Posted by: lrrp | May 30, 2009

මට යන්න බෑ, මට යන්න බෑ මෙයා දාලා මං යන්නේ නෑ

ගේ දොර වතුපිටිවලට, ඉඩ කඩම් කුඹුරු ගොවිතැන්වලට ඔප්පු තිරප්පු ලියා ගෙන මේවා මාගේ ම යැයි, බොහෝ දෙනා සිතා සිටිති. එසේ ම මීට පෙර අතීතයේ ද මේවා මගේ ම යැයි සිතා ගෙන සිටි අය තවමත් මළවුන් අතර සිට මේවා මගේ ම යැයි දැනුදු සිතා ගෙන සිටිති. අප ජීවත් වන ඉඩම් කොටස මෙන් ම නිවස පැරැන්නන් විසින් සාදන ලද්දක් නම් එය ද මේවා මගේ ම යැයි සිතා ගෙන සිටින සංසාරික නෑයෝ ලක්ෂ සංඛ්‍යාතව සිටිති. ඒ තණ්හාවේ ස්වභාවය යි.

මෙවැනි ඉඩකඩම් දේපළ පිළිබඳ වස්තු තණ්හාවෙන් මිය ගිය අයිතිකාරයෝ තවමත් ඒ අයිතිය පිළිබඳ තණ්හා සිතින් ම පසුවෙති. වර්තමානයේ එම දේපළ වස්තු භුක්ති විඳින්නන් එසේ භුක්ති විඳිමින් ඒ දේපළ පිළිබඳ සිදු කරන යම් යම් වෙනස් කිරීම් කඩා බිඳ දැමීම් විකිණීම් ආදී කි‍්‍රයාකාරකම් පිළිබඳ ඒ මළගිය ප‍්‍රාණකාරයෝ කම්පාවෙති.

කර්මානුකූලව ඔවුනට ඇති ශක්තීන් හා හැකියා අනුව විරෝධතා දක්වති. ලෙඩ දුක් කරදර පමුණුවති. එසේ බැරි අය හඬා වැළපෙති. සාප කරති. මළවුන් සිහිපත් කොට පින් දහම් කැර අනුමෝදන් කරන්නන්ට ආශිර්වාද කරති.

මෙසේ අමනුස්ස බලවේග පිළිබඳ වටහාගත් පිරිසක් ඒ සඳහා අතීතයේ ඍෂිවරුන් විසින් සම්පාදනය කරන ලද යන්ත‍්‍ර මන්ත‍්‍ර බලි තොවිල් ශාස්ත‍්‍රයන් භාවිත කරමින් ශාන්ති කර්මයේ යෙදෙති. සමහරු මන්ත‍්‍රාචාර්යයයෝ යැයි දැන්වීම් පුවරු යොදාගෙන එම ව්‍යාපාරයේ යෙදෙති. එය සමහරකුට හොඳ ආදායම් මාර්ගයක් වී ඇත.

විශේෂයෙන් හොඳ පැත්තට වඩා නරක පැත්තට නැඹුරු වූ ජනයා එවැනි ඇඳුරන් සොයා ගොස් දහස් ගණනින් ලක්ෂ ගණනාවක් මුදල් වැය කරති. ධර්ම මාර්ගයේ යෑමට, පිනට දහමට එසේ නොවෙහෙසෙති. වැය නොකරති. ඔවුන් ලබන විපාක ද ඊට සාපේක්ෂව ම ලබති.

කෙසේ නමුත් ලෝකයේ වෙසෙන ඉතා බහුල ම සත්ත්ව කොට්ඨාසය අමනුස්සයෝ ය. දෙවි මිනිසුන්ටත් වඩා තිරිසන් සතුන්ටත් වඩා බහුල වූ සත්ත්ව කොට්ඨාසය මේ අමනුස්සයෝ ය. සතර අපායෙන් නරක – පෙ‍්‍ර්ත – අසුර යන කොට්ඨාස තුනට අයත් වූවෝ මේ ලෝකයේ ඇඟිල්ලක් ගහන්නට ඉඩ නැති තරම් වූ ගහනයක් විශ්වය පුරා දීර්ඝ කාලයක සිට අවුරුදු දහස් ගණන්, කල්ප ගණන් දුක් විඳිමින් සැරිසරති. අනුනට ද හිරිහැර කරති.

මා දන්නා ස්වාමීන් වහන්සේ නමක් සිටිති. උන්වහන්සේ ගේ සීයලා ද පියා ද ඇදුරෝ ය. උන් වහන්සේ ද ගිහි කාලයේ යන්ත‍්‍ර මන්ත‍්‍ර විද්‍යාව හදාරා ඇත. පසුව ජීවිතාවබෝධයෙන් පැවිදි වී සිටිති. මෙයින් වසර ගණනකට ඉහත උන් වහන්සේ පදවිය ප‍්‍රදේශයේ දෙය්යන්ගේ කන්ද තපෝ වනයේ භාවනායෝගීව වැඩ විසූහ. සමහර අවස්ථාවල ගම්වැසියන් පැමිණ උන්වහන්සේ බැහැ දකින අවස්ථා ද වීය.

දිනක් දායක පිරිසක් උන්වහන්සේ වෙත රෝගී කාන්තාවක් කැඳවාගෙන ආවෝ ය. හතළිස් පස් හැවිරිදි ඈ ගෙවිලියකි. ඇගේ රෝගී තත්ත්වය විස්තර කරන විටම උන් වහන්සේට මෙය අමනුෂ්‍ය දෝෂයක් බව සිහිපත් වී ඒ සමඟ ම ඊට අදාළ මන්ත‍්‍රයක් ද සිහියට නැගිණි. රෝගී කාන්තාව ගැහෙන්නට වූවා ය. අමනුෂ්‍යයා ඇගේ ඇඟට ආවිශ්ට වූයේ ය.

“උඹ මේ ඇත්තිගෙ ඇඟට ආවා නම් දැන් ඉතින් කතා කරපන්” යැයි හාමුදුරුවෝ පැවසූහ.

“මට යන්න බෑ. මට යන්න බෑ. මෙයාව දාල මං යන්නේ නෑ”

“එහෙම කියල හරියන්නේ නෑ. හොඳින් කියන දේ අහලා නොගියොත් නරකින් යවන හැටිත් මම දන්නවා මොකද කියන්නේ” යි හාමුදුරුවෝ ඇසූහ.

“අනේ! මට ඉන්න දෙන්න”

“බැහැ… බැහැ මේක මහා පාපයක්. මහා හිරිහැරයක්. මේ ඇත්තිට නිදහසේ ජීවත් වෙන්න ඉඩ දෙන්න ඕනෑ.”

“මම ඉන්නේ මේකිවත් අරගෙන යන්න ම යි. ඉතින් ඒකට තවම වෙලාව ආවේ නෑ.”

“ඒවා හරියන්නේ නෑ. දැන් ඉතින් තමුන් මේ ඇත්තිව අත හැරලා යන්න ඕන.”

“එහෙම නම් මට දොළ බිලි ඕනෑ.”

“මොනවද උඹට ඕනෑ.”

“සැවුලෙක් ඕනෑ”

“හොඳයි… සැවුලෙක් දෙන්නම්… හැබැයි මරන්න බැහැ”

“හ්ම්… හා… හොඳයි”

මේ අනුව නියම කැර ගත් දිනයේ ස්වාමීන් වහන්සේ දන්නා හඳුනන ඇදුරෙක් ගෙන්වා දෙවියන්ට කන්නලව් කොට දිෂ්ටි ගන්වා අදාළ කටයුතු කැරවූහ. මේ අතර ආතුර කාන්තාවගේ ඇඟට අමනුෂ්‍යයා ආවිශ්ට විය. වේලාව රාති‍්‍ර දොළහ ඉක්මවූවා පමණි.

“හේº හෙº හෙº උඹලා මාව අඳුනන්නේ නැහැ. මම දළ තියෙන යක්ෂයෙක්. මමත් උඹලට වඩා මන්ත‍්‍ර දන්නවා. මම මනුස්ස ලෝකෙදි මන්ත‍්‍ර දහස් ගණනක් ඉගෙන ගත්තා” යි පුරසාරම් කියන්නට විය. ඇදුරා ද අන්ද මන්ද වී ගියේ ය.

හාමුදුරුවෝ ඉදිරිපත් වූහ. “උඹ ඔය තරම් දන්නා මන්ත‍්‍ර මොනවා ද කියාපන් බලන්න. උඹ ගිනිපේසු මාලාව දන්නවාද? උඹ විෂ්ණු ඝරය, අග්නි ඝරය දන්නවාද? අංගුලිමාල දපනය දන්නවාද? දන්නවා නම් කියාපන් බලන්නැ” යි හාමුදුරුවෝ අභියෝග කළහ. යක්ෂයා නිහඬ වීය.”

“එහෙනම් කියාපන් බලන්න උඹ කව්ද? කියලා” හාමුදුරුවෝ නැවතත් ඇසූහ.

“මම ආනුභාව සම්පන්න යක්ෂයෙක්. දළ තියෙන යක්ෂයෙක්.”

“ඔව්! මට පේනව. උඹ හීනයෙක්. මිත්‍යාදෘෂ්ටික යක්ෂයෙක්, උඹට මොනවද කරන්න පුළුවන්.”

“හº… හº… හº… මම අද හැන්දෑවෙ මේකිව බය කරන්න හැදුවා. මේකි වැසිකිලි ගිය වෙලාවෙ. මම සද්ද බද්ද කළා. ඒත් මේකි බය වුණේ නෑ. ඒ ගෙදර කෙනෙක් කියලා මේකි හිතන්න ඇති.”

“උඹ මනුස්ස ලෝකෙ හිටියේ කවුරු වශයෙන්ද?”

“මම ද? මගේ නම…” (නම කීවේ ය)

“ගම කොහේද?”

යක්ෂයා ඊට උත්තර දුන්නේ නැත.

මේ සිද්ධිය බලා සිටි කාන්තාවක් තමන් ළඟ සිටි කෙනකු සමඟ අමනුස්සයා ගැන යමක් රහසින් මෙන් කීවා ය.

ඇය ද පත්තිනි මෑණියන් නමින් දාන මාන වලට යන, සිල් සමාදන් වී ප‍්‍රතිපත්ති රකින කාන්තාවකි. ඇය යමක් රහසෙන් මුමුණන අයුරු අසා සිටි ආවිශ්ට කාන්තාව හිඳ ගෙන සිටි අයුරින් ම පිමි කීපයක් පැන ඇය ළඟට ගියා ය.

“මොනවද බොල තෝ කිව්වේ”

“ඇයි? උඹ මට මොනව කරන්නද?” උපාසිකාව ද තදින් ඇසුවා ය.

“මම තොට හිටපිය”

“අනේ; නිකං පලයං යන්න. මටත් තියෙනවා යම් කිසි බලයක්. මට පත්තිනි මෑණියන්ගෙ බලය තියෙනවා. මම ආරක්ෂා කරන ශීලයේ බලය මට තියෙනවා” ඇය කීවාය.

“එහෙනම් තෝ ඒවා තියා ගනිං” යැයි ආතුර ආවිශ්ට කාන්තාව පසු පසට පිමි කීපයක් පැන සිටි තැනට ම ගියා ය.

මෙහිදී අත්හදා බලන්නට යමක් කළ හැකි හොඳම අවස්ථාවකැයි සිතූ හාමුදුරුවෝ යළිත් අමනුස්සයා ඇමතූහ.

“හා… හොඳයි… උඹ මහා ආනුභාව සම්පන්න කෙනෙක් ය කීවානේ. රත්නත‍්‍රයේ ආනුභාවය ඉදිරියේ උඹට බොරු කියන්න බැහැ. උඹට බැරිද මේ අහිංසක කාන්තාවට හිරිහැර නොකර උඹේ වේෂයෙන් ම පෙනී සිටින්නැ” යි හාමුදුරුවෝ ඇසූහ.

“පුළුවන්”

“ඔව්! උඹ හෙට රෑ 11 ට අනිවාර්යයෙන් ම මගේ පන්සලේ මම ඉන්න කුටිය ඉස්සරහට එන්න ඕනෑ.”

“ඔව්! මම එනවා”

“ඔව්! උඹ එන්න ඕනෑ. නාවොත් බලාගෙනයි. මම වෙසමුණි රජ්ජුරුවන්ට පැමිණිලි කරනවා උඹ ගැන” යි හාමුදුරුවෝ තදින් පැවසූහ.

උන් වහන්සේ යක්ෂයා දුටු හැටි විස්තර කළේ මෙසේ ය.

“මම මීට ඉස්සර යක්ෂයකු හැබැහින් දැක තිබුණේ නැහැ. ඒ නිසා මේ අලුත් අත්දැකීම දැකගන්න හිතේ උනන්දුවක් තිබුණා. යකා බොරු කියයි ද? බොරු කියා මඟ හැර ගියා ද? මේ ආදී සිතුවිලි මගේ හිතට ආවා. මා සිටිය කුටිය ඉදිරිපස කුඩා ඉස්තෝප්පුවේ එක් පසෙක ‘අට්ඨි සංඥාව‘ සඳහා අවශ්‍ය මිනිස් ඇට සැකිල්ලක් තබා තිබුණි. අනිත් පැත්තේ පුටුවක් තිබුණා. පහුව දා රාති‍්‍රයේ මම ඒ පුටුවට වී බුලත් විටක් සපමින් සිටියා.

හරියට ම රාති‍්‍ර 10.55 ට හිටි හැටියේ හුළඟක් හමා ගෙන ආවා. ඒ සුළඟත් සමඟ දුර්ගන්ධයකුත් දැනුණා. මට හිතුණා යහළුවා එනවා තමයි කියා. මම නැගිට්ටා. ඉදිරිපිට තිබූ කණුවට පිට දී ඉදිරිපස බැලුවා. රාති‍්‍රය නිසා අඳුරුයි.

ඒත් යන්තමින් වගේ එළියකුත් තිබුණා. කවුදෝ ඈත සිට මා ඉදිරියට එන බව මට පැහැදිලිව පෙනුණා. ඒත් කිසිම බයක් චකිතයක් දැනුණේ නෑ.

මේ මා ඉදිරියට එන රූපය මිනිහෙකුගේ නම් නොවන බව සියයට සියයක් ම පැහැදිලිව පෙනුණා. මම රූපය දිහා ඍජුව ම බලා සිටියා.

ඊයේ කිව්වා වගේ ම මේ යකාගේ දළ දෙකක් මුඛය දෙපසින් පිටතට ඇදී තිබුණා. හැඩ පළු ගෙතුණු හිස කෙස් තඹ පැහැයෙන් දිළිසුණා. සම්පූර්ණ උස අඩි හතරකට වඩා නැහැ. බඩ ගෙඩිය ඉදිරියට නෙරා තිබුණා පපුවේත් දෑත් දෙපාවලිත් තඹ පැහැති රෝම තිබුණා.

මම බුදුරජාණන් වහන්සේ ඉදිරියට ආ රුචිරෝම යක්ෂයාගේ කතාව සිහිපත් වුණා. ඒ වගේ ම මවිල් ඉඳිකටු වගේ තියුණුව තිබුණා.

දැන් මගේ ඉදිරියේ, යක්ෂයා අඩි පහක් විතර දුරින් මා දෙස බලා ගෙන ඉන්නවා. ඇස් දෙක තියුණුයි, ඒත් එහි බිය සැක ගතියක් තිබුණු නිසා මට හිතට ලොකු ධෛර්යයක් ආවා. එක පාරට ම මුගේ ඇඟට පැන කෙස් වල්ලෙන් අල්ලා ගන්න ඕනෑයි කියා මට හිතුණා. එහෙම හිතන කොටම ‘දැඩි මුණ්ඩ’ කියා ගෙන පිමි තුනක් පස්සට පැන්නා. හරියට රබර් බෝලයක් උඩ පනින්නා වාගේ පස්සෙන් පස්සට පැන නොපෙනී ගියා යි උන්වහන්සේ යක්ෂයා දුටු හැටි විස්තර කළහ.

“ඉතින් හාමුදුරුවනේ! මේ යක්ෂයා ඒ කාන්තාවට ආවේශ වී හිරිහැර කරන්න හේතුව මොකක්ද?” මම ඇහුවෙමි.

මහත්තයා! අන්න එතැන තමයි වැදගත් කාරණය තියෙන්නෙ. මේ පවුලේ ඉතාම ගාම්භීර පැරැන්නෙක් හිටියා. ඒ පුද්ගලයා ඉතා වෙහෙස මහන්සියෙන් ඉඩ කඩම් දේපළ රැස් කළා. හිටි හැටියේ ම මේ මනුෂ්‍යයාට අංශාබාධ රෝගය වැළඳුණා. පවුලේ අයට ටික දවසක් යන කොට මේ ලෙඩා කරදරයක් වුණා. හිරිහැරයක් වුණා. අන්තිමට කිසිම සාත්තු සප්පායමක් නොලබා ඔහු මිය ගියා. මේ මනුස්සයා මැරුණේ වෛරයෙන්, තමන්ගේ දේපළ වස්තුව භුක්ති විඳිමින් ම මේ අය ඔහුට සාත්තු සප්පායමක් වෙදකමක් තියා හරියට කෑම බීම ටිකවත් දුන්නේ නෑ. ඒ තරම් මහන්සියෙන් උත්සාහයෙන් ධන සම්පත් රැස් කළෙත්, පවුලේ අනාගත පරපුර සඳහා ම සිහින මවමින් . ඒත් අකාලයේ කුසගින්නේ ම මළා. වෛරයෙන්.

ඔහු මළාට පසු පවුලේ අය ඒ දේපළ බෙදා ගෙන භුක්ති විඳිනවා. මැරුණු මිනිහා වෛරයෙන් මළ නිසා පළිගැනීමේ චේතනාවෙන් යක්ෂයෙක් වී ඉපදුණා. ඒ යක්ෂයා, යක්ෂයන්ට අධිපති යක්ෂ සේනාධිපතියන් හමු වී තමන්ට සිදු කළ අසාධාරණය කියලා කන්නලව් කළා. ඒ ප‍්‍රධානීන්ට ආවතේව කර තමන්ට අසාධාරණ කළ නෑයින්ගෙන් පළිගන්න වරම් ගත්තා. දැන් යක්ෂයා පළිගන්නවා. කර්මානුරූපව අකුසල විපාක විඳින නෑයින්ගේ නරක වේලාවක් බලා ගොස් පළිගන්නවා.

ඉතින් ඒ උරුමක්කාරකම් තියෙන අමනුස්සයන් පළවා හරින්නට, අවතැන් කරන්නට අපට අයිතියක් නැහැ. කර්මය වළක්වන්න අයිතියක් නැහැ. බෞද්ධ පිළිවෙත්වලින් අපල දුරු කැරගන්න ආතුරයන් ම උනන්දු වෙන්න ඕනෑ. ඇදුරන් තාවකාලික ආරක්ෂාවල් දැම්මත් නැවතත් වෙනත් ක‍්‍රමයකින් හෝ පළි ගැනීම සිදුවේවි. අනිත් කාරණය අද බොහෝ දෙනෙක් ආච්චි සීයලාගේ මව් පියන්ගේ වස්තු සම්පත් භුක්ති වින්දත් ඔවුන්ට පින් අනුමෝදන් කරන්නේ නෑ. අන්තිමට වැඩේ වැරදුණාම පිළිවෙත් හොයනවා. ශාස්ත‍්‍ර අහනවා. අර පාරම්පරික උරුමක්කාර අමනුස්සයන් පලවා හරින්න, බැඳලා මූදේ දාන්න ක‍්‍රම හොයනවා. ඒවා ඒ තරම් ලේසි නෑ. ඊට කලින් තමන් කළ අසාධාරණයට විපාක විඳින්න සිදුවෙනවා යි ද පැවසූහ.


Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

Categories

%d bloggers like this: