Posted by: lrrp | May 2, 2009

නිරෝගි බව සලසන විමුක්තිය උදා කරන ගිරිමානන්ද සූත්‍රය

වැරැදි සංඥා අහිතකර ඵල ගෙනදීම ස්වාභාවික ය. සාමාන්‍ය සඤ්ඤාව කලක් එම ස්වරූපයෙන් ම පවතින්නේ නම්, මාරයා අප ග්‍රහණය කර ගැනීම ඉතා කලින්ම සිදුවනු ඇත. එබැවින් බුදුරදුන් විසින් දේශිත අනිත්‍ය සංඥාව අනත්ත සංඥාව, අසුභ සංඥාව, ආදීනව සංඥාව, පහාණ සංඥාව, විරාග සංඥාව, නිරෝධ සංඥාව, සබ්බලෝකේ අනභිරත සංඥාව, සබ්බ සංඛාර අනිත්‍ය සංඥාව , ආනාපානසතිය යන දස සංඥාව, නිරෝගී භාවයට නිරවුල් චින්තනයට, නිරවුල් භාෂාවට, ක්‍රියාවට, බණ භාවනාවට කෙලෙස් සමනයට, නිවන් සුවයට මාර්ගය යි.

අථඛෝ ආයස්මතෝ ගිරිමානන්දස්ස ඉමා දසසඤ්ඤා සුත්වා සෝ ආබාධෝ ඨානසෝ පටිප්පස්සම්භි වුට්ඨාහිචායස්මා ගිරිමානන්දෝ තම්හා ආබාධා තථා පහීනෝච පනායස්මතෝ ගිරිමානන්දස්ස සෝ ආබාධෝ අහෝසීති.

සිරි සුගත තථාගත අප සම්මා සම්බුදුරජාණන් වහන්සේ අනන්ත සත්ත්වයන්ට දුක් වේදනා සමනය කොට සැනසුම ලබා ගැනීමට අති ශ්‍රේෂ්ඨ ධර්මයක් දේශනා කළ සේක. එම දේශනා අතර ගිරිමානන්ද සූත්‍රය මානසික පරිවර්තනයකින් ශාරීරික වේදනා නැති කිරීමට, වේදනා අරමුණු කරගෙන රාගාදී කෙලෙස් දාහ නිවීමට, විමුක්ති සුවයෙන් සැනසීමට මහෝපකාරී වන්නේ ය.

සත්වයකුගේ රූප, වේදනා, සංඥා, සංඛාර , විඤ්ඤාණ යන පංචස්කන්ධයම එක්ව, පවතින අතර, මෙම ස්කන්ධ පහ ක්‍රියාකාරී ලක්ෂණ වශයෙන් වෙනස් ය. ගිරිමානන්ද සූත්‍රයෙන් දක්වා ඇත්තේ පංචේන්ද්‍රියවලින් රූපාදී අරමුණු තම තමන්ගේ බුද්ධි සීමාව තුළ හඳුනා ගැනීම නොව, පංච උපාධනස්කන්ධ අනිත්‍යාදී වශයෙන් හඳුනා ගැනීමේ බුද්ධිමය උපාය වශයෙන් නිර්වාණගාමී පිළිවෙතට අවතීර්ණ වීමයි. සත්ත්වයාගේ පුහුදුන් ස්වභාවය අනුව පංචේන්ද්‍රිය වලින් රූපාදිය හඳුනාගන්නේ, තාවකාලික ප්‍රයෝජන අපේක්ෂාවෙනි. එහෙත් බුද්ධිය මුහුකුරා යන විට සිහි බුද්ධියෙන් ගෝචර ධර්ම හඳුනා ගැනීමට පෙළඹීම, සිදු වෙයි.

සත්ත්වයකු උපන්දා පටන් ලෝකය හඳුනා ගන්නේ පාරම්පරික සම්මත අනුව බැවින්, ලෙඩ රෝග, අතුරු ආන්තරා අපල උපද්‍රව ආදියට මුහුණ දීමට සිදු වෙයි. වැරැදි සංඥා අහිතකර ඵල ගෙනදීම ස්වාභාවික ය. සාමාන්‍ය සඤ්ඤාව කලක් එම ස්වරූපයෙන් ම පවතින්නේ නම්, මාරයා අප ග්‍රහණය කර ගැනීම ඉතා කලින්ම සිදුවනු ඇත. එබැවින් බුදුරදුන් විසින් දේශිත අනිත්‍ය සංඥාව අනත්ත සංඥාව, අසුභ සංඥාව, ආදීනව සංඥාව, පහාණ සංඥාව, විරාග සංඥාව, නිරෝධ සංඥාව, සබ්බලෝකේ අනභිරත සංඥාව, සබ්බ සංඛාර අනිත්‍ය සංඥාව , ආනාපානසතිය යන දස සංඥාව, නිරෝගී භාවයට නිරවුල් චින්තනයට, නිරවුල් භාෂාවට, ක්‍රියාවට, බණ භාවනාවට කෙලෙස් සමනයට, නිවන් සුවයට මාර්ගය යි.

සත්ත්වයා රූපාදී අරමුණු හඳුනා ගන්නේ මතු ග්‍රහණය කරන අපේක්ෂාවෙන් නිසා එහි යථාර්ථ ස්වරූපය අත්හැර එම ක්‍ෂණයකින් වෙනස්වන සියුම් පරමාණු රූප පාරම්පරිකව දී ඇති බාහිර නම් වලින් ග්‍රහණය කර ගනියි. මේ නිසා ඒවායේ සැබෑ තත්ත්වයට මුහුණදීමේ දී දුක් සන්තාප ඇති කර ගනියි. එය අහක යන කුණු ගොඩක් නොදැක බදා ගත්තා මෙනි. පුහුදුන් සත්ත්වයාගේ මානසික රෝගයක් වශයෙන් ආත්ම සංඥාවද අකුසල චේතනා රාශියකට හේතු භූත වන්නේ ය. එමෙන්ම පංචේන්ද්‍රිය ආශි‍්‍රතව විවිධ රෝගාබාධ ඇති වන බැවින් අප බුදුරජාණන් වහන්සේ ආයතන ද අනාත්ම වශයෙන් හැඳින ගත යුතු බව පහදා දුන් සේක.

ශරීරය මෙතරම් පීඩාකාරී වන්නේ එහි ඇති කුඩා අනුකුඩා අංගෝපාංගවල පවත්නා අනිත්‍ය ස්වභාවය නිසා ය. මෙම ස්වභාවය අමතක කර හෝ නොදැනුවත්කම හෝ අන්තවාදී දෘෂ්ටිය නිසා හෝ බාහිර වශයෙන් විවිධාකාර පිළියම් හා පෝෂණය, මණ්ඩණය කරන බැවින් එය, පීඩනයට පත්වන විට මානසික වේදනාවට පත් වෙයි. මේ නිසා අසුබ සංඥාව මානසික පර්වතනයකට හේතුවක් ලෙස, භාවනාමය කුසලයක් ලෙස, නිරෝගී භාවයේ නිධානයක් ලෙස ඵලදායක වන්නේය.

නව දොරකින් ජරාව පිටවන, සතර මහා භූතයන්ගෙන් පාලනය වන ශරීරය, උපන් දා සිට විවිධාකාර රෝගාබාධවල නිදානයක් වන්නේ ය. මේ වග සිහි බුද්ධියෙන් මෙනෙහි කිරීම, ආදීනව සංඥා නම් වන්නේ ය. එමගින් වේදනා සමනය වන්නේ ය.

ශරීරය පිළිබඳ තණ්හා, දිට්ඨි, මාන වශයෙන් සිතන විට ඇතිවන කාම විතර්ක, ව්‍යාපාද විතර්ක, විහිංසා විතර්ක ආදී වූ පාපී අකුසල ධර්ම නොඉවසීම බැහැර කිරීම, යළි නූපදින තත්ත්වය ඇති කර ගන්නේද එය ප්‍රහාණ සංඥාව වන අතර, එයින් ද මානසික පීඩා පහව යන්නේ ය.

සියලු සංස්කාර ධර්මය නිරුද්ධ වන කාමාදී උපධීන් බැහැර කිරීම, තණ්හාව ක්‍ෂය වීම, විරාගය උතුම් චින්තාවක් වන අතර, විරාග සංඥාව උභයාර්ථ සුවයට ද හේතු කාරක වෙයි.

නිරෝධ සඤ්ඤාව නම් සියලු සංස්කාර ධර්ම නිරෝධය, සියලු උපධීන් බැහැර කිරීම, තණ්හාව ක්‍ෂය වීම, විරාගය නිරෝධය තුළින් නිවීම යි.

සබ්බ ලෝක අනභිරත සංඥාවත් සබ්බ සංඛාර අනිත්‍ය සංඥාවත්, චෛතසික පිළිබඳ පරිවර්තන අවස්ථා දෙකකි. පවිත්‍ර සිතින් සිත තුළ බැලීම මෙයින් සිදුවන අතර, යථාර්ථ සංඥාවෙන් සංස්කාර කෙරෙන් සන්තානය වෙන් කිරීමට මෙය හේතු වෙයි.

සත්ත්වයාට ඇතිවන තණ්හා දෘෂ්ටි උපාදානාදී සාවද්‍ය දැකීම් හැඟීම් සියල්ලම ස්කන්ධ ධර්ම අරමුණු කරගෙන ඉපදී තුන් දොරින් ක්‍රියාත්මක වෙයි. එමෙන්ම බණ භාවනාදියෙන් සිත දියුණු නොකළ තැනැත්තා, ශාස්වත උච්ඡේදාදී දෘෂ්ටි සහ සත්වැදෑරුම් අනුසය කෙලෙස් ඇතිව ඒවායේ ඇලී ගැලී වාසය කරයි. එය ඔහුගේ මානසික පීඩනයට හේතු කාරක වන්නේ ය. සංසාරික මහා දුක් රාශියකට ගොදුරුවීමට එය හේතු වන්නේ ය.

අප බුදුරදුන් විසින් දේශනා කළ ගිරිමානන්ද සූත්‍රයේ අවසාන සංඥාව ආනාපාන සතිය යි. ආශ්වාස ප්‍රාශ්වාස 34 ආකාරයකට කිරීමෙන් ඒ පිළිබඳ ඉතා සියුම්ව සිහි බුද්ධියෙන් ආවර්ජන කිරීම ද කායික මානසික වේදනා සමනය කර ගැනීමට හේතු වෙයි.

සත්ත්වයා උපන්දා පටන් මරණය දක්වා කරක නිරායාස නිත්‍ය ක්‍රියාව නම්, ආශ්වාස ප්‍රාශ්වාසය යි. ඉතා වේගයෙන් සිදුවන එම ක්‍රියාව, අරමුණක් වශයෙන් මනසින් අල්ලා ගැනීමට සතිය තිබිය යුතු ය. ආශ්වාස ප්‍රාශ්වාස කරන වාතයක් එය නාසයේ පටන් ගමන් කරන මාර්ගයත්, ඉන් ක්‍රියා කරන ශරීරයත් දළ වශයෙන් මනසට ගෙන අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් මෙනෙහි කළ හැකිය.

සිතත්, සිතිවිලිත්, ශරීරයත් එක්ව ක්‍රියා කරවන ආනාපාන භාවනාව ක්‍රමයෙන් දියුණු කර ගන්නා විට සමථ විදර්ශනා දෙයාකාරයෙන්ම චිත්ත සන්තානය පී‍්‍රතියටත් සරල භාවයටත් පත් වෙයි. මෙයින් රාගාදි කෙලෙස් සමනය වෙයි. චිත්ත විවේකයෙන් යුතුව දිට්ඨධම්ම වේදනීය වශයෙන් ඉහාත්මයේදීම විමුක්ති සුවයෙන් සැනසීමට හැකිවෙයි.

බාහිර දියුණුවට වඩා ආධ්‍යාත්මික දියුණුව ඉතා ශ්‍රේෂ්ඨ වන්නේ එයින් සසර ගමනේ දී පවා සුගතිය තහවුරු වන බැවිනි. මෙයට ප්‍රධාන වන්නේ, සංඥා පරිවර්තනය යි.

අනවරාග්‍ර සසර සැරිසරන සත්ත්වයා, පංචේන්ද්‍රිය මගින් හඳුනා ගන්නා අරමුණු අනුව, කොතරම් සැප සම්පත් ලැබුවද, එහි අවසානය අනන්ත දුක් වේදනාවලින් පිරී පවත්නේ ම ය. එබැවින්, සංස්කාර වල උපතක්, පැවැත්මත්, විපතත් නුවණින් විමසා ඒ පිළිබඳ බුදුරදුන් විසින් වදාළ දස සඤ්ඤා ප්‍රගුණ කිරීමෙන්, මෙලොව හා පරලොව සුවපත් බවද අවේදයිත සැප සංඛ්‍යාත උතුම් නිවන් සුවයද ලබා ගැනීමට අප්‍රමාදව අවශ්‍ය කටයුතු කළ යුතු වන්නේ ය.


Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

Categories

%d bloggers like this: