Posted by: lrrp | May 9, 2009

උන්නැහේ මීට කලින් නම් මට යක්කු ගහලා නෑ

විවිධ වූ සජ්ඣායනයන් ගෙන් කෙනෙක් මානසික සුවයක් ලබති. තවත් කෙනෙක් ඊට වඩා ගැඹුරු වූ ආධ්‍යාත්මීය සුවයක් විඳිති. මේ අතර නිවැරැදි සජ්ඣායනයෙන් සිදුවන ක‍්‍රමවත් ආශ්වාස ප‍්‍රශ්වාස කි‍්‍රයාවලිය නිසා රුධිර ධාවන පද්ධතියේ යහපත් කි‍්‍රයාකාරීත්වයක් ද එයින් හදවතේ සැහැල්ලු බවක් ද බීටා තරංග අබිබවා ඇල්ෆා තරංග නිපදවීමෙන් සෛල කි‍්‍රයාකාරිත්වය මොළයේ යහ පැවැත්මට හේතු වන බවත් පසු ගිය ලිපිවලින් සාකච්ඡා කළෙමු.

ශීලයෙන් ගොඩ නඟා ගන්නා ලද කාය වාග් සංවරය ද භාවනාවෙන් දියුණු කැර ගන්නා ලද චිත්තප්මය ශක්තිය ද හේතු කොට ගෙන දුකට පත් වූවනගේ ලෙඩ දුක් කරදර සුවපත් කළ කරවනැල්ලේ කුරුපැත්තේ හාමුදුරුවන්ගේ ජීවිතයේ අපේ පියවි ඇසට නොපෙනෙන හැකියා පිළිබඳ තවමත් අවිස්සාවේල්ල දෙහිඕවිට ප‍්‍රදේශවල පැරැන්නෝ කතා බහ කරති.

කරවනැල්ලේ පදිංචි අසූ හතර හැවිරිදි තේමිස් වීරක්කොඩි මහතා කුරුපැත්තෙ හාමුදුරුවන්ගේ අතීත සිද්ධි මතක් කළේ මෙසේ ය. “උන් වහන්සේ මේ කන්දේ ගල්ලෙනේ පදිංචියට වැඩම කළාට පස්සෙ අපේ කහවෙ මාමා හුඟක් උදව් කළා දාන ශාලාව ගොඩ නඟන්න. ඒ කාලෙ ගමේ හිටපු අය රෑ දවල් නොබලා මේ පන්සලේ වැඩ කටයුතුවලට උදව් කළා.

දවසක් ඇහැලියගොඩ මනුස්සයෙක් ආවා උන් වහන්සේ මුණ ගැහෙන්න. මේ මනුෂ්‍යයාගේ බිරිය මැරිලා යක්ෂණියක් වෙලා හිරිහැර කරනවා කියලා. ඇවිත් බලන කොට මේ හාමුදුරුවන්ට පයින් දුර ගමන් යන්න බැහැ. එතකොටත් වයස අවුරුදු අසූ දෙකක්. හාමුදුරුවො ම මේ මනුස්සයාගේ දුප්පත්කම වටහා ගෙන ඔහුට කීවා අසවල් තැන කඩේ ඉන්න සුදු මහත්තයාට ගිහින් කියන්න තමුන්ගේ අවශ්‍යතාවයයි නැති බැරි කමයි. එයා උදව් කරාවි කියලා. මිනිහත් ඒ වගේ ම ගිහින් කාරණේ කිව්වා. සුදු මහත්තයා කීවේ අපේ මාමාට. මේ මනුස්සයාගෙ කතාව අහලා මාම ඩ‍්‍රැයිවර් චාර්ලිස් අයියට කිව්වා හාමුදුරුවන් වඩමවා දෙන්න කියලා. මාමාගෙ ඔස්ටින් කාර් එක දුන්නා.

අර මනුස්සයත් ආයෙත් පන්සලේ කන්ද නැඟල පුටුවක උණ ලී දෙකක් දෙපැත්තෙ බැඳලා ගමේ තුන් දෙනෙකුත් උදව් කරගෙන, හාමුදුරුවන් පුටුවෙ වඩා හිඳුවා ගෙන පල්ලම බැස්සා. එතැන ඉඳලා කාර් එකෙන් ඇහැලියගොඩට ගියා. ඒ මනුස්සයාගේ ගේ ළඟ හිටපු මිනිස්සු හාමුදුරුවන් දැකලා හිනාවෙන්න වුණා.

“අනේ! චාර්ලිස්! අර මිනිස්සු මේ වයසක මට නේද? හිනාවෙන්නේ, ගිහින් අහනවා බලන්න” කියලා හාමුදුරුවෝ කිව්වා. චාර්ලිස් අයියත් ඒ මිනිස්සු ළඟට ගිහින් ඒ විදිහට ම ඇහැව්වා. ඒ මිනිස්සු හාමුදුරුවන් ළඟට ඇවිත් කිව්වා

“හාමුදුරුවනේ! ඔබ වහන්සේට හිනාවුණා නොවෙයි, ඔය ගෙදර ළමයට ආවේශ වෙන යස්සනී හරි නපුරුයි. ඒ ගෙදරට එන කට්ටාඩින්ට ගහල පන්නනවා. ඊයෙත් එහෙම ආපු කට්ටාඩින්ට ඔලුව පැළෙන්න ගහල එළෙව්වා. ඉතින් අනේ! ඔබ වහන්සේගේ වයස දැකල හිනා ගියා. අපට සමාවෙන්න ඔබ වහන්සේ ගැන කනගාටු හිතුණා” යි කීවා.

“ආ… එහෙමද, අනේ! උන්නැහේ මීට කලින් නම් මට යක්කු ගහලා නෑ. බලමුකෝ මේ යස්සනීත් කොහොමද? කියලා හාමුදුරුවෝ ඒ ගෙදරට වැඩම කළා. හාමුදුරුවෝ ඒ ගෙදරට වැඩම කළ ගමන් ඒ ගැහැනු ළමයාට යක්ෂණී ආවේශ වෙලා හාමුදුරුවන් ළඟ බඩ ගා ගෙන ඇවිත් කීවලු අනේ පිං ඇති හාමුදුරුවනේ මට හිරිහැර කරන්න එපා. මම යනවා. ආයෙත් නේන්නම යනවා කියලා. අපේ හාමුදුරුවො ඒ කටයුතු කරන්නේ වෛශ‍්‍රවන දෙවියන්ගෙන්. ඒ නිසා අමනුස්සයෝ බයයි. ඊට පස්සෙ ඒ ගෙදර මනුස්සයා හැම මාසයකම දවසක් උන්වහන්සේ මුණ ගැහෙන්න කුරුපැත්තෙ පන්සලට ඇවිත් පහන් දල්වලා ගියා.

ඩබ්ලිව්.ජී. වීරවර්ධන මහත්මයා මේ හාමුදුරුවන්ගේ කටයුතු ගැන සිහිපත් කළේ මෙහෙමයි.

“1913 මහා ගංවතුරක් ගැලුවා. මුළු කරවනැල්ල ප‍්‍රදේශයම යට වුණා. හතර වටෙන් ම යට වෙලා කුරුපැත්තෙ හාමුදුරුවන්ට දානෙත් නෑ. අපේ සීයා දුක් වුණා ලු හාමුදුරුවෝ බඩ ගින්නේ නේදැයි කියා. ආච්චි අම්මාට මේ කතාව ඇහිලා ඉක්මනින් බතක් උයලා ඒ වළඳේ ම ව්‍යංජනත් අහුරලා දුන්නාලු සීයට. සීයා ඔලුවේ තලප්පාවක් බැඳලා දානෙ මුට්ටිය ඒකට තියලා හොඳට බැඳගෙන ගඟේ ඉහළට ගියාලු. ගඟේ ඉහළට ගිහින් උණ ලී කොටයක් අතට අරගෙන හෙමින් සැරේ පහළට ගලන වතුර පාරේ එගොඩට පීනුවලු.

හාමුදුරුවොත් මේක දැකලා, මොකද මුදලාලි (ඩබ්ලිව්.ජී. ජේමිස් අප්පුහාමි) මේ වගේ භයානක වැඩ කරන්නේ. දවසක් දෙකක් බඩ ගින්නේ හිටියාට මා මැරෙන්නේ නෑ කීවලු. ඒ වුණාට හාමුදුරුවනේ! ඔබ වහන්සේ බඩ ගින්නේ තියන්න බැහැනේ කියලා සීයා කීවලු. බයවෙන්න එපා මුදලාලි මේ ගඟෙන් එගොඩ මෙගොඩ වෙන්න ක‍්‍රමයක් අද හෙටම යෙදේවි කියලා හාමුදුරුවෝ කීවලු.

ඊට පහුවදා උදේ සීයා මූණ හෝදන්න ගඟට ගිය වෙලාවේ ඈතින් ලී ;කාටයක් පාවෙලා එනවා දැක්කලු. එහෙම එකක් දැක්ක ම කඹයක් දාලා ඇදගෙන එන එක ඒ ගමේ ගඟ ළඟ ජීවත්වන අයගෙ පුරුද්දක්. සීයත් කඹයක් අරගෙන පීනලා ගිහින් ඒක ඉවුරට ඇදගෙන ආවාලු. ඒක ලී කොටයක් නෙවෙයි. ඒක අලුත් ම අඟුලක්. අලුත් ඔරු දෙකක් සම්බන්ධ කර හදපු අඟුලක්. අලුත් ම හබල් දෙකකුත් ඔරුව ඇතුළේ තිබුණාලු. ඒක 1950 ගණන් දක්වා තිබුණා දෙයියො දීපු ඔරුව කියලා. අන්තිමේ දිරා ගිය කෑලිත් සීයගෙ ගෙදර සිහිවටනයක් විදිහට තිබුණා.

මේ 1945 අවුරුද්දෙ සිදුවුණ දෙයක්. එදා රාති‍්‍ර 8.30 ට විතර මමත් පන්සලේ හිටියා. මිනිහෙක් විශාල වීදුරු කනාකයක් කර තියා ගෙන ආවා. ගෙනැවිත් පංසලේ මිදුලේ තිබ්බා.

“මොකද්ද? මේ කරගහගෙන ආවේ?” හාමුදුරුවෝ ඇහුවා.

“නයෙක් හාමුදුරුවනේ” යි ගැමියා කීවේය.

“මොනවා?” හාමුදුරුවෝ විමතිය පළ කළහ.

“ඔව්! හාමුදුරුවනේ! හරිම කරදරේ. ගේ අස්සෙ රිංගනවා. පොඩි දරුවොත් ඉන්න තැන හිතට බයයි. අල්ලලා බෝතලේට දැම්මා. ඔය ඈතට ගිහින් දාන්න”

ඒ වන විට නාගයා කෝපයෙන් බෝතලය ඇතුළේ පිඹිමින් සිටියේය. විශාල නාගයෙකි. කෙනෙකු ළං වන විට පවා බෝතලය තුළ සිට පෙණය කොට වීදුරුවට ගැසුවේය. හාමුදරුවෝ බෝතලයේ මූඩිය ගලවා මෙසේ පැවසූහ.

“උඹ ගම්මුන්ට කරදර නොකර මෙන්න මෙහේ නතර වෙයං. මගේ තනියටත් එක්ක.”

නාගයා හෙමින් සීරුවේ එළියට ඇවිත් හාමුදුරුවන් දෙස බලා සිට චෛත්‍යය පැත්තට ඇදී ගියා. එදා ඉඳලා ඒ නයා හාමුදුරුවන්ගේ වියන් ඇඳේ වියනට වෙලා හිටියා. හාමුදුරුවෝ ඇඳෙ සැතපෙන විට උන් වහන්සේගේ ඇඟට උඩිනුත් ඇදී යනවා. හැන්දෑවට චෛත්‍ය වටේ ඇවිදිනවා. කාටවත් කරදරයක් නෑ.

හාමුදුරුවෝ අපවත් වෙලා ආදාහනය කරන්න දේහය චිතකයට ඇතුළු කළාට පස්සේ එතැන සිටි අය බලා සිටිය දීම නාගයා කොහේදෝ සිට ඇවිත් චිතකයට රිංගුවා. පිට වී යනවා දැක්කෙත් නෑ. ඊට පස්සේ ඒ නයා කිසි කෙනෙක් දැක්කේ නැහැ. මේ සිද්ධි ඇහින් දැක්ක අය තවමත් කරවනැල්ලෙ, කුරුපැත්ත, එළුවාත ගම්වල ඉන්නවා යි වීරවර්ධන මහතා විස්තර කළේය.

හැටහය හැවිරිදි ඊ.ඩබ්ලිව්. පියදාස මහහතා කුරුපැත්තේ හාමුදුරුවන්ගේ හාස්කම් පිළිබඳව තවත් අද්භූත සිද්ධියක් විස්තර කළේ ය.

“අපේ ධම්මානන්ද හාමුදුරුවන් ළඟ තවත් කොට්ටාවෙ පොඩි හාමුදුරු නමක් හිටියා. ඒ හාමුදුරුවෝ දැන් කොහේ ඉන්නවාද දන්නේ නැහැ.

දවසක් අපේ හාමුදුරුවො මේ පොඩි හාමුදුරුවන් සමඟ උවමනාවකට දුර ගමනක් වැඩම කළා. හාමුදුරුවෝ මුදල් අල්ලන්නෙ නැති නිසා පොඩි හාමුදුරුවොත් එක්ක ගෙන ගියේ. ඒ ගමන ගිහිල්ලා ආපහු එන කොට දවල් වුණා. දහවල් දානයට පන්සලට එන්නත් වෙලාව නැහැ. ගමන් මහන්සියත් එක්ක බඩ ගින්නත් වැඩි නිසා හෝටලයකට වැඩම කර දානය වැළඳුවා. දානය වළඳ්‍ර මුදලාලිට මුදල් ගෙවන්න ගියා. පොඩි හාමුදුරුවන් ළඟ තිබුණ මුදල ප‍්‍රමාණවත් වුණේ නැහැ. ඉතුරු මුදල එවන්නම් කීවාට මුදලාලි පිළිගත්තෙ නෑ.

අතේ සල්ලි නැත්නම් කන්න එන්න ඕනැද? අපිට මේවා නිකම් ලැබෙනවද? සම්පූර්ණ මුදල ගෙවල මිසක් යන්න එපා ය කියලා මුදලාලි ඉතා ම අකාරුණික විදිහට කතා කළා. හොඳමයි මුදලාලි අපි කොහොම හරි සල්ලි ටික ගෙවන්නම් කියලා ලොකු හාමුදුරුවො පොඩි හාමුදුරුවන්ට කිව්වා

“පොඩි උන්නාන්සෙ පිණ්ඩපාතයෙ වඩින්න. එතකොට ඔය කව්රු කව්රුත් කීය කීය හරි දේවි. අපි ඒකෙන් මේ මිනිහගෙ ණය ගෙවමු. මම ඒ වෙනකම් ඇපයට මෙතන වාඩිවෙලා ඉන්නම්” කියලා.

පොඩි හාමුදුරුවෝ දානෙ වේලෙ මදිපාඩු ණය ගෙවන්න සම්මාදමේ ගියා. ලොකු හාමුදුරුවො වාඩි වෙලා ඉන්න ගමන් එතැන බිත්තියේ කවියක් ලියුවා. පොඩි හාමුදුරුවො ආපහු ආවාම ඉතුරු මුදලත් ගෙවලා ණයෙන් නිදහස් වෙලා පන්සලට වැඩම කළා.

දැන් අර කඩේ බිත්තියෙ ලියා තිබෙන කවිය නිසා කඩේට එන එන මිනිහට පිස්සු හැදෙන්න වුණා. කඩෙන් එළියට බැස්සා ම සනීපයි. දැන් මේ කඩේට මිනිස්සු එන්නෙ නෑ. පිස්සු කඩේ කියල. දැන් මුදලාලිටත් පිස්සු වගෙයි. කඩේ ඇරගෙන හිටියාට මිනිස්සු එන්නෙ නෑ.

මුදලාලිගෙ හිතවත්තු කීවා “එදා තමුසෙ කරපු වැරදි වැඩේ නිසා තමයි මෙහෙම වුණේ. හාමුදුරු කෙනකුට එහෙම කරන්න වටින්නෙ නෑ. දැන් තමුසෙ ගිහින් හාමුදුරුවන්ගෙන් සමාව ගන්නවා” කියලා.

මුදලාලි දැන් හාමුදුරුවන් මුණ ගැහෙන්න පංසලට යන්නත් බයයි. බැරිම තැන යාළුවෙක් යැව්වා තොරතුරු බලා ගෙන එන්න. හාමුදුරුවො කීවා “ඌට කියනවා පාරෙ ඉඳල පන්සලට බඩ ගාගෙන ඇවිත් රුපියල් සීයක් ගෙවන්න කියලා. එතකොට ඔය කරදරේ දුරුවේවි” කියලා.

ඊට පහුව දා මුදලාලි හාමුදුරුවන් ළඟට බඩ ගා ගෙන ඇවිත් රුපියල් සීයක් පූජා කළා. ඒ කාලෙ රුපියල් සීයක් කියන්නෙ විශාල මුදලක්. ඊට පස්සෙ ඒ කඩේට තිබුණ අපලය දුරු වුණා.

තවත් දවසක් කාන්තාවකගෙ අසනීපයකට හාමුදුරුවෝ ස්තෝත‍්‍ර වගයක් කියලා සෙත් කරමින් හිටියා. මැගේ අතක ආබාධයක් තිබුණේ. අපේ හාමුදුරුවො කතා කරගෙන යන කොට සමහර වෙලාවට ගොත ගැහෙනවා. පුංචි ගොතයක් තිබුණා.

ඒ වගේ ගොත ගැහුණු වේලාවක මේ කාන්තාවට බකස් ගාලා හිනා ගියා.

හාමුදුරුවන්ට කේන්ති ගියා. “උඹ මට ද ඔය හිනා වුණේ. එහෙනම් උඹ සනීප කර ගනින්” කියලා හාමුදුරුවො නැගිටලා යන්න ගියා. ඊට පස්සේ මේ කාන්තාවගේ අතේ බිබිලි දාලා අත කුණු වුණා යි පියදාස මහතා කීවේය.

කුරුපැත්තේ විහාරස්ථානය පාමුල “බෞද්ධ තාපස නිකායේ ආර්. ධම්මානන්ද හිමි” නමින් කළු ගලෙන් නෙළුෑ ස්මාරකයක් සාදා උන් වහන්සේ ආදාහනය කළ අළු තැන්පත් කොට ඇත. අදත් ගම්වාසීහු එතැන පහනක් දල්වා උන් වහන්සේට ගෞරව කොට අපල උපද්‍රව දුරු කැර දෙන ලෙස ඉල්ලා සිටිති. එය කුරුපැත්ත ගම්වාසීන්ගේ සිරිතක් ව පවතී.


Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

Categories

%d bloggers like this: