Posted by: lrrp | July 11, 2009

යාල ශී‍්‍ර විභූතියේ අතරමංව…

බැලූ, බැලූ හැමතින්ම දිස් වන්නේ නව කොළ ගොන්නෙන් සුසැදි වන වැස්ම ය. මළ හිරු රැස් සිප ගත් වනස් පතීහු රන් වනින් දිදුළති.

මේ ගෙවී යන්නේ දිනයේ අවසන් හෝරා කිහිපය යි. වනාතට නවමු පැහැයක් එක් වී ඇත. වෙහෙරගල පර්වත මස්තකය මත සිට බැලූ කල යාල ජාතික වනෝද්‍යානයත්, ලුණුගම් වෙහෙර ජාතික වනෝද්‍යානයේ ඇරඹුමත් කදිමට දැක බලා ගත හැකි ය.

මම සතර දිශාවටම නෙත් යොමු කළෙමි. සැමතින්ම දිස් වන්නේ ඉමක් – කොනක් නොපෙනෙන සිතිජය තෙක් විහිදුණු වන පෙත ය. නමුදු එක්වන දෙනෙත් නැවතිණි.

සසරෙහි ඉම සොයන්නට දෝ පැවිදි හිමි වරු සිව් නමක් වන කතරෙහි අතරමංව හිඳිති. සුධම්ම හාමුදුරුවන් වෙහෙරගල චෛත්‍ය වටා යමින් එය පිරික්සයි. සැවොම වන ගැබ මධ්‍යයෙන් පැන නැඟී පර්වතයක් මුදුණතට වී හුදෙකලාවේ සුන්දරÀවය වින්දනය කරමින් පසු වෙති.

වෙහෙරගල ව්‍යාපෘතිය යටතේ මැණික් ගඟ මෙතැන් සිට

සැබැවින්ම මෙය දුර්ලභ සිද්ධියක් නොවන්නේ ද? සතා – සීපාවා රජයන වන පෙතක් මධ්‍යයේ මේ ගෙවී යනුයේ ඉතා දුර්ලභ අවස්ථාවක් නොවන්නේ ද? ඉඳින් මෙකී වන ගත ඇත්දැකීම වනාන්තරයේ සැඟව ගැනීමට ඉඩ නොදී, එය වනයට ගෞරව කරන්නවුන් හට හෙළි කිරීමට මම උත්සුක වීමි.

කිතුල්කොටේ අඩවි ආරක්‍ෂක කාර්යාලය අභියසට පැමිණ නතර වූ හිමිවරුන් පිරිවරාගත් වාහනයේ සිටි වන සÀව අඩවි ආරක්‍ෂක අබේරත්න මහතාගෙන් ලද ඇරයුමට අනුව, මම ද මෙකී වන – සංචාරයට එක් වුණෙමි.

ඉඳින් දිනය පුරාවටම ලුණුගම්වෙහෙර ජාතික වනෝද්‍යානයේ සැරූ අපි, සවස මැණික් ගඟින් එතෙරව යාල ජාතික වනෝද්‍යානයේ වෙහෙරගල චෛත්‍ය නරඹන අටියෙන් ගමන් ඇරැඹුවෙමු.

ගමන අතර තුරදී, තණ පත් බුදිනා මුව රංචුවක් නෙත ගැටෙත්ම “පොඩි නම ආන්න මුවෝ…” යි හඬ අවදි කරනා මොරදවානේ සුධම්ම ස්ථවිරයෝ තම ගෝල හිමි වරුන් හට එකී දසුන සිත් සේ බලා ගන්නා අටියෙන්, එවැනි ස්ථානයන් හී දී රථය නවත්වන ලෙසට නිතර, නිතරම කියති.

”බලන්න කොච්චර ලස්සන දසුනක් ද? එයාලා නිදහසේ තමන් ගේ අයිතිය, උරුමය හිතේ හැටියට බුක්ති විඳිනවා…” සිත තුටින් පිනා යන සුධම්ම හිමි පවසයි.

වනයේ රුක් වියන මතින් පෙරී, බේරී බිම පතිත වන සැඳෑ හිරු කැන්, වනය සිසාරා රැව්දෙන සියොත් කූජන සහ රැහැයි නාදයට මුහු වූ කසාවතින් සැරසුණු හිමිවරුන් පිරිවරාගත් වෙහෙරගල පර්වතයත්, සැබැවින්ම මවා පාන්නේ අපූර්ව චිත‍්‍රයක් නොවන්නේ ද?

”අබේරත්න මහත්තයෝ, මේ පුරාණ චෛත්‍ය ප‍්‍රතිසංස්කරණ කටයුත්ත කරන්නේ කව් ද?”

”අවසරයි හාමුදුරුවනේ.. වෙහෙරගල ව්‍යාපෘතිය යටතේ තමයි මේ හැම ප‍්‍රතිසංස්කරණ කටයුත්තක්ම සිදු වෙන්නේ. ලුණුගම්වෙහෙර ජාතික වනෝද්‍යානයේ නැගෙනහිර මායිම වන මැණික් ගඟ හරස් කරලා ජලාශයක් බඳිනවා. ඒ තමයි වෙහෙරගල ජලාශය.

මැණික් ගඟේ අතිරික්ත ජලය ගබඩා කර තබා ගැනීමයි මේ ව්‍යාපෘතියේ මූලිකම අරමුණ. එහෙම ගබඩා කර තබා ගන්න ජලය පෝෂිත ඇළ මාර්‍ගයක් ඔස්සේ ලුණුගම්වෙහෙර වනෝද්‍යානය තුළින්, ලුණුගම්වෙහෙර ජලාශයට අරගෙන යනවා. ඉතින් මේ වාරී කර්මාන්තය සිදු කරන්නේ වාරිමාර්‍ග දෙපාර්තමේන්තුවේ දේශීය ඉංජිනේරු මහත්තුරුන් ගේ දැනුම උපයෝගී කර ගෙනයි.

”සුධම්ම හාමුදුරුවනේ, ලුණුගම්වෙහෙර සහ යාල ජාතික වනෝද්‍යානයේ වෙහෙරගල ජලාශය ආශි‍්‍රතව තියෙන ඓතිහාසික නටබුන් ස්ථාන හඳුනා ගෙන, වාරී මාර්‍ග දෙපාර්තමේන්තුව මගින්, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ පූර්‍ණ අධීක්‍ෂණය මත ඒ, ඒ ස්ථාන ප‍්‍රතිසංස්කරණය කරනවා.

නමුත් කිසිඳු ආකාරයකින් හෝ ඒ නටබුන්වලට හානියක් සහ ඒවායේ ඉපැරැණි ස්වභාවයට කැළලක්වත් නොවෙන්නට වග බලා ගන්නවා. මේ වෙහෙරගල චෛත්‍යයත් එවැනි වූ ප‍්‍රතිසංස්කරණයක්. ඉතින් හාමුදුරුවනේ මේ හා සමාන තවත් චෛත්‍යයක්, ලුණුගම්වෙහෙර වනෝද්‍යානයේ වෙහෙර හත කියන පර්වතයේ ප‍්‍රතිසංස්කරණ කටයුතු මේ දිනවල සිදුවෙනවා”

වෙහෙරගල පර්වතය

බලන්න කෙතරම් නිහඬ පරිසරයක් ද? මිනිස් ඇසුරෙන් මිදුණ වන ගත පරිසරයක්. නමුත්, මේ නටබුන් නිහඬව පවසන කතාන්තරය යුග කීයක් නම් අතීතයට ගමන් කරනවා ඇතිද? අද නිහඬතාවයට මුල් තැන හිමි වූවත්, එදවස කෙතරම් දෑ සිදු වන්නට ඇති ද?

”හාමුදුරුවනේ මේ වන ගත ප‍්‍රදේශ අයිති වුණේ රුහුණු රාජධානියට නේද?” මම සුධම්ම හිමියන්ගෙන් ඇසුවෙමි.

”ඔව්… අද මේ හැමතින්ම වන පෙත දිස් වුණත්, සිංහල රජ දවස රුහුණු රාජ්‍ය කියන්නේ සශී‍්‍රකවත් ගොවි ජන පදයක්. ඉතින් ඒ අතීත කතාන්තරයේ මතක සටහන් තමයි මේ වනගතේ හිස ඔසවන නටබුන්”

සැබැවින්ම, මෙකී පර්වතය මස්තකය මත සිට අවට සිරි නැරඹූ හෙළ රජ දරුවන් සශී‍්‍රක ගොවි ජනපදය දැක කෙතරම් සතුටු වන්නට ඇත් ද? පොළොව හා සමඟ පොර බඳිමින් මුතු ඇට සැමත වගුරන්නට ඇත. රුහුණු, පිහිටි සහ මායා යන තුන් හෙළයෙන්ම සරුසාරව ගොවි ජනපදය ව්‍යාප්තව තිබුණේ මේ ඇස් හමුයේ විසිරුණු යාල පොළෝ ගැබේය යන්න සිහිනයක් ද? පුරාණයේ වී අමුණු විස්සක් වැපිරෙන බිම් ප‍්‍රමාණය හැඳින්වූයේ ද Qයාල’ යනුවෙනි.

ඉඳින් එයම මේ සශී‍්‍රක ගොවි ජන පදයේ තතු ඇති සැටියෙන් නොපවසන්නේ ද? නමුදු අද මහා වන ප‍්‍රවාහය විසින් සැමත වසා ගනු ලැබ ඇත්තේය.

යාල වන බිමෙහි සනිටුහන් වුණු මානවපුරාණයේ, පෞරාණික කෘෂිකර්ම සමාජ ක‍්‍රමය අහෝසි වී, සරුසාර ගොවි ජන පදය, වන ප‍්‍රවාහය විසින් ගිල ගත්තේ කි‍්‍ර:ව: 1818 දී නිමාවට පත් වුණ වෙල්ලස්ස කැරළි සමයේදී ය.

අධිරාජ්‍ය වාදය විසින් යාල ජන පද විනාශ කරනු ලැබුවේය. අවසන යාල ජනපදය ජනශුන්‍ය වන බිමක් බවට පත්විය. නමුදු ඈ නිහඬව පවසන්නේ අතීත සුන්දර කතාන්තරය නොවන්නේ ද?

සුධම්ම ස්ථවිරයනුත්, සෙසු ශිෂ්‍ය භික්ෂූන් සිව්නමත්, අපිත්, වෙහෙරගල චෛත්‍ය පසු බිමෙන් දිස් වන අලි, කොටි, වලස් ඈ නේක විද වන ජීවීන්ගෙන් සුසැඳි, වන වැස්ම දෙස බලා ගත් වනම බලා හිඳියෙමු.

”කැමති හිමි නමක් ඉන්නව නම් නවාතැන් ගෙන ධර්මානුයෝගීව, බණ – භාවනාවේ යෙදෙන්නට කියාපු තැන” සුධම්ම හිමියන් ගේ හ¾ඩින් මම අවදි වුණෙමි. අතීත ශී‍්‍ර විභූතිය තුළ අතරමං වූ මම යළිඳු පියෙවි ලොවට බටුයෙමි.

”ඔව් මනාපනන් පොඩි උන්නාන්සේගෙන් කැමති අයෙකුට නවාතැන් ගත හැකියි”

නිරාමිස සතුටක් බුක්ති විඳිනා සුධම්ම ස්ථවිරයන් අහිංසකව හිනැහේ.

”අබේරත්න මහත්තයෝ, මේ කැලය ආරක්‍ෂා කර ගන්න රාජකාරියට ඔබ තුමාට නිලධාරීන් කී දෙනෙක් ඉන්නවා ද?” සුධම්ම හිමි අසයි.

”හාමුදුරුවනේ මගේ සහායට වනසÀව අඩවි සහකාර මහත්මයෙකු යි, වන ජීවි නියාමක මහත්තුරු තුන් දෙනෙකුයි, ස්ථිර කම්කරුවන් හතර දෙනෙකුයි තමයි ඉන්නේ.

පුංචි නිලධාරී මඩුල්ලක්. ඒත් කළ යුතු විශාල රාජකාරියක්. අපි අපිට හැකි උපරිමයෙන් කරනවා.

ඔව් හාමුදුරුවනේ, පමණ ඉක්මවා කරනවා” තෘප්තිමත් විලසින් අප දෙස බැලූ ස්ථවිරයන්, අනතුරුව ක්‍ෂිතිජය තෙක් දිව යන වනාතට නෙත් යොමු කළේ ය. මම උන්වහන්සේ දෙස බැලුයෙමි. මහා සුස්මක් පිඹ ළය සැහැල්ලු කර ගන්නා’යුරු මම දිටිමි.

මෙම ලෙන් දොර හරහා ගලා යයි.

යාල වන පෙත බි‍්‍රතාන්‍ය පාලනය විසින් පරිහරණය කළේ දඩයම් කෙළියේ නිරත විය හැකි කදිම වන පෙතක් වශයෙනි. නමුදු 1900 මාර්තු 23 වැනි දින යාල වන ජීවී රක්‍ෂිතයක් ලෙසට ප‍්‍රකාශයට පත් වීමත් හා සමඟම දඩයම් තහනම් විය. 1908 වසරේදී මෙකී රක්‍ෂිත ප‍්‍රදේශයේ මුල්ම ‘වන අඩවි නිලධාරියා’ වශයෙන් පත් වූ එච්.ඊ. වැන් එන්ගල්බ්‍රෙක් (H.E. Van Engel Brecht) නමැති උතුරු අපි‍්‍රකානු සම්භවයක් සහිත බ්‍රෝයර් ජාතිකයා විසින් යාල සුරක්‍ෂිත වන රක්‍ෂිතයක් කරනු ලදුව, සිදු කළ මෙහෙය නම් පැසසිය යුතුමය. ඔහු වන ජීවී සංරක්‍ෂණය උදෙසා කළ හැකි දෑ උපරිමයෙන් ඉටු කළේ ය.

ඇතැම් අවස්ථාවන් හීදී පමණ ඉක්මවා ඉටු කළේය. මේ වන විට පරම්පරා කිහිපයක්ම ගතව ඇතත්, බ්‍රෝයර් ජාතික ‘එන්ගල් බ්‍රෙක් ගෙන්’ පැවත එන වෘත්තීය ක්‍ෂේත‍්‍රයකට නොවෙද? අප පිවිස සිටින්නේ.

යෝධ පලු ගස් මත ළැග, රැය පහන් කර, වන දිවියට ගිනි බිඳින්නවුන් හට නිසි දඬුවම් ලබා දුන් ‘එන්ගල් බ්‍රෙක්ගෙ‘න් පැවත එන නොනිමි ගමනකට නෙවෙද? මේ අවතීර්ණව සිටින්නේ. එයම නිසියාකාරව ඉටු කිරීමම අප සතු යුතුකමක් නොවන්නේ ද? වනපෙත සිසාරා හමා එන සිහිල් සුළඟ වෙහෙරගල මුදුණත හිඳිනා අප ද සිප හමා යයි. එදවසත් මේ සුළඟම හමන්ට ඇත.

”යාලට මම කැමති යි. මනුස්සයෝ තරමටම සත්තු වෛර කරන්නේ නෑ. ඊර්ෂ්‍යා කරන් නෑ. මම යාල පාලනය මුළුමනින්ම වෙනස් කරනවා. නීතිය අකුරටම කි‍්‍රයාත්මක කරනවා. දඩයමයි, සත්තු රැක ගැනීමයි දෙකක් කරන්ට බෑ. දඩයක්කාරයන් මෙල්ල කරන්නට මම දන්නවා. දඩයමට ඇබ්බැහිවුණ වෙඩික්කාරයිනේ…, යාල සීමාවට නොඑන එක හොඳයි.”

ඒ සිංහ සෙයියාවෙන් හෙබි ‘කැලෑ මහත්තයා’ ගේ හඬ යාල වනාතෙන් පිළි රැව් දේ.

”හාමුදුරුවනේ අපි අපිට හැකි උපරිමයෙන් රාජකාරී කරනවා. ඔව් පමණ ඉක්මවා කරනවා…”

අබේරත්න මහතා කියූවක් මට සිහි වේ.

”ධමෙමා භවෙ රක්ඛති ධමම චාරී”

”මහත්තයෝ, ධම¢යේ හැසිරෙන්නා ධර්මය විසින්ම රකිනවා…” සුධම්ම හිමියෝ නොනිමි වන පෙත දෙස බලා හිඳිමින් මුමුණති.

සඳමල් රශ්මී ශී‍්‍ර. බුද්ධික
වනජීවී නියාමක
ලුණුගම්වෙහෙර ජාතික වනෝද්‍යානය


Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

Categories

%d bloggers like this: