Posted by: lrrp | June 22, 2009

සේල ථෙරගාථා වර්ණනාව

කේ. කේ. සුගතපාල

සේල මහරහතන් වහන්සේ පදුමුත්තර බුදුරජාණන් වහන්සේගේ කාලයෙහි කුලගෙයක ඉපිද ශිල්ප ශාස්ත්‍රයෙන් පොහොසත්ව පිරිසක ප්‍රධානියා විය. වරක් තුන් සියයක් පමණ ශිෂ්‍ය පිරිසක් හා එක්ව පදුමුත්තර බුදුරජාණන් වහන්සේට ගන්ධකුටියක් සාදවා එහි වැඩ අවසන් වූ පසු බුදුරජාණන් වහන්සේ ප්‍රමුඛ භික්ෂු සංඝයාට මහ දන් දී සියල්ලෝ තුන් සිවුරෙන් ඇන්දවීය. ඔහු ඒ පින හේතුකොට ගෙන එක් බුද්ධාන්තරයක් දෙව්ලොව සැප විඳ එයින් චුතව දෙව් මිනිසුන් අතර උපදමින් සැරිසරන්නේ මේ බුද්ධෝත්පාද කාලයේ අංගුත්තරාපෙසු ආපණ නම් වූ බමුණු ගමෙහි බමුණු කුලයක ඉපිද සේලොති සේල නම් විය.

ඔහු වැඩිවියට පත්වූයේ ත්‍රිවේදයෙහි ද බ්‍රාහ්මණ ශිල්පයෙහි ද නිමාවට පැමිණියේ මානවකයන් තුන් සියයකට පමණ මන්ත්‍ර උගන්වමින් ආපණ ගමෙහි වාසය කරයි. ඒ කාලයේ භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවරින් නික්ම හයසිය පනහක් පමණ භික්ෂූන් සමඟ අංගුත්තරාප දනව්වෙහි චාරිකාවේ වඩින සේක.

බුදුරජාණන් වහන්සේ සේල සහ ඔහු පිරිසගේ නුවණ මුහුකුරා ගිය බව දැන එක්තරා වන ලැහැබක වැඩ වාසය කරන සේක. මෙහිදී කේනිය නම් වූ ජටිලයෙක් බුදුරජාණන් වහන්සේ වැඩිබව අසා එහි ගොස් දානය සඳහා බුදුරජාණන් වහන්සේ ප්‍රධාන භික්ෂූ සංඝයාට ආරාධනා කළේය.

අසපුවට පැමිණි ඔහු බොහෝ ආහාරපාන සූදානම් කරන්නට විය. ඒ කාලයේ සේලොති සේලනම් බ්‍රාහ්මණයා තුන්සියයක් මානවකයන් සමඟ ඇවිදගෙන යන්නේ කේනිය බමුණගේ් අසපුවට පිවිසි විට ජටිලයන් දර පැලීම, ලිප් බැඳීම, ආදියෙන් දානයකට උපකරණ සූදානම් කරනු දැක කිම කේනිය, මහා යාගයක් එළඹ තිබේද? යනාදිය විචාලහ.

නැත හිතවත ‘අපි හෙට දානය සඳහා බුදුරදුන් වහන්සේට ආරාධනා කළෙමු ‘ යැ’ යි කීහ. සේල බමුණා ‘බුද්ධ’ යන වචනය අසා සතුටු වූයේ, පී‍්‍රති සොම්නස් බවට පත්වූයේ එකෙණෙහිම මානවකයන් තුන් සියයත් සමඟම ලොවුතුරා බුදුරජාණන් වහන්සේ වැඩ සිටි තැන් විමසමින් එහි ගියෝ ය . භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ දුටු සේල බමුණා සිහි කටයුතු සතුටු විය යුතු කථා නිමවා (දේහ ලක්ෂණ වර්ණා කරන්නේ)

පරිපූණ්ණ කායො සුරුචි සුජාතො
චාරුදස්සනො
සුවණ්ණවණේණාසි භගවා සුසුක්ක දාඨො විරියවා

මනා පෞරුෂයකින් හෙබි දෙසිත් මහා පුරුෂ ලක්ෂණ වලින් අඩුවක් නැති අඟපසඟ ඇති පිරිපුන් සිරුර ඇති (පරිපුණ්ණකයො) මනාපැහැය ඇති (සුරුචි) උතුම් ජන්ම ඇති (සුජාතො) රමණීය වූ සොඳුරු දැකුම් ඇස් ඇත්තේ (චාරුදස්සනො) රන්වන් වර්ණ ඇති (සුවණ්ණවණෙනා) භගවත්හු සුදෝසුදු දත් පෙළ ඇත්තාහ. (සුසුක්කදාඨො) වීර්යවන්තයහ (විරියවා)

(සුත්ත නිපාතයෙහිද එන සේල සූත්‍රයෙහි ද මෙවැනි විස්තරයක් ඇත. බුදුරජාණන් වහන්සේගේ දෙතිස් මහා පුරුෂ ලක්ෂණ පිරික්සා බැලූ සේල බමුණා මහා පුරුෂ ලක්ෂණ දෙකක් කෙරෙහි සැක උපදවීය. එකල්හි භාග්‍යවතුන් වහන්සේ ඒ බව දැන සෘර්ධිමය බලයෙන් රන් කෙමියක බහාලුවක් මෙන් පිහිටි (කොසොහිතං වත්ථගුයහං) ලිංග ඉන්ද්‍රිය දක්නට සැලැස් වූ සේක. තව ද පුළුල් වූ දිව දිගුකොට දෙකන් සිළු ස්පර්ශ කළහ. දෙනාසා සිදුරු ස්පර්ශ කළහ. මුළු නළල් තලයම දිවෙන් වැසූ සේක. මෙවිට ශ්‍රමණ භවත් ගෞතමයන් වහන්සේ දෙතිස් මහා පුරුෂ ලක්ෂණයන්ගෙන් සමන්විත බව සේල බමුණාගේ පිළිගැනීම විය).

ස්වාමීනි, අභිජාත මහාපුරුෂයකුගේ යම් ලක්ෂණ වේ නම් ඒ සියලු මහාපුරුෂ ලක්ෂණ සිරුරෙහි ඇත. පඤච වර්ණයකින් බබලන නෙත් යුගලක්ද පිරිපුන් සඳමඬලක් වැනි මුහුණක් ද ආරෝහ පරිණාහ සම්පත්තියෙන් යුත් සෘජු ශරීරයක් ද ඇති භික්ෂූ සංඝයා මැද ප්‍රතාපවත් වූ සූර්යාමෙන් බබළන්නාහුය.

යහපත් වූ දැනුම් ඇති රන්වන් සිරුරකින් හා උතුම් වර්ණ සම්පත්තියෙකින් බබළන පින්වතුන් වහන්ස, පැවිද්දෙන් පින්වතුන් වහන්සේට ඇති ප්‍රයෝජනය කුමක්ද?

දඹදිවට ම අධිපති ව සතර සමුදුර සීමාකොට ඇති මහ පොළොවට අධිපතිව සක්විති රජවන්නට සුදුසු ගෞතමයෝ රාජාධිරාජව මහරජකු මෙන් රාජ්‍ය කරන්න. බොහෝ වස්තුව ඇති ක්‍ෂත්‍රිය රජවරු ගෞතමයන් ගේ අනුගාමිකයෝ වන්නාහ.

බුදුරජාණන් වහන්සේ
රාජහමස්මි සෙල (සෙලාති භගවා) ධම්මරාජා අනුත්තරො
ධමේමන චක්කං වතේතමි චක්කං
අප්පතිවත්තියං

සේල, මම රජෙක්මි. තමාට වඩා උසස් කෙනෙක් නැති ශ්‍රේෂ්ඨ (අනුත්තර) වූ ධර්මරාජ වෙමි. එහි ධර්මයෙන්ම අණසක පවත්වමි. ඒ ධර්ම අණසක (කිසිදු දෙවියකු හෝ බ්‍රහ්මයකු හෝ මාරයකු හෝ ශ්‍රමණයකු හෝ බමුණකු හෝ මිනිසකු හෝ වෙනත් කිසියම් කෙනෙකු විසින් හෝ) ආපසු පෙරළිය නොහැක’.

සේල බ්‍රහ්මණයා

ගෞතමයන් වහන්ස, නිරුත්තර වූ ධර්මරාජ වූ සම්බුද්ධ රාජයයි ප්‍රකාශ කරන, ගෞතමයන් වහන්සේ දැහැමින් අණසක පවත්වමි යි කියන්නාහුය. එසේ නම් ස්වාමීනි

කො නූ සෙනාපති භොතො සාවකො
සත්‍ථු අන්‍වයො,
කො තෙ මං අනුවතේතති
ධම්මචක්කං පවත්තිතං

පින්වත්හු ගේ සේනාධිපති කවරෙක්ද? ශාස්තෘත්වය අනුව යන කවර ශ්‍රාවකයෙක් මේ දහම් අණසක එයට අනුකූ®ලව පවත්වා ගෙන යේ ද?

බුදුරජාණන් වහන්සේ
මයා පවත්තිතං චක්කං (සෙලාති භගවා)
ධම්මචක්කං අනුත්තරං
සාරිපුතේතා අනුවතේතති අනුජාතො
තථාගතං

සේල මා විසින් පවත්වන ලද නිරුත්තර වූ ධර්ම චක්‍රය (මාගේ) අනුජාත පුත්‍ර වූ ශාරිපුත්‍ර (සේනාධිපති) විසින් ඒ අනුවම පවත්වයි.

අභිඤේඤය්‍යං අභිඤ්ඤාතං භාවෙතබ්බං ච භාවිතං
පහාතබ්බං පහීනං මෙ තස්මා බුදේධාස්මි බ්‍රාහ්මණ

සේල, මා විසින් (ලොව යමක් විශේෂයෙන්) දතයුතු දෙය දන්නා ලද්දේ ය. වැඩිය යුතු දෙය වඩනා ලද්දේය. (ලොව යමක්) ප්‍රහීණ කළ යුත්තේද ඒවා සියල්ල ප්‍රහීණ කරන ලදී. එහෙයින් බමුණ මම බුද්ධ වෙමි.

විනයස්සු මයි කංචං අධිමුච්චස්ස බ්‍රාහ්මණ
දුල්ලභං දස්සනං හොති සම්බුද්ධානං
අභිණ්භසො

‘බ්‍රාහ්මණ මා කෙරෙහි සැක දුරු කරන්න. සැකහැර මා සම්බුද්ධ යැයි පිළිගන්න. සම්මා සම්බුදුවරයන් නිරන්තරයෙන් දැක්ම දුර්ලභ වේ.

ලෝකයෙහි යම් කෙනෙකුන්ගේ නිබදව පහළවීම ඒකාන්තයෙන් දුර්ලභවේ ද බ්‍රාහ්මණ ඒ මම නිරුත්තර වූ ශල්‍ය වෛද්‍ය වූ සම්බුද්ධ වෙමි.

බ්‍රහ්මභූත (ශ්‍රේෂ්ඨ) වූයෙමි. උපමා රහිත වූ වෙමි. මාරසේනාව මඩනා ලද්දෙමි.සියලු සතුරන් වසඟයට ගෙන කිසිවෙකින් බිය නැත්තේ සතුටු වෙමි.

සේල බ්‍රාහ්මණයා

පසැස් ඇති බුදුරජාණන් වහන්සේ යම් සේ කියන්නේ ද එය මෙසේ අසමි (රාගාදි) කෙලෙස් හුල් උදුරන බැවින්) ශල්‍ය වෛද්‍ය වූ මහා වීර තෙමේ වනයේ සිංහයකු මෙන් ශ්‍රේෂ්ඨ (සිංහ) නාද කෙරේ.

සමාන කිරීම් ඉක්ම වූ මරසෙනග පැරැද වූ උතුමකු දැක පහත් ඉපදීමක් ඇති කවරෙක් නොපහදින්නේ ද?

යමෙක් කැමැතිවේ නම් (තම ශිෂ්‍ය පිරිස අමතමින්) මා අනුව එන්න. යමෙක් අකමැති වේද යන්න. මම මෙහි උතුම් නුවණැත්තාහු වෙත පැවිදි වන්නෙමි.

ඉදින් පින්වත, (ඔබ හට) ඒ සම්‍යක් සම්බුද්ධ ශාසනය රුචි වේ නම්, අපි දු ඒ උතුම් නුවණැත්තහු වෙත පැවිදි වන්නෙමුය.

භාග්‍යවතුන් වහන්ස, මේ තුන්සියයක් බ්‍රාහ්මණයෝ ඇඳිලි බැඳ බඹසර යදිත්. භාග්‍යවතුන් වහන්සේ වෙත අපි බඹසර රකින්නෙමුය.

බුදුරජාණන් වහන්සේ

ස්වක්ඛාත බ්‍රහ්මචරියං (සෙලාති භගවා) සන්දිට්ඨිකමකාලිකං
යත්‍ථ අමොඝා පබ්බජ්ජා අප්පමතස්ස සික්ඛතො

සේල බ්‍රහ්මණය, යම් සසුනක අප්‍රමාදව හික්මෙන්නහුට පැවිද්ද හිස් නොවේ. එහි මාර්ග බ්‍රහ්මචාරියාව ස්වක්ඛාතයි. (මනාව දේශනා කරන ලද) සංදෘෂ්ටිකය.

(මෙලොව ලැබෙන ඵල ඇත්තේය) අකාලිකය (කල් නොයවා ප්‍රතිඵල ලබා දෙන්නේය)

ඉක්බිතිව සේල බ්‍රාහ්මණ තෙමේ පිරිස් සහිතවම භාග්‍යවතුන් වහන්සේ වෙත පැවිදි උපසම්පදාව ලැබීය. කේණිය ජටිල අසපුවට වැඩි භාග්‍යවතුන් වහන්සේ දන් වළදා අවසන්හි එකත් පසෙක හුන් කේණිය ජටිල හට අනුමෙවෙනි බණ වදාරන සේක.

යාගයට අග්නියද, වේදයට සාවිත්‍රිය ද මිනිස්නට රජ ද ගංඟාවනට සයුර ද ප්‍රමුඛ වෙයි. නැකැත් තරුනට සඳ, තැවෙනවුනට හිරු ද පින් කැමැත්තවුනට සංඝයා ද ප්‍රමුඛ වෙයි.

මෙහිදී සේල සහිත පිරිස හුදෙකලාව වැස අප්‍රමාදව කෙලෙස් තවන වීර්යයෙන් නිවන කරා මෙහෙය වු සිත් ඇතිව වසනුයේ සත් රැයකින් උතුම් වූ රහත් ඵලය ලැබූහ.

සේල මහ රහතන් වහන්සේ
මුනිවරයන් වහන්ස, බුද්ධයන් වහන්ස, ශාස්තෘන් වහන්ස, සත් අනුසයන් සිඳ සසර තරණය කළ මා හා මාගේ ප්‍රජාව එතෙර කළහ. එතෙර වූහ. සිංහ වූ භාග්‍යවත් බුදුරජාණන් වහන්ස, මේ තුන්සියයක් භික්ෂුහු ඇඳිලි බැඳ ගෙන සිටිති. වීරයන් වහන්ස, පා සඟල දිගුකළ මැනැවි. නිශ්පාපී පුරුෂ නාගයෝ (රහත්හු) ශාස්තෘන් වහන්සේ ගේ පා සඟල වඳින්නෙමුය.

(ථෙර ගාථා 20.1.7 – සුත්ත නිපාතය සේල සූත්‍රය 3 -7)


Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

Categories

%d bloggers like this: