Posted by: lrrp | July 18, 2009

අධි පරිභෝජනයෙන් වෙන් වූ සමාජයකට මග පෙන්වන අල්පේච්ඡතාව

මූලික අවශ්‍යතා නුවණැතිව සපුරා ගැනීම ‘පච්චය අප්පිච්ඡතා’ නම් වේ. මොර කඩා කන්නකු සේ සම්පත් විනාශ නොකිරීමත්, එළුවන්, කපුටන් මෙන් ලෝභීව ජීවත් වීමත් බුදු සමයෙන් ප්‍රතික්‍ෂිප්ත ය. වෙළෙඳපළේ ඇතිතාක් දකින දකින භාණ්ඩ මිලදී ගැනීම්, ආශාවෙන් මුසපත්ව ඇදවැටෙන තෙක් ආහාර පාන ගැනීම ආදිය අධි පරිභෝජනයයි. මේ අසීමිත ආශාවන් හා අධිපරිභෝජන මානසිකත්වය පුද්ගල හා සමාජ පරිහානියට හේතු වෙයි.

හත්තොටුවේ ඉන්දරතන හිමි

උපන්නා වූ අකුසල් දහම් පිරිහවන, නූපන්නා වූ කුසල් දහම් උපදවන ධර්මතාවයක් වන ‘අප්පිච්ඡතාවය’ මහත් වූ අර්ථය පිණිස පවත්නා බව අංගුත්තර නිකායේ ඒකක නිපාතයේ කියැවේ. සද්ධර්මයේ චිරස්ථිතිය පිණිස (ඨිතියා) අවිනාශය පිණිස (අසම්මොසාය) අතුරුදහන් නොවීම පිණිස (අනන්තරධානාය) පවතින ධර්මතා අතරින් අප්පිච්ඡතාවය ද එක් ධර්මතාවයකි. එනිසා අල්පේච්ඡතාව ලාභයන් අතුරෙන් උතුම් ලාභයක් බව (අද්ධමිදං භික්ඛවෙ ලාභානං යදිදං අප්පිච්ඡතා) බුදුහු දෙසූහ.

අත්‍රිච්ඡතා, පාපිච්ඡතා, මහිච්ඡතා සහ අප්පිච්ඡතා යනුවෙන් ඉච්ඡාවේ ප්‍රභේද සතරකි. තමාට ලැබුණ දේ අගය නොකෙරෙන, අනුන්ට ලැබෙන දේ අගය කෙරෙමින් එය තමන්ට වේවායි. පතන මානසික ස්වභාවය ‘අත්‍රිච්ඡතා’ නම් වේ. ‘පාපිච්ඡතා’ යනු තමා තුළ නැති ගුණ පෙන්වන සහ පිළිගැනීමෙහි (පරිභෝජනයෙහි) පමණ නොදත් (අධික) මානසික ස්වභාවයයි. තමා තුළ ඇත්තා වූම ගුණ පවසන හා තමා තුළ ඇති ගුණ අනුන්ට පවසන, අධි පරිභෝජන ස්වභාවය ‘මහිච්ඡතා’ නම් වේ. මහිච්ඡතාවයෙන් යුතු පුද්ගලයා සෑහීමකට පත් නොවන්නෙකි. කාම සම්පත් විඳීමෙහි ‘අති‍ෙත්‍ථා තණ්හා දාසො’ අතෘප්තිමත් ව තණ්හාවෙහි දාසයෙක් වේ. ගිනි ගොඩකට හා මහා සමුද්‍රයට මහච්ඡතාවයෙන් යුතු පුද්ගලයා උපමා කෙරේ. කොපමණ ලැබුණත් ඔහුට ඇතිවීමක් නැත.

මෙකී අත්‍රිච්ඡතාවෙහිත්, පාපිච්ඡතාවයෙහිත්, මහිච්ඡතාවයෙහිත් ඇති අතෘප්තිකර මානසික ස්වභාවය අධිපරිභෝජන නාමයෙන් නූතන වහරේ එයි. මිනිසාගේ ආශාවන් අසීමිතය. ඒ අසීමිත ආශාවන් තෘප්තිමත් කරගත හැකි සම්පත් සීමිත ය. අනාගත පරපුරටත් සම්පත්වලින් උපරිම ප්‍රයෝජන ගැනීමට අවස්ථාව සැලසෙන පරිදි සීමිත සම්පත් වලින් ප්‍රයෝජන ගන්නා ආකාරය ආර්ථික විද්‍යාවේ දී විමසා බැලේ. ස්වභාවික සම්පත් සංරක්‍ෂණය කිරීම හා අධිභාවිතය වැළැක්වීම මගින් ඒවා වත්මන් පරපුරට මෙන්ම අනාගත පරපුරට ද එකසේ භුක්ති විඳීමට හැකි වෙයි. වත්මන් පරපුරට අදූරදර්ශීව එම සම්පත් අධි භාවිතයෙන් හා අනිසි පරිභෝජනයෙන් විනාශ කළහොත්, එය අනාගත පරපුරට කරන අනර්ථයකි. මැද පෙරදිග තෙල් සම්පත තවත් වසර පනහකදී ක්‍ෂයවී යන බව මෑත පර්යේෂණ මගින් පළ විය. මේනිසා අපගේ ආශාවන් අසීමිත බව දැන අත්‍යවශ්‍ය කටයුතු සඳහා පමණක් සම්පත් පරිභෝජනය කිරීමත්, සීමිත සම්පත් පරිහරණයත්, සම්පත්වලින් උපරිම ප්‍රයෝජන ගැනීමටත් අපව යොමුකෙරෙන උසස් මානසික ගුණාංගවලින් පිරිපුන් වීම යුගයේ අවශ්‍යතාවයකි.

ඒ සඳහා මඟ පෙන්වන උතුම් ගුණාංගයකි අප්පිච්ඡභාවය. “සන්තගුණනිගුහනතා හා පටිග්ගහණෙ ච මත්තඤ්ඤතා අප්පිච්ඡතා නාම” යනුවෙන් මනෝරථපුරණී අටුවාවේ අප්පිච්ඡතාවයෙහි අංශ දෙකක් පවතින බව පෙන්වා දෙයි.

1. තමා තුළ ඇති ගුණ සඟවන ස්වභාවය
2. සම්පත් පරිභෝජනයෙහි තමාගේ පමණ දන්නා බව

තමා සිල්වතෙකු, ශ්‍රද්ධාවන්තයෙකු, ධ්‍රතංගධාරියකු, බහුශ්‍රැතයෙකු ආදී වශයෙන් අනුන් දැනගන්නවාට ඇති අකමැති ස්වභාවය උතුම් ගුණාංගයක් ලෙස – උතුම් මානසික තත්ත්වයක් ලෙස ප්‍රශස්ත පෞරුෂයක් ලෙස ධර්මග්‍රන්ථවල වර්ණිතය. වරක් හත්ථ කාළවක ගහපතියාගේ පවතින ගුණාංග හතක් පිළිබඳව බුදුපියාණෝ වර්ණනා කළහ. ඒ පුවත ඇසූ හත්ථකාලවක “කිසියම් සුසුදුවත් හඳින ගිහියෙක් එම වර්ණාව ඇසුවේද?” යි විමසා භික්‍ෂුන් පමණක් එම වර්ණනාව ඇසූ බව දැන ගන්නා හත්ථකාලවක ‘මැනවි ස්වාමීනි! කිසිම ගිහියෙක් එම වර්ණනාව නෑසීම කෙතරම් අගේදැයි සතුටු වේ. (හත්ථ කාළවක සූත්‍රය – අංගුත්තර නිකාය) මොහුගේ පවතින ගුණ හතට “අප්පිච්ඡො සො කුල පුත්තො” යනුවෙන් අටවන ගුණයක් ද බුදුහ එක් කරති. සද්ධො – සීලවා – හිරිමා – ඔත්තප්පී – බහුස්සුතො – චාගවා – පඤ්ඤවා යන තමා තුළ වූ ගුණාංග හත අනුන් නොදැනගන්නවාට ඇති අකැමැත්ත නිසා හත්ථ කාලවල අප්පිච්ඡතා ගුණයෙන් ද යුතු බව බුදුහු පවසති.

අල්පේච්ඡභාවයේ ප්‍රභේද සතරකි.

1. පච්චය ප්පිච්ඡතාවය
2. ධ්‍රතංගප්පිච්ඡා භාවය
3. පරියත්ති අප්පිච්ඡාභාවය
4. අධිගම අප්පිච්ඡතාවය

මූලික අවශ්‍යතා නුවණැතිව සපුරා ගැනීම ‘පච්චය අප්පිච්ඡතා’ නම් වේ. මොර කඩා කන්නකු සේ සම්පත් විනාශ නොකිරීමත්, එළුවන්, කපුටන් මෙන් ලෝභීව ජීවත් වීමත් බුදු සමයෙන් ප්‍රතික්‍ෂිප්ත ය. වෙළඳපළේ ඇතිතාක් දකින දකින භාණ්ඩ මිලදී ගැනීම්, ආශාවෙන් මුසපත්ව ඇදවැටෙනතෙක් ආහාර පාන ගැනීම ආදිය අධි පරිභෝජනයයි. මේ අසීමිත ආශාවන් හා අධිපරිභෝජන මානසිකත්වය පුද්ගල හා සමාජ පරිහානියට හේතු වෙයි.

‘පච්චය අප්පිච්ඡතාවෙන්’ යුතු භික්‍ෂුව දායකයාගේ ප්‍රමාණයද, දාන වස්තුවේ ප්‍රමාණය ද තමාගේ ශරීර ශක්තිය ද මනාව දැන සිවුපසය පරිභෝග කරයි. ලද දෙයින් සතුටුවේ. (සත්තුට්ඨිතා) ආහාරයෙහි පමණ දන්නේ (භොජනෙ මත්තඤ්ඤු) ප්‍රත්‍යවේක්‍ෂාවෙන් ආහාරයේ ගුණ දොස් මනාව දැන ප්‍රමාණවත්ව ආහාරපාන ගනියි. (මිතාහාරො භවිස්සති) හේ අල්ප ආහාරයෙන් කය සිත මැලි බවට ද (ථීන මිද්ධං) ආහාර අධිකව ගෙන අපහසුතාවයට ද (උද්ධුමාතකං) පත්නොවේ. තමා සමාදන්ව සිටින ධුතංගය සෙස්සන් දැනගැනීමට නොකැමති වන ස්වභාවය ධුතංග ‘අප්පිච්ඡතාවයයි’ (ධ්‍රතවාති මං පරෙ ජානන්ඤති අනිච්ඡනතා) සෝසානික මහා කුමාර තෙරුන් වහන්සේ වසර සැටක්ම සුසානයෙහි විසූ සේක. අනික් කිසිදු භික්‍ෂුවක් ඒ බව නොදත්හ. සෑගිරියෙහි සොහොයුරෝ දෙදෙනෙක් පැවිදිව විසූහ. බාල තෙරණුවෝ වැඩිමහල් තෙරුන්ට දිනක් උක් පිළිගැන්වීය. වැඩිමල් තෙරණුවෝ ද දානය වදාළ මුවදෝනා අවස්ථාව හෙයින් ‘කම්නැතැයි’ කීහ. බාල තෙරණුවෝ ඔබ වහන්සේ ඒකාසනිකංගය රක්නේ ද? “ ඇසූහ. තම ධ්‍රතංගය වෙනත් අය දැනගන්නවාට තිබූ අකමැති (අනිච්ඡතා) ස්වභාවය නිසා වසර පනස් වසක් සුරැකි ඒකාසනිකංග නම් ධ්‍රතංගය බිඳ දමා උක් වැළඳූ වැඩිමල් තෙරනුවෝ, නැවත ධුතංගය සමාදන් වූහ.

තමාගේ බහුශ්‍රැත බව හඟවන්නට ඇති නොකැමැති ස්වභාවය ‘පරියත්ති අප්පිච්ඡතාවයි’ තමා ලැබූ මඟ ඵල ගුණ විශේෂ, අභිඥා ආදිය අන්‍යයන්ට නොහඟවන ස්වභාවය ‘අධිගම අප්පිච්ඡතාවයයි’ බලවත් අලෝභ සහගත චේතනාව් බලපෑම මේ උතුම් අප්පිච්ඡභාවයේ විශේෂ ලක්‍ෂණයකි.

අල්පේච්ඡ භික්‍ෂුව හා ගිහි පින්වත්හු නූපන්ලාභ උපදවති. උපන් ලාභ ස්ථිර කරයි. එමෙන්ම දායක සිත් සතුටු කරති. මඳක් පිළිගන්නා බැවින් දායකයෝ එබඳු භික්‍ෂුවට වැඩි වැඩියන් ප්‍රත්‍යලාභ පිරිනමති. මෙසේ විමසා බැලූ විට ලෞකික ලෝකෝත්තර අභිවෘද්ධිය සඳහාත් ආර්ය ගුණ දියුණු කරගැනීමටත් උපකාරී වන අල්පේච්ඡභාවය මහත් වූ අර්ථය පිණිස (මහතො අත්ථාය සංවත්තති) පවතියි.

ඇතැම් අවස්ථාවල අල්පේච්ඡ ස්වභාවයෙන් වංචක ලෝභය පහළවනු දක්නා ලැබේ. පමණට වඩා ප්‍රත්‍ය නොපිළිගන්නා වූ ප්‍රත්‍ය රැස් කර නොගන්නා වූ අල්පේච්ඡ භික්‍ෂූන්ගේ කීර්තිය, ප්‍රශංසාව දසත පැතිරේ. ප්‍රත්‍ය ලාභ වැඩිපුර ලැබේ. මේනිසා ඇතැම් ලෝභීහු කිත් යසස් ලැබීමටත්, ප්‍රත්‍ය ලාභයටත් ආශාවෙන් තමා තුළ සත්‍යවශයෙන්ම නැති අල්පේච්ඡභාවය හැඟවීමට තැත් කරති.

අනුන්ගෙන් කිසිවක් පිළිගතහොත් ඔහුටත් යමක් දීමට සිදුවේ. මෙනිසා ද තම වස්තුව වැයවේ යැයි බියවන ලෝභීහු අනුන්ගෙන් කිසිවක් නොපිළිගනිති. එය අල්පේච්ඡ ස්වභාවය නිසා යැයි ඔවුහු තමන්ටම රැවටෙති. ‘අනුන්ගෙන් කිසිවක් ගැනීම නුසුදුසු ය. තමන්ට ඇති සැටියට තමන්ගේ දෙයින් යැපීම හොඳය. අනුන්ගෙන් කිසිවක් නොගන්නා විට තමා ද ණය නැති පුද්ගලයෙක් වේ.’ යැයි ඔවුහු පවසති. මේ දෙතැනදීම වංචක ලෝභය අල්පේච්ඡතා වේශයෙන් ක්‍රියාත්මක වූ බව පූජ්‍යපාද රේරුකානේ චන්දවිමල නාහිමියෝ පවසති.

ඇතැම් දරුවෝ මාපියන්ගේ උපකාර ද ඇතැම් සිසුහු ගුරුවරුන්ගේ උපකාර ද ඇතැම් පැවිද්දෝ ගිහියන්ගේ උපකාර ද ප්‍රතික්‍ෂේප කරමින් අල්පේච්ඡතා ගුණාංගය යැයි වංචක ද්වේශයට රැවටෙති ‘මා හට අනුන්ගේ උපකාර අනවශ්‍ය ය. මට පුළුවන් ආකාරයෙන් මගේ වැඩ මම ම කරගනිමි” යි ඔවුහු පවසති. වැඩිවියට පත්වන තරුණ දරුවෝ මෙසේ කියමින් තම මවුපියන් කෙරෙහි ඇති ද්වේෂය අල්පේච්ඡතාවයක් සේ දකිති. ඇතැම් අලසයෝ ‘අපට මේ තිබෙන දේ ඇත. වැඩි ලෝභකම හොඳ නැත. වැඩිදුර ඉගෙනගෙන වැඩක් නැත. වැඩිපුර වැඩ කිරීම හොඳ නැත.” ආදී වශයෙන් ථීන මිද්ධ නීවරණයට යටත් වී එය අල්පේච්ඡතාවය ලෙස දකිති. මෙහිදී වංචනික ථීනමිද්ධය අල්පේච්ඡභාවයෙන් ඔවුහු පෙනී සිටිති.

මේ නිසා උසස් ගුණාංගයක් වූ අල්පේච්ඡතාවය දියුණු කර ගැනීමටත් ඉන් අකුසල මානසික ස්වභාව මතුවීමට අවස්ථාව නොදී මටත් කුසල් වඩන්නෝ උත්සාහ ගත යුතුයි.


Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

Categories

%d bloggers like this: