Posted by: lrrp | May 2, 2009

හාමුදුරුවන් අපවත් වුණත් වැඩ විසූ ගල් ලෙනෙන් පිරිත් හඬ

අතීතයේ මිනිසා ගොවිතැන් කටයුතුවලදී ද රාති‍්‍ර පැල් රැකීමේ දී ද, වන්දනා ගමන් යාමේදී ද, ඔරු පාරු පැදීමේ දී ද, පතල් කර්මාන්තයේ දී ද යනාදී වූ දෛනික චර්යාවල දී පාළුව කාන්සිය හා වෙහෙස මඟ හරවා ගැනීම සඳහා තුන් සරණය ආදී කවි ගායනා කළේ ය. එයින් සිත තුළ නිරන්තරයෙන් පහන් සිතුවිලි ගොඩ නැඟුණේ ය.

එසේ ම ඒ ප‍්‍රසන්නතාව නිරෝගී බවට ද හේතු විය. බුද්ධ වන්දනාවේ දී ද පිරිත් සජ්ඣායනයේ දී ද, බෝධි පූජාවේ දී ද අල්තාරය ඉදිරිපිට යාඥා කිරීමේ දී ද, දේවාලයේ දී ස්තෝත‍්‍ර ගායනාවේ දී ද මේ ප‍්‍රසන්නතාව මිනිසා ගේ සංවර්ධනය සඳහා කි‍්‍රයාත්මක වේ. එහෙත් බොහෝ දෙනා අද පුරුදුව ඇත්තේ උච්චාරණය අතහැර නිහඬව වන්දනා කිරීමට ය. අධ්‍යාත්මීය වශයෙන් දියුණු වූ අය හැරෙන්නට සාමාන්‍ය අය නිහඬව සිතින් වන්දනා කරනවා ය කියන කටයුත්තේ දී ඔහු හෝ ඇය තුළින් දුර්වල කමක් දකිමු. ඒ අපගේ පෞද්ගලික අදහස යි. අද බෞද්ධ කටයුත්තකදී පවා පන්සිල් ගැනීමට පෙර නමස්කාරය කීමේ දී කණට ඇහෙන්නට හඬ නඟා කියන අය ඉතා අල්පය.

කුරුපැන්නෙ හාමුදුරුවන් විසින් කළු ගලෙන් ඉදිකරන ලද කළුගල් වෙහෙර

සජ්ක්‍ධායනයේ ඇති වටිනාකම හා ඵලදායි බව වර්තමානයේ නවීන විද්‍යාවෙන් පවා සනාථ කොට ඇත. ඒ බව සුකුබා සරසවියේ ජාන ඉංජිනේරු මහාචාර්ය කාසෝ මුරාකාමි මහතා මෙසේ විස්තර කැර ඇත.

“ඕනෑම ජීවියෙක්, මිනිසකු වේවා සතකු වේවා ශාඛයක් වේවා, ඒ සෛල විශාල සංඛ්‍යාවෙකින් සැදුම් ලද්දේ වේ. සෛලයක් යනු ප‍්‍රමාණයෙන් (ආසන්න ම) මිලි මීටරයකින් පන් ලක්ෂයකින් එකකි. (1 / 500000) බරින් ග‍්‍රෑමයකින් (ආසන්නම) විසි කෝටියකින් එකකි. (1/ 200000000) ජීවිතයක් ආරම්භ වනුයේ මව් කුසෙහි හට ගත්තා වූ මෙවැනි ඒක සෛල කලලයකිනි. සංසේචනයෙන් පසු මෙම කලල සෛලය දිගින් දිගට ම ඡේදනය වී අවසාන වනවිට අග පසඟ නිර්මාණය වන්නට පටන් ගනී.” (මහායානය එහි දර්ශනය හා පරිචය ජේ. විජේසේකර – 53 පිටුව)

වෙද්‍යවරු සිය පර්යේෂණ මගින් මූලිකව සජ්ඣායනයෙන් සිත හා කය ලබන යහ වර්ධනයෙහි නිරවද්‍යතාව සහතික කැර ඇත්තා හ.

තෝකියෝ විශ්ව විද්‍යාල රෝහලේ ප‍්‍රධාන ස්නායු ශල්‍ය වෛද්‍ය මහාචාර්ය තොමියෝ හිෙරෙ මෙසේ පවසයි. “දැඩි සේ සෙමෙන් ආශ්වාස කිරීමෙන් රුධිරයෙහි ක්ෂාර ගතිය අඩු වන අතර රුධිර වාහිනී විශාල වී රුධිර ගලනය පහසුවේ. ඉන් හදවත සැහැල්ලු වන අතර මාංශ පේශි සංසිඳේ.”

මොළයේ කි‍්‍රයාත්මක වන බීටා තරංග හා ඇල්ෆා තරංගවලට ද සජ්ඣායනය ඉතා සුබදායි අන්දමින් බලපෑමක් කරයි. අකුසල සිතුවිලි හා සම්බන්ධ බීටා තරංග අභිබවා කුසල සිතුවිලි සමඟ සම්බන්ධ ඇල්ෆා තරංග උත්පාදනය කැර වර්ධනය කිරීමට ද හේතුවේ. සජ්ඣායනයේ බලපෑම පිළිබඳ පර්යේෂණවලින් අනාවරණය වන්නේ ආශ්වාස ප‍්‍රශ්වාස ගැඹුරුව ශක්තිමත්ව හා දීර්ඝව සිදුවන විට එය යමකුගේ ප‍්‍රාණවත් බව වර්ධනය වීමට ඉවහල් වන බව ය. සජ්ඣායනය තුළින් ස්වයංසාධක ස්නායු පද්ධතියට යහපත් සුව සාදනය සඳහා බලපෑම් කැරේ. ඉන් සමස්ත සිරුරේ සෞඛ්‍ය තත්ත්වය ද වැඩි දියුණු වේ.

“ශ‍්‍රද්ධාවෙන් යුතුව සජ්ඣායනයේ යෙදෙන කලට මොළයෙන් පිටවන බීටා තරංග ඇල්ෆා තරංග ලෙසට පරිවර්තනය වේ. බීටා යනු කෙටි අක‍්‍රමවත් තරංග විශේෂයකි. භාව ප‍්‍රකෝප වූ විට නොරිස්සුම් සිතුවිලි ඇති වූ විට එසේ නැත්නම් අධික ආතතියක් ඇති වූ විට මෙම කෙටි තරංග මොළයෙන් පිටවන්නට පටන් ගනී. ඇල්ෆා තරංග මට සිලුටු ය. වක‍්‍රාකාරය. යමෙක් සිත පහන්ව විවේකීව ගත කරන කල්හි ඇල්ෆා තරංග උත්පාදනය වේ.” (මහායානය එ.ද.භා.ප – 25 පිටුව)

මහායානය හෝ වේවා හීනයානය හෝ වේවා මෙහිදී කියැවෙන සජ්ඣායනය ඕනෑම ජීවිතයකට සාධාරණය වේ. එහෙත් මොළයේ ඇල්ෆා තරංග වර්ධනය වන්නේ එම සජ්ඣායනය ශ‍්‍රද්ධාවෙන් යුතුව සිදු කළහොත් පමණි. මහායානිකයෝ “නම්‍යෝ ම්‍යෝ හෝ රෙන්ගේ ක්‍යෝ” යැයි “ඔදයිමොකු’ සජ්ඣායනයේ යෙදෙමින් දැඩි සේ සෙමෙන් ආශ්වාස කිරීම හෙවත් ගැඹුරුව ශක්තිමත්ව හා දීර්ඝව ආශ්වාස ප‍්‍රශ්වාස කරන්නේ යම් සේ ද “නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස’ යන නමස්කාර පාඨය ද එසේ ම සජ්ඣායනා කළ හැකි ය. පන්සිල් පදයන් ද වෙනත් ඕනෑම පිරිත් සූත‍්‍රයන් ද එසේ ශ‍්‍රද්ධාවෙන් යුතුව සජ්ක්‍ධායනා කළ හැකි ය.

ථේරවාදී නිකායවල මහා සංඝයා වහන්සේ ද මෙහෙණින් වහන්සේ ද සිල් මෑණිවරු ද පිරිත් සජ්ඣායනයෙන් රෝගීන් සුවපත් කරන අවස්ථා බොහෝ ය.

ගැමියන් විසින් පහන් දල්වා දිනපතා පූජා පවත්වනු ලබන කුරුපැන්නෙ හිමියන් නමින් ඉදිකළ ස්මාරක චෛත්‍යය.

එවැනි ස්වාමීන් වහන්සේ නමක් අපවත් වී ආදාහනය කිරීමෙන් පසුව ද උන්වහන්සේ විසූ ගල්ලෙන තුළින් දවස් හතක් පිරිත් සජ්ඣායනය ඇසුණා යැයි කීවොත් ඔබ මවිතයට පත්වනු නිසැකය. එහෙත් එය සත්‍යයකි. එය සනාථ කරන වයස් ගත වැඩි හිටියෝ කරවනැල්ල ප‍්‍රදේශයේ කුරුපැත්ත හා එළුවාන ගම්මානවල අදත් වාසය කරති. දෙහිඕවිට, එළුවාන ගමේ පදිංචි 66 හැවිරිදි ඇස්වත්තගේ පියදාස මහතා මේ ස්වාමීන් වහන්සේ පිළිබඳ මෙසේ පවසයි.

“ඉස්සර කොළඹ සාප්පුවක වැඩ කළ කෙනෙක් ඒ රස්සාව අතහැර මේ ප‍්‍රදේශයේ රේල් පාර හදන කාලෙ එහි වැඩට ආවා. ඔහු කළේ මේසන් (පෙදරේරු) වැඩ. මමයි ඔහුට අත්වැඩ දුන්නේ. ඔහු පිරිත් කියන්න දක්ෂයි. මන්ත‍්‍ර ගුරුකම් එහෙමත් දන්නවා. වැඩ නැති දවස්වලට ගමේ ඇවිදින්න යනවා. ඔහු කුරුපැන්න කන්ද දැකලා, කන්දේ ගල් ලෙන් එහෙම දැකලා පැවිදි වුණා.

පැවිදි වුණාට පස්සෙ නම භාවිතා කළේ ධම්මානන්ද හාමුදුරුවෝ කියලා. නිකාය ඇහුවා ම කියන්නේ බෞද්ධ තාපස නිකාය කියලා. උන් වහන්සේ ගේ ගම මම දන්නේ නෑ. බෙන්තර ප‍්‍රදේශයේ කියලයි ආරංචි. ගිහි නමත් මට මතක නැහැ.

කරවනැල්ලේ පුංචි අප්පුහාමි මේ හාමුදුරුවන්ට ඉඩමක් දුන්නා පන්සලක් හදාගන්න. උන් වහන්සේ සල්ලි ඇල්ලුවේ නෑ. වැරදියි කියන කිසි ම දෙයක් කළේ නැහැ. හැබැයි වැසිකිළි යන වේලාවට සුරුට්ටුවක් බිව්වා. මිනිස්සු උන් වහන්සේ හැඳින්නුවේ කුරුපැත්තෙ හාමුදුරුවො කියලා.

උන් වහන්සේ හැමදාම උදේ පාන්දරයි හැන්දෑවෙයි නොවරදවා ම පිරිත් කිව්වා. ගමේත් ගම අවටත් මිනිස්සු පිරිත් අහන්න එනවා. මිනිස්සු ආවත් නාවත් උන්වහන්සේ පිරිත් කිව්වා. ඒ පිරිතෙන් අපල උපද්‍රව ලෙඩ දුක් සුවපත් වුණා. උන් වහන්සේ වැඩ සිටිය ගල්ලෙනට යන්න පාරේ සිට පඩි පෙළක් හැදුවා. ඒ මහ ගල් පලන්න, පෙරළන්න, ගෙනියන්න මන්ත‍්‍ර ශාස්ත‍්‍රයෙන් වැඩ ගත්තා. මිනිස්සු ගලේ එක පැත්තක් උස්සන කොට හාමුදුරුවො අනිත් පැත්තට අත තිබ්බා ම ගල ඉස්සෙනවා. ඒ වගේ ම කළු ගලෙන් චෛත්‍යයක් හැදුවා. මුළු චෛත්‍යයම කළුගල්වලින්. වාත්තු කළා වාගේ අවශ්‍ය හැඩයට ගල් සකස් කර මේ චෛත්‍යය හැදුවේ. අදත් යන කෙනෙකුට, දැක ගන්න පුළුවන්. මේවා කොහොම කළා ද කියා හිතා ගන්නත් අමාරුයි.

උන් වහන්සේ ගෙන් මම ඉගෙන ගත්ත මන්ත‍්‍ර තියෙනවා. සර්ප විෂ වෙදකමත් මට කියා දුන්නා.

මගුලේ යන්නත් දැකලා

කුඹුරේ මඩ කළල් කළා

වැස්සට පැල යට ඉඳලා

නාග විෂට නස්න කළා

මගුල් කරඳ කොළ හා කුඹුරු ඇට මද නර මුත‍්‍රයෙන් නස්න කළ විට නාග විෂ බහින බවයි එහි තේරුම.

මුත්තගෙ බෑයේ සුදු මද රැගෙනේ

අත්ත ගෙනා පැන් උණුකර අනාගෙනේ

පත්තෑ කෑ මුකේ ගෑවොත් විස බසිනේ

මුත්තාපල්ල බේතකි රටට නොකියන් නේ

කිල්ලෝටයේ හුණු මී පැණි සමඟ අනා ගෑවොත් පැත්තෑ විෂ බහින බව ඉන් කියැවේ.

“ඕං රීං කණ්ඩ කාලී මහා කාලී ඔඩ්ඩි අම්මා ඔට්ටු කට්ටු පූට්ටු ඒස්වාහº” මේ උළුක්කුවට මතුරන මන්ත‍්‍රයකි. මේ මන්ත‍්‍රයෙන් එඬරුතෙල්වලට මතුරා උළුක්කු වූ ස්ථානයේ ගාන්න.

ඒ කාලෙ මේ ප‍්‍රදේශයේ ඒක දත්තයා කියලා ඇතෙක් හිටියා. එක දළයයි ඒ ඇතාට තිබුණේ. ඒ නිසයි ඒක දත්තයා කියලා නම වැටුණේ. මේ ඇතා හරිම සැරයි. දවසක් මේ ඇතා පාරට ඇවිත් හිටියා. ඒ වෙලාවේ කුරුපැත්තෙ හාමුදුරුවොත් පාරේ ගමන් කරමින් සිටියා ඒ දිසාවට ම.

මිනිස්සු කෑ ගැහුවා “යන්න එපා හාමුදුරුවනේ” කියලා. මේ හාමුදුරුවො ඒ කීම නාසා ඇතා ඉන්න දිහාවට ම වැඩ ම කළා. සමහරු කේන්තියෙන් “යන්න එපා ගණයො. පල අහකට” කියලත් කෑ ගැහුවා. දැන් ඈත එන හාමුදුරුවන් දෙස ඇතා බලාගෙන ඉන්නවා.

හාමුදුරුවොත් ඇතා ඉස්සරහට ම වඩිනවා. මිනිස්සු ‘අනේ අපෝයි’ කියනවා. අන්තිමට ඇතා හොඬය උස්සලා කුංචනාද කර හාමුදුරුවෝ ඉස්සරහා දණ ගහලා නමස්කාර කළා.

ආයෙත් දවසක් භූතයෙක් වැහී පිස්සු හැදුණු තරුණ ගෑනු ළමයකු ඇගේ වැඩිහිටියන් විසින් පන්සලට කැඳවා ගෙන එනු ලැබුවා. පිරිතෙන් සුවපත් කරගන්න බලාපොරොත්තුවෙන්. ඒ කාලෙ පන්සල පාවුල කටු මැටියෙන් නවාතැන් පොළක් හදා තිබුණා පිටින් එන අයට නවාතැන් ගන්න.

මේ පිරිසත් එතැන නවාතැන් අරගෙන උදේ සවස මේ ගෑනු ළමයාව එක්කර ගෙන ගියා පිරිත් අහන්න. ඒත් මේ ළමයා සුවපත් වුණේ නෑ. ඒ වගේ ම මේ ළමයා තරුණ කෙනෙක් නිසා ගමේ ඉලංදාරි හැමදාම පූජාව වෙලාවට පිරිත් කියන වෙලාවට පංසලට ඇවිත් තාප්ප උඩ ඉඳගෙන බලා ඉන්නවා. මෙයින් වැඩි දෙනෙක් බීමත් ව එන්නේ. හාමුදුරුවන් මේ ගැන අකමැත්තෙන් හිටියේ.

මේ කෙල්ලගෙ පිස්සුව සාමාන්‍ය පිරිතෙන් සුව කරන්න බැරි තැන දවසක් හාමුදුරුවෝ ආටානාටිය සූත‍්‍රය දේශනා කළා. එදා කෙල්ල කීවා “මම බිල්ලක් අරගෙන මිසක් යන්නෙ ම නෑ” කියා.

හාමුදුරුවෝ කීවා “උඹට බිලි දෙන්න මම සූදානම් නෑ. අන්න අර පන්සලේ ඉන්න බැල්ලිගෙ වලිගය කුණු වෙලා වැටිලා තිබුණා. උඹට ඕනෑ නම් ඒක අරගනින්” කියා.

“හාමුදුරුවෝ මට අගෞරව කරනවා නේදැ” යි භූතයා ඇසුවා.

“මම භූතයන්ට මීට වඩා සලකන්නේ නෑ බං” හාමුදුරුවෝ කීවා.

“මම කාලි”

“ආ… එහෙනම් උඹ සදාකාලි ද?”

භූතයා නිරුත්තර වුණා. ටික වේලාවක් නිහඬව සිට “මට යන්න ඕනෑ” යි කීවා.

“ඉතින් පලයං. මම උඹට නවතින්න කීව යැ”යි හාමුදුරුවෝ පැවසුවා.

“හා… හා… පොඩ්ඩක් ඔහොම හිටපං” යි කියූ හාමුදුරුවෝ ළඟ තිබුණු පොල්මලක් ගෙන යමක් අධිෂ්ඨාන කැර තරුණිය අතට දුන්නා.

පොල් මල අතට ගත් උමතු තරුණිය පැන්න ගමන් අර තාප්පය උඩ හිටපු බීමත් තරුණියන්ට ගහගෙන ගහගෙන ගියා. උන්ට තාප්පයෙන් වැටෙන්නට ගැහැව්වා. පොල් මල් පාරට සමහරුන් ගේ මූණු පුපුරලා.

ඊට පස්සේ තරුණිය දුවගෙන ඇවිත් හාමුදුරුවන් අබියස සිහිසුන්ව වැටුණා. එයින් ම ඒ ළමයා සුවපත් වුණා. ඒක අමානුෂ්‍යයෙක් ශරීර ගත වී හැදුණු උමතුවක්. ඒ වගේ ම ඊට පස්සෙ ඉලංදාරි පිස්සු නැටුම් බලන්න ආවෙත් නෑ. බීගෙන පංසලට ආවෙත් නෑ.

ධම්මානන්ද හාමුදුරුවෝ 1962 වර්ෂයේ අපවත් වුණා. එතකොට උන්වහන්සේ ගේ වයස අවුරුදු අනූ එකයි. උන් වහන්සේ අපවත් වී ආදාහනය කළාට පස්සෙත් වැඩ සිටිය ගල්ලෙන තුළින් පාන්දරටත් රාති‍්‍රයටත් ඉතා ම සිහින් හඬකින් පිරිත් දේශනා කරනවා ඇහුණා. අපේ හාමුදුරුවෝ අපවත්වෙලත් පිරිත් කියනවා ය කියන ආරංචියට ගමේ අයත් ගම අවට අයත් දිනපතා 30 – 40 ක් ඒ පිරිත් අහන්න පංසලට ආවා. ඒ පිරිත් අහපු පැරැණි අය අදත් ගමේ ඉන්නවා. මමත් එයින් එක්කෙනෙක්” යැයි පියදාස මහතා කීවේය.

කුරුපැන්නේ හාමුදුරුවන්ගේ පිරිත් දේශනයේ අනුසස් දන්නා පැරැණි අය තමන්ගේ ලෙඩ දුක්වලදී කරදරවල දී තවමත් පැමිණ උන් වහන්සේ ගේ සොහොන් කොත ළඟ පහනක් දල්වා පූජා පවත්වනු දැකිය හැකි ය.

මෙම ගවේෂණය සඳහා මට සහාය වූ දියගම ඩබ්ලිව්.ජී. වීරවර්ධන මහතාටත් මධුක ගුණතිලක මහතාටත්, දැනට එහි යෝගී ජීවිතයක් ගත කරන හෝමාගම ඉන්ද්‍රරතන හිමියන්ටත් ස්තුති කරමි.


Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

Categories

%d bloggers like this: