Posted by: lrrp | June 20, 2009

කළගුණ අමතක වී සියල්ල අහිමි කරගත් සිල්වා නෝනා

වක් කළ අතක් දික් කිරීම එක ම කි‍්‍රයාවකැයි සාමාන්‍ය සිතට හැඟෙයි. එහෙත් එය ඉතා වේගවත් කි‍්‍රයාවලියකි. වක් කළ අතක් දිගු කිරීම චිත‍්‍රපටයක දී නම් රූප රාමු 18 – 20 ක් පමණ වේ. එවැනි රූප 18 – 20 ක් වේගයෙන් කි‍්‍රයාත්මක වන විට අතක් දික් කරන්නා සේ බලන්නාට පෙනේ. ගිනි බෝලයක් කවයක් වටා ක‍්‍රමයෙන් වේගයෙන් කරකවන විට බලන්නාට පෙනෙන්නේ ගිනිවළල්ලක් මෙනි. අපේ සිත කි‍්‍රයාත්මක වන්නේ ද එසේ ම ය. චිත්තක්ෂණය යනු ඉතා ම කෙටි සියුම් කාලයකි. තත්පරයකට සිත් දහස් ගණනක් පහළ වෙයි. “මම දැන් පැයක් තිස්සේ ම කල්පනා කළේ අර සිද්ධිය ගැන ම යි” කියා තමන් විසින් එක ම දෙයක් ගැන සිතූ බව කෙනෙක් පවසන්නට පුළුවන.

එහෙත් ඔහුට ඒ පැය තුළ සිත් ලක්ෂ ගණනක් පහළ වී නිරුද්ධ වී ගිය බව ඔහු දන්නේ නැත. ඒ වාගේ ම කෙනෙකුට තමන් ගේ සිතට වංචා කරන්නට ද නොහැකි ය. ඔහු කරන වංචාව ඔහු ගේ සිත දනී. එය කොයි මොහොතක හෝ ඔහුට ප‍්‍රතිකි‍්‍රයා දක්වනු ඇත. සිතේ කි‍්‍රයාකාරිත්වයේ සියුම් බව ඒ තරම් ම තියුණු ය. ඒ ප‍්‍රතිකි‍්‍රයා දැක්වීම ඒ මොහොතේ ම සිදුවීමටත් පුළුවන. සතියකින් මාසයකින් අවුරුද්දකින් හෝ අවුරුදු ගණනාවකින් හෝ ඊළඟ භාවයක දී සිදුවන්නටත් පුළුවන. කුසලයට කුසල විපාක ලැබෙනවා කියන්නේත් අකුසලයට අකුසල විපාක ලැබෙනවා කියන්නේත් එයයි. හැබැයි එසේ ලැබෙන විට ලැබෙන්නේ පොළියත් සමඟ ය. දස දහස් ගුණයකිනි.

සිල්වා මහත්මිය ගම්බද සාමාන්‍ය පවුලක ඉපිද හොඳින් ඉගෙනුම ලබා උපාධිධාරිනියක්ව රජයේ ඉහළ තනතුරක් දරන කාන්තාවකි. ඇගේ සැමියා ද එවැනි උසස් යැයි සම්මත තත්ත්වයක සිටියේ ය. සිල්වා මහත්මියට කුඩා කල සිට ම අධ්‍යාපනය ලබා දීමට විය පැහැදම් කළේ ඇගේ අවිවාහක නැන්දා කෙනෙකි. සිල්වා මහත්මිය ගේ පියා සාමාන්‍ය රැකියාවක් කළ ද රේස් දැමීමට හා මත්පැන් පානයට ඇබ්බැහි වූ කෙනකු නිසා දියණියගේ දියුණුව පිළිබඳ අවධානය යොමු කළේ නැත. එහෙත් ඇගේ කුසලතා දුටු නැන්දා ඇය තමන් ගේ භාරයට ගෙන විය පැහැදම් කොට ඇයට හොඳින් ඉගැන්නුවා ය.

ඉහළින් විභාග සමත් වූ ඈ තමන් ට ම ගැලපෙන සහකරුවෙකු සොයා ගෙන අගනුවර පදිංචි වූවා ය. ඉහළ පැළැන්තියේ ජීවන රටාවට ඇතුළත් වූ ඕ මම උගත් ය, මම වැදගත් ය, මම ධනවත් යැයි ඉහළින් ම සිතා ගත්තා ය.

මේ අතර වයස්ගත වූ නැන්දා රෝගීව ගමේ රෝහලට ඇතුළත් කෙරිණි. දින ගණනාවක් නේවාසික ව ප‍්‍රතිකාර ලැබූව ද රෝගය සුව අතට හැරුණේ ම නැත. තමන් වියදම් කොට මහත් බලාපොරොත්තු තබා ගෙන ඉගැන් වූ ඥාති දියණිය තමන් බලන්නට ඒවි යැයි සිතුව ද ඇය පැමිණියේ නැත. අවසානයේ ඇයට පණිවුඩ කීපයක් ද යැව්වා ය. නැන්දාගේ අසනීපය සුළු කොට තැකූ ඥාති දියණිය ඇය බැලීමට පැමිණියේ නැත. නැන්දා රෝහලේ ම මිය ගියා ය. ඇගේ අවසන් කටයුතු කළේ ද රෝහලේ වියදමෙන් කම්කරුවන් විසිනි. නැන්දා පිළිබඳ මතක සටහන් යටපත් කැර දමන්නට සිල්වා මහත්මිය ගේ උඩුසිත කි‍්‍රයා කළේ ය.

කාලය ගත වෙද්දී සිල්වා යුවල ගේ එක ම දියණිය දිස්නා වැඩි විය පත්ව උස් මහත් වූවාය. විලාසිතාවනට තරම් අධ්‍යාපනයට උනන්දු නොවූ දිස්නා මවගේත් පියාගේත් සියලු සම්පත්වල තනි අයිතිකාරිය බව සිතට ගත්තා ය. මේ අතර මවටත් පියාටත් නොදැනෙන්නට අසල වෙළඳසලක සුළු සේවකයකු සමඟ දිස්නා ඇයි හොඳැයියක් ඇති කැර ගත්තා ය. මෙය සිල්වා නෝනා ගේ කණට රිංගන්නට වැඩි කලක් ගත වූයේ නැත. තම දියණිය ගේ නොගැලපෙන සම්බන්ධය කඩා බිඳ දමන්නට ඇය උපායක් සෙවුවා ය. හිතවත් කෙනෙකු ගේ උපදෙසක් පරිදි දේවාලයකට ගොස් කපු මහතෙකු හමු වී දියණියගේ සම්බන්ධය නතර කරන්නට දෙවියන්ගේ පිහිට පැතුවා ය.

කපු උන්නැහේ ද සිල්වා නෝනාගේ වැදගත්කම පිළිබඳ පුරාජේරුව ද අසා සිට දියණිය මේ නොමනා සම්බන්ධයෙන් බේරා ගන්නට නම් දේවාලයේ දී බාරයක් වෙන්නැයි උපදෙස් දුන්නේ ය. ඒ සඳහා මේ දේවාලයට දොළොස් මහේ පහනක් හා ඊට අවශ්‍ය පහන් ගෙයක් සාදා දෙන්නේ නම් මේ ස්ථානයේ අඩුපාඩුත් සම්පූර්ණ වන බව ද මතක් කැර දුන්නේ ය. මේ ප‍්‍රශ්නය විසඳ්‍ර දෙන්නේ නම් එය තමන් විසින් ඉටු කැර දෙන්නට සූදානම් බවට සිල්වා නෝනා පොරොන්දු වූවා ය. එසේ ම නිතර දේවාලයට ගොස් මල් පහන් පුදා දෙවියන්ට කන්නලව් කළාය.

කෙසේ වෙතත් දිස්නා ගේ පෙම්වතා සේවය කළ වෙළෙඳ සලේ සොරකමක් සිදු වී ඒ පිළිබඳ ඔහු ගැන සැක මතුවීය. ඒ බව තේරුම් ගත් තරුණයා බියපත්ව කිසිවකුට නොදන්වා ගම රට අතහැර පලා ගියේ ය. මෙය සිල්වා නෝනා ගේ ඉහේ මලක් පිපුණා වැනි කාරණයක් වීය.

සති මාස බවට පත්වෙමින් කාලය පියඹා ගියේ ය. ඉඳ හිට සිල්වා නෝනා දේවාලය පාරේ ගමනක් බිමනක් යන විට අතීත පොරොන්දුව සිහිපත් වුව ද එය උඩු සිතෙන් යටපත් කැර දැමුවාය. මේ අතර මිය ගිය නැන්දාට අයිතිව තිබු නිවස හා ඉඩම ද සිල්වා නෝනා නමට ලියා තිබුණු බව දැන ගෙන ගමට ගොස් එය ගමේ ව්‍යාපාරිකයකුට විකුණා මුදල් රැගෙන ආවාය. මුදල් අල්මාරියට දමා එහි දොර වැසුවාය. එහෙත් යතුරු දොරෙහි ම තිබුණි.

එදින රාති‍්‍ර ආහාර මේසයට මව් පිය දෙදෙනා පැමිණිය ද දිස්නා පැමිණියේ නැත. මව් පිය දෙදෙනා ආහාර ගනිද්දි ඔවුන්ගේ නිදන කාමරය දෙසින් ශබ්දයක් මතු වුව ද ඔවුන් ඒ ගැන වැඩි තැකීමක් කළේ නැත. පසුව ඒ කාමරයෙන් දුමක් පැමිණෙන විට එහි ගොස් බලද්දී විය යුතු දේ සිදුවෙමින් පැවතුණි.

දිස්නා වියරුවෙන් මෙන් සිනා සෙමින් සිටියා ය. ඇය අල්මාරියේ දොරවල් විවෘත කොට භූමිතෙල් ගසා ගිනි තබා තිබුණි. සිල්වා නෝනා හිස අත් තබා ගෙන විලාප දෙද්දී සිල්වා මහත්මයා වතුර ගෙනැවිත් ගිනි නිවන්නට උත්සාහ ගත්තේය. ඒ උත්සාහයෙන් ප‍්‍රයෝජනයක් නොවිණි.

“හීº… හීº… හීº… උඹට හරි ම හිතට අමාරුයි නේද? ලස්ස ගාණක් ගිනි ගත්තා. කමක් නෑ බං. ඕවා උඹේ ඒවා නෙමෙයිනේ. අමතක කරපං අමත කරපං. උඹට අමතක කරන එක බොහෝ ම ලේසියිනෙ. හරියට කන්න අඳින්න නැතුව ඉන්දැද්දි මං උඹ මගේ ගෙදරට අරගෙන ගිහින් කන්න අඳින්න දීලා වියදම් කරලා ඉගැන්නුවා. උඹ ලොකු ලොකු විභාග පාස් කරලා ලොකු රස්සාවල් කරන කොට මුල අමතක කළා.

අනේ… අනේ… ගෑනියෙ උඹට අමතක වුණා නේද? අන්තිමේ පණිවුඩ එවලත් බැරි වුණා ඉස්පිරිතාලෙට ඇවිත් මාව බලන්න. මේ ගෑනි නේද? මට කන්න අඳින්න දීලා ඉගැන්නුවේ කියලා මගේ හුස්ම ටික තියෙද්දි උඹට එන්න බැරි වුණා. හීº… හීº… හීº… දැන් අඬපං… දැන් අඬපං… උඹට ඔය තව වුණා නොවෙයි. උඹ කළගුණ නොදන්නා දුෂ්ට ගෑනියක්. තෝ දෙය්යන්වත් රැවටුවා. දොළොස් මහේ පහන් ගෙවල් හදනවැයි කියලා. දෙය්යෝ රැවටෙන්නේ නැහැ බොල. උඹම රැවටෙනවා මිසක්. උඹ බලන්නේ කොහොම හරි උඹේ වැඩේ කර ගන්න විතරයි. උඹට දෙය්යන් රවටන්න බැහැ.

හීº… හීº… හීº… දැන් ඉතින් අඬපං… අඬපං… ඕවා හැම දෙයක් ම උඹේ තණ්හාව නිසා මයි… උඹ කරපු දේවල් උඹ ම විඳවන්න ඕනෑ.” දිස්නා කියවා ගෙන කියවා ගෙන ගියා ය. දිස්නා ගේ පියකරු මුහුණ අඳුරු වී නපුරු වී ඇත. දෑස් කෝපයෙන් ගිනි ගෙන ඇත. වරෙක දත් සපයි. මේ නම් දිස්නා නොවේ යැයි සිල්වා මහත්තයාටත් බිරියටත් වැටහී හමාරය. “දූට ඔයා ගෙ නැන්දා වැහිලා” යි සිල්වා මහතා කීවේ ය.

“හීº… හීº… හීº…” යැයි නැවතත් වියරුවෙන් සිනාසුණු දිස්නා සිහි සුන්ව වැටුණාය. සිල්වා මහතා වහා ඉදිරියට පැන ඇය වැටෙන්නට නොදී අල්වා ගෙන එතැන තිබු යහනේ දිගා කළේය. වතුර ටිකක් මුහුණට ඉස්සේ ය. ඇය ක‍්‍රමයෙන් සිහිය ලැබුවා ය.

“අනේ… අම්මේ… කවුද මේ අල්මාරිය ගිනි තිබ්බේ…” යි ඇය ඇසුවා ය. සිල්වා නෝනා නිහඬව හිස අත් ගසා ගෙන සිටී.

“ඔයා දෙය්යන්ටත් පොරොන්දුවක් වුණා ද? දොළොස් මහේ පහන් ගෙයක් හදා දෙනවැයි කියලා” යි සිල්වා මහත්මයා ප‍්‍රශ්න කළේ ය. සිල්වා නෝනා හිස උස්සා බයාදු බැල්මක් හෙළා හිස වනා එය පිළිගත් බවක් ඇඟ වූවා ය.

“කොයි දේක වුණත් සීමාවක් තියෙන්න ඕනෑ. තණ්හාව වුණත් එහෙම තමයි.” කියමින් ගිනි ගත් අල්මාරියේ අළු අඟුරු ඉවත් කරන්නට පටන් ගත්තේ ය.

එදින ම හැන්දෑවේ සිල්වා නෝනා සැමියාත් දියණියත් සමඟ දේවාලයට ගියා ය. පහන් දල්වන විට ම දිස්නා ප‍්‍රලය වූවා ය. “ගැත්තා… ගැත්තා… ගැත්තාට මතක ද මේ ගෑනි මීට ඉස්සර දවසක් මෙතැනට ඇවිත් බාරයක් වුණා… මතකදැ” යි කපු මහත්තයා ගෙන් ඇසුවා ය.

“නැහැ. මට මතක නෑ. මේ වගේ අය මෙතනට දහස් ගණනක් එනවා නෙ. මට හරියට මතකයක් නෑ” යි ඔහු කීවේ ය.

“ඇයි දරුවා උඹට මතක නැද්ද? මේ ගෑනි මෙතන දොළොස් මහේ පහන් ගෙයක් හදනවායි පොරොන්දු වෙලා ගියා” යි අතීත සිද්ධිය මතක් කළා ය.

“එහෙමයි… එහෙමයි දැන් මට මතකයි” ඔහු කීවේ ය.

අවට සිටි අය බලා සිටිද්දී සිල්වා නෝනාත් මහත්තයාත් ලජ්ජාවෙන් පීඩිතව බිම බලා ගෙන සිටියහ.

“කපු මහත්තයා… අපි හෙට ම ඒ වැඩේ පටන් ගනිමු. කපු මහත්තයා හොඳ බාස් කෙනෙක් ගෙන්නලා උවමනා දේවල් ලැහැස්ති කරන්න මම හෙට උදේ වැඩට යන ගමන් ම එන්නම්. මම සම්පූර්ණ වියදම දෙනවා. කපු මහත්තයා සුදුසු විධිහට ඒක කරවන්නැ” යි සිල්වා නෝනා කීවා ය.

“කොරපං… කොරපං… පොරොන්දු වුණා නම් කොරපං… හැබැයි උඹ මට කරපුවාට උඹට තවත් විඳවන්න වෙනවා” යි දිස්නා අසිහියෙන් මෙන් කියවා ගෙන ගියා ය. කපු මහත්තයා දේවාලයේ පැන් කෙණ්ඩියෙන් පැන් ටිකක් ඇගේ මුහුණට ඉස්සාට පසු ඇය පියවි තත්ත්වයට පත් වූවා ය.

“දෙය්යන් රවටන්න හොඳ නෑ නෝනා. දෙවියෝ පලි ගන්නේ නෑ. ඒත් දෙවියන්ගේ පාර්ශවයේ අමනුස්සයෝ ඉන්නවා. ඒ නැතත් තමන්ගෙ හිත දන්නවානෙ තමන් වෙච්ච පොරොන්දු. මේ අපේ හිත් විශ්ව ශක්තියට සම්බන්ධයි. අපි කරන කියන දේවල් හැම දෙයක් ම විශ්ව ශක්තියට පේනවා. ඉතින් වංචා කරන්න බැහැ. අපල කාලය ආපු හැටියෙ පරණ පව් ගෙවන්න ;වනවා” යි කපු මහත්මයා කාරණය පැහැදිලි කළේ ය.

කර්ම නියාමයට අනුව අප විසින් මේ මොහොත දක්වා ඈත අතීතයේ සංසාර ගමනේ සිට කරන ලද අකුසල පාප කර්මයන්හි විපාක ඊට අවස්ථාව එළැඹි හැටියේ ගෙවන්නට සිදු වේ. කුසල් හා පුණ්‍ය කි‍්‍රයාවන්හි විපාක – ආනිසංස ද එසේ ම ය. පාපයන්හි ආදීනව විපාක ගෙවීමට සිදුවන කාලය අපල කාලයක් ලෙස ග‍්‍රහචාරයනට අනුව ඡ්‍යොතීර් විද්‍යානුකූලව අනාවරණය කරනු ලබයි.

බුදු දහමට අනුව ආනන්තරිය පාප කර්ම වැනි බරපතළ පාප කර්ම හැරෙන්නට අනිකුත් පාප විපාකයන් ගෙන් මිදීමට හෝ අවම කැර ගැනීම කුසල්හි යෙදිය යුතු ආකාරයත් දක්වා ඇත. කුසල් හි යෙදෙන පුද්ගලයා ගේ අකුසල විපාක දුර්වල කරමින් අතීත කුසල විපාකයන් ද මතු වෙයි. කෙසේ නමුත් සිල්වා නෝනා දැන් හොඳට ම බිය පත්ව ඇත. ඇය කළ වැරදි නිතර ම ඇගේ මනසෙහි හොල්මන් කරති. ඇය කරන්නට තිබු යුතුකම් නොකළ වරදට ඇගේ මිය ගිය නැන්දනිය රවා ගෙන තමා දෙස බලා සිටින අයුරු නිතර මැවී පෙනෙන්නට වීය.

දැන් කොයි වේලේත් සිල්වා නෝනා සිත යකා ගේ කම්මල වැනි ය. ඇගේ යටි හිත වියරු දත් විළිස්සා ගෙන ඇය දෙස බලා සිටින්නාක් වැනි ය. දේවාලයේ සිද්ධියෙන් දින කීපයකට පසු තමන්ගේ රාජකාරි ස්ථානයේ උඩ මහලක සිට පිය ගැට පෙළෙන් පහත මහලට බසිද්දී සිල්වා නෝනා ගේ පය ලිස්සා පහළට වැටුණාය. දැන් ඇය කොඳු ඇට පෙළ බිඳී පෞද්ගලික රෝහලක නේවාසිකව ප‍්‍රතිකාර ලබයි. දිස්නා ඇය ළඟට වී සාත්තු සප්පායම් කරයි. සිල්වා මහතා උදේ හවස ඇය බලන්නට රෝහලට යයි. වැඩ වැඩි දාට යැවෙන්නේ දවසට එක් වරකි. එදාට ඇගේ මුහුණ හොඳ නැත.

කොඳු ඇට පෙළ බිඳීම නිසා ඇයට සදහට ම ඇඳට ම වී ජීවිතය ගෙවන්නට සිදු වේ දැ යි බියක් ද ඇය තුළ පවතී. ඇගේ සිත දැන් යුතු අයුතුකම් ගැන තුලනාත්මකව කිරා බලන්නට පුරුදුව සිටී. දුවගේ ප‍්‍රශ්නයෙන් මිදෙන්නට දේවාලයේ පහන් ගෙය හදන්න සල්ලි නම් දුන්නා. ඒත් නැන්දාට යුතුකම් ඉටු නොකළ ප‍්‍රශ්නය?

රාජකාරි බහුලවීම නිසා සිල්වා මහතාට සමහර දාට ඇය බලන්න පැමිණීමට නොහැකි අවස්ථා ද එළැඹී ඇත. දිනක් සිල්වා මහතා ගේ කාර්යාලයේ නිලධාරිනියන් දෙදෙනෙක් ඇය බැලීමට පැමිණියහ.

“අනේ දැන් මගේ මහත්තයාට දවල් කෑම ටිකත් කඩෙන් කන්න වෙලා ඇති”යි සිල්වා නෝනා ඔවුන් සමඟ කීවා ය.

“නෑ නෑ දැන් සර්ට එයා ගෙ සෙකටි‍්‍ර ගර්ල් දවල් කෑම එක ගේනවා” යි එයින් කාන්තාවක් කීවා ය.


Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

Categories

%d bloggers like this: