් ම හඬා වැළපී භූතාත්මය ඉවත්ව ගියේය.

දින ගණනාවකින් ආහාරයක් නැතිව සිටි රෝගියා වහාම රෝහලට ඇතුළු කරන්නට යෙදිණි. රෝගියාට ඩෙංගු රක්තපාත උණ වැළඳී ඇති බව අනාවරණය වීය. කලින් වතාවේ රෝහල් ගතව සිටිය දී රෝගය සොයා ගැනීමට නොහැකි වන අයුරින් මාමණ්ඩිය ලේලියගේ රෝගයට යට කැර ගෙන සිටි බවත්, ඒ කාලය තුළ රෝගී කාන්තාවගේ නාසයෙන් ලේ ගලාගෙන ආ බව ඇයට දැනුණත් ලේ පිටතට එන්ට නොදී අමනුෂ්‍යයා ආහාරය සඳහා උරා ගෙන ඇති බවත් එදිරිමාන්න මහත්මිය කීවාය. දැන් රෝගියා සුවපත්ව යථා තත්ත්වයට පත්ව ඇත.

මෙහිදී අපේ ගවේෂණයට ලක් විය යුතු කාරණයක් වෙයි. මෙම පූජාව, වන්දනාව හා පුන්‍ය ශක්ති ප‍්‍රදානය කරන අවස්ථාවේ එදිරිමාන්න මහත්මිය සීනුවක් නාද කළාය. මේ නාදයට භූතාත්මය ඉතා කැමැත්තක් දැක්වීය. තව තවත් සීනුව නාද කරන ලෙස ඉල්ලීය.

නාද නොකරන අවස්ථාවේ සීනුව තබා තිබුණේ රෝගී කාන්තාව අසලමය. එහෙත් එම සීනුව රැගෙන නාද කිරීමට ඇති තදබල ආශාවෙන් ඇය සීනුව අතට ගන්නට උත්සාහ කළත්, කොයි තරම් වීර්යය කළත් සීනුවට අත තබන්නට නොහැකි වීය. සීනුව ළඟ ම සිට බිම දිගා වී බඩ ගාමින් උත්සාහ කළත් සීනුව අතට ගැනීමට නොහැකි විය. මෙයින් පැහැදිලි වන හා අනුමාන කළ හැකි කාරණා දෙකක් වෙයි. එකක් නම් භූතාත්ම ගැවසෙන වායු තරංග අතරේ නාද තරංග පවතිනවාට ඇති කැමැත්තය.

පන්සලේ පූජා අවස්ථාවල ඝණ්ටාරය නාද කිරීම, පල්ලියේ පූජා අවස්ථාවල ඝණ්ටාර නාදය හා සීනු නාද කිරීම, දේවාලවල පුද පූජා අවස්ථාවල සීනු නාද කිරීම හා ශාන්ති කර්ම හා ග‍්‍රහ පූජාවලදී ඇදුරන් සීනු නාද කිරීම තුළ අපට නොපෙනෙන කි‍්‍රයාවලියක් පවතින බවය. අනිත් කාරණය නම් ඝණ්ටා, සීනු නාද කිරීමේ දී ඇති වන සියුම් තරංග වල මිහිරි බව හා කම්පන ශක්තිය දෙවියන් හා අමනුෂ්‍යයන් පි‍්‍රය කරන බව ය.

එසේ ම සුවඳ දුම් වාගේ ම සීනු නාදයන් ද අමනුෂ්‍ය ආත්මවල ගැවසීමට හෙවත් රැඳී සිටීමට උපකාරයක් වන බවය. එසේ ම දුගතිගාමී අමනුස්සයින් ගේ අකුසල කර්ම විපාක හේතු කොට ගෙන ඔවුන් අත ළඟ තිබෙන පි‍්‍රය දේවල් පවා භුක්ති විඳීමට ඉඩක් නොලැබෙන ස්වභාවික පාපී බව යි.

එය සමහර පිපාසිත පේ‍්‍රතයන් ඉදිරියේ පිරිසුදු ජලය කොයි තරම් තිබුණ ද ඒවා පානය කරන්නට එම පේ‍්‍රතයන්ට මුඛය (කට) නොතිබීම හා සමාන වේ. මේ කාරණාවලින් පාප කර්මවල ආදීනවයේ බරපතළකම පැහැදිලි වෙයි.

එසේ ම කෙනකු රෝගාතුර වූ විට ඇයට හෝ ඔහුට වැළඳී ඇති රෝගය වෛද්‍ය පරීක්ෂණවලදී අනාවරණය වීම වළක්වා රෝගය යට කැර ගෙන සිටීමේ හැකියාවක් ඇතැම් අමනුෂ්‍යයනට ඇති බව ද පැහැදිලි වේ. එසේ ම අපේ ඉන්ද්‍රියයනට ගෝචර නොවන දේවල් ද අමනුෂ්‍යයන් විසින් කරනු ලබති. මහනුවර ප‍්‍රදේශයේ සුප‍්‍රසිද්ධ පාසලක සිදු වූ දෙයකි මේ,

ඒ පාසලේ එක්තරා පංතියක, පංති කාමරයේ අධ්‍යාපන කටයුතු කැර ගෙන යද්දී ගැහැනු ළමයකුගේ සුදු ඇඳුමට ඉහළ සිට ලේ පහරක් වැටීම සිදුවීය. දින කීපයක් ම මෙසේ සිදු වන විට එය කෙසේ සිදුවන්නක් දැයි ගුරුවරුන්ට පවා සොයා ගත නොහැකි විය.

ඒ පාසලේ ආර්ථික විද්‍යා උපදේශක ගුරුතුමිය මේ පිළිබඳව මහනුවර, හාන්තානේ, උල්පත් කන්ද ආරණ්‍ය සේනාසනයේ වැල්ලවත්තේ ශීල ගවේෂී හිමියන්ට දන්වනු ලදුව එම ආරාධනයෙන් උන් වහන්සේ පාසලට වැඩම කළහ.

උන් වහන්සේ දෑස් වසා ගෙන මඳක් සමාධිගතව ඒ පිළිබඳව විමසා බැලූහ. “පිරිත් ටිකක් කියා මේ දෝෂය ඉවත් කරන්න පුළුවන්” යැයි උන් වහන්සේ පැවසූහ. ඒ පාසලේ විද්‍යා ගුරුවරු හා විදුහල්පතිනිය ඊට විරුද්ධ වූහ.

“මම ආවේ බලෙන් නොවෙයි. ආරාධනයක් අනුවයි. කැමති නම් කරන්නැ” යි උන්වහන්සේ පැවසූහ.

“මෙතැන එහෙම දෙයක් නැතැ” යි එක් ශිෂ්‍යාවක් කීවාය. ඒ සැණින් ඇගේ ගවුම හරහා ලේ පහරක් වැදිණි.

“ඔබ තුමිය සියල්ලෙන් පරිනත නැහැ. බැරි වෙලාවත් මේ ළමයකුගේ ඇසකට ලේ වැටී අන්ධ වුණොත් ඔබ තුමිය වගකියන්න ඕනැ. අපට ප‍්‍රශ්නයක් නැහැ. මේ ළමය ගැන කරුණාවෙන් කැමති නම් ළමයින් සමඟ අපේ අසපුවට එන්නැ” යි විදුහල්පතිනියට පවසා උන්වහන්සේ ආපසු වැඩම කළහ.

සවස ළමයි හතළිහක පමණ කණ්ඩායමක් සමඟ ගුරු මහත්මීහු කීප දෙනෙක් අසපුව වෙත පැමිණයහ. උන් වහන්සේ මේ සියලු දෙනා පන්සිල්හි පිහිටුවා පිරිත් සූත‍්‍රයක් දේශනා කොට පිරිත් නූල් ගැට ගසා ආපසු යැවූහ.

පසුදින පාන්දර වැඩිහිටි කිහිප දෙනකු, සහ තවත් ස්වාමින් වහන්සේ නමක සමඟ ඒ පාසලේ පංති කාමරයට ගොස් පිරිත් සූත‍්‍ර කීපයක් හා ආටානාටිය සූත‍්‍රය සජ්ඣායනා කොට පිරිත් පැන් ඉස පැන් කුප්පි අටක් පංති කාමරය වටා එල්ලා ආපසු වැඩම කළහ. එයින් ම ඒ දෝෂය ඉවත් වීය.

ශීල ගවේෂී හිමියෝ ඒ ගැන මෙසේ ද පැවසූහ. “යම් යම් හේතූන් හා අයිතීන් මත භූතයන් යම් යම් ස්ථාන වලට අරක් ගන්නවා. බලපෑම් කරනවා. ඒ මොනවා වුණත් අමනුෂ්‍යයන් අවතැන් කරන්නට අපට අයිතියක් නැහැ. ඇතැම් ඇදුරන් එහෙම කළත් ඒක වැරදිය. බරපතල පාපයක්, ඒ නිසා මේ පංති කාමරයේ සිටි අමනුෂ්‍යයා පිළිබඳ මම කරුණාවෙන් සත්‍ය කි‍්‍රයාවක් කොට චිත්ත ශක්තියෙන් අමනුෂ්‍යයා ඊට වඩා සුදුසු පුණ්‍ය ස්ථානයකට යැව්වා” යි පැවසූ සේක.


Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

Categories

%d bloggers like this: