Posted by: lrrp | June 17, 2009

මම ආවේ දුවට හොඳක් කරන්නයි

මිනිසකු වී ඉපැදීම ඉතාම දුර්ලභ කාරණයකි. එසේ ම ලෝභ, ද්වේෂ, මෝහ යන අකුසල මූලික වූ චර්යා නිසා මේ මිනිස් ලොව අතහැර යන හෙවත් මරණයට පත් වන දහසකින් නවසිය අනූ නව දෙනෙකුටත් වඩා යන්නේ සතර අපායට ම ය. “ස්වාමිනි! භාග්‍යවතුන් වහන්ස! මේ මිනිස් ලොවේ ජීවත් වී මැරෙන අයගෙන් කී දෙනෙක් සුගති ගාමී වේ දැ”යි භික්ෂූන් වහන්සේ නමක් දිනක් බුදු රජාණන් වහන්සේගෙන් ප‍්‍රශ්න කළහ.

ශ‍්‍රී පාදයේ මහපටඟිල්ලේ නිය පොත්තෙන් පස් ටිකක් ගෙන පෙන්වා “මහණෙනි! මේ ලෝකයේ ජීවත්වන සමස්ත ජනගහනය මේ පෘථිවිය නම් එයින් සුගතියේ උපදින්නේ මෙන්න මේ තරම් සුළු ප‍්‍රමාණයකැ”යි තථාගතයන් වහන්සේ වදාළහ.

වර්තමාන අප සමාජයේ බොහෝ දෙනා ම අද කාර්ය බහුල සංකීර්ණත්වයක් උදා වී ඇත. නැත. උදාකැර ගෙන ඇත. කා බී නටන්නට විනෝද වන්නට ඕනෑ තරම් කාලය යොදා ගන්නට පුළුවන. එහෙත් පන්සලට යන්නට බණක් දහමක් අහන්නට වෙලාවක් නැත. භාවනාවක් කරන්නට කාලයක් නැත.. නිවසේ මලක් පහණක් පුදන්නට තරම් වත් කාලයක් නැත.

ගෙදරක උදේ හවස මලක් පහනක් දල්වා තෙරුවන් නැමදීම කළත් එය ගෙදර වයස් ගත වැඩිහිටියකුගේ රාජකාරිය වී ඇත. අනිත් අය උන්දෑ සුගතිගාමී වන විට සාරි පොටේ හෝ සරොන් පොටේ එල්ලී දෙව් ලොව යෑමට බලා සිටිති. තම ආධ්‍යාත්මීය සංවර්ධනය සඳහා විනාඩි පහක් වෙන් කරන්නට බැරි මම මහ උගතෙකැයි, බෞද්ධයෙකැයි සිතා සිටින බොහෝ දෙනෙකුට එක දිගට ටෙලිනාට්‍ය බලන්නට නම් පැය දෙකක් වෙන්කරන්නට පුළුවන.

බුදු රජාණන් වහන්සේ නිර්වාන මාර්ගය පැහැදිලි කොට ඇත්තේ දාන – ශීල – භාවනා වශයෙනි. වර්තමානයේ රැකියාවල යෙදෙන අයට දාන – ශීල කටයුතුවල යෙදෙන්නට වේලාවක් නැත. ඊටත් වඩා උවමනාවක් නැත. විශ‍්‍රාම ගිය පසු කෙලින් ම භාවනාවට යන්නට සිතා සිටිති. හෙට මැරෙනවා යැයි සිතන්නට අකමැති ය. එසේ සිතෙන්නේ ම නැත.

තවත් සමහරෙක් දාන – ශීල දෙකෙන් පමණක් නිවන් දකින්නට බලා සිටිති. එය ද කවදාවත් සිදු නොවන දෙයකි. දානයෙන් තණ්හාව අඩු කැරගෙන සීලයෙන් කය, වචන සංවර කැරගෙන භාවනාවෙන් සිත සංවර කොට එක අරමුණක පිහිටා සිටින්නට පුරුදු වී සිත ශක්තිමත් කළ යුතු ය. වර්ධනය කළ යුතු ය. දාන – ශීල – ;දකෙන් පමණක් නිවන් දකින්නට බැරිවා සේ ම දාන – ශීල දෙකෙන් තොරව භාවනාව ද නොහැක්කේ ම ය. මේ එවැනි කතාවකි.

එමලින් නැන්දා තමන්ට හැකි ආකාරයෙන් දන් පින් කළාය. හතර පෝයට ම පන්සල් ගොස් සිල් සමාදන් වූවා ය. එහෙත් ඇයට භාවනාවක යෙදෙන්නට නම් අවස්ථාවක් ලැබුණේ නැත.

එමලින් නැන්දාගේ දරුවෝ රජයේ රැකියාවල නිරත වූ අය ද සිටිති. සමහරෙක් විදේශගතව රැකියා කරති. බාල දියණිය චම්පාට රස්සාවක් නැත. ඇය විවාහ වී සිටින්නේ ද පෞද්ගලික අංශයේ සුළු රැකියාවක් කරන කෙනෙකු සමඟ ය.

චම්පාගේ සහෝදරයෝ ඉඳහිට ඇයට සාමාන්‍ය උදව්වක් නොකළා ද නොවේ. කෙසේ නමුත් චම්පා ගේ පවුලේ ආර්ථිකය ඒ තරම් ශක්තිමත් එකක් වූයේ නැත. මෙය එමලින් නැන්දාගේ හිතට මහත් වේදනාවක් දුන් කාරණයක් වීය. “අනිත් හැමෝට ම තියෙනවා. කොල්ලට තමයි නැත්තේ” යි ඇය නිතර ම මැසිවිලි නැගුවාය.

එමලින් නැන්දාගේ ලේලිවරු තම ගෙවල් දොරවල් ඉතා ලස්සනට තබාගෙන සිටියහ. නවීන පන්නයේ බඩු මුට්ටුවලින්, විදුලි උපකරණවලින් අංග සම්පූර්ණව සිටියහ. ජේත්තුවට හැඳ පැළඳ ගමන් බිමන් ගියහ. ස්වර්ණාභරණවලින් අත කර දිදුළිණි. චම්පාට මේ කිසිත් නැත. මේවා එමලින් නැන්දාගේ හිත පුපුරු ගහන කාරණා විය.

පුපුරු ගහනවා පමණක් නොව ගිනි පුපුරු පිටවෙන වේලාවල් ද වීය. “අනේ! අනේ! මගේ දරුවො දුක් මහන්සි වෙලා හම්බ කරනවා. උඹලා වෙසක් කූඩු වගේ රෝන්දෙ යනවා. ඔන්න ඔය ඉස්කුරුප්පු මගේ දෑහෙට පේන කොට තමයි ඇඟේ මාළු නටන්නේ” යි ඇය ලේලියනට ගරහන වේලාවල් ද බහුල ය.

“නාකි වෙන කොට ඉරිසියාව. තරුණ කාලෙට අඳින්නෙ පළදින්නෙ නැතුව මේවා කවදා කරන්නදැ”යි ලේලිලා ද වගඋත්තර බඳිති.

“අනේ! මගේ කට. දස මාසයක් කුසේ දරාගෙන ඉඳලා වදලා ලේ කිරි කර පොවලා හදල වඩලා උස් මහත් කරලා උගන්නලා රස්සාවලට ගිහින් හරි හබ්බ කරලා එවන ඒවා පිටින් ආපු විස කුඩිච්චියෝ පැණි පෙරන කොට තමයි මට යකා වැහෙන්නේ.

එක බඩ වැල කඩා ගෙන ආපු සහෝදරී දුක් විඳිනවා. ඒකිට ඔලුව උස්සන්න හරි හමන් උදව් කරන්නේ නෑ. අනේ! දෙයියනේ, මේවා දෙයියොම බලා ගන්න ඕනෑ” යනුවෙන් උපාසකම්මා දෙස් දෙවොල් දෙයි. ඒ වෙලාවට උන්දැට පන්සල මතක නැත. සිල් මතක නැත.

හතර පෝයට දාන සීල හා අනිත් දවස්වලට අඩ දබර, මැද්දේ ඉහ නිකට පැහී තුන් කුදු වූ උපාසකම්මා වයස් ගතව පරලෝ සැපත් වූවා ය.

එමලින් නැන්දා මරණයට පත්ව තුන් මාසයේ දානයෙන් පසු චම්පා තුළ යම් යම් වෙනස්කම් පහළ වෙන්නට වීය. ශරීරයේ දැවිල්ලක් හට ගැනිණි. උදේ හවස නිවසේ පහන දල්වන විට ඈ වෙව්ලන්නට වූවාය. බෝධි පූජාවකට, ;ද්වාලයකට, පිරිත් ගෙදරකට ගියත් එසේ වීය.

චම්පාට භූත දෝෂයක් ඇතැයි වටහා ගත් ඇගේ සැමියා ඒ සඳහා අවශ්‍ය වත් පිළිවෙත් කළේ ය.

මිය ගිය අම්මා සමඟ තවත් අමනුස්සයන් දෙදෙනෙකු ඇගේ ශරීරයට ඇතුළු වී ඇයට හිරිහැර කරන බව අනාවරණය වී ඒ සඳහා ඇදුරන් ලවා තොවිලයක් කරවන්නට යෙදිණි. අම්මා හැරෙන්නට අනිත් අමනුෂ්‍යයන් දෙදෙනාට කුකුළකු අවශ්‍ය බව කියැවිණි. ඒ පුද ලබා ගත් ඔව්හු නික්ම ගියහ.

යළිත් මාස ගණනකට පසු මළ ගෙදරක ගිය චම්පාට එදා සවස යළිත් ‘අම්මා’ ඇඟට ආවාය. එදින චම්පා සිටියේ අයියා කෙනෙකුගේ නිවසේ ය. ප‍්‍රලය වූ චම්පා කතා කරන්නට වූවා ය. විදේශ රැකියාවලට ගිය සහෝදරයන් ද පැමිණ සිටි අතර ඔවුහු ද චම්පාගේ මේ විකෘතිය බලන්නට පැමිණියහ.

“මට මගේ දරුවන්ට කතා කරන්න ඕනෑ” යි කීවාය. එය අසා නිවසේ සිටි සියලු දෙනා එතැනට පැමිණ චම්පා වට කොට ගත්හ.

“දරුවනේ; මම උඹලාගේ අම්මා. උඹලා හැම දෙනාටම දැන් යමක් තියෙනවා. ඒ බලාපල්ලා නංගී දුප්පත්. කෙල්ලට යමක් දීපල්ලා. ඒකි දුක් විඳිනවා. මට උඹලා ගැන සතුටු වෙන්න පුළුවන්. ඒත් නංගි ගැන මට හරිම දුකයි” කියමින් හඬන්නට වූවා ය.

ඒ සමඟම එතැන සිටි පුතුන් ගේ බිරින්දෑවරු දෙදෙනෙකු ළඟට ගොස් “අනේ! දුවේ, මට සමාවෙන්න ඕනෑ. මම ඔය ගොල්ලන්ගෙ හිත් රිදෙන්න බැන්නා. මට සමාව දෙනවා නේද? දුවේ” යැයි ඇවිටිලි කරන්නට වූවා ය.

මේ සියල්ල ඇය කළේ තුන් කුදු ගැසී ගෙන ය. ඇය කුදු ගැසී ගමන් කළ ආකාරයෙන් මේ තමන්ගේ ම අම්මා බව කාටත් වැටහිණි.

මෙසේ යළි යළිත් දිනපතා ම වාගේ චම්පා ප‍්‍රලය වන්නට වූවාය. ඒ අවස්ථාවට ඇගේ මුහුණ අඳුරු වී හැඩ රුව වෙනස් වීය. සොටු සහ කෙළ මුහුණේ තවරා ගෙන හඬන්නට වූවාය. මේ තත්ත්වය ඇදුරුකම්වලින් ස්ථිරව සුවපත් නොවූ තැන මාතලේ උඩතැන්න පහළ පන්සලේ, බුලත්සිංහල වනරතන හිමියන් වෙත ඇය කැඳවා ගෙන ගියහ.

උන්වහන්සේ පැමිණ සිටි පිරිස ආගමික වතාවත්වල යෙදවූහ. ඒ සැණින් චම්පා ප‍්‍රලය වූවාය.

“හා… හා… කලබල කරන්න එපා. මේක පන්සලක්… වනරතන හිමියෝ කීහ.

“එහෙමයි හාමුදුරුවනේ; මම කලබල කරන්නේ නෑ. මමත් හොඳ උපාසකම්මා කෙනෙක්.”

“හොඳයි හොඳයි එහෙනම් බොහෝම හොඳයි. ඉතින් එහෙම නම් කියමු බලන්න. මොනවද මේ උපාසකම්මා කළ පින් දහම්.”

“මමද? මම හොඳට දන් පින් කළා. හතර පෝයට ම සිල් ගත්තා.”

“ඉතින් ඔය තරම් පින් දහම් කළා නම් ඇයි මේ දූට කරදර කරන්නේ?”

“මම ආවේ දුවට කරදර කරන්න නොවෙයි. දුවට හොඳක් කරන්න. පුතාලට කියල මේ කෙල්ලට උදව් අරන් දෙන්න”

ඔව්! දැන් මේ පුතාලා පොරොන්දු වෙනවා නංගිට උදව් කරනවාය කියා.”

“අනේ; සාදු! සාදු! මගේ පුතාලා මගේ හිත නිදහස් කළා.”

“ඉතින් උපාසකම්මා කෙනෙක් වෙලත් ඇයි මේ පහත් අමනුස්ස භාවයක උපන්නේ?”

“අනේ! හාමුදුරුවනේ! මම කොයි තරම් දන් දුන්නත්, සිල් සමාදන් වුණත් මට භාවනා කර ගන්න බැරි වුණා. හිත දුර්වලයි. කෙල්ලගෙ නැති බැරිකම් ගැන හිත හිතා දුකෙන්මයි හිටියේ. ඒකයි මට මෙහෙම වුණේ!!”

“හොඳයි, අපි දැන් මේ ඇත්තිව තවත් පින් දහම් කරන තැනකට එක්කර ගෙන යනවා.”

“අනේ, හොඳයි; ඒ කොහේට ද හාමුදුරුවනේ?”

“ගැටඹේ බෝධීන් වහන්සේ ළඟට”

“අනේ; හොඳයි සාදු! සාදු!”

වනරතන හිමියෝ පිරිස සමඟ ගැටඹේ බෝධීන් වහන්සේ වෙත ගොස් බෝධි පූජාවක් පවත්වා පිරිත් සජ්ඣායනා කොට මේ තැනැත්තියට මෙතැන පින්දහම් කරන හැටි බලා ශුද්ධාව පිහිටුවා ගන්නට ඇගේ අමනුස්සය භාවයෙන් මිදෙන්නට දෙවියන්ගේ උදව් ඉල්ලා පිනට පිහිටවන ලෙස ඉල්ලා ඇය එම ස්ථානයට භාර කළහ.

චම්පා ප‍්‍රකෘති සිහිය ලැබූ විට වනරතන හිමියෝ ඇයට අවවාද කළහ.

“දැන් ඉතින් ඒ කරදර සේරම ඉවරයි. අයියලත් දියුණු වෙන්න උදව් කරාවි. දැන් වෙච්ච සියලු දේවල් අමතක කරන්න නැවත අම්මා ගැන හිතන්න ගියොත් නැවතත් ආපහු ඒවි. ඒ ගැන ඉතින් හිතන්න එපා. ඒ ගැන කතා කරන්න එපා. ආයෙත් ඒ ගැන ම හිත හිතා කතා කරන්න ගියොත් ඉස්සරහ දොර වසා පිටු පස දොර ඇර තැබුවා වගේ වේවි” යි කරුණු වටහා දුන්හ.


Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

Categories

%d bloggers like this: