Posted by: lrrp | May 2, 2009

ලක්දිව වැඩ සිටි අන්තිම මහ රහතන් වහන්සේ මලියදේව හිමියන් ද?

පාලි රසවාහිණී හා සද්ධර්මරත්නාවලිය අනුව වළගම්බා රජු කල බැමිණිටියාසාය පවතිද්දී චුළ පිණ්ඩපාතික තිස්ස තෙර විදර්ශනා වඩා රහත් වූ බව රසවාහිණී අම්බ අමාත්‍ය වස්තුව කියයි. වළගම්බා රජු වනගතව සිටියදී උදාවූ බැමිණිටියාසාය කල කොටගලවාසී මහානාග තෙර විදසුන් වඩා රහත් වූ බව පාලි රසවාහිණියේ ජයම්පතී වස්තුව කියයි.

දුටුගැමුණු රජු කල අපවත් වූ මලියදේව හිමියන් ලංකාවේ අන්තිම රහත් තෙරනම නොවේ. උන්වහන්සේ අපවත් වී තවත් අවුරුදු 550 – 600 පසුවත් ලංකාවේ රහත්හිමිවරුන් වැඩ සිට ඇත. අත්තනගළු වංශය කියන පළමු උපතිස්ස රජු කල විසූ හිමිනම හා ඉන්පසු පාහියන් හිමි කියන මහානාම රජු කල මහා විහාරයේ වැඩසිටි හිමි නම ලංකාවේ අන්තිම රහතන් වහන්සේලා විය හැකි ය.

ලංකාවේ අන්තිම රහත් හිමිනම දුටුගැමුණු රජුට කලකට පෙර වැඩ සිටි මලියදේව මහ රහතන් වහන්සේ යැයි පොදු ජනයා තුළ මෙන්ම බොහෝ උගතුන් තුළ ද විශ්වාසයක් ඇත. මේ විශ්වාසය අදහස කොතෙක්දුර තර්කානුකුල දැයි විමසීම මේ ලිපියේ පරමාර්ථයයි. පළමුවෙන්ම මලියදේව රහත් හිමියන් ජීවත්වුණු වකවානුව උන්වහන්සේගේ නමෙහි අර්ථය, ජීවන තොරතුරු කෙටියෙන් සළකා බැලීම සුදුසු ය. උන්වහන්සේ ගැන තොරතුරු කියන මූලාශ්‍ර කීපයකි. මහාවංසය, මහාවංස ටීකා, විශුද්ධිමග්ග, සීලවත්ථුප්‍රකරණය, සහස්සවත්ථුප්‍රකරණය, පාලි රසවාහිණී, විභංග අටුවා, මැදුම් සඟි අටුවාව, සඟ සරණ, සද්ධර්මාලංකාරය ඉන් කීපයකි. ඒ හැර උන්වහන්සේ ගැන ජනප්‍රවාද රැසකි. අංගුත්තර අටුවාවේ මහාදේවහිමි මලියදේවහිමි නමින් ද මහාවංශටීකාවේ මලය මහාදේව නමින් ද උන්වහන්සේ හැඳින්වෙන බව පොල්වත්තේ බුද්ධදත්ත හිමියන්ගේ “අටුවා පරීක්‍ෂණය” ග්‍රන්ථය කියයි. එහෙත් පසුකල පොල්වත්තේ බුද්ධදත්ත හිමි සංස්කරණය කළ සහස්ස වත්ථුප්‍රකරණය ප්‍රස්තාවනාවේ දී ලංකාවේ මලියදේව නමින් තෙරවරුන් දෙදෙනෙකු පිළිබඳ කියවෙයි. ආචාර්ය අදිකාරම් මහතාට අනුව මහාදේව, මලයදේව, මලියදේව, කාලදේවවාසී මහාමලිය, දේව යන නම් රැසකින් උන්වහන්සේ විවිධ මූලාශ්‍රවල හඳුන්වා ඇත. මහාවංශයේ සඳහන් මලියදේව හිමි හා විභංග අටුවා විශුද්ධිමග්ග සඳහන් කරන හිමි මලියදේව නමින් සිටි දෙදෙනා බව පොල්වත්තේ බුද්ධදත්ත හිමියන්ගේ අදහසයි. එහෙත් මූලාශ්‍ර ගණනාවක විවිධ නාමවලින් හඳුන්වා ඇත්තේ එකම හිමිනමක් බව සිතීම සාධාරණය.


මලියදේව මහ රහතන් වහන්සේ වැඩ සිටියේ යැයි ජනප්‍රවාදයේ සැලකෙන කුරුණෑගල ඉබ්බාගමුව අරංකැලේ වනවාසාරාම කුටිය.

ඊළඟට උන්වහන්සේගේ නියම නම ‘මලයදේව‘ ද නැත්නම් මලියදේව ද ැයි විමසා බැලීම සුදුසු ය. ‘මලයදේව‘ යන නම උන්වහන්සේගේ නිවැරැදි නම නම් ඒ නම ලැබුණේ උන්වහන්සේ කඳුරටේ දී උපන් නිසා බව පොල්වත්තේ බුද්ධදත්ත නා හිමියෝ ‘අටුවා පරීක්‍ෂණය’ ග්‍රන්ථයේ දී පෙන්වා දෙති. උන්වහන්සේගේ නියම නම මලියදේව නම් ඒ නම ලැබුණේ මාලදිවයිනේ උපන් නිසා බව පොල්වත්තේ බුද්ධදත්ත හිමි ලිවූ අටුවා පරීක්‍ෂණය ග්‍රන්ථයේ දී හා සහස්සවත්ථුප්‍රස්තාවනාවේදී කියයි. ආචාර්ය අදිකාරම් උන් වහන්සේ ලංකාවේ කඳුරටේ උපන් නිසා ‘මලයදේව‘ නම් වූ බව සිතයි. මහාචාර්ය සෙනරත් පරණවිතාන ලිවූ ‘සිලොන් ඇන්ඩ් මැලේසියා’ ග්‍රන්ථයේ දී උන්වහන්සේට ඒ නම ලැබුණේ ඈත පෙරදිග මලය රාජ්‍යයේ ඉපදුණු නිසා බව කියයි. ජෝන් සිරිමත් ද සොයිසා 1959 අප්‍රේල් 12 සිළුමිණ ශාස්ත්‍රීය අතිරේකයට ලිපියක් සපයමින් මේ අදහස පිළිගනියි.

මලියදේව හිමි වැඩ විසූ කාලය

සාලිය කුමරු පෙරභවයේ දී දුන් දානයක් උන්වහන්සේ පිළිගත් බව මහාවංශ ටීකා හා පාලි රසවාහිණී කියන බැවින් උන්වහන්සේ වැඩ සිටියේ දුටුගැමුණු රජු යුගයට (ක්‍රි.පූ. 161 – 137 ) කිට්ටු කාලයක බව පොල්වත්තේ බුද්ධදත්ත හිමියෝ අදහස් කරති. දුටුගැමුණු කුමරු පියාට අකීකරුව මාගම සිට මලය රටට පලාගිය විට තමාට ලැබුණු ධාන්‍යවලින් මලියමහාදේව තෙරුන්ට දානයක් දුන් බව සීහළවත්ථුප්‍රකරණයේ 42 කතාව කියයි. මේ අනුව කාවන්තිස්ස රජුට ආසන්න යුගයේ සිට දුටුගැමුණු රජු අවදිය දක්වා (ක්‍රි.පූ. 161 – 137 ) මලියදේව රහත් හිමි ජීවත්ව සිටි බව සිතාගත හැකි ය.

මලියදේව හිමි ගැන තොරතුරු

ලංකාවේ කඳුරටේ දී මාලදිවයිනේ දී හෝ ඈත පෙරදිග මලය රාජ්‍යයේ උපන් එතුමා ලංකාවේ මණ්ඩලාරාමයේ දී ශිල්ප හදාරා ඇත. මණ්ඩලාරාමය යනු වට්ටාරාම බව පොල්වත්තේ බුද්ධදත්ත හිමි හා ආචාර්ය අදිකාරම් පෙන්වා දෙති. කෑගල්ලේ පිහිටි වට්ටාරම අවට මලියදේව හිමියන් ගැන ජනකතා රැසක් ඇත. වට්ටාරම තිබූ දඹරන් බුදුපිළිමය මලියදේව හිමියන් විසින් වැඩම කර වු බව විශ්වාසයයි. අවුරුදු තුනකින් ත්‍රිපිටකය හදාරා නිමකළ මලියදේව හිමියන් කුඩා කල තමාට නිතර දානය පිළිගැන් වූ මහලු උපාසිකාවකට පසුව ගැඹුරු ධර්ම දේශනාවක් කර ඇය සෝවාන් මාර්ගයට පත් කළ බව ‘සඟසරණ’ හයවෙනි කතාවේ කියවෙයි. පපංචසුදනී පාලි අටුවාව අනුව මලියදේව හිමිය ලෝවාමහාපායේ පහත මාලයේ දී ධජග්ග සූත්‍රය දේශනා කොට භික්‍ෂූන් හැට නමක් රහත් ඵලයට පත් කරවුහ. එසේම දීඝවාපී, මිහින්තලේ, මුතියංගනය, සිතුල්පව්ව, කැලණිය යන ස්ථානවලදී ද උන්වහන්සේ හැට නම බැගින් රහත් කරවා ඇත. කැලණියේ දී උන්වහන්සේ හැට නමක් රහත් කර වු බව පසුකල ලියවුණු සැළලිහිණි සන්දේශය මෙසේ කියයි.

ගිලිය නොදී සැට මහණුන් බව මහණ
මලියදෙව් තෙරිඳු වැඩහිඳ දෙසූ බණ

මෙහි සඳහන් ලෝවාමහාපාය යනු මහාවංශය කියන දෙවනපෑතිස් රජු කළ ලෝවාමහාපාය ද නැත්නම් දුටුගැමුණු රජු කල මහල් නමයක් තිබූ ලෝවමහාපාය ද පැහැදිලි නැත. තරුණ කල පියා හා අමනාපව මලය රටට පලාගිය ගැමුණු කුමරු තමා ලද ධාන්‍යවලින් මලියදේව හිමියන් වෙත දානයක් දුන් පුවත සිහළවත්ථුවේදී විස්තර වෙයි. සීහළවත්ථු 76 කතාවේ උපාසකයෙකුගේ දානයක් පිළිගත් මලයගිරිවාසී තෙරනම මේ මලියදේව හිමියන් ලෙස හඳුනාගත හැක. තමාට දානය දුන් උපාසකයාට යාමට මාර්ගය පැහැදිලි කර දුන් හ. ඔහු එසේ යන විට රිදී ගොඩක් දැක දුටුගැමුණු රජුට ඒ ගැන දන්වා සිටියි. දුටුගැමුණු රජු ගැල් පන්සීයක් යවා රුවන්වැලි සෑයට අවශ්‍ය රිදී එහි සිට ගෙන්වා යයි. මේ කතාව අනුව මලියදේව හිමි දුටුගැමුණු අවදිය දක්වා ජීවත් වූ බව පෙනෙයි. සහස්සවත්ථු 77 කතාව අනුව මලියදේව හිමියන් චූලගල්ල උපාසක සමඟ දෙව්ලොව ගිය පුවතක් විස්තර වෙයි. මලියදේවහිමියන් තම උදරාබාධය සඳහා බෙහෙත් කැඳක් පිළියෙළ කරදුන් චුලගල්ල උපාසක සමඟ දෙව්ලොව ගොස් මෛත්‍රීය බෝසතුන් හා සිළුමිණිසෑය වැඳගත් අයුරු පාලි රසවාහිණියේ ද විස්තර වෙයි. සිංහල සද්ධර්මලංකාරයේ මේ උපාසාකයාගේ නම සුළුගුළු උපාසක ලෙස දැක්වෙයි. බෙහෙත් කැඳ ලිප තබා පදම් වනතුරු එතුමා චුලගල්ල උපාසක සමඟ දෙව්ලොව ගොස් ආ පුවත මෙහි එයි. ඒ අනුව සුළුගුළු උපාසක විසුවේ කුරුණෑගල දැදුරුඔය අසළ මලියදේව හිමි විසු විහාරයක් අසළ ය.

මලියදේව හිමියන් කුඩා කල වැඩිපුර කල් ගෙවූ වට්ටාරම පොල්ගහවෙල නුදුරු විහාරයකි. පැරැණි ලිපියක වට්ටාරම විහාරය ගෝඨාභය නම් රජෙකු කළ බව කියැවෙයි. වට්ටාරාම හෙවත් මණ්ඩලාරාමයේ දහවෙනි සියවසට පමණ අයිති ටැම්ලිපි කීපයක් හමුවෙයි. ලංකාවේ ස්ථාන ගණනාවක මලියදේව මා හිමියන් විසූ බව කියවෙන විහාර හා ඒ පිළිබඳ ජනප්‍රවාද හමුවෙයි. ඒ අනුව කලින් කල එතුමා සංචාරය කරමින් කල් ගෙවූ බව පෙනෙයි. ජන විශ්වාස අනුව බුදුහිමියන් පිරිනිවන් පෑ පසු බුද්ධදේහය රන් දෙනක බහා ආදාහනය කරන විට ඉන් පැන නැඟුණු දඹරන් බුදුපිළිම හතරක් ලංකාවට වැඩම කළේ මලියදේව හිමියන් විසිනි. ඒ දඹරන් පිළිම හතර 1. කෑගල්ල නුදුරු වට්ටාරාම 2. කොත්මලේ පුසුල්පිටිය 3. හඟුරන්කෙත මාදන්වෙල 4. පදියපලැල්ල නුදුරු මොරපාය විය. (මහාචාර්ය නන්දසේන මුදියන්සේ හා මහාචාර්ය පරණවිතාන අනුව මේ දඹරන් බුදුපිළිම ගම්පළ යුගයේ පමණ ඉන්දියාවේ නිමකළ ඒවා ය. නැත්නම් ඉන්දියාවේ සිට ගඩලාදෙණිය, ලංකාතිලකය වැනි විහාර සෑදීමට ලංකාවට ආ දකුණු ඉන්දීය ශිල්පීන්ගේ නිර්මාණ වෙයි.) සද්ධර්මාලංකාරයේ මේඝවර්ණ වස්තුව අනුව උදුම්බරගිරි පර්වතයේ මලියදේව හිමියන් වැඩ වසන කල එතුමාට උවටැන් කළ මේඝ වර්ණදෙවි ගැන පසුකළ කියවෙයි. මේ කතාවේ කියවෙන උදුම්බරගිරි යනු දිඹුලාගල විය හැක. නවුල්ලේ ධම්මානන්ද හිමි ‘මධ්‍යම ලංකා පුරාවෘත්ත’ ග්‍රන්ථයේ කියනුයේ උදුම්බරගිරි යනු වත්තේගම පන්විල නුදුරු හුන්නස්ගිරිය කඳුවැටිය බවයි. වත්තේගම සිට ඇල්කඩුවට විහිදෙන පාරේ මලියදේව හිමියන් වැඩ සිටි බව කියන කටාරම් කෙටු මලියදේව ආරණ්‍ය නම් ගල් ලෙනක් ඇත. කොත්මලේ පුසුල්පිටියේ කලකට පෙර වැඩ සිටි දඹරන් බුදුපිළිමය අසළ එම දඹරන් පිළිමයට අධිගෘහිත උදුම්බරගිරි සිට ආ එම පිළිමයේ ආරක්‍ෂාව සැළසූ මේඝවර්ණ දෙවිඳුට කැප වූ දේවාලයක් ඇත. කොත්මලේ පුසුල්පිටිය විහාරයේ මලියදේව හිමියන් වැඩ සිටි අතර ඒ පිළිබඳ ජන කතා රැසක් කොත්මලේ විසිර පවතී.

මහාවංසයේ 32 පරිච්ඡෙදයේ දුටුගැමුණු රජු (ක්‍රි.පු. 161- 137 ) තම මරණ මංචකයේ දී තමා කළ පින් ඇතුළත් පින්පොත අසද්දී රජු මලියදේව හිමියන්ට දුන් දානයක් උන්වහන්සේ සමන්ගිරි පර්වතයේ නවසීයක් භික්‍ෂූන් සමඟ වැළඳු බව කියවෙයි. ජනප්‍රවාද අනුව මලියදේව රහත්හිමි අපවත් වූ පසු උන්වහන්සේගේ දේහය තම සහෝදරියට දැක ගැනීම පිණිස අහසින් අවුත් මැණික්දෙන නම් ස්ථානයට පහත් වී ඇත. දඹුල්ලේ පැරණි මැණික් දෙන විහාර සංකීර්ණය පිහිටා ඇත්තේ එහිය. මලියදේව හිමියන් ලංකාවේ අන්තිම රහත් නම යැයි කීම වැරැදියැයි පොල්වත්තේ බුද්ධදත්ත හිමි හා ආචාර්ය අදිකාරම් පෙන්වා දෙති.

මලියදේව මහරහතන් හිමියන්ට පසු වැඩ සිටි රහත් හිමිවරු

වංශකතා සාහිත්‍ය මූලාශ්‍ර හා විදේශීය වාර්තා අනුව මලියදේව මහ රහතන් හිමියන්ට පසු වැඩසිටි රහතන් වහන්සේ පිළිබඳ තොරතුරු හමුවෙයි.

1. දුටුගැමුණු රජු (ක්‍රි.පූ. 161 – 137 ) ඉදිකළ ලෝවාමහාපාය පහළ සිට ඉහළට මහල් වෙන් වී තිබුණේ භික්‍ෂූන් සිටි ආධ්‍යාත්මික මට්ටම් අනුවය. ඒ අනුව ලෝවාමහාපායේ ඉහළම මහල් හතර වෙන්වී තිබුණේ රහතන් වහන්සේලාටය. රහතන් වහන්සේලාට මහල් නවයෙන් හතරක් ම වෙන් කිරීමෙන් පෙනී යන්නේ විශාල රහතන් වහන්සේලා ප්‍රමාණයක් වැඩ සිටි බවයි.

2. දුටුගැමුණු රජුට පසු රජ වූ සද්ධාතිස්ස රජු කල (ක්‍රි.පූ. 137 – 119 ) රුහුණේ සේනාපබ්බතගම මහා නාගතෙර විදසුන් වඩා රහත් වූ බව සදහන් වෙයි.උන්වහන්සේ පිරිනිවන් පෑ පසු සද්ධාතිස්ස රජු මහානාග තෙරුන්ගේ දෙන එසවීමට තැත් කළත් බැරි වූ බව සිහළවත්ථු 29 කතාව කියයි.

3. වළගම්බා රජු කල (ක්‍රි.පූ. 103 – නැවත 89 –77 )බොහෝ රහතන් වහන්සේ හා ධ්‍යානලාභී භික්‍ෂුහු බැමිණිටියා සාගතය නිසා නිරාහාරව පිරිනිවන් පෑහ.

වල්පොල රාහුල හිමියන්ගේ ‘ලංකා බුදුසමයේ ඉතිහාසය’ ග්‍රන්ථය අනුව තිස්සමහාරාමය හා සිතුල් පව්වේ භික්‍ෂූන් 24, 000 එකදා නිරාහාරව අපවත් වූ බව අටුවාවල කියවෙයි. බැමිණිටියා සාගතය කල කුසගින්න උග්‍රව සොර රැළක් මහාභය තෙර මරා මස් කෑමට සැරසෙන විට මහාභය තෙර විදර්ශනා වඩා රහත් වූ බව පාලි රසවාහිණියේ අභය තෙර කතාව කියයි. වළගම්බා රජවූයේ දුටුගැමුණු රජුට අවුරුදු පණහකට පමණ පසුය.

4. පාලි රසවාහිණී හා සද්ධර්මරත්නාවලිය අනුව වළගම්බා රජුකල බැමිණිටියාසාය පවතිද්දී චුළපිණ්ඩපාතික තිස්සතෙර විදර්ශනා වඩා රහත් වූ බව රසවාහිණී අම්බ අමාත්‍ය වස්තුව කියයි.

5. වළගම්බා රජු වනගතව සිටියදී උදාවූ බැමිණිටියාසාය කල කොටගලවාසී මහානාගතෙර විදසුන් වඩා රහත් වූ බව පාලි රසවාහිණියේ ජයම්පතී වස්තුව කියයි.

6. සඳ මුහුණු හෙවත් චන්ද්‍රමුඛ සිව රජු කල (ක්‍රි.ව. 43 – 52 ) අනුරාධපුර මහාවිහාරයේ සිටි ඇස් පෙනීම අඩු රහත් හිමිනමක් ගැන මැදුම්සඟ අටුවාවේ කියයි.

7. වසභ රජු කල (ක්‍රි.ව. 67 – 111 ) කන්ථකසාල පිරිවෙන්වාසී තෙරනමක් රහත් බව ලබා ඇත. ශිලාලිපිවල ‘වහබ’ නමින් හඳුන්වන මේ රජු රජ කළේ මලියදේව හිමි අපවත්ව අවුරුදු 250 පමණ පසුය. ඒ අනුව ක්‍රි.ව. පළමු සියවසේදීත් රහතන් වහන්සේ සිටි බව පෙනී යයි. වසභ රජුට පසු කාලයේ ක්‍රමයෙන් රහතන් වහන්සේලාගේ ප්‍රමාණය අඩු වී ගොස් ඇති අතර ඒ පිළිබඳ තොරතුරු සෙවීම දුෂ්කරය.

8.පාලි හත්ථවනගල්ල විහාරවංශය හා සිංහල අත්තනගළු වංශය (මුල් සිංහල අත්තනගළුවංශය ගම්පළ කල ලියවී ඇත. දෙවැනි සිංහල අත්තනගළු වංශය කෝට්ටේ මහා වීදාගම හිමි කියවන ලදුව එතුමාගේ ශිෂ්‍යයෙකු ලියා ඇත). ඒ අනුව අත්තනගළු විහාරයේ විසූ තෙර නමක් පොළොව ගුගුරුවා ගෙන රහත් වූ බව කියවිණි. පළමු උපතිස්ස රජු (365 – 406 ) එම පොළොව ගිඟුරුම් හඬ අසා අත්තනගළු විහාරයට ගොස් උන්වහන්සේ බැහැ දැක එම රහත්හිමි නමට පස් මහල් මැඳුරක් කරවා පිදු බව අත්තනගළුවංශය 10 පරිච්ඡේදය කියයි. මේ කියවෙන හිමිනම පොළොව ගිඟුරුවා ගෙන රහත්වූයේ අත්තනගළු විහාරයේ ය.

එකළ රජ කළේ පළමු උපතිස්ස රජු ය. (365 – 406 ) ඒ මලියදේව මා හිමියන් අපවත් වී අවුරුදු 550 පමණ පසුය.

9. මහානාම රජු කල (406 – 428 ) ලංකාවට ආ පාහියන් නම් චීන හිමිනම දුටු විස්තර ගමන් චාරිකා විස්තරයක් ලෙස ලිවූ අතර එය ‘පාහියන් දේශාටන වාර්තාව‘ ලෙස සිංහලෙන් පලවී ඇත.

පාහියන් හිමියෝ මහා විහාරයේ උග්‍ර තපස් රැක රහත් වු හිමි නමකගේ ආදාහන උත්සවයක් අනුරාධපුරයේ දී දැක ඒ ගැන විස්තර කරති. මේ රහත්හිමිනම වැඩ සිටියේ මහානාම රජු කල (406 – 428 ) මහාවිහාරයේ ය. වැඩසිටියේ මලියදේව හිමියන්ට අවුරුදු 550 – 600 පමණ පසුකලයි.

10. මේ අනුව දුටුගැමුණු රජු කල අපවත් වූ මලියදේව හිමියන් ලංකාවේ අන්තිම රහත් තෙරනම නොවේ. උන්වහන්සේ අපවත් වී තවත් අවුරුදු 550 – 600 පසුවත් ලංකාවේ රහත්හිමිවරුන් වැඩ සිට ඇත. අත්තනගළු වංශය කියන පළමු උපතිස්ස රජුකල විසූ හිමිනම හා ඉන්පසු පාහියන් හිමි කියන මහානාම රජු කල මහා විහාරයේ වැඩසිටි හිමි නම ලංකාවේ අන්තිම රහතන් වහන්සේලා විය හැකි ය.


Responses

  1. බුද්ධ ශාසනය තවමත් පවතින නිසා මේ මොහොතේත් රහතන් වහන්සේලා ලක්දිව වැඩවාසය කරයි


Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

Categories

%d bloggers like this: