Posted by: lrrp | July 12, 2009

යහපත් වැඩිහිටි ඇසුර මේ දිවියේ අප ලබන භාග්‍යයකි

මහා පරිනිබ්බාණ සූත‍්‍රයෙහි ඉගැන්වෙන සප්ත අපරිහානීය ධර්මවලින් කරුණු කිහිපයක් පිළිබඳව පසුගිය ලිපිවලින් ඔබගේ අවධානය යොමු කෙරිණි. රාජ්‍යයක් වශයෙන් හෝ වේවා, ආයතනයක් වශයෙන් හෝ වේවා, පවුලක් ලෙස හෝ වේවා මෙම ධර්මය නොකඩවා ආරක්ෂා කරන්නේ නම් එම ආයතනයන්හි දියුණුව කිසිවකුටත් වැළැක්විය නොහැකි ය.

වැදගත් වන්නේ ධර්ම කාරණා හතෙන් එකක්වත් කඩ නොකොට ආරක්ෂා කිරීමය. එසේ නොමැතිව ධර්ම හතෙන් එකක් කඩ කොට හයක් ආරක්ෂා කරන්නේ නම් හෝ, කිහිපයක් ආරක්ෂා කරමින් තවත් කිහිපයක් බිඳ දමනවා නම් එතැන දී බුදුරජාණන් වහන්සේ පෙන්වා දුන් දියුණුව, ශක්තිමත් බව අත් කරගත හැකි වන්නේ නැත. අපරිහානිය ධර්ම කාරණා සියල්ලම ආරක්ෂා කිරීමෙන් පමණක් ආදර්ශමත්, සුරක්ෂිත පවුල් පසුබිමක්, ආයතනයක් , රාජ්‍යයක් නිර්මාණය වේ. එම සමාජ කණ්ඩායම් අතර චිරාත් කාලීන දියුණුව සහ යහපාලනය ගොඩනඟා ගැනීමට අවකාශය උදා වේ.

නිතර එක්රැස්වීම, සමගියෙන් රැස්ව සමගිව සාකච්ඡා කොට සමගිව විසිර යෑම, නොපැනවූ නීති නොපැනවීම සහ පැනවූ නීති කඩ නොකොට ආරක්ෂා කිරීම මෙන් ම වැඩිමහලු පුද්ගලයන්ට පුද සත්කාර කරමින් ඔවුන් ආරක්ෂා කිරීම සහ ඔවුන්ගේ බසට ඇහුම්කන් දීම ද සමාජයක ප‍්‍රගමනයට හේතු වේ. මෙහිදී අවධාරණය කර තිබෙන්නේ කුමක්ද? යම් සමාජයක ජීවත්වන වයසින් අත්දැකීමෙන් බුද්ධියෙන් ගුණයෙන් ස්ථාවරතාවයෙන් යුතු පුද්ගලයින් ගේ වචනයට අවවාද උපදෙස්වලට සවන් දී අත්තනෝමතික නොවී පාලනය ගෙනයෑමේ අවශ්‍යතාවය ය.

යම් පුද්ගලයකුට විධිමත් අධ්‍යාපනයක් නොලැබීමට පුළුවන. යම් යම් විෂයය ක්ෂේත‍්‍ර පිළිබඳව උපාධි ලබා නොතිබීමට පුළුවන. එහෙත් ක‍්‍රමයෙන් වයෝවෘද්ධ බවට පත්වීමත් සමඟ අවුරුදු ගණනාවක් ජීවත් වීමෙන් ලද අත්දැකීම් සමුදායක් ඔහුට ඇත.

ජීවිතයේ අනේකවිධ ගැටලුවලට මුහුණ දුන් ආකාරය පිළිබඳව බාධක මඟ හරිමින්, අභියෝග ජය ගනිමින් ඉදිරියට ගමන් කළ ආකාරය පිළිබඳව ඔහුට වටිනා අත්දැකීම් වෙයි. නිවැරැදි අවබෝධයක් ද වෙයි. එසේ සාර්ථකව අභියෝග ජයගනිමින් ජීවිතයට මුහුණදුන්, වටිනා සදාචාරාත්මක හර පද්ධතීන් මත පදනම් වූ ගුණාංගවලින් හෙබි වැඩිහිටියන් ගේ අවවාද උපදෙස් පිළිපදින්නේ නම් කිසිවකුටත් වරදින්නේ නැත. ඉදිරියේ පැමිණෙන අභියෝග ජය ගැනීම අපහසු වන්නේ ද නැත.

නිවෙසක ජීවත්වන දරුවකුට නම් ප‍්‍රධාන වශයෙන් වැඩිහිටියන් සය දෙනකු ගේ ඇසුර ලැබීමට අවකාශය සැලසේ. මව, පියා, මවගේ මවුපියන් සහ පියාගේ මවුපියන් වශයෙනි.

මෙසේ වැඩිහිටියන් ගේ ඇසුර ලැබීම මනුෂ්‍ය ජීවිතයේ දී අපට ලැබෙන විශාල භාග්‍යයකි. අප ගේ නිවසේ වෙසෙන මව පියා වගේ ම කිරි අම්මා සහ කිරි අත්තා ද ජීවිතය නමැති විශ්ව විද්‍යාලයේ උපාධිය සමත් කරගත් පිරිසකි. අප විධිමත් අධ්‍යාපනය ලැබ ප‍්‍රථම පන්තියේ සාමාර්ථයක් සහිත උපාධියක් හිමිකර ගෙන ලබා ගත් දැනුම අවබෝධය, අපගේ වැඩිහිටියන්, විශ්ව විද්‍යාලයකට ගොඩ නොවැදී එහෙත් ජීවිත පරිඥානයෙන් ලද දැනුමට අවබෝධයට සම වන්නේ නැත.

ඔවුන් ජීවිතය පිළිබඳව වැඩි වශයෙන් ම ඉගෙන ගත්තේ පොත පතින් නොව ජීවත් වීමෙන් ම ලද අත්දැකීම්වලිනි. මේ නිසා ජීවිතයේ විවිධ සන්ධිස්ථානවල දී ඔවුන් ගේ අදහස් උදහස් නොසලකා හැරීම කිසිසේත් සුදුසු වන්නේ නැත.

විවාහයකට පිවිසීමේදී ඒ පිළිබඳව වැඩිහිටියන් ගේ ස්ථාවරය පිළිබඳව සැලකිලිමත් වීම තරුණ දරුවන්ගේ යුතුකමකි. එසේ නොවූ කළ සිදුවන්නේ සිය අනාගතය තමන් විසින් ම අඳුරු කර ගැනීමය. විවාහ ජීවිතයේ මුහුණ දෙන්නා වූ අනේක විධ අභියෝග පිළිබඳව, වැඩිහිටියන්ට තරම් වෙන කිසිවකුට අවබෝධයක් නැත. ඔවුන් අපට මග පෙන්වන්නේ තමන් ඇතුළුකොට සමාජයේ අනෙකුත් විවාහකයින් ගේ ද අත්දැකීම් පදනම් කරගෙනය. අප කළ යුතු වන්නේ තරුණ මදය විසින් ඇතිකරන මාන්නය බිඳ දමා ඔවුන් ගේ බසට ඇහුම් කන් දීම ය. අනාගතය ශක්තිමත් වන්නේ එවිට ය.

යම් නිවෙසක වැඩිහිටියන් වචනයේ පරිසමාප්ත අර්ථයෙන් ම පූජනීයත්වයට පත් වී සිටිනවා නම් එහි ජීවත්වන මුණුපුරු මිනිපිරියන්ට, දරුවන්ට සිරිත් විරිත් සහ සාර ධර්ම පිළිබඳව දැනුම ලබාදීමට එතැන දී අපූරු අවස්ථාවක් නිර්මාණය වේ. ආසියාතික සමාජයෙහි කුඩා දරුවන් සිය වැඩිහිටියන් කෙරෙහි සමීප වීමට ස්වභාවිකවම සුවිශේෂී කැමැත්තක් දක්වති. තම මව, පියා කෙරෙහි ආච්චි, සීයා වෙත පවතින මෙම සෙනෙහස, බැඳීම දරුවන් කෙරෙහි යහපත් චර්යා ධර්ම හුරු කිරීම සඳහා ප‍්‍රයෝජනයට ගත හැකි ය.

සිරිත් විරිත්, ගුණ ධර්ම පරම්පරාවෙන්, පරම්පරාවට ගෙන යා හැක්කේ වැඩිහිටියන්ට ය. ආහාර පාන ගැනීම පිළිබඳව, ඇඳුම් පැළඳුම් භාවිතය පිළිබඳව, පරිසරය සහ තමන් සතු සම්පත් සහයෝගයෙන් භªක්ති විඳීම පිළිබඳව, ඒ ඒ සමාජයන්හි, සංස්කෘතීන්හි පිළිගත් සදාචාරාත්මක මූලධර්ම කවරේද යන්න පිළිබඳව ඉතාම පැහැදිලි අවබෝධයක් සහිත පිරිස වන්නේ එකී සමාජයේ ජීවත්වන වැඩිහිටියන් වන නිසා ය. වැඩිහිටියන්ගෙන් අවවාද අනුශාසනා ලබන්නට නම්, නිවැරැදි මග පෙන්වීම් ලබාගන්නට නම් ඔවුන් ගේ සිත් සතුටු කිරීම ද අවශ්‍ය වේ. මෙහිදී ගෙදර මවට පියාට ඇත්තේ සුවිශේෂී කාර්ය භාරයකි. ඔවුන් පළමුව තම දරුවන්ට ආදර්ශවත් විය යුතු ය.

වයෝවෘද්ධ මව පියා අමතක නොකර, කරදරකාරීන් යැයි ගෙදරින් පිටුවහල් නොකර ගරු සත්කාර කරමින් ඔවුන් රැකබලා ගත යුතු ය. ඒ දකින දරුවන් ද ඒ මගම යනු ඇත. ආච්චිට සීයාට ඔවුන්ගෙන් ද ගරු සැලකිලි ලැබෙනු නො අනුමානය. ඒ පුද සත්කාරයන්ගෙන් තෘප්තියට පත්වන වැඩිහිටියන් ද පෙරළා තම යුතුකම් ඉටු කරනු ඇත. මෛති‍්‍රයෙන් කරුණාවෙන් කිසිදු පැකිලීමකින් තොරව තමන් සතු දැනුම් සමභාරය තම බාල පරම්පරාවට දායාද කරනු ඇත. එසේ ලබා දෙන්නා වූ දැනුම ඒ නිවෙසේ වෙසෙන දරුවන් මනා පෞරුෂයකින් හෙබි පිරිසක් බවට පත් කිරීමට ඉවහල් වනු ඇත.

රාජ්‍ය පාලනයේ දී නම් අතීත පාලකයින් මුහුණදුන් සතුරු උපද්‍රව, ආර්ථික පරිහානිකර තත්ත්වයන්, සමාජ කඩා වැටීම් ආදී දේ පිළිබඳව නිවැරදි අවබෝධයක් පවතින්නේ එකී සමාජයේ බර ඉසිලූ මිනිසුන්ටම ය. මේ නිසා යම් සමාජ සංස්ථාවක ජීවත්වන වැඩිහිටියන් ආරක්ෂා කර ගැනීම එකී සමාජයේ නිලධරයන් ගේ වගකීම වනු ඇත.

රාජ්‍ය පාලනයේ දී එකී සමාජයේ වැඩිහිටියන් ගේ බසට ඇහුම්කන් දිය යුතු බව බුදුරජාණන් වහන්සේ අවධාරණය කොට ඇත්තාහ. යම් පාලකයෙක් උපදෙස් ලබා ගැනීමට සුදුසු අය ගේ වචනවලට සවන් නොදී හිතුමතයේ පාලන කටයුතු ගෙන යනවා නම් එවැනි රාජ්‍යයක යහ පාලනය ගොඩනැඟීමට ඇති අවකාශය නිසැකවම ඇහිරී යනු ඇත. රාජ්‍යයක පමණක් නොවේ. ආයතනයක යහපාලනය උදෙසා ද මෙය පොදු ධර්මතාවයකි. ආයතනයේ දියුණුව උදෙසා උපදේශකවරුන් ගේ සේවය ලබා ගැනෙති. එහිදී අත්දැකීම්වලින් පරිපූර්ණ වැඩිහිටි පිරිස් අමතක නොකළ යුතු ය.

එක් එක් විෂයයන් අරබයා, අභියෝගාත්මක ගැටලු අරබයා ඔවුන්ගේ අදහස් උදහස් විමසීමෙන් කටයුතු කරන්නේ නම් ඒ ආයතනයට ඕනෑම තරගකාරී සමාජයක බිඳ නොවැටී, ශක්තිමත් ව සිටීමට අවස්ථාව උදාවේ. මේ නිසා ඔබගේ ආයතනයට උපදේශක මණ්ඩලයක් පත්කර ගන්නේ නම් වයසින්, ශීලයෙන්. ගුණයෙන්, අත්දැකීමෙන් සහ ප‍්‍රඥාවෙන් පරිපූර්ණ වැඩිහිටි පිරිසක් ඒ සඳහා තෝරා පත් කරගැනීමට අමතක නොකළ යුතු ය. අවශ්‍ය විටෙක, අභියෝගාත්මක ගැටලුවල දී ඔවුන් ගේ වටිනා අදහස්. උපදෙස් ලබාගත යුතු ය.

ඇතැම් ගැටලු න්‍යායාත්මකව කල්පනා කර බලා විසඳීම ඉතා අසීරු ය. එවැනි අවස්ථාවන්ට ඔබ කොතෙකුත් මුහුණ දුන්නා විය හැකිය.

න්‍යායන්ට, පොත පතේ නීතිවලට ප‍්‍රමුඛතාවය දෙමින් ප‍්‍රශ්න විසඳ්‍ර ගන්නවා වෙනුවට ඔබගේ වැඩිහිටි උපදේශකයින් ගේ සහාය ලබාගත හැකි ය. ඔවුන් මින් පෙර ඒ හා සමගාමී ප‍්‍රශ්නවලට මුහුණ දී තිබේ දැයි සොයා බලා ඒ පිළිබඳව අවබෝධයක් ලබාගැනීමට පුළුවන. ඒ ඔස්සේ යමින් ඔබ ඉදිරියට පැමිණි අභියෝගවලට නොබියව මුහුණදීමට අවකාශය සලසා ගත හැකිය.

රාජ්‍යයක හෝ ආයතනයක පාලකයන් ඉතා තරුණ වයසේ පසුවන්නන් වීමට පුළුවන. ඔවුන් මුහුණදෙන ප‍්‍රධානතම අභියෝගය වනන්නේ බලය නිසා තමන් කෙරෙහි ඇතිවන මදය පරාජයට පත්කර ගැනීමය.

බලය සමඟ ධනය හා කීර්තිය යන අංශයන්හි ද විශාල දියුණුවක් ඇතිවේ. මේ ලැබෙන්නා වූ ධනය, කීර්තිය නිසා ඔවුන් උද්ධාමයට පත්වීමට තිබෙන ඉඩකඩ වැඩිය. ඒ බව තරුණ නායකයන් නිහතමානීව අවබෝධ කරගත යුතු වේ. එසේ නොවූ කල ලැබෙන ප‍්‍රතිඵලය යහපත් වන්නේ නැත. එවන් නායකයන් යටතේ පාලනය වන රාජ්‍යය, ආයතනය ඉතාම අනාරක්ෂිතය.

කවර මොහොතක බිඳ වැටේදැයි කිව නොහැකි ය. මේ නිසා කවර ආයතනයක වුව ද පාලකයා තරුණ වයසේ පසු වුවත්, වැඩිහිටියෙක් වුවත් තමන්ට වඩා වයසින් වැඩි, ශීලයෙන් ගුණයෙන් පරිණත, අත්දැකීමෙන් යුතු වැඩිහිටියන්ට සවන් දීමට නිහතමානී විය යුතු වේ. තමන් ගේ රටේ ආයතනයේ නිවෙසේ, දියුණුවට මඟ පෙන්වන වැඩිහිටියන් ආරක්ෂා කර ගැනීමේ, ඔවුන් කායිකව මානසිකව තෘප්තිමත් කිරීමේ වගකීම ඇත්තේ ද තරුණ පරපුරටය. වැඩිහිටියන්ට පුද සත්කාර කරන සමාජය.

වැඩිහිටියන්ට ගරු කරන සමාජය, ඔවුන් රැකබලා ගන්නා සමාජය කිසි කලෙකවත් පරිහානියට පත්වන්නේ නැත. ඕනෑම අභියෝගයකදී, ඕනෑම ව්‍යසනයක දී සමාජය එයින් මුදවා ගන්නට ඔවුන් ගේ දැනුම මෙන් ම ආශිර්වාදය ද නොපිරිහෙළා පිරිනැමෙන බැවිනි.


Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

Categories

%d bloggers like this: